ආණ්ඩුව පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ දීලා


හැඩගැසෙන පෙළගැසෙන   
දේශපාලන රටාව කියවමු  

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඉතිහාසය අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

ගතවූ වසර දෙක හමාරක කාලයේදී ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විසින් වර්තමානයට ගෙන එනු ලැබ ඇති අර්බුද හා ඒ ඔස්​ෙස් ආණ්ඩුවේ ඉදිරි පාලන කාලය විෂයෙහි මතුවිය හැකි නව තත්ත්ව ගැනත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණවලදී එජාප ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ වටා ජනබලය පෙළගැසීමට ඉඩ ඇති ආකාරය පිළිබඳවත් මේ සාකච්ඡාව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමඟය.   


ප්‍රශ්නය:- වත්මන් ආණ්ඩුවේ ගෙවුණු අවුරුදු දෙකහමාරක කාලයේ ක්‍රියාකාරිත්වය ගැන ඔබේ තක්සේරුව මොකක්ද?   


පිළිතුර:- මේ ආණ්ඩුව පත්වුණු විදිය ව්‍යුහාත්මකව සලකා බැලුවොත් ඒක ටිකක් වෙනස්. 1970 සමගි පෙරමුණ ආණ්ඩුව පත්වුණ විදියෙත් 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත් වුණ විදියෙත් කිසියම් ආකාරයක පැහැදිලි දැක්මක් තිබුණා. මේ අවස්ථා දෙක පරමාදර්ශි ආකෘති දෙකක් හැටියටත් සලකන්න පුළුවන්. 1977 බලයට පත්වුණු ආණ්ඩුව ගත්තොත් ඒක බලයට පත්වෙන්නෙ ලිබරල් ආර්ථික දැක්මක් එක්ක. ඊට පස්සෙ 2004-2005 කාලයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වුණු විදිය ගත්තොත් ඒකෙත් යම්කිසි දැක්මක් තිබුණා. එල්ටීටීඊ සංවිධානයෙ ක්‍රියාකාරකම් එක්ක එ්ක එන්නේ ජාතිකවාදී දැක්මකින්. මේ හැම අවස්ථාවකදීම බලයට පත්වුණු කණ්ඩායම ඇතුළෙ කිසියම් ඒකාබද්ධතාවක් තිබුණා. ඒ ඒකාබද්ධතාව තමයි ඒ ආණ්ඩුවල පදනම් වුණේ.   


නමුත් 2015 වෙච්ච දේ ඊට තරමක් වෙනස්. 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය ගත්තොත් ඒක සංවිධානය වුණේ බලයට පත්වෙච්ච දේශපාලන කණ්ඩායම්වලට පිටින්. ඒ ජනාධිපතිවරණයෙන් බලයට පත්වුණු දේශපාලන කණ්ඩායම් හා රාජපක්ෂ අාණ්ඩුව පරාද කිරීමට බලපෑ දේශපාලන අභිලාෂ අතර දිගට යන ඒකාබද්ධතාවක් තිබුණෙ නෑ. මේකෙන් අපිට පැහැදිලි වෙනවා ආණ්ඩු බලයට පත්වෙන්නේම ආණ්ඩු පෙරළියෙන් පස්සේ ඇතිවෙන අර්බුදයක් ඇතුළෙම තියාගෙන කියලා. 1994 දි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණ අවස්ථාවෙත් මේ වගේ තත්ත්වයක් තිබුණා.   


ප්‍රශ්නය:- 2015 දී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ඒ වටා එකතු වුණු බලවේගවල අභිලාෂවලට ආමන්ත්‍රණය කරන්නට සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වී තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීම තමන් අතට ගත් නිසාද?   


පිළිතුර:- ඒක එක හේතුවක්. ඒ වගේම ඒකත් මේකෙම කෑල්ලක් වෙන්න පුළුවන්. එතනදි බලයෙ හවුල්කාරි පාර්ශ්ව ගත්තොත් ප්‍රධාන වශයෙන් එජාපයයි ශ්‍රීලනිපයයි හිටියා. මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වයට එතනදී වෙනම ප්‍රශ්නයක් මතු වුණා. ඒ තමයි ඒ අයට පදනමක් නොතිබුණ එක. ඕනෑම ආණ්ඩුවක් ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රයක් උඩ බලයට ආවට ඊට පස්සේ බල දේශපාලන න්‍යාය පත්‍රයක් හැදෙනවනේ. ඒක පවත්වාගෙන යන්න නම් දේශපාලන පදනමක් ඕනැ. ඒ දේශපාලන පදනම හදාගනිද්දී මෛත්‍රිපාල කණ්ඩායම කල්පනා කළ දේ තමයි ශ්‍රීලනිපයේ පරාජිත මැති ඇමැතිවරුන්ට යළි බලහවුල්කාරිත්වයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා ශ්‍රීලනිපයෙන් යම්කිසි පිරිසක් තමන්ගේ පැත්තට දිනාගන්න එක.   


ඒ ක්‍රියාවලිය, ජනාධිපතිවරයාව බලයට පත්කරන්න කටයුතු කරපු අභිලාෂ එක්ක එක්තරා විදියක අර්බුදයක් ඇති කළා. ජනාධිපතිවරයාව බලයට පත්කරන්න කටයුතු කරපු උතුරෙ කොටස්වල අභිලාෂ වෙනම තියෙනවා. සතුරා එළවන්න එකට එකතු වුණාට සතුරා එලෙව්වට පස්සේ මොකද කරන්නේ කියන එක ගැටලු සහගතයි.   


ප්‍රශ්නය:- පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක අවධියේදී රාජපක්ෂ කණ්ඩායම මේ තත්ත්වය ‘කැඳ හැළියක එකතුවක්’ කියා හැඳින්වූවා. මේ දිගින් දිගටම එන්නේ ඒ කණ්ඩායම්වල අභිලාෂ අතර ගැටුමක්ද?   


පිළිතුර:- ඒක ඇත්ත. එහෙම එකක් තියෙනවා. මේ ගැන ගොඩක් අය නොදැනුවත්ව හිටියෙ නෑ. ඒ නිසා තමයි සීමිත න්‍යාය පත්‍රයක් යෝජනා කළේ. ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම හරිම අමාරුයි. බල අභිලාෂ වෙනම එනවා. මෙතනදිත් ඒ ගැටුම පැහැදිලිවම පෙනෙන්න තිබුණා.   


ඊට පස්සේ ක්‍රමානුකූලව වෙන්නෙ ජනවාරි අටවෙනිදා එකතුවෙලා හිටපු බලවේග සීසිකඩ යන එක. එහෙම වුණාට ආණ්ඩු බලය පාවිච්චි කරන්න පුළුවන් පිරිසක් හැදෙනවා. ඒක හැදෙන්නෙ ස්ථාපිත දේශපාලන ප්‍රභූ තන්ත්‍රයෙන්. ඒකේ එක මූලික කේන්ද්‍රයක් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය වටාත් අනික මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය වටාත් සංවිධානය වෙනවා. ඒ දෙකේ පරස්පර තියෙනවා. නමුත් දෙගොල්ලොන්ටම බලය තියෙන නිසා ඒවා සමනය වෙලා තියෙනවා. මේ විදියෙ ප්‍රධාන කඳවුරු දෙකක් තිබුණට ජනවාරි අටවැනිදා එකතු වුණු සියලු බලවේග ​ෙම් අයට ඒකරාශි කරගන්න බෑ.  


ප්‍රශ්නය:- එජාප-ශ්‍රීලනිප ප්‍රධාන පාර්ශ්ව දෙක අතර විරසකකම් ඇතිවීමට ජනවාරි අට ජයග්‍රහණයට උර දුන් බලවේග ජයග්‍රහණයෙන් පසු සීසීකඩවීමත් එක හේතුවක් ද?   


