අමතක කරලමු පැරණි කතා


නුවර වැවේ බැම්ම ගැන මත ගැටුම

ඉකුත් සතියේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ මාර්තු 27 වැනිදාය. දිස්ත්‍රික්ක කිහිපයකම සංවර්ධන කමිටු රැස්වීම් එම සතියේ පැවැත්විණි.

අනුරාධපුර පූජා නගරයට අයත් නුවර වැව බැම්ම මතින් වාහන ගමනා ගමනයට අවසර දෙන ලෙස සංවර්ධන කමිටුවේ සභාපති ලෙස පත්ව සිටින ඇමැති වසන්ත සමරසිංහ කළ ඉල්ලීමක් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළ බව පවසා ඇමැති වසන්ත සමරසිංහ ආවේගශීලීව අදහස් දැක්වීම සමාජ මාධ්‍ය තුළද විවිධ ප්‍රතිචාරවලට ලක් වූ සිද්ධියක් විය.

මෙම වැව් බැම්ම මතින් ඇති මාර්ගය වසර 15 ක් තිස්සේ වසා ඇති නිසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය වුවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැමිණ නිරීක්ෂණය කර පවසා තිබුණේ මාර්ගය පයින් යාම සඳහා පමණක් විවෘත කළ හැකි බවය. මේ සම්බන්ධ  කතාබහේ දී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසා සිටියේ 1889 වසරෙන් පසු මෙම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර නොමැති බවය. මෙහිදී දේශපාලන අධිකාරියේ ප්‍රධානියා වන ඇමැති වසන්ත සමරසිංහ විමසන්නේ පාර විවෘත කිරීමේ අයිතිය ඇත්තේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවකින් වැඩක් නැති බවය.

වැව් බැම්ම උඩින් වාහන යාමේ අවශ්‍යතාවක් නෑ.....’ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා එහිදී කියා සිටියේය.

‘ඒක තීරණය කරන්න ඕනෑ කවුද? වාහන යාමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනෑ වාරිමාර්ග අධ්‍යක්ෂ නෙවෙයි. කැඩුණොත් හදන්න වෙන්නෙත් අපට. වාරිමාර්ග අධ්‍යක්ෂ ඒ තීන්දුව ගන්නව නම් අපි මේව කතා කරන්න ඕනැ නෑනේ. ඒ මතය වැරදියි.’ ඇමැති වසන්ත සමරසිංහ එහි දී කියා සිටියේය. කෙසේ වෙතත් එම සිද්ධිය වත්මන් රජය බලයට පැමිණි පසු රාජ්‍ය නිලධාරින් සමග ඇති වූ පළමු මත ගැටුම බවට පත් විය.

විපක්ෂයේ ඉල්ලීමට ආණ්ඩුව බෑ කියයි

එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා වන පක්ෂ නායක කමිටුව ඉකුත් බදාදා උදෑසන දහයට පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සභානායක ඇමැති බිමල් රත්නායක, ඇමැති අනුර කරුණාතිලක, රාවුෆ් හකීම්, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර යන මැති ඇමැතිවරු සහභාගි වූහ.

පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා 8 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව රජය එහිදී දැනුම් දුන්නේය. මෙහිදී විපක්ෂය වෙනුවෙන් රවි කරුණානායක කියා සිටියේ ඒ පිළිබඳ විපක්ෂයේ සහාය ලැබෙන මුත් අධිකරණය හමුවේ දැනට පවතින ප්‍රශ්නයක් හෙයින් කතානායකතුමාගේ යෝජනාවක් ලෙස එම යෝජනාව ගෙන එන ලෙසය.

“අපි එකඟයි මේ යෝජනාවට. ඒත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. පාර්ලිමේන්තුව අධිකරණයට වඩා ඉහළයි.

ඒත් මෙවැනි අවස්ථාවක කථානායකතුමාට පුළුවන් අධිකරණය හමුවේ ඇති දෙයක් ගැන විවාද කරන තීන්දුව ගන්න. එතුමා ඔය යෝජනාව දැම්ම නම් හරි.” රවි කරුණානායක මන්ත්‍රීවරයා කියා  සිටියේය.

එහෙත් රජය එහෙම එකඟවූයේ නැත. ආණ්ඩුවක් හැටියට සාමාන්‍ය යෝජනාවක් ගෙන එන බව සභානායක බිමල් රත්නායක සඳහන් කළේය. බටලන්ද වාර්තාව ගැන එක්දින විවාදයක් 10 වැනිදා පවත්වා ඉතිරි විවාදය අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට ද පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාව පළ විය.

ඉමිටියාස්ගේ හිත රිදුණේ ජාතික ලැයිස්තුවෙන් ද?

සජබ සභාපති ධුරයෙන් ඉමිටියාස් බාකීර් මාකර් ඉල්ලා අස්වීමට හේතුව කිසිදු අවස්ථාවක හෙළිදරව් කෙරුණේ නැත. ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට යැවූ ලිපියේ ද සඳහන් වූයේ අතිශය පෞද්ගලික ​හේතුවක් බව පමණකි.

මෙම අතිශය පෞද්ගලික හේතුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව දැයි විපක්ෂයේ ඇතැමුන් අතර කතාබහට ලක්ව තිබේ. පක්ෂයේ මහලේකම් හැර ඉතිරි සියලු දෙනාම  මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මැතිවරණයට පෙර තීන්දු කළේය. ඉමිටියාස්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි නොවුයේ එම තීන්දුව අනුවය. කෙසේ වෙතත් 2020 මහමැතිවරණයේ දී ද සජබ ජාතික ලැයිස්තුව අර්බුදයකට ලක් වූයේ ලැබුණු ආසන සුළු ප්‍රමාණය කුඩා පක්ෂවලට නොදී සජබයේ ප්‍රධාන පෙළේ නිලධාරීන්ට ලබාදීම නිසාය. එම නිසා මෙවර ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස සිටි සියලු දෙනාම තරග කළ යුතු බවට තීන්දුවක් ගැනීමට පක්ෂයට සිදුවිය. මෙවර සජබය සමග එක්වී සිටින කුඩා පක්ෂ වන මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්ගේ පක්ෂය සහ රිෂාද් බදුර්දීන්ගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන තුනක් පිරිනැමීමට සජබය තීන්දු කළේය.

ඉමිටියාස්ට අවස්ථාවක් නොලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ඒ අයුරින් බෙදී ගිය නිසාය. කෙසේ වෙතත් ඉමි​ටියාස්ගේ නිවසටම ගොස් මේ ප්‍රශ්නය විසඳාගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීන්දු කළේ ඉමිටියාස් සජිත්ගේ ඉතා සමීප හිතවතකු මෙන්ම පක්ෂයට අවශ්‍යම නායකයෙකු නිසාය.

සජිත් ඉමිටියාස්ගේ නිවසට යයි

ඉකුත් 31 වැනි සඳුදා නෝම්බි වතාවත් අවසන් වූ විගසම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද කැටුව ඉමිටියාස් බාකිර් මාකර් මහතාගේ නිවසට ගියේය. ඉමිටියාස් ඉතාම සුහදව ඔවුන් පිළිගත් අතර සුහද කතා බහ අතර සජිත් කියා සිටියේ ඉල්ලා අස්වීමේ තීන්දුව තමන් පිළි නොගන්නා හෙයින් යළිත් පක්ෂ සභාපතිවරයා ලෙස වැඩකරන ලෙසය.

කලබල වෙන්න එපා. මේ ඡන්ද කාලෙ ඉවර වෙලා අපි ඔය තියෙන ප්‍රශ්න ගැටලු ගැන වෙනම කතා තරමු.’ තිස්ස අත්තනායක සහ රංජිත් මද්දුම බණ්ඩාර ද කියා සිටියහ.

‘අපි පස්සෙ මේ ගැන කතා කරමු. ඔබතුමාගෙ ඉල්ලා අස්වීම නම් අපි භාර ගන්නෙ නෑ....’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉතා පැහදිළිවම කියා සිටියේය. දිගු වේලාවක් ඉමිටියාස් සමග කතාබහ කරමින් සිටි විපක්ෂනායකවරයා ඇතුළු පිරිස පිටත්ව ආවේ ඉමිටියාස්ගෙන් ලැබුණු තේපැන් සංග්‍රහය ද භුක්ති විඳීමෙන් අනතුරුව.

නගරාධිපති අපේක්ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කොළඹ නගර සභාවට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කර සිටින නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනීෆාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය මාලිගාවත්තේ දී ඉකුත් බදාදා පැවැත්විණි. විපක්ෂනායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මනෝ ගනේෂන්, දිගම්බරම් ඇතුළු පක්ෂ නායකයෝ රැසක්ම එම අවස්ථාවට සහභාගි වූහ. ‘සතුටින් පිරි කොළඹ පුරවරයක්’ මැයෙන් සකස්කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් හනීෆා විසින් පැමිණ සිටි සියලු පක්ෂ නායකයන්ට  පිළිගන්වන ලදී.

ආණ්ඩුවට පොලිස්පති ඉවත් කරන්න වුවමනා හේතුව

පොලිස්පති දේශබන්දු තෙන්කෝන් ඉවත් කිරීම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් සිදු කිරීම රජයේ බලාපොරොත්තුවය. ඒ සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාර දී තිබේ. 

ඒ අනුව මෙම 8 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වූ පසු ඒ පිළිබඳ තීන්දුව ගැනීමට නියමිතය.

පොලිස්පති ඉවත් කරන යෝජනාවට සහාය පළ කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද සඳහන් කළේය. විපක්ෂනායකවරයා කියා සිටියේ පැවැති රජය පොලිස්පති පත්කරන අවස්ථාවේදී ද එම තීන්දුවට සජබය විරුද්ධ වූ බවය. ඒ නිසා එම තීන්දුව අනුවම මෙම යෝජනාවට සහාය පළ කරන බව ද විපක්ෂය සඳහන් කරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ මැයි මුල සතියේ පොලිස්පති සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට තිබියදී එයට පෙර  ආණ්ඩුව පාර්ලිමේන්තු යෝජනාවකින් පොලිස්පති ඉවත් කිරීමට උත්සාහ ගන්නේ මැතිවරණ වාසි බලාපොරොත්තුවෙන් බවය. පොලිස්පති පදවියට දේශබන්දු තෙන්නකෝන් පත්වූ ආකාරය වැරදි බව සඳහන් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට දේශබන්දු තෙන්නකෝන්ගේ තනතුර අත්හිටුවා ඇත. එම නඩුවේ තීන්දුව ලබාදීමට ඇත්තේ මැයි මුල සතියේය. නඩු තීන්දුවෙන් දේශබන්දුගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට තීන්දුවක් ලබා දුනහොත් පාර්ලිමේන්තු යෝජනාවක් ගෙන ඒමට අවශ්‍ය නොවේ.

ඔහු ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ආ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ පත්වීම නිවැරදි බව පිළිගතහොත් පමණක් බව  විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ ඉකුත් රජය පත්කළ පොලිස්පති ඉවත් කළේ තමන් බවට ජනතාවට පෙන්වා මැතිවරණයේදී වාසි ලබාගැනීම රජයේ අපේක්ෂාව වී ඇති බවය.

