දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්
- ආණ්ඩුවේ අසමත්කම වහගන්න යොදාගන්නේ කොවිඩ් වසංගතය
රටේ නවතම දේශපාලන පෙළ ගැසීම් හා ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක සමග ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගන්ෂන් මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- රටේ දේශපාලන තත්ත්වයත් එක්ක කොහොමද ඔබලාගේ ඉදිරි කටයුතු ?
පිළිතුර:- අපි අවස්ථානුකුළව ඉවසීමෙන් අපේ ගමන යනවා. මොකද 2015 අපි යහපාලන ආණ්ඩුවේ දී කරගත්ත වැරදි අපි දැන් කරන්න යන්නේ නෑ. ඒ නිසා අපි හදිසි වෙන්නේ නෑ. අපි දන්නවා ආණ්ඩුවක් ගන්න එකට වඩා ගත්ත ආණ්ඩුව රැක ගැනීම හරිම අමාරුයි කියලා. ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න ඕනෑ.
ප්රශ්නය:- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිව්වා ආණ්ඩුව බාර ගන්න සූදානම් කියලා. නමුත් ඔබ කියන්නේ වෙනත් කතාවක්.
පිළිතුර:- නෑ, නෑ ආණ්ඩුව බාර ගන්න සූදානම් කියලා කියන්නේ මම දන්න හැටියට දේශපාලන හැරවීමක් කියලා. එතුමා දන්නවා ආණ්ඩුව එහෙම බාර ගන්න බෑ කියලා. ඒකට ව්‍යවස්ථාවේ ඉඩක් නෑ. එක්කෝ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනෑ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. එහෙම අවශ්‍යතාවයක් මෙතැන නෑ. ආණ්ඩුව බාර ගන්න සූදානම් කියලා කියන්නේ ඇයි? ඒක තමයි ආණ්ඩුවට දෙන ෂොට් එක. නමුත් අපි ඉවසීමෙන් යන්නේ.
ප්රශ්නය:- යහපාලන ආණ්ඩුවේ අත්දැකීම් තියෙන ජනතාව ඔබලාට නැවත අාණ්ඩුවක් දෙන්න සුදානම් කියලා ඔබ හිතනව ද?
පිළිතුර:- සූදානම්. මොකද යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෝ දැන් අපිත් එක්ක නෑ. ඒ නිසා එදා සිදුවෙච්චි වැරදි දැන් සිද්ධ වෙන්න විදිහක් නෑ. එදා බලඅරගලය සන්සිඳුවන්න මැදිහත් වෙච්ච අය තමයි සමගි ජන බලවේගයත් එක්ක ඉන්නේ. ඒ නිසා අපට ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් කියලා ජනතාව දන්නවා.
ප්රශ්නය:- පොහොර ප්‍රශ්නයට උද්ඝෝෂණ මතු වුණාම ඒ ප්රශ්නය විසඳුවාම උද්ඝෝෂණ ඉවරයි. නමුත් ඔබලා හිතනවා දැවැන්ත ආණ්ඩු විරෝධයක් රටේ තියෙනවා කියලා.
පිළිතුර:- ඔව්. දැවැන්ත ආණ්ඩු විරෝධයක් තියෙනවා. ඒක බොහොම පැහැදිලිවම පේනවනේ. මේ කාබනික පොහොර කතාව මේ යුද්ධය හැදුවෙම ආණ්ඩුවනේ. වෙන කෙනෙක් කළේ නෑනේ. රසායනික පොහොර අයින් කරලා, කාබනික පොහොර යොදන්න ඕනෑ කියලා අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් පිළිගන්නවා. ඕක මුලින්ම අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි පටන් ගත්තේ. නමුත් ඒක එක පාරටම කරන්න බෑ. ඒකයි. ආණ්ඩුවට වුණේ.
ප්රශ්නය:- ඔබලා ගොවීන්ව උසිගැන්නුවා.
පිළිතුර:- නෑ නෑ. අපි උසිගැන්නුවේ නැහැ. මේ ගොවියන්ගේ ප්රශ්නය විසඳන්න කියලා ආණ්ඩුවට බල කරන්න විපක්ෂයේ අපට අයිතියක් තියෙනවා. ඒ අයිතිය උදුරා ගන්න බෑ. ඒකෙන් කියන්නේ නෑ අපි මේවායේ පිටිපස්සේ ඉන්නවා කියලා. ගුරුවරුන්ගෙ සටන් එහෙමයි. ධීවර සටන් වලදිත් ඒක එහෙම තමයි. ධීවරයන්ගේ ගුරුවරු ගොවියො අද මහ පාරේ සටන් කරනවා. වතු කම්කරු ජනතාව මහ පාරේ අපි ඒ ජනතාව ළඟට යන්න ඕනෑ නැද්ද?. එහෙම උද්ඝෝෂණ කරන අයට අපි නායකත්වය දෙනවා. මග පෙන්වනවා. අනික් පැත්තෙන් ආණ්ඩුවටත් කියනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා. අපි කිව්වේ නෑනේ උද්ඝෝෂණ කරන ජනතාවට අපි බලයට එනතුරු ඉන්න. අපි ආවම ඔය ප්රශ්නය විසඳන්නම් කියලා. අපි එහෙම කිව්වේ නෑ. එහෙම කියන එක වැරදියිනේ. ඒ වගේ තුච්ඡ දේශපාලනය අපි කරන්නේ නෑ. ආණ්ඩුවට දැන් තියෙන්නේ ඉස්සරහට ඇවිත් මේවට විසඳුම් ලබා දෙන්නයි.
ප්රශ්නය:- කොවිඩ් වසංගතය පාලනයේ දී ආණ්ඩුව සාර්ථකත්වයක් පෙන්වලා තියෙනවා. විපක්ෂයේ කුහක කමට ඒක කියන්නේ නෑ කියලා ආණ්ඩුව කියනවා.
පිළිතුර:- මෙහෙමනේ. කොවිඩ් මර්දනයේ දී ආණ්ඩුව අනාගත්තා ද? නැද්ද? මේ ආණ්ඩුවට දැන් තියෙන එකම ගැලවුම එකම මන්ත්‍රරය කොවිඩ් එක. කොවිඩ් එක නිසා අපි ආදායම් නැති වුණා. අපිට සල්ලි නැති වුණා. අපිට වැරදුණේ ඒ නිසයි. ඔහොමනේ ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුවේ අසමත්මකම වහ ගන්න ආණ්ඩුව යොදා ගන්නේ මේ වසංගතය. මේක ලංකාවට විතරක් ආපු එකක් නොවෙයිනේ. අපි දකුණු ආසියාව ගමුකෝ. ඉන්දියාව ගන්න, බංග්ලාදේශය ගන්න. ඒ රටවල්වල ආර්ථිකය මෙහෙම කඩන් වැටිලා නෑනේ. මේ විදියට ජනතාවගේ ආදායම් කඩා වැටුණේ නෑනේ. ජාතික ආර්ථිකය කඩා වැටිලත් නෑ. ජනතාවගේ ආදායම් කඩා වැටිලත් නෑ. බඩු මිල මේතරම් වැඩිවෙලත් නෑ. ඒ නිසා තමයි ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් අපිට ණය දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපේ රටට වුණේ කළමනාකරණයේ වැරැද්දක්. බංග්ලාදේශයට හැකි ඉන්දියාවට හැකි සුවිශේෂි තත්ත්වයක් අපේ රටේම තියෙනවා. අපේ රට දූපතක්. එයාර්පෝට් එක වරාය හරිම වෙලාවේ වහලා දැම්මානම් අපේ රටට මේ විනාශය වෙන්නේ නෑ. දහතුන් දහසකට වැඩි පිරිසක් මිය ගියා. අනිත් එක මේ අය එන්නත් ගෙනාවේ ගොඩාක් පරක්කු වෙලා. මේ මරණවලට කවුද වග කියන්න ඕනෑ.
ප්රශ්නය:- ඉන්දියාව චීනය හා ඇමරිකාව අපේ රට අාක්‍රමණය කරලා කියලා දේශපාලන ලෝකයේ කතා වෙනවා. ඔබ කොහොම ද මේ දිහා බලන්නේ.
පිළිතුර:- ඉන්දියාව අපේ අසල්වැසියන්. ළඟම ඉන්න ඥාතියා. මේ රටේ ප්‍රධාන ආගම් දෙකක් තියෙනවා. බුද්ධ ධර්මය හා හින්දු ධර්මය දෙකම ආවේ ඉන්දියාවෙන්, භාෂා සංස්කෘතික කෑම බිම ඇඳුම් පැළඳුම මේ හැම දෙයක්ම ආවේ ඉන්දියාවෙන්. චීනයෙත් බුද්ධ ධර්මය තියෙනවා. නමුත් අපේ බුද්ධ ධර්මය නොවෙයි. අපට ගොඩාක් දුර තියෙන රටක් ඒක. ඒ වගේ පරිසරයක් තුළ අපි ලෝකයේ බලවත් රටවල් සමග සමබර දේශපාලනයක් කරන්න ඕනෑ. ඒක සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා. චීනය ඔඩොක්කුවේ දාගත්තා. ඒ නිසා ඉන්දියාවට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ස්වෛරී ස්වාධීන රාජ්‍යයක්. අසල්වැසි බලවත් ඉන්දියාව සමග අපි සුහදව ඉන්න පුරුදු වෙන්න ඕනෑ. එදා 87 දී ජේ.ආර්. ජයවර්ධන කළ වැරැද්ද මේ පාර රාජපක්ෂලා කරනවා. ජේ.ආර්. ජයවර්ධන හොර රහසේ ඇමෙරිකාව එක්ක ගිහින් ඉන්දියාව තරහා කර ගත්තා. මේ ගොල්ලෝ දැන් චීනය එක්ක ගිහින් ඉන්දියාව තරහා කරගෙන.
ප්රශ්නය:- සමගි ජන බලවේගය සන්ධානයක් හදනවා කිව්වා කෝ ඒ සන්ධානය.
පිළිතුර:- ඔව්. එක් පොඩි පරක්කුවක් තියෙනවා. අපි අපේ අදහස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට කියලා තියෙනවා. අපි ඉක්මනින් සන්ධානය හදන්න ඕනෑ. එහෙම වුවමනාවක් තියෙනවා නම් හදන්න ඕනෑ. නැත්නම් ප්‍රශ්නයක් නෑ. අපට අපි අපේ පක්ෂය ගොඩ නගලා තියෙන්නේ. අපියි සජිත් ප්‍රේමදාස මැතිතුමායි. එකට වැඩ කරන්නේ. ඉතින් සමගි ජන බලවේගයට සන්ධානයක් හදන්න ඕනෑ. නැත්නම් ඒක අපිට කමක් නෑ.
ප්රශ්නය:- සමගි ජන බලවේගය ඇතුළේ ඔබලාව ගණන් ගන්නේ නෑ වගේ.
පිළිතුර:- නෑ. නෑ, නෑ. ගණන් ගැනීමක් නෑ නොවෙයි. මේ ඔයා එන්න පැය භාගයකට කලින් මම සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක කතා කර හිටියේ. අපි පස්සෙන් පන්නන්නෙත් නෑ.
ප්රශ්නය:- සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂවල නායකයන් හොර රහසේ රනිල් වික්‍රමසිංහ එක්ක සාකච්ඡා කරනවා.
පිළිතුර:- මමත් සාකච්ඡා කරනවා. හැබැයි ඒ හොර රහසේ නෙවෙයි. මම කතා කරන්නේ ප්‍රසිද්ධියේ. එතුමා පක්ෂයක නායකයෙක්. පරිණත නායකයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මම එතුමා එක්ක අවුරුදු 20 ත් 25 ක් දේශපාලනය කරලා තියෙනවා. මම එතුමව හමුවෙලා සාකච්ඡා කරනවා. ඒක හොර රහසේ කරන්න ඕන දෙයක් නොවෙයි. මං කවදාවත් යටි කූට්ටු වැඩ කරන්නේ නෑ. මම නම් එහෙමයි. මම මුල ඉඳලම එක්සත් ජාතික පක්ෂයත් එක්කනේ ගියේ. අපේ අනික් හවුල්කාර පක්ෂවල නායකයෝ මන්ත්‍රීවරු සමහර කාලවල රාජපක්ෂවරුන්ගේ කැබිනට් මණ්ඩලයේ හිටියා. මමනම් කවදාවත් හිටියේ නෑ. මම දිගටම එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මව් පක්ෂය හැටියට අපි සළකන්නේ. දැන් අපි ඉන්න සමගි ජන බලවේගය. ඒකේ නායකයා සජිත් ප්‍රේමදාස. මම ඉන්නේ එතුමා එක්ක. අපට ෙකලින් මාවතක් තියෙනවා. ඒ මාවතේ මම යනවා. ඒකෙන් මාව එළියට ගන්න බෑ.
ප්රශ්නය:- ජාතිවාදය ඔබේ දේශපාලනයයි කියලා මම කිව්වොත්.
පිළිතුර:- අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි 2015 දී වරද්ද ගත්තා කිව්වනේ. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනුවට පස්සේ විශ්ලේෂණය කළාම මේ රටේ බහුතර සිංහල ජනතාවගේ ඡන්දවල අඩුවක් තිබුණා. බහුතර ඡන්දයෙන් සුළුතරයක් තමයි එතුමාට ලැබුණේ. දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්ද බහුතරය ලැබුණා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂලා ලංකා සිතියම පාට කරලා පෙන්නුවේ. උතුරු නැගෙනහිර රතුපාට ගාලා. මධ්‍යම. කොළඹ කොළපාට ගාලා පෙන්නුවා. දෙමළ, මුස්ලිම් මිනිස්සු පත්කර ගත් ජනාධිපතිවරයෙක් කියලා පෙන්වන්න හැදුවා. එහෙම තමයි පටන් ගත්තේ. මේ සැරේ ඒ තත්ත්වය ඇති කර ගන්න අපි සුදානම් නෑ. මං ඊයේ පෙරේදා යාපනයේ හිටියේ. මම යාපනයේ ජනතාවට කිව්වේ තමුන්නාන්සේලා හදිසි වෙන්න එපා. ඉවසීමෙන් ඉන්න. දෙමළ පක්ෂවලටත් මම කිව්වා උඹලා ආණ්ඩුව දැන්ම ගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුව බලයට පත් කරපු සිංහල බහුතර ජනතාවම මේ ආණ්ඩුව අපිට අරන් දෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා කියලා. මම හිතනවා උගත් දේශපාලන නායකයෙක් කරන්න ඕන ඒක තමයි. ආණ්ඩුව ගන්න පුළුවන්. හැබැයි අල්ලාගෙන යන්න අමාරුයි. සිංහල, දෙමළ, මුස්ලිම් බහුතර ජනතාව සහිත ශ්‍රී ලංකාවක් අපට ඕනෑ. ඒක තමයි මගේ දැක්ම මගේ ප්‍රතිපත්තිය.
සාකච්ඡා කළේ ප්‍රසන්න