ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල දී තමන් බලයට පත් වූ වහාම විප්ලවීය පියවර රාශියක් ගන්නා බවට පොරොන්දු විය. ජන ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරවන ස්වෛරී හා ගෞරවාන්විත රටක් කරා යන ගමනක් ජනතාවගේ අපේක්ෂාව විය. ඒ සඳහා මුළු රටම එකතු වී අලුත් දිශානතියකට රටේ දේශපාලන ඉතිහාසය හැරවීය. එහෙත් ජනතාවට මුහුණ දීමට සිදුවූයේ වෙනත් දෙයකට ය. අත්‍යවශ්‍ය ආහාරවල මිල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා හා ආයෝජන, රටේ ස්වෛරීත්වය පමණක් නොව රාජ්‍ය තන්ත්‍රයේ උසස් ධුර සඳහා කරනු ලැබූ පත්කිරීම් හා පත්වූවන්ගේ ප්‍රායෝගික නිපුණතාව, පාලකයන්ගේ ඇතැම් හැසිරීම් රටා ජනතාව විසින් අපේක්ෂා කළ දෙයට වඩා වෙනස්ය. එම විවේචන හමුවේ ජනතාව හා රජය අතර ආරම්භයේදී තිබූ බැඳියාවේ යම් පළුදුවීම් සිදුවෙනු පෙනෙන්නට ඇත.
ආණ්ඩුව හා සමාජය අතර ගිවිසුම
ආණ්ඩුවක් බලයට පත්කිරීමේ දී ජනතාව විසින් තමන් සතු පරමාධිපත්‍ය බලය ආණ්ඩුව වෙත භාර කරයි. එවිට ආණ්ඩුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය සලසා දීමේ පොරොන්දුව හා කොන්දේසියට යටත්ව ජනතාව වෙනුවෙන් භාරයක් ලෙස දරයි. එහිදී ජනතාව විසින් පාලකයන් බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරතැයි අපේක්ෂා කර සිටියි. ව්‍යවස්ථාමය වශයෙන් මෙහිදී සිදු වන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර ගිවිසුමක් හටගැනීම වේ. එය ජනතා-සම්මුතිය හෝ සමාජ ගිවිසුම (Social Contract) යනාදි නම්වලින් හඳුන්වනු ලැබේ. ආණ්ඩුව විසින් එම අපේක්ෂා ඉටු නොකරන අවස්ථාවන්හිදී එම ගිවිසුම උල්ලංඝනය වේ.
සමාජ ගිවිසුම කඩ කළ විට
ආණ්ඩුවක් විසින් සමාජ සම්මුතිය/ගිවිසුම කඩකරන විට ජනතාවට ඇති ප්‍රතිකර්මය කුමක් ද යන්න වත්මන් ව්‍යවස්ථා ආකෘති නිර්මාණයේ පුරෝගාමීන් වන ජෝන් ලෝක් (1632-1704), ජැක්ස් රොසියිරෝ (1712-1778) යන අයට ද ගැටලුවක් විය. බලයට පත්වූවන් විසින් සමාජ සම්මුතිය කඩ කළ විට අධිකරණයට යාමට නොහැකි ය. ඊට නීතිමය බාධා ඇත. ජෝන් ලෝක් තර්ක කරන්නේ ජනතාවගේ ස්වාභාවික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එම ආණ්ඩුව පලවා හැර නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ අයිතිය ජනතාවට ඇති බව ය. සමාජ සම්මුතිය කඩකළ ආණ්ඩුවකට එරෙහිව අරගල කිරීමට ජනතාවට ඇති අයිතිය ඔවුන් විසින් පිළිගෙන ඇත.
ව්‍යවස්ථාවට අනුව රජයේ වගකීම
ජනතා සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ. ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සඳහන් ය. ඒවා පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු බව 27 වන වගන්තියේ සඳහන් ය. එහි ඇති වෙනත් මූලධර්ම අතර,
I. සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස සපුරාලීම,
II. පොදුජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදාහැරීම,
III. නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ට සමාජ ක්‍රමයක් පිහිටුවීම,
IV. නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සමාන ඉඩප්‍රස්ථා ලබාගැනීමේ අයිතිය සහතික කිරීම ඇතුළුව කාරණා 8ක් ඉටු කිරීමට රජය ඇපකැප වී සිටියි (27(2)).
එසේම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත්භාවය සහ දේශපූර්ණත්වය ආරක්ෂා කිරීමට (27(3)) කිසිදු භේදයකින් තොරව සියලු පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්ථා සැලසීමට (27(6)වගන්තිය) ආර්ථික හා සාමාජික වරප්‍රසාද හා විෂමතා ද, මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කරගැන්ම තුරන් කිරීමට (27(7)) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානි කරවන සේ ඒකරාශී නොවීමට (27(8)) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට (27(9)) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්ෂා කිරීමට (27(12)) ජනතාවගේ යහපත තකා පරිසරය ආරක්ෂාකොට සුරක්ෂිත කොට වැඩිදියුණු කිරීමට (27(14)) රජය බැඳී ඇති බවට පනවා තිබේ. ඒ අනුව ජනතාව විසින් ආණ්ඩුව පත් කරන්නේ ඉහත කී ප්‍රකාර වූ ව්‍යවස්ථාමය යුතුකම් හා වගකීම් ජනතාව වෙත හා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ය.
ව්‍යවස්ථාවට පරිබාහිර ජනතා අරගල
ජනතා අපේක්ෂා ඉටු නොකළ හා සමාජ සම්මුතිය කඩ කළ ආණ්ඩුවක් පලවා හැරීම හා නව ආණ්ඩුවක් පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් සෘජුව ලබා දී ඇති ක්‍රමවේදය මැතිවරණ හා ජනාධිපතිවරණයයි. එහෙත් එම මාර්ගවලින් පරිබාහිරව ගොස් ජනතා අරගලවලින් දේශපාලන නායකත්වය වෙනස් කිරීම ශ්‍රී ලංකාව තුළ සිදුව තිබේ. එපරිදිම මෙම වසරේදීම දකුණු කොරියාව, ප්‍රංශය, බංග්ලාදේශය හා සිරියාව වැනි රටවල පැවැති පාලන වෙනස්කම් සිදුව ඇත්තේ ද විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වූ ජනතා නැගී සිටීම්වල ප්‍රතිඵල වශයෙන් මිස මැතිවරණවලින් නොවේ.
ජාතික ජනබලවේගයේ විසංවාදය
ජාතික ජන බලවේගය බලයට පත් වීම ද එක්තරා ආකාරයක ජනතා අරගලයක ප්‍රතිඵලයකි. එහෙත් එය නිශ්චිත දේශපාලන දර්ශනයක් මත ගොඩනැගුණු බලවේගයක් නොව හුදෙක් පොදු වැඩපිළිවෙලක් වටා ගොනු වූ දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21 කින් සමන්විත දේශපාලන ව්‍යාපාරයකි. එම සංවිධාන හා පක්ෂවලට ඒවාටම ආවේණික දර්ශන හා දැක්ම තිබෙන්නට ඇත. ඒවා කවරේද යන්න පැහැදිලි නැත. එම ව්‍යාපාරය බලයට පත්වෙන්නේ සමාජ සාධාරණත්වය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, එක්සත්බව සහ සහයෝගීතාව, තිරසාරබව හා දූෂණයෙන් තොර පාලනයක් යන ඉලක්ක ඇතිවය. එහෙත් ජනතාව විසින් විප්ලවීය හා රැඩිකල් වෙනසක් සිදුවෙතැයි බලාපොරොත්තු විය. මූලිකව තමන් රැවටූ මංකොල්ලකාර දේශපාලඥයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආර්ථික පරිණාමයකට අවශ්‍ය වන පරිදි සමාජ, ආර්ථික හා නීති ක්‍රම පද්ධතියේ වෙනසක් ජනතාවගේ අපේක්ෂාව විය. එහෙත් ජාතික ජනතා ජන බලවේගයේ සංයුතිය හා ආකෘතිය තුළ එවැනි කඩිනම් විප්ලවයකට අවශ්‍ය පදනම වැටී නොමැත. ඊට ප්‍රධානතම හේතුවකි, විවිධ මතවාදවලින් සැදුම්ලත් කණ්ඩායම් එකම අරමුණකට ගොනු කිරීමට හා ඉලක්කයකට යොමු කිරීමට සමත් පොදු දේශපාලන දර්ශනයක් ඊට නොතිබීම. එවන් පසුබිමක එකී ව්‍යාපාරය සංයුක්ත වී තිබෙන කණ්ඩායම් හා පුද්ගලයන් තම තමන් විසින් වෙන් වෙන්ව විශ්වාසය තබන මත හා දැක්ම මත පිහිටා අසංවිධිත ක්‍රියාමාර්ගවල නිරතව සිටියි. එම විසංවාද අභ්‍යන්තර ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනු දක්නට ඇත.
යථාර්ථය පිළිගැනීම
විසඳුමක් සඳහා නිහතමානී ලෙස පවතින යථාර්ථය පිළිගත යුතුය. පෙර කී විසංවාදය හා අවිධිමත්භාවය තුළ ආණ්ඩුව මේ වන විටත් විවිධ ස්වරූපයන්ගෙන් යම් අසාර්ථකත්වයක් ජනතාව හමුවේ පෙන්නුම් කරමින් සිටියි. (අ) පරිපාලන නිලධාරීන්ට හා ඇතැම් නිෂ්පාදනවල බලාධිකාරිය දරන ව්‍යාපාරිකයන්ට යට වීම හා ඔවුන් මෙහෙයවීමට හා පාලනය කිරීමට ඇති නොහැකියාව (ආ) අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා උසස් තනතුරුවලට පත්වීම් ලැබූවන් අතර අන්‍යෝන්‍ය එකඟතාවක් හා කතිකාවක් නොමැතිවීම (ඇ) එම අයගේ අත්දැකීම්වල හා ප්‍රායෝගික දැනුමේ ඇති දුර්වලතා හා නොහැකියාව (ඈ) එම අයගේ අවංකභාවය හා නිහතමානිත්වය පිළිබඳව ඇති ගැටලු (ඉ) ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමට හා ජාත්‍යන්තරය හමුවේ රටේ ස්වෛරීත්වය හා නිදහස ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව (උ) නව චින්තනයන් ඔස්සේ යමින් නවීන සමාජ-ආර්ථික හා තාක්ෂණික තත්ත්වයන්ට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට මෙතෙක් නොහැකි වීම යනාදිය ආණ්ඩුවේ අසරණභාවයට තුඩු දී තිබෙන සාධක කිහිපයකි.
තවත් අරගලයක් ඇතිවීම වළක්වාලීම
ජනතාව විසින් අපේක්ෂා කළ දේත් අත්දකින දේත් අතර මතුවෙමින් තිබෙන පරතරය ජනතාවත් ආණ්ඩුවත් අතර ගැටීමකට මුලපුරා තිබේ. තැනින් තැන සිදුකරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් අවසානයේ දී දැවැන්ත දීපව්‍යාප්ත අරගලයකට වුවද නිමිති විය හැකි ය. එහෙත් අද රට එවැන්නකට සූදානම් නැත. එවැන්නක් සිදුවීමට ඉඩහැරීමද භයානක ය. එවැන්නකින් රට අස්ථාවර වීම, රාජ්‍ය යාන්ත්‍රණය හා ජන විඥානය විකෘති වීම, ජනතාව මර්දනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වීම, ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවකාශය සැලසීම, ආර්ථික-සමාජීය වශයෙන් රට බිඳවැටීම යනාදිය සිදුවේ. උතුරේ හා දකුණේ ජනතාව එක්ව සාදන ලද ශක්තිමත් ආණ්ඩුවක් නව දිශානතියක් ඔස්සේ ආරම්භකරන ලද ගමන ආපසු හැරවීම හෝ අඩාළ කිරීම ජන විඥානයට හා පෞරුෂයට මෙන්ම රටේ අනාගතයට හා ආරක්ෂාවට ද හානිකරය.
එවැන්නක් වළක්වා ගත හැකි වන්නේ ජනතා බලය හා රාජ්‍ය බලය එක් මධ්‍ය ලක්ෂ්‍යයකට කේන්ද්‍රගත කිරීමෙන් ය. එවැනි යාන්ත්‍රණයක් තුළ රජය හා ජනතාව එකිනෙකාගේ ඉලක්ක, හැකියාවන් හා සීමා මෙන්ම යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ක්‍රියා කරනු ඇත. එහිදී ආණ්ඩුව හා ජනතාව අතර ඇති සමාජගිවිසුම නව්‍යකරණයකට පත් වනු ඇත. සාම්ප්‍රදායික ව්‍යවස්ථා නීතියට ආගන්තුක වුව ද එහිදී ජනතාවත්, රජයත් පරමාධිපත්‍ය බලය එකම තලයක් මත සමගාමීව ක්‍රියාත්මක කරනු ඇත.
ප්‍රායෝගික පියවර
පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට ආණ්ඩුව විසින් වහා ගත යුතු පියවර 4 ක් හදුනාගත හැකිය.
1. ජනතාව හා රජය යන දෙපාර්ශ්වයම පිළිගන්නා පොදු දැක්මක් සහිත (දේශපාලන) දර්ශනයකට එකඟවීම,
2. අමාත්‍යවරු ඇතුළු විධායකයේ ධුර දරන සියලු (රාජ්‍ය) නිලධාරීන් විසින් පිළිපැදිය යුතු පොදු ආචාරධර්ම හා දැඩි රීති පද්ධතියක් සැකසීම
3. ජනතාව හා රජය සහසම්බන්ධ කරවන හා ජනතාවට රාජ්‍ය පාලනය හා සම්බන්ධ තීරණ ගැනීමෙහිලා සෘජුව සම්බන්ධ විය හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම හා එහිදී ජනමාධ්‍යයට විශේෂ වගකීමක් හා කාර්යභාරයක් පැවරීම
4. රාජ්‍ය හා පුද්ගලික ආයතන යටත් වන නවීන ක්‍රමපද්ධතියක් හා රෙගුලාසි රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීම
නව දර්ශනයක් සඳහා ඉන්දියාවේ ආදර්ශය
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ඉන්දියාව ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය බවට පත්කිරීම සඳහා ජනතාව මෙහෙවන ලද්දේ ද සමස්ත ජනතාවගේම හදවත් තුළ රෝපණය කළ ප්‍රබල දැක්මක් සහිත දර්ශනයක් හා ඒ මත පදනම් කරගත් සංකල්පයන් ඔස්සේ ය; එම දර්ශනයේ පදනම ජාතිකත්වය හා දේශප්‍රේමිත්වය ය. මව්බිම (භාරතය) මූලික කරගත් මෙම සංකල්ප ජන විඥානයේ විශාල පරිවර්තනයක් සිදු කර තිබේ. එමගින් ජාතික පරිවර්තනයක් උදෙසා තම ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉන්දීය ජනතාව (ජාති-වයස බේදයකින් තොරව) පොලඹවා තිබේ. ඒක්-භාරත්, ක්ෂේත්‍ර භාරත්, ස්වාචි භාරත් අභියන්, මේක් ඉන්දියා, ආයුෂ්මන් භාරත්, ඩිජිටල් ඉන්දීයා එම සංකල්පයන්ය. එපරිද්දෙන් ම වික්සිත්-භාරත් 2047 දරන දැක්ම ඔස්සේ වත්මන් ඉන්දියාව ආර්ථික, තාක්ෂණික, සමාජිය සමානාත්මතාව, පරිසර ස්ථායිතාව හා යටිතල පහසුකම් යනාදි ක්ෂේත්‍ර 5 ක දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ජාතිකත්වය මත පදනම් වූ දර්ශනයක් හා සංකල්ප මගින් විවිධ ජනවර්ග එක්සේසත් කරමින් දේශප්‍රේමී ජනවිඥානයක් ඇති, කැපවෙන ජනතාවක් හා රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කළ හැකි බවට හොඳම උදාහරණය ඉන්දියාව ය.
රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී හා තීරණ ගැනීමේ දී ජනතාව සෘජුව සහභාගි කරවා ගැනීම ආණ්ඩුවේ වගකීම ය. ඒ සඳහා රජයට සෘජුව දායකත්වය ලබාදීම ජනතාවගේ වගකීම ය. එවැනි සබඳතාවක් බිහිකළ හැකි වන්නේ ජාතිකත්වය මත ගොඩනැගුණු දැක්මක් මත ය.
ආණ්ඩුව විසින් ගෙවුණු මාස 3 ඇතුළත වහාම කළ යුතු වූයේ මෙවන් යාන්ත්‍රණයක් සකස් කර රට දැවැන්ත සංවර්ධන ගමනකට සූදානම් කිරීමය.