ඇමැති කෙනකුට ඉන්ධන මිල වැඩි කරන්න බලයක් නෑ


මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති
අජිත් නිවාඩ් කබ්රාල්   

කොළඹ වරායට ආසන්න මුහුදේදී තෙල් නැවක් ගිනිබත් වී මුහුදුබත් විය. එම ප්‍රවෘත්තියේ උණුසුම මැකී යාමටත් පෙර ආණ්ඩුව තෙල් මිල ඉහළ දැම්මේය. එය ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක් ඇතිවීම දක්වා දුර ​​ගොස් තිබේ. මේ ඒ ගැන විමසමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය: පළමුවෙන්ම කියන්න ඉන්ධන මිල වැඩි කළේ කවුද? ඇමැති ගම්මන්පිල ද කැබිනට් එක ද? 

 
පිළිතුර: කැබිනට් එක. ඇමැති කෙනකුට ඉන්ධන මිල වැඩි කරන්න බලයක් නෑ. ඒ නිසා මිල වැඩි කිරීමට තියෙන්න ඕනෑ යම් පසුබිමක්. පසුබිම අනුව කටයුතු කරලා තියෙනවා. එයට මුදල් ඇමැතිතුමාගේ අනුමැතියත් අවශ්‍යයි. එතුමගේ අනුමැතිය ලැබිලා තියෙනවා. එ් අනුව ඒ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා.   


ප්‍රශ්නය: තෙල් මිල ඉහළ දැමීමේ යෝජනාව ඇමැති ගම්මන්පිලගෙ ද? එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් පත් කළ ඇමැති අනුකමිටුවේ ද?   


පිළිතුර: අනුකමිටුවේ කිහිප දෙනකුගේම ඒ සම්බන්ධයෙන් යෝජනා තිබුණා.  


ප්‍රශ්නය:  ඔබත් ඒ අනුකමිටුවේ හිටියා?   


පිළිතුර: ඔව්, ඔව්. මමත් හිටියා. මම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති හැටියට මටත් වගකීමක් තියෙනවා මේ රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවා නම් එයින් බේරා ගන්න. මේ ආයතන කඩා වැටුණහොත් ඔබතුමාලට පුළුවන් මගෙනුත් අහන්න ප්‍රශ්නයක් ‘ඇයි ඔබතුමා නිකන් හිටියේ’ කියලා. එහෙම අහන්න පුළුවන්නේ. තෙල් සංස්ථාව බිඳ වැටුණහොත්, බැංකු දුර්වල වුණොත් ‘ඔබතුමා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිනේ. බුදියගෙන ද හිටියේ’ කියලා අහන්න පුළුවන්. ඉතින් මම බුදියගෙන නෑ. මේ මිල වෙනස් කිරීම අවශ්‍යයි කියලා මටත් හිතුණා. ඒ නිසා ඒ සාකච්ඡාවේදී මමත් හිටපු ස්ථාවරය තමයි මේ වෙනස් කිරීම අවශ්‍යයි කියලා.    


ප්‍රශ්නය:  මන්ත්‍රීවරුන්ට අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. ඒ අතරේ තෙල් මිලේ බර ජනතාවගේ පිට පටවනවා. සාධාරණ ද?   


පිළිතුර: වාහන ගෙන්වීම නැවැත්තුවානේ.  


ප්‍රශ්නය: එහෙම නවත්වන්න බෑ. එහෙම කළොත් මහජන බැංකුව කඩාවැටෙනවා කියලා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා? 

 
පිළිතුර: ඒක සාකච්ඡා මාර්ගයෙන් අපි කරලා ඉවරයි. මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම අපි නවත්තලා තියෙන්නේ. ඒ වුණාට ජනතාවට දෙන සහන අපි නවත්වලා නෑ. ජනතාවට දැනටමත් බිලියන 138ක සහන ලබාදීලා තියෙනවා. කොවිඩ් සඳහා පමණක් තවත් බිලියන 29ක් 30ක් අපි වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී රුපියල් පන්දාහේ දීමනා ලබාදීමට, ඊට අමතරව එන්නත් ලබාගැනීමට දැවැන්ත මුදලක් අපි වැය කරන්න බලාපොරොත්තු වෙනවා. එ අනුව ජනතාවට ලබාදෙන සහන කිසිවක් අපි නවත්වලා නෑ. මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නතර කළා.   


ප්‍රශ්නය:  ඩොලර් 26ට තෙල් බැරලය බැහැපු වෙලාවේ ඒ සහනය ජනතාවට නොදී අරමුදලකට දානවා කියලා කිව්වා. කෝ ඒ අරමුදල?  


පිළිතුර: හැමෝම කියන්නේ කිසිම ටැක්ස් එකක් ගහන්නේ නැතිව ඔක්කෝම වාසි ලබාදෙන්න කියලා. තෙල් සංස්ථාවේ තියෙන පාඩුව බිලියන 45යි. කොවිඩ් සඳහා පමණක් බිලියන 138ක් ලබාදීලා තියෙනවා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. එහෙම නම් ඒගොල්ලෝ කියන්න ඕනෑනේ තෙල් සංස්ථාවේ පාඩුව එහෙම තිබියදී තෙල් සංස්ථාවට කිසිම ලාභයක් අවශ්‍ය නෑ, තෙල් සංස්ථාවෙන් කිසිම ටැක්ස් එකක් ගන්නත් එපා, හැබැයි අපිට දෙන දේවල් ඔක්කොම දෙන්න කියලා. ඒක සාධාරණ නැහැනේ. ජනතාවට ලබාදිය යුතු සියලුම සහන අපි ජනතාවට ලබාදීලා තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා කෙනෙකුට ණයක් ගෙවන්නත් අපහසුතාවක් තිබියදීත් අපි ඒ ණයත් අවුරුද්දකින් කල් දැමීමටත් කටයුතු කරලා තියෙනවා. අලුතෙන් ණය දීමට බිලියන 168ක් ලබාදීලා තියෙනවා. ජනතාව මේවා ගැන දන්නේ නැති නිසා වෙන්නැති මෙහෙම කියන්නේ. ජනතාවට කිසිම විටෙක අපි හානියක් කරන්නේ නෑ. ජනතාවට මේ සහන ලබාදෙනවා කියලා කියන්නේ මොකක් ද? ජනතාවටම සල්ලි ලබාදීමයි. තෙල් මිලේ අඩුවීම අපි දිගින් දිගටම ලාභයක් නොලබා හිටියා නම් අපිට පුළුවන් ද මේවා ලබාදෙන්න. ඒ නිසා අපි දෙපැත්තම බලන්න ඕනෑ.   


ප්‍රශ්නය: ඉන්ධන මිලේ වාසියෙන් ද කොවිඩ්වලට වියදම් කළේ?  


පිළිතුර: නෑ. ඉන්ධන මිලම කියලා කියන්න බෑ. රටට එනවනේ ආදායමක්. සිගරට් එකෙනුත් ආදායමක් එනවා. අරක්කු බෝතලයෙනුත් ආදායමක් එනවා. එතකොට අපිට කියන්න බෑ අරක්කු බෝතලයෙන් ලැබුණ ආදායමයි මෙතැනට වියදම් කළේ කියලා. ඒ ආදායම් ඔක්කොම රටට එන ආදායම්. ඒ ආදායම් ඔක්කොම අරගෙන තමයි මේ වියදම් කරන්නේ. එහෙම කරද්දිත් අපේ ආදායම අඩුයි වියදමට වඩා. ඒ නිසා තමයි අපට ණය ගන්න වෙන්නේ. ණය ගත්තාම පොලී ගෙවන්න වෙනවා. ඒ නිසා කළමනාකරණය කියලා කියන්නේ අපට තියෙන ආදායම් මාර්ග අහිමි කරගෙන කරන දේවල් නොවෙයි. සමහරවිට අපි අහිමි කරගන්නා අවස්ථාත් තියෙනවා. ටැක්ස් අඩු කළාම මොකද වෙන්නේ? රජයට ලබාගත හැකි යම් ආදායමක් රජය ගන්නේ නැතිව ඉන්නවා. එහෙම දේවල් තියෙනවා. ඒක සමහර ආණ්ඩු කරනවා. සමහර රජයන් කරන්නේ නෑ. අපි එහෙම කරලා තියෙනවා.   


ප්‍රශ්නය:  ඔබ කියලා තිබුණ ඉන්දියාව, නේපාලය වගේ රටවල් එක්ක සන්සන්දනය කරනකොට අපේ රටේ තෙල් දෙන්නේ ඊට අඩුවෙන් කියලා. මේ සන්සන්දනය කිරීම සාධාරණ ද?   


පිළිතුර: සම්පූර්ණයෙන්ම සාධාරණයි. දැන් බලන්න ඩීසල් මිල. අපේ රටේ දැන් මේ මිල සංශෝධනයෙන් පස්සේ ඇමෙරිකාවේ ඩොලර් ශත 56යි. ඉන්දියාවේ 123යි. දෙගුණයකට වඩා වැඩියි. බංග්ලාදේශයේ ශත 78යි. අපට වඩා සියයට 50කට වඩා වැඩියි. පකිස්තානයේ ශත 71යි. අපට වඩා හුඟාක් වැඩියි. අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් හාරදහසක් විතර වෙනවා. ඉන්දියාවේ දෙදහයි. දෙදහා තියෙන රටේ ඩීසල් මිල 123යි. හාරදහසේ තියෙන රටේ ඩීසල් මිල ශත 56යි. ඒ රටවල්වල අය කරන මුදල ටැක්ස් එහෙම අය කරනවා ඇතිනේ. ඉන්දියාව තෙල් නිෂ්පාදනය කරන රටක්.     


ප්‍රශ්නය: ඉන්ධන මිල වැඩි කිරීමෙන් මොකක් ද ඔබලා අපේක්ෂා කළේ?   


පිළිතුර: ඉන්ධන මිල මේ විදිහට සාධාරණ මිලකට දුන්නොතින් මං හිතන්නේ අපට පුළුවන් තෙල් සංස්ථාව ඉදිරියේදී විකිණීමෙන් තොරව කරගෙන යන්න.   


ප්‍රශ්නය: ඒ කියන්නේ එහෙම යෝජනාවකුත් ඇවිත් තියෙනවා?   


පිළිතුර: අපේ රජය යටතේ එහෙම වෙන්නේ නෑ. නමුත් අපි දන්නා රාජ්‍ය ආයතන පාඩු වෙන්න ඇරලා ඊළඟට එනවා ‘මේවා කරගෙන යන්න බෑ විකුණන්න වෙනවා’ කියන පියවරට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිය ආණ්ඩුව කරගෙන ගිය සාකච්ඡා තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ගිවිසුම්ගත වෙමින් හිටියේ. අපි එතැනට යන්න ඕනෑ නෑ. අපට ඕනෑ මේවා ශක්තිමත් කරලා මේ ආයතන දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තැනට ගේන්න. එහෙම ගේන්න නම් අපිට තියෙනවා වගකීමක් මේ ආයතන ශක්තිමත් කරන්න. එහෙම නම් අලෙවි කරන මිල තියෙන්න ඕනෑ ගත්ත මිලට වඩා වැඩියෙන්. සබන් කැටයක් ගන්න. සබන් කැටයක් රුපියල් 62යි කියලා කියමු. එතකොට වෙළෙඳාම් කරන මනුස්සයා සබන් කැටේ ගන්නේ රුපියල් 75ට නම් විකුණන්නේ රුපියල් 62ට නම් ඒ බිස්නස් එකට මොකද වෙන්නේ. ඒ බිස්නස් එක කඩාවැටෙනවා. රුපියල් 55ට අරගෙන 62ට විකුණනවා නම් බිස්නස් එක දිගටම යනවා. 75ට අරගෙන 62ට විකුණන ඒ බිස්නස් එකට බැංකුවක් ණයක් දෙනවා නම් ඒ බැංකුවේ ඉන්න මැනේජර්ට ‘මේ මිනිහා මහ පිස්සෙක්’ කියලා කියන්නේ. ඒ වගේම දෙයක් නොවන්නට අපි මේ දිහා සාධාරණ විදිහට බලලා මේවාට අපි පිළියම් හදන්න ඕනෑ රජයක් හැටියට. ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ අන්න ඒකට. මම කියන්නේ නෑ අතිවිශාල ලාභයක් ලබන්න ඕනෑ කියලා. අඩු තරමින් ගත්ත ගානට වඩා රුපියලක් වැඩියෙන් විකුණන්න එපැයි. එහෙම නැත්නම් කරගෙන යන්න බෑනේ. මාසයක් දෙකක් පාඩු ලැබුණාම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. නමුත් දිගටම කරගෙන යන්න බෑ. 

 
ප්‍රශ්නය:  රාජ්‍ය ආයතන බො​හොමයක් පාඩු ලබන්නේ අකාර්යක්ෂම පාලනය, වංචාව, දූෂණය නිසයි. ඒවා නතර නොකර මිල වැඩි කිරීමෙන් ප්‍රතිඵලයක් තියෙනවා ද?   


පිළිතුර: ඒවා තියෙනවා නම් අපි ඒවාට මැදිහත් වෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් මගේ කිසිම පැකිලීමක් නෑ. ඒවා නතර කළ යුතුමයි. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වුණාට විකුණන මිල ගැනුම් මිලට වඩා අඩු නම් ඒ ආයතනය පවත්වාගෙන යන්න බෑ .ඒක තමයි මූලිකම දේ. මම ඔබට මේ ගැන කලින් උදාහරණයක් දුන්නා. ඒ නිසා ඒ මූලිකම ප්‍රශ්නය හදාගන්න ඕනෑ. අනික් ටික ඊට පස්සේ හදාගන්න පුළුවන්. ආයතන කඩාවැටෙන්නේ අර මූලිකම ප්‍රශ්නයට අපි නිසි උත්තරයක් නොදුන්නොත් තමයි. අපි දූෂණය නැති කරලා යහපත් පාලනයක් ගෙනාවට වැඩක් නෑ විකුණන මිල ගැනුම් මිලට වඩා අඩු නම්.   


ප්‍රශ්නය:  94 ඉඳලා ගත්තොත් වැඩිම කාලයක් රට පාලනය කරලා තියෙන්නේ ඔබේ කඳවුරයි. ඇයි මේවා හදාගන්න බැරි වුණේ?   


පිළිතුර: අපේ පාලන කාල ගත්තොත් ඔබ බලන්න 2006 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයක් තිබුණේ. චන්ද්‍රිකා මැතිනියගේ අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය පටන් ගන්නකොට රටේ ආර්ථිකය තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 28යි. ඉවර වෙනකොට අවුරුදු 9කට පස්සේ ඒක බිලියන 79යි. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව අවුරුදු පහක් පාලනය කරලා 79-82ට විතරයි ගෙනිච්චේ. ඉතින් ඒකෙන් තේරෙන්නේ අපි පාලනය කරපු කාලයේදී යම්කිසි යහපත් කරුණු මේ රටේ සිදු වුණා.   


ප්‍රශ්නය:  නමුත් සමහරු නම් කියන්නේ ඒකට කළු දශකය කියලයි?   


පිළිතුර: ඕවා දේශපාලන අවලාදනේ. බලන්න ඒ කාලේ අධිවේගී මාර්ග හැදුවා. විදුලිය සියයට සියයක් විතර දුන්නා. වරායවල් හැදුවා. ගුවන්තොටුපොළවල් හැදුවා. යුද්ධය අවසන් කළා. යුද්ධයටත් අපි මුදල් වැය කළා. 

 
ප්‍රශ්නය: යුද්ධයට වියදම් කරපු සල්ලි දැන් කෝ? 

 
පිළිතුර: යුද්ධයෙන් පස්සේ මේ රටේ නොසිතූ නොවිරූ සංවර්ධනයක් ඇති වුණානේ. ඒක තේරුම් ගන්නකෝ. පාරවල් හැදුණා. පාලම් හැදුණා. නැගෙනහිර පළාතේ පමණක් දැවැන්ත පාලම් 91ක් හැදුවා. ඉස්සර ගියේ පාරුවේ. දැන් ඒවා මතක නෑ. මඩකලපුවේ ඉඳලා ත්‍රිකුණාමලයට මිනිස්සු යනකොට ගියේ පාරුවලින්. දැන් මහ පාර දි​ගේ යනවා. දැන් ඒකේ වටිනාකමක් නෑ. දැන් ඒවා තියෙනවනේ. මේවා ඔක්කොම හැදුවේ කවුද? ඒ කාලේ යාපනයට යන්න වව්නියාවේ ඉඳලා ඒ 9 පාරේ යන්න පැය 18ක් ගතවුණා. ඒවා හැදුවේ කවුද? ඒවාට කොච්චර මුදලක් යනවා ද? කිලෝ මීටර් හැටපන්දහසක් පමණ කොන්ක්‍රීට් කළා. අපි ඒවා ඔක්කොම කළා. මිනිස්සු අහන්නේ නෑ මේ සල්ලි කොහෙන් ද කියලා. මුළු රටම වැඩබිමක් වගේ එදා තිබුණේ ඒ නිසයි. යහපාලන ආණ්ඩුව රට ගෙනිච්චා වෙන පැත්තකට. අපි ඒ දිහා දුකෙන් බලාගෙන හිටියා. ආර්ථික වර්ධන වේගය අටේ ඉඳලා 2ට බැස්සුවා. අපි ආණ්ඩුව ගත්තෙම අතේ ප්ලෑන් එකක් තියාගෙන. නමුත් මේ කොවිඩ් නිසා එතැනදි අපට අමතර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දුර්වල වෙලා ලෙඩා ඉස්පිරිතාලයට ත්‍රීවීලරයකින් අරගෙන යනකොට වෙන වාහනයක් ත්‍රීවීල් එකේ හැප්පුණා වගේ දෙයක් වුණේ. මේක ලොකු අභියෝගයක්. එහෙත් අපි තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරගෙන යනවා.  


ප්‍රශ්නය:  බැසිල් රාජපක්ෂ හිටියා නම් තෙල් මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ කියලා රාජ්‍ය ඇමැති නිමල් ලන්සා කියලා තිබුණා?   


පිළිතුර: සමහරක් වෙලාවට එහෙම කියන්නේ ඒ අයටත් අදහසක් තියෙනවා තෙල් මිල වැඩි නොවිය යුතුයි කියලා. ඒක සාධාරණයි. දේශපාලනඥයෙක් වුණාම තෙල් මිල වැඩි කරනවා වගේ දේවල්වලට කැමැති නෑ. නමුත් අපි මෙතැන යථාර්ථය තේරුම් ගත යුතුයිනේ. ජනාධිපතිතුමා, අගමැතිතුමා වුණත් තෙල් මිල වැඩි කරන්න උනන්දුවෙන් ඉන්නේ නෑ. කිසි කෙනෙක් කැමැති නෑ. මම වුණත් කැමැති නෑ. නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. මම කියපු උදාහරණය යළි යළිත් මතක් කරගන්න. ඉතින් බැසිල් මැතිතුමා කැමැති නෑ තෙල් මිල වැඩි කරනවාට. මමත් කැමැති නෑ.   


ප්‍රශ්නය: පොදුජන ​පෙරමුණේ ලේකම්, මන්ත්‍රී සාගර කාරියවසම් කිව්වා තෙල් මිල වැඩි කිරීමේ වරද පිළි අරගෙන ඉල්ලා අස්වෙන්න කියලා?   


පිළිතුර: ඒකෙන් පේනවා තෙල් මිල වැඩි කිරීම ගැන අපේ කඳවුර කොයි තරම් සංවේදී ද කියලා. පක්ෂයක් හැටියට ඒ සංවේදීකම පෙන්වනවා කියන්නේ ඒක හොඳ දෙයක්. අපේ පක්ෂයේ අය කළත් ඒ ගැන සංවේදීයි කියන එකයි ඒකෙන් පේන්නේ. නමුත් ඒකෙන් කියැවෙන්නේ නෑ අපි ගත්ත තීරණය වැරැදියි කියලා. කරුණු තේරුම් ගත්තට පස්සේ එතුමත් මේ ගැන ධනාත්මකව හිතාවි. මේකේ යථාර්ථය මොකක්ද කියලා ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරපු නිවේදනයෙන් කියැවුණානේ. ඒ නිසා ඒ ගැටලුව දැන් විසඳලා තිබෙන්නේ.   

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්