ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම


යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය. ඒ සමගාමීව වගා සංග්‍රාම ද ආරම්භ කෙරිණ. 

“ගොවිතැන් කරපන් කරපන් කියලා ධර්මපාල මැති පළ කෙරුවයි. එකලට සිහලුන් පිස්සා කියලා ඒ මහතා හට කෑ ගැසුවයි. දැන් නම් කාටත් ඒ උතුමාගේ වචනය ඇත්තයි වැටහෙනවයි. රජකම් කෙරුවත් ගොවිතැන් නොකොළොත් බඩගින්නේ මිය යනවාමයි.”

රටේ තත්ත්වය එදා කවිකොළ කාරයන් දුටුවේ එසේය. 

රටට අවැසි තරම් සහල් නිපදවා වැඩිමනක් සහල් රට යැවීමට තරම් ස්වයංපෝෂිත වූ රටක් අද ‘රට සහල’ මත යැපෙන්නට සිදුවීම ඛේදාන්තයක් නොවේද?

ජනගහන වර්ධනය, සරු ඉඩම් කොල්ලය, පහත් බිම් ගොඩ කිරීම. ඥාති සංග්‍රහ හා සංවර්ධන කටයුතු නිසාත් සාවද්‍ය නිලධාරී ක්‍රියාකාරකම් නිසාත් රට හාලට කර ගැසීමට ජනතාවට සිදුවිය. 

1940 දශකයේ ලෝක සංග්‍රාම සමයේ මෙරට වෙෙළඳාම පැවතුවෙන් ඉන්දියන් වෙළෙඳුන් අතය. හිට්ලර්ට් පක්ෂ වූ ජපනුන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණු මෙරට අගනුවරට බෝම්බ හෙලු විට එම වෙළෙන්දෝ පලා ගියහ. ආහාර අර්බුදයක් රට තුළ නිර්මාණය වූයේ අනතුරුවය. ආහාර අර්බුදයෙන් ජනතාව බේරා ගැනීමටට එකල මහජන ආරක්ෂක කොමාසාරිස් වූ සර් ඔලිවර් ගුණතිලක මහතා වෙහෙසක් ගත්තේය. ආහාර ආනයනය හා තොග වෙළෙඳාම රැක ගැනීම ප්‍රධාන අරමුණ විය. සමුපකාර සලාක ක්‍රමයක් කෙරෙහි රජයේ අවධානය ඉන් යොමුවිය. 

ඒ අනුව නොමිලේ සහල් සලාකයක් බෙදා හැරිණ. සමුපකාරය ස්ථාපිත ව්‍යාපාරයක් බවට පත් විය. දුප්පත් ජනතාවගේ බලය හාල්පොතට සීමා විය. ඒ 1977 වනතුරු පමණි. 

ධනවාදී පාලකයන් විසින් ස්ථාපිත කරන ලද විවෘත ආර්ථිකය නිසා සලාක ක්‍රමයට කණකොකා හැඬු අතර ‘හාල්පොත’ තහනම් වචනයක් විය. වෙනෙකක් තියා නිදහස් අධ්‍යාපනය රැකියා විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය, පාසල් නිල ඇඳුම්, පෙළපොත්, පොහොර, ජලය, විදුලිය වැනි අත්‍යවශ්‍ය දෑ නොමිලේ දිය යුතුය යන සහනාධාර සංකල්පය පාලකයන් කෙරෙන්  බැහැර විය. 

