අරාබියේ දේවල් මේ රටට


හිටපු ඇමැතිනී ෆේරියල් අෂ්රොෆ්

 

නිවාස හා පොදු පහසුකම් ඇමැතිවරිය වශයෙන් කලක් සේවය කළ ෆේරියල් අෂ්රොෆ් මහත්මිය දේශපාලනයට පිවිසියේ සැමියා වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් මහතාගේ හදිසි අභාවයෙන් පසුවය. ඇය වර්ෂ 2007 දී පාර්ලිමේන්තුව නියෝජනය කළාය. මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඇය කැපී පෙනෙන චරිතයක් වූවාය. ඇගේ විශේෂත්වය වූයේ වර්තමානයේ බොහෝ මුස්ලිම් කාන්තාවන් හිස වසා ගන්නා පර්දාව වෙනුවට දසක තුන හතරකට පෙර සිටි මුස්ලිම් කාන්තාවන් මෙන් සාරි පොටෙන් හිස වසා ගෙන සිටීමයි. මෑතක සිදුවූ ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව “ඉරිදා ලංකාදීප”ය ඇයගේ අදහස් විමසා සිටියේය.  


නියපොත්තෙන් කඩා දැමිය හැකි ගසක් මහා වෘක්ෂයක් වෙනතුරු බලා සිට එය විනාශ කිරීමට පියවර ගැනීම නිසා මේ රට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී තිබෙන බව හිටපු ඇමතිනී ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළාය.  


ඉරිදා ලංකාදීපය ඇය සමග කළ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කළාය.

 

• ප්‍රශ්නය - ඔබ සිංහල කාන්තාවක් වගෙයි. මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඔබ හිස වසා ගැනීමට පර්දාව පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට ඔබ සාරියෙන්ම හිස වසා ගෙන හිටියේ. ඔබ සාමාන්‍ය මුස්ලිම් කාන්තාවකට වඩා වෙනස්. ඒ ඇයි?  


පිළිතුර - මම ගම්පොල. වැඩි හරියක් සිංහල කතා කරන අය සමගයි ජීවත් වුණේ. ගෙදර දී කතා කළේ දෙමළ. මගේ අම්මත් තවමත් කතා කරන්නෙ දෙමළෙන්. පළමුවෙන්ම ගම්පොල කන්‍යාරාමයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තා. ඉන්පසු තාත්තා මාව සිංහල පන්තියකට දැම්මා. ඊට පසු ගම්පොල සහිරා විද්‍යාලයට ඇතුළත් වුණා. වැඩි ප්‍රවණතාවයක් තිබුණේ‍ සිංහල ඉගෙන ගැනීමටයි. සිංහල පරිසරයක හැදුනෙ. මගේ තාත්තා සමාජවාදයට බොහොම නැඹුරු කෙනෙක්. රටක හොඳින් ජීවත් වෙන්න නම්, ඒ රටේ මිනිස්සුන්ගෙ භාෂාත් ඉගෙන ගතයුතු බව මගේ තාත්තා නිතරම ප්‍රකාශ කළා. අඩු වශයෙන් තේරුම් ගැනීමට පුළුවන් විය යුතු බව ඔහුගේ මතය වුණා. එහෙම කියලා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම අපට ඉගැන්වීමට ලොකු මහන්සියක් ගත්තා. මගේ නංගිත් මම වගේමයි. මගේ නංගි මටත් වඩා හොඳින් සිංහල කතා කරාවි. ලියාවි. අපි පොඩි කාලෙ අපට ගොඩක් පොත් අරගෙන දුන්නා. අපි ඒවා කියෙව්වා. පන්සල, කෝවිල, පල්ලිය සමග සම්බන්ධතා පැවැත්වූවා. අපිට සිංහල ඉගැන්වූ ටීචර් මට ලොකු රුකුලක් වුණා. සිංහල නිවැරදිව කියා දීමට ඇය බොහොම මහන්සි ගත්තා.  


අසල්වාසී ඩොරින් අක්කා හවසට ගෙදරට ඇවිල්ලා උදව් කළා. සිංහල ඉගැන්වූ ටීචර් හරි නිවැරදි සිංහල උගන්වන්න මහන්සි ගත්තා. අපි කියන්නෙ තොරණ් බලන්න යනවා කියලනේ. නමුත් බහුවචනයත් තොරණමයි කියල ඇය අපිට ඉගැන්වූවා. අදටත් මිනිස්සු කියන්නෙ තොරණ් බලන්න යනවා කියලයි. මම සිංහල ඉගෙන ගත්තෙ එහෙමයි. මට හොඳ ගුරුවරු පිරිසක් හිටියා. ඒක වාසනාවක්.  


• ප්‍රශ්නය -ඔබ සිංහල කාන්තාවන් ගැන හිතන්නෙ මොනවද?  


පිළිතුර - මට ලොකු වෙනසක් නැහැ. මම දේශපාලනය කළේ අම්පාරෙන්. වැඩිහරියක් ගැවසුනේ සිංහල ප්‍රදේශවල. කිසි වෙනසක් නැහැ. මට භාෂා තුනම පුළුවන්. බඩගින්නට කෑවෙ එකම බත. වෙනසක් තිබුණේ නැහැ. ලංකාවෙ අපි ඔක්කොම එකයි.  


• ප්‍රශ්නය -ඔබ රැකියාවක් කළා ද?  


පිළිතුර - නැහැ. මම රැකියාවක් කළේම නැහැ. පාසලෙන් පසු ටිකක් ඉගෙන ගත්තා. ඉවර කර ගත්තෙ නැහැ. විවාහ වුණා.  


• ප්‍රශ්නය - ඔබට සැමියා හමු වුණේ කොහොමද?  


පිළිතුර - පළමුවෙන්ම හමු වුණේ දුම්රියෙන් කොළඹ එද්දී. හැබැයි දැකපු ගමන් කතා කරල එහෙම නෙවෙයි. හමුවෙලා පස්සෙ අපි කතා බහ කළා. දේශපාලනය ගැනත් කතා කළා. ඉන්පසු ඔහු මගේ මාපියන් හමුවී ඔහුගේ අදහස ප්‍රකාශ කර තිබුණා. මගේ මවුපියන් කැමැත්ත දුන් පසු අප විවාහ වුණා. ඊට පසු ඔහු සමග කල්මුණේට ගියා.  


• ප්‍රශ්නය -අෂ්රොෆ් ඇමැතිවරයා සිටිය දී ඔබ දේශපාලනය කළේ‍ නැද්ද?  


පිළිතුර - මම පේන්න හිටියෙ නැහැ. නමුත් ඔහුට අවශ්‍ය සහාය දුන්නා. වැඩ කටයුතු කළා. කාර්යාලය මගේ ගෙදරට එන අය එක්ක වැඩිපුර කතා බහ කළේ මම. සැමියා හමුවීමට පැමිණෙන අයට නොසලකා හැරියෙ නැහැ. මම ඔවුන් එක්ක කතා බහ කරලා ඔවුන්ට ඇහුම්කන් දුන්නා. ඒක මගේ සැමියාට විශාල සහනයක් වුණා. උදව්වක් වුණා.  


• ප්‍රශ්නය - මුස්ලිම් කාන්තාවන් එදා වැඩිපුර සමාජගත වුණේ නැහැ.  


පිළිතුර - අපේ තාත්තා අපි හැදුවෙ එහෙමයි. මම ඉගෙන ගත්තෙ සහිරාවෙ මිශ්‍ර පාසලක. පොඩි කාලෙ ඉඳල උසස් පෙළ දක්වාම පන්තියේ පිරිමි ළමයින් හිටියා. ඒක නිසා මට භේදයක් තිබුණේ නැහැ. අෂ්රොෆ්ගෙත් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම එයත් එක්ක වේදිකාවට ගියා නම් එයා කැමති වේවි. නමුත් මම ගියේ නැහැ. අෂ්රොෆ් කතා කළ අවස්ථාවනුත් තිබුණා. වේදිකාවේ මල්පෝච්චියක් වගේ වාඩිවෙලා ඉඳල එන්න මම කැමති වුණේ නැහැ. වේදිකාවට ගිහිල්ල මම මොනව කරන්නද? මම දේශපාලනයට සම්බන්ධ වෙනවට එයා කැමති වුණා. නමුත් මම වැඩිය දේශපාලනය පැත්තෙන් පේන්න හිටියේ නැහැ.  


• ප්‍රශ්නය -ඔබ දේශපාලනයට ආවේ?  


පිළිතුර - මම දේශපාලනය ගැන දැක්වූ උනන්දුව අපේ සමීප හිතමිතුරන් දැන හිටියා. එයා නැති වෙනවිට මගේ පුතාට වයස අවුරුදු 18යි. ඔවුන්ගේ මතය වී තිබුණේ පියාගෙන් හිස් වූ තැනට මා යායුතුයි කියලා. අෂ්රොෆ් ඇමැතිතුමා එක්ක හිටපු කුඩා කොටසක් මා දේශපාලනයට පැමිණිය යුතුය යන මතයේ හිටියා. මට තිබුණ අත්දැකීම් එක්ක මට දේශපාලනයට එන්න සිදු වුණා.  


