අපි දැන් නිකම්ම නිකන් මන්ත්‍රීවරුන්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

 එස්. බී. දිසානායක

අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වේ. ඒ උණුසුම පරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමැති ගැටුමේ ගිනියම් රළ නගමින් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළියේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මෙවර අප හමුවූයේ ඔහු මෙරට සිටි සාර්ථකම ක්‍රීඩා ඇමැතිවරයකු වූ හෙයිනි.


අයවැයට මොකක් වෙයි ද?


අයවැය දෙවැනිවර කියවීම දැන් දිනලා ඉවරයිනේ.


නමුත් ඉදිරියේ තිරණාත්මක ඡන්ද විමසීම් එනවා?


එහෙම තීරණාත්මක නෑ. දැන් තියෙන්නේ කාරක සභා අවස්ථානේ. එතැනදී බජට් එක අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට සම්මත කරන එකනේ කරන්නේ ඒක තීරණාත්මක නෑ.


සමහර අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජය කරන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සූදානම්?


එහෙම පරාද කරන්න ආවත් ආපහු ඒක හදාගන්න පුළුවන්.


අයවැය දෙවැනිවර ඡන්ද විමසීමට මන්ත්‍රී නාමල් ආවෙත් නෑ. ඔහු අයවැය විවේචනය කරනවා?


මේකට හැම කෙනෙකුටම විවේචනයක් තියෙනවා. මටත් විවේචනයක් තියෙනවා. හැබැයි මේ අයවැය ලේඛනය පහුගිය අයවැයේම දිගුවක්.


ඒක හොඳද?


ඒක නරක නෑ. ඒක හොඳ එකක්. එහෙම අයවැය අතර සම්බන්ධයක් තිබීම ඉදිරි සැලැස්මක හොඳ දෙයක්.


රටේ ප්‍රශ්නවලට උත්තරයක් මේ අයවැයේ නෑ?


මෙහෙමයි. අපි වරද කරගත්තේ  ඔතැන නොවෙයි. අජිත් නිවාඩ්ටයි, පී. බී. ජයසුන්දටයි දෝෂාරෝපණය කරලා අපි රට බංකොලොත් කියලා ප්‍රකාශ කර ගැනීම තමයි අපි කරපු ලොකුම ගොන් වැඩේ. ඇත්තටම අජිත් නිවාඩ්ට, පී.බීට ඕනෑකම තිබ්බේ මේක එතැනට ගෙනියන්නේ නැතිව මේ රටේ ආර්ථිකය පෙරළලා ගන්න?


ඔය ඔබ කියන අජිත් නිවාඩ්, පී.බී. සහ රාජපක්ෂවරුන් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි කියලා අධිකරණය තීන්දු කළා.


මේ ආර්ථික අර්බුදයට කීයටවත් ගෝඨාභය, මහින්ද, බැසිල්, අජිත් නිවාඩ්, පී.බී. ජයසුන්දර කිසි කෙනෙක් වගකිවයුතු නෑ. ඒක ඉතාම පැහැදිලි දසුනක්.


ඔබ අභියෝගයට ලක් කරන්නේ අධිකරණ තීන්දුවක්?


නෑ. නෑ. මේ අභියෝගයට ලක්කරනවා නොවෙයි. ඒ තීන්දුව උසාවිය දුන්නේ වෙන කාරණා තුනක් උඩයි. ආර්ථික කාරණය ගත්තාම ලංකාවේ ආර්ථිකයෙ ස්වර්ණමය යුගය නම් 2009 යි 2019 යි. මේ කාලේ තමයි රටේ ආර්ථිකය 7% ට 8% හා 9% ට ගියේ.


නමුත් අර්බුදය මතුවුණේ ඔය යුගවලටත් අදාළව?


නෑ. හරියටම කිව්වොත් මහින්ද රාජපක්ෂ යුගයෙ යුද්ධයක පැටලිලා ඉද්දි 2007, 2008, 2009 වසරවලදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවුණා. ආහාර අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් ආවා. මේකත් එක්ක ලෝකය කඩාගෙන වැටුණා.


ලෝක ආර්ථික සංවර්ධනය ඍණ 1.2 ක් වෙනවා. නමුත් අපි යුද්දෙත් කර කර, යුද්ධයට මේ රටේ තියෙන සකල සබ්බ දේම වියදම් කර කර ආර්ථිකය නිවැරැදි විදියට කළමනාකරණය කරගෙන ආපු නිසා තමයි 2009 දීත් අපි සියයට (03%) තුනක සංවර්ධනයක හිටියේ. ඒක අමුතු දෙයක් නොවෙයි. 2005 – 2009 කාලය තුළ අපේ රජය යුද්ධය කරන ගමන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලටත් ගියා. ඒකට විශාල වශයෙන් උදව් කළේ චීනය. අඩු වැඩි වශයෙන් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව උදව් කළා.


ඒ නිසා වුණ දේ තමයි රට ඇතුළේ විශාල වශයෙන් මුදල් සංසරණය වුණා. කොන්ත්‍රාත්කරුවන්ට, නිෂ්පාදකයන්ට මුදල් ගියා. ඒ මුදල් සමාජයේ පහළටත් ගලාගෙන ගියා. ආර්ථික විද්‍යාවේ ඕකට කියන්නේ ‘ත්‍රිපල් ඩවුන්’ කියලා. අලුත් වරායවල්, ගුවන් තොටුපළවල් හැදුවා. කටුනායක ගුවන්තොටුපළ වැනි කොළඹ වරාය පුළුල් කළා.


නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති එයාර් පෝට් ආදී නාස්තිකාර ව්‍යාපෘති මේ ආර්ථික අර්බුදයට හේතු වුණා?


නෑ. නෑ. නෑ. මේවා අතිවිශාල ආදායම් ලබන ව්‍යාපෘති. කොළඹ වරාය පුළුල් කරනවා කියන්නේ විශාල. විශාල ආදායම් ලබන්න පුළුවන් ව්‍යාපෘතියක්. අපේ රට ළඟින් අති විශාල නැව් හතළිස්දාහක් පනස්දාහක් අවුරුද්දට යනවා. ඒකෙන් නැව් දෙතුන් දාහක්වත් ඉඩ නැති නිසා එන්නේ නෑ. වරාය පුළුල් කළා. ඊට වඩා විශාල ප්‍රමාණයක් එනවා.
ඉන්දියන් ආර්ථිකයෙ නැගීමත් එක්ක අපේ වරාය පුළුල් කළා කියන්නේ. හම්බන්තොට අලුත් වරායක් ගුවන් තොටුපළක් හැදුවා කියන්නේ ආදායම් ගලන ව්‍යාපෘති.


කෝ ඒ ආදායම්?


පොඩ්ඩක් ඉන්න. තව අවුරුදු  පහ හයකින් චීනය ලෝකයේ ආර්ථික බලවතා වෙනවා. ඒ වෙනකොට චීන නිෂ්පාදනවල ගබඩාවක් බවට හම්බන්තොට වරාය පත්කර ගැනීම ඉතා ලෙහෙසියෙන් කරගන්න පුළුවන් දෙයක්. වරාය ඒ ගොල්ලෝ ගත්තෙත් ඒ ඉලක්කය තියාගෙන.


චීනයේ තීරයක් - මාවතක් කියන ව්‍යාපෘතිය තියෙනවා. ඒකේ ප්‍රධාන මර්මස්ථානයක් වෙනවා කොළඹ වරාය නගරය. ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2009 දී ලෝකයේ ආර්ථිකය ඍණ වුණත් අපි ඍණ වුණේ නැත්තේ. 


2010 වෙනකොට අපි සියයට 8 යි. 2011 වෙනකොට සියයට 8.4 ට ගියා. 2012 වෙනකොට 8.2 ට ගියා. අපි එතකොට චීනයට විතරයි දෙවැනි වුණේ. 2015 දී සියයට 7.1 ක ආර්ථිකයක් තමයි අපි යහපාලනයට බාර දුන්නේ.


2005 දී මහින්ද රාජපක්ෂ බලය ගන්නකොට රටේ ණය අනුපාතය දේශීය දළ දේශීය නිෂ්පාදනයත් සමග සියයට 1.4 යි. ඒක 2015 බාර දෙනකොට 72 ට අඩුවෙලා තිබුණා. 2005 වෙනකොට දළ දේශීය නිෂ්පාදනය බිලියන 19 යි. 2015 දී යහපාලනයට බාර දෙන කොට බිලියන 79 යි. අපේ ඒක පුද්ගල ආදායම 2005 ඩොලර් 1100 යි. හැබැයි, 2015 යහපාලනයට බාර දෙනකොට බිලියන 3800 යි.


ඔබ සංඛ්‍යා ලේඛනවලින් මොනවා පෙන්නන්න හැදුවත් අන්තිමට ජනතාවටයි හොම්බෙන් යන්න වුණේ?


ඉන්න ඉන්න මම කියනකම්. ඒක තමයි 2015 දී අපි බාර දෙනකොට ආර්ථික සංවර්ධන වේගය 7.1 යි අපට ණය සේවා තිබුණේ බිලියන 2 යි. පොලී, වාරික, ණය සේරම ගෙවන්න අවුරුද්දට ඕනෑවෙලා තිබුණේ බිලියන 2 යි. 2015 යි 2019 යි කාලය තුළ 7.1 තිබ්බ ආර්ථිකය 4.2 ට වැටුණා.


ඒකට හේතුව වශයෙන් ඔබ දකින්නේ?


මහ බැංකු හොරකමයි, ඒකත් එක්ක බුෂ් ගහලා කඩාගෙන වැටුණා. ඒ අතර ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර ද්වන්ධ සටනක් ගියා. රටේ ආර්ථිකය ගැන. ඒකෙන් රට අවුලෙන් අවුලට ගියා.


ඒ නිසා ආර්ථීකය බලාගෙන ඉද්දි 4-2 ගියා. 3.6, 3.4 ට, ගිහින් 2.4 ට ගියා. එහෙම වැටිච්ච ආර්ථිකයක් තමයි ගෝඨාට බාර දුන්නේ.


ඔය ඔබ කියන විදියට ආර්ථිකය කාබාසිනියා කරපු ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා තමයි ඔබලා ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ?


ඔව්. හැබැයි. මම අදත් කියන්නේ රනිල්ට ඒ වෙලාවේ වැඩපිළිවෙළක් තිබ්බා. ඔහුට දර්ශනයක් තිබ්බා. රටේ ආර්ථික අර්බුදයක් සේ ඇතිවුණේ. අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවෙන් ගිහින් මහ බැංකුවට ගියේ මේ ආර්ථිකය හදන්න. බැසිල් රාජපක්ෂගේ අන්තිම අයවැය කතාවෙදි මොකක්ද කිව්වේ ‘අපි ශතයක් හිඟ නොතියා ණය ගෙවනවා’ කියලා.


ඇත්ත තමයි ඒ අවුරුද්දේ අපට තව තිබුණේ ගෙවන්න ඩොලර් මිලියන400 ක් 500 ක්. මේවා හොයාගෙන තිබ්බේ. අපට කිසිසේත්  බංකොලොත් කියන්න උවමනාවක් තිබ්බේ නෑ. හැබැයි, ඒක කෙරෙව්වා. ඒක කෙරෙව්වේ විදේශීය තානාපතිවරු දෙන්නෙක්.


කවුද ඒ දෙන්නා?


මම නම්ගම් කියන්නේ නෑ. ඒ අය තමයි කුමන්ත්‍රණයෙ හිටියේ. ගෝඨාභය ගියාට පස්සේ මොකක්ද ගෝඨාභයට කිව්වේ ‘රනිල්වත් අයින් කරන්න’ කිව්වා. හැබැයි ගෝඨා ඒක කළේ නෑ. හමුදාවත් සම්බන්ධ වෙච්ච අර හිටපු හමුදාපතිත් සම්බන්ධ කරගෙන පාර්ලිමේන්තුවෙනුත් දෙන්නෙක් තුන්දෙනෙක් අරගෙන මේක ජුන්ටාවක් බවට පත් කරන්නයි කුමන්ත්‍රණේ තිබුණේ. කොහොම වුණත් ආර්ථිකය කඩා වැට්ටවීමේ ක්‍රියාදාමයට යහපාලන රජය සියයට 95 ක්  වගකියන්න ඕනෑ.


නමුත් අධිකරණයෙන්  තීන්දු වුණේ රාජපක්ෂවරුන්  සහ කබ්රාල්, පී.බී. මේකට වගකිවයුතුයි කියලයි.


මම ඒ ගැන මුකුත් කියන්නේ නෑ. මේ පිරිස ඒකට වගකිව යුතුයි කියන එක සාධාරණයි කියලා මම කියන්නේ නෑ.


ඔබ හිටපු සාර්ථක ක්‍රීඩා ඇමැතිවරයෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමැති අතර ලොකු ගැටුමක් තියෙනවා. ඔබ මොනවද හිතන්නේ?


ක්‍රිකට් බෝඩ් එක වැඩියෙන් වියදම් කළා. හොරකම් කළා. අරවා කළා මේවා කළා කියලා කියනවා. හැබැයි, බෝඩ් එක පිටරටින් ගෙනාව සල්ලිනේ තියෙන්නේ. ලංකාවේ සල්ලි හොරකම් කළේ නෑනේ. අතිවිශාල විදෙස් මුදල් ප්‍රමාණයක් ලංකාවට ගෙනාපු එක ගැන ක්‍රිකට් බෝඩ් එකට ස්තූති වන්න වෙන්න ඕනැ නැද්ද? ක්‍රිකට් බෝඩ් එක කොච්චර සල්ලි තොගයක් ගෙනාවද?


