ආණ්ඩුව හැම අතින්ම අසාර්ථකයි


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

  • අනික් රටවලත් මෙහෙම කොවිඩ් ප්‍රශ්නය ආවට මේ විදියට බඩු මිල වැඩිවෙලා නෑ. අන්න ඒකයි අපේ රටයි අනික් රටවලයි අතර තියෙන වෙනස. අසල්වැසි ඉන්දියාවේ වුණත් මම අද උදේත් වෙබ් සයිට් බැලුවා. භාණ්ඩ මිල මේ විදියට වැඩිවෙලා නෑ. එංගලන්තයේ මගේ දුව ඉන්නවා. භාණ්ඩවල මිල ඒ මට්ටමේම පවත්වාගෙන යනවා. බොහෝ රටවල තත්ත්වය ඒක තමයි. 

 

 
‘ආණ්ඩුව අසමත්’ විපක්ෂය එසේ චෝදනා කරයි. මේ හුදු සටන් පාඨයක්ද? මේ ඒ ගැන රටේ කතාබහට ලක්වන දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි. 
 
ප්‍රශ්නය - රන්ජන් රාමනායක වෙනුවට පාර්ලිමේන්තුවට ආව අජිත් මාන්නප්පෙරුම ඔබේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පිළිගන්නෙ නැද්ද? 
 
පිළිතුර - ඇයි පිළිගන්නේ නැත්තේ. එතුමා අපේ පක්ෂයේ. ලිස්ට් එකේ ඊළඟට නම තිබුණේ එතුමගේ. එතුමාට තමයි පුරප්පාඩු වෙච්ච මන්ත්‍රී ධුරයට අයිතිවාසිකම තියෙන්නේ. එතුමා අපේ මන්ත්‍රීවරයෙක්. 
 
ප්‍රශ්නය - නමුත් ඔබලා පසුගිය කාලයෙම පාර්ලිමේන්තුව දෙවනත් කළා රංජන් ඕනෑ කියලා. ඒකෙන් කියැවෙන්නේ අජිත් මාන්නප්පෙරුම එපා කියලනේ? 
 
පිළිතුර - එහෙම නොවෙයි. අපි රංජන් වෙනුවෙන් සටන් කළේ සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට සාධාරණය ඉටු කරන්නයි. අභියාචනාධිකරණයෙනුත් කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නාම මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා කියලනේ. නමුත් අපට උවමනා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සාධාරණය ඉටු කර දීමටයි. 
 
ප්‍රශ්නය - ඔබ අධිනීතිඥවරයෙක්. ඔබ නීතිය හොඳටම දන්නවා. එහෙම දැන දැනත් පාර්ලිමේන්තුවේ කලබල කළේ පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කරන්නයි. 
 
පිළිතුර - එහෙම කිසිම අරමුණක් තිබුණේ නෑ. මිනීමරුවෙකුත් පාර්ලිමේන්තුවට ගෙනාවා. එහෙම එකේ උසාවියට අපහාස කළා කියන චෝදනාවට හිරේ ගිය රංජන්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙන්නේ කොහොමද? අපේ තර්කය වුණේ දඬුවම සැර වැඩියි කියලයි.
 
ප්‍රශ්නය - නමුත් දඬුවම තීරණය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. 
 
පිළිතුර - ඒ වුණත් අපේ මතය වුණේ ඒ තීන්දුව තද වැඩියි කියලයි. නායකතුමත් කිව්වේ මමත් කිව්වේ අපි කවුරුත් කිව්වේ මේ තීන්දුව තද වැඩියි කියලයි. පිටරට මේ වගේ සිදුවීම් දිහා බලනකොට ඉතාම සරළ දඬුවම් දීලා තියෙන්නේ. ඉන්දියාවේ නීතිඥ මහත්මයෙක් එයාගේ ෆේස්බුක් එකේ දැම්මා පින්තූරයක් එහෙ අගවිනිසුරුතුමා කොවිඩ් අස්සෙ බයික් එකක යනවා මාස්ක් එකක් නැතිව. ‘මේකද රටට දෙන ආදර්ශය’ කියලා ඒ නීතිඥ මහත්තයා අහලා තිබුණා. ඒ නීතිඥ මහත්තයා අධිකරණයට අපහාස කළා කියලා රුපියලක දඩයක් ගැහුවේ. ඒ නීතිඥ මහත්මයා ඒ රුපියලේ දඩය ගෙව්වෙත් නෑ. මේ සිද්ධිය වෙන්නේ ඉන්දියාවේ. මෙතැන රංජන්ගෙන් වැරැද්දක් වුණා. මම නෑ කියන්නේ නෑ. නමුත් දඬුවම සැර වැඩියි. අපි දිගටම හිටියේ ඒ මතයේ. 
 
ප්‍රශ්නය - ඇමැති මහින්දානන්ද කියලා තිබුණ ‘‘රංජන්ට ජනාධිපති සමාව ගන්න’’ උත්සාහ කරනවා කියලා. බැරි වෙලාවත් එහෙම සමාවක් ලැබුණොත් පක්ෂයක් විදියට ඔබලා එය බාර ගන්නවාද? 
 
පිළිතුර - නෑ නෑ එහෙම දෙයක් ගැන අපි තාම සාකච්ඡා කරලා නෑ. අනික ඔය ප්‍රකාශය කරපු ඒ මහින්දානන්ද ඇමතිවරයගෙ ඔළුවෙ මොනවා තියෙනවද කියල අපි දන්නේ නෑ. 
 
ප්‍රශ්නය - ඇමැති මහින්දානන්ද කිව්වා රංජන් කිව්වා කියලා එයාට හිරේ යන්න වුණේ සජිත් ප්‍රේමදාසගෙ උපදෙස් නිසා කියලා. 
 
පිළිතුර - ඒවා මගෙන් අහන එක වැරැදිනේ. මම ඕවා දන්නෙත් නෑ. මම එතැන හිටියෙත් නෑ. 
 
ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේදී නෝනලගේ හා ගෙවල් දොරවල්වල ප්‍රශ්න කතා කරනවා මිසක් රටේ ප්‍රශ්න ගැන කතා කරන බවක් පේන්න නෑ. 
 
පිළිතුර - පාර්ලිමේන්තුව මෙහෙයවන්න ඕනෑ කතානායකනේ. ඔය කියන විදියට පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ විපක්ෂයද? ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව මෙහෙයවන්න ඕනෑ කතානායක. පෞද්ගලික චෝදනා, මඩ ගැසීම් කරන්න ස්ථාවර නියෝගවලට අනුව බෑ. නමුත් කතානායකවරයා ඒවට ඉඩ දෙනවානම් ඒකට කරන්න දෙයක් නෑ. මම ඊයෙ පෙරේදාත් පාර්ලිමේන්තුවේදී ඔය ගැන කතා කළා. කෙනෙක් පාර්ලිමේන්තුවේ කතා කරන කොට අනික් පැත්තේ අය ‘පොයින්ට් ඔෆ් ඕඩර්’ කියල පෞද්ගලිකව මඩ ගහනවා. ඉතින් ඒක නතර කරන්න ඕනැ කතානායකයි. මූලාසනයෙ ඉන්න අයයි. මම කියපු එක දිනේෂ් ගුණවර්ධන මහත්තයත් පිළිගත්තා. මන්ත්‍රීවරයකුට චෝදනාවක් කරනවා නම් ඒක කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න පුළුවන්. එතකොට ඒ යෝජනාව සාකච්ඡා කරන්න පුළුවන්. එක නිමේෂයකින් නැගිටල කාට හරි චෝදනා කරන එක ස්ථාවර නියෝගවලට පටහැනියි. නමුත් කතානායකතුමයි සභාපති මණ්ඩල පැනල් එකයි ඒ නිලධාරීන් ඒවා නවත්වන්නේ නැත්නම් අපට කරන්න දෙයක් නෑ. ඕක දෙපැත්තෙන්ම වෙනවා. 
 
ප්‍රශ්නය - පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවන්ට ඇවිල්ලා සභාවෙදි ඊට පටහැනිව ක්‍රියා කරනවා කියලා ආණ්ඩුව කියනවා. 
 
පිළිතුර - මම මාස තුනකට කලිනුත් කතානායකතුමාට ඔය කතාව කිව්වා. මම කතානායකවරයාට වඩා දොස් කිව්වේ නිලධාරීන්ට. මොකද මේ නිලධාරීන් අපි සාකච්ඡා කරන දේවල් අහගෙන ඉන්න ඕනැ. මම කතානායකවරයාට මෙහෙමත් කිව්වා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලන්න. එහෙ පාර්ලිමේන්තුව රැස්වුණාම නිලධාරීන් තත්පරෙන් තත්පරයට නැගිටලා කතානායකවරයාට මොනවා හරි කියනවා. ඒ කියන්නේ ස්ථාවර නියෝගවලට පටහැනිව කතා කරනවා නම් ඒ නිලධාරීන් කතානායකවරයාට ඒ බව දැනුම් දෙනවා. නිලධාරීන් කතාව අහගෙන ඉන්න ඕනැ. ඒක අපේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ නෑ. කතානායක නොවෙයි නිලධාරීන් කතාව අහගෙන ඉඳලා ස්ථාවර නියෝගවලට පටහැනිව කතා කරනවානම් ඒක කතානායකවරයාට දැනුම් දෙන්න ඕන. ඒක අපේ පාර්ලිමේන්තුවේ වෙන්නේ නෑ අවාසනාවකට. 
 
