එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
කෙහෙළිය රඹුක්වැල්ල
රටේ ප්‍රධාන දේශපාලන කාරණා හා ඉදිරි ජනාධිපතිවරණ සූදානම සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - පොහොට්ටුවට ඉන්නවා කිව්වේ එක අපේක්ෂකයයි. ඒ ගෝඨාභය රාජපක්ෂ දැන් කියනවා අපේක්ෂකයෝ පහක් ඉන්නවා කියලා. කවුද ඒ පස්දෙනා?
පිළිතුර - පහටත් වැඩිය ඇති මම හිතන්නේ. අපේක්ෂකයන් කියන්නේ සුදුස්සන්නේ. එහෙම අය ඉන්නවා. ඒ ගැන ගැටලුවක් නෑ. එහෙම ඉන්න අයගේ නම් කියන්න ගියොත් නම් වැලක් කියන්න පුළුවන්.
ප්‍රශ්නය - මෙතැනදී පස් දෙනෙක් ගැන විශේෂයෙන් කියැවුණා?
පිළිතුර - නෑ. නෑ. පහක් කියලා කියන්නේ පහසුවට. දහයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ලබන 11 වැනිදා වෙනකොට ඔබ කිව්වා වගේම කවුරුත් දන්නවා වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් වේවි.
ප්‍රශ්නය - ගෝඨාභය කියන නමට ඒ පොහොට්ටුව තුළ ඒකමතික බවක් පේන්නේ නෑ?
පිළිතුර - ලෝකයේ කොහේද ඔය වගේ දේවල්වලදී ඒකමතිකත්වයක් තියෙන්නේ? ඒකමතික බව කියන එක බොරුනේ. රණසිංහ ප්‍රේමදාසගේ නම ගාමිණීට කියලා යෝජනා කරවලා ලලිත්ට කියලා ස්ථිර කෙරෙව්වේ ඒකමතිකවද? එහෙම ඒකමතිකත්වයක් තිබ්බේ නෑ එතැන. ජේ.ආර්ට තුන්වැනි අවස්ථාව දිය යුතුයි කියල යෝජනා කරපු ස්ථිර කරපු දෙන්නටත් ජීවතුන් අතර ඉන්න බැරි වුණානේ. ඒ නිසා ඕවා ඒකමතිකව වෙන දේවල් නොවෙයි. හැබැයි අති බහුතරයකගේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ. ඒ එක්කම මට විශ්වාසයක් තියෙනවා. අවුරුදු පහක් විතර යුද්ධය කාලේ මම ළඟින්ම ඇසුරු කරපු නිසා මට විශ්වාසයක් තියෙනවා යම් කෙනෙක් යම් නුරුස්නා බවක් පෙන්නුවොත් ඉතාම සුළු කාලයක් තුළ ඔවුන් තමන්ගේ පැත්තට නැඹුරු කර ගන්නවා කියලා ඔහුට එවැනි දක්ෂතාවක් තියෙනවා.
ප්‍රශ්නය - ඔහුගේ ඒ දක්ෂතාව සම්බන්ධයෙන් අනෙක් කඳවුර විවිධ චෝදනා නගනවා. සුදු වෑන් හරහාද එහෙම නම්මවා ගන්නේ?
පිළිතුර - මට පුළුවන් නම් සුදු වෑන් එකක් ගෙන්වන්නකෝ. කොහේද පැමිණිල්ලක් තියෙන්නේ? මොන පොලිසියේ ද තියෙන්නේ? දැන් රිචඩ් සොයිසගේ කතාව දන්නවා. බොඩි එක අහුවුණා. හෙලිකොප්ටර් එකෙන් ගෙනිච්චා කියලා දන්නවා. රොනී ගුණසිංහ ඇවිත් ගෙදරින් පැහැරගෙන ගියා කියලා දන්නවා. එහෙම එක කතාවක් කියන්නකෝ.
ප්‍රශ්නය - ලසන්ත වික්‍රමතුංග මහ පාරේ මරා දැම්මා. එක්නැලිගොඩ අතුරුදන්?
පිළිතුර - ඒවා කොහොමද වුණේ කියල මුළු රටම දන්නවා. දැන් තියෙන්නේ පරීක්ෂණ හරි විදියට කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නයි. නමුත් ඒක කෙරෙන්නේ නෑ. මොකද ඒ අය ඉන්නේ ඒ අයගේ ඔඩොක්කුවෙනේ.
ප්‍රශ්නය - පොහොට්ටුවේ ප්‍රබලම නායකයකු වන කුමාර වෙල්ගම කියන්නෙත් ‘‘මිනිමරුවන්ට අවස්ථාව දෙන්න බැහැ’’ කියලයි.
පිළිතුර - මම මෙච්චර කලක් මේ ගැන කතා කළේ නෑ. මම හිතනවා ඔහු වෙනම දියාවකට යන්නේ. ඒ නිසා ඔහු ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඔහුගේ දේශපාලන අනාගතය ගැන මම කනගාටු වෙනවා. ඔහු මගේ හොඳ මිතුරෙක්. නමුත් ඔහු ගැනම තක්සේරුවක් කර ගත්තොත් හොඳයි.
ප්‍රශ්නය - මන්ත්‍රී දයාසිරි ජයසේකර කියන්නේ “රාජපක්ෂලාගේ ආධිපත්‍යයට යට වෙන්න බෑ” කියලයි?
පිළිතුර - අධිරාජ්‍යවාදය ගැන කතා කරන අය කෙනඩි පවුල ගැන කතා කරනවද? ජෝර්ජ් බුෂ් ගැන කතා කරනවද? එතකොට බූකෝලා ගැන ගාන්ධිලා ගැන කතා කරනවද? බණ්ඩාරනායකලා - සේනානායකලා ගැන කතා කරනවද? එතකොට මොකද්ද ඔය කියන්නේ? ජනතාවගේ අවශ්‍යතාව අනුව ජනතාව පෙළ ගැහෙනවා නම් ජනතාව අතර ඉන්න නායකයන් ඔවුන් පෙරේර ලද, සිල්වල ද, රාජපක්ෂලා ද, අප්පුහාමිලා ද කියන එක නොවෙයිනේ ප්‍රශ්නය. ජනතාව එක්ක සිටින කණ්ඩායමක් නම් ජනතාවගේ ඉල්ලුම තියෙන්නේ එතැනට නම් ජනතාව විශ්‍වාස කරන්නේ එතැනනම් ජනතාව දැඩි ලෙස ඒ වෙනුවෙන් කැපවීමක් කරනවා නම් මොකද්ද කාටවත් තියෙන ප්‍රශ්නය? එ්කට හේතුව තනිකරම ඊර්ෂ්‍යාව හා කුහකකම. වෙන මොකක්වත් නොවෙයි.
ප්‍රශ්නය- අනාගත මහ මැතිවරණ ලිස්ට් එකේ රාජපක්ෂවරු කී දෙනෙක් ඉඳීවි කියලද ඔබ ගණන් බලන්නේ?
පිළිතුර - ඒක ජනතාව තීන්දු කරන්නේ. ඔබතුමාටවත් මටවත් ඒක තීරණය කරන්න බෑ. ඔය කියන අයටවත් තීරණය කරන්න බෑ. රටේ ජනතාවයි ඒක තීරණය කරන්නේ.
ප්‍රශ්නය - පොහොට්ටුව දැනටමත් අධි තක්සේරුවක ඉන්නේ. “උඹල අපි ළඟ දණ ගහපල්ලා” කියලයි කියන්නේ? නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම දණ ගහන්න සූදානම් නෑ?
පිළිතුර - කිසිම විටෙක අපි එහෙම කියලා නෑ. අපි බොහොම නම්‍යශීලී ලෙස සියලු දෙනාම ඉතාම සුහදව ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. “දණ ගහන්න” කියලා අපි කොහේදිවත් කියලා තියෙනවද? ඔය එක එක්කෙනා මවා ගන්නා කතන්දර.
ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය, අගමැති අපේක්ෂකයා මහින්ද, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුකුත් නෑ.
පිළිතුර - සාකච්ඡා වට ගණනාවක් කෙරීගෙන යනවා. හැබැයි ඒ සාකච්ඡා පදනම් වෙනවා නම් තනතුරු මත එහෙම නම් ඒක ලත් තැනම ලොප් වෙනවා. මොකද තනතුරු ප්‍රශ්නයක් නොවෙයි මෙතැන තියෙන්නේ. වාමාංශික කඳවුර එකට එ්කරාශි කරන්නේ කොහොමද? අවංකවම, හදවතින්ම වාමාංශික කඳවුර සමඟ එකතු වෙනවා නම්, අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළට රට විකුණන වැඩපිළිවෙළට විරුද්ධව රටේ සිදු කරන මහා සම්පත් කොල්ලයට විරුද්ධව යම් කෙනෙක් හිතනවා නම් එහෙම හිතන අය හිතන්න හොඳ නෑ මට දුන්නොත් විතරයි මම දෙන්නේ කියලා. ආත්මාර්ථය මුල් කර ගත්ත අයනේ එහෙම හිතන්නේ. එතැනින් ඔබ්බට යායුතුයිනේ, තනතුරු මුල් කරගෙන නොවෙයි හිතන්න ඕනෑ. තනතුරු අවශ්‍යයි. හැබැයි ඒ වෙනුවෙන් මූලික අරමුණු අමතක කරනවානම් ප්‍රධාන හතුරා අමතක කරලා වාමාංශික කඳවුර බෙදන්න උත්සාහ කරනවා නම් ඒක හරිද? එහෙම නම් තනතුරු ගැන ද කතා කළ යුත්තේ? මූලික හතුරා පරාජය කළ හැකි බලවේගය මොකද්ද ඒක එක්ස් ද වයිද කියන එක අමතක කරලා ඒ බලවේගයට සහයෝගය දීම තමයි කළ යුත්තේ.
ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන කියලා.
පිළිතුර - නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තවත් එහෙම කියලා නෑ.
ප්‍රශ්නය - ඔහුගෙන් එහෙම සූදානමක් පේන්නෙත් නැද්ද ඔබට?
පිළිතුර - අපිට ඒක අදාළ වෙන්නේ නෑ. අපි විවෘත ආරාධනාවක් කරලා තියෙනවා. එතුමා කියලා නෑ එතුමා තරග කරනවා කියලා? එතුමා ළඟ ඉන්න බාලාංශයේ දෙන්නෙක් තුන් දෙනෙක් කියනවා අපේ අපේක්ෂක මෛත්‍රී කියලා. ඒක අපිට අදාළ නෑ.
ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රීගේ සහයෝගය ගන්න නම් ඔහුට ඔබගේ කඳවුරේ තැනක් තියෙන්න ඕනෑ. ඒ තැන මොකද්ද?
පිළිතුර - ඒක මූලික සාකච්ඡාවලදී එන්න පුළුවන් දෙයක්. මුලින්ම තනතුරු ගැන කතා කරන්න ගියොත් වැඩේ ලත් තැනම ලොප් කියලා. මොකද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද කියලා අපි දන්නවා. ඒක තුළ තනතුරු මූලික කරගන්න බෑ.
ප්‍රශ්නය- තමන්ගේ නිල කාලය පටන් ගන්නේ කවදා ඉඳලද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ජනාධිපති මෛත්‍රී තීරණය කරලා කියලත් කියනවා.
පිළිතුර - අපි දන්නෑ ඒක. ඒ වගේම ඒක අපිට ප්‍රශ්නයකුත් නෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ලිච්ඡවී පාලනය ගැන කතා කරන අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ප්‍රජාතන්ත්‍රයේ මූලික කොන්දේසිය තමයි ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීම. ජනතා පරිමාධිපත්‍යයට අනුව ජනතාවට කලට වෙලාවට මැතිවරණ දිය යුතුයි. ඒ අයිතියනේ මේ අය මේ බාල්දු කරන්නේ. පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙක හමාරක් කල් දැම්මා. අපි පාරට ඇවිත් පෙළපාළි ගිහිල්ලා තමයි ජනතාවට ඒ අයිතිය දිනා දුන්නේ. පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය කෝ? අර විමසුම් මත විමසුම් කරන්නෙත් ඒ වෙනුවෙන් ද කියන සැකය තියෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ කලට වෙලාවට මැතිවරණ තියන්න කියලයි. අගමැති එකඟනම් පාර්ලිමේන්තු මැතිවරණයට යන්න අපි සූදානම්. ඒගොල්ලෝ කියනවනේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම් කියලා. එහෙම නම් ජනතාවගේ හද ගැහෙන රිද්මය හැබෑවටම දැන ගන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ මහ මැතිවරණයකට යන්න. ඒ යෝජනාව අපට ඉදිරිපත් කළොත් අපේ ඔක්කොම අයගේ සහයෝගය අපි දීලා ඡන්දයකට යනවා. අපි සූදානම් හෙට හරි අපි අපේ මුළු කණ්ඩායමේම සහයෝගය දෙනවා.
ප්‍රශ්නය - ඔය ඔබේ මුළු කණ්ඩායමම එහෙම නම් ඇයි ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට ඡන්දය දෙන්න ආවේ නැත්තේ? ඒක ඩීල් එකක් කියලා අනුර කුමාර දිසානායක කියනවා?
පිළිතුර - අනුර කුමාර ගැන යම් විශ්වාසයක් තිබ්බා නම් ඔය කතාව නිසා ඒකත් නැතිව ගියා. අනුර කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධන්ලා එක්ක කතා කරලා වැඩේ කළේ නෑ කියලා. ලජ්ජාවේ බෑ. විලි ලැජ්ජයි. මොකද අවුරුදු හතරක්ම ඒගොල්ලෝ දීග කාපු අය. සුමා කියාගෙන යන්නේ සුමන්තිරන් ළඟට. සම්බන්ධන් විපක්ෂ නායක, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මාර සංයෝගයක්නේ දෙන්නගේ තිබ්බේ. ඉතින් අනුර කුමාරනේ යෝජනාව ගෙනාවේ. ඉතින් සුමන්තිරන් ළඟට ගිහින් සුමා මේකටත් සපෝට් එක දීපං කියලා කියන්න තිබ්බනේ. ඉතින් එහෙම කරන්නේ නැතිව අපිට දොස් කියනකොට පේනවා මේක රනිල් වික්‍රමසිංහට තිරිහන් වෙන්න දුන්න අවස්ථාවක් කියලා.
ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ඇයි ඔබලාගේ සම්පූර්ණ කණ්ඩායමම එදා ගෙන්න ගන්න බැරි වුණේ කියන එකයි?
පිළිතුර - අපේ කීප දෙනෙක් රට ගිහින් හිටියේ. දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තු ආවේ නෑ. ඒක ගැන ප්‍රශ්නයක් තියනෙවා. මහින්ද සමරසිංහ ආවේ නෑ. ෙග්ර්ෙර්ා් ආවේ නෑ. දුමින්ද දිසානායක ආවේ නෑ. ගම්මන්පිල ලංකාවේ හිටියේ නෑ හේතුවක් නැතිව එතැන ආපු නැති කණ්ඩායම ගැන ජනතාව තීන්දුවක් ගනී. හැබැයි ඒක නොවෙයි ප්‍රශ්නය. අනුර කුමාරයි ගේන්නේ යෝජනාව. අනුර කුමාරල සුමා කියාගෙන අවුරුදු හතරක් සුමන්තිරන්ලා එක්ක කරට අත දාගෙන හිටියේ ‘අපි මේක ගේන්නම් උඹලා විරුද්ධ වෙයල්ලා, අපිට අපේ හාමුව පරද්දන්න බෑ’ එහෙමයි එතැන ඩීල් එක ගියේ.
ප්‍රශ්නය - පළාත් සභා ඡන්දය ගැන ලොකු උණුසුමක් යනවා. ඒ හරහා ජනාධිපතිවරණය කල් යාවිද?
පිළිතුර - එහෙම කල් යන්නේ නෑ. මැතිවරණ කොමිසමේ සභාපති මම දැක්කා කියලා තියෙනවා ඉලෙක්ෂන් බැක්ටු බැක් කියලා. එ්ක මැතිවරණයක් ඉවර වෙච්ච ගමන් අනික් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඉතින් අපි කියන්නේ එහෙම තියන්න කියලයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයට මේ විදියට පයින් ගහන්න එපා.
ප්‍රශ්නය - සුළු ජාතීන්ගේ ඡන්ද තීරණාත්මක නෑ කියලා මතයක් තියෙනවා. නමුත් සුළු ජාතීන්ගේ ආශිර්වාදය නොලබන පාලනයකට පැවැත්මක් තියේවිද?
පිළිතුර - මම එහෙම කියන්නේ නෑ. ඕනෑම කෘතහස්ත දේශපාලනඥයෙක් අහවලාගේ ඡන්ද මට එපා කියලා කියන්නේ නෑ. එහෙම කියනවා නම් ඔහු නිවටයෙක්. හැබැයි ඒ ඡන්ද ගන්න වරදාන දෙන්නේ කොයි මට්ටමටද? ඒ වෙනුවෙන් තියෙන කොන්දේසි මොනවද කියන එක ප්‍රශ්නයක්.
ප්‍රශ්නය - සුළු ජාතීන් දිනා ගන්න මේ විපක්ෂයේ සිටි කාලයේ ඔබලා සමත් වුණේ නෑ කියලා කිව්වොත්?
පිළිතුර - ප්‍රශ්නය මේකනේ. දෙමළ ජනතාව වෙනදාට වඩා අති බහුතරයක් අප කෙරෙහි විශ්‍වාසය තබා තිබෙනවා. මුස්ලිම් ජනතාව යන්ෙනත් මුස්ලිම් ඇමැතිවරු එකට ඉල්ලා අස්වීම තුළ හරියට මැද්දෙන් ඉරක් ඇන්දා කියලා. ඒක නිවැරැදි කළ යුත්තේ ඒ අයමයි. අපි කියන්නේ කොන්දේසිවලට යටත්වෙලා දේශපාලනය කරන්න අපි සූදානම් නැහැ. විවෘත මනසකින් ජනතා සුබ සිද්ධිය පෙරටු කරගෙන ඕනෑම කණ්ඩායමක් සමග දේශපාලනය කරන්න අපි සූදානම්.
ප්‍රශ්නය - සිංහල බෞද්ධ තනි පාලනයක් තුළ අපගේ අයිතිවාසිකම් අහිමි වේවි කියලා බියක් සුළු ජාතීන්ට ඇතිවිය හැකිද?
පිළිතුර - සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ තමයි සහජීවනයට වැඩිම ඉඩක් තියෙන්නේ. ඒ දර්ශනය තුළ තමයි සියලු දෙනාට සුවෙන් සැපෙන් ඉන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නය- සහරාන්ලා බිහි වුණොත් මේ පරිසරය තුළම තමයි?
පිළිතුර - සහරාන්ලා හෙටත් බිහි වෙයි. දේවදත්තලා හිටියා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙ දේවදත්ත බිහි වුණේ. නමුත් දේවදත්තට ජය ගන්න බැරි වුණා. සහරාන්ලාට වැඩිය ප්‍රබල ප්‍රභාකරන් හිටියේ. කාටද පරාජය කරන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළ දී එය පරාජය කළා සහරාන්ලා බිහි වෙන්නේ නෑ අපේ පාලනයක් තිබුණා නම්. ඒක තමයි අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය මතය. සහරාන්ලා බිහි වුණේ මේ ආණ්ඩුවේ වරදින්. අපි හිටියා නම් එහෙම වෙන්නේ නැහැ කියලා ස්ථීරවම කියන්න පුළුවන්.
සාකච්ඡා කළේ -
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්