අපේ රට සහ රණවිරුවෝ වෙනුවෙන් කතා කළේ අපි


පසුගිය දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ සමුළු වාරය සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු කීප දෙනෙක් සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා, යුද අපරාධ කළ බවට අඛණ්ඩව ජාත්‍යන්තර ප්‍රජාවෙන් නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කිරීම මේ සහභාගිත්වයේ ප්‍රධාන අරමුණ බව ඒ මහතා කියයි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ ‘ඉරිදා ලංකාදීප’ ය කළ සාකච්ඡාවයි.  

 


ප්‍රශ්නය:- ජාත්‍යන්තරයෙන් මොන චෝදනා එල්ල වුණත් රණවිරුවන් ආරක්ෂා කරන බවට වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම කියනවා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රජය මේ ආකාරයේ පැහැදිලි ස්ථාවරයක් දරන අතරතුර ඇයි ඔබලා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ?.  

පිළිතුර:- රජය කියන්නේ අමූලික බොරු. මොකද අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න වුවමනා කරන මංමාවත් සියල්ලක්ම මේ රජය විසින් විවෘත කරලා තියෙන නිසා. ඇමෙරිකාව අපේ රටට එරෙහිව ගෙනාපු 30 (1) කියන යෝජනාව පාදක වුණේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙ ඕ.අයි.එස්.එල්. (OISL) කියන රිපෝට් එක. මේ වාර්තාවේ තියෙන්නෙ යුද්ධයේ අවසාන කාලයේදී අපේ හමුදාව යුද අපරාධ කළ බවට සාක්ෂි තියෙනවා කියලයි.  


හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මේ යෝජනාව පිළිඅරගෙන අර ඇමෙරිකාව අපට විරුද්ධව ඉදිරිපත් කරපු යෝජනාවට අනුග්‍රහයක් දැක්වූවා. ලෝකෙ කිසිම රටක විදේශ ඇමැති කෙනෙක් මේ විදියට කටයුතු කරලා නෑ. ජනාධිපතිතුමා ඇත්තටම අපේ හමුදාව ආරක්ෂා කරනවා නම් එතුමා මේ යෝජනාවට විරුද්ධ බව මානව හිමිකම් සමුළුවෙ ඉන්න තමන්ගේ නියෝජිතයා හරහා ජාත්‍යන්තරයට කියන්න ඕනෑ. නමුත් එතුමා එහෙම කළේ නෑ. ඒ වෙනුවට අපි තමයි මේ දේවල් කිව්වෙ. අපි කියනවට වඩා රජය ඒ දේ කියන කොට තමයි ඒකෙ වැඩි බලපෑමක් තියෙන්නෙ.  

 


ප්‍රශ්නය:- රජය නියෝජනය කරමින් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වුණු නියෝජිත කණ්ඩායමේ කටයුතු ගැන සෑහීමකට පත්වෙන්න බෑ කියල ද ඔබ කියන්නේ.?  
පිළිතුර:-
කිසිම විදියකින් සෑහීමකට පත්වෙන්න බෑ. අපේ අාණ්ඩුව මේ ඇමෙරිකානු යෝජනාවට සම අනුග්‍රහය දක්වපු නිසා කිසිම රටක් අපිට පක්ෂව කතා කරන්නේ නෑ. හැම රටක්ම කියන්නෙ මේ යෝජනා​ෙව තියෙන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේ සමුළුවේදී රාජ්‍ය නොවන සංවිධානත් කතා කරනවා. ඒ අයට කතා කරන්න දෙන්නෙ මිනිත්තු එකහමාරයි. එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන පහළොවක් විතර මේකෙදි කතා කරනවා. අපි ​ෙම් සමුළුවට යන්නෙත් එක රාජ්‍ය නොවන සංවිධානයක් විදියට. බර්මින්හැම් නුවර තියෙන බෞද්ධ විහාරයේ කස්සප හිමියන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි වෙච්ච ඒ සංවිධානයෙ දුන්නෙ. අර මම කිව්ව එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන පහළොවම මේ සමුළුවේදී කිව්වේ අමූලික බොරු. ජිනීවා යෝජනාව සාධාරණීකරණය කරන්න තමයි ඒ ගොල්ලො කතා කළේ. අපේ ආණ්ඩුව නියෝජනය කරමින් ගිහින් හිටපු කිසි කෙනෙක් ඒවට විරුද්ධව කතා කළේ නෑ. එච්චරට අපි නිවට වෙලා. අපි තමයි අපේ රට සහ රණවිරුවා වෙනුවෙන් කතා කළේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී වගේම සමාන්තර රැස්වීම්වලදීත් අපි ඒ වෙනුවෙන් කටයුතු කළා.  


ප්‍රශ්නය:- මේ පාර සමුළුවේදී මානව හිමිකම් මහකොමසාරිස් පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වීමක් සිදු වුණාද?  
පිළිතුර:-
තානාපති කාර්යාලයෙන් අපේ රට සම්බන්ධයෙන් කිසිම මත පළ කිරීමක් කළේ නෑ. ඒත් කොටි හිතවාදී සංවිධාන ඔක්කොම කතා කළේ ලංකාව ගැන. ඒ සංවිධානවල අය කියන කතා බොරු බව අපි මේ සමුළුවේදී කිව්වා. රාජ්‍ය නොවන සංවිධානයක් හැටියට අපි විතරයි මානව හිමිකම් කොමසාරිස්වරයට විරුද්ධව හඬ නැගුවේ. කොමසාරිස්ගෙ වාර්තාවෙ අපේ ආරක්ෂක අංශ ගැන එල්ල කරලා තිබුණු හැම චෝදනාවක්ම අසත්‍යයි කියලා අපි ලිඛිතව ඔප්පු කළා. ඒ වාර්තාව තමයි මම පහුගිය මාර්තුවල තිබුණු සමුළුවට ඉදිරිපත් කළේ. ඒ ලියුම ඒගොල්ලො ලැබුණු බව පිළිගත්තා.  

 


ප්‍රශ්නය:- ඒකට ප්‍රතිචාර දැක්වීමක් සිදුවුණාද?  
පිළිතුර:-
තවම ප්‍රතිචාර දැක්වුවේ නෑ. අපිත් හැමතිස්සෙම අහන්නෙ ඒකට මොකද වුණේ කියලයි. මානව හිමිකම් මහ කොමසාරිස්ගෙ මේ ඕ.අයි.එස්.එල්. වාර්තාව සමුළුවට ඉදිරිපත් කරන්න දවස් දහයකට (10) කලින් අපේ රටේ විදේශ අමාත්‍යාංශයට ආවා. මහ කොමසාරිස් ඒ වාර්තාව අපේ රටට එව්වෙ ආණ්ඩුවේ නිරීක්ෂණ ලබා ගන්න. එතැනදීවත් අපේ අය මේ යෝජනාව අසත්‍ය එකක් කියලා කිව්වෙ නෑ.  

 


ප්‍රශ්නය:- මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ මේ වාර්තාව ආණ්ඩුව විසින් නිල මට්ටමින් ප්‍රතික්ෂේප නොකර තිබෙන තත්ත්වයක මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙසට ඔබලා මේ සමුළුව හමුවේ කරන ඉල්ලීම් ප්‍රතිඵලදායක වේ යැයි කියා හිතනවාද?  
පිළිතුර:-
ප්‍රතිඵලයක් තියෙනවනෙ. මොකද අනිත් රටවල් මේක අහගෙන ඉන්නවනේ. ඔයගොල්ලො කියන්නෙ අපිටත් කටවහගෙන ඉන්න කියලද? නෑනේ. මේ වාර්තාවෙන් කියන්නෙ අපේ හමුදාව යුද අපරධ කළා කියන්නෙ. අපේ රටේ විදේශ විනිසුරුවරුන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතුයි කියන්නෙ.  