ප්‍රශ්නය - අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයම පිරිහිලා. 
 
පිළිතුර - ඔව්! පැහැදිලිවම​. උදාහරණයක් හැටියට මම කතා කරනවා කියමුකෝ. එතකොට කවුරුහරි නැගිටලා පෞද්ගලිකව මඩ ගහනවා. එහෙම කරන්න බෑ. මම හරි වෙන කෙනෙක් හරි වරදක් කරලා තියෙනවා නම් ඒකට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. එතකොට ඒ යෝජනාව ගැන වැදගත් විදියට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මෙතැන කඩාකප්පල් කරන එකනේ වෙන්නේ. 
 
ප්‍රශ්නය - ආණ්ඩුව මහා පරිසර විනාශයක් කරනවා කියලා ඔබලා කිව්වට ආණ්ඩුව කියනවා පුළුවන්නම් එක තැනක් හරි පෙන්වන්න කියලා. 
 
පිළිතුර - ගස් හැට දෙදාහක් කපල කියලා පරිසරවේදීන් කියනවනේ. ඒ ගැන පරීක්ෂණ කරන්න ඕනැ. පරිසර විනාශය ගැන අපි කොමිසමක් හරි පත් කරන්න ඕනැ. දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය නැති කරන්න කොමිසම් පත් කරනවා නම් රටේ පරිසර විනාශය ගැන කොමිසමක් පත් කරන්න බැරි ඇයි? ගස් හැට දෙදාහක් කැපුවා කියලා කියනවනේ. 
 
ප්‍රශ්නය - ඔබේ නමට තියෙන හන්තානේ ඉඩම ආණ්ඩුවට බාර දෙන්න සූදානම් කියල ඔබ කිව්වා. ඉඩම බාර දුන්නද? 
 
පිළිතුර - මම ඉතින් බාර දෙන්න සූදානම්. පරිසර සංවේදී ව්‍යාපෘතියකට මම ඒ ඉඩම දෙන්න සූදානම්. මම මේ ඉඩම මීට කලින් කොළඹ අසපුවක වැඩ ඉන්න ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකටත් පූජා කළා. ඒ ස්වාමීන් වහන්සේ ඉඩම බලන්නත් වැඩම කළා. අල්ලපු ඉඩමේ ආරාමයක් තියෙන නිසා ආරාම දෙකක් එක තැනක තිබීම සුදුසු නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. අවුරුදු සීයක් තිස්සේ මේක පෞද්ගලික ඉඩමක්. 
 
ප්‍රශ්නය -ඔබ පාර්ලිමේන්තුවේදි කිව්වා විපක්ෂයේ නායකයන් දහ දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා කියලා. 
 
පිළිතුර - ඔව්. මේගොල්ලෝ දේශපාලන පලිගැනීම් ගැන හොයන්න කියලා කොමිසමක් පත් කළා. ඒ කොමිෂන් එකේ චෝදනා පරීක්ෂා කරන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ විශේෂ ජනාධිපති කොමිසමට බලයක් තියෙනවා අර පළමුවැනි කොමිෂන් එකේ චෝදනා බලලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කරන්න. ඒ අනුව විපක්ෂයේ දහ දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කරන්න පුළුවන්. 
 
ප්‍රශ්නය - ඔබ හිතනවද ආණ්ඩුව එහෙම තැනකට යයි කියලා. 
 
පිළිතුර - ඔව්. රටේ ප්‍රශ්නවලට උත්තර නැති වුණාම ඔය වගේ දේවල්නේ කරන්නේ. 
 
ප්‍රශ්නය - විපක්ෂයට හොඳ නායකත්වයක් නැහැ කියලත් මතයක් තියෙනවා. 
 
