- 2024 පෙබරවාරි සිට වාහන ගෙන්වීමට ඉඩ දුන්නොත්, අවුරුද්දකට ඩොලර් බිලියන 2 ක පමණ වියදමක්.
- ලිබරල් ආර්ථික ක්‍රමයෙන් පිට පැන ආර්ථිකය ඉදිරියට ගෙන යෑම අසීරුය.
- මේ වසර අගදි අයි.එම්.එෆ්. ඇමෙරිකාවේ දී රැස්වෙන විට, ශ්‍රී ලංකා ණය ගිවිසුමේ සංශෝධනය කරන දේ ගැන කතා කරනු ඇත.
- වාහන ඇතුළු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කළ යුතු බව, අයි.එම්.එෆ්. එක රජයට දැනුම් දුන්නේ ඒවා පැනවූ කාලයේ සිටය.
- 2022 යල කන්නය අසාර්ථක වුණා නම්, අයි.එම්.එෆ්. ණය ගත්තත් - රට ගොඩගන්න බෑ.
ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ ගිවිසුම සංශෝධනය කරන බව එම පක්ෂය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී පැවසීය. මේ අතර එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ඩොලර් බිලියන 3 ක් වෙන විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය මේ වසරේදී පැවැත්වීමට නියමිත අතර ඒ නිමිත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් ජනාධිපතිවරයා සමග ඉකුත් 3 සහ 4 දෙදිනේදී සාකච්ඡා පැවැත්වූහ. අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 4 වැනිදා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි අරමුණු සමග ජනාධිපතිවරයා එකඟවෙන බවත් ජනතාවට සහන සැලසීම රජයේ අපේක්ෂාව බවත්ය. ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප ප්‍රවේශ පිළිබඳ සැලකිලිමත් වෙමින් මූල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ද, එම විකල්ප ප්‍රවේශ ගැන සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟත්වය පළ කළ බව ද, එහි වැඩිදුරටත් දැක්වේ.
අයි.එම්.එෆ්. හි ශ්‍රී ලංකාව සම්බන්ධ ගිවිසුම හා ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දරන ස්ථාවරයත් ඉදිරියේදී ඇති විය හැකි වෙනස්කම් හා එයින් ආර්ථික කටයුතුවලට ඇති විය හැකි බලපෑම් ගැන විමසීම අපේ අරමුණයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රධාන කොටස් දෙකක් තිබේ. එකක්, සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහනයි. ඒ හා බැඳුණු අනිත් කොටස ණය තිරසරභාවයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණයක් ලබාදීමට පෙර අදාළ රටේ ණය තිරසරභාවය ගැන සලකා බලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවෙන බව 2021 දීත් ප්‍රකාශ කළේය. එබැවින් ණය තිරසර කිරීමට අදාළ වැඩපිළිවෙළකට පැමිණෙන ලෙස එම සංවිධානය ශ්‍රී ලංකාවට කීවේය. එහි ප්‍රතිඵලයක් ලෙස අපි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අවතීර්ණ වූයෙමු. එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. පළමුවැන්න, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. එය 2023 දී අවසන් කිරීමට හැකිවිණි. දෙවැනි පාර්ශ්වය ද්විපාර්ශ්වීය ණයයි. මෙරටට ණය ලබා දුන් රටවල් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම වසරේ ජූනි 26 වැනි දින ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට හැකි විය.
ඉන්පසු තාක්ෂණික කාරණා මත පදනම්ව ණය හිමි රටවල් සමග වෙන් වෙන්ව ගිවිසුම් අස්සන් කළ යුතුය. නැවත ණය ලබා දෙන්නේ ද ව්‍යාපෘති යළි ආරම්භ කරන්නේ ද යන්න ගැන අවසන් නිගමනවලට පැමිණෙන්නේ එසේ ගිවිසුම් අස්සන් කිරීමෙන් පසුය. ද්විපාර්ශ්වීය ණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ගිවිසුමට එළැඹීමෙන් පසු, ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජපානය නිවේදනය කළේය. ඒ අනුව, අතරමග නතර කර තිබුණු ජපානයේ ආධාර මත ඉදිකෙරුණු ව්‍යාපෘති නැවත ආරම්භ කෙරිණි. මේ වෙනවිට ද්විපාර්ශ්වීය මූලාශ්‍රවලින් නැවත ණය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නීතිමය බාධාවක් නැත. හේතුව ණය ගෙවීමට අදාළ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව සතු වීමය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙහි තුන්වැනි සහ අවසාන කොටස වාණිජ ණයයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හා චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය වශයෙන් මෙහි කොටස් දෙකකි. එම ණය සම්බන්ධයෙන් සැප්තැම්බර් 19 වැනි දින ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට හැකි විණි. මෙම ණය හිමියන් විවිධ ස්වරූප ගන්නා බැවින් අවසන් එකඟතාවකට පැමිණීම පහසු කටයුත්තක් නොවේ. බැඳුම්කර ණය හිමියන් නියෝජනය කරමින්, ඇඩ් හොක් කණ්ඩායම ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වීය. මෙපරිදි දේශීය ණය, ද්විපාර්ශ්වීය ණය සහ වාණිජ ණයවලට අදාළ අවසන් ප්‍රතිපත්තිමය එකඟතාවලට පැමිණීමට ශ්‍රී ලංකා රජයට හැකි වුව ද ඒවා තවත් නිර්ණායකයකට එකඟ විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර සකස් කරන ලද ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම් කරගෙන ණයවල තිරසරභාවය ඇති කර ගත යුතුය. පෙර කී ණය කොටස් තුනටම අදාළව එම තිරසරභාවය ඇති කර ගත යුතුය. ඒ අනුව, 2032 වෙන විට ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95 ට වඩා අඩු විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරන බව කීව ද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූවා යැයි සිතීම අසීරුය. මේ වසරේ අග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකාවේදී රැස් වූ විට ඒ ගැන සාකච්ඡා කෙරෙනු ඇත. වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම සංශෝධනය කරන බව ප්‍රකාශ කළ ද එය කරන්නේ කෙසේද යන්න ගැන කිසිවෙක් නොදනිති. ඇමෙරිකාවේ පැවැත්වෙන මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමෙන් පසු නිකුත් කරන නිවේදනයෙහි ගිවිසුම සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තිබේ.
