අපේ සටන අවසන් නෑ


ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ ප්‍රධාන ලේකම්

සංජීව ධම්මික 

සිවිල් සංවිධාන සතුව විශාල බලයක් ගොඩ නැඟී තිබේ. එකී සිවිල් සංවිධාන නියෝජිතයෝ ‘ජාතික සිවිල් සංවිධාන පෙරමුණ’ නමින් නව පෙරමුණක් ඉකුත්දා 2 පිහිටුවා ගත්හ. එහි ‘අරමුණ’ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර: ජාතික සිවිල් සංවිධාන පෙරමුණ බිහිවෙන්නේ ​කොහොමද?


පිළිතුර:- මේක ඇත්තටම රටේ ඔඩු දුවන අල්ලස, දූෂණය, අක්‍රමවත් පාලනය වගේම සුදුස්සාට සුදුසු තැන නොලැබීම ආදී කාරණා අපි අවුරුදු 15 ක 20 ක් තිස්සේ දැක්කා. එදත් මේ අඩුපාඩු සිවිල් සංවිධාන පෙන්වා දුන්නා. ඒවා නීති අංශවලට යොමු කළා. සමහර ඒවට යහපත් ප්‍රතිචාර ලැබුණා. නමුත් වැඩියෙන්ම ලැබුණේ අයහපත්  ප්‍රතිචාර. ආණ්ඩුවල බලපුළුවන්කාරකම්වලට සමහර දේවල් යටපත් කළා. ඒ නිසා විධායකය, ව්‍යවස්ථාදායකය හැමදාම අපිත් එක්ක හැප්පෙනවා. අපට අධිකරණයේ සහාය විතරයි ලැබුණේ. කෙහෙළිය රඹුක්වැල්ලගේ සිද්ධියේදී අපට අධිකරණයේ සහාය ලැබුණා. අධිකරණයේ ස්වාධීනත්වය රැකුණ නිසා තමයි අද ලංකාවේ පළමු වතාවට කැබිනට් ඇමැතිවරයෙක් බන්ධනාගාරගත වෙන්නේ.


ප්‍ර:දැන් සටන අවසන්ද?


පිළිතුර:- නැහැ. තව මෙහෙයුමක් තියෙනවා. ඒක මාස තුනක් තිස්සේ අපි කරනවා. මේ වන විට අල්ලස් කොමිසමට බාර දීලා තියෙනවා. ඒක විභාග කරනවා කියලා අපට ලියුමකුත් ආවා. රුපියල් කෝටි තුන්දහස් එකසිය විසිහතක ඉන්ධන වංචාවක් ඒක.


ප්‍ර:ඔය ඔබ කියන වංචාව කොහොමද වෙලා තියෙන්නේ?


පිළිතුර:- ඒක ක්‍රම කිහිපයකට වෙලා තියෙනවා. දැන් එතැන ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමට අනුව තෙල් බැරල් එකක් ගන්න ඕනැ ඩොලර් 7.4. 80. මේ අය ගිවිසුමේ තියෙන ආයතනයෙන් තෙල් ටිකක් ගන්නවා. ඩොලර් 17 ට.  ඒ වගේම ඩොලර් 19 ට 20 ට, 24 ට ගන්නවා. ඒ විදියට ටික කාලයක් ගිවිසුම ගහපු ආයතනයෙන් අරගෙන තව ආයතන දෙකකින් විතර ගන්නවා. අර ඩොලර් 7. 4. 8 ඉක්මවා ගිහින්.


ප්‍ර:ඔය සිද්ධිය වෙන්නේ?


පිළිතුර:- මේක වෙන්නේ 2022 දී. මේක කෝප් කමිටුවට දැම්මා. නමුත් ඒගොල්ලෝ මේක ඉදිරියට ගෙනිච්චෙ නෑ. ඒ ගොල්ලෝ ඔක්කොම යාළුවොනේ. නමුත් 2022 විගණකාධිපති වාර්තාවේ තියෙනවා මේ ක්‍රියාදාමය නිසා වසරකට පාඩු වෙනවා කෝටි තුන්දාහක්. මේ වංචාව ගණනය කළාම කෝටි තුන්දහස් එකසිය විසිහතක් වෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකත් මේකට පාවිච්චි කරලා තියෙනවා. බාල තෙල් ගෙනල්ලා සිංගප්පූරු මිල දාලා තියෙනවා. එතැනින් කෝටි එක්දහස් ගානක පාඩුවක් වෙලා තියෙනවා. 
මේක අපේ  ප්‍රවාහනයට බලපාලා තියෙනවා. එළවළු මිලට, විදුලි බිලට බලපාලා තියෙනවා. විදුලිබිල ගත්තොත් 2022 ඉඳන් මේ වෙනකොට සියයට 500 කින් විතර වැඩිවෙලා තියෙනවා. ඉන්ධන වැඩිවීම නිසා තමයි එහෙම වුණේ. එතැන පාඩුව කෝටි පන්දහට වැඩියි. මේ වංචා දූෂණවලට එරෙහිව තමයි ජාතික සිවිල් සංවිධාන පෙරමුණ බිහි වෙන්නේ. 
අපි දෙසැම්බර් 18 දා විහාර මහා දේවි උද්‍යානයේ සතුටු උයනේ බිම ඉඳගෙන තමයි මේ ගැන සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවෙන් පස්සේ මාසයක් ඇතුළත සංවිධාන කටයුතු මෙහෙයවලා එකඟතා ගිවිසුමක් හදාගත්තා. ඒ විදියට අපි වැඩ කරගෙන යනවා.


ප්‍ර:‘සිවිල් සංවිධාන හොරකම්’ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ දේශපාලනඥයන්ට. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් බන්ධනාගාරගත කරලා තියෙන්නේ. නිලධාරීන්ගේ සොරකම් ගැන ඇයි ඔබලා නිහඬ?


පිළිතුර:- ඇමැතිවරුන්ට පමණක් හොරකම් කරන්න බෑ. අමාත්‍යාංශයේ ලේකම් කොන්ද කෙළින් තියාගෙන හිටියා නම් ඇමැති කෙනෙකුට හොරකම් කරන්න බෑ. මුදල් රෙගුලාසි අනුව ලේකම්වරයා කාටයුතු කරනවා නම් වැරැදි වැඩ වෙන්නේ නෑ. මේවා කෙරෙන්නේ කණ්ඩායම් හැටියටයි.


හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගත්තා කියලා අපි නිහඬ වුණේ නෑ. අපි දවස් දෙකක් තිස්සේ ක්‍රියාත්මක වෙලා කෙහෙළිය රඹුක්වැල්ල දැන් ඉන්න ඇමැති ධුරයෙන් ඉවත් කෙරෙව්වා. අපි පහුගිය බදාදා ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා කිව්වේ, කැබිනට් මණ්ඩලය කියන්නේ සාමුහිකව තීන්දු ගන්න තැනක්. එහෙම නම් ඒ ඔක්කොම මේකට වග කියන්න ඕනැ කියලයි.


ප්‍ර:කෙහෙළිය රඹුක්වැල්ල බොහෝ දේ කර තිබෙන්නේ කැබිනට් අනුමැතියට යටත්ව. දැන් මෙතැන නීතිමය ගැටලුවක් පැන නගිනවා නේද?


පිළිතුර:- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටිය වැරැදියි. ඔවුන් හදිසි මිලදී ගැනීම්වලට ගියා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ‘නෑ’ එතකොට එතැන බොරුවක් කළේ. ඒ වගේම කැබිනට් ලේකම් ඉන්නවනේ. එහෙමනම් ඔහු මේකට වගකියන්න ඕනැ. කැබිනට් ලේකම්ට කොතරම් කැබිනට් පත්‍රිකා එනවාද. ඔහු තමයි මේවා දානවද? නැද්ද? කියලා තීරණය කරන්නේ. එතකොට ඔහු වගකියන්න ඕනෑ . බබාලා නොවෙයිනේ.


මට ලැබිල තියෙන තොරතුරුවලට අනුව මේ කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිතුමා විතරක් නිරීක්ෂණයක් දාලා තියෙනවා. අනිත් අය තොත්ත බබාලා ද? කැබිනට් එකේ ඔක්කොම අත උස්සලා කියලා පේනවනේ. කැබිනට් නිරීක්ෂණයක් දාලා තිබුණා නම් නිවැරදිකරුවන් වෙන්න තිබුණා.


ප්‍ර:කැබිනට් පත්‍රිකාව හදන්නේ අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන්. ඇමැතිවරයා කරන්නේ ඉදිරිපත් කිරීම. ඇමැතිවරයා දන්නේ නිලධාරීන් කියන ඒවා?


පිළිතුර:- ඇමැතිවරයාගේ උපදෙස් මත තමයි ලේකම්වරයා මේක හදන්නේ. ලේකම් හදනවා. ඇමැතිවරයාට තියෙන්නේ අඩුපාඩු බලලා ඒවා නිවැරැදි කරලා කැබිනට් එකට ඉදිරිපත් කරන්නයි. වැරැදි නම් අත්සන් නොකර ඉන්නවා. කැබිනට් පත්‍රිකාවට දෙන්නම සහ සම්බන්ධයි.