යු.එන්.පී. පාලනයක් ආ කල රට සහලින් ස්වයංපෝෂණය කර නගරයේ මෙන්ම ගමේ වෙෙළඳපොළෙන් ඇපල් මුද්දරස්පලම්, චීස්, බටර්, බුරියානි සහ බාස්මති සහලින් පුරවන බවටට දුන් පොරොන්දුවලින් සුර ලොවක් මැවිණ. 1970 සිරිමා බණ්ඩාරනායක යුගයේ දී හඳෙන් හෝ හාල් ගෙනත් දෙන බවටත් 1977 ජේ. ආර්. යුගයේ දී පවුලකට ධාන්‍ය රාත්තල් අටක් දෙන බවටත් පොරොන්දු ලැබිණ. 1953 දී ආහාර හිඟයට මුහුණ දීමටත් අයවැය හිඟය පියවා ගැනීමටත් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාළේ හාල් සේරුවේ මිල වැඩි කිරීමය. සිරිමාවෝ දේශීය වගා සංග්‍රාමයකට අනුබලදීම සඳහා රට පුරා ආහාර පරිභෝජන නිසා හා ආහාර ප්‍රවාහන නීති පැන වූවාය. 

1973 දී මෙරටට ආනයනය කළ මුද්‍රණ කඩදාසි හිඟයක් ඇතිවිය. පත්තර ඇතුළු මුද්‍රණ කටයුතු අඩාල විය. ‘හාල් පොතටද කණ කොකා හැඩීය. ‘සහල්  සලාක පොතත් පුංචි වේ’ 1974දී පළවිය. 

එම වසරේ සලාකයෙන් එක්කෝටි දහසය ලක්ෂයක් මුද්‍රණයට අමාත්‍යාංශය තීරණය කළේය. මෙයින් ලක්ෂ 71 වතු කම්කරුවන් වෙනුවෙනි. ලක්ෂ 05ක් විජාතිකයන් වෙනුවෙනි. සහල් සලාක පොතක් ශත 50කටත් විජාතිකයන් සඳහා සලාක පොතක් රු. 2.00කටත් මිල කෙරිණ. නොමිලේ දුන් සහල් සේරුට නොගන්න අයට ඒ සඳහා මිලක් ගෙවීමට ද තීරණය විය.

එසේම සතියකට දින 02ක් ආහාර අලෙවි සල්වල බත් විකිණීම තහනම් වූ අතර සේරු 2කට වඩා රට තුළ ප්‍රවාහනය කිරීම ද දඬුවම් දිය හැකි වරදක් විය. සහල් සහ පාන් වෙනුවට අල, බතල, මඤ්ඤොක්කා, ඉන්නල, ගහල, හිඟුරල, කිරිඅල, කුකුලල, රාජාල සහ හුළංකීරිය වැනි විකල්ප ආහාර භෝග පරිභෝජනය වෙනු දක්නා ලදී. 

එයිනුත් නොනැවතී 1971 ආහාර පාලන සීමා නියෝගය යටතේ මංගල හෝ ප්‍රියසාද උත්සව සඳහා නැදෑ හිතවතුන් 150කට සීමා වන සේ ඇරයුම් කර සංග්‍රහ පැවැත්වීමට නියෝග පැනවිණ. මෙම නියෝග නිකුත් වූයේ වෙළෙඳ අමාත්‍ය ටී.බී. ඉලංගරත්න අතිනි. 

මේ 150ට කුලී සේවකයන්, වේටර්වරුන් හෝ ගබඩාකරුවන් අයත් නොවිණ. මෙහි ‘ආහාර’ යන්න අරුත් දක්වා නොතිබිණ. එනිසා ජනතාව කළේ මංගල්‍යය ලියාපදිංචි වූ දිනය, මංගල දිනය හා පසු දිනය ලෙස 150 දෙනා බැගින් ආරාධනා කර සාද තුනක්ම පැවැත්වීමයි. කලින් අවසර නොගත් භෝජන සංග්‍රහ තහනමට ලක්විය. ආහාර පාලන නීති කඩන්නකුට රු. 5000ක දඩයකට හෝ වසර දෙකක සිරදඬුවම් හෝ දෙකටම යටත්වීමට සිදුවිය. ඊට විරෝධයක් ද මතුවිය. 

‘මඤ්ඤොක්කා විස වී දරුවෝ මරුට’ 
‘විෂ අල කා මවත් බිලිඳාත් රෝහලේ’ 

මෙවැනි පුවත් පත්තරවල පළ වූ අතර ‘දවස’ පුවත්පත තහනමට මෙය ද බල පෑවේය.

මෙවැනි ප්‍රවාහන සීමාවන් නිසා ගොවි බිම් තුළදීම තම වී සහ සහල් සාධාරණ මිලකට රජයට අලෙවි කර ගැනීමට ගොවීන්ට වාසනාව පෑදුණි. අස්වනු සරුවෙත්ම සිංහල අවුරුදු හා වෙසක් සමයේ රට තුළ හාල් සේරු 3-4 ක් ප්‍රවාහනයට මැතිනිය අවසර දුන්නාය. 

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුවගේ නිර්දේශය ඊට ලැබිණි. අතර මැදි සහල් ජාවාරම්කරුවන්ගේ ඒකාධිකාරය ඉන් බිඳිණි. මෙම උපක්‍රමය පිටුපස සිටි යෝද හස්තය මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේය. ජනතාවාදී තීන්දු තීරණ ඇවැසි වෙලාවට අවැසි ලෙස ගැනීමේ සමත් දේශපාලනඥයකු ලෙස ඔහු ජනප්‍රිය විය. ගෞරවනීය උපාධි දෙකකට හිමිකම් පෑ ඔහු ‘ඩබල් ඩොක්ටර්’ යන නමින් වඩාත් ප්‍රසිද්ධ වූවේය. වාමාංශික කඳවුරේ ප්‍රබලතම චරිතයක් ලෙස ඇන්.ඇම්. කීර්තියට ලක් වූවේය. අද වැනි වකවානුවක රජයට වී සහල් විකිණීම ප්‍රතික්ෂේප කරමින් සහල් මාපියාවට ආවඩන පුද්ගලයන්ට කදිම පිළිතුරු එදා කෘෂි බලධාරීන් වෙතින් ලැබිණ. රජයට වී අලෙවි නොකරන ගොවීන්ගෙන් වී බුසල රු. 45ට තක්සේරු කර ආදායම් බදු අය කිරීමට ද තීරණය වීමෙනි. 

එම තීරණය නිවේදනය කළේ එවකට ධීවර අමාත්‍ය ධුරය දැරූ ජෝර්ජ් රාජපක්ෂ විසිනි. මේ අතර ශ්‍රීලනිප නියෝජ්‍ය නායක අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක සහ වෙළෙඳ අමාත්‍ය ටී. බී. ඉලංගරත්න විසින්  තම ඉන්දීය හා චීන සංචාරය අතරතුර කළ ගිවිසුම් මගින් අමතර සහල් එම රටවලින් ගෙන්වා ගැනීමට සමත් විණ.

මෙවැනි ක්ෂණික පියවර නිසා රටේ ආර්ථිකය හිස ඔසවන්නට ඇරඹිණ. නමුත් 1965-70 දී පැවැති යූ.එන්.පී. ආණ්ඩු සමයේ දී බේරුවල මන්ත්‍රී එම්.ඒ. බාකීර් මාකර් වැනි අය ජනතාව ඇමතුවේ එය උපහාසයට ලක් කරමිනි. 1969.02.12  දින ‘දවස’ මෙසේ පළ කළේය.

‘චීස් බටර්වලට අද පෝලිම් නෑ. අද වගේ හොඳින් අඳින පලඳින යුගයක් කවදාවත් ආවේ නෑ. එදා තිබූ පෝලිම් යුගය අද නෑ. 

ජේ. ආර්. යුගයේ දී ඕනෑම දෙයක් ප්‍රමිතියකින් තොරව රට තුළට ගෙන ඒමටත් රට තුළ ප්‍රවාහනය කිරීමටත් බාධාවක් නොවිණ. හාල් පොත ද මනඃකල්පිතයක් වීමට වැඩිකල් නොගත්තේය. සමූපකාරය අඩපණ විය. 

1982 ජනාධිපතිවරණයේ දී ජේ. ආර්. සමග සටන් වැදුණු ශ්‍රීලනිප අපේක්ෂකයා එදා කෘෂිකර්ම ඇමැතිව සිටි හෙක්ටර් කොබ්බෑකඩුව විය. ඔහුට සහයෝගයක් ලෙස එවකට ශ්‍රීලනිපයේ ‘ඉඟුරු කල්ලිය’ ලෙස සිටි රැඩිකල් මතධාරීහු අපූරු උපක්‍රමයක් කළහ.

ඒ ජේ. ආර්. අවලංගු කළ හාල් පොතේ, අනුරුවක් ඡන්ද පත්‍රිකාවක් ලෙස බෙදා හැරීමයි. මෙම ‘සොඳුරු වරද’ නඩු වැටී රක්ෂිත බන්ධනාගාර ගතවීමට ද ඔවුන්ට සිදුවිය. හාල් පොතක් ළඟ තිබීම රජයේ රැකියාවකට නුසුදුසුකමක් ලෙස සලකන නීතියක් ද බිහි වූ අතර 80 වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි කළ කම්කරු ජනතාව ද හාල් පොත ද අහිමි වීමෙන් කබලෙන් ළිපට ඇද වැටුණහ. බත් වේල ගණන් යාම නිසා සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටුණහ. බත්වේලට විකල්ප ලෙස ගැමි ජනතාව අල හා ධාන්‍ය වර්ග සොයා ගත්ත ද තුන්වේල පිරිමැසීමට එය ප්‍රමාණවත් නොවීය. එම විකල්ප ආහාරවල මිල ද ඉහළ නගින්නට පටන් ගති. ඊට සමගාමීව පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ දැමීමට කළුකඩ වෙළෙඳුන්ට කටයුතු කළ ගිනිපෙට්ටි හා උම්බලකඩ මිල ද ඉහළ ගියේය. 

සහල් මිල මෙන්ම ඉහළ යන පොල් මිල ද ආණ්ඩු මට්ටු කිරීමට තරම් ප්‍රබල සටන් පාඨයක් විය.

‘හාල් නැතුව බත් කන්නම්’ 

‘සීනි නැතුව තේ බොන්නම්’ කියූ ජනතාවට පොල් මිල ඉහළ යාම දරාගත නොහැකි වූ වකවානුවේ චන්ද්‍රිකා යුගයේ රු. 70ක් වූ පොල් ගෙඩිය තමන් බලයට පත් වූ විගස රු. 35ට දෙන බවට රණසිංහ ප්‍රේමදාස පොරොන්දු විය. එය ඉටු වූ නමුත් යළි මිල නැග්ගේ රොකට් වේගයෙනි. පාන්මිල වැඩිවීම නිසා බත්වලට විකල්ප සෙ වූ ජනතාවට බරපතළ ගැටලු පැන නගින කොරෝනා වසංගත සමයේ පාන් රාත්තලක් රු. 300 ආසන්නව ඉහළ ගිය අතර අද එය රු. 120ට අඩුවීම ප්‍රාතිහාර්යයකි. දැන් අපේ රටේ ප්‍රධාන ලවණ නිෂ්පාදනය වන ලුණු පිටරටින් ගෙන්වීම තරම් තත්ත්වය දරුණු වූයේ මහ වැස්සට ලුණු ලේවායන් සේදීයාම බව කියති. 

ඉන්ධන මිල ඉහළ යාම නිසාත් ගෑස් ප්‍රමිතියෙන් තොරවීම නිසාත් බත් වෑංජන ඇතුළු භෝජන ශාලා ආහාර මිල නහුතයටම ඉහළ ගිය අතර විදුලි හා ජල බිල ඉහළ යන වාරයක් පාසාම ජනතාවගේ ආහාර වේලට කණකොකා හැඩීම සම්ප්‍රදායක් වී තිබේ. 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි