ජනාධිපතිවරණ අපේක්ෂකයන් පසුගිය බ්‍රහස්පතින්දා නාම යෝජනා භාරදීමෙන් පසුව ජනපති සටන පැහැදිලිව ආරම්භ විය. ඒ අනුව එළැඹෙන මාසය පුරා දේශපාලන කතා අඩු නැතුව රටේ ජනතාවට ලැබෙනු ඇත. ප්රශ්නය වෙන්නේ වසර ගණනාවක් තිස්සේ මේ කතා, තවත් කතා ලෙස පමණක් තිබීමයි.
පසුගිය සතිය ආරම්භ වූයේ ජනාධිපතිවරයා ‘පුළුවන්’ යන තේමාව යටතේ තමන්ගේ ජනාධිපතිවරණ පාඨය එළි දක්වමිනි. අගෝස්තු මාසයේ 07 වැනිදා සිට ජනාධිපතිවරයාගේ පාඨය දැක ගත හැකි විය. එය විශාල උත්සවයක් හරහා සිදුවූවක් නොවුණත් බොහෝ දෙනාගේ මනසේ ‘පුළුවන්’ යන පාඨය රෙජිස්ටර් කර ගැනීමට තරම් ප්‍රමාණවත් එකක් විය. ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙකේ යමක් කළා ද, ඔහුට මෙතැනින් එහා පුළුවන් ද කියා තීරණය කර ගැනීම ජනතාවට භාරය.
තමන්ට ‘පුළුවන්’ යැයි කියන ජනාධිපතිවරයා සමග පසුගිය සඳුදා විජිත් විජේමුණි ද සොයිසා එකතු විය. බොහෝ දෙනා අතර ‘අප්පච්චි මළා’ සොයිසා තවදුරටත් දේශපාලනයේ අත්කරගන්නා පදාසය කොතරම් ද යන්න සොයා බැලිය යුතු තත්ත්වයකි. මෙයින් පසුව 13 වැනිදා ජනාධිපතිවරයා සමග රාජිත සේනාරත්න එක්විය. රාජිත තවමත් යම් ප්‍රමාණයකට දේශපාලනයේ වලංගු චරිතයක් බව දන්නෝ දනිති. එහෙත් රාජිතගේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ ඡන්ද සටනට කෙසේ බලපායි ද යන්න ගැටලුවක් වී තිබේ. ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා නාම යෝජනා භාර දීමට යෑමට පෙර, ජනාධිපතිවරයා සමග එක් වූයේ, මහනුවර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එම්. වේලුකුමාර්ය. ඒ අනුව ගෙවුණු සතියේ දී සජබ මන්ත්‍රීවරු තිදෙනෙකු ජනාධිපතිවරයා සමග එක්විය. මේ මන්ත්‍රීවරු කොතරම් ඡන්ද ප්‍රමාණයක් ගන්නවාද? නැද්ද? යන්න ඊළඟ ගැටලුවයි. අවසන් මහමැතිවරණයේ දී වේලුකුමාර් ලබාගත් මනාප ප්‍රමාණය 57,445 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රාජිත සේනාරත්න ලබාගත් මනාප ගණන 77,476 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ විජිත් විජයමුණි ද සොයිසා ලබාගත් මනාප ගණන 35,879 කි. බ්‍රහස්පතින්දා සවස්වරුවේ රිෂාද් බදියුදීන්ගේ පක්ෂයේ ඉතිරි මන්ත්‍රීන් තිදෙනා ප්‍රකාශ කළේ ඔවුන් ජනාධිපතිවරයාට සහාය දෙන බවයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉෂාක් රහුමාන් ලබාගත් මනාප 49,298 ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් අලි සබ්රි රහීම් ලබාගත් මනාප 33,509 ද, එම්.එම්. මුෂාරාෆ් ලබාගත් මනාප 18,399 ද ජනාධිපතිවරයාගේ පැත්තට එකතු වී තිබේ. මේ සියලු දෙනා තමන්ගේ සියලු මනාප රැගෙන ආවොත් ජනාධිපතිවරයා පසුගිය සතියේ අලුතින් ඡන්ද 272000 ක් පමණ උපයා ගත්තේ යැයි කිව හැකිය. එහෙත් මේ සියල්ල අපේක්ෂකයන්ටම වැටුණු මනාප නොවන බව සියලුදෙනා දන්නා සත්‍යයයි.
සමගි ජන බලවේගය තමන්ගේ සන්ධානය එළි දැක්වූයේ අගෝස්තු 08 වැනිදාය. එය සජබ ජනාධිපතිවරණ මෙහෙයුම සම්බන්ධයෙන් තැබූ පළමු පියවර විය. එහි උත්සවය සාර්ථක යැයි සජබ විග්රහ කළ අතර එය තවත් දේශපාලන උත්සවයක් පමණක් බව වැඩි පිරිසකගේ අදහස විය. එහෙත් ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන් බලාපොරොත්තු නොවූ අයුරින් මේ වෙනවිට නගරයෙන් පිටත දී විපක්ෂ නායකවරයාට ඉහළ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ඇතැම් සජබ මන්ත්‍රීවරු විමතිය පළකළ අවස්ථාද තිබුණි. විශේෂයෙන්ම වීරකැටිය සහ ඇල්පිටිය රැස්වීම් සඳහා පැමිණි පිරිස කිසිඳු දිනක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම ප්‍රදේශවල තනි රැස්වීමකට පැමිණ නොසිටි තරම් අධික පිරිසක් විය.
දේශපාලනයේ දී ඉතා පිරිසුදු නමක් තබාගෙන සිටි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය බදාදා සජබ සමග එක්විය. මේ සමගම දේශපාලනයේ දිනන්නා නිවැරදිව තෝරා ගන්නකු ලෙස ප්‍රචලිත එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ද තමන්ගේ පක්ෂයේ සහාය පසුගිය 14 වැනිදා සජබ වෙත පළ කළේය. එදිනම රිෂාඩ් බද්යුදීන් ද තමන්ගේ සහාය සජබට පළ කළේය. පාඨලී හිටියේ ස්වාධීන වෙමිනි. පසුගිය මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මනාප 89,329 ක් ලබා ගත්තාය. චම්පික රණවක මනාප 65,574 ක් ලබා ගත්තේය. රිෂාඩ් බදියුදීන් මනාප 28,203 ක් ලබා ගත්තේය. ඒ අනුව සජබ පසුගිය සතියේ උපයා ගත්තා යැයි උපකල්පනය කළ හැකි ඡන්ද ප්‍රමාණය 173000 ක් යැයි ප්‍රකාශ කළ හැකිය. එහෙත් යළිත් මතක් කරන්නේ මේවා පුද්ගලයා වෙනුවෙන්ම වැටුණු ඡන්ද නොවන බවය. මේ අනුව කඩන්නෝ සහ අදින්නෝ තරගයෙන් මේ සතියේ දී ජනාධිපතිට ජය හිමිවිය.
කැඩීම හෝ ඇදීම ගැන උනන්දුවක් නොවී තමන්ගේ ක්‍රමයට යන ජාතික ජනබලවේගය පසුගිය සතියේ දීත් සුපුරුදු පරිදි තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරගෙන යනු දැකගත හැකි විය. මෙහිදී සුවිශේෂ අවස්ථාවක් වූයේ අගෝස්තු 09 වැනිදා පැවති තඹුත්තේගම මැදි විදුහල් සහෝදර හමුවයි. තමන් සමග ඉගෙනගත් මාලිමාවේ නායකයා ඉහළ ජනප්‍රියත්වයක් ඇති අපේක්ෂකයෙකු ලෙස ජනපති සටනට බැසීම ආදී සිසු සිසුවියන්ගේ අවධානය දිනාගත් අවස්ථාවක් විය. මෙහිදී මාලිමාවේ නායකයා කළ කතාව සමාජ මාධ්‍යයෙහි විශාල ජනප්‍රියත්වයක් අත් කරගත් බව පෙනෙන්නට තිබුණි. තඹුත්තේගම අතීතය සිහිපත් කරමින් ඔහු කළ කතාව පසුගිය බ්‍රහස්පතින්දා දහවල් වෙනවිට Anura Kumara Dissanayake ෆේස්බුක් පිටුවේ දී පමණක් 331000 වතාවක් නරඹා තිබුණි. මෙහිදී ජාජබ නායකයා තමන් සමග ජනාධිපති සටනට ඉදිරිපත් වෙන අනෙක් ප්‍රධාන අපේක්ෂකයන්ට හිටපු ජනාධිපතිවරුන්ට ඇති නෑකම් මතක්කර දී “මම... මේ තඹුත්තේගම ගමේ...” යැයි කියූ ආකාරයත්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු කොළඹ රාජකීය විද්‍යාලයේත්, තවත් අයෙක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙත්, යැයි මතක් කරමින් තමන් තඹුත්තේගම ගාමිණි සහ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගත් බව කියා, මේ ජනපති සටනේ ඇති වෙනස පෙන්වූයේය.
ඒ කතාව හරහා පෙර කියූ පාර්ශ්ව මන්ත්‍රීවරු කඩා ගනිමින් පසුගිය සතියේ රැස් කළ ඡන්ද ගණනට බොහෝ සෙයින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ජාජබ රැස් කරගත් බව අපගේ තක්සේරුවයි. ජාතික ජනබලවේගය මූලික වශයෙන් සමාජ මාධ්‍ය මූලික කරගනිමින් තමන්ගේ ප්‍රචාරණය සිදු කරන බව යථාර්ථයක් බව පෙන්වෙමින් මේ සතියේ දීත් සමාජ මාධ්‍යවල ඉදිරියෙන් සිටියේ ජාජබ නායකයාය.
හදිසියේම ජනපති සටනට පිවිසි පොහොට්ටුවේ හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පසුගිය සතියේ තමන්ගේ පැමිණීම සටහන් කළේ පුවත්පත් දැන්වීම්, සමාජ මාධ්‍ය සහ පෝස්ටර් හරහාය. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පසුගිය බදාදා දිනයේ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. මෙහි විශේෂත්වයක් වූයේ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් එක් තැනකත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ප්‍රධානීන් තවත් තැනකත් සිටීමය. එය මෙතෙක් සිදු නොවූ සිදුවීමක් විය. කෙසේ වුවද මේ සතියේ දී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ පාක්ෂිකයන් දිනාගැනීම සාර්ථකව කළ බව පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම නායකත්වයක් නොමැතිව සිටි පළාත් සභා, ප්‍රාදේශීය සභා මට්ටමේ සාමාජිකයන් දිනාගනිමින් ඔවුන්ට විශ්වාසයක් ඇති කිරීමට පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා සමත් වූ බව පෙනෙන්නට තිබුණි.
මේ සිව් දෙනාට අමතරව පසුගිය සතියේ කැපී පෙනුනේ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාය. ඔහු වඩාත් ක්‍රියාකාරීව සමාජ මාධ්‍යයේ මෙන්ම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල ද දකින්නට ලැබුණි. ඔහු වඩාත් නිවැරදිව තමන්ගේ පණිවුඩය සමාජගත කිරීමට උත්සාහ කරන්නට උත්සාහ කරනු දැකගත හැකි විය. එහෙත් ජන අරගල සන්ධානය වැඩි වශයෙන් ඉලක්ක කරන්නේ ජාතික ජන බලවේගය යැයි මේ සාකච්ඡාවල දී දැකගත හැකි විය.
නාම යෝජනා දෙන දිනයේ දී සෙනඟ පෙන්වීමෙන් ජය ගැනීමට සජබ හා ජාජබ සමත් වූ බව පැහැදිලිය. පොහොට්ටුවට නොසිතූ අයුරින් ඉහළ ප්‍රතිචාර තිබුණි. නගරයෙන් පිටත එළිමහන් වේදිකාවේ ජයග්‍රහණය මේ සතියේ සජබ දෙසට ගියේය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තවමත් දේශපාලන මතවාද නිර්මාණය කරන්නන්ගෙන් ඉදිරියෙන් සිටියි. එහි බලපෑම කොතරම් ද යන්න ඔවුන්ගේ කඳවුර තීරණය කළ යුතු තත්ත්වයකි.
ජාජබ තමන්ගේ සමාජ මාධ්‍ය මෙහෙයුම අති සාර්ථකව මේ සතියේ දීත් දියත් කළේය. ඔවුන් මේ සතියත් ඒ අංශයෙන් ජය ගත්තේය. පොහොට්ටුව ආරම්භයක් ගත්තේය. එහෙත් වඩාත් වටින්නේ මේ සියලු දෙනා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මොනවා දැයි දැනගැනීමය. එයට සැප්තැම්බර් මුල් සතිය වෙනතුරු බලා සිටීමට සිදුවෙනු ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශන දුන්න ද ඒවා ක්‍රියාත්මක වන්නේ දැයි අප කිසි දිනක අවධානය යොමු කර නැති බවද අවසානයේ මතක් කළ යුතුය.
|