ඇන් .ඇම් .ගේ මුදල් නෝට්ටු තහනමින් රට කැලඹුණු හැටි



එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත්වූ සමගි පෙරමුණු රජයද ආර්ථිකය යථාවත් කිරීම සඳහා විවිධ අත්හදා බැලීම් සිදුකළේය. ඉන් එකක් වන්නේ එතෙක් පැවැති මුදල් නෝට්ටු එකවරම අහෝසිකර අලුතෙන්ම  මුදල් නෝට්ටු හඳුන්වා දීම හා දෙවැන්න එතෙරින් ගෙන ආ සියලු බඩුභාණ්ඩ ආනයනය අත්හිටුවා දේශීය ආර්ථිකයකට මාර්ගය විවර කිරීමය. මේ දෙකම මහත් ගැටුම්කාරී අවස්ථාවලට මාර්ගය විවර කළේය.

එකල මුදල් ඇමැතිවරයා වූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඇන්.ඇම්. පෙරේරා ඇමැතිවරයා 1970 ඔක්තෝබර් 25 වැනිදා පරණ මුදල් නෝට්ටු අවලංගු කර අලුත් නෝට්ටු වලංගු කරන නියෝගයක් ක්‍රියාත්මක කළේය. මෙම කටයුත්තේ අරමුණ වූයේ සඟවා ඇති මුදල් එළියට ගැනීමය. 

1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූයේ රටේ ආර්ථිකය හොඳටම වැටී තිබූ වෙලාවකය. නිදහසෙන් පසු කොතරම් ආණ්ඩු බලයට පත්වුවත් ඒ හැම ආණ්ඩුවක්ම රට ගෙන ගියේ ණය වෙමිනි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වැයට සාපේක්ෂව අයද තිබුණේ ඔවුන් සෑම දෙයක්ම නොමිලේ නොදුන් නිසාය. එය යුරෝපයේ ක්‍රමයය. වතුර ටිකත් මුදලටය. බ්‍රිතාන්‍යයන් සුබසාධක සේවාද යම් ලෙසකින් පවත්වාගෙන ගියද ඉතිරි සියල්ල ඉටුකර දුන්නේ මුදලටය. ඒ කළමනාකරණය නිසා රටට මුදල් තිබිණි. නිදහස ලැබූ පසු ආණ්ඩු විවිධ  අවස්ථාවල ජනතාවට විවිධ සුබසාධක ක්‍රම හඳුන්වා දුන්නේය. සෞඛ්‍ය සේවය නොමිලයේය. පෞද්ගලික අංශයට තිබූ පාසල් ටිකද රජයට පවරාගෙන තවත් විශාල බරක් දා ගත්තේය. රාජ්‍ය සේවකයන් ගණන එන්න එන්නම වැඩි විය. රටට ආදායම් ආ වරාය, ඛනිජතෙල් වැනි අංශ විදේශිකයන්ගෙන් මෙරටට පවරා ගැනිණි. මේ නිසා අයට වඩා වැය වැඩි විය. හැත්තෑවේ සමගි පෙරමුණ බලයට ආවේ රටේ ආර්ථිකය යථාතත්ත්වයට පත් කරන බවට පොරොන්දු වෙමිනි.

ඒ වෙද්දී වෙළෙඳ ව්‍යාපාරිකයන් පුරුදුව සිටියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට නොව තමන් ළඟ තබා ගැනීමටය. බැංකු ගැන පොදු සාමාන්‍ය ජනයාටත් ලොකු දැනීමක් හෝ විශ්වාසයක් තිබුණේ නැත. බොහෝ ගැමියන්ද මුදල් තබා ගත්තේ තම නිවසේය. මේ නිසා රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අවම විය. මුදල් තිබුණේ ගෙවල්වල, කුස්සියේ ළිප ළඟ වැළලූ සල්ලි කැටවල හෝ සේප්පුවලය. මේ නිසා ඩබල් ඩොක්ටර් වූ මුදල් ඇමැති ඇන්.ඇම්. පෙරේරාට මුලින්ම සිදුවුණේ සඟවා ඇති මුදල් සංසරණය පිණිස පිටතට ගන්නටය. ඒ සඳහා ඔහු පාවිච්චි කළ උපක්‍රමය වූයේ එතෙක් කිසිම ආණ්ඩුවක් නොකළ උපක්‍රමයක් වූ රුපියල් 100 හා 50 නෝට්ටු එකවරම අවලංගු කර අලුත් 100 හා 50 නෝට්ටු නිකුත් කිරීමය. වැඩි වටිනාකමක් ඇති එම මුදල් නෝට්ටු අවලංගු කර නිශ්චිත දිනකදී අලුත් නෝට්ටු ලබාගත යුතු බවට දිනද නියම කෙරිණි. මෙයින් වඩාත් අමාරුවේ වැටුණේ ගම්බද අහිංසක ජනතාවය.

