ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක
- කිසි ප්‍රශ්නයක් නෑ. ශ්‍රීලනිපයේ සියලු දෙනාම විස්සට සහාය දෙනවා.
- ශ්‍රීලනිපයට කරන්න ඕනෑ යුතුකම් ඕනෑවටත් වඩා කරලා තිබෙනවා කියල තමයි මට පේන්නේ
- ඔය ද්විත්ව පුරවැසිකම තියාගෙනනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධයට නායකත්වය දුන්නේ.
රටේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- කලක් රජුන් තනන්නෙකු වූ ඔබ අද රජුන් යටතේ සිටින්නකු බවට පත්වෙලා.
පිළිතුර:- ඔව්. ඔව්. ඉතින් රජුන් යටතේ කෙසේ වෙතත් මම අනූහතරෙ ඉඳලම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. දැන් ඉතින් මුකුත් නැතිව ඉන්නවා.
ප්‍රශ්නය:- එහෙම වුණේ ඇයි කියලා හිතලා බැලුව ද?
පිළිතුර:- මම හිතන්නේ අපි පොදුජන පෙරමුණට එකතු වුණේ ප්‍රමාද වෙලානේ. හැබැයි අපි යහපාලන ආණ්ඩුව ඉන්න කාලෙත් පොදුජන පෙරමුණත් සමග බොහොම ළඟින් වැඩ කළා. ඒ අයත් එක්ක තමයි අපි රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කළේ. ඒ අයත් එක්කම එකතුවෙලා තමයි අපි දින 52 ආණ්ඩුව පිහිටෙව්වෙත්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත්ගෙ පැත්තට ඇදෙන අපි 16 දෙනෙක් එළියට ඇවිත් ඒ කුමන්ත්‍රණය පරාජය කරලා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වුණේ. මොනවා වුණත් අපි පොදුජන පෙරමුණට ආවේ පස්සෙනේ. ඒ නිසා අපිට ඇමැතිකම් නුදුන්න බව තමයි පේන්නේ.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව ඡන්දයට ආවේ සන්ධානයකින්. එතැනදී විවිධ ගිවිසුම් එකඟතා ඇති වුණත් ඡන්දෙන් පස්සේ ඒවා නොතකා හැරියා කියලා ශ්‍රී ලංකා එකෙන් අඳෝනාවක් ඇහෙනවා?
පිළිතුර:- මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න ඕනෑ යුතුකම් ඕනෑවටත් වඩා කරලා තියෙනවා කියලා තමයි මට පේන්නේ.
ප්‍රශ්නය:-නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවමත් නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී?
පිළිතුර:- එතුමාට තමයි ඔය...... මම හිතන විදියට පරිසර අමාත්‍යාංශය දෙන්න හැදුවේ. එතුමම තමයි ඒක. එපා කියලා මහින්ද අමරවීරට දීලා එතුමා නිකම් ඉන්නේ. ඒක එතුමා කැමැත්තෙන් කළ දෙයක්.
ප්‍රශ්නය:-ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන් 16 දෙනා මේ ආණ්ඩුවේ තීරක බලය කියලා ඔබ හිතනවද?
පිළිතුර:- තීරක බලය නොවෙයි. හැබැයි ඉතින් ඒ 16 දෙනා අපට වැදගත්. මේ ආණ්ඩුවට වැදගත්.
ප්‍රශ්නය:- වැදගත් කියලා ඔබ කිව්වට ඒ වැදගත්කමට ගැළපෙන පිළිගැනීමක්
තියෙනව ද?
පිළිතුර:- ඒ අය මේ ආණ්ඩුවේ වෙනස් කණ්ඩායමක් නොවන මට්ටමින් ඒ අය අපිත් එක්ක වැඩ කරනවා.
ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා එකේ සහාය දෙනවා කිව්වත්... සමහරු ඉන්නේ දෙගිඩියාවෙන්?
පිළිතුර:- අපොයි නෑ. ඒ සියලුමදෙනා සහයෝගය දෙනවා.
ප්‍රශ්නය:-නමුත් එහෙම විශ්වාසයක් නැති නිසා නේද බැසිල් රාජපක්ෂ සුළු ජාතික පක්ෂවලට දෑත දිගු කරන්නේ.
පිළිතුර:- නෑ නෑ. එහෙම නෑ. සුළු ජාතික පක්ෂ බැසිල් රාජපක්ෂ මැතිතුමා හමුවෙන්න එනවා ඇති. ඇවිල්ලා කතා කරනවා ඇති. සුළු ජාතික පක්ෂ ඉතින් ඉස්සර ඉඳලම එතුමත් එක්ක සම්බන්ධතා තිබුණානේ. ඒ නිසා එනවා ඇති. ඒ සමහර අයට ඉතින් බලය නැතිව අමාරුයිනේ. ඒ අය සුළු ජාතික පක්ෂනේ. මේ අවස්ථාව බලලා ඒ අය ආණ්ඩුවට එකතුවෙන්න බලනවා ඇති.
ප්‍රශ්නය:-සුළු ජාතික පක්ෂවලට විතරක් නොවෙයි. ඔබටත් අමාරු ඇති ඇමැතිකමක් නැතිව ඔබ කිව්වා ඔබ 94 ඉඳලා කැබිනට් ඇමැති කෙනෙක් කියලා?
පිළිතුර:- අමාරුයි තමයි. හිතේ සතුටක් නෑනේ. අපි ඉතින් අනිත් එක මෙහෙමයි මම සාමාන්‍ය ඇමැති කෙනෙක් නොවෙයි. මම කරපු ඇමැතිකම් සියල්ලගේම සුවිශේෂ වාර්තා තියපු ඇමැති කෙනෙක්?
ප්‍රශ්නය:- ඒක පැහැදිලි කළොත්?
පිළිතුර:- ක්‍රීඩා ඇමැතිවරයා හැටියට ඉන්න කාලේ තමයි ඔලිම්පික් මැඩ්ල් ගත්තේ. ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනුවේ. නෙට්බෝල්වලින් අපි ‘ඒෂියා’ දිනුවේ. කොමන්වෙල්ත් වලින් අපි ‘ෂූටිං’ දිනුවේ. ඒෂියන් රැකෝඩ් 8 ක් තිබ්බේ සවුත් ඒෂියන් ගේම් අපි ලංකාව දිනුවේ. ඒවා ඔක්කොම කළේ මගේ කාලයේ.
ප්‍රශ්නය:- සමෘද්ධි ව්‍යාපාරයත් ඔබේ නිර්මාණයක්?
පිළිතුර:- ඔව්. ඔව්. සමෘද්ධි ව්‍යාපාරය හැදුවේ මම. මේ 2019 ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය දිනුවේ ඇමෙරිකානු විද්‍යාඥයෙකුයි ඉන්දියාවේ මහාචාර්යවරයෙක් හා මහාචාර්යවරියකුයි. මේ තුන්දෙනාම ලියලා තිබුණේ ඒෂියා අප්‍රිකා ‘පවටිවැලිවේෂන්’ ගැන. ඒකේ ලියලා තිබුණා කරුණු ඒ කියන්නේ දුප්පත් කමින් මිදෙන්න ඕනෑ කියන සියලුම කරුණු සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙනවා. සමෘද්ධිය අපි නිකම් හැදුවේ නෑ. ඒ කාලයේ දකුණු කොරියාවේ තිබුණ සැමුවෙල් ඩොන් ව්‍යාපාරය, බංග්ලාදේශයේ තිබුණ ග්‍රාමීන් ව්‍යාපාරය, කේරළේ තිබුණ සේවා ව්‍යාපාරය, ඊ්‍ශ්‍රායලයේ තිබුණ හිබුෂියා ව්‍යාපාරය. මේ ඔක්කොම බලලා අධ්‍යයනය කරලා තමයි කළේ. ඇත්තටම ඔය සමෘද්ධියේ තියෙන ගැඹුර මම හිතන්නේ නැහැ ඔය කාටවත් තේරෙනවා කියලා. ඒ තරම් ගැඹුරු කතාවක් සමෘද්ධිය ඇතුළේ තියෙනවා. මම කෘෂිකර්ම ඇමැති විදියට ඉන්න කාලේ තමයි මහා පරාක්‍රමබාහු යුගයෙන් පස්සේ අතිරික්ත වී නිෂ්පාදනයක් වුණේ. කිරි නිෂ්පාදන මම ගන්නකොට තිබුණේ සියයට 7 යි. අවුරුදු දෙකක් යනකොට මම ඒක සියයට 22 ක් කළා. ඒ පිටරටින් හරක් ගෙනල්ලා නොවෙයි. උසස් අධ්‍යාපන ඇමැති හැටියට මම හදපු සැලැස්ම අදත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉහලින් අගය කරනවා. ශිෂ්‍යයොත් අගය කරනවා. අපි හදපු නායකත්ව පුහුණුව, කවිතා වැඩසටහන. අපි හදපු ශිෂ්‍ය නේවාසිකාගාර... පාඨමාලාවල භාෂාව ඉංගිරිසියට හැරවීම. විශ්වවිද්‍යාලයට දෙගුණයක් ශිෂ්‍යයන් ගැනීම ඒ කරපු හැම දෙයක් ගැනම හොඳ ඇගයීමක් රටේ තියෙනවා.
ප්‍රශ්නය:-නමුත් රාජපක්ෂවරුන්ගෙන් ඇගයීමක් නෑ?
පිළිතුර:- නෑ නෑ මම එහෙම හිතන්නේ නෑ. දැන් දේශපාලන තත්ත්වය වෙනස්නේ.
ප්‍රශ්නය:-ළඟදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් වෙනවා කියලා ආරංචියි. එතකොටවත් ඔබ දිහා බලාවි?
පිළිතුර:- ඒවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ ගැන එච්චර සැලකිලිමත් නෑ.
ප්‍රශ්නය:-20 වැනි සංශෝධනයෙන් ඒකාධිපතියෙක් නිර්මාණය වෙන බව කියනවා?
පිළිතුර:- ඒක පට්ටපල් බොරුවක්. 20 න් ඇත්තටම අපි කරන්නේ කාරණා තුනක් ඇරෙන්න 19 තියෙන ටික ඉවත් කරණවා. 19 න් වෙච්ච දේ ගන්නකෝ. සියයට 6 - 7 තිබුණ ආර්ථික සංවර්ධනය සියයට 2 ට වැටුණා. රට සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වුණා. මම හැම වෙලේම කියන්නේ මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරයට ඉලක්ක කරගෙන හිටියෙ ඉන්දියාව. ලංකාව නොවෙයි. හැබැයි ඒ අන්තවාදීන්ට තේරුණා ලංකාවේ ආරක්ෂාව බිංදුවටම වැටිලා කියලා. ඒ නිසා ඒ කට්ටිය මේ පැත්තට හැරුණා. මහ බැංකුවේ වෙච්ච මහ හොරකම. ඒ වගේම 19 න් මහා ලොකුවට ගෙනාවා ඇමැතිවරුන් 30 යි කියලා. හැබැයි ලංකා ඉතිහාසයේ වැඩිම ඇමැතිවරුන් සංඛ්‍යාවක් හිටියෙ යහපාලන ආණ්ඩුවේ.
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 88 යි.
පිළිතුර:- ඔව්. 88 ක් හිටියා වැඩිම කැබිනට් එක. 19 එක පැත්තකින් රට අනාරක්ෂිත කළා. ආර්ථික වශයෙන් රට කඩා දැම්මා. රට හොරුන්ගේ, මංකොල්ලකාරයන්ගෙ සහ කුඩු කාරයන්ගේ පාරාදීසයක් කළා. ඒ සියල්ලට වඩා 19 හරහා රට ඉස්සරහට ගෙනියන්නම බැරි තත්ත්වයක් ඇති කළා.
ප්‍රශ්නය:- 19 නරක නම් අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න තිබුණා. ඔබලාගේ ඡන්ද පොරොන්දුවත් ඒක?
පිළිතුර:- ඔව් අලුත් එකක් ගේන්න කියනවා. දැනටම ගෝඨාභය ජනාධිපතිතුමාගේ අවුරුද්දක් ඉවරයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අඩුම තරමින් තව අවුරුදු දෙකක්වත් යයිනේ. එතකොට ඒ මනුස්සයාගේ කාලේ ඉවරයිනේ. 19 යටතේ ව්‍යවස්ථාදායක සභාව පත් කළා. ඒකටනේ සම්පූර්ණ බලය ගියේ. ඒකේ පස්දෙනෙකු පත් කරන්න ඕනෑ අගමැතිගෙයි විපක්ෂ නායකගෙයි එකඟත්වයෙන්. එහෙම එකඟත්වයට එන්න බැරි වුණොත්? හමුදාපති, පොලිස්පති පත් කර ගන්නත් බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන් පත්කරන්න බෑ. දැන් පහුගිය කාලේ එහෙම වුණානේ. සම්බන්ධන්ටයි රනිල්ටයි ඒක කර ගන්න පුළුවන්. 19 හැදුවෙම රනිල්ගෙ අතට බලය ගන්නයි. එහෙම නැතිව රට ගැන හිතලා නොවෙයි. අද නම් 19 වැනි එකකින් යනවා තියා හිතන්නවත් බෑ.
ප්‍රශ්නය:-නමුත් මහා සංඝරත්නය, කතෝලික සභාව මේ ගැන අදහස් ප්‍රකාශ කරලා තිබුණා?
පිළිතුර:- එහෙම කතා කරලා තිබුණා. හොඳටම මතක තියාගන්න ඕනෑ 19 එක්ක යන්නම බෑ.
සම්බන්ධන්ටයි රනිල්ටයි යන්න පුළුවන් වුණාට සජිත්ටයි මහින්දටයි යන්න පුළුවන්ද ඒ නිසා අපි කරන්නේ 19 අහෝසි කරලා පරණ තැනට යන එකයි.
ප්‍රශ්නය:- මෙතැනදී රට ආදර්ශ බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිට මුක්තිය මොකටද? මුක්තිය තියා ගන්නෙම වැරැදි කරන්න?
පිළිතුර:- මෙහෙමයි. මුක්තිය... මේ....මේ....මේ.. ඒක තියෙන්නේ ජනාධිපතිවරයට තීන්දු තීරණ ශක්තිමත්ව ගන්න. ඒ වගේම ජනාධිපතිතුමා යටතෙ ඉන්න නිලධාරීන්ටත් ශක්තිමත්ව ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න. ජනාධිපතිතුමාව උසාවි ගානේ අදින්න පටන් ගත්තොත් නිලධාරීන් බය වෙනවනේ. ඒ නිසා තනි තීන්දු අරගෙන ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයට තියෙන එක මේ වෙලාවේ වැදගත්.
ප්‍රශ්නය:-රාජ්‍ය ආයතනවල විගණනය ඉවත් කරන්නේ හොරකම් කරන්න?
පිළිතුර:- නෑ.... නෑ. ඒක වැරැදියි. විගණන කොමිෂන් එක ඉවත් කළා. ඒ කොමිසන් එකෙන් විගණනය නොවෙයි කරන්නේ. විගණන නිලධාරීන් පත්කරන එක. ඒක ජනාධිපතිවරයා යටතේ තිබ්බේ. ඇමෙරිකාවේ වුණත් ජනාධිපතිවරයෙක් පත්වුණාට පස්සේ රටේ තියෙන ප්‍රධානම තනතුරුවල ඉන්න නිලධාරීන් තුන් දහස් හත්සිය ගානක් ඉල්ලා අස්වීමේ ලියුම් දෙනවා. ඒ තනතුරු ඔක්කෝටම ජනාධිපතිවරයා අලුතෙන් නිලධාරීන් පත්කරනවා. ඒක රටේ විධායක ජනාධිපතිවරයාට ලැබෙන අයිතියක්. එහෙම අවශ්‍යකරන මිනිස්සු ටික දාගෙන මේක කරන්න ඕනෑ. විගණන කොමිසම අයින් කළාට විගණනය එහෙමම වෙනවා. 78 ඉඳලා විගණනය වුණානේ. ජනාධිපති ලේකම් කාර්යාලයත් විගණනය වුණා. 2015 වෙනකම් විගණනය වුණා. ප්‍රසම්පාදන කොමිසමෙන් කළේ ප්‍රසම්පාදනයට මිනිස්සු පත් කරන එක. ඊට කලින් ඒක කළේ ඇමැති මණ්ඩලය. ඇමැති මණ්ඩලය තමයි ටෙන්ඩර් බෝඩ් එක පත්කළේ. ඒක ඉතාම හොඳින් ගියා. ඒ නිසා
විගණනය කරන්නේ නෑ කියන එක ප්‍රසම්පාදනය වෙන්නේ නෑ කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්.
ප්‍රශ්නය:-20 න් ද්විත්ව පුරවැසියන්ට යළිත් වරක් පාර්ලිමේන්තු එන්න පුළුවන්කම ලැබෙනවා?
පිළිතුර:- ද්විත්ව පුරවැසිකම කියන කාරණය 1977 දී කවුරුවත් කතා කළේ නෑ. 78 ඉඳලා 2015 වෙනකම් ද්විත්ව පුරවැසියන් ගැන කතා කළාද? ද්විත්ව පුරවැසියන් ඕනෑතරම් පාර්ලිමේන්තුවේ හිටියා. අදත් ඉන්නවා. කවුරුවත් ඒ ගැන කතා කළේ නෑ.
ප්‍රශ්නය:- මේ පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් කවුද?
පිළිතුර:- අනේ මම එහෙම නම් කියන්නේ නෑ. එහෙම අය ඉන්නවා. ඔය ද්විත්ව පුරවැසියන්ට එන්න බෑ කියලා දැම්මේ ගෝඨාභයටයි බැසිල්ටයි ගහන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස 30 - 35 කළේ ඇයි? නාමල්ට ගහන්න. දෙවරකට වඩා බැහැ කියලා දැම්මේ මහින්ද රාජපක්ෂට ගහන්න. එහෙම නොවෙයිද වුණේ? ඒ නිසා ඔය ද්විත්ව පුරවැසිකම කියන එක අපේ ශබ්ද කෝෂයේ තිබුණේ නැති එකක්. දැන් ඒක අරගෙන ලොකු ප්‍රශ්නයක් කරගෙන. ඔය ද්විත්ව පුරවැසිකම තියාගෙනනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් හැටියට යුද්ධයට නායකත්වය දුන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික සංවර්ධන ඇමැති හැටියට ඉන්නකොට ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වුණා ද? ඕවා නිකම් කතානේ.
ප්‍රශ්නය:-ඇමැති විමල් වීරවංශ ඇතුළු පිරිසක් ද්විත්ව පුරවැසිකමට විශාල විරෝධයක් නගනවා?
පිළිතුර:- ඒවා මේ නිකම් පෞද්ගලික ප්‍රශ්න වෙන්නැති.
ප්‍රශ්නය:-බැසිල් රාජපක්ෂ නැවතත් ආණ්ඩුව මෙහෙයවීමේ යාන්ත්‍රණයට අතට ගන්න හදන බවයි කියන්නේ?
පිළිතුර:- කොහොමත් මේ ආණ්ඩුව ගත්තොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය හැදුව මනුස්සයා බැසිල් රාජපක්ෂනේ. එතුමා තමයි පක්ෂයේ ජාතික සංවිධායක. ඒ නිසා එතුමා මේ පක්ෂය හසුරුවනවා. එහෙම පක්ෂය හසුරුවනකොට එතුමා අතින් මේ ආණ්ඩුවත් හැසිරවෙනවා.
ප්‍රශ්නය:- 2015 පරාජයට බැසිල් රාජපක්ෂ වගකිවයුතුයි කියලත් චෝදනා නැගුණා?
පිළිතුර:- ඒක එතුමත් පිළිගත්තනේ. එතුමත් කිව්වනේ ‘මම වගකීම බාර ගන්නවා’ කියලා. ඒ වගේම එතුමා ආපහු පක්ෂයක් හැදුවා. එහෙම හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිංදුවටම දාලා රටේ බලයක් ගත්තනේ. ඒක නිසා එතුමාට පක්ෂයක් හදන්න පුළුවන් නම් ඒ පක්ෂය ජයග්‍රහණය කරවන්න පුළුවන්නම් එතුමා ආණ්ඩුවේ කටයුතුවලට සම්බන්ධ වෙන්න ඕනෑනේ.
ප්‍රශ්නය:- 2010-2015 කළු යුගයම තමයි යළිත් මේ යන්න හදන්නෙ කියලත් චෝදනාවක් තියෙනවා?
පිළිතුර:- 2010 - 2015 කියන්නේ කළු නොවෙයි ලංකා ආර්ථිකයේ සහ සමාජයේ ස්වර්ණමය යුගය. කොහොමද ඒක කළු වෙන්නේ? 2010 වෙනතුරුම මේ රටේ යුද්ධයක් තිබුණා. උතුරට ලයිට් තිබුණේ නෑ. පාරක් නෑ. උතුරේ බස් එකක් දිව්වේ නෑ. අපිට අනුරාධපුරයෙන් එහාට. අම්පාරෙන් එහාට යන්න බෑ. ඒ සියල්ල අවසන් වුණේ 2010 වෙනකොට. අපි රට එක්සේසත් කළා. 2010 - 2015 කියන්නේ මේ රට වේගයෙන්ම සංවර්ධනය වෙච්ච යුගය. ආර්ථික සංවර්ධන වේගය සියයට 7 යි 8 යි අතර තිබුණේ. රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් මිලියන 17 - 18 තිබුණ එ්ක ඩොලර් මිලියන 78 දක්වා ගියා. දුප්පත්කම සියයට 4 ට බැස්සා. විරැකියාව සියයට හතරහමාරට බැස්සා. ලංකාවෙ තිබුණ ස්වර්ණමය යුගය. කොහොමද ඒක කළු වෙන්නේ. ඔයා දැනගන්න. මේ රටේ මිනිසුන්ට අමතකයි. මහින්ද රාජපක්ෂ යුගය පටන් ගන්නකොට මේ රටේ මැතිවරණ සාධාරණව තිබ්බ ද? ඔයා මට කියන්න 71 මැතිවරණය සාධාරණ ද? 82 ජනමත විචාරණය සාධාරණ ද? 89 ජනාධිපතිවරණය ප්‍රේමදාස කළේ කොහොමද? හොර ඡන්ද දූෂණ වංචා නතර වුණේ මහින්ද රාජපක්ෂ යුගයේදී. චන්ද්‍රිකා යුගයේදී වයඹ ඡන්දය සාධාරණ ද?
ප්‍රශ්නය:-ඒ ඡන්දෙදි පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ඔබ?
පිළිතුර:- එහෙම තමයි. මම මේ කියන්නේ රාජ්‍ය බලය මැතිවරණවලට යොදවන්නේ නැතිව සීයට සීයක් සාධාරණ මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ මහින්ද රාජපක්ෂ.
ප්‍රශ්නය:-එහෙම නම් 2015 දී පැරදුණේ කොහොමද?
