ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර
පහුගිය අවුරුදු පහේ කරපු වැඩ කටයුතු නිසා හිටපු ජනාධිපතිතුමාට කොහොමත් ගමට යන්න බෑ
රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ඉතාම කෙටි කාලයක් තුළදී ආණ්ඩුව පෙන්වුවා තමන් අසමත් බව?
පිළිතුර:- නෑ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි රජය බාරගන්න වෙලාවේ තිබුණ අභියෝගවලට වඩා විශාල අභියෝග ගණනාවක් ගෝලීය වසංගත තත්ත්වයත් සමග උරුම වුණා. ඒ වසංගත තත්ත්වය ඇතුළෙත් අපි විශාල ජයග්‍රහණ රැසක් ලබාගත්තා.
ප්‍රශ්නය:- මොනවද ඒ ජයග්‍රහණ?
පිළිතුර:- අපි ඉන්නේ ලොකු වසංගතයක් ඇතුළේ. අපේ රටට විතරක් නොවෙයි ලෝකයේ දියුණු රටවල් පවා අභියෝගයට ලක්වුණා. ලෝකයේ වෙනත් රටවල්වල සිදුවීම් එක්ක අපේ රටේ සිදුවීම් සසඳා බලනකොට ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න සමත් වුණා. ජනතාවගේ යහපත සහ සුබ සිද්ධිය වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම රජය කළා. සමහර තැන්වලදී වෙනස් තීන්දු ගන්න වුණ තැන් තියෙනවා. මේක කාටවත් පෙර අත්දැකීම් තිබුණ වසංගතයක් නොවෙයි. ලෝකයේ කොහේවත් නෑ මේ වසංගතය ඇතුළේ සියයට සීයක්ම නිවැරැදිව තීන්දු තීරණ ගත්ත අවස්ථා. විවිධ රටවල් විවිධ ක්‍රියා මාර්ග ගත්තා. සමහර රටවල් රට වහගෙන මේක පාලනය කළා. සමහර රටවල් කඩින් කඩ රට වහමින් මේක පාලනය කළා. සමහර රටවල් එන්නත්කරණයෙන්ම රට පාලනය කළා. අපිට ඉදිරි අවුරුදු තුන තුළදී අවශ්‍ය සෑම ජයග්‍රහණයක්ම ගේන බවට විශ්වාසයක් අපිට තියෙනවා.
ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වුණාම ආර්ථිකයේ විශාල වෙනසක් වෙයි කියලා කිව්වා. නමුත් බඩු මිල අහස උසට නගිනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.
පිළිතුර:- සමහර දේවල් තියෙනවා අපට කිසිසේත්ම පාලනය කරන්න බැරි දේවල්. මම විශ්වාස රනවා පෞද්ගලිකවම අපට පාලනය කළ නොහැකි දේවල් පාලනය කරන්න නීතියට බෑ කියලා. තෙල් මිල ගෑස් මිල ඇතුළු ආනයනික භාණ්ඩවල මිල පාලනය කිරීම ඉතාමත්ම අපහසුයි. ලෝකයේ අනික් රටවල් ගත්තත් රජයක් විදියට අපේ ආදායම අඩුවෙලා තියෙන වෙලාවකත් සහනාධාර ලබාදෙමින් තමයි මිල පාලනය කරගෙන තිබුණේ. ලෝකයේ අනික් රටවල් ගත්තාම සාමාන්‍යයක් ලෙස භාණ්ඩවල මිල සියයට හතළිහකින් වැඩිවෙලා තියෙනවා. ගෑස් මිල සියයට හැටකින් පමණ වැඩිවෙලා තියෙවනා. තෙල් බැරලය මීට මාස දෙකකට තිබුණ ඩොලර් හෑත්තෑ හය අද වෙනකොට ඩොලර් අනූ දෙකක් වෙලා. මේවා අපට පාලනය කරන්න පුළුවන් දේවල් නොවෙයි. නමුත් මම විශ්වාස කරනවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ජනාධිපතිතුමාගෙත් දැක්ම තුළ අපි නැවත වතාවක් දේශීය කර්මාන්ත නගා සිටුවීමට ප්‍රමුඛතාවය දීලා කටයුතු කිරීම තුළින් සහ ජීවනෝපායන් ශක්තිමත් කිරීම තුළින් අපිට ඉදිරි අවුරුදු දෙක තුළ නැවත වතාවක් භාණ්ඩ මිල පාලනය කිරීමට, ඉහළ ගිහින් තියෙන මිල පහළ දැමීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා.
ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කිව්වා ගමට යන්න බැරිවෙයි කියලා. ඒක නේද ඇත්ත තත්ත්වය?