ලෝකයේ මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ නව ලිබරල් ආර්ථික මතවාදයයි. එහි කවර නිශේධනීය හා සාධනීය ලක්ෂණ තිබුණ ද, යථාර්ථය එයයි. සෝවියට් දේශයෙහි සමාජවාදය ස්ථාපිත කළ අවධියේ එරටේ සිටි ප්‍රකට සමාජවාදියකු වූ ලියෝන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළේ, තනි රටක සාමාජවාදය ස්ථාපිත කළ නොහැකි බවය. ඒ වෙනුවට සමාජවාදය තවත් රටවලට ව්‍යාප්ත කළ යුතු බවත්, එසේ නොකර සෝවියට් දේශයෙහි පමණක් සමාජවාදය ආරක්ෂා කළ නොහැකි බවත්ය. ඒ අනුව, වත්මන් ලෝකයේ මුල් බැස ගෙන තිබෙන ලිබරල් ආර්ථික මතවාදයට විකල්ප ආර්ථික ක්‍රම ක්‍රියාත්මක කිරීමට ගියහොත්, එය සාර්ථකවීමට ඇති ඉඩකඩ අල්පය. ලිබරල් ආර්ථික ක්‍රමයෙන් පිට පැන ආර්ථිකය ඉදිරියට ගෙන යෑම අසීරු බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රට දැන් තිබෙන්නේ ආර්ථික ක්‍රමය මාරු කර ඉදිරියට යා හැකි තත්ත්වයක නොවේ. ශ්‍රී ලංකාවේ බාහිර වෙළෙඳ කටයුතු සැලකිල්ලට ගැනීමේදී වුව එවැනි ක්‍රම වෙනසක් ඇති කළ නොහැකි බව පැහැදිලි වේ.
මෙරට ආනයන හා අපනයනවල මුළු වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 30 ක් පමණ වේ. එයින් ඩොලර් බිලියන විස්සක් ආනයන වියදම් වෙන අතර ඉතිරි ඩොලර් බිලියන 10 අපනයන ආදායම් වේ. ඒවා සියල්ල විදේශ රටවල් සමග කරන වෙළෙඳ ගනුදෙනුය. ඊට අමතරව විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ රටට විදේශ විනිමය එවති. සංචාරක කර්මාන්තයෙන් ද රටට ඩොලර් ලැබේ. එම ආර්ථික කටයුතුවලට බලපෑමක් වෙන ආකාරයේ අත්හදාබැලීම් කළ හොත්, එයින් සමස්ත ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වීමට පිළිවන. විශේෂයෙන්ම ආර්ථිකය අර්බුදයක ගිලී ඇති කාලයක ලිබරල් ආර්ථික පිළිවෙතින් ඉවත් වී විකල්ප ක්‍රම ක්‍රියාත්මක කළහොත් ආර්ථිකය තවත් රෝගී විය හැකිය.
