අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඒ සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මතවාද ඉදිරිපත් වෙන ආකාරයක් දක්නට ලැබේ. මේ පරස්පරතාව වඩාත් හොඳින් ඉස්මතු වී පෙනෙන්නේ මීට අදාළව යහපාලන රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දරන ස්ථාවරවලදීය.
එජාපය ප්‍රකාශ කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා බවත් අනතුරුව ඊට අදාළව ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතියද ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ශ්රීලනිපය අවධාරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමත විචාරණයකට ලක්වෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවට සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර ඇති බැවින් නව ව්‍යවස්ථාවක් වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පමණක් සිදුකරන බවත් එය ද ජනමත විචාරණයකට තුඩු නොදෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කරගන්නා එකක් පමණක් වන බවත්ය.
විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යෑම ද ඔවුන්ගේ අභිලාෂය වී තිබේ. මේ මුඛ්‍ය කාරණාවලට අදාළව ප්‍රධාන පක්ෂ දෙකේ ස්ථාවර මෙපරිදි වෙන විට ආණ්ඩුවට සම්බන්ධ හා සම්බන්ධ නැති වෙනත් පක්ෂ මේ සම්බන්ධයෙන් සිය ස්ථාවර ඉදිරිපත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබේ. මේ සියලු කාරණා පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ අදහස් ලබා ගෙන සකස් කළ ලිපියකි.
අපි කියන්නේ සංශෝධනයක් විතරයි
කම්කරු හා වෘත්තීය සමිති
සබඳතා අමාත්‍ය
ජෝන් සෙනෙවිරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල ඉඳන්ම හිටියෙ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ කියන මතයේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියන ස්ථාවරයට අපේ පක්ෂය පැමිණිලා තිබුණා. ඒ ගැන සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා එකපාරක් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමකුත් කළා. ඒවෙලේ එක්සත් ජාතික පක්ෂයත් අපේ මතයට එකඟ වුණා. ඒ වගේම තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්නේ නැතුව ව්‍යවස්ථා සංශෝධනයක් විතරක් නම් කරන්නේ ජනමත විචාරණයකට ලක් නොවෙන විදියට ඒක කළ යුතු බවටත් අපි එකඟතාවකට ආවා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් රටේ ඒකීයභාවයට යම් තර්ජනයක් ඇති විය හැකියි කියන මතයේ අපේ පක්ෂය ඉන්නවා. ඒ නිසා අපි කොහොමත් ජනමත විචාරණයකට ලක්වෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ. අනික ජනමත විචාරණයකට යෑමට තරම් සුදුසු වාතාවරණයක් රටේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නෙත් නෑ.
අපේ පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි අතර මේ කරුණු සම්බන්ධයෙන් යම් පරස්පරතාවක් තියෙන බව ඇත්ත. වඩාත්ම හොඳ දේ තමයි පක්ෂ දෙකේම නියෝජිතයෝ මේ ගැන සාකච්ඡා කරලා තනි මතයකට එන එක. ඒක කරන්න පුළුවන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී අපිට මේ ගැන සාකච්ඡා කරලා එකඟතාවකට එන්න පුළුවන්.
ජනවරම ලැබුණේ අලුත් ව්‍යවස්ථාවකට
උසස් අධ්‍යාපන හා මහාමාර්ග
අමාත්‍ය අධිනීතිඥ
ලක්ෂ්මන් කිරිඇල්ල
පහුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් ජනවරම ලැබුණෙ එක්සත් ජාතික පෙරමුණට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනවන්න තියපු හැම රැස්වීමකදීම වගේ කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනමත විචාරණයක් තියනවා කියලත් කිව්වා. මේව ගැන දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය දිනවන්න වැඩකරපු අය විතරයි. එතුමව පරදවන්න වැඩ කරපු අය මේ කතා දන්නේ නෑ. ඒ කොහොම වුණත් මේ පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයව එකඟ කරගනියි කියන විශ්වාසය අපිට තියෙනවා.
බණ්ඩාරනායක මැතිනියගෙ කාලෙත් අපේ රටේ ව්‍යවස්ථාවක් (1972 පළමු ජනරජ ව්‍යවස්ථාව) හැදුවා. නමුත් ඒ ව්‍යවස්ථාව හදන වැඬේට දෙමළ දේශපාලන පක්ෂ සහභාගි වුණේ නෑ. ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කර ගත්තට සුළු පක්ෂ කැමැති වුණේ නෑ. ඊළඟට 1978දී ජේ. ආර්. ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාවටත් දෙමළ දේශපාලන පක්ෂ සහභාගි වුණේ නෑ. මේ ව්‍යවස්ථා දෙකම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කළාට ජනතාව ඒවා හදවතින්ම පිළිගත්තේ නෑ. මේ අවස්ථාවේ ප්‍රථම වතාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පත්කරලා තියෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ ඉන්නවා. ඒ ගොල්ලො ඉස්සර හිටපු අන්තවාදී ස්ථාවර අත ඇරලා මැද තැනකට ඇවිත් ඉන්නේ. ඒ අයත් කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න උදව් කරනවා කියලා. ඒ නිසා මම හිතන හැටියට මේ වගේ අවස්ථාවක් අපිට ආයෙත් ලැබෙන්නේ නෑ.
