අර්බුදයට උත්තරය ජනපති ඉල්ලා අස් වීමයි


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික 

කේ.ඩී. ලාල් කාන්ත

  • ආර්ථික අර්බුදය විසඳන්න නම් පළමුව දේශපාලන අර්බුදය විසඳිය යුතුයි
  • මමත් ඔය අරගලයේ ඉන්නවා හැබැයි මම නිර්පාක්ෂික නෑ

 

ගෙවී ගිය සතිය මෙරට දේශපාලනයට කළු පැල්ලම් එක් කළ, හෘදය සාක්ෂියක් සහිත සියලු මිනිසුන් සංවේදී කළ කම්පාවට පත් කළ සිදුවීම් මාලාවකින් සමන්විත විය. නිර්පාක්ෂික අරගලකරුවාට තුච්ඡ මැර ප්‍රහාරයක් එල්ල විය. මැති ඇමතිවරුන් රැසකගේ නිවෙස්, දේපොළ ගිනිබත් විය. අගමැතිවරයා ඉල්ලා අස්විය. ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගය මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති වුණා. ජාතික ජන බලවේගයට දැන් සතුටුද?   


පිළිතුර:- රටේ දේශපාලන නායකත්වයේ වරදින් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඒ ආර්ථික අර්බුදයත් සමග බරපතළ සමාජ අර්බුදයකුත් පැන නැගුණා. ඒ දෙකම මත පදනම් වෙලා දේශපාලන අර්බුදයක් මතුවෙලා තියෙනවා. මෙම අර්බුද තුනම එකවිටම අර්බුදය වැඩි කරන්න තව එකකට සේවය කරමින් තියෙනවා.   


ප්‍රශ්නය:- මුලින් අහපු ප්‍රශ්නයට කලින් මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. ඔය ඔබ කියපු ත්‍රිත්ව අර්බුදයට ඔබලාගේ විසඳුම මොකද්ද?   


පිළිතුර:- අර්බුද ත්‍රිත්වයට විසඳුම වශයෙන් අපි යෝජනා කරන්නේත් දැනට ඉදිරිපත් කරලා තියෙන්නේත් පළමුව දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගත යුතුයි කියන එක. දේශපාලන ස්ථාවරත්වය විසින් සමාජ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සමත් වන්නේ නැත්නම් මෙම ත්‍රිත්ව අර්බුදයට උත්තර එන්නේ නැහැ. දේශපාලන ස්ථාවරත්වය පළමුව ඇති කළ යුතුයි. හැබැයි ඒක සමාජ ස්ථාවරත්වය ඇති කිරීමට සමත් විය යුතුයි. ඊට පස්සෙ තමයි ආර්ථිකයට ස්ථාවරවත්වයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ.   


ප්‍රශ්නය:- දැන් මගේ පළමු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න?   


පිළිතුර:- මම ඒකට එන්නම්. දැන් සජිත්ට අගමැතිවීමේ සිහිනයක් තියෙනවා. මේ සමාජ කැළඹිල්ලට, අස්ථාවරත්වයට සජිත්ගෙන් කිසිදු උත්තරයක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ.   


ප්‍රශ්නය:-  එහෙනම් රනිල් තමයි සුදුස්සා?   


පිළිතුර:- නෑ. රනිල් අගමැති කළා කියලා ඒ ස්ථාවරත්වය ඇතිවෙන්නේ නෑ. එතකොට රනිල් සුදුස්සෙක් වෙන්නේ නෑ. රනිල් උත්තරයක් නොවෙයි.   


ප්‍රශ්නය:- ඔබලා කියනවා රට බාර ගන්න සූදානම් කියලා. හැබැයි ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලත් කියනවා. වැඩේ නොකෙරෙන තැනකටයි තල්ලු කරන්නේ?   