නිදහසෙන් පසු ආණ්ඩුවක් පළමු වතාවට ලාංකික දේශපාලකයකුගේ රූපයක් මුදල් නෝට්ටුවලට ඇතුළත් කළේ 1965 දීය.

හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උඩුකය රුවක් රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 රුපියල් 50 හා රුපියල් 100 වටිනාකමින් යුත් නෝට්ටුවලට ඇතුළත් කෙරිණි. එතෙක් පැවතුණේ බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රභූවරුන්ගේ රුව රැගත් දේශීය මුදල් නෝට්ටුය. 1970 දී මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ වැඩසටහන අනුව අවලංගු කර අලුතෙන් මුද්‍රණය කළ නෝට්ටු වර්ග වූ රුපියල් 50 සහ රුපියල් 100 නෝට්ටුවලට ද බණ්ඩාරනායක උඩුකය රුව ඇතුළත් කෙරිණි.

එහෙත් මෙම නියමයන් අනුව රටේ අතිමහත් පොදු ජනතාවට තම මුදල් නෝට්ටුත් රැගෙන බැංකු පෝලිම්වල පැය ගණන් රස්තියාදු වන්නට සිදුවීමෙන් රට පුරා නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා ගතව තිබේ.

නව නියමය යටතේ රුපියල් 100 සහ 50 පැරණි නෝට්ටු 1970 නොවැම්බර් 3 වැනිදා සිට වලංගු නොවේ. එම නෝට්ටු බැංකුවට ලබාදී අලුත් මුදල් නෝට්ටු ලබාගත යුතුය. රුපියල් සියයේ හා පනහේ නෝට්ටු වලින් රුපියල් 1000 ක් දක්වා ප්‍රමාණයක් බැංකුවට ලබාදී එවේලේම අලුත් නෝට්ටු ලබාගත හැකිය. ඊට වඩා වැඩි මුදල් වෙළෙඳ බැංකුවක තැන්පත් කළ යුතුය. ඒ සඳහා පිටපත් දෙකකින් යුතු පෝරමයක් පිරවීමට ජනතාවට සිදුවිය. බැංකු ගිණුමක් නොමැති අය බැංකු ගිණුමක් අලුතෙන් විවෘත කර වැඩි මුදල් එහි තැන්පත් කළ යුතුය. මුදල් මාරුකර ගැනීමට ඉදිරිපත් වන අය සලාක පොත හෝ ටෝකන් කාඩ්පත හෝ හඳුනා ගැනීමේ වෙනත් කාඩ්පතක් හෝ ඉදිරිපත් කළ යුතු විය. එකල ජාතික හැඳුනුම්පත පුළුල්ව පැතිරී නොතිබුණි.

බොහෝ ජනතාවට හැඳුනුම්පත් තිබුණේ නැත. එහෙත් සෑම රටවැසියාටම රජයෙන් නොමිලේ ලබාදුන් හාල් සේරු දෙක වෙනුවෙන් හාල්පොතක් තිබුණි. අද ජාතික හැඳුනුම්පතෙන් සිදුකෙරෙන සියලුම කටයුතු එදා සිදුකෙරුණේ හාල් සලාක පොත ඉදිරිපත් කරමිනි. හදිසි අත මාරුවට හාල් පොත උගසට තබා ණයට මුදල් ලබා දෙන ‘ජනතා බැංකු’ ක්‍රමයක් මිනිසුන් අතර පැතිර පැවතුණේය. එම ක්‍රමය වර්තමානයේද ගම්වල ඇති පොලියට මුදල් දෙන ක්‍රමයට සමානය. මුදල් නෝට්ටු අලුත් කිරීමත් සමග මුදල් මාරු කිරීම සඳහා හාල්පොත් උගසට ගන්නා අය විසින් යොදාගෙන තිබූ අලුත් මගඩියක්ද හෙළිදරව් විය. මුදල් මාරුකිරීමේදී සම්පූර්ණ කර බැංකුවට ලබාදිය යුතු අයැදුම්පත් බැංකුවෙන් රැගෙන විත් තමන් ළඟ ඇති උගස් කළ හාල්පොත්වල අයිතිකරුවන් ලවා එම අයැදුම්පත් අත්සන් කර මුදල් සමග බැංකුවට යවා මාරුකර ගැනීම මෙම ක්‍රමයයි. තවත් සමහරු ව්‍යාපාරිකයන් තමන් යටතේ සේවය කරන සේවකයන් අත වැඩිපුර මුදල් බැංකුවට යවා මාරුකර ගත්තේය. තවත් සමහරු දවසේ කුලියට ගත් මිනිසුන් අත මුදල් යවා මාරුකර ගත්හ.

මුදල් අවලංගු කිරීමේ නිවේදනය නිකුත් කළ ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 30 ක් වටිනා රුපියල් පනහේ සහ සියයේ නෝට්ටු බැංකුවල තැන්පත් කර තිබිණි. මෙම කාලසීමාව අවසන් වූ පසු සඟවා තිබී එළියට ඇඳුණු සම්පූර්ණ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 40 කි. මෙම මුදලින් රුපියල් කෝටි 12 ක් ආදායම් බදු ලෙස එකතු වූ මුදල්ය. මුදල් ඇමැති ඇන්.ඇම්. පෙරේරා මෙම ක්‍රියාවලිය ඉදිරිපත් කරමින් අයවැය කතාවේදී සඳහන් කළේ සඟවා ඇති මුදල් එළියට ඇද ගැනීමෙන් රුපියල් කෝටි 10 ක ආදායම් බදු රජය අපේක්ෂා කරන බවය. එහෙත් අවසානයේදී රුපියල් කෝටි 12 ක්ම රජයට ආදායම් බදු ලෙස ලැබී තිබුණි.

රුපියල් පනහේ සහ සියයේ කොළ එකවරම අවලංගු කිරීම නිසා ඇතිවූ මහජන කැලඹීම පාලනය කිරීම සඳහා රජයට රට පුරාම හදිසි නීතිය පැනවීමට සිදුවිය. සැබැවින්ම ස්ථාන ගණනාවක මහජන කැලඹීම් ඇතිවී තිබුණි. ජනතාව පැය ගණන් ගිනිඅව්වේ වේළෙමින් විශාල පෝලිම් සෑදී බැංකු අසල බලා සිටියේ තමා හරිහම්බ කරගත් මුදල අහෝසි වී යාම වළක්වාගැනීමට අලුත් මුදල් නෝට්ටු බැංකුවෙන් ලබා ගැනීමටය. මෙම ජනතා කැළඹීම මැඩ පැවැත්වීම සඳහා හදිසි නීතිය යොදවන බව රජය එළිපිට ප්‍රකාශ කළ ද සැබැවින්ම හදිසි නීතිය පැනවූයේ වෙනත් හේතුවක් නිසාය. එනම් එකල පැවැති මෙරට දෙවැනි මන්ත්‍රණ සභාව වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් අයවැය යෝජනා ප්‍රතික්ෂේප වුවහොත් අයවැය නීතිගත නොවන නිසා හදිසි නීතිය යටතේ අයවැය සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබිණි.

හදිසි නීතිය යටතේ යුද හමුදාව සහ නාවික හමුදාව යොදවා බැංකු අසල පෝලිම් ගැසී සිටි ජනතාව සන්සුන් කරන ලදී.

එකල මුදල් මුද්‍රණය කළේ පිටරටය. ඔක්තෝබර් 30 වැනිදා පුවත්පත් වාර්තා කළේ රුපියල් 100 හා 50 නෝට්ටු රැගත් තවත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වන ලද බවය. හමුදාපති මේජර් ජනරාල් සේපාල ආටිගල මහතාගේ මූලිකත්වයෙන් යුතුව ආරක්ෂක ගබඩා කරා ගෙන ගිය බවද එහි සඳහන් විය.

මුදල් මාරු කිරීමේ කටයුත්තට අදාළ සිදුවීම් ඒ දිනවල පුවත්පත්වල මුල්පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්විය. නොවැම්බර් 2 වැනිදා පුවත්පත් වාර්තා කළේ රුපියල් පන්ලක්ෂයක් පමණ වටිනා බව කියන රුපියල් සියයේ සහ පනහේ මුදල් නෝට්ටු තොගයක් ගිනිබත් කරමින් සිටි ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු සහ වතු හිමියකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද බවය. ආදායම් බදු ගෙවීමට සිදුවන හෙයින් මෙම මුදල් විනාශ කළ බව හෙළි වී තිබිණි.

ගම්පහ පිහිටි බැංකු ශාඛාවකට කොස් ඇට මල්ලක් ගෙන ගිය ආච්චි අම්මා කෙනකු බැංකු කළමනාකරු හමු වී මල්ලේ සඟවාගෙන ගිය රුපියල් 12000 ක පරණ නෝට්ටු බැංකුවේ තැන්පත් කළ බව ද පුවත්පත්වල පළවිය.

ඉන්පසු සඟවා ඇති මුදල් සොයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයන් සහ කොටුවේ තොග වෙළෙඳුන්ගේ ගබඩා පරීක්ෂා කිරීමටද රජය කටයුතු කළේය. මෙහිදී රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් ළඟ තිබී අලුත් නෝට්ටුවලින් රුපියල් කෝටි ගණනක මුදල් සොයාගන්නට රජයට හැකි විය. මෙම වැටලීම් කළේ රත්නපුර හා කොළඹ දිසාපතිවරුන් විසිනි. අල්ලා ගත් මුදල් බැංකුවල තැන්පත් කළ අතර ආදායම් බදු ගෙවීම් පරීක්ෂා කර බලා බදු ගෙවා නැති අයගේ බදු මුදල් කපාගෙන ඉතිරි මුදල් ආපසු භාර දෙන බව රත්නපුර දිසාපතිවරයා පුවත්පත්වලට පවසා තිබිණි. පිටකොටුවේ එක් ව්‍යාපාරිකයකු ළඟ තිබී රුපියල් 317000 ක් සොයා ගත් බව ද එම මුදල බැංකුවේ තැන්පත් කළ පසු නොගෙවූ ආදායම් බදු ලෙස රුපියල් ලක්ෂයක් කපා ගත් බවද ‘ඇත්ත’ පුවත්පතේ සඳහන් වෙයි. පොළොන්නරුවේදී හරක් පට්ටි හිමියකු තැරැව්කාරයන් ලවා රුපියල් ලක්ෂයක් මාරුකර ගෙන ඇති බවද ඉන් බදු මුදල අයකර ගෙන ඉතිරි මුදල ඔහුට ලබා දීමට පරීක්ෂණයක් අරඹා ඇතැයිද එම පුවත්පතේ සඳහන් විය.  එවැනි සිදුවීම් රට පුරාම පාහේ වාර්තා වී තිබිණි.

මහජන ආරක්ෂක පනත හෙවත් හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් පසු මුදල් අවලංගු කිරීම ගැන රජයට  චෝදනා කළ පුද්ගලයන් ගණනාවක්ද හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනිණි. එමගින් විරුද්ධ පාක්ෂිකයා දඩයම් කළ බවට විපක්ෂය චෝදනා කළේය.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා හඳුන්වන ලද්දේ ඩබල් ඩොක්ටර් වශයෙනි. ආචාර්ය උපාධි දෙකක්ම හිමිකර ගෙන තිබීම එයට හේතුවය. මෙම ආචාර්ය උපාධි සුදුසුකම හා උගත්කම මත ලැබුණු ඒවා මිස අද මෙන් මුදලට ගත් ආචාර්ය උපාධි නොවේ. ඇන්.ඇම්. මුදල් ඇමැතිවරයා ලෙස මෙම කටයුත්ත සංවිධානය කළේ ඉතාම හොර රහසේය. 

මෙවැන්නක් මෙරට කිසිම මුදල් ඇමැතිවරයෙකු එයට පෙර කර නැත. බදු නොගෙවන ව්‍යාපාරිකයන් බැංකුවල නොදා සඟවා ගෙන ඇති මුදල් එළියට ගැනීම මෙම කටයුත්තේ පළමු අරමුණය. එහෙත් මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාට වඩා උගත්කමක් නැති නූගත් වුවත් කූඨ බුද්ධියෙන් හෙබි ජාවාරම්කාරයන්ට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පරාජය වී තිබුණේ මෙම ව්‍යාපාරිකයන් පරණ මුදල් නෝට්ටුවලින් මුදල් ගෙවා රත්රන් බඩු, මුතු මැණික් හා ඉඩකඩම් ගේදොර ලී බඩු ආදිය කලින්ම මිලට ගෙන තිබීම නිසාය. කිසිම දෙයක් කරගත නොහැකි වූ ඇතැම් ව්‍යාපාරිකයෝ තමන්ගේ වැඩි මුදල් විනාශ කර දමා ආදායම් බදු ගෙවීමෙන් වැළකුණහ.

මුදල් රැගෙන අතිවිශාල පිරිසක් බැංකුවලට පැමිණීමෙන් බැංකු අසල දිගු පෝලිම් ඇතිවිය. සමහර ගැමියන් මුදල් සඟවා තිබුණේ එකල තිබූ ලක්ස්ප්‍රේ ටින් තුළය. ටින් තුළ බහා මුදල් ළිප ළඟ වළලා තිබිණි. මෙයින් සමහර තැනක මුදල් වේයන් කා විනාශ වී තිබිණි.

තමන්ගේ මුදල් අහිමි වේද රජයට සින්නවේද යන බිය නිසා හම්බන්තොට දිසාවේ තිස්සමහාරාම, කිරින්ද, වීරවිල වැනි ප්‍රදේශවල ජනතාව කැරලි ගැසීමට පටන් ගත්හ. එයට හේතුවූයේ බැංකු වෙත එවා තිබූ මුදල් පැය තුන හතරක් ගතවන විට අවසන් වීමය. මේ සම්බන්ධව වාර්තා වී ඇති විශාලතම කලබලය එය වේ. කලබල වූ ජනතාව  එම කාලයේ හම්බන්තොට සහකාර දිසාපති වූ ප්‍රේමතිලක මාපිටිගම පසුකාලීනව එම සිද්ධිය හෙළිදරව් කළේ මෙසේය.

‘‘කුපිත වූ පිරිස දිසාපති මන්දිරය වට කළහ. රජයට විරුද්ධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරන්නට වූහ. දිසාපතිට දිසාපති නිල නිවසෙන් එළියට බහින්නට බැරි අන්දමට දෙතුන් දාහක පිරිසක් දිසාපති නිල නිවාසය වටකරගෙන මුහුණ පා ඇති ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා සිටියහ.වහාම විසඳුමක් ඉදිරිපත් නොවුවහොත් ඔවුහු කච්චේරියට ගිනි තබන බවට තර්ජනය කළහ.’’

එදින දවස පුරාම කලබල වූ ජනයා කච්චේරිය වටකරගෙන සිටි බවත් කොළඹ මහ බැංකුවේ සිට අලුත් මුදල් නෝට්ටු පිරවූ ලොරියක් හමුදා ආරක්ෂාව මැද හම්බන්තොට කච්චේරියට ගෙන එන ලද්දේ රාත්‍රි කාලයේ බවත් මාපිටිගම මහතා සඳහන් කරයි. එදින පාන්දර යාමය වන විට පැමිණ සිටි තුන් දහසක් පමණ වූ ජනතාවට පරණ නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මාරුකර දී කලබලය යාන්තමින් සමනය කරගැනීමට හැකි වූ බවද මාපිටිගම මහතා සඳහන් කරයි.

රුපියල් 100 හා 50 නෝට්ටු අවලංගු කිරීමත් සමග එතෙක් කල් ආදායම් බදු නොගෙවා සිටි විශාල පිරිසකගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු එකතු විය. ඔක්තෝබර් 28 වැනිදා පුවත්පතක් වාර්තා කළේ පෙරදින පමණක් රුපියල් ලක්ෂ 10 ක ආදායම් බදු එකතු වූ බවය. එක් පුද්ගලයකු රුපියල් ලක්ෂ 5ක ආදායම් බදු එදින ගෙවා තිබීම විශේෂත්වයක් ලෙස පුවත්පත්වල පළවිය. එකල මන්ත්‍රී වැටුප වූ රුපියල් 900 හා රජයේ ලිපිකාරයකුගේ වැටුප වූ රුපියල් 200 සමග සසඳා බලන විට පෙරකී ආදායම් බදු ප්‍රමාණය විශාල මුදලකි.