අනික් කාරණය තමයි අලුත් ව්‍යවස්ථාවක් හදලා ඒකට ජනතා කැමැත්ත ලබාගැනීම වරදක් වෙන්නේ කොහොමද? ඒක තමයි නියම ප්රජාතන්ත්රවාදී ක්‍රමය. කලින් හදපු ව්‍යවස්ථා දෙකේදීම ජනමත විචාරණ තියලා ඒවට ජනතාව කැමතිද නැද්ද කියලා විමසුවෙ නැ. දෙමළ පක්ෂත් නිතර කියන කාරණයක් තමයි මේ හදන ව්‍යවස්ථාවට සිංහල මහ ජාතියෙ බහුතර කැමැත්ත අවශ්‍යයි කියන එක. ඒ නිසා අපිට මේ ව්‍යවස්ථාවට අදාළව ජනමත විචාරණයක් තියලා ඒක දිනන්න පුළුවන් කියන කාරණය ගැන කිසිම සැකයක් නෑ.
විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසියට අපි විරුද්ධයි
ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක,
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව මේ මොහොතෙ පාර්ලිමේන්තුව ඇතුළේ පුළුල් සම්මුතියක් ඇතිකර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැ.
රටේ ඒකීයභාවය, බුදුදහමට හිමි තැන, පළාත් සභාවල බලතල වැඩි කිරීම වගේ කාරණා සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක කොමිටිය තුළවත් තවම එකඟත්වයක් සම්මුතියක් ඇති කරගන්න පුළුවන් වෙලා නෑ. එවැනි සම්මුතියක්වත් ඇති කර ගන්න බැරි තත්ත්වයක් තුළ අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා කොහොමද ජනමත විචාරණයකට යන්නේ.
පළවෙනි දේ තමයි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍යයි. නමුත් මේ වෙන කොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා පැහැදිලිව කියලා තියෙනවා නව ව්‍යවස්ථාවක් සඳහා වන ජනමත විචාරණයකට තමන් එකඟ නෑ කියලා. විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අයින් කරනවටත් විරුද්ධ බව ඔවුන් කියලා තියෙනවා. ජාතික හෙළ උරුමය විදියට අපිත් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවට විරුද්ධයි. ඒ වගේම පළාත් සභාවල සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කරනවටත් අපි එකඟ නෑ.
අලුත් ව්‍යවස්ථාව සම්බන්ධ අපේ ස්ථාවරය ලිඛිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට බාරදීලයි තියෙන්නේ. ඒ වගේම ඒක ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි බාරදීලත් තියෙනවා.
මේ ආණ්ඩුවේ ජනවරම ලැබුණේ රටේ සිද්ධ වුණු මහා පරිමාණ වංචා දූෂණ අක්‍රමිකතා ගැන හොයා බලන්න. ඒ ජනවරමට යුක්තිය ඉෂ්ඨ නොකර නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළේ හරි රට ඇතුළෙ හරි අනුමැතියක් ලබාගන්න ආණ්ඩුවට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නෑ. ජනමත විචාරණයකට ගියොත් ආණ්ඩුවට සියදිවි නසාගන්න සිද්ධි වෙයි. මොකද එහෙම ජනමත විචාරණයකදී ජනතාව තීන්දු ගන්නේ අවුරුදු දෙකක මේ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව දිහා බලලා මිසක් අලුත් ව්‍යවස්ථාව දිහා බලලා නොවෙයි.
මහා බි්රතාන්යයේ, ඉතාලියේ පවත්වපු ජනමත විචාරණවල ප්‍රතිපල දිහා ආණ්ඩුව මීට වඩා ගැඹුරින් බලනවා නම් හොඳයි. වංචා දූෂණ හොරකම් කරපු අයට දඬුවම් දීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවෙලා නැති තත්ත්වයක අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා ඒකට ජනමත විචාරණයක් පැවැත්වුවොත් ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුවට ඉතාම නරක ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ ජනමත විචාරණයකට යෑමට තරම් දේශපාලනික වශයෙන් සුදුසු පරිසරයක් රටේ නෑ කියලා.
අනිත් කාරණය තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජනමතයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට මම නොයමි කියලා. ඒ අනුව ජනමත විචාරණයකට තුඩු දෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඉඩක් නෑ. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළෙ කිසිම පක්ෂයකට ජනවරමක් ලැබිලා නෑ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒ නිසා මේ කැම්පේන් එක අතට අරගෙන තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. ඒවායෙන් යැපෙන පිරිසකුත් විතරයි.
මේක අවුල් ජාලයක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
අලුත් ව්‍යවස්ථාව ගැන මේ රජයට කිසිදු වැඩපිළිවෙළක් නෑ. ඒක කරන්න වුවමනාවකුත් නැති බව තමයි අපි දකින්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක මූලික ප්‍රශ්නයක්.
ජනමත විචාරණයක් නොපවත්වා වෙනස් කරන්න බැරි වගන්ති දහයක් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පුන පුනා ප්‍රකාශ කරලා තියෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. එතුමා පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණු අවස්ථාවේ දීපු ප්‍රතිඥා තුනෙන් එකක් වුණෙත් ඒක. අයවැය විවාදයකට සහභාගි වෙමිනුත් එතුමා කිව්වා මේ ධුරය ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැති එකක් නිසා අහෝසි කළ යුතුයි කියලා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය අබියසදීත් ජනාධිපතිතුමා ඉතාමත් ආවේගශීලීව කිව්වේ මේ ධුරය අහෝසි කරනවා කියලා.
අවස්ථා කීපයකදීම එතුමා දුන්න මේ පොරොන්දුව ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව ඉෂ්ඨ කරන්න ලැබෙන්නේ නෑ. නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙ අනුදැනුම ඇතුව හරි නැතුව හරි කියනවා මීළඟ ජනාධිපතිවරණයට පක්ෂයේ අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් වෙන බවත් තුනෙන් දෙකේ බහුතර බලයෙන් වෙනස් කරන්න පුළුවන් දේවල් විතරක් සංශෝධනය කරනවා කියලත්. නමුත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ඒ වෙනුවට හඳුන්වා දිය යුතුයි කියලා. මේ මූලික කරුණු ගැන රජය ඇතුළෙ එකඟත්වයක් නෑ.
අලුත් ව්‍යවස්ථාවක් ගේනවද එහෙම නැත්නම් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරනවද කියන එක ගැන වගේම ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් නම් කරන්නේ ඒක කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් විතරක් සිදු කරන්න පුළුවන් සංශෝධනයක් විදියටද නැත්නම් ජනමත විචාරණයකට ලක්වෙන විදියෙ සංශෝධනයක්ද කියන කාරණා ගැන ආණ්ඩුව ඇතුළෙ එකඟත්වයක් නෑ. ඒ අතරේ ආණ්ඩුව අනිත් පක්ෂවලට කියනවා මේ කාරණා ගැන තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා අපි දකින්නේ මේක කල්මරන්නෙ ජනතාව මුලා කරන වැඩපිළිවෙළක් හැටියට.
දෙමළ ඩයස්පෝරාවෙන් වගේම බටහිර රටවලින් විශාල තෙරපුමක් එනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාව ලොකු වැඩකොටසක් කළ නිසා ආණ්ඩුව ඒ අයටත් ණය ගැතියි. ඔවුන් සනසන්න ඕනෑ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා වගේ කතා ආණ්ඩුව හැමදාම කියනවා. එසේ කිව්වට කිසිම පැහැදිලි වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්නේ නෑ. මේක අවුල් ජාලාවක් වෙලා තියෙන්නේ. අපි මේ කතාව මුලදිත් කිව්වා.
අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවයි කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරලා ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනමත විචාරණයකුත් තියනවා කියලා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජනමත විචාරණයකට ලක්වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නෑ කියලා.
ජනාධිපති සිරිසේන මහත්තයලා දැන් එහෙම කියන්නේ පසුගිය ජනාධිපතිවරණය වෙලාවෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන්න පොරොන්දුව ඉෂ්ට නොකර මගඅරින්නයි. අලුත් ව්‍යවස්ථාවක් ගේන එක මගඇරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එකත් මග ඇරලා. ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා එකේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීම සඳහා පාර කපා ගන්න හදන බවක් තමයි මේ හරහා පේන්න තියෙන්නේ.
අපේ අවබෝධයට අනුව නම් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් පැවැත්වීමත් අත්‍යවශ්‍යයි.
දහනව පාරක් සංශෝධනය වෙච්ච මේ ව්‍යවස්ථාවට වඩා ප්රජාතන්ත්රවාදී සහ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මීට වඩා සුරක්ෂිත වෙන ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් නම් ඒක හොඳයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වගේ ඒවා අත්‍යවශ්‍යයි.
අලුත් ව්‍යවස්ථාවක් ගෙනාපු පමණින් රටේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. මොකද මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න විසඳන්න නම් අලුත් සමාජ, ආර්ථික රටාවක් හදන එක කළ යුතුයි. නමුත් දැන් තියෙන ව්‍යවස්ථාවට වඩා ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් නම් හොඳයි.
අලුත් ව්‍යවස්ථාවක් සඳහා පත් කරලා තියෙන එක් එක් කමිටුවලට අපේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කමිටුවලින් එක් එක් විෂයයන් සම්බන්ධව කරපු සාකච්ඡා එකතු කරලා හදන දළ කෙටුම්පත ඉදිරිපත් කළාට පස්සේ තමයි ඒ ගැන වන අපේ සම්පූර්ණ මතය ඉදිරිපත් කිරීමට පුළුවන් වෙන්නේ.
සටහන : උපුල් වික්‍රමසිංහ