පිළිතුර:- ඒක නම් රටේ ජනතාවගෙන් අහන්න ඕනෑ. ඒ නිසානේ එතුමව ඒ මිනිස්සු ඉක්මනින්ම ගෙනාවේ. 2015 වෙනකොට පරදියි කියලා එතුමා හිතුවෙත්. අපි කවුරුවත් බලාපොරොත්තු වුණෙත් නෑ. මෛත්‍රී යයි කියලා හිතුවෙත් නෑ. හිටපු ගමන් මෛත්‍රී එළියට ගියා. එතුමා පැරදුණා එහෙම පරාද කරපු එක ගැන මිනිස්සු ගොඩක් ළතැවුණ බව පෙනුණානේ. පළාත් පාලන ඡන්දය ආවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිමටම ඇදලා දැම්මේ ඒ නිසානේ. මේ පාර ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ගෝඨාභයට හම්බ වුණේම නැහැනේ. ජනාධිපතිතුමා දිනුවේ බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන්. සිංහල බෞද්ධයෝ එකතු වුණානේ. එහෙම එකතුවුණේ ගෝඨාභය ජනාධිපතිතුමාට වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය නිසානේ.
ප්‍රශ්නය:-කොවිඩ් පොකුරු යළිත් මතුවෙන්න පටන් අරගෙන. ආණ්ඩුවේ අධි තක්සේරුවත්,
නොසැලකිල්ලත් නිසා එහෙම වුණා කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ?
පිළිතුර:- ඕක බලන්නකෝ... හතර බීරි කතාවක්නේ. මුළු ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් හිරවෙලා ඉන්නේ. ඉන්දියාවේ ඊයේ පෙරේදා කොවිඩ් රෝගීන් හැත්තෑපන් දාහක් හම්බ වුණා. එක දවසට කොවිඩ් ප්‍රශ්නය ඔය මිනුවන්ගොඩ පොකුර එනතුරු රට ඇතුළේ අපි බේරගෙනනේ තිබුණේ. මිනිස්සු බය නැතිව, මුහුණු ආවරණ ගලවලා පැත්තකින් තියලා මිනිස්සු නිදහසේ තමන්ගේ වැඩ කරගෙන ගියානේ. රටේ ආර්ථිකයත් නැගිටින්න පටන් අරගෙනනේ තිබුණේ. නමුත් මේක මේ හදිසියේ ආවා.
ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නයත් ඒකමයි. ආණ්ඩුවේ අධි තක්සේරුවයි නොසැලකිල්ලයි ඒකට හේතු වුණේ නැද්ද?
පිළිතුර:- ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවෙයිනේ. ඔතැන ඔය ෆැක්ටරියෙ මොකක් හරි අතපසුවීමක් වෙන්නැති. නේවි එකේ වුණේ. කොච්චර ඩිසිප්ලින් තියෙන තැනක් ද? නමුත් ඒකත් කොච්චර දුර ගියාද? මේකත් දුර ගියා. නමුත් දැන් පාලනය කරලා තියෙනවා?
ප්‍රශ්නය:- චීන විශේෂ දූත පිරිසක් ලංකාවට ආවා. ඒ අයට නිරෝධායන නීති බලපෑවේ නෑ. සෞඛ්‍ය ඇමැතිනිය කියනවා නිරෝධායන නීති කඩකළොත් මාස 8 ක් හිරේ කියලා. ලොකු මිනිහට එක නීතියක්. පොඩි මිනිහට තව නීතියක්?
පිළිතුර:- නෑ නෑ ඒ ආවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා වගේ එක්කෙනා. එයා නිරෝධායන නීතියට යටත්ව ඔහුගේ ශරීරයේ හෝ ඔහුගේ කණ්ඩායම් කිසිම කෙනෙකුට විෂබීජ නැහැ කියලා හරියටම තහවුරු කරගෙන තමයි ආවේ. ඒ සහතිකයේ චීන රජයෙන්ම දුන්නා. කිසිම ප්‍රශ්නයක් නෑ කියලා චීන රජය සහතික කළා. එතකොට රජයක් විදියට අපට ඒක පිළිගන්න වෙනවනේ.
ප්‍රශ්නය:-‘එක රටක් එක නීතියක්’ එහෙමයි ඡන්දය ඉල්ලුවේ?
පිළිතුර:- එහෙම එකක් නොවෙයි මහත්තයෝ. මෙතැන නීතිය වෙනස් වීමක් කරලා නැහැනේ. දැන් රාජ්‍ය නායකයෙක් එනකොට කොහොමද අපි ක්‍රියාත්මක විය යුත්තේ? හෙට ඉන්දියාවේ අගමැති මෝදි එනවා කිව්වොත් අපි එයාට කියනවද දවස් 14 ක් කොරොන්ටයිම් වෙන්න කියලා? රාජ්‍ය තාන්ත්‍රික මට්ටමක් තියෙනවනේ. සාමාන්‍ය කෙනෙක් ආවොත් එයාව නිරෝධායනයට ලක් කරලා ගන්නවා. ඒක එයාටත් හොඳයි. අපිටත් හොඳයි. ඔයා ගෙනාව සටන් පාඨය මෙතැනට කීයටවත් ගැලපෙන්නේ නෑ. මේ ආවේ චීන රජයේ දෙවැනියා.
ප්‍රශ්නය:-ඔහොම වුණාම මහජනයාගේ විශ්වාසය බිඳ වැටෙනවා?
පිළිතුර:- නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මොකක් හරි ජාත්‍යන්තර සමුළුවකට අපේ ජනාධිපතිතුමා යනවා. එහෙම ගියාම දවස් 14 ක් ඉන්න ඕනෑ කියලා කිව්වොත් කොහොම හිටී ද? එහෙම කරන්නේ නෑනේ. ඒක රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසයනේ.
ප්‍රශ්නය:- හිටපු ඇමැති රිෂාද් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම නීති විරෝධියි කියලා මැති ඇමැතිවරුන් 100 ක් ලිපියකට අත්සන් කළා. ඔබත් අත්සන් කළා ද?
පිළිතුර:- ඔව් මාත් අත්සන් කළා. මොකද මම තමයි රිෂාද්ට මුලින්ම චෝදනා කළේ. මම සීඅයිඩියට පැමිණිලි කරලත් තියෙනවා. ඒ චෝදනාවලින් බාගයකට වගකිව යුත්තේ රිෂාද්ගේ මල්ලී. කොටින්ම අභිරහස් මරණ දෙකක් වුණා. ඒවාට වගකිව යුත්තේ කවුද කියන එක ගැනත් ප්‍රශ්නයක්. දේපොළ වත්කම් පිළිබඳ ප්‍රශ්නත් තියෙනවානේ. මගේ ළඟ තියෙනවා රිසාද් බද්යුදීන්ගේ පවුලේ අය ගත්ත ඉඩම් අක්කර පන්දාහකට වඩා ගත්ත ඒවායේ ඔප්පු. මම ඒ ගැන සීඅයිඩී එකට පැමිණිලි කළා. මම ගිහින් කටඋත්තර දුන්නා. රිෂාද්ගේ මල්ලී අත්අඩංගුවට ගන්න කලින් දවසේ සීඅයිඩියෙ නිලධාරිනියන් දෙදෙනෙක් හා පොලිස් සැරයන් කෙනෙක් මගේ මේ ගෙදරට ඇවිත් තවත් කරුණු ටිකක් අහගෙන ගියා. සතොසෙ වෙච්ච හොරකම්. ඉතින් මේවට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
ප්‍රශ්නය:- බැඳුම්කර වංචාවට අදාළවත් ඔය වේගයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- ඒක ඇත්ත. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ ඉක්මන් කරලා මේකට වගකිවයුත්තෝ නීතියේ රැහැනට ගත යුතුයි. මේකට මම හිතන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ නැතිකම බාධාවක් වෙලා ඇති. කොහොම වුණත් ඒ පරීක්ෂණ ඉක්මන් කරන එක හොඳයි කියලත් මම විශ්වාස කරනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්