• ප්‍රශ්නය -මේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන ඔබ දකින්නෙ කුමක්ද?  


පිළිතුර - ඒ සිදුවීම නිසා විශාල කම්පාවකට ලක් වුණා. මම එළියටවත් බහින්නෙ නැතිව බොහොම කම්පාවෙන් හිටියේ. කාදිනල්තුමා නොහිටින්න අපි ඉතුරු වෙලා ඉඳීවිද කියල කියන්නත් බැරි තරම්. එතුමාට මේ අවස්ථාවේදී නැවත වතාවක් ස්තුති කරන්න අවශ්‍යයි. හරිම දුකක්. මෙහෙමත් මිනිස්සු ඉන්නවද? යාච්ඤා කරන තැනකට ගිහිල්ල මෙහෙම මිනිස්සු විනාශ කරන්න පුළුවන් ද? එල්ටීටීඊයෙත් මේවගේ දේවල් කළා. දැන් ඒක මතකයෙන් ඈත් වෙලා. පොඩි ළමයි, අම්මල, තාත්තල සමූහ වශයෙන් ඝාතනය කළා. මේවා හිතන්නවත් පුළුවන් දේවල් ද? අපි රටක් වශයෙන් එකට ජීවත් වෙන්න ඕනෑ. එවැනි තත්ත්වයක් වර්ධනය කර ගන්නවා වෙනුවට ජාතීන් විනාශ කර ගෙන අපට මේ ගමන යන්න බැහැ. ත්‍රස්ත ක්‍රියා මට අප්‍රසන්නයි. කිසිම ආකාරයකට අනුමත කරන්නෙ නැහැ.  


• ප්‍රශ්නය -මේ රටේ මුස්ලිම් ජනතාව අරාබිකරණය විය යුතු ද?  


පිළිතුර - අපිත් මක්කම යන අතරෙ අරාබියට යනවා. ඒ ගියාට අපි අපේ වැඩ කරගෙන එනවා. එහේ ඉන්න ජනතාවගෙ ගති පැවතුම් ඔවුන් ක්‍රියාකරන හැටි මෙහාට ගේන්නෙ නැහැ. ඒවා අපේ රටට ගැළපෙන්නෙ නැහැ. අපි රටක් වශයෙන් එකට සිටිය යුතුයි. එක ජාතියකට පමණක් මේ රට පැවතෙන්නෙ නැහැ. මෙහේ විතරක් නෙවෙයි. කිසිම රටකට එවැනි පැවැත්මක් ගෙන යන්න බැහැ. අරාබියේ දේවල් අරාබියට අපේ දේවල් අපට. අපිට නොගැළපෙන දේවල්වල පැවැත්මක් නැහැ. අපිට නොගැළපෙන දේවල්වල පල විපාක අපි විඳවනවා. මේවා සිදු නොවිය යුතු දේවල්. එල්ටීටීඊයෙන් බැටකාපු මේ රටේ ජනතාවට භීෂණය තවත් අවශ්‍ය නැහැ. අපේම රටේ මිනිස්සුන්ගෙ හිත් මේ තරම් දරුණු වුණේ කොහොමද කියල හිතන්නවත් බැහැ. කිසිම කෙනෙක් මේ ක්‍රියා අනුමත කරන්නෙ නැහැ. අනුමත කරන්නත් බැහැ. හැම දෙයකින්ම අන්තවාදයට යන්න බැහැ. ආගමෙනුත් අන්තවාදයට යන්න බැහැ. 

 
වෙනම රාජ්‍යයක් කියන එක මම අනුමත කරන්නෙ නැහැ. ඒක කොහෙත්ම අපට ගැළපෙන්නෙ නැහැ. එවැනි දෙයක් පවතින්න විදියකුත් නැහැ. මේ තරුණයන් කොහොම මේ වගේ දේකට නැඹුරු වුණාද කියලා මම දන්නෙ නැහැ. අයිඑස්අයිඑස් සංවිධානය එක්ක කොහොම සම්බන්ධතාවක් ගොඩනැගුනද දන්නෙ නැහැ. මේ තරම් අන්තවාදී අදහස් ඇති වෙන්න තරම් ඔවුන්ගේ මනස සෝදල තියෙනවා. බුද්ධිමත් නොවී අදහස්වලට වහල්වීම සිදුවෙනවා. කවුරු උනත් කරපු වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි.  


• ප්‍රශ්නය -මේ ත්‍රස්ත ක්‍රියාවේදී රජය කටයුතු කළ ආකාරය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?  


පිළිතුර - මේ තරම් කෙටි කාලයක දී ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම ගැන ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදාව ප්‍රශංසාවට ලක් වී තිබෙනවා. ඒක බොහොම සතුටට කරුණක්. හමුදාව මෙහෙයවන්නේ රජය. නමුත් අප රජයකට කළයුතු දෙයක් තිබුණා. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන තත්ත්වයට පත් වූ පසු පිළියම් යෙදීම අපේ රටේ සිරිතයි. මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයත් එහෙමයි. සුළුවෙන් කඩා ගන්න තිබූ දෙයක්. අපිට ඒ ගැන වුවමනාවක් තිබුණේ නැහැ. බොහොමයක් දේවල් එහෙමයි. අන්තිම තැනට ඇවිල්ල, ගිනි ඇවිළිලා, විනාශයට පත් වුණාම විසඳුම් සොයන්න පටන් ගන්නවා. හැමදාම සිදුවුණේ‍ එයයි.  

 

වසර 10කින් විතර මා කාත්තන්කුඩි ගියේ නැහැ. ඒ කාලෙත් කුඩා ඉඳි ගස් තිබුණා. දැන් ඒවා වැඩිල ඇති. අපි රටක් හැටියට අපේ රටට ගැළපෙන ලෙස ජීවත් විය යුතුයි. අපිට වෙනම ජාතියක් ලෙස මේ රටේ ජීවත් වෙන්න බැහැ. එහෙම කරන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ. අරාබියට ගැළපෙන දේ අපිට ගැළපෙන්නෙ නැහැ.


• ප්‍රශ්නය - නැගෙනහිර ඇතැම් ප්‍රදේශ අරාබි කරණය වෙලා. වෙනම රාජ්‍යයක තත්ත්වයට පත්වී තිබෙන බවට වාර්තා වෙනවා.  


පිළිතුර - වසර 10කින් විතර මා කාත්තන්කුඩි ගියේ නැහැ. ඒ කාලෙත් කුඩා ඉඳි ගස් තිබුණා. දැන් ඒවා වැඩිල ඇති. අපි රටක් හැටියට අපේ රටට ගැළපෙන ලෙස ජීවත් විය යුතුයි. අපිට වෙනම ජාතියක් ලෙස මේ රටේ ජීවත් වෙන්න බැහැ. එහෙම කරන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ. අරාබියට ගැළපෙන දේ අපිට ගැළපෙන්නෙ නැහැ. ඒක තේරුම් ගත යුතුයි. අපිට තනිව ජනකොටසක් ලෙස ජීවත් විය නොහැකියි. අනෙක් ජනකොටස් සමග අපේ ජීවිත බැඳී පවතින බව අමතක නොකළ යුතුයි. වෙනත් රටක ආභාසය ගැන හිතනවාට වඩා රටක් වශයෙන් එකට ජීවත්වීම ගැන සිතිය යුතුයි. අපිට වෙන්වී සිටිය නොහැකියි. රටක් වශයෙන් අප එකට සිටිය යුතුයි.  


• ප්‍රශ්නය -අෂ්රොෆ් මහතා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීමත් සමග මුස්ලිම් ජනතාව අන්තවාදයට ගෙන ගියා කියලා චෝදනාවක් ආවොත්  


පිළිතුර - ඒක වැරදියි. වෙනම කොංග්‍රසයක් බිහි කරන්න අෂ්රොෆ්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් ඒතැනට ඇදල දැමුවා.  

• ප්‍රශ්නය - ඒ කොහොමද?  


පිළිතුර - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් මුස්ලිම් ජනතාව සුළු ජාතීන්ගෙ සුළු ජාතියක් බවට පත් කළා. මහජාතීන්ගේ සුළු ජාතියක් නෙවෙයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළා. එ්ක ගැන මුස්ලිම් ජනතාවගෙන් කිසිම අදහස් විමසීමක් කළේ‍ නැහැ. ඒ සම්බන්ධයෙන් කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ක කතා කළා කියලයි. නමුත් මන්ත්‍රීවරු බහුතරය දෙමළ. මුස්ලිම් ජනතාව එක්ක කතා කරන්නෙ කොහොමද? ඔවුන්ට කිසිම සංවිධානයක් නොතිබුණ බවට තර්කයක් ආවා. ඒ තත්ත්වය නිසා මුස්ලිම් ජනතාවටත් සංවිධානයවීමේ අවශ්‍යතාව ඇති වුණා. ඇති කළා. ශ්‍රී ලංකා මුස්ලිම් ​කොංග්‍රසය බිහි වුණේ‍ එහෙමයි. ඒත් ඔහුට මුස්ලිම් සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවත්වාගෙන යාමට අවශ්‍ය වුණේ නැහැ. ජාතික සමගි පෙරමුණ බිහිවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. ජාතීන්ට වෙන්වූ සංවිධාන බිහි කිරීමට අෂ්​රොෆ් කිසිම කැමැත්තකින් හිටියෙ නැහැ. නමුත් වෙන කරන්න දෙයක් නැතුව ගියා. ඔහු එතැනට ඇදල දැම්මා.  


• ප්‍රශ්නය -අෂ්රොෆ් මහතා සාමාන්‍ය මුස්ලිම් ජනතාවට වඩා වෙනස් පුද්ගලයකු වූ බවක් පෙන්නුම් කළා. මුස්ලිම් ජාතිකයන් අඳින දිග කබාය ඔහු ඇඳල ඉන්නව දැකලම නැහැ.  


පිළිතුර - ඔහුට අවශ්‍ය වූයේ පහසු ඇඳුමක්. ඔහු කැමති ඇඳුම ඇන්දා. ඔහුට කැමති පරිදි මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔහුට අවශ්‍ය වූයේ භේද නොවූ ජාතීන් පිරිසක්. එක රටක් ලෙස සියලු ජනතාව එක්ව වාසය කිරීම ඔහුගේ අපේක්ෂාව වුණා.  


• ප්‍රශ්නය -මුස්ලිම් කාන්තාවගෙ ඇඳුම පිළිබඳව විවිධ මතභේද ඇති වී තිබෙනවා. ඒ ප්‍රශ්නය ඔබ දකින්නෙ කොහොමද?  


පිළිතුර - ඒක බොහොම සංවේදී ප්‍රශ්නයක්. බොහොම හිතට වැදුන ප්‍රශ්නයක්. ආරක්ෂක හේතු මත මුළු සිරුරම ආවරණය කර ගෙනයාම තහනම් කළ බව රජය ප්‍රකාශ කළා. නමුත් දිග ගවුමට මුස්ලිම් කාන්තාව පුරුදු වී සිටිනවා. මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කර ගැනීම අනවශ්‍ය විය හැකියි. ඒත් ඇතැම් මුස්ලිම් කාන්තාවන් වසර 17ක් 18 දිග ගවුමෙන් තොරව පාරට බැහැල නැහැ. මුස්ලිම් කාන්තාව සිරුර වැසෙන ලෙසට ඇදීම සම්ප්‍රදායක්. ඒක බොහෝම මනසට, හදවතට වැදුන දෙයක්. නමුත් ඇතැම් ස්ථානවල දිග ගවුම අඳින්න එපා කියල තියනවා. දිග ගවුම ඇඳගෙන ඇතුළු වෙන්න එපා කියල තියෙනවා. මේ පවතින තත්ත්වය මත මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කර ගෙන යාම නොකළ යුත්තක් ලෙස සඳහන් කළාට කමක් නැහැ යැයි කීවත් දිග ගවුම ගැන ඇති ආකල්පය බොහොම සංවේදීයි. කැමති ඇඳුමක් ඇදීමේ නිදහස කාන්තාවට තිබිය යුතුයි. තරුණ ගැහැනු ළමයෙක් දිග ඇඳුමකින් සැරසී සිටින විට ඇයට ආරක්ෂිත බවක් ඇති වෙනවා. අනික් කරුණ දිග ගවුම පහසුයි. සාම්ප්‍රදායිකයි. ඒ නිසා ගවුම පිළිබඳ ප්‍රශ්නය මුස්ලිම් කාන්තාවට බොහොම සංවේදී ප්‍රශ්නයක්. හදවතට දැනෙන කරුණක්. දීර්ඝ කාලයක් දිග ගවුමට පුරුදු වූ කෙනකුට එකවර එයින් බැහැරවීම කළ නොහැක්කක්. මම සාරි පොටෙන් ඔළුව වසා ගෙන පාර්ලිමේන්තු යන කොට අන්ජාන් උම්මා මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවට ආවෙ කළු ඇඳුම ඇඳගෙන. පාර්ලිමේන්තුව ඒ ඇඳුම පිළිගත්ත නම් ඒක එළියට ප්‍රශ්නයක් විය යුතු නැහැ.   

 

 

සාකච්ඡාව - දයාසීලි ලියනගේ  
ඡායාරූප - චානක කුලසේකර