ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් විපක්ෂයේ කොහොමටත් බෑ


(*** සුජිත් හේවාජුලිගේ)

ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට විපක්ෂයේ දේශපාලනය කවදාවත් කළ නොහැකි වනවා සේම ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ද ඉටු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

විපක්ෂයට ගිය ගමන් පක්ෂමාරු කරන්නේ ඇමැතිකම් මත්තෙම ඉන්න අය යැයි කී අගමැතිවරයා එවැනි පුද්ගලයන්ට දේශපාලනයේ හොඳ අනාගතයක් නැතැයි ද කීය.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් නිදා ගන්නා බවත් පාර්ලිමේන්තු යනවා යැයි ගෙදරට පවසා පැමිණෙන බවත් ඇතැමුන් වෙනත් ගෙවල්වල සිටිය දී හමු වූ බවත් රාජපක්ෂ මහතා සිනාමුසු මුහුණින් යුතුව ප්‍රකාