ආණ්ඩුවට තදට ගහන ටීඑන්ඒ මන්ත්‍රී
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.ආර්. රාසමානික්කම්
- ගෝඨාභය කියන්නෙ දෙවෙනියෙක්. එයාට හොඳ පළවෙනියෙක් වෙන්න බෑ
- විග්නේෂ්වරන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කියලයි අපට පේන්නේ
- මම මහින්ද රාජපක්ෂ ළඟ ඉඳලයි ටී.එන්.ඒ. එකට ගියේ
- දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා කියලා කවදාවත් අපි කියලා නෑ
- මහින්ද රාජපක්ෂට මේ රටේ ඉතිහාසය රන්අකුරින් ලියන්න තිබුණා හැබැයි ඒක කළේ නෑ
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු එස්.ආර්. රාසමානික්කම් මෙවර ‘මුහුණට - මුහුණ’ සංවාදය හා එක්වේ.
මන්ත්‍රීතුමා සැරටම ආණ්ඩුවට ගහනව පේනවා. ටී.එන්.ඒ. අනික් අයට වඩා මොකෝ මේ හදිසිය?
ගොඩක් අය දන්නෙ නැති දෙයක් තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට කටයුතු කළා කියන එක. මම ඒකෙ ආසන සංවිධායකවරයෙක් විදියටත් හිටියා. 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපති විදියට ඉද්දී තමයි මාව ආසන සංවිධායකවරයෙක් විදියට පත්කළේ. එතකොට මට වයස අවුරුදු විසිදෙකයි. ඒ කාලේ මම මහින්ද රාජපක්ෂ මහත්තයට තමයි වැඩ කළේ. යුද්දෙ අවසන් කළාට පස්සේ එතුමා ජනතාවටයි රටටයි පොරොන්දුවක් දුන්නා ද්‍රවිඩ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දීලා තියෙන බලය බෙදා දීමේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කරල ඊටත් වඩා බලය ලබා දී එකට යනවා කියලා. ලංකාවට විතරක් නොවෙයි අනෙක් රටවල්වලටත් ඊට කලින් ඒ පොරොන්දුව ලබා දුන්නා. ඒ නිසාම තමයි යුද්දෙ අවසන් කරන්න ඒ රටවල් එතුමාට සහයෝගය ලබාදුන්නේ.
ඒ වගේම එතුමා පටන් අරගෙන කරගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළත් අවුරුදු විසිදෙකක තරුණයෙක් විදියට මම එදා දැක්කෙ ක්‍රමවත් වැඩක් හැටියට. හැබැයි ටිකෙන් ටික එතුමා දුන්නු පොරොන්දු ඉටුකරන්නේ නැතුව ජාතිවාදය අවුස්සමින් ඒක භාවිතා කරමින් තමන්ගේ දේශපාලන ගමන යන්න ගත්තා. සංවර්ධනය කරනවා කියලත් කරල තියෙන්නේ විශාල ණය අරගෙන ආදායම් උපයන්න බැරි ව්‍යාපෘතිවලට යට කරපු එක කියල පස්සේ තේරුම් ගියා. මේ විදියට යථාර්ථය තේරුම් යන්න ගත්තට පස්සෙ මම එතුමාගෙන් ඈත් වුණා. පස්සෙ මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්කත් අවුරුදු දෙකක් විතර වැඩ කළා. එතුමා බලයට ආවෙත් විවිධ පාර්ශ්වවල සහයෝගයෙන්. යහපාලනය කියල ආවත් එතුමත් රටම පාවාදීලා වැරදි පාරක යන්න ගත්තා. රටම රැවැට්ටුව එතුමත්.
ඒ දෙන්නටම රැවටුණාට පස්සෙද ටී.එන්.ඒ. එක හොඳයි කියල හිතුණේ?
මම ඊළඟට දේශපාලනය කරන්න තෝරගත්තේ ටී.එන්.ඒ. එක. වැරැද්දක් දැක දැක ඒ වැරදි තැන ඉන්න එකට වඩා නිවැරදි මාවත සොයාගන්න එක නේද කරන්න ඕන.
දිගින් දිගටම මම සැරට ආණ්ඩුව විවේචනය කරන්න හේතුව අද ගෝඨාභය ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව මේ රට ජනතාව පත්කරපු තැන පිළිබඳව. කරන්න බරි පොරොන්දු දීලා බොරු කියල පත්වෙලා අද රටම අගාධයට ඇද දාලනේ තියෙන්නේ. අද මොන ක්ෂේත්රයේ ද ප්‍රශ්නයක් නැත්තේ. හැමතැනම අවුල්. හේතුව මේ වැඩ බැරි ආණ්ඩුවේ දැක්මක් නැති ක්‍රියාකලාපය. ජාතික ආරක්ෂාව තහවුර කරනවා කියලා ලොකු ගැටලුවක් මතු කරලා බලයට ඇවිත් අඩුම තරමේ අද වෙනතුරු පාස්කු දින ප්‍රහාරය ගැන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න බැරිවුණා. ඒක ඇද ඇද යනවා. මහබැංකු හොරු අල්ලනවා කියල වේදිකා දෙක වෙන්න කෑ ගැහුවා. අද ඒ අයට මොකද වෙලා තියෙන්නේ. අල්ලපු හොරෙක් නෑ. අවුරුද්දක් දෙකක් වැඩ ටික හරියට කරගන්න බැරිවුණා කියමු. දැන් කාටවත් තමන්ගේ බැරිකම් වැරදි හදාගෙන වැඩ කරන්න කිසිම සූදානමක් නෑනේ.
මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව විවේචනය කරන්නේ නැතුව සුදු හුණු ගාන්නද කියන්නේ. අපි විකල්පයක් නොදී නෙවෙයි අපේ විවේචනය ඉදිරිපත් කරන්නේ. මේක කරන්නම් වාලේ කරන විවේචනයක් නෙවෙයි. අපි නිවැරදි විකල්ප විසඳුමක් පෙන්නමින් තමයි හැම ප්‍රශ්නයක්ම විවේචනය කරල තියෙන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ජාතික සම්පත් ආරක්ෂා කිරීම, රට සංවර්ධනය කිරීම වගේ කාරණා වෙනුවෙන් නෙවෙයි මේ ආණ්ඩුව පත්වුණේ කියල දැන් හරි පැහැදිලියි. මේ ආණ්ඩුව පත්වුණේ තමන්ට, තමන්ගේ පවුලේ අයට හා තමන්ගේ හිත මිතුරන්ට එල්ලවෙච්ච චෝදනාවලින් නිදහස් වෙන්න. දාල තිබුණු නඩුවලින් නිදහස් වෙන්න තමයි මේ ගොල්ලො බලයට ඇවිත් තියෙන්නේ. තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් මට වගකීමක් තියෙනවා මේ අපි දකිනා යථාර්ථය රටට කියන්න. මේ වගේ නායකයෝ අනාගතයේ පත්නොවෙන තැනකට රට ගේන්න ඕන. ජනතාව දිගින් දිගටම රැවටෙන්න ඕන නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ තැනක ඉඳලා දෙමළ ජාතික සන්ධානය වගේ තැනකට මාරුවෙලා කරන දේශපාලනය දැනෙන්නේ කොහොමද?
දෙමළ ජාතික සන්ධානය තුළ පක්ෂ කීපයක් තියෙනවා. මම නියෝජනය කරන්නේ ඉලංගෙයි තමිල් අරසුකච්චි කියන පක්ෂය. මේ පක්ෂය පටන්ගත්තේ 1950. මගේ සීයලා තමයි මේක පටන් ගත්තේ. මගේ සීයත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. නිවැරදි දේ කරන්න කියන එක තමයි අපේ පක්ෂයෙ මතය. රට බෙදන්න කියලා අපි කොයි වෙලාවකවත් කියන්නේ නෑ. බලය බෙදීම ගැන අදහසක් තියෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට හරි විසඳුම් ලබා නොදීම ප්‍රධාන පක්ෂවල පොදු ලක්ෂණයක්. අපි දෙමළ ජාතික සන්ධානය එක්ක එකතුවෙලා වැඩ කරන්න හේතුවත් ඒක. මම නියෝජනය කරන මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න මට ප්‍රධාන පක්ෂ එක්ක බැරිනම් වෙන මාවතක් තෝරගන්න වෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගැනීම සඳහාම තියෙන පක්ෂයක් එක්ක සන්ධානගත වීමේ ප්‍රශ්නයක් තියෙනවා කියල මම හිතන්නේ නෑ. අපිට වෙන විකල්පයක් නෑ. රටේ සියලු ප්‍රශ්න ගැන සංවේදී, ඒ ප්‍රශ්න ගැන ප්‍රායෝගික විසඳුම් යෝජනා කරන තැනක් තමයි දෙමළ ජාතික සන්ධානය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ තැනක ඉඳලා දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කළේ ඇයි කියන ප්රශ්නය බොහෝ අවස්ථාවල නොයෙකුත් දෙනා මගෙන් අහන දෙයක්. ඒකට උත්තරේ තමයි මම දුන්නේ.
තමිල් අරසුකච්චි පක්ෂය රටේ විටින් විට පාලන බලය ගත්තු හැම නායකයා එක්කම විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වලා තියෙනවා. දකුණේ නායකයින් එක්ක උතුරේ ප්‍රශ්න ගැන අපේ පක්ෂය කතා කරලා තියෙනවා. අදටත් අපි ඒ සාකච්ඡාවට සූදානම්. ටී.එන්.ඒ. එකට මන්ත්‍රීවරු දහයක් ඉන්නවා. අපි තමයි උතුරු නැගෙනහිර නියෝජනය කරන්නේ. අපි මේ ජනාධිපතිවරයා එක්කත් උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කරන්න සූදානම්. අපි ඒකට අවස්ථාවක් ඉල්ලලත් තියෙනවා. ඒත් තාම ඒකට අවස්ථාවක් ලැබිලා නෑ මේ ජනාධිපතිවරයාගෙන්. ලංකාවේ සියලු ප්‍රශ්න ගැන අපි ඒ සාකච්ඡාවේදි කතා කරන්න සූදානම්. ආර්ථික අර්බුදය ගැනත් අපි දැඩි අවධානයක් යොමු කරනවා. අපිත් එක්ක කතා නොකර ආණ්ඩුවට මඟහැරල ඉන්න බෑ.
ඔබ කියනවා රට ගොඩගන්න ටී.එන්.ඒ. එකට ප්ලෑන් එකක් තියෙනවා කියලා. රට ගොඩගැනීම පැත්තකින් තිව්වත් උතුරු නැගෙනහිර ජනතාව උපරිම සාධාරණයක් ඔබල කරලා තියෙනවා මේ වෙද්දි. ඒ අයගෙ ඡන්දයෙන් පත්වෙච්ච පක්ෂයක් විදියට?
අනිවාර්යෙන්ම. අපි අපේ උපරිම ශක්තියෙන් ඒ සාධාරණය ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ අයට සාධාරණය ඉෂ්ට කරනවා කියන්නේ ආර්ථිකමය ගැටලුව ගැන බලනවා කියන එක විතරක් නෙවෙයිනේ. උතුරු නැගෙනහිර ජනතාව අවුරුදු හැත්තෑවක් තිස්සේ ඇයි අපිට ඡන්දය දෙන්නේ. පළවෙනි වතාවට 1952 ඡන්දෙදි තමිල් අරසුකච්චි පක්ෂයත් ඉල්ලුවම ආසන දෙකයි හම්බවෙන්නෙ. එතන ඉඳලා දිගටම අපිට ඒ ජනතාව ඡන්දය දෙන්නේ ඇයි? අපි සාධාරණය ඉෂ්ට කරපු නිසා තමයි. අපි ඒ අයට සාධාරණය ඉෂ්ට කරලා නැත්නම් අපිව ප්‍රතික්ෂේප කරන්න ඕනනේ. අනිත් පක්ෂත් එහෙමයි. ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න පුළුවන් කාටද කියන එක ගැන ඒ අයට අවබෝධයක් තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දකුණේ සිංහල පුද්ගලයෙකුට නැති උතුරු නැගෙනහිර දෙමළ පුද්ගලයෙකුට තියෙන ප්රශ්නය මොකක්ද කියලා. ඒක ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක්. තමන් ඉපදිච්ච රටේ දෙවෙනි කාණ්ඩයේ පුරවැසියෙක් විදියට ඉන්න ලැබීම සම්බන්ධව තියෙන තත්ත්වය තේරෙන්නේ ඒ අයටම තමයි. පිටින් බලන