මේ ඇමෙරිකානු යෝජනාව ගේන්න පදනම් වුණු මානව හිමිකම් මහ කොමසාරිස්ගෙ ඕ.අයි.එස්.එල්. වාර්තාව බොරු බව දැන දැනත් අපිට නිහඬව ඉන්න බෑ. මේ රටේ ජනතාව හා රණවිරුවන් වෙනුවෙන් පුංචිම හරි හඬක් නගන්න තමයි අපි එතෙන්ට යන්නේ. විදේශ ඇමැතිවරයාගේ ඉඳන් ඒ අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් මේ ද්‍රෝහිකමට වගකිව යුතුයි කියලයි මම කියන්නේ.  

 


ප්‍රශ්නය:- ඔබලට මේ කරුණු කාරණා, ගැන විදේශ ඇමැතිවරයා එක්ක සාකච්ඡා කරන්න ලැබුණෙ නැද්ද?  
පිළිතුර:-
කොච්චර ඉල්ලුවත් ලැබුණෙ නෑ. ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න එකපාරක් අවස්ථාව ලැබුණා. නමුත් මේ ළඟදී එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. කොහොම වුණත් ආණ්ඩුව දැන් ඉන්න ස්ථාවරයෙන් පිට යයි කියලා අපි හිතන්නෙ නෑ. අපි කැමැතියි විදේශ අමාත්‍යාංශය සමග කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා නම්.  

 


ප්‍රශ්නය:- මෙවර මානව හිමිකම් සමුළු​ෙව්දී ඔබලගෙ රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් සහභාගි වුණු කණ්ඩායමට ලැබුණේ මොන වගේ අවස්ථාවක්ද?  
පිළිතුර:-
එක රාජ්‍ය නොවන සංවිධානයකට කතා කරන්න තත්පර අනූවයි හම්බ වෙන්නේ. අපේ කණ්ඩායමේ මට අමතරව ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත්, ජිනදාස, නිමලා ලියනතන්ත්‍රි, ජනත් විමල, මාරි විලියම්ස්, එරික් මාකවිට යන අය හිටියා. ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ වසන්ත කීර්තිරත්න මහතා තමයි අපිට අනුග්‍රහකත්වය දැක්වුවේ. මේ සියලු දෙනාටම මම විනාඩි එකහමාර බැගින් කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අපි සමාන්තර රැස්වීම් දෙකක් පැවැත්තුවා. එක රැස්වීමක් තිබ්බේ අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණු යෝජනාව නීත්‍යානුකූල නොවේ කියන මාතෘකාව යටතේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතයො, විදේශ මාධ්‍යවේදියො, දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයො ඒකට ආවා. ඒ අය අපෙන් එක එක ප්‍රශ්න අහද්දී අපි ඉතා ලස්සනට මේ වාර්තාවේ ඇති අසත්‍යභාවය පෙන්නලා දුන්නා. දෙවැනි සමාන්තර රැස්වීම තිබ්බෙ අපේ රටේ සුළු ජාතීන්ට අසාධාරණයක් වෙනවද කියන තේමාව යටතේ. එතැනටත් කොටි ඩයස්පෝරාවේ නියෝජිතයො තරුණ පිරිසක් එක්ක ආවා. එහෙම ආපු පිරිස අතර හිටපු එක තරුණයෙක් නිතරම කිව්වා අපේ සුළු ජාතික තරුණයන්ව ඝාතනය කරනවා. දෙමළ ජාතීන්ට ස්වයංපාලනයක් දෙන්න ඕනෑ වගේ කතා. නමුත් මම දන්නවා මේ තරුණයා අපේ රටට එකපාරක්වත් ඇවිත් නෑ කියලා. මම එයාව දන්නෙ එයා මීට කලින් තිබුණු මානව හිමිකම් රැස්වීම්වලදී අපේ රටට මේ චෝදනා ඉදිරිපත් කරපු නිසයි. එයත් මේ රැස්වීමට ඇවිත් හිටියා. මගේ කතාවේදී මම කිව්වේ අපේ රටේ ඉන්න දෙමළ මිනිස්සුන්ගෙන් සීයට පනහකට වඩා ඉන්නෙ දකුණෙ. දැන් ඉන්න අග්‍රවිනිශ්චය කාරතුමා දෙමළ, හිටපු මහ බැංකු අධිපතිවරයා දෙමළ, මහා භාණ්ඩාගාරයේ ලේකම් දෙමළ, දෙමළ, මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන්, නීතිඥයො වගේ විශාල පිරිසක් ඉන්නවා කියලා. මම මේ කතාව කිව්වට පස්සේ අර තරුණයා එක ප්‍රශන්යක්වත් ඇහුවේ නෑ. මම රැස්වීමෙන් එළියට එනකොට එයා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ විද්‍යුත් තැපැල් ලිපිනය (ඊමේල්) ඉල්ල ගත්තා. පස්​ෙස් එයාගේ ඊමේල් ඇඩ්රස් එකත් මට දීලා අපේ රටේ තව විස්තර එයාට එවන්න කියලා මට කිව්වා. උගත් තරුණයො හැටියට ඒ ගොල්ලන්ට තේරෙනව අපි කියන්නෙ ඇත්ත කියලා. කොහොම නමුත් අපිට මේ ගමනෙදි විශාල බලපෑමක් කරන්න පුළුවන් වුණා.  