පිළිතුර:- මෙම අර්බුදයට උත්තරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමයි. අපි දෙසැම්බර් 23 වැනිදා දෙල්කඳ හන්දියෙන් පා ගමනක් ආරම්භ කරලා නුගේගොඩ දී රැස්වීමක් තිබ්බා. ඒ පා ගමනේ හා රැස්වීමේ අපේ සටන් පාඨය වුණේ ‘‘ජනපීඩිත ආණ්ඩුව පන්නමු. ජනතාවාදී පාලනයක් ගොඩනගමු’’ යන්නයි. මැයි දිනයේ සටන් පාඨය වුණෙත් ඒකමයි. ඔය මොහොත වනවිට සමාජය තුළ මෙන්න මේ වගේ සටන් පාඨ නිර්මාණය වෙලා තිබුණා. ‘‘පොහොර දෙන්න බැරි ආණ්ඩුව ගෙදර යනු’’ මුලින්ම ජනතාව පොහොර ඉල්ලුවා. දුන්නේ නැති නිසා ගෙදර යනු කියලා කිව්වා. වන්දි දෙන්න බැරි ආණ්ඩුව, ජීවන වියදම අඩු කරන්න බැරි ආණ්ඩුව ගෙදර යනු කිව්වා. වෘත්තිය සමිති ව්‍යාපාරය ගත්තොත් ‘‘ජනතා ප්‍රශ්න විසඳීමට බැරි ආණ්ඩුව ගෙදර යනු’’ කියලයි කිව්වේ. ඒ විදියට මුළු සමාජයම ආවා ආණ්ඩුව ගෙදර යනු කියන මතයට. අපේ මැයි දිනයෙත් සටන් පාඨය වුණේ ඒක. ඒකට අපි එකතු කළා ‘‘ජනතාවාදී පාලනයක් ගොඩ නගමු’’ කියලා.   


ප්‍රශ්නය:- ‘‘ගෝඨා ගෝ හෝම්’’ කියල කිව්වට ඒක උත්තරයක් නොවෙයි කියලා තර්කයක් තියෙනවා. 

 
පිළිතුර:- ඒ සටන් පාඨ ඉබේ ආව ඒවා නොවෙයිනේ. ආණ්ඩුව ගෙදර යනු සටන් පාඨය එලෙසින්ම තිබියදී ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕනෑ. ආණ්ඩුවත් ගෙදර යන්න ඕනෑ. හොරු පන්නමු. අත්අඩංගුවට ගමු. හොරා කෑ දේපොළ පවරා ගනු’’ කියන පොදු අරගලයක් සමාජය ඉදිරියට ආවේ. ගොඩක් දෙනෙක් කියන්නේ ඒක නිර්පාක්ෂික අරගලයක් කියලා. මමත් ඒ අරගලයේ ඉන්නවා. හැබැයි මම නිර්පාක්ෂික නෑ. අපේ කණ්ඩායමේ ගොඩක් ඒ අරගලය තුළ ඉන්නවා. නම් ගම් එක්ක චරිත ඉන්නවා. තවත් ගොඩක් අය ඉන්නවා. හැබැයි නිර්පාක්ෂික අරගලයක් මට නෑ. අපේ අරගලය පාක්ෂිකයි. පොදු අරගලයක් කියලා මම ඒක නම් කරන්න කැමතියි. ඒ පොදු අරගලය තුළත් ප්‍රධාන සටන් පාඨය වෙලා තියෙන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්’’කියන එකයි. ඒකට පදනම තමයි ඔහු රටේ නායකයා නිසා. ඔහු පිළිබඳ බලාපොරොත්තුවක් කලින් පැවතුණ නිසා ඒ බලාපොරොත්තුව ඔහු කඩා බිඳ දැමූ නිසා ඔහු ඉවත් විය යුතුයි කියන එක යථාර්ථයක් ලෙස ඉහළට ආවා. සමාජයේ අරගලය ඒක වෙලා තියෙද්දී අපිත් ඒ අරගලය තුළ ඉඳිද්දී අපට පුළුවන්කමක් නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමේ තියාගෙන ඔහුගේ මූලිකත්වයෙන් රැස්වෙන ඇමති මණ්ඩලය තුළ කටයුතු කරමින් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ගණන් හදන්න. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගත යුතු වුවත් ගෝඨාභය තබාගෙන කරනු ලබන කිසිවක් දේශපාලන වෙනස්කමක් සමාජ ස්ථාවරත්වය ගේන්න හේතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මූලික සටන් පාඨය ‘‘ගෝඨාභය යා යුතුයි’’ කියන එක හා යථාර්ථය එය වීම.   


ප්‍රශ්නය:-  මීට පෙර අර්බුදවලදී ජවිපෙ ඒවාට සක්‍රීයව මැදිහත් වෙලා විසඳුම බවට පත් වුණා. පරිවාස ආණ්ඩු සන්ධාන ආණ්ඩු හැදුවා. ඇයි මෙවර එහෙම උත්තරයක් නොගන්නේ. රාජපක්ෂවරුන් නිසාද?   