පිළිතුර:- හිටපු ජනාධිපතිතුමාට එතුමා හිටපු අවුරුදු පහේදී කරපු කටයුතු නිසා කොහොමත් ගමට යන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසාම තමයි එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණෙත්. එතුමට ගමට යන්න පුළුවන්ම තිබුණනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ඉන්නේ නෑ. ඒ නිසා ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අපේ පැත්තෙන් යම් යම් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. දේශපාලනඥයන් හැටියට අපි ඒක දැකිය යුතුයි. විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනැ. ඕනෑම ආණ්ඩුවකට ඡන්දය දීපු සීයට සීයම ඊළඟ මැතිවරණයෙදි ඡන්දෙ දෙන්නේ නෑ. අලුත් පිරිසක් ඉදිරිපත් වෙනවා. තව පිරිසක් ඈත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ පිළිබඳව හොඳ කියන පිරිසකුත් ඉන්නවා. ජනාධිපතිතුමා දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා ගත්ත ප්‍රතිපත්තිමය තීන්දු සමහර අය හිතාමතාම කඩා කප්පල් කිරීම ව්‍යාපාරිකයන් වෙනුවෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික උවමනාවන්ට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවත් අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන.
ප්‍රශ්නය:- කවුද ඔය ඔබ කියන කඩා කප්පල්කාරයෝ?
පිළිතුර:- අපි දැක්කා පහුගිය කාලේ විශේෂයෙන්ම ඔබට මතක ඇති 2015 ජනවාරි මාසයේ 8 වැනිදා ආණ්ඩු පෙරැළියක් එක්ක ආපු ප්‍රධාන සිරස්තලයක් තමයි මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් බවට පත් කිරීම. එහෙම කළේ රටේ වී අතිරික්තයක් තිබුණ නිසයි. එහෙම අතිරික්තයක් තිබුණේ ඒ මහින්ද රාජපක්ෂ යුගයෙදි ප්‍රමුඛතාවයක් දීලා තිබුණේ දේශීය ව්‍යවසායකයන්ට, දේශීය කර්මාන්තවලට, කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා පොහොර නොමිලේ ලබාදීම, රුපියල් 350ට පොහොර ඒ වගේම කෘෂි කර්මාන්තය ආදායම් බද්දෙන් නිදහස් කිරීම ආදී වශයෙන් කාරණා ගණනාවක් සිද්ධ වුණා. ඒකත් එක්ක රට සහලින් ස්වයංපෝෂිත වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලේ එතුමා කතා කරන්නේ ගොවි ජනතාව නියෝජනය කරන නායකයෙක් හැටියටනේ. නමුත් අවාසනාවට එතුමා ජනාධිපතිවෙලා හිටපු කාලේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට පිට පිට අවුරුදු දෙකක් කෘෂිකර්මාන්තයේ වර්ධන වේගය ඍණ අගයක් ගත්තා. ඒක වසංගත තත්ත්වයක්, නියඟයක්, ගංවතුරක් වගේ තත්ත්වයක් තුළ නොවෙයි. එහෙම වුණේ රජය ගත්ත ප්‍රතිපත්තිමය තීරණ නිසා ඒ තුළින් ගොඩ නැගුණ ආනයනික වෙළෙඳපොළ පාලනය කරන ව්‍යාපාරිකයෝ බිහිවුණා. සුළු වශයෙන් කරපු වී මෝල් හිමියන් නැත්තටම නැතිවුණා. මහා මෝල් හිමියන් බලවත් බවට පත්වුණා. ඔවුන්ගේ සහෝදරයන් ඥාතීන් බලවත් වුණා. ඒවා සියල්ලම සිද්ධ වුණා. ඒක මේ රටේ ජනතාව දන්න දෙයක්. ඒ තත්ත්වය තමයි අපිට වෙනස් කරන්න සිද්ධවෙලා තියෙන්නේ අපේ රජයට. පහුගිය කාලේ වී අලෙවි මණ්ඩලය රුපියල් 29ට 30ට වී මිලදී ගත්තාම ඒ වී දුන්නෙත් මහා පරිමාණ මෝල් හිමියන්ට පමණයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් කුඩා මෝල් හිමියන්ට වී දුන්නේ නෑ. 2015-2020 කාලය තුළ පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්ලේකම් කාර්යාලවලින් තොරතුරු ගත්තොත් කාටද වී දීලා තියෙන්නේ කියලා මනාව ඔප්පු වෙනවා.
ප්‍රශ්නය:- අද රටේ යම් අරාජිකත්වයක් තියෙනවා. ඒකට හේතුව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා නොවෙයි. දේශපාලන අත්දැකීම් අඩුයි. ඒක නේද මේ තත්ත්වයට හේතුව?
පිළිතුර:- අරාජික කියන වචනය මම පිළිගන්නේ නෑ. මේ රටේ අභියෝග ගණනාවක් තියෙනවා. මේ අභියෝගවලට මුහුණ දෙන්න ජනාධිපතිතුමාට ඒ අත්දැකීම් තියෙනවා. එතුමා දීර්ඝ කාලයක ඉඳන් ක්‍රියාකාරී දේශපාලනයක හිටපු නැති කෙනෙක් වුණත් දේශපාලන පසුබිමක් සහිත නායකයෙක්. එතුමා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් හැටියට වැඩ කරලා පරිපාලනය සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් තියෙන නායකයෙක්. එතුමගේ පියත් දේශපාලනඥයෙක්. ඒ නිසා දේශපාලන අත්දැකීම් දේශපාලන දැනුම එතුමාට තියෙනවා. ඒ වගේම දේශපාලන යාන්ත්‍රණය ගම තුළ ගෙනියන්න බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා ඇතුළු තවත් කණ්ඩායමක් ඉන්නවා. එතුමා රාජ්‍ය නායකයා හැටියට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමයි එතුමා කළ යුත්තේ. එය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සිට ප්‍රාදේශීය නායකයන් සතු වගකීමක්. ඒක ඉතාම හොඳින් කළමනාකරණය වෙනවා. අරාජික නොවෙයි අභියෝග ගණනාවක් තියෙනවා. ඒ අභියෝගවලට මුහුණදීමේදී අපට නොසිතූ අභියෝග ගණනාවකට මුහුණ දෙන්නත් වුණා. ඒ තත්ත්වය කළමනාකරණය කරන්න ලෝකයේ කොහේවත් පූර්වාදර්ශ නෑ. සියලුම රාජ්‍යයන්ට මේකට මුහුණ දෙන්න වුණා. රටක් හැටියට අපි ලෝකයෙ කොවිඩ් පාලනය කිරීම සාර්ථකව කළ ප්‍රධාන රටවල් 30 තුළ අපි ඉන්නවා. ඒ විදියටම ආර්ථිකයත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන ඒකාන්ත විශ්වාසය අපට තියෙනවා.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා අනුරාධපුරයට ගිහින් කියනවා ‘අලුත් ව්‍යවස්ථාවක් ගේනවා’ කියලා. ඇත්තටම රටේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්නය ව්‍යවස්ථාවද?
පිළිතුර:- අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා එතුමා පොරොන්දු වුණේ ජනාධිපතිවරණයෙදි. එතුමා දිවුරුම් දුන්නේ ලෝකයේ කොහේවත් කොවිඩ් එකක් නැති වෙලාවක. ඒ නිසා අනුරාධපුරයෙදි එතුමා දිවුරුම් දෙමින් ඒ ප්‍රතිඥාව දුන්නා. අලුත් ව්‍යවස්ථාවක් අලුත් මැතිවරණ ක්‍රමයක් ජනතාව බලාපොරොත්තු වුණා. මේ වසංගතය හමුවේ එවැනි කරුණු දෙවැනි කරගෙන ප්‍රමුඛතාවය දිය යුතු ඒවාට ප්‍රමුඛතාවය දෙමින් අපිට කටයුතු කරන්න වුණා. සමහර සැලසුම් අපි ආපස්සට අරගෙන තියෙනවා. සමහර සැලසුම් අපි වෙනස් කරලා තියෙනවා. ඉදිරියේදිත් ප්‍රමුඛතාවය දිය යුතු ඒවාට ප්‍රමුඛතාවය දෙනවා. බඩු මිල පාලනය කිරීම වගේ මාතෘකා ගත්තොත් අපි ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීවරුන් හැටියට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරනවා. මාසයකට සැරයක් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා.
ප්‍රශ්නය:- මාළුවල ගණන් ඇහුවම ඇඟේ මාළු මුහුදෙ නටනවා. රට වටේම මුහුද තිබිලත් ඇයි මාළු ගිනි ගණන්?
පිළිතුර:- හැමෝම අහනවා ඇයි අඩු මිලකට මත්ස්‍ය සම්පත දෙන්න බැරි ඇයි මාළු ආනයනය කරන්නේ කියලා. බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි අපි බහුලවම ගන්නා මත්ස්‍ය විශේෂ සියයට 99ක්ම ආනයනය කරන ඒවා. වැඩියෙන්ම ජනතාව ආහාරයට ගන්නා හාල් මැස්සන් සියයට 99ක්ම මෙරටට ආනයනය කරන්නේ, කට්ට කරවල සියයට සීයක්ම ආනයනය කරන්නේ, තලපත් සියයට 90ක්ම ආනයනය කරනවා. මේ රටේ තියෙන මත්ස්‍ය විශේෂ වන කෙළවල්ලන්, බලයන් හුරුල්ලන්, වැව් මාළු තියෙනවා. අපේ අපනයන ආනයන පරතරය ගත්තොත් පහුගිය කාලය තුළ වේගයෙන් අඩුවෙලා අපනයන ආනයනය අතර පරතරය ඩොලර් මිලියන 25ට අඩුවෙලා තිබුණ 2020 වෙනකොට. අපි පළමු වතාවට දේශීය මත්ස්‍ය සම්පත ජනතාවට පහසුවෙන් ලබාදීම සඳහා ධීවර සංස්ථාව හරහාත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ හරහා හොඳ මිලක් ධීවරයන්ටත් ලැබිලා තියෙනවා. පහසු මිලට ජනතාවට දෙන්නත් දැන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්