ප්‍ර:ඔබ නීති විශාරදයෙකු නොවුණත් මේවා ගැන කතා කරන නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. කැබිනට් එක කියන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය සම්බන්ධ තැනක්. එතැනට අභියෝග කරන්න අධිකරණයට පුළුවන්ද? මේක ව්‍යවස්ථා අර්බුදයකට හේතුවක් නොවෙයිද?


පිළිතුර:- නෑ. නෑ. මේකෙන් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවෙන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අණපනත් තියෙනවා මේවා තියෙන නිසා තමයි සාධාරණය ඉටු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පොදු දේපොළ පනත කෙහෙළිය රඹුක්වැල්ලට ඇප නොලැඹුණේ පොදු දේපොළ පනත නිසා. ආණ්ඩුව විදුලිබල පනත වගේ පනත් වෙනස් කරගෙන යනවා. එහෙම කරන්න අවශ්‍ය නෑ. මේ නීති ටික නිලධාරීන් රකිනවා නම් පනත් සංශෝධනය කරන්න වෙන්නේ නෑ.


ප්‍ර:මෙතැනින් එහාට මොකක්ද ඔබලාගේ වැඩපිළිවෙළ?


පිළිතුර:- වංචා දූෂණ හෙළිදරව් කිරීම නිසා රටේ ජනතාවට සෙතක් සැලසෙනවනේ. අයවැය පරතරය තියෙන්නේ වංචා, දූෂණ නිසා. අය වැය පරතරය ගත්තොත් ට්‍රිලියන දෙකක් විතර තියෙනවා. දැන් බලන්න අමාත්‍යාංශවල වැය ශීර්ෂය පුදුමාකාර ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සීයයට එක්දහස් ගණනකින්  වැඩිවෙලා තියෙනවා. ඒ 2022ට සාපේක්ෂව. පාස්පෝට් එකේ ගාන වැඩි කළා.


අපි ඒක කිව්වා මාස දෙක තුනකට කලින්. හෙට අනිද්දා වෙනකොට ලයිසන්, ඉන්ෂුවරන්ස් වැඩිවෙනවා. මොකද මේ ට්‍රිලියන දෙක රුපියල් වලින්ම එකතු කරගන්න එපැයි. තව ඉදිරියේදී භාණ්ඩාගාර බැඳුම්කර භාණ්ඩාගාර බිල්පත් ඉහළ පොලියකට නිකුත් කරයි. අන්න එතකොට  දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරගන්න පුළුවන් වෙයි. රාජ්‍ය බැංකු දෙක දැන් ගොඩක් කඩා වැටිලා තියෙන්නේ. ඒ තරමට ආණ්ඩුවේ බැංකුවල සල්ලි ටික ඇදගෙන තියෙන්නේ.


ප්‍ර:ඔබලත් සක්‍රිය දේශපාලනයට එනවා කියලා ප්‍රකාශ කරලා තිබුණා?


පිළිතුර:- ඔව්. පහුගිය ජනවාරි 19 වැනිදා අපි ප්‍රකාශයට පත් කළා දේශපාලනයට එනවා කියලා. අපි දැනටමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකුත් හදාගෙන යනවා. අපි මෙතැනදී ආදර්ශයට ගන්නේ චීනයේ කොයිෂික් ප්‍රදේශයේ තියෙන දේශපාලන ක්‍රමය. චීනය දියුණු වුණේ ඉස්සර අපේ රටේ තිබුණ ගම් සභාව, කෝරල සභාව, කෝරල බුද්ධි මණ්ඩපය හා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව. අපි මෙතැන කෝරලයක් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අපි එහෙම කෝරල ක්‍රමයක් හදනවා. එහෙම වුණාම ගමට ව්‍යවසායකයෙක් හැදෙනවා. ගමට පොළක් කියන සංකල්පයක් මේක ඇතුළේ තියෙනවා.


අපි මේක දැන් මාස තුන හතරක් තිස්සේ සාර්ථකව කරගෙන යනවා. දිවුලපිටියේ වැල්ලම්පිටිය කියන කොට්ඨාසයේ ඒවා තුළින් අපි මුළු රටම ආවරණය කෙරෙන වැඩපිළිවෙළක් හදනවා.


ප්‍ර:සාර්ථක වෙයිද?


පිළිතුර:- අනිවාර්යයෙන්ම ‘225 ම එපා’ කියලනේ මිනිස්සු කියන්නේ. අලුත් මිනිසුන්ට, නැවුම් වැඩපිළිවෙළකට ලොකු ඉඩක් රටේ තියෙනවා.

 

 

 

සාකච්ඡා කළේ

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්