මම පාර්ලිමේන්තුවේදිත් කිව්වා රොෂාන් කියන කාරණවල යම් යම් ප්‍රශ්න තියෙනවා. හැබැයි, රොෂාන්ට මම කිව්වා ‘තීන්දුවක් ගන්න එපා.’ ඔබතුමා අයි.සී.සී. එකට පැමිණිලි කරන්න. මොකද මේවා අපේ ඒවා නොවෙයි. මේක මේ ක්ලබ් එකතු වෙලා පිහිටවපු ස්වාධීන සංවිධාන හා ජාත්‍යන්තර. ඒකට පනතක් හදලා ඇමැතිවරයට බලතල දීලා තිබ්බට ඒවායින් අපි උදව් කරනවා මිස ඔවුන් පාලනය කරන්න පාවිච්චි කරන්න හොඳ නෑ.


මම එහෙම රොෂාන්ට කිව්වා. ‘නීතිපති විශ්වාසත් නෑ. අධිකරණය විශ්වාසත් නෑ. අයිසීසී එක විශ්වාසත් නෑ. ක්‍රිකට් බෝඩ් එක විශ්වාසත් නෑ කියලා කිව්වම එහෙම කරන්න බෑනේ.


එතුමා යමක් කරන්න ඕනෑකම තියෙන ඇමැතිවරයෙක්. ඒ වගේම හොරකම් වංචා පෙන්නන්න බැරි ඇමැතිවරයෙක්. මේ කාරණයේදීත් ඔහුගේ අවංකකම තමයි වැඩ කළේත්. නමුත් මම හිතන්නේ මීට වඩා ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසඳගන්න ඕනෑ. මේව ස්වාධීන ආයතන.


ඔවුන්ට ජාත්‍යන්තර මූලස්ථානයක් තියෙනවා. එහෙම ක්‍රමානුකූලව නොකිරීමේ හේතුව මත තමයි මේ අවුල ඇතිවුණේ. ඒක නිසා අපට 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියෙ සත්කාරකත්වය නැති වුණා. ඩොලර් මිලියන 1000 ක විතර පාඩුවක් වුණා.


මේ අව්අස්සේ ඔබ ක්‍රීඩා අමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් ඉන්නවා?


නෑ. නෑ. ඒකට කාලයකුත් නෑනේ.


අධ්‍යාපන ඇමැති ධුරයත් එක්ක ක්‍රීඩා ඇමැති ධුරය දුන්නොත් බාරගන්නවා කියලා ඔබ කියලා තිබුණා?


මම එහෙම කිව්වේ නෑ. ඇත්තටම ඔයා ඒක නිවැරැදි කරලා ලියන්න. මම කිව්වේ දරුවන්ගේ තවාන පාසලනේ. ඒ නිසා ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක එකට තියෙන්න ඕනැ කියලා මට ක්‍රීඩා ඇමැතිකමයි, අධ්‍යාපන ඇමැතිකමයි ඕනැ කියලා මම කිව්වේ නෑ. මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ.


මොකක්ද එහෙනම් ඔබේ බලාපොරොත්තුව?


දැන් ඉක්මනට විශ්‍රාම යන්නයි බලාපොරොත්තුව. මගේ එක දරුවෙක් දේශපාලනයට කැමැත්තෙන් හිටියා. එයත් රට ගියා. දරුවෝ දෙන්නම දැන් රටින් ගිහින්. අනිත් දරුවෝ දෙන්නට මුනුබුරෙකුයි මිනිබිරියකුයි ඉන්නවා. අපේ ඔළුව වැඩ කරන්නේ එතැන. දරුවෝ සහ මුනුබුරා හා මිනිබිරිය ළඟට ගිහින් ජීවත් වෙන්න තමයි ආශාව.


අපට හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නා. ඒ මිනිසුන්ව අතරමං කරන්න බෑ. ඒ මිනිසුන්ව අල්ලලා අපි පොළොවේ ගැහුවා. ඒ නිසා ඒ මිනිසුන් තනි කරලා අපට යන්න බෑ. ඒ මිනිසුන් සමග ඉඳිමින් අපි ඒ මිනිසුන් ආරක්ෂා කරන්න ඕනැ. ඒ මිනිසුන්ගේ ප්‍රශ්නවලට අත දාන්න ඕනැ.


ප්‍රශ්න විසඳීමේ බලයක් තියෙනවද?


අපේ අත් ශක්තිමත් නෑ. මම මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් පස් දෙනෙක් තේරුවොත් මම එතැන ඉන්නවා. හැබැයි අපි අද නිකම් මන්ත්‍රීවරුන්. ඒ නිසා අපට ලොකු හයියක් නෑ. ඒ වුණාට ඇමැතිවරු සේරම අපට සලකනවා. මිනිසුන්ගේ ප්‍රශ්න අපට කිව්වම අපි ඇමැතිවරුන්ට කතා කරලා නිලධාරීන්ට කතා කරලා උදව් කරනවා. මිනිසුන්ට හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපට ඔවුන් තනි කරන්න බෑ.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්