අයට ඒකේ බැරෑරුම්කම හරියට පැහැදිලි නොවෙන්න පුළුවන්. මේ ගැටලුව විසඳන්න දේශපාලන මැදිහත්වීමත් දෙමළ ජාතික සන්ධානය දිගටම කරනවා. ආර්ථික ප්‍රශ්න ටික විසඳන්න අපි ආණ්ඩු එක්ක වැඩ කරලා නෑනේ. ආණ්ඩුවල වගකීම තමයි පංගුපේරුවක් නැතුව සියලු ජනතාවට එක සේ සැලකීම. රටේම ජනතාවගේ බදු මුදලින්නේ ආණ්ඩු දුවන්නේ. කොටසකට අඩුවෙන් සලකන්න ආණ්ඩුවට අයිතියක් නෑ. සියලු සංවර්ධන වැඩපිළිවෙළවල් රටේම ජනතාවට සෙත සලසන ඒවා විය යුතුයි. ආණ්ඩු ඒවා ගැන සංවේදී වීම හෝ නොවීම අපේ ගැටලුවක් නෙවෙයි.
උතුරු නැගෙනහිර පෙනී ඉන්න හැම පක්ෂයක්ම වගේ කියන්නේ ඒ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ඔවුන් කියලා වතුකරයෙත් අපි මේ තත්ත්වය දකිනවා.
වතුකරයේ අද පොඩි පොඩි පක්ෂ රාශියක් තියෙනවා. ඒ අය වෙන වෙනම සන්ධාන හදාගෙනත් තියෙනවා. වතුකරයේ දෙමළ ජනතාවගේ නියෝජනයයි, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නියෝජනයයි සංසන්දනය කරන්න බෑ. අපේ පක්ෂය ගත්තොත් අපි කිසි දවසක කියල නෑ අපි තමයි ඒ ජනතාවගේ ගැලවුම්කරුවො කියලා. අපි ජනතාවට අපේ ප්‍රතිපත්තිය කියනවා. ඡන්දයකදිත් අපි අපේ ප්‍රතිපත්තිය පැහැදිලිව කියනවා. ඒක ඡන්දෙන් ඡන්දෙට වෙනස් වෙන එකක් නෙවෙයි. අපි ඡන්දෙට ඇවිත් රස්සා දෙන්නම් පාර හදන්නම් බෝක්කු දාල දෙන්නම් ඒක නිසා අපිට ඡන්දය දෙන්න කියලා නෑ. වෙනම රටක් අරන් දෙන්නම් වෙනම රාජ්‍යයක් අරන් දෙන්නම් කියලත් නෑ. අපි කියන්නේ නෙබෙදුණු රටක බලය අවශ්‍ය පරිදි ලැබෙන තත්ත්වයක් උදාකරගෙන සියලු දෙනාට වඩා යහපත් ජීවිතයක් සඳහා අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ වගේම මානව හිමිකම් උල්ලංඝණය වෙච්ච අයට සාධාරණය ඉටු කරල දෙනවා. යුද්දෙන් අවතැන් වෙච්ච අයට, අසාධාරණයට ලක්වෙච්ච අයට සාධාරණයක් ඉටු කරනවා. ඒ වගේම නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන තැනට කොහොමද යන්නේ කියන සාකච්ඡාව අපි ජනතාව හමුවේ තියනවා. මේ කරුණුවලට ජනතාව අපිට ඡන්දය දෙනවා. එහෙම නැතුව අපි නම් ඔබේ එකම ගැලවුම්කරුවා කියල ඒ ජනතාව රවට්ටලා නෑ. ඔබ කියන විදියට වතුකරයේ එහෙම තත්ත්වයක් තිබුණත් උතුරු නැගෙනහිර නම් අපි එහෙම කරන්නේ නෑ.