පිළිතුර:- නෑ දැන් ​ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වුණාම ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්වෙලා අරාජිකත්වය තවත් වැඩි වෙයි කියලයි සමහරු ගණන් හැදුවේ. ගෝඨාභය යවන්න බෑ. ඒක නොවන දෙයක් කියලා කියන්නේ ගෝඨාභය තියාගෙන මේක කරන්න පුළුවන් කියලා හිතන අය. අපි හිතනවා මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ගෙදර යැව්වා වගේ ගෝඨාභය ජනාධිපතිවත් යවන්න පුළුවන් කියලා. ඒක නොකෙරෙන එකක් කියලා අපේ න්‍යාය පත්‍රයේ නෑ. අපේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ ‘‘එය කළ හැකියි. එය කළ යුතුයි. ඒ සඳහා ඉදිරියට ගෙනාව අරගලය තවත් ශක්තිමත් කරමින් දැවැන්ත පොදු ජන අරගලයක් විදියට පියවර කිහිපයක් ඉදිරියට ගෙන යන්න ඕනෑ. ඒක සාර්ථක කරගන්න පුළුවන්. එයින් තමයි රටට අවශ්‍ය කරන සමජ පරිවර්තනයට අවශ්‍ය වෙනස්කම කරගන්න පුළුවන් වෙන්නේ.   


ප්‍රශ්නය:- ජවිපෙට දැන් බිමේ ඉඩක් තියෙනවද?  


පිළිතුර:- අපි බිමේ දේශපාලනය ඉතා මැනවින් කරනවා. ජාතික ජනබලවේගය ගොඩනගලා ඒ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ තුළ අපි ජාතික දේශපාලනයක් ගම්බිම්වල දේශපාලනය කරමින් තිබෙනවා. බිමේ දේශපාලනය, ජාතික දේශපාලනය වගේ දේවල් ගැන සාකච්ඡා කරන අයට තිබෙන ප්‍රධානම කිරා මැන බැලීම තමයි 6 වැනිදා හර්තාලය. රටේ ජනතාව දන්නවා 53 දී  ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් සමග හර්තාලයක් ආවා. ඒ හර්තාලය නිසා මේ රටේ පාලකයො බැහැලා ගියා. අද මහින්ද රාජපක්ෂ පැනලා ගියා වගේම එදත් පැනලා ගියා. එහෙම ගිහින් ආපසු ඇවිත් බලය තහවුරු කරගෙන අරගලකරුවන් මර්දනය කළා. තාම මේ ආණ්ඩුවට අරගලකරුවන් මර්දනය කරන්න අවස්ථාවක් හදාගන්න බැරි වුණා. මේ අරගලය අඩියක් හරි පස්සට ගියොත් අරගලකරුවන් මර්දනය කිරීම මේ පාලකයන් කරනවාමයි. ඒක තමයි ඉතිහාසයේ අත්දැකීම. ඒ නිසා අපි කිසිසේත් කැමති නෑ මේ අරගලය දශමයකින්වත් පස්සට ගන්න. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය ප්‍රතිසංස්කරණවාදීන් මෙම අරගලය පස්සට තල්ලු කරන්න හදන උත්සාහයක් ඔවුන් තුළ තිබෙන බව මැනවින් පේනවා. මෙතැන ජවිපෙ පොදු අරගලය ඇතුළේ ඉන්නේ. ජවිපෙට පුළුවන්ද බැරිද? ජවිපෙට ගම කොහොමද නගරයේ කොහොමද කියන කතා වැඩක් නෑ. මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂට ජන මතයක් නැති බවට ති​බෙන ප්‍රධානම සාක්ෂිය තමයි අපිත් මැදිහත්වෙලා වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු වෙළඳ සංගම් සහ සිවිල් සංවිධාන පොදු ජනතාව සාර්ථකව කරපු 6 වැනිදා හර්තාලය. ඒක තමයි මෑත කාලයේ පොදුජනතාවගේ උනන්දුව කැපවීම කොතෙක්ද කියන එකට තියෙන ප්‍රධානම සාක්ෂිය. ගෝල්ෆේස් අරගලය මේකේ ප්‍රධාන එකක්. තව තව කරපු අරගල තව ගොඩක් තියෙනවා. නමුත් ජාතික වශයෙන් එකම දිනයක තීන්දුවක් අරගෙන සාර්ථකව කරපු දැවැන්ත අරගලය තමයි 6 වැනිදා හර්තාලය. ඒ නිසා බිම් මට්ට​මේ දේශපාලනය අප ඉටු කළ බවට හා ඉටු කරමින් සිටින බවට හොඳම සාධකය තමයි ගමේ කඩ සාප්පුවත් වහල. ඒ ජනතා හර්තාලයේ එක්වීම. අපි ඒකට දැවැන්ත මැදිහත්වීමක් කළා. වෘත්තිය සමිති ව්‍යාපාර තුළත් ඒ මැදිහත්වීම අපි කළා. එ් අපේ ශක්තිය පොදු ජනතාවත්, ආණ්ඩුවත් මැනවින් තේරුම් ගත්තා.   


ප්‍රශ්නය:-  ඔබලාට අනුර කුමාර ඇතුළු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් හුදු ඉලක්කම් පමණයි. තීරක බලයක් නෑ.   


පිළිතුර:- මන්ත්‍රී ධුර තුනට තීරක බලයක් නෑ. ඇත්ත. පාර්ලිමේන්තුවෙන් පිට අරගලය තුළ ශක්තිය තමයි මන්ත්‍රීකම් තුනට තියෙන සාධකය. එහෙම නැතිව ඔය මන්ත්‍රී ධුර තුන වෙනම ගත්තොත් පාර්ලිමේන්තුව තුළ යම් මතයක් තියන්න පාවිච්චි කරනවා හැර වෙන බලයක් නෑ. නමුත් මේ අර්බුදය හමුවේ පොදු ජනයාගේ අරගලය හා ඔවුන්ගේ ශක්තිය පදනම් කරගෙන රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න යෝජනා 2ක් ගෙනල්ලා තියෙනවා. පළමුවැනි එක තමයි අගමැතිකමයි පාලනයයි බාර ගැනීම. ඒකට ගෝඨාභය ඉවත් විය යුතුයි. අගමැතිකම නැති යථාර්ථයක් තුළ ව්‍යවස්ථාවට අනුව කතානායකවරයාව තාවකාලිකව ජනාධිපති වෙනවා. ඒ ජනාධිපති එසේ සිටියදී අගමැතිකම සහ කැබිනට් එකක් පත් කිරීමේ බලය අනික් සියලු පක්ෂ එකතුවෙලා දෙනවානම් අපි ලෑස්තියි. රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරලා සමාජ ස්ථාවරත්වයක් ඇති කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා රට මෙහෙයවන සුක්කානම බවට පත් වෙන්න. 

 
ප්‍රශ්නය:- මන්ත්‍රී ධුර තුනක් තියාගෙන ඔ​​​හොම ඉල්ලීමක්වත් කරන්න පුළුවන්ද?   


පිළිතුර:- ඒක අපේ ස්ථාවරය. ඒ වගේම ඒකට අරගලයට සම්බන්ධ බලවේගත් තවත් සමාජයෙ බලවේගත් සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයකුත් අපි යෝජනා කරලා තියෙනවා. කරන්න ඕනැ දේවල් එකතුවෙලා හදාගන්න පුළුවන් අමාරු කාරණය තියෙන්නේ ගෝඨාභය යවා ගන්න එකනේ. සමජය කිව්වට ඒක වෙන්නේ නෑ කියලා අපි කියන්නේ ඒක පුළුවන්. ඒකට එළියෙ අරගලය ශක්තිමත්ව උඩට ගන්න ඕනැ. පීඩනය වැඩි කරන්න ඕන. එහෙම නැතිව වෙන්නේ නෑ.   


ප්‍රශ්නය:- කවුරුවත් ඔබලාට සහාය නොදුන්නොත්?   


පිළිතුර:- සහාය නොදුන්නොත් එහෙනම් අපට බෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් විදියට අපි යෝජනා කරනවා ගෝඨාභය යවලා අනිත් පක්ෂ එකතුවෙලා අගමැතිවරයෙක් හා කැබිනට් එකක් හදාගන්න. හැබැයි ඒකට අපි එන්නේ නෑ. හැබැයි ඒ පැත්තෙන් කරන ජනතාව වැඩදායක ප්‍රතිසංස්කරණ හා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. එළියෙ අරගලය ගැන තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි ඒකට අදාළ වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ.   


ප්‍රශ්නය:- බේරුවල ඉඳලා පා ගමනින් ඇවිත් ගෝලෆේස් එකට ගිහින් අරගලය හයි ජැක් කරන්න ඔබලා උත්සාහ කළා. හැබැයි නිර්පාක්ෂික අරගලකරුවන් කිව්වා ‘‘එන්න එපා’’ කියලා. ඒක ජවිපෙට දුන්න කණේ පහරක්?   


පිළිතුර:- නෑ ඒක වටිනා අදහසක්. ඒගොල්ලෝ කිව්වත් නැතත් අපි හිටියෙත් ඒ අදහසේ තමයි. අපි කොයි වෙලාවකදිවත් කිව්වේ නෑ බේරුවලින් පටන් අරගෙන ගෝල්ෆේස් යනවා කියලා.   


ප්‍රශ්නය:- ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා එහෙම කිව්වා?   


පිළිතුර:- නෑ. අපි කිව්වේ බේරුවලින් පටන් අරගෙන කොළඹට එනවා කියලයි. මොකද ගෝල්ෆේස් එකේ යන අරගලයට ජේවීපී අරගලයක්ද වෙනත් කාගෙ හරි අරගලයක්ද කියලා ලේබල් වුණොත් ඒක ඒ අරගලයට සම්පූර්ණයෙන්ම අවාසිදායකයි. අරගලයට අවාසි දායක තීන්දු අපි ගත්තෙ නෑ. අපිට ඕනෑ තරම් ඉඩ තියෙනවා. අපිට ඕනෑ තරම් මයික් තියෙනවා. අපිට ඕනෑ තරම් ස්ටේජ් තියෙනවා. අපිට ඕනෑ තරම් බලවේග තියෙනවා අරගලය කරන්න. ගෝල්ෆේස් අරගලය පරිස්සම් කරගන්න ඕනැ. ඒ අරගලය ඇතුළේ අපි ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ ජේවීපී හැටියට හරි ජාතික ජනබලවේගය හැටියට නොවෙයි. පොදු අරගලයට වාසිදායක විදියට අපේ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර සහෝදරයා පටන් ගත්ත දවසෙ ඉඳන් එතැන ඉන්නවා. එවැනි නම් විශාල ප්‍රමාණයක් කිව හැකියි. ඒ ඉන්නේ පොදු අරගලය ඉදිරියට ගෙන යාමේ අහසින් මිස ජේවීපී න්‍යාය පත්‍රයක් ඒක ඇතුළේ ක්‍රියාත්මක කරන්න නොවෙයි.   


ප්‍රශ්නය:- විපක්ෂ නායක සජිත් ගෝල්ෆේස් ගිහින් ගුටි කෑවා. ඔබ අනුර ඇතුළු පිරිසකුත් ගියා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ ඔබලා ගියේ ඔබලාගෙම කණ්ඩායමක් ඉන්න තැනට වීම නිසයි?   


පිළිතුර:- ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පහරදීපු එක සම්පූර්ණයෙන්ම වැරැදියි. ඕනැම කෙනෙකුට පහර දෙනවට අපි විරුද්ධයි. එයට එරෙහි අරගලයක් සමාජය තුළ මතුවෙලා තියෙන්නේ. කිසිවකුට පහර දෙන්න ඕනැ නෑ. අරගලය සම්පූර්ණයෙන්ම සාමකාමීයි. කවුරු ගැහුවත් සජිත්ට ගහපු එක අර මැරයො ඇවිත් අරගලකරුවන්ට පහර දීම වගේම වැරැදියි. නමුත් සජිත්ට කිවයුතු දෙයක් තියෙනවා. මේ අරගලය තුළ තියෙනවා කාලයක් තිස්සෙ අප රටේ තියෙන දේශපාලන සංස්කෘතිය විනාශ කරන්න ඕනෑ කියන අදහසක්. විපක්ෂ නායකයා එන්නේ පරණ ක්‍රමයට වාහන දාගෙන අර ආරක්ෂකයෝ දාගෙන. අර අරගලකරුවන් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියත් එක්කයි. ඒක වැරැදියි. ඒ වගේම ඔහු එන්නේ මැරයො ආපු පැත්තෙන්මයි. ඔහුට එන්න තිබුණේ අනික් පැත්තෙන්. එයින් මම අදහස් කරන්නෙ නෑ සජිත් මැරයො එක්ක හිටිය කියලා.   


ප්‍රශ්නය:- සජිත්ට පහර දුන් අය අතර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාවේ නායකයෙකු වන ජගත් මනුවර්ණ හිටියා.   


පිළිතුර:- මනුවර්ණ කිව්වේ ඔහු හිටියෙ සජිත්ව බේරගන්න එතැන හිටියෙ කියලා. ඒක අපි පිළිගන්නවා. ඒවගේම සජිත් කිව්වා ඔහුට පහර දුන්නේ ආණ්ඩුවේ මැරයො කියලා   


 ඒකත් අපි පිළිගන්නවා. ගුටිකාපු එක්කෙනා කියනවනම් මට ගැහුවේ මේ මේ අය කියලා එතැනින් එහාට වෙන කෙනෙක් කියන දේවල් අපිට වැඩක් නෑ. ජගත් මනුවර්ණ වගේ අය ඔය අරගලය පුරාම ඉන්නවා. ඒගොල්ලො ප්‍රචණ්ඩ ක්‍රියා පිටුදකිමින් පාලනය කරන්න කටයුතු කරනවා මිසක් ඒවා අවුළුවන්න යන්නේ නෑ.   


ප්‍රශ්නය:- නමුත් මනුවර්ණ ඉන්න රූප රාමු තියෙනවා?   


පිළිතුර:- ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට වඩා ඒකට කියන්න දෙයක් නෑ. මේ සිද්ධිය දැන ගත්ත වහාම අපි එතැනට ගියා. ඒ මොහොතේ අපි එතැනට යන්නේ නැත්නම් අපේ දේශපාලන ව්‍යාපාරය අපි විසුරුවන්න ඕනෑ. අපි දේශපාලනය කරන එක නවත්වන්න ඕනෑ ඇයි අපි යන්නේ. යන්නේ අරගලය වෙනුවෙන් ඕනෑම මොහොතක හිට ගන්නවය එය ආරක්ෂා කරන්න මැදිහත් වෙනවාය කියන පණිවිඩය දෙන්න යන ගමනුත් අපි විදුලිබල මණ්ඩලයේ, වරායේ, තැපැල් දෙපාර්තමේන්තුවේ, මහ බැංකුවේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිතිවලට අපි කතා කළා. ජනතාව වැල නොකැඩී පැමිණීම නිසා මැරයො පලා ගියා. ඊට පස්සෙ අපි ආවා. මොකද එතැන සිටීම අරගලයට අවාසියි. නමුත් අරගලය තුළ අපි ඉන්නවා.   


ප්‍රශ්නය:- ඔබ කියනවා අරගලය තුළ ඔබලා ඉන්නවා කියලා. මැති ඇමතිවරුන්ගේ නිවාස දේපොළ පුච්චන්න ගිය පිරිස අතරෙ එහෙම නම් ඔබලාගේ සාමාජිකයොත් ඉන්න ඇති.   


පිළිතුර:- ගෝල්ෆේස් අරගලයට ගහපු එක. ප්‍රචණ්ඩත්වය අපි ප්‍රතික්ෂේප කරනවා නම් වෙන කවුරු හරි මොන ජාතියෙ අපරාධකරුවකුට හරි ප්‍රචණ්ඩත්වය මුදා හැරීම අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමුදාවේ මැදිහත්වීමෙන් ත්‍රිකුණාමලයට අරගෙන ගිය එකටත් අපි එකඟයි. ගෙවල් ගිනි තැබීම් දේපොළ මංකොල්ල කෑම් සියල්ලටම අපි විරුද්ධයි. ගෝඨාගේ මිලිටරිකරණයට ඉඩක් මේ ප්‍රචණ්ඩත්වය හරහා ලැබෙනවා. අරගල භූමියේ ඉඳලම අපි වෘත්තිය සමිති නායකයෝ ප්‍රකාශ කළා මැර ප්‍රහාරයට විරුද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කරනවා කියලා. ඒක ක්‍රියාත්මක කළා.   


ප්‍රශ්නය:-  අඛණ්ඩ කියලා කිව්වට තිබුණේ එක දවසයි.   


පිළිතුර:- ඔව් අපි නැවැත්තුවා. දැන් කට්ටියක් කියනවා ඒක නතර කරපු එක වැරැදියි කියලා.   


ප්‍රශ්නය:- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව එ්ක මාධ්‍ය සාකච්ඡාවෙදි කිව්වා.   


පිළිතුර:- විවිධ අය කියනවා. පෙරටුගාමීන් කියනවා ඇති වැඩිපුර. මොකද ඒගොල්ලන්ට මේ කියන සමහර දේවල් තේරෙන්නේ නෑ. වෘත්තිය සමිති කැඳවල තීරණ ගන්න විදිය තේරෙන්නේ නෑ. වෘත්තිය සමිති ඒ තීරණ වෙනස් කරන විදිය තේරෙන්නේ නෑ. ඒගොල්ලන්ට බහුතරයෙ තීරණයකට වැඩ කරන්න කොහොමත් තේරෙන්නෙ නෑ. එහෙම තේරෙනවා නම් ඒගොල්ලො තාම ඉන්නේ එහෙනම් ජේවීපී එක ඇතුළේ. වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළෙත් ඒගොල්ලන්ට බහුතරයේ මතයට වැඩ කරන්න තේරෙන්නෙ නෑ. අපි වැඩ වර්ජනය නතර කරන්න තීරණය කළේ බහුතර මතයට අනුව. අපි ඒකට එකඟයි. දේශපාලන පරිණතකමක් නැති වෘත්තිය සමිති ක්‍රියාවලියෙ පළපුරුද්දක් නැති මිනිස්සු වැඩ වර්ජනය නතර කළ එකට චෝදනා කළා. අපේ විරුද්ධත්වයක් ගැන කාටහරි කරගෙන යන්න ඕනෑ නම් කරගෙන යන්න.   


ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වෙට අනුර කුමාර පත් වුණාට පස්සේ ජවිපෙ තිබුණ රතුපාට හේදිලා රෝස පාටක් මතුවෙලා.   


පිළිතුර:- මෙහෙමයි. ජේවීපී එකනම් රතු තමයි. ඒක අපි මැයි දිනයේදීත් පෙන්නුවා. ජේවීපී වැඩවලදී අපි ඒක පෙන්නනවා. ජේවීපී නොවන ජේවීපියක් ඇතුළත් පොදු වැඩවලදී අපි ඒ පොදු එකඟතාවයට අනුව පාට පාවිච්චි කරනවා. පාට යන්නෙන් අදහස් කරන්නේ අපේ ක්‍රියාත්මකවීමේ ස්වභාවයයි.   


ප්‍රශ්නය:- මමත් පාට යන්නෙන් අදහස් කළේ ජවිපෙ ජීව ගුණය සම්බන්ධවයි. 

 
පිළිතුර:- ඔය ජීව ගුණය කියන කතාවලින් තමයි විප්ලවාදී ව්‍යාපාර සහ අරගලකාරී ව්‍යාපාර මර්දනයටත් පාර කපන්නේ. මේ රටේ ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට වඩා අරගලය ගැනත් මර්දනය ගැනත් හොඳට අත්දැකීම් අපට තියෙනවා. නමුත් අපේ අරගල දිනුවේ නෑ. යම් යම් සමාජ ප්‍රතිසංස්කරණ ඇති වෙන්න ඒ අරගල බලපෑවත් අපි දිනුවේ නෑ. අපි තාම පීඩිතයෝ. ඒ නිසා ඔය ‘‘මොරාල්’’ එකෙන් විතරක් අරගලය ඉස්සරහට ගෙනියන්න බෑ. අරගලයේ පදනමත් පොදුජන නැගිටීම.​ ජේවීපී නැගිටීම නොවෙයි. මීට කලින් තිබුණේ ​ජේවීපී නැගිටීම්. ඒවායෙ පොදු ජන නැගිටීම් අඩුයි. දැන් මේ තියෙන්නේ පොදු ජන නැගිටීමක්. එතැනදී පොදු ජනතාවගේ අදහස් යෝජනා එක්ක තමයි අපි තීරණ ගන්නේ. එත​කොට කෙනෙකුට පේන්න පුළුවන් ‘‘​මේවා කලින් වගේ නෑනේ කියලා. කලින් වගේ නෑ තමයි. කලින් වගේ ඕනැත් නෑ. කලින් වගේ තිබුණා නම් මෙලහකටත් මේ පොදුජන අරගලය පරාදයි. කලින් වගේ නැති නිසාම තමයි මේ අරගලය සාර්ථකව යන්නේ.   

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්