 


ප්‍රශ්නය:- වයිකො නැමැති දකුණු ඉන්දියානු දේශපාලනඥයා හා අනුරාධා යහම්පත් මහත්මිය අතර කෙරුණු සංවාදයක් ගැනත් මාධ්‍යවල තොරතුරු වාර්තා වෙලා තිබුණා. එතනදී මොකක්ද සිද්ධ වුණේ.  
පිළිතුර:-
වයිකො කිව්වා උතුරු කොරියාවට කළා වගේ ලංකාවටත් සම්බාධක පනවන්න ඕනෑ කියලා. පස්සෙ අනුරාධා යහම්පත් මහත්මිය එයා ළඟට ගිහින් ඇහුවා ඔයා කොහෙද කියලා. වයිකො කිව්වා එයා දකුණු ඉන්දියාවෙ කියලා. පස්සේ එතුමිය කිව්වා ඔයා දකුණු ඉන්දියාවෙ නම් ඇයි අපේ රට ගැන කතා කරන්නෙ. ඔයාගෙ රට ගැන බලාගන්නකො කියලා. එතනදී වයිකො ඉතාම අසීරු තත්ත්වෙකට පත්වුණා.  

 


ප්‍රශ්නය:- අපේ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවේදි කරපු කතාව උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා මානව හිමිකම් සමුළුවේදී සාකච්ඡාවට ලක්කිරීම ගැනත් ආන්දෝලනයක් ඇති වුණා. එතනදී ඇතිවුණේ මොන වගේ තත්ත්වයක්ද?  
පිළිතුර:
- අපේ සමාන්තර රැස්වීමේදී ඩේවිඩ් වේලි කියන බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියා මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවා. ඔබතුමාලා මාර්තුවල ඉඳන් මෙහෙට ඇවිත් කියනවා ලංකාවේ හමුදාව යුද අපරාධ කළේ නෑ කියලා. නමුත් ඔබතුමාලගෙ හිටපු යුද හමුදාපතිතුමා කියලා තියෙනවා හමුදාවෙ සමහර අය යුද අපරාධ කරලා තියෙනවා කියලා. දැන් කවුද බොරු කියන්නේ? කවුද ඇත්ත කියන්නේ කියලා එතුමා මගෙන් ඇහුවා. මම එයාට කිව්වා යුද්දෙ ඉවර වෙලා අවුරුදු අටකට පස්සෙ එයා (සරත් ෆොන්සේකා) මේ කතාව කියන්නේ. අද එයා මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් විදියට. පහුගිය ඡන්දෙන් පැරදුණු එයාව පාර්ලිමේන්තුවට අරගෙන කැබිනට් ඇමැති ධුරයක් දීලා තියෙන්නෙ මේ වගේ දේවල් කියව ගන්න තමයි. ඒ නිසා අපි එයාගෙ ප්‍රකාශ බරපතළ විදියට ගණන් ගන්නේ නෑ කියලා මම කිව්වා.  