විග්නේෂ්වරන් වගේ උතුරේ දේශපාලන නායකයෙකුගේ ක්‍රියා කලාපය ගැන ඔබට තියෙන දේශපාලන අදහස කොයි වගේද?
උතුරු නැගෙනහිර නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරු විදිහට කටයුතු කරන්නේ විග්නේෂ්වරන්, ගජේන්ද්‍රකුමාර්, පොන්නම්බලම් වගේ අය. එයාල දෙන්න වෙන වෙනම පක්ෂ දෙකක් නියෝජනය කරන්නේ. මේ දෙන්නගෙම ක්‍රියාකලාපය අනුව අපිට පේන්නේ මේ දෙන්නම කරන්නේ ආණ්ඩුවෙම කොන්ත්‍රාත්තුවක් ද කියලා. මොකද ඒ අය කරන ඇතැම් ජාතිවාදී ප්‍රකාශ තුළින් දකුණේ රාජපක්ෂවරුන්ට තමයි ඒකෙ වාසිය ලැබෙන්නේ. ඒකීය රටක් තුළ බලය බෙදීමක් ගැන අපි කතා කරද්දී විග්නේෂ්වරන්ලා, ගජේන්ද්ර කුමාර්ල කියනවා දකුණේ ජනතාව බියවද්දපු සමහර වචන. උදාහරණයකට ෆෙඩරල් රාජ්‍යයක් වගේ ඒවා. දකුණේ ජනතාව බියවද්දපු මේ වචන භාවිත කිරීම තුළින් ඒ අය උත්සාහ ගන්නේ දකුණේ රාජපක්ෂවරුන් පතුරුවන බිය සනාථ කිරීමක් කරන්න. හැබැයි උතුරු නැගෙනහිර ජනතාව ඒ මතය ඒ කියන විදියට බාරගන්නේ නෑ. එහෙම බාර ගන්නව නම් දෙමළ ජාතික සන්ධානයට නෙවෙයිනෙ අද මන්ත්‍රී ආසන දහයක් තියෙන්න ඕන, ඒ ගොල්ලන්ටනේ.
දෙමළ ජාතික සන්ධානය පහුගිය දවස්වල ඉන්දියාවට බලපෑම් කළා 13 සංශෝධනය බලාත්මක කරන්න කියලා.
අපි දිගටම මේක කිව්වේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. අපි බලපෑම් කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ලංකාවේ පළාත් සභා ක්‍රමය ඇතිවුණේ 13 වන සංශෝධනය ඇතිවුණෙත් 1987 ඉන්දු - ලංකා ගිවිසුම යටතේනේ. ඉතින් අපි මේ පාර්ශ්ව දෙකටම මේ ගැන ඉල්ලීම් කරපු එක තමයි කළේ. ශ්‍රී ලංකා රජයටත් කිව්වා ඉන්දියානු රජයටත් කිව්වා. අපි මේ ගැන කතා කරන්න ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හම්බවෙන්න අවුරුදු තුනක් තිස්සේ වෙලාවක් ඉල්ලලා තියෙනවා. තාම ඒක හම්බ වුණේ නෑ. පාර්ලිමේන්තුවෙදි එහෙම අපි හම්බවුණාම ජනාධිපති නිතරම කියනවා අපි ඉක්මනට හම්බවෙන්න ඕන කියලා. ඒත් තාම කතාව විතරයි. හම්බවෙන්න අවස්ථාවක් දුන්නේ නෑ. ජී.එල්. පීරිස් මහත්තයත් හම්බවෙලා කතා කරමු කියලා කිව්වා. මේ ළඟදි යාපනේදී අලි සබ්රි ඇමැතිතුමත් එහෙම කිව්වා. ඒත් තාම ඒවා කතා විතරයි. අවුරුදු තුනකට පස්සේ අපි අනෙක් පාර්ශ්වයට මේ ගැන මතක් කළා. ලංකාවේ ජනාධිපති ඇහුම්කන් දෙන්නෙ නැත්නම් අනෙක් පාර්ශ්වය වෙච්ච ඉන්දියාවට හරි අපිට මේ ගැන ඉල්ලීම් කරන්න වෙනවා.
ඔබලා 13 බලාත්මක කරන්න කියල ඉන්දියාවට කියද්දි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ලා 13 එපා කියලා උතුරේ පෙළපාළි යනවා
ඒ අයගේ මතය අපේ මතයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියල මම කලිනුත් කිව්වනේ. ඒකට ආණ්ඩුවේ ආශිර්වාදයත් ලැබෙනවද කියලත් අපිට හිතෙනවා. හේතුව ඒකට පොලිසියෙන් එක තහනම් නියෝගයක් ගත්තේ නෑ. උතුරේ එහෙම පෙළපාළි යන්න තියා මැරිච්ච කෙනෙකුගේ සැමරුමක් කරන්නවත් ඉඩ නොදී උසාවියෙන් තහනම් නියෝග ගේනවා. කොවිඩ් පිට දාල ඒ කිසිවක් කරන්න දෙන්නේ නෑ. හැබැයි ගජේන්ද්ර කුමාර්ලා මිනිස්සු දාහ දෙදාහ එක්ක පාරවල්වල පෙළපාළි යනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පසුගිය අවුරුද්දේ කරපු යම් යම් උද්ඝෝෂණවලට හැමදාම හැම පොලිස් ස්ථානයකින්ම වගේ තහනම් නියෝග ගත්තා. ඒ නඩු තාම යනවා. හැබැයි 13 එපා කියලා කරපු උද්ඝෝෂණයට කිසිම බාධාවක් නෑ. දැන් අපිට පැහැදිලියි මේ අය කාගේ කොන්ත්‍රාත් එකක් ද කරන්නේ කියලා.
දැන් ඔබට පුළුවන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන චරිත තුන ගැන ඔබේ මතය හෝ දේශපාලන විවේචනය වෙන වෙනම කියන්න
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රන් අකුරින් ලියන්න අවස්ථාව තිබුණු මනුස්සයෙක්. හැබැයි එතුමා ඒ දේ කරන්න අපොහොසත් වුණා. යුද්දෙ ඉවර කළාට පස්සෙ එතුමා කරන්න තිබුණු බුද්ධිමත්ම පියවර තමයි නොකළෙම. මට අනුව මහින්ද රාජපක්ෂ කියන්නේ වටිනාම ‘ඔපචුනිටි’ එකක් ‘මිස්’ කරගත්ත නායකයෙක්.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දෙවෙනියෙක්. එයාට හොඳ පළවෙනියෙක් වෙන්න බෑ. පළවෙනියෙක් විදියට සාර්ථක වෙන්න කැපෑසිටි එකක් පෙන්නන නායකයෙක් නෙවෙයි එතුමා. කවුරු හරි නිවැරදි ප්ලෑන් එකක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න එයාට පුළුවන්. ගෝඨාභය මහත්තයට හොඳ දෙවෙනියෙක් වෙන්න පුළුවන්. එයාට උඩින් ඊට වඩා හොඳ පළවෙනියෙක් ඉන්නම ඕන. අද අපේ රටේ කෘෂිකර්මාන්තයට අත්වෙච්ච ඉරණම දිහා බැලුවම වුණත් මම මේ කියන කාරණය පැහැදිලි කරගන්න පුළුවන්.
බැසිල් රාජපක්ෂ අද වැටිලා ඉන්න අපහසුතාවය ගැන ඇත්තටම කනගාටුවක් තමයි තියෙන්නේ. එතුමාට රටේ ඊළඟ නායකයා වීමේ ලොකු ආසාවක් තියෙනවා කියන එක පැහැදිලියිනේ. හැබැයි ඒකට එතුමා කොච්චර සුදුසුද කියන එක තමයි ප්රශ්නය. එතුමට ඒ හීනෙට යන්න පුළුවන් ද කියල එතුමම හිතල වැඩ කළොත් හොඳයි. හැබැයි මේ තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඉදිරි අවුරුදු තුන ඇතුළෙ මේ නායකයො ක්‍රියාකරන විදිය අනුව.
ඔබ හිතන විදියට අද විපක්ෂයේ සැබෑ භූමිකාව කරන්නේ සමගි ජනබලවේගය ද ජාතික ජනබලවේගය ද දෙමළ ජාතික සන්ධානයද?