පිළිතුර - ඒක බොරු කතාවක්. අපේ නායකතුමා හැමදාම රටේ දැවෙන ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනවා. විපක්ෂයේ වරදක් නෑ. අපිට හරියට මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික මාධ්‍යවල සීයට 80ක්ම කරන්නේ ආණ්ඩුවට කඩේ යන එකනේ. ආණ්ඩුව බලයට එන්න දුන්න එකම පොරොන්දුවක්වත් ඉටු කළේ නෑ. ආණ්ඩුව හැම අතින්ම අසාර්ථකයි. දැන් දැක්කනේ විහාරස්ථානවලට ගියාම මැති ඇමතිවරුන්ට මහා සංඝරත්නයෙන් ලැබෙන ප්‍රතිචාර. ආණ්ඩුව හැම අතින්ම අසාර්ථක බව තමයි මේකෙන් පේන්නේ. 
 
ප්‍රශ්නය - ආණ්ඩුව අසාර්ථකයි කියන එක හුදු සටන් පාඨයක් විතරයි? 
 
පිළිතුර - ඒක සටන් පාඨයක් විතරක් වෙන්නේ කොහොමද? ඔයා තේරුම් ගන්න අනික් රටවලත් මෙහෙම කොවිඩ් ප්‍රශ්නය ආවට මේ විදියට බඩු මිල වැඩිවෙලා නෑ. අන්න ඒකයි අපේ රටයි අනික් රටවලයි අතර තියෙන වෙනස. අසල්වැසි ඉන්දියාවේ වුණත් මම අද උදේත් වෙබ් සයිට් බැලුවා. භාණ්ඩ මිල මේ විදියට වැඩිවෙලා නෑ. එංගලන්තයේ මගේ දුව ඉන්නවා. භාණ්ඩවල මිල ඒ මට්ටමේම පවත්වාගෙන යනවා. බොහෝ රටවල තත්ත්වය ඒක තමයි. 
 
ප්‍රශ්නය - යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසා රට ණය උගුලක හිරවෙලා කියලා ආණ්ඩුව කියනවා. 
 
පිළිතුර - අපි අධ්‍යයනයක් කරලා තියෙනවා පසුගිය අවුරුදු 15 ගත්තොත් ඒ අවුරුදු 15 දී ගත්ත ණයවලින් සියයට 70ක්ම අරන් තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩු. පෝට් සිටි එකට, හම්බන්තොට වරායට, හම්බන්තොට ගුවන් තොටුපළට තමයි ණයවලින් සියයට 70ක්ම අරන් තියෙන්නේ. මේ ගත්තු ණයවලින් හදන පෝට් සිටි එකෙන් ආදායම් ලැබෙන්න පටන් ගන්නේ 2045 දී. 2045 වෙනකම් අපේ අයට ණය ගෙවන්න වෙනවා. මම මහා මාර්ග ඇමතිවෙලා ඉන්න කාලේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කිලෝ මීටර් 41ක් තියෙනවා. මම එයින් කිලෝ මීටර් 38ක් හැදුවා. ඒ ගොල්ලන්ට හදන්න තිබුණේ කිලෝ මීටර් 4යි. නමුත් මේ ගොල්ලන්ට තවම ඒක හදා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ කිලෝ මීටර් 4 හැදුවම කුරුණෑගලට විනාඩි 45න් යන්න පුළුවන්. මහනුවරට පැය එකහමාරෙන් යන්න පුළුවන්. මම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් 2019 දී ප්‍රශ්නයකුත් ඇහුවා. මේක ඉවර කරන්නේ කවදාද කියලා. එතකොට කිව්වා 2020 මාර්තු වෙනකොට හදලා ඉවර කරනවා කියලා. නමුත් ආණ්ඩුවට විශාල සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. ගිය අගෝස්තු මාසයෙන් පස්සේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවලා නෑ. අරහෙම කරනවා, මෙහෙම කරනවා කියලා කියනවා. නමුත් ආණ්ඩුවට සල්ලිත් නෑ. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ පිටරට ආයෝජකයින් මෙහෙට ඇවිත් ඒ ගොල්ලෝ හදලා අවුරුදු 30ක් ඒ අය ආදායම ගැනීමනේ. නමුත් මේ කොවිඩ් එකත් එක්ක එහෙම ආයෝජකයෝ සොයා ගන්න අමාරුයි. මේ අයට තවම කිලෝ මීටර හතරක් හදාගන්න බෑ. මේ ආණ්ඩුව හැම අතින්ම අසාර්ථකයි කියන්නේ ඒ නිසයි. 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්