ඇමැති මාරුවෙන් කවුරුත් වැටුණේ නෑ


(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලාද, අන්තවාදී පිරිස් කවුද, ආණ්ඩුව ඇතුලේ සංහිඳියාව, ඇමැති සංශෝධනයට ශ්‍රීලංනිපය කළ බලපෑම, හම්බන්තොට වරාය විකුණනවාද, කළුතර ගංවතුර වෙලාවේ දී සිටියේ කොහේද යනාදී කරුණු ගැන වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.

 

ප්‍රශ්නය:- ජනතාව අතරින් මතුවන විරෝධය වගේම ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලා නේද?
පිළිතුර:- ඔය වගේ විහිළු කතා දැන් නිතර ඇසෙනවා. මේ ආණ්ඩුවට වසර දෙක හමාරක් වුවත් ජනතාවගේ පැත්තෙන් පුදුම නිදහසක්. සහනයක් ලබාදී තිබෙනවා. බියෙන් සැකෙන් තොරව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න මාධ්‍යයට දී තිබෙන නිදහස කොපමණද? ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමට අපේ රට ලක්වන තැනට කටයුතු කර තිබීමම සුළුකොට තකන්න පුළුවන්ද?

මේ අනුව මේ ආණ්ඩුවට ඇති පිළිගැනීම දෙස බැලුවාම ඔය අන්තවාදීන් පිරිස් අතරින් එන විරෝධතාව මිසක් කලින් තිබු පාලන තන්ත්‍රයට වඩා තමන්ට නිදහසේ ජීවත් වෙන්න හැකියාව ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් ශක්තිමත් කරන ආණ්ඩුවක් අද තිබෙන බව සමස්ත ජනතාව දන්නවා.

මේ ආණ්ඩුවට වෙනත් විකල්ප නෑ. ගෝල්ෆේස් එකට ලක්ෂයක් මිනිස්සු පිරෙව්වට ජනතාව එහෙම ගිහින් නෑ. වෙන ආණ්ඩුවක් ඕන කියා මේ රටේ බහුතරය කියන්නේ නෑ. එහෙම නම් ඔය අය ගිය ජනාධිපතිවරණයේදී කොතරම් සෙනග පෙන්නුවද? සමහර මාධ්‍ය අල්ලගෙන ඉදිරිපත් කරන චෝදනා, අන්තවාදී අදහස් වැටුප් ගෙවා සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනයන වැඩපිළිවෙළ මත ආණ්ඩුවට විරෝධතාවක් තියෙනවා කියා තක්සේරු කරන්න බැහැ. හැබැයි ආණ්ඩුවට අභියෝග තිබුණා. ඇතැම් ඒවා දවසින් දෙකෙන් ජයගන්න බැහැ. ඉතින් ඒවා ජයගන්න වැඩ කරගෙන යනවා. මැතිවරණයකට යන අවස්ථාවේ ජනතාව මේවා තේරුම් අරන් ප්‍රසාදය, අප්‍රසාදය තිබෙන්නේ කාටද කියා පෙන්නාවි.


ප්‍රශ්නය:- අන්තවාදී පිරිසක් ගැන ඔබ කිව්වා. මේ ඔබ ඇඟිල්ල දිගුකරන්නේ ඔබේම පක්ෂයේ එකට සිටි පිරිසකට ද?
පිළිතුර:- නෑ මම සමස්තයක් හැටියටයි කිව්වේ. දේශපාලන පක්ෂ දිහා බැලුවේ නැහැ. අපේ සමාජයේ සෑම ජන කොටසකම අන්තවාදී පිරිස් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මේවා අපි බලාපොරොත්තු වෙන්නත් ඕන. අපි අමාරුවෙන් ගොඩනගා තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික ස්ථාවරභාවය අස්ථාවර කරන්න, ජනතාව කුපිත කරන්න, ජනතාව බෙදන්න, ජනතාව අතර වෛරයක් පතුරුවන්න දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වීම ව්‍යවස්ථා විරෝධී වැඩක්. රටේ නීති රීතිවලට පටහැනියි. එවැනි වැඩට ඉඩ දෙන්න බෑ. ඒවාට ඉඩ දුන්නොත් අපි ගොඩනගන්න යන සමගිය කඩාකප්පල් වෙනවා. සුළු ජන කොටස් ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳින්න සංවිධානාත්මක වැඩ කෙරෙනවා. වැරැදි පණිවිඩ යවන්න හදනවා. මේවා කඩාකප්පල් කියා. මේවායේ තිබෙන්නේ දේශපාලන ඉලක්කයක්. එවැනි දේට ආණ්ඩුව තදින්ම කටයුතු කරන්න සූදානම්. අදාළ කටයුතු පොලිසිය හරියට කරන්නේ නැත්නම් හමුදාවටත් ඒ වගකීම් පවරන්න සුදානම් කියා ජනාධිපතිතුමා තදින්ම කිව්වා. සමගිය ශක්තිමත් කර සංහිඳියාවට යන ගමන සාර්ථක කරගන්න අවශ්‍ය පියවර කිසිදු බියකින් තොරව ගන්න අපි සූදානම්.


ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ සංහිඳියාවක් ගොඩනගා ගන්න බැරි නම් පිටත සමාජයේ, රටේ සංහිඳියාවක් ඇති කරන්නේ කොහොමද?
පිළිතුර:- ප්‍රධාන පක්ෂ දෙක එකතු වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මේ ආණ්ඩුවට පෙරහුරුවක් නෑ. විටින් විට ප්‍රශ්න ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර හොඳ අවබෝධයක් තිබෙනවා. හොඳ සහයෝගයෙන් වැඩ කරන අධිෂ්ඨානයක් තිබෙනවා. ප්‍රශ්න ඇතිවුණාම නායකයන් දෙන්නා අවශ්‍ය වෙලාවට මැදිහත් වී සමථයකට පත් කරනවා. රට ඉදිරියට ගෙනයන්න නායකයන් දෙදෙනා අතර තිබෙන අවංක වුවමනාව කඩාකප්පල් කරන්න කාටවත් ඉඩ ලැබේවි කියා මම සිතන්නේ නෑ.

ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි බරපතළම ප්‍රශ්න ඇතිවෙලා නැහැනේ. සමහර සිදුවීම් සමහර මාධ්‍ය විකෘති කරනවා. ලොකු ප්‍රශ්න ඇති බව පෙන්වන්න හදනවා. නායක දෙපළ එකට සිටිනවා නම් අපිටත් තිබෙන්නේ එහෙම කටයුතු කරන්නයි.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඇමැති සංශෝධනය වී සෑහෙන දවසක් ගත වුවත් අදාළ විෂය ගැසට් කිරීමට නොහැකි වුණේ දෙපාර්ශ්වයේ පවතින අර්බුදයේ ප්‍රතිඵලයක් නිසා නොවේද?
පිළිතුර:- එහෙම කිසිම ප්‍රශ්නයක් තිබෙනවා කියා මම සිතන්නේ නෑ. ගිය සතියේ අගමැතිතුමා රටේ සිටියේ නැහැ. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අනුමැතියෙන් දැන් ගැසට් එක නිකුත් වුණා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රමාදයක් නැහැනේ.


ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයම ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලයේ පිපිරී යාමක් නේද?
පිළිතුර:- නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. තනි ආණ්ඩුවක් තිබුණත් මේ සම්මුති ආණ්ඩුවේ වුණත් ඇමැති සංශෝධන කළ යුතු නම් කරන්න වෙනවා. ඉතිහාසයේදීත් විටින් විට ඇමැති සංශෝධන කළා. ඒවා කරන්නේ වැඩි කාර්යක්ෂමතාවකින් නව මුහුණුවරකින් ජනතාව බලාපොරොත්තු වන වැඩ පිළිවෙළක් සමග ඉදිරියට යන්නයි.

මම නිපුණතා සංවර්ධන ඇමැති හැටියට මගේ කාලයේ ලොකු විප්ලවයක් කළා. දැන් මට විශාල අභියෝග තිබෙන අමාත්‍යාංශයක් බාර දී තිබෙනවා. යම් යම් ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳන්න කළ යුතු වෙනස්කම් කරන්න පක්ෂ දෙකේ නායකයන් දෙන්නා එකට වාඩි වී කතා කර තීන්දු ගන්නවා. මට දුන්නේ එජාපයට දී තිබූ ඇමැති කමක්. රවී කරුණානායක ඇමැතිතුමාට දී තිබෙන්නේ හොඳම ඇමතිකමක්. මංගල ඇමැතිතුමාටත් ඉහළම ඇමැතිකමක් දී තිබෙනවා. ඒ අය අඩු තක්සේරුවකට ලක්කර නෑ. පොඩි වෙනසක් කළා. ඒ වෙනස හරහා අලුත් මුහුණුවරකින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. කාවවත් වැට්ටුවේ නැහැ.


ප්‍රශ්නය:- මේ වෙනස කරන්න වැඩියෙන්ම බලපෑම් කළේ ඔබේ පක්ෂයයි. ඇයි එතරම් අවශ්‍යතාවයක් තිබුණේ?
පිළිතුර:- සංශෝධනයකට ගියොත් හොඳයි කියා අපිත් කිව්වා. හැබැයි අරයා මාරු කරන්න මෙයා මාරු කරන්න කියා අපි කිව්වේ නැහැ. ජනාධිපතිතුමත් ඒ මතයේ හිටියා. මේ රටේ  සිවිල් සමාජය, ජනතාව ඒ මතයේ හිටියා.

අගමැතිතුමත් ඒ මතයට ආවා. ජනතා බලාපොරොත්තු වඩා හොඳින් ඉටු කරන්න පුළුවන් කියා එතුමත් සිතුවා. ශ්‍රීලනිපය මන්ත්‍රීවරු හැටියට අපි ලොකු බලපෑමක් කළේ නැහැ. එජාපයේ සමහර මන්ත්‍රීවරු පවා ජනාධිපතිතුමා හමුවී ඇමැති සංශෝධනයක් ජනතාව බලාපොරොත්තු වන බව කියා තිබුණා. මේ හැමෝටම ඇහුන්කන් දී තමයි නායකයන් දෙදෙනා මේ තීරණය ගත්තේ.


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අර්ජුණ රණතුංග ඇමැතිවරයා දැඩි ස්ථාවරයක සිටියා. ඔහුගෙන් බැරි වූ දේ ඔබ ලවා කර ගන්නද මේ ඇමැති ධුරය මාරු වුණේ.
පිළිතුර:- හම්බන්තොට වරාය විකුණන්න කිසිම අවස්ථාවක රජය තීරණයක් ගෙන තිබුණේ නැහැ. බදු දීමක් ගැන පමණක් සාකච්ඡා කළා. අර්ජුන ඇමැතිතුමා වරාය පැත්තෙන් සිතා අදහස්, යෝජනා ඉදිරිපත් කළා. මේ ගනුදෙනුවට යනවාට එතුමා විරුද්ධ වුණේ නැහැ. ගනුදෙනුවට යනව නම් යම් යම් කොන්දේසි ගිවිසුමේ තිබිය යුතු බව එතුමා කිව්වා. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි. මේ වරාය අයිති ශ්‍රී ලංකා වරාය අධිකාරියට. එය ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ නීතියට අනුව. වරාය අධිකාරියේ පනත අනුව. ඒ පනත උල්ලංඝනය කරන්න කාටවත් බැහැ. කෙරෙන ආයෝජනයක් කෙරෙන්න ඕන රටේ නීති රාමුව තුළයි.

ඒ වගේම අපේ ජාතික අවශ්‍යතාවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවට න්‍යෂටික බලය තිබෙනවා. චීනය කියන්නේ තවත් න්‍යෂ්ටික බලයක් තිබෙන රටක්. පාකිස්තානයත් එහෙමත් ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක කටයුතු ගැන නිරන්තරයෙන්ම ඇමෙරිකාව පසු විපරමෙන් ඉන්නවා. න්‍යෂ්ඨික බලයක් තිබෙන රටකට මේ රටේ මෙවැනි ආයෝජනයක් කරන්න ඉඩ දෙන විට ආරක්ෂක පැත්ත ගැන විශේෂයෙන් බලන්න ඕන. අපි මේ ආයෝජනයට ඉඩ දෙන්නේ සම්පූර්ණයෙන් ආර්ථික පැත්ත බලලා. ඒකෙන් ඉවත් වෙන්න ඉඩදෙන්න බැහැ. අපේ නාවික හමුදාවේ වගකීම පැහැර හරින්න බැහැ. හාබර් මාස්ටර්ගේ නීත්‍යානුකූල බලතල ඒ විධියටම තියෙන්න ඕන. රේගුව ආගමන විගමන ක්‍රියාවලි ක්‍රියාත්මක වෙන්න ඕන. මේ සියල්ලක්ම අපි මේ ගිවිසුමට ඇතුළත් කරනවා.

මේ සාකච්ඡා තිබෙන්නේ මගේ අතේ. කවුරුවත් ඒකට ඇඟිලි ගසන්නේ නෑ. චීන සමාගම සමග මම සාකච්ඡාවට දෙකක් පැවැත්වුවා. තව සාකච්ඡා කරනවා. ඒ අතර මේවා ගැන නායක දෙපළක් දැනුවත් කරනවා.

අවසන් තීරණවලට එන්නේ ඒ දෙන්නාගේ අදහස් අනුවයි. නීතිපතිගේ අනුමැතිය කැබිනට් අනුමැතිය ලැබුණට පසුවයි ගිවිසුමක් අත්සන් කරන්නේ. මෙවැනි කෙටි මාර්ග නැහැ. ජාතික අවශ්‍යතාව කප්පාදු නොවන ලෙස අඩපණ නොවන ආකාරයට රටේ නීති රීති ක්‍රියාත්මක කළ හැකි ආකාරයට ගිවිසුමේ සියලු කොන්දේසි සාකච්ඡා ගිවිසුමක් අත්සන් කරනවා. මම මෙතනට පත් කර තිබෙන්නේ තිබුණු හැටියටම මේක දීලා දාන්න නෙමෙයි. දැන් මම වගකීම දරනවා.


ප්‍රශ්නය:- විදේශ ඇමැති වෙන්න බලා සිටි ඔබ වරාය ඇමැති වීම ගැන මොකද කියන්නේ?
පිළිතුර:- මේ ඇමැතිකම ලැබෙයි කියා නොසිතූ අවස්ථාවක එය ලැබී තිබෙනවා. මම වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙක්. මෙවැනි අමාත්‍යාංශයක් මෙහෙයවන්න මට දැනුම තියෙනවා. අධ්‍යාපනය තිබෙනවා. පළපුරුද්ද තිබෙනවා. කොළඹ  වරාය දැන් තිබෙන්නේ ලෝකයේ වරාය අතර 23 වැනි තැන. එය තවත් හොඳ තැනකට ගෙන යාම මගේ අරමුණයි. වෘත්තීය සමිති සමග ඉතා සුහදව කටයුතු කරමින් වරායේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව නැංවීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපට අයිති අනෙක් වරායවල් ද සංවර්ධනය කර මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න ලොකු සේවයක් මේ අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ අමාත්‍යාංශය ලැබීම ගැන සතුටු වෙනවා. වෙන දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ.


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළ ඔබලා අද මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිකමක් දරනවා. මොකද්ද ඔබගේ ස්ථාවරය?
පිළිතුර:- හැම විටම පක්ෂයේ නායකයා සමග සිටීමයි මගේ ස්ථාවරය. කවුද නායකයා ඔහුත් සමග ඉන්න ඕන. පක්ෂක නායකයො දෙන්නෙක් නැහැ. ඒ වෙලාවෙ මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටියේ එතුමා එවෙලේ පක්ෂයේ නායකයා සහ නිල අපේක්ෂකයා වූ නිසයි. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂය බාර දුන්නට පස්සෙ මම මහින්ද මහත්තයත් එක්ක ඉන්නෙ කොහොමද? මම ඉන්නේ නිල පක්ෂයත් එක්ක. හැම පාක්ෂිකයෙක්ම එහෙම සිතුව නම් ශ්‍රීලනිපයෙ බෙදීමක් ඇති වෙන්නෙත් නෑ. අපි දැන් එතැනට ගමන් කරමින් සිටිනවා. පළමු මැයි දින රැලියේ දී අපට හයිඞ් පිටිය පුරවන්නත් බැරිවුණා. සමහරු ඇවිත් මූණ පෙන්නලා කිරුළපනට ගියා. හැබැයි ගාල්ලට විශාල පිරිසක් ආවා. මෙවර ගැටඹෙට ඓතිහාසික සෙනඟක් ආවා. දැන් පාක්ෂිකයන් පක්ෂයට එන්න පටන් ගෙන බව පැහැදිලි වෙනවා. පක්ෂය බෙදුණොත් වෙනත් අයට වාසිය යන බව මේ අය තේරුම් අරන්. ශ්‍රීලනිපය කැඩුණොත් ඒක රටේ අනාගතයටත් බලපානවා. එදා මහින්ද මහත්තයට තිබූ සියයට අනූවේ ප්‍රතිශතය දැන් ගොඩක් බැහැලා. ඉදිරියේ දී අපට ආණ්ඩුවක් පිහිටුවන්න ශක්තිය තිබෙන්නේ මහින්ද මහත්තය ළඟ නෙමෙයි. මෛත්‍රී ජනාධිපතිතුමා ළඟ බව පාක්ෂිකයන් වටහා ගෙන තිබෙනවා. මහින්ද මහත්තය දෙවරක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. පක්ෂයට නව බලයක් වත්මන් ජනාධිපතිතුමා යටතේ ලැබී තිබෙනවා. 2020දී අපේ ආණ්ඩුවක් මෛත්‍රී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය:-තෙවරප්පෙරුමලා, වෙල්ගමලා ගංවතුරේ බැහැගෙන කළුතර ජනතාව බේරා ගනිද්දී මහින්ද සමරසිංහලා සිටියේ කොහේද?
පිළිතුර:- ඔය පිංතූරවලට පෙනී සිටීමේ ගේම් එකේ මම නැහැ. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා හැටියට පාන්දර 5.30 සිට ක්‍රියාත්මක වී ආරක්ෂක අංශ සමග කතා කර කළුතරට අවශ්‍ය උපකරණ හා පිරිස් බලය ලබා දුන්නේ මම. කළුතර කච්චේරියේ වාඩිවී සාකච්ඡා පවත්වා සියල්ල මෙහෙයවීම කළා. බඩු බෙදන්න කියා බත් පැකට් එකක් තබා ශත පහක් මම වරායෙන් ගත්තේ නැහැ. හැබැයි සෑහෙන බඩු තොගයක් ජනතාවට ලබා දුන්නා. හැබැයි මම වතුරෙ බැහැලා පිංතූර ගත්තෙ නැහැ. සමහරු ඒවට දක්ෂයි. පාලිත හොඳ වැඩ කොටසක් කළා. ඒක තමයි එතුමගෙ චරිතය. හැම වෙලාවෙම එතුම එහෙම කරනවා. හැබැයි සමහරු එක දවසක් සරම ටිකක් උස්සගෙන වතුරට බැහැලා පිංතූරයක් අරගෙන මාධ්‍යයේ පළ කළා. හැබැයි කරපු දෙයක් නෑ. ඒ වගේ අයත් ඉන්නවා. මම දිස්ත්‍රික්කයට අවශ්‍ය නායකත්වය දුන්නා. වන්දි ගෙවීම සහ අනෙක් අවශ්‍යතා ඉටුකර දීමටත් කටයුතු කරනවා.


ප්‍රශ්නය:- විපතින් මියගිය අයකුට ලක්ෂයක වන්දියක් ගෙවන්න. ආණ්ඩුව මියගිය ත්‍රස්තවාදියකුට ලක්ෂ 20ක් ගෙවීම සාධාරණ ද?
පිළිතුර:- මුලින් දුන්නෙ රුපියල් 15,000යි. ඒක ලක්ෂයක් කළේ අපේ ආණ්ඩුව. ලක්ෂයක් ගැන කතා නොකර අවශ්‍යතාව අනුව කටයුතු කරන්න තීරණයක් ගෙන තිබෙනවා. සමහර දේවල් කියන්නේ ඉතිහාසය අමතක කරලා. 15,000දාහ  ලක්ෂයක් කළා කියා කවුරුවත් කියන්නේ නෑ.