පොලිස්පති ගැන විජයදාසගේ තර්කය 

ඒ අතරතුර හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පෙන්වා දෙන්නේ පොලිස්පතිට එරෙහි විෂමාචාර චෝදනා පරීක්ෂා කිරීම සඳහා කථ​ානායකවරයා කමිටුවක් පත් කළ යුතු අතර එම කමිටුවේ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ දී පොලිස්පතිට එරෙහිව ඡන්දය විමසීම නීතියට පටහැණි බවය. අගවිනිසුරු නම් කරන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු, නිල බලයෙන් පොලිස් කොමිසමේ සභාපති සහ අගමැති සහ විපක්ෂනායක එකඟතාවෙන් පත් කරන රජයේ නිලධාරියකු  කථානායක  පත් කරන කමිටුවට ඇතුළත් විය යුතු බවත් එම කමිටුවේ තීරණය අනුව මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසිය යුතු බවත් හිටපු අධිකරණ ඇමැතිවරයා සඳහන් කරයි. එසේ නොකර සෘජුවම පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පොලිස්පති නෙරපීම ව්‍යවස්ථාව චේතනාත්මකවම උල්ලංඝනය කිරීමක් බව ද රාජපක්ෂ සඳහන් කරයි.

පොලිස්පති සහ නීතිපති ඉවත් කිරීම සඳහා 2002 සම්මත කළ පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමට පෙර ඉහත කී කමිටුවෙන් ගන්නා තීන්දුව අනිවාර්ය බව පාර්ලිමේන්තු බලධාරීන් රජයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩුවේ තීන්දුව පිළිබඳව බෙදීමක් මේ වන විට ඇති වී තිබේ.

පොහොට්ටුව ප්‍රබෝධයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල ප්‍රබෝධවත්ව සිටින්නේ පසුගිය කාලයේ සිලින්ඩරයට ගිය මන්ත්‍රීවරුන් ගණනාවක්ම යළිත් නෙළුම් මාවතේ පොහොට්ටු මූලස්ථානය කරා පැමිණීම නිසාය.

අජිත් රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර, මහින්ද යාපා අබේවර්ධන. අකිල එල්ලාවල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, කරුණාදාස කොඩිතුවක්කු, ලක්ෂ්මන්  යාපා අබේවර්ධන ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් ගනණාවක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී තම ආසනවල අපේක්ෂක ලැයිස්තු පොහොට්ටු ලාංඡනය යටතේ ඉදිරිපත් කළහ. මේ නිසා මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටු මූලස්ථානයේ නිලධාරීන්ට නාම යෝජනා සැකසීමේදී දැඩි කාර්ය බහුලත්වයක් ද ඇති විය.

අපිට ලොකු පිබිඳීමක් ගම් මට්ටමේ තියෙන බව පේනවා....’ මහලේකම් සාගර කාරියවසම් කීවේ නාම යෝජනා සැකසීමේ කටයුත්තේදී සිටි ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයාටය. 

‘ඒකනෙ. හිතපු නැති තරම් පිරිසක් නාම යෝජනා ඉල්ලුවා. කී දෙනෙක් අමනාප වුණාද දන්නේ නෑ....’කැටගොඩ කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තු විස්සක යම් යම් අඩුපාඩු නිසා ප්‍රතික්ෂේප විය. මේ පිළිබඳව අධිකරණයට ගොස් නාම යෝජනා ඉල්ලා සිටීමට පක්ෂයේ නීතිඥ සංගමය තීන්දු කළ අතර එම කටයුතු සංජීව ජයවර්ධන. විස්ටාක් චොක්සි, අලි සබ්‍රි යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු කණ්ඩායමකට පැවරුණි. නඩු කටයුත්තේදී මේ වන විට  සභා හයක ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ලැයිස්තු භාරගන්නා ලෙස අධිකරණය මැතිවරණ කොමිසමට නියම කර ඇත. බොරුව කියන එක මිනිස්සු හරි ඉක්මනින්ම තේරුම් ගන්නවා. ඒ නිසා අපි කලබල නොවී ප්‍රතිපත්ති මත හදපු වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යමු....’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා හමු වූ පක්ෂ නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

පොදුජන පෙරමුණ නිරීක්ෂණය කර ඇත්තේ 2018 මැතිවරණ සමයේ දී එවකට තිබූ යහපාලන ආණ්ඩුව පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන් පැරණි සිදුවීම් මත පොලිසියට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත් ආකාරයටම වර්තමාන රජය ද කටයුතු කරන බවය. එදා මැතිවරණ කොමිසමට මේ තත්ත්වය දැනුම් දුන් පසු මැතිවරණය අවසන් වූ පසු එම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක් නිකුත් කෙරිණි. මෙවරද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා ඇත්තේ මැතිවරණය අවසන් වූ පසු අදාළ අය ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසය. 