 


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මහතා මීට දවස් කීපයකට උඩදී යාපනේදී කියලා තිබුණා යුද්ධය පැවැති කාලයේදි වගේම යුද්ධය අවසන් වුණාට පසුවත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙතින් සමහර ‘අපරාධ’ ක්‍රියා සිදුවෙලා තියෙනවා කියලා. ඇත්තටම හමුදා සාමාජිකයන් යුද්ධයට මුවාවෙලා අපරාධ ක්‍රියා කරලා තියෙනවා නම් ඒවා ගැන හොයලා බලලා දඬුවම් දීම සාධාරණ නැද්ද?  
පිළිතුර:-
බැසිල් රාජපක්ෂ මහත්තය කවදාවත් ඒ වගේ කතාවක් කිව්වෙ නෑ. මම එතුමගෙ කතාව ඇහුවා. එතුමා කිව්වෙ යුද්දෙදි අපරාධ සිදු වුණා නම් ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා. ඒක අපිත් කියනවා. ඒත් අපි කියන්නෙ ඒවා යුද අපරාධ නෙවෙයි. යුද අපරාධ කියන්නෙ සැලසුම් සහගතව උසස් හමුදා නිලධාරීන්ගෙ නැත්නම් රජයේ අනුදැනුම ඇතිව කරන අපරාධවලට. ඕනෑම යුද්ධයකදී අපරාධ වෙන්න පුළුවන්. ඒවා කරන අයට දඬුවම් කළ යුතුයි. ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුවෙදි ඒකට වැරැදිකරුවන් වෙච්ච හතර දෙනාම එල්ලල මරන්න නියම වුණා. ඒ වගේ වැරැදි කරපු සොල්දාදුවන්ට දඬුවම් දුන්නු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වෙත් අපරාධ කරපු අය ඉන්නවා නම් දඬුවම් දෙන්න ඕනෑ කියලා. ඒක අපිත් කියනවා. අද උතුරේ දේශපාලනඥයො හමුදාවට විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් විද්‍යා ඝාතන නඩුව අරන් බලන්න. යුද්ධය තියෙන කාලෙ එයාගේ පවුල ජීවත් වුණේ දකුණෙ සිංහලයොත් එක්ක. ඒ කාලේ එයාට කිසිම කරදරයක් වුණේ නෑ. නමුත් එයාව යාපනයේදී දූෂණය කරලා මරලා දැම්මෙ දෙමළ තරුණයො කීප දෙනෙක්. මරලා දැම්මා විතරක් නෙවෙයි එයාව දූෂණය කරපු එක වීඩියෝ කරලා ඒක යුරෝපයේ අයට නරඹන්න විකුණන්න පටන් ගත්තා. ඒ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිදහස් කරන්න උදව් කළා කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ව අත්අඩංගුවටත් ගත්තා. නමුත් ඒ සැකකරු ගහේ බැඳලා තියෙද්දී එයාව නිදහස් කළේ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය. නමුත් එයා අද නිදැල්ලේ හැසිරෙනවා. එයා ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති ධුරයට සුදුසු ද කියන එකත් ප්‍රශ්නයක්. අපි කියන්නේ එයාවත් අත්අඩංගුවට ගන්න කියලා. යුද්දෙන් පස්​ෙස් යාපනේ කොච්චර දූෂණ සිද්ධ වුණාද? මේවා කළේ හමුදාවද? නෑ. ඒ නිසා හමුදාවට චෝදනා කරන එක වැරදියි.  

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