වර්ෂ 2022 යල කන්නය අසාර්ථක වූයේ නම්, රට දැවැන්ත දුර්භික්ෂයකට ගොදුරු වීමට ඉඩ තිබිණි. එසේ වූයේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් රටට ලැබුණ ද අර්බුදයෙන් ගොඩ ඒමට ඇති ඉඩ අල්පය. ආහාර හිඟ වී මිනිසුන් වඩාත් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් වීමෙන් පසු අගමැති ධුරයට පත් වී, ඉන්දියාවෙන් නයිට්‍රජන් පොහොර මෙට්‍රික් ටොන් 45,000 ක් පමණ කඩිනමින් ගෙන්වා ගත්තේය. ඉන්දියාව පොහොර අපනයනය කරන රටක් නොවුණ ද, අවස්ථාවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පොහොර ලබා දීමට කටයුතු කළේය. වෙනකක් තබා එවකට ඉන්දියාවේ කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයා, පොහොර ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට ද විරුද්ධ විය. ඒ හේතුවෙන් ලංකාවට පොහොර පැමිණීම දින 10 ත් 15 ත් අතර කාලයකට ප්‍රමාද විණි. එසේවුව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ද මැදිහත්වීම මත රටට පොහොර ලැබුණු අතර, එයින් 2022 යල කන්නය ගොඩ දා ගැනීමට හැකි විය. එසේ යල කන්නය සාර්ථක කරගෙන දුර්භික්ෂයකින් මිදීමට හැකි වූ හෙයින්, සෙසු ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමට අවස්ථාව ලැබිණි. 2023 වසරේ මහ කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ලැබුණු නිසා එම කන්නය සාර්ථක කර ගැනීමට හැකි විණි. මගේ නිගමනය අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථක වීමට 2022 යල කන්නය සාර්ථක වීම ප්‍රධාන හේතුවක් විය.
2019 සිට 2030 දක්වා කාලයේදී වාර්ෂික ණය පොලි වාරික වශයෙන් ඩොලර් බිලියන 6 ක පමණ මුදලක් ගෙවීමට තිබේ. එම ණය අතර ද්විපාර්ශ්වික ණය, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය සහ වෙනත් බැංකු ආදියෙන් ලබාගත් ණය සහ ඒවායෙහි පොලී වාරික ද ඇතුළත්ය. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කළ ද, ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වීය මූලාශ්‍රවලින් ගත් ණය අපි අඛණ්ඩව ගෙවුවෙමු.
දේශීය ණය ද පියවීමු. ඒ අනුව, 2022 සිට මේ දක්වා කාලයේදී ඩොලර් බිලියන 3 ක පමණ ණය පොලී වාරික මුදලක් ගෙවා ඇත. මෙම ඩොලර් බිලියන තුනට අමතරව, 2028 සිට තවත් ඩොලර් බිලියන 3 ක පමණ ණය පොලි මුදලක් ගෙවීමට සිදු වෙනු ඇත. එවිට මුළු එකතුව ඩොලර් බිලියන 6 ක් පමණ වේ. 2028 සිට ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් අප සතු විය යුතුය.
දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණය, ඩොලර් බිලියන 6 ක් පමණ වේ. එයින් ඩොලර් බිලියන 1.5 ක් හුවමාරු පහසුකම (swap) යටතේ චීනයෙන් ලැබුණු මුදල් වෙන අතර ඒවා වියදම් කළ නොහැකිය. එවිට ඉතිරි වෙන්නේ ඩොලර් බිලියන 4.5 ක සංචිත ප්‍රමාණයකි. ලබන වසර මුලදී වාහන ආනයන කටයුතු ආරම්භ කළ හොත්, මේ සංචිත මුදල් ණය ගෙවීමට ප්‍රමාණවත් වේ ද යන ප්‍රශ්නය මතු වේ. ශ්‍රී ලංකාව රථවාහන ඇතුළු භාණ්ඩ වර්ග 1,700 ක් පමණ ආනයනය තහනම් කළේ, විදේශ විනිමය හිඟය හේතුවෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ එම තහනම් ඉවත් කළ යුතු බවය. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත කීවේ අදාළ සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවය. මේ වෙද්දි රථවාහන හැර සෙසු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කර තිබේ. 2022 පෙබරවාරි සිට වාහන ආනයනය ඉවත් කරන බව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දුන්නේය. වාහන ආනයනයට අවසර දුන් පසු වාහන ගෙන්වීම සඳහා ලබන වසරේදී ඩොලර් බිලියන 2 ක පමණ මුදලක් වැය වෙනු ඇත.
අපට විදේශ සංචිත වැඩි කර ගත හැකි නම්, වාහන ගෙන්වීමට අවසර දුන්න ද එයින් ආර්ථිකයට දරුණු බලපෑමක් වෙතැයි සිතිය නොහැකිය. ලංකාවට මාසිකව ඩොලර් බිලියන 1.6 ක් පමණ ආනයනය වියදම් සඳහා අවශ්‍ය වේ. එම මුදල් ප්‍රමාණය ආවරණය වෙන විදියේ මුදල් ප්‍රමාණයක් විදේශ සංක්‍රාම, සංචාරක ආදායම් සහ අපනයන ආදායම්වලින් රටට ලැබෙන්නේ නම් වාහන ආනයනයට ඉඩ දුන්න ද එයින් අහිතකර බලපෑම් ආර්ථිකයට එල්ල නොවෙනු ඇත.
උපුල් වික්‍රමසිංහ