හොරු අල්ලා දඬුවම් දෙන්න පොහොට්ටුවෙන් උද්ඝෝෂණයක්

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් හා නායකයාන්ට එරෙහිව මතු කරන සියලු වංචා දූෂණ චෝදනා ප්‍රකාශවලට සීමා නොකර උසාවියේ නඩු පවරන ලෙස බලකරන විරෝධතා ව්‍යාපාරයක් මැතිවරණයෙන් පසු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඒ සඳහා නොබියව මුහුණ දී තම නිර්දෝෂිභාවය ඔප්පු කළ හැකි බව ද එම පක්ෂය සඳහන් කරයි.

මෝදි එද්දී අනවශ්‍ය කතා එපා

ජනපති අනුර බුත්තල ජන රැළියට ගොස් අපූරු කතාවක් කීවේය. එජාප නායකයන්ගේ අදහස වූයේ එම කතාව ගැලරිය චුන් කරන කතාවක් පමණක් බවයි. අනුර කීවේ මෙවැන්නකි.

‘‘කවුරු තරහ උනත්, කවුරු දාල ගියත්, විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැහැ. මන්නාරමේ හදන සුළං විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26කට හෙවත් රුපියල් 25කට මිලදී ගන්න රනිල්ගේ ආණ්ඩුව එකඟ වෙලා හිටියේ.ජාතික ජන බලවේග ආණ්ඩුව ඇවිත් විදුලි ඒකකයක් ඩොලර් ශත 4.58ට හෙවත් රුපියල් දහතුනකට මිලදී ගන්න ගිවිසුමක් අත්සන් කළා’’.යනුවෙනි. අනුර මේ නම නොකියා කියා තිබෙන්නේ අදානි ව්‍යාපෘතිය ගැනය.

මෝදි  එන අල්ල පනල්ලේ, අනුර කී මේ ප්‍රකාශය ගැන රනිල් පුදුමයට පත්වූයේය. මේ ප්‍රකාශයේ ඇත්තේ  රාජ තාන්ත්‍රික පරිණතභාවයේ අගය බින්දුවක් බව රනිල්ට වැටහුණි. ඒ නිසාම ඔහු පහුවෙනිදාම විශේෂ ප්‍රකාශයක් කළේය.

‘‘මේ මොහොතේ කරන්න ඕනෑ ඉන්දියාවත් ලංකාවත් අතර සබඳතා තවත් ශක්තිමත් කරගන්න එක. එදා 2023 - 2024 වසර වල එළඹුණු ඉන්දු- ලංකා ඒකාබද්ධ නිවේදන අනුව කටයුතු කරන්න කියා මම රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි රනිල් ප්‍රකාශ කළේ රාජ තාන්ත්‍රික  පරිණත බව විදහා පෙන්වමිනි.

‘‘ඉන්දීය අගමැති මෝදි ලංකාවට පැමිණෙන මොහොතේ, ව්‍යාපෘති දෙන්නෙ නෑ ආදී කතන්දර කිවයුතු නෑ”‍ යනුවෙන්ද රනිල් පැවසීය.

‘‘සීතල කාමර වලට වෙලා ඉඳගෙන රනිල් උගුල්  අටවනවා කියා අනුර කියල තිබුණා”‍ රනිල් හමුවට ආ හිටපු ලේකම්වරයෙක් එසේ කීවේ සිනා වෙමිනි.

‘‘ඒගොල්ලන්ට ඉතින් කාමරවල ඉඳලා පුරුදු නැහැනේ.ඒගොල්ලෝ උගුල් අටවන්නෙ පාරේ දුව දුව නේ. අනික, මම කළේ උගුල් අටවන එක නෙමෙයි. රට උගුලෙන් ගලවා ගත්ත එක”‍ රනිල් කීවේ ඇඟට පතට නොදැනෙන අයුරිනි.

මැතිවරණ ප්‍රතිඵල මිල ඉහළට 

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම, නිල වශයෙන් සිදුවන්නේ රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුව ඔස්සේය. සියලු‍ මාධ්‍යවලට එම ප්‍රතිඵල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරෙයි.රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඒ අයට ප්‍රතිඵල විසුරුවා හැරීමේ සබඳතා ලබා ගැනීමට පහසුකම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සලසා තිබිණි.

එලෙස  අය කෙරුණු ලක්ෂයක මුදල ලක්ෂ 80 දක්වා එකවර වැඩි කිරීම නිසා මාධ්‍ය ආයතන දැඩි නොසන්සුන්තාවකට පත්ව තිබිණි.පසුගිය රජය සමයේදිත් මෙවැනිම යෝජනාවක් පැමිණියේය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ඉකුත් ජනපතිවරණ අවස්ථාවේදීත් මහ මැතිවරණයේදීත් අදාළ අංශ සමඟ සාකච්ඡා කොට ගාස්තු වැඩි කිරීමේ පියවර නතර කරගෙන තිබිණි.ප්‍රධාන නාළිකාවලට අමතරව, ෆෙස්බුක් වෙබ් අඩවි, යූ ටියුබ් ආදියත් මැතිවරණ ප්‍රතිඵල විකාශය කරයි. ඔවුනට මෙලෙස ලක්ෂ අසූවක් ගෙවීම කෙලෙසවත් කළ නොහැකි කාරණයකි.

මාධ්‍ය නාළිකා ප්‍රධානීහු කිහිප දෙනෙක්ම මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ  ශානුක කරුණාරත්න, හිටපු ජනාධිපති විදේශ කටයුතු උපදේශක දිනුක් කොළඹගේ හමුවී ප්‍රශ්න ඉදිරිපත් කළහ. හිටපු ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී කීවේ, මේ ක්‍රියා පිළිවෙත තමන් අනුමත නොකරන බවයි. ප්‍රතිඵල නිකුතුවට වැඩි පිරිසක් දායක කර ගැනීමෙන් එම ප්‍රතිඵල ඉක්මනින් ජනතාව හමුවට ගෙන යා හැකි බවද ඔහු සඳහන් කළේය. මේ කාරණය ගැන දිනිත්, හිටපු ජනපති රනිල් සමඟද සාකච්ඡා කළේය.

වසන්ත, යෝෂිත දෙදෙනා රනිල් හමුවෙයි

විශේෂ අමුත්තෝ දෙන්නෙක් බ්‍රහස්පතින්දා උදේ මල් පාරේ කාර්යාලයට ඇවිත් රනිල් හමුවූහ.ඒ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති දෙවැනි  පුත් යෝෂිත රාජපක්ෂයි. මේ දෙදෙනා සහ රනිල් අතර පැවති හමුව ඉතා රහසිගත විය. එහිදී කතා කළ කිසිවක් එළියට නොදීමට දෙපාර්ශ්වයම පියවර ගෙන තිබිණි.

ඒ සමගම, රටේ ඉහළම මට්ටමට පැමිණි නායකයන්ගේ  විශේෂ හමුවක්, ලබන සඳුදා පැවැත්වීමට සැලසුම් කෙරෙමින් තිබේ.හිටපු ජනාධිපතිවරුන් සියලු‍ දෙනා ඊට සහභාගී වීම විශේෂත්වයකි.කාට නැතත් අනුරට නම් මේ හමුව අභියෝගයක් වෙනු ඇතැයි දැනගන්නට තිබේ.

රාජ දූත