පිළිතුර:- බලයට පත්වෙනකොටම මේ අර්බුදයත් එක්ක තමයි අාවේ. මේකෙ තියෙන බරපතළම අර්බුදය තමයි මතුවෙලා තියෙන විශාල ආර්ථික ගැටලුව. ඒක ලේසියෙන් ගොඩඑන්න පුළුවන් ආර්ථික අර්බුදයක් නෙවෙයි. අනිත් බරපතළම ප්‍රශ්නය තමයි දකුණේ සිංහල-බෞද්ධ මධ්‍යම පන්තික ජනයා අතරේ මේ ආණ්ඩුවට තියෙන පිළිගැනීම අඩුවීම. ඒ අය ආණ්ඩුව ගැන කලකිරීමට පත්වෙලා ඉන්නවා. මේ ප්‍රශ්න දෙකම ආණ්ඩුව මුහුණ දීලා ඉන්න අර්බුදයට බලපාලා තියෙනවා.   


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව පිළිබඳව පොදුජන විඤ්ඤාණයේ ගොඩනැගිලා තියෙන ආකල්ප සලකා බැලූ විට රාජපක්ෂ යුගයේ තිබූ ඒකාධිපතිත්වය නැති කිරීම හැරුණු විට ඒ යුගයේ ක්‍රියාත්මක වුණු දූෂණ, වංචා මේ ආණ්ඩුව යටතේත් ඒ විදියටම ක්‍රියාත්මක වෙන බව මිනිස්සු කල්පනා කරන බවක් පේනවා. මේ පසුබිමේ 2015 දේශපාලන පරිවර්තනයේ දී පුද්ගල වෙනසකින් එහාට ගිය පාලන තන්ත්‍රයේ ප්‍රබල වෙනසක් සිදුවී නොමැති බවට වන විශ්වාසයකට ජනතාව පැමිණීම සාධාරණයි කියා ඔබ හිතනවාද?   


පිළිතුර:- මෙහෙමයි. දූෂණ වංචා කියන දේවල් 1970 ගණන්වල ඉඳලා අපේ දේශපාලන ක්‍රමයෙ මුල් බැසගෙන තියෙන ලක්ෂණ. 1970 ගණන්වලට පෙර දේශපාලන ප්‍රභූ පන්තිය ආවෙ ධනවත් පසුබිමකින්. ඒ ගොල්ලන්ගෙ පවුල්වලින්ම ධනය ලැබුණා. ඒ නිසා ඒ අය දේශපාලනයට ආවේ ආර්ථික අභිලාෂ පෙරදැරි කරගෙන නෙවෙයි. නමුත් 1970 ගණන්වලින් පස්සේ අලුත් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයක් නිර්මාණය වෙනවා. ඒකෙ ගොඩක් ඉන්​ෙන සමාජයේ පහළ ස්ථර නියෝජනය කරන අය. ඒ අයට දේශපාලන බලය කියන්නේ ධනෝපායන මාර්ගයක්. මොකද ඒ අය ධනය උපයලා තියෙන්නේ දේශපාලන බලය පාවිච්චි කරලා.   


ප්‍රධාන පක්ෂ කඳවුරු දෙකේම තත්ත්වය මේකයි. මේ ක්‍රමය ඇතුළෙ කිසිම කෙනෙකුට අයථා විදියට මුදල් උපයන්නෙ නැතුව දේශපාලනයෙ ඉන්න බෑ. සමහරු පෞද්ගලිකව අයථා විදියට මුදල් හම්බ කරන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් ඒ අයට හිතවත් අනුග්‍රාහකයන්ට, ආධාරකරුවන්ට මුදල් ඉපයීම පහසු කිරීම සඳහා දේශපාලන බලය පාවිච්චි කරනවා.   


බැඳුම්කර සිද්ධියේදී වුණත් එළියට එන්නෙ මේ වගේ තත්ත්වයක්. මෙතන තියෙන යහපත් තත්ත්වය තමයි මේ ගැන යම් මහජන මතයක් ගොඩනැගිලා තියෙන එක. බැඳුම්කර සිද්ධිය ගැන පරික්ෂණ යම් මට්ටමකට ඉදිරියට යන්නෙත් ඒ මහජන මතයෙ බලපෑම නිසා.   