දැන්නම් ඒ භූමිකාව හරියටම කරන්නේ ජනතාව. දේශපාලන පක්ෂවලටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා ජනතාව අද ඒ වැඩේ කරනවා. අද ජනතාව දේශපාලන වශයෙන් වෙනදට වඩා ප්රගතිශීලී සහ සබුද්ධික තැනක ඉන්න බවක් පේනවා. ඒක ඉතාම සුබ ලකුණක්. ඒ ආකල්පය වෙනස හොඳ තත්ත්වයක්.
ඔබ කිව්වනේ රට මේ වැටිච්ච තැනින් ගොඩගන්න දෙමළ ජාතික සන්ධානයට පුළුවන් කියලා. එහෙනම් ඉදිරි ජනාධිපතිවරණයට ඔබලා අපේක්ෂකයෙක් දානවද?
ජනාධිපති අපේක්ෂකයෙක් දාලා ඒ පුද්ගලයා දිනවලා තමයි රට ගොඩගන්න පුළුවන් කියන මතයේම අපි නෑ. බලය නැතුවත් රට හදන්න පුළුවන්. අද ලංකාවට වෙලා තියෙන්නේ බලය අරගෙන විතරයි රට හදන්න පුළුවන් කියන මතයෙම ඉන්න එකේ විපාකය හැම පක්ෂයකටම හැම මන්ත්‍රීවරයෙකුටම යම් කාර්යභාරයක් තියෙනවා. මම රට හදනවා කියන එකෙන් අදහස් කළේ ජනාධිපතිවෙලා රට හදනවා කියන එක නෙවෙයි. බලය ඕනැ කියල ඇවිත් බලය ගත්තු අය රට හැදුවද. හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ. එයාට තුනෙන් දෙක ඕන කිව්වා. විස්ස ඕන කිව්වා. අයිය ඕන කිව්වා. බැසිල් ඕන කිව්වා. ඒ හැම එකම හම්බවෙලත් හැදුවද රට. මේ ආණ්ඩුව වුණත් අපි එක්ක වැඩ කරන්න ලෑස්ති නම් රට හදන්න අපිට පුළුවන්. අපිට ඒ සඳහා ඇමැතිකම් වරප්‍රසාද ඕන නෑ. අපිට රට හදන්න ටී.එන්.ඒ. එකේ අපේක්ෂකයෙක් ජනාධිපති වෙන්නම ඕන නෑ.
රාසමානික්කම් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙත් ඉන් පිටත් ආණ්ඩුවට සැරට ගහගෙන ජනප්‍රිය කථිකයෙක් වෙමින් ඉන්නවනේ එහෙම අයට ඉතිහාසයේ යම් යම් වන්දි ගෙවන්න වෙලා තියෙන සිද්ධි අපිට මතකයි සමහරුන්ගේ එකපාරට හඬ නිහඬ වෙනවා. යන වේගේ වැඩි නැද්ද?
මට තාම අවුරුදු තිස්එකයි වයස. අවුරුදු විසිනමයෙදි තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නේ. සාමාන්‍යයෙන් මගේ වයසෙ අනෙක් තරුණයෝ තමන්ගේ අනාගතය, පවුල, ආදායම වගේ දේවල් සාර්ථක කරගන්න උත්සාහ කරන කාලෙ මම දේශපාලනය කරන්න ආවා. මම මගේ ව්‍යාපාර කටයුතු අතපසු කරගෙන දේශපාලනය කරනවා. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගහන්න වෙලාවක් නෑ. දැන් මට මඩකළපුවෙ ජනතාව වෙනුවෙන්, උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙලා. මම ඒක ආසාවෙන් කරනවා. මම ඒකෙදි හිතට එකඟව කතා කරන්න වගේම ක්‍රියා කරන්න ඕන. හරි දේ කරන්න බැරිනම් දේශපාලනයේ ඉන්න එකේ තේරුමක් නෑ. හරි දේ වේගවත්ව නෙකෙරුවොත් මගේ දේශපාලන ජීවිතයෙන් තේරුමක් නෑ.
සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි