ආර්ථිකය කියන ලෙඩා දැඩි සත්කාර ඒකකයේ ඉඳලා සනීප කරගෙන එළියට ගන්නයි අපි හදන්නේ


දේශපාලන කරළියේ වඩාත් කතා බහට ලක්වන මාතෘකා පිළිබඳ මේ අදහස් දැක්වීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගෙනි.


● ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පම්පෝරි ගහලා ආණ්ඩුව ගත්තට ආර්ථිකය අමාරුම අඩියට වැටිලා රිම් එකෙන් යන්නේ කියලා.
ඒ ගොල්ලෝ අපිට දුන්නේ රිම් එකෙන් ගියපු ආර්ථිකයක්. ඒකයි ඇත්ත කතාව. අපි එතන ඉඳලා ආර්ථිකය ටිකෙන් ටික උඩට ගේන්න තමයි උත්සාහ කරන්නේ. මේ ආර්ථිකය කියන ලෙඩා දැඩිසත්කාර ඒකකයේ ඉඳලා සනීප කරගෙන එළියට ගන්න අපි කටයුතු කරමින් යනවා. අපි මේක බැරෑරුම් ප්‍රශ්නයක් විදියට හිතලා විසඳන්න උත්සාහ ගන්නවා. පසුගිය ආණ්ඩුව ආර්ථිකය සමඟ සෙල්ලං කෙරුවා. අපි වගකීමක් ඇතුව වැඩ කරනවා. වෙනස රටේ ජනතාවට බලාගන්න පුළුවන්. ලාභයක් දකින්නෙවත් නැති ව්‍යාපෘති තමයි පසුගිය ආණ්ඩුව එක පිට එක පටන් ගත්තේ. ඒ අයට කිසිම ආර්ථික දැක්මක් තිබුණේ නෑ. අපිට තමයි මේ වැරැද්ද නිවැරැදි කරන්න වෙලා තියෙන්නේ. ඒක අපි කරගෙන යනවා. අපි මේ වෙද්දී යම් දුරකට ආර්ථිකය ස්ථාවර කරගෙන තියෙනවා. අමාරු ආර්ථිකයක් අතට අරගෙන කෙටි කාලයක් තුළ ඒක සැලකිය යුතු මට්මටකට ස්ථාවර කරගෙන යන මේ ගමන ඇත්තටම ජයග්‍රහණයක්. ඒ ගැන ජනතාව සතුටු වෙන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂෙ කියන කට්ටියට ආණ්ඩුවේ කිසිම හොඳක් පේන්නේ නෑනේ. ඒ අයට පේන්නේ කොහොම හරි ආපහු බලය ගන්න හීනෙ විතරයි. ඔය එක එක අයගේ කතා අපිට වැඩක් නෑ. අපි බලන්නේ මෙතනින් එහාට ආර්ථිකය උඩට ගන්නේ කොහොමද කියලා. අපිට අභියෝග ගොඩක් තියෙනවා. ඒවට මුහුණ දෙන්න ඕනෑ. අපි පසුගිය ආණ්ඩුව වගේ ජනතාව සතුටු කරන්න බොරු කිය කියා රවට්ටන්නේ නෑ. ආයෝජන වැඩි කර ගන්න ඕනෑ. ඒක අපිට තියෙන ලොකු අභියෝගයක්. අපි යම් දුරකට මේවට මුල පුරලා තියෙන්නේ. අපි මේ සඳහා යන ගමනේදී සාම්ප්‍රදායික අදහස්වලට ඉන්න බෑ. අලුත් නිර්මාණශීලී අදහස් අවශ්‍යයි. අධ්‍යාපනය වගේ දේවල් වුණත් හිරවෙලා තියෙන්නේ සාම්ප්‍රදායික අදහස් උඩ. සාම්ප්‍රදායික අදහස්වලම හිටියොත් අපිට ඉස්සරහට යන්න බෑ.


● ඔබ කියන්නේ සැලකියයුතු මට්ටමකට ආර්ථිකය ගොඩ දැම්ම කියලා. අගමැතිතුමා පසුගිය දවසක රැස්වීමකදී රෑට නින්ද යන්නේ නැති කතාවක් කියන්නම් කියලා කිව්වේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය. ඔබලා කියන්නේ රාජපක්ෂලාගේ පව් රාජපක්ෂලාගේ ණය තමයි ගෙවන්නේ කියලා. මේ කතාවෙන් තව කොච්චර කල් දුවන්නද කල්පනාව?
මේ ප්‍රශ්නය අපි හරියට කළමනාකරණය කරගන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව කරපු වැරදි ආර්ථික කළමනාකරණය නිසා රටට වුණු පාඩුව ගැන ඇත්ත රටට කියන්න. දැන් අපි එතනින් එහාට යන විධිය ගැනයි කතා කරන්නේ. අපිට මේකට විසඳුම් විදියට කරන්න පුළුවන් හැමදේම කරන්න සිද්ධ වෙනවා. ආයෝජකයෝ ගෙන්වා ගන්න එක වගේම අපේ රටේ සම්පත් විදේශීය ආයෝජනවලට ලබාදීමත් කරන්න වෙනවා. මෙතනදි සමහරු සාම්ප්‍රදායික අදහස්වල ඉඳගෙන ඒක කරනවට විරුද්ධව කෑ ගහනවා. රාජපක්ෂලා කොළඹ වරාය චීනෙට දෙනකොට සද්ද නොකර ඉඳපු අය තමයි දැන් කෑ ගහන්නේ. අපි කියන්නේ හරි ක්‍රමවේදයට කළා නම් ඒක වැරැදි නෑ,


● ඉරාන් වික්‍රමරත්නලා විපක්ෂෙ ඉන්නකොට කොළඹ වරාය චීනෙට විකුණනවා කියලා විරුද්ධව කෑ ගැහුවා.
කවදාවත් අපි ඒකට විරුද්ධ වුණේ නෑ. අපි ඒකට කවදත් විරුද්ධ නෑ.


● යූ.එන්.පී. එක පෝර්ට්සිටි එකට විරුද්ධ වුණේම නෑ.
කවදාවත් නෑ. අපි ඒවට විරුද්ධ නෑ. අපි විරුද්ධ වුණේ ගනුදෙනු සිද්ධ වුණු විදියට. ඒ ගනුදෙනුවලට අදාළ ප්‍රතිපත්ති අපේ විවේචනයට ලක්වෙන්න ඇති. අපි කිව්වා සින්නක්කරේට විකුණන්න එපා කියලා. බදු ක්‍රමයට දෙන එකට අපි විරුද්ධ වුණේ නෑ. අපි හම්බන්තොටත් සින්නක්කරේට විකුණන්න යන්නේ නෑ. දීර්ඝ කාලීන බදු ක්‍රමයටයි දෙන්නේ. රට ගොඩ නගන්න ආයෝජන අවශ්‍යයි. එහෙම නැතුව ගොඩ යන්න බෑ. විදේශීය ආයෝජකයෝ අපිටම ආදරේ නිසා මේ රටට එන්නේ නෑ. ඒ අයත් ලාභයක් බලාගෙන එන්නේ. ඒක පොදු ධර්මතාවයක්. ඒකෙන් ගැලවෙන්න කිසිම රටකට බෑ,


● රට ගොඩගන්න නවීන අදහස් අවශ්‍ය කියලා සාම්ප්‍රදායික අදහස් පැත්තකට දාලා රටේ සම්පත් බදු දීලා හෝ විකුණලා කරන මේ වැඞ් “ලෙඩා මළත් බඩ සුද්දයි” ජාතියේ විසඳුමක්ද?
පටලවා ගන්න එපා මේ කාරණය. රටට හානියක් වෙන්නේ නැතුව විකුණන්න හෝ බදු දෙන්න පුළුවන් දේවල් එහෙම කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද? රටේ සම්පත් විකුණනවා කියලා දාපු මේ මතය වැරදි එකක්. මේ රටේ ආයෝජනය කරන්න එන අය රටේ ඉඩම් හෝ ගොඩනැගිලි හෝ ඒ රටවල්වලට අරගෙන යනවද? විකාර කතාවක්නේ මේ කියන්නේ. අදහස්වල ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. වැරදි අදහස් නිසා තමයි මේ අනවශ්‍ය විරෝධතාවන් එන්නේ.


● ඔබලා රාජපක්ෂ යුගයේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ වුණේ ඇයි එහෙනම්. එයාලත් කළේ මේකම නෙවෙයිද?
එයාලා කළේ මේක නෙවෙයි. එයාලා අනුගමනය කළේ වැරැදි ක්‍රමයක්. රාජපක්ෂලට ආයෝජකයෝ ගේන්න බැරි වුණා. එයාලා කළේ ණය ගත්තු එක. අසීමිතව ණය ගත්තා.


● දැන් මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට ආයෝජකයෝ ගෙනාවද එතකොට ලංකාවට?
ආයෝජකයෝ මේ රටට ගෙන්න ගන්න වටපිටාව තමයි අපි හදාගෙන යන්නේ. ආණ්ඩුව අරගෙන පස්සෙන්දා ආයෝජකයෝ ගෙන්න ගන්න මැජික් පොල්ලක් අපේ අතේ නෑ. දැන් අපි ආයෝජකයින්ට එන්න සුදුසු පරිසරය හදමින් යනවා. අපිට මේකට විපක්ෂය බාධා කරන එක තමයි ලොකුම කරදරය. විපක්ෂය හැම තිස්සේම හැම එකටම විරුද්ධ වෙනවා. හේතු යුක්තියක් නැතුවත් විරුද්ධ වෙනවා.


● මේක ශක්තිමත් ජාතික ආණ්ඩුවක් කියලා පම්පෝරි ගහනවනේ. ඇයි විපක්ෂයට බය වෙන්නේ?
විපක්ෂයට බයක් නෙවෙයි තියෙන්නේ. විපක්ෂය වැරැදි මතවාද ජනතාව අතරට අරගෙන යනවා. ආණ්ඩුව ගැන වැරැදි චිත්‍රයක් ජනතාව ඉදිරියේ මවනවා.


● හැබැයි දාන සෙල්ලමක් දාන්න මේ ආණ්ඩුවට තියෙන්නේ තව අවුරුදු තුනක් විතරයි.
එහෙම එකක් නෑ. දැනට අපි අත්තිවාරමක් දාගෙන යනවා. වැඩ කරන්න තව කල් තියෙනවා.


● 2020 මහ මැතිවරණයෙන් බලය කොයි පැත්තට කැරකෙයිද කවුද දන්නේ?
අපිට විශ්වාසයක් තියෙනවා අපි හරියට අත්තිවාරම දාගෙන ගියොත් 2020 අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති වෙනවා. ඒකෙ දෙකක් නෑ. මොකක්ද තියෙන විකල්පය.


● හැබැයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙත් ඔය කතාවමයි.
එයාලා මොකක්ද කියන්නේ.


● 2020 එයාලගේම ආණ්ඩුවක් හදනවා කියලා.
කවුරු මොනවා කිව්වත් මිනිස්සු පාට බලලම බලය දෙන්නේ නෑ. මිනිස්සු අදහස් බලලා තමයි බලය දෙන්නේ. අදහස් ප්‍රගතිශීලිද කියලා බලල තමයි දැන් ඡන්දෙ දෙන්නේ. මීට පෙර වගේ නම්වලට මූණ බලලා විතරක් ඡන්දෙ දෙන්නේ නෑ දැන්. අපි හොඳ අදහස් එක්ක මේ ටික කාලය ආණ්ඩුව අරගෙන ගිහින් රට ගොඩ දැම්මොත් ජනතාව ඒ ගැන සාධාරණව කල්පනා කරාවි.


● ඒ කියන්නේ මේ ආණ්ඩුව දුවන්නේ යූ.එන්.පී. එකේ අදහස්වලින් විතරද?
නෑ. එහෙම නෑ. අපිට ප්‍රගතිශීලී අදහස් තියෙනවා. අපි අනිත් අයටත් කියන්නේ ඒ අදහස්වලට එන්න කියලා. එතකොට මැතිවරණයකදී මිනිස්සු ඒ අය ගැනත් හිතාවි. ඒත් ඒ අදහසට ආවේ නැත්තම් ජන්දෙ දිනන්න බෑ. සාම්ප්‍රදායික විදියට පක්ෂවලට ඡන්දෙ දෙන කාලේ දැන් ඉවරයි.


● මහ බැංකු බැඳුම්කර සිදුවීම මහින්ද රාජපක්ෂගෙ ඇඟේ ගහන්න හදනවා කියලා එයා ඔබලට චෝදනා කරනවා.
එහෙම එකක් නෑ. බැඳුම්කර සිදුවීම පිළිබඳ කෝප් වාර්තාවක් තියෙනවා. කවුරුත් දකිනවා ඒකේ තියෙන්නේ මොකක්ද කියලා. ඒක අදාළ තැන්වලට බාරදීලා තියෙන්නේ පරීක්ෂණ පවත්වන්න. ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව ඒකත් ක්‍රියාත්මක වෙනවා. ඒකේ වාර්තාවක් ඉදිරියේදී ඒවි. රජයක් හැටියට අපි බැඳී සිටිනවා ඒ ලැබෙන නිගමන ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව මේක කාගේ හරි ඇඟේ ගහලා මඟඅරින්න ඕනෑකමක් නෑ. මහින්ද රාජපක්ෂලා හොරකම් කරපු හැටි ගැන වෙනම පරීක්ෂණ පවත්වනවනේ. ඒවයි ප්‍රතිඵළ වෙනම ඉදිරියේදී ලැබෙයි. මේ හැම දෙයක්ම වෙන්නේ නීත්‍යානුකූලව.


● කොහොමද එතකොට බැඳුම්කර නාට්ටියට මඟදී එක එක නළුවෝ ගොඩ වෙන්නේ?
ඒක ගැන නම් මම ඔක්කොම තොරතුරු දන්නේ නෑ. ඒත් රජයක් හැටියට අපි කාගෙවත් ඇඟේ ගහන්නේ නෑ මේක. මේවට සම්බන්ධ නම් කවුරු හරි ඒ කවුද කියලා ඉදිරියේදී කාටත් දැනගන්න ලැබේවි. මහින්ද රාජපක්ෂ මේකට පටලවන්න නම් ආණ්ඩුවේ වැඩපිළිවෙළක් නෑ.


● මේ ආණ්ඩුවේ මුදල් ඇමතිට විවිධ චෝදනා එල්ල වෙනවා. මෙහෙම වෙද්දී ආර්ථිකය ගොඩ යන්නේ කොහොමද?
මම පුද්ගලයින් ගැන කතා කරන්න යන්නේ නෑ. මුදල් ඇමතිතුමා පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තියපු විශ්වාසය පළුදු වෙලා නෑ. ඒ දෙපළට මුදල් ඇමතිතුමා වගකියනවා.


● රටට වගකියන්න ඕනෑ නැද්ද?
නෑ. එහෙම ඕනෑ නෑ. ජනාධිපතියි, අගමැතියි පත්කරපු මුදල් ඇමති ඒ දෙන්නටයි වගකියන්න ඕනෑ. අනික මුදල් ඇමතිතුමා ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක්.


● හැබැයි එයාට තියෙන්නේ කොළඹ ඡන්ද විතරයි.
ඔය තර්කය අනිත් ඇමතිවරුන්ටත් අදාළයිනේ. ඒ අයත් තමන්ගේ දිස්ත්‍රික්කයේ ඡන්ද විතරක් අරගත්තු අය. ඒක නෙවෙයි වැදගත්. මේ අය තමන්ගේ රාජකාරිය හරියට කරවාද කියන එකයි වඩා වැදගත්.


● මේ ප්‍රශ්න කැබිනට් එකේ ගහ බැණ ගැනීම් දක්වා දුර දිග යනවා කියලයි ආරංචි.
එච්චර දුරදිග යන්නේ නෑ. වාද විවාද තියෙනවා. කාලයක් විරුද්ධව දේශපාලනය කරපු පක්ෂ දෙකක් එකට ආණ්ඩුවක් කරද්දී ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකයි. ඒක ගැන පුදුම වෙන්න ඕනැ නෑ. පවුලක වුණත් සැමියයි බිරිඳයි අතරේ පුංචි පුංචි රණ්ඩු ඇති වෙනවනේ.


● කැබිනට් මණ්ඩලයේ මේ හැසිරීම පවුලක බිරිඳයි සැමියයි අතරේ ගනුදෙනුවකට ලඝු කරන්න පුළුවන්ද?
පුළුවන්. මොකද බැරි. අවසන් තීරණය තමයි වැදගත්. සාකච්ඡා කරන හැමදේම නෙවෙයි වැදගත්. අන්තිම තීරණයයි වැදගත්. සාකච්ඡා කරන හැදේම එළියට කියන්න ඕනෙත් නෑ. ඒවා මාධ්‍යයට වුණත් හොයන්න අවශ්‍ය නෑ. අවසාන තීරණයයි වැදගත්. 


● මේවා රටට බලපාන තීරණාත්මක තීන්දු වෙන්න පුළුවන්. මේවා ඔක්කොම හෙළිදරවු වීම රටට අවාසියක් වෙන්න පුළුවන්.
තීරණාත්මක කරුණු ප්‍රසිද්ධ කරන්න ඕනෑ නැහැ කියමු. ඒත් හැමදේම රෙද්ද අස්සේ හැංගිලා තීරණය කරලා අන්තිමට දෙන තීන්දුව රටට අහිතකරනම් ඒවා ගැන හොයන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මහ ලොකුවට තොරතුරු පණතක් ගෙනාවා කියලා පම්පෝරි ගහනවා. මාධ්‍යයෙන් මොකක් හරි හොයනකොට ඒවට වැට බඳිනවා.
එහෙම එකක් නෑ. තොරතුරු පණතෙන් ලබාගන්න පුළුවන් දේ තියෙනවා බැරි දේ තියෙනවා. ඒ ගැන දැනුවත් වෙන්න ඕනෑ. තොරතුරු පණත සක්‍රීය වෙන්න තව කාලයක් යනවා. දාපු ගමන් ඒකෙන් වැඩ ගන්න බෑ. යාන්ත්‍රණය හදාගන්න ඕනෑ. තවම ඒක හරියට නිම වෙලා නෑ.


● ඔබ කියනවා ආණ්ඩුවක් විදියට අලුතෙන් හිතන නිර්මාණශීලී මිනිස්සු ඕනෑ ප්‍රගතිශීලීව ඉදිරියට යන්න නම් කියලා. එහෙම අය මේ ආණ්ඩුවේ ඉන්නවද ඇත්තටම?
එහෙම පිරිසක් ඉන්නවා. විශේෂයෙන් අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු තරුණ මන්ත්‍රීවරු ගැන මට විශ්වාසයක් තියෙනවා.


● ඒ අය ඉන්නේ පසු පෙළේ. ලොකු ඇමතිකම් අරගෙන රටේ තීන්දු ගන්න තැන වැඩිපුර ඉන්නේ හණමිටි කරගහගෙන ඉන්න වයසක උදවිය.
එහෙම එකක් තියෙනවා. කළමනාකරණයට වඩා දේශපාලනය වෙනස් වෙනවා මෙතනදී. සාමාන්‍යයෙන් පුද්ගලික අංශයේ ඉදිරියට එන්නේ දක්ෂතාවය සහ වැඩකිරීමේ සාර්ථකත්වය මත. දේශපාලනයේදී උඩට එන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත. ආරක්ෂක අංශවලත් අධිකරණ අංශ වුණත් ජ්‍යෙෂ්ඨත්වය මත තමයි උඩට එන්න පුළුවන්. දක්ෂතාවය සහ තමන්ගේ ප්‍රගතිය එක්ක ඉදිරියට එන්න පුළුවන් ක්‍රමයක් දේශපාලනයටත් අවශ්‍යයි කියලා මං හිතනවා.


මේක ලෝක තත්ත්වය එක්ක බැලුවම අපේ රටට අනන්‍ය දෙයක්. ලෝකෙ මෙහෙම ජ්‍යෙෂ්ඨත්වය මතම උඩට  එන්නේ නෑ. හොඳම උදාහණය බැරැක් ඔබාමා. මම විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතුයි කියලා. එතකොට අපේ දේශපාලන සංස්කෘතිය මීට වඩා ප්‍රගතිශීලී වේවි. ජනතාව අතරත් මේ ආකල්ප වෙනස ඇති විය යුතුයි. සමාජ ප්‍රගමනයට වෙනස් වීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. වෙනස් වුණේ නැතිනම් අපිට ඉදිරියට යෑමක් නෑ.