 ප්‍රශ්නය:- මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හඳුන්වාදීම මනාප ක්‍රමය ඉවත් කිරීම වගේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුව සිදුකළා. ඒවයෙන් ප්‍රතිඵලයක් වෙලා තියෙනවද?   


පිළිතුර:- ජනවාරි අට වෙනුවෙන් හදපු න්‍යාය පත්‍රයෙ ඕවා තමයි තිබුණෙ. ප්‍රශ්නය තියෙන්නෙ ඒක කරන්නෙ කොහොමද කියන එකේ. අපි ඒවා බාර දෙන්නෙත් ඒ දූෂිත ක්‍රමයෙම කොටස්කාරයො වෙලා ඉන්න අයටනේ. එතෙනදි වුණේ ඒ අයගේ ප්‍රතිවාදියන්ට එරෙහිව ඒවා පාවිච්චි කළාට ඒ අයත් ඒවාම කරන එක. ජනවාරි අට තමන් වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව පිනවන්නයි තමන්ගේ විවේචකයන්ට උත්තරයක් දෙන්නයි තමයි මේ අය තමන්​ෙග් ප්‍රතිවාදීන්ට විරුද්ධව මේවා පාවිච්චි කළේ.   


අනික තමයි තමන්ගේ ප්‍රතිවාදීන්ගේ වුණත් වැරැදි දූෂණ හොයන එක අවදානම් වැඩක්. මොකද මේවගේ තියෙන්නේ එකකට එකක් සම්බන්ධ ජාලයක්. ගොඩක් ඒවට මේ ආණ්ඩුවේ අයත් සම්බන්ධ බව එහෙම හොයන කොට හෙලිවෙනවා. බැඳුම්කර පරික්ෂණ වලදීත් එහෙම තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේකෙන් පේන්නෙ මේ වගේ දේවල්වලින් දේශපාලන ක්‍රමයක් ප්‍රතිසංස්කරණය කරනවා කියන්නෙ හරිම අමාරු වැඩක් කියලා. 

 
ප්‍රශ්නය:- වික්ටර් අයිවන් ව​ෙග් විචාරකයෙක් කියන්නේ දේශපාලන නායකයනුත්, පක්ෂත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් තියෙන අවධියකට සමාජය පැමිණ තිබෙන්නෙ කියලා. ඔබත් එහෙම හිතනවද?   


පිළිතුර:- ඒක හරි ගැටලු සහගතයි. මම හිතන්නේ ඕක එච්චරම සරල නෑ. මොකද මිනිස්සු මේ දේශපාලන ක්‍රමයත් එක්ක ගනුදෙනු කරන්නෙ හරිම අපූරු විදියට.   


මම ඒකට එක උදාහරණයක් කියන්නම්. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මමත් ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දුන්නා. මමත් එක ප්‍රදේශයකට ගිහින් මිනිස්සු එක්ක කතා කළා. ඒ මිනිස්සු අනවසරයෙන් වැලි ගොඩදාන එකයි පස් කපන එකයි සිද්ධ කරනවා. ඒ ගොල්ලො කියන්නේ ජවිපෙ හොඳ පක්ෂයක් තමයි නමුත් ජවිපෙ බලයට ආවොත් අනවසරයෙන් පස් කපන එකයි වැලිගොඩ දාන එකයි කරන්න බැරිවෙනවා කියන එක.   


සාමාන්‍ය මිනිස්සුන්ට මේ ක්‍රමය ගැන විවේචනයකුත් තියෙනවා. හැබැයි ඒ අයගෙ ජනජිවිතය ගැටගැහිලා තියෙන්නෙත් මේ දූෂිත ක්‍රමය එක්ක. මේක හරි අපූරු තත්ත්වයක්. අපේ දේශපාලනයත් ඒ වගේ. හැමෝටම දේශපාලනය ගැන විවේචනයක් තියෙනවා. දැන් දූෂණ ගැන කතාකරන සමහර දේශපාලනඥයොත් මීට කලින් දූෂණ කරපු අය. රටේ ජනතාවත් මේකට හුරුවෙලා තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න පහසු සූත්‍රයක් නෑ.   


මේක වෙනස් කරන්නට ඕනැ කියන එක ගැන මිනිස්සුන්ට අභිලාෂයක් තියෙනවා. ඒත් ඒකයි යථාර්ථයයි අතර තියෙන්නේ අපූරු නොගැළපීමක්. ඒ නිසා වික්ටර් අයිවන් කියන විදියට මේක සරල දෙයක් කියලා මම හිතන්නේ නෑ.   


ප්‍රශ්නය:- අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වගේ ජනවාරි අට ජයග්‍රහණය වටා ඒකරාශි වූ බලවේගවල පොදු ඉල්ලීම්වලට අදාළ ආණ්ඩුවේ ප්‍රතිචාර දැක්වීම ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇති ආකාරයක් දකින්න තියෙනවා. මෙවැනි තත්ත්වයක ආණ්ඩුවේ ඉදිරි වසර දෙකහමාරක පාලනය කෙරෙහි මතුවිය හැකි අභියෝග මොනවාද?   
පිළිතුර:- ඇත්ත වශයෙන්ම ආණ්ඩුව පැවැත්ම පිළිබඳ අර්බුදයකට මූණ දීලා ඉන්නේ. ජනාධිපතියි, අගමැතියි අතර ලොකු විරසකයක් ඇතිවෙලා. දේශපාලන අර්බුදයක් හට නොගත්තොත් මේ ආණ්ඩුවට 2020 වෙනකන් ඉන්න පුළුවන්. 2015 ජනවාරි හදපු සන්ධානය නැවතත් හදන්න බෑ. ඒක කොහොමත් හැදෙන එහෙකුත් නෑ. එජාපයට බලයෙ ඉන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඒ අයට තියෙන මහජන පදනමක් මත නෙවෙයි. එජාපයට එහෙම ලොකු මහජන පදනමකුත් නෑ. ඒක තීරණය වෙන්නෙ ප්‍රතිවිරුද්ධ කඳවුරේ ශක්තිය හෝ දුර්වලතාව මත.   


ප්‍රශ්නය:- ඉදිරි මැතිවරණවලදී රාජපක්ෂ කණ්ඩායම ශක්තිමත් බලවේගයක් හැටියට මතුවිය හැකි බවට පුරෝකථන ඉදිරිපත් වෙනවා. ඔබත් එහෙම දෙයක් දකිනවාද?   


පිළිතුර:- මගේ පුරෝකථනය තමයි නාගරික ප්‍රදේශය හැරුණහම පිට ප්‍රදේශ බොහොමයක පොදු ජන පෙරමුණ පළමු තැනට එන්න ඉඩ තියෙනවා. එජාපය දෙවැනි ස්ථානයටත් ශ්‍රීලනිපය වෙනම තරග කළොත් තුන්වැනි තැනටත් පත්වෙන්න ඉඩ තියෙනවා. ජවිපෙත් යම් ඡන්ද ප්‍රමාණයක් ගනියි. බොහෝ ප්‍රදේශ අනුව මේ ව​ෙග් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වුණත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන්න අමාරුයි. සාපේක්ෂව බැලුවොත් සිංහල-බෞද්ධ ජනතාව අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියෙන පදනම ඉහළයි. ශ්‍රීලනිපයට ඒ ජන කණ්ඩායම අතර මොන විදියෙ ඡන්ද පදනමක් ගොඩනඟා ගන්න පුළුවන් ද කියන එක තීරණය වෙන්නේ ඒ පක්ෂය එක්ක එකතුවෙන පාර්ශ්ව අනුවයි. මොකද ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය හැදිලා තියෙන්නෙ ප්‍රාදේශීය නායකයො මත රඳා පවතින විදියට. ඒ වගේ තත්ත්වයක ශ්‍රීලනිපයේ ප්‍රා​ෙද්ශීය නායකයො පක්ෂය එක්ක ඉඳියිද කියන එක අනුව ශ්‍රීලනිපයෙ ඡන්ද පදනම තීරණය වෙයි. ඒ කොහොම නමුත් දේශපාලන ක්‍රමයෙ පෙර නොතිබුණු විදියෙ අර්බුදයක් එනවා කියන එක නම් පැහැදිලියි.   


ප්‍රශ්නය:- 2015 ජනාධිපතිවරණය ආසන්න අවධිය වෙන විට කිය වුණේ මහින්ද රාජපක්ෂ පරාජය කළ නොහැකියි කියලා. නමුත් ඔහු පරාද කරන්න පුළුවන් වුණා. ඒ පරාජයෙන් අවුරුදු දෙකහමාරක් ගිය තැන මහින්දට මේ විදියෙ ප්‍රසාදයක් හිමිවෙන්නෙ කොහොමද?   


පිළිතුර:- ඒකට අපි ඔහු පරාජය වුණු විදිය තේරුම් ගත යුතුයි. අපේ දේශපාලන ක්‍රමයෙ විකාශනය දිහා බැලුවහම ‘දේශපාලන ජනකොට්ඨාස’ තියෙන බව අඳුනගන්න පුළුවන්. පහුගිය කාලේ සිංහල-බෞද්ධ සමාජයේ යම්කිසි ඒකාබද්ධතාවක් ඇතිවුණා. ඒකේ ප්‍රකාශනය තමයි රාජපක්ෂලගෙ වර්ධනය. 2010 වගේ වෙනකොට ඒගොල්ලො උපරිම විදියට වර්ධනය වෙලා හිටියා. සමහර ප්‍රදේශවල එයාලගෙ ඡන්ද ප්‍රතිශතය සීයට හැත්තෑව දක්වා ඉහළ ගොස් තිබුණා. ඊට සාපේක්ෂව එජාපයේ ඡන්ද පදනම බොහෝ ප්‍රදේශවල පහළ බැහලා තිබුණා. රාජපක්ෂලා සිංහල-බෞද්ධ සමාජයේ කේන්ද්‍රය ඒ අයගෙ ග්‍රහණයට අරගෙන තිබුණත් පරිවාරයෙදි එයාලට විරෝධයක් ගොඩනැගුණා. ඒ පරිවාරයෙ හිටියේ ආගමික හා වාර්ගිකමය වශයෙන් සිංහල-බෞද්ධ නොවන කොටස්.   


රතුපස්වල ව​ෙග් සිදුවීම් එක්ක රාජපක්ෂ ව්‍යාපෘතියේ පතුරු කැඩි කැඩී ගියා. මෛත්‍රීපාල සිරිසේන අයින්වීමත් ඒ විදියෙ පතුරු කැඩීමක්. හෙළ උරමයත් එහෙමයි. ඒ පතුරු ටික එකතු වෙලා තමයි 2015 ජනවාරි බලවේගය හැදෙන්නේ. ඒ බලවේගයටම විශේෂිත වූ අනන්‍යතාවක් නෑ. නමුත් මහින්ද රාජපක්ෂගෙ ව්‍යාපාරයට ඒකටම විශේෂිත වූ අනන්‍යතාවක් තියෙනවා. රාජපක්ෂට විරුද්ධව මේ බලවේග එකට එකතු වුණාම එයා පරාද කළාට පස්සේ මොකක්ද කරන්නෙ කියන එක ගැන පුළුල් එකඟතාවක් තිබුණෙ නෑ. මේ වගේ තත්ත්වයක මහින්ද රාජපක්ෂ විපක්ෂයට ගියහම එයාට අහිමිවෙච්ච දේවල් ලබාගන්න පුළුවන්. රාජපක්ෂගෙ ප්‍රතිවාදියගෙ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා දැන් මතු වෙනවා. ඒක සරල කාරණයක්.   
 

 

 

 

 

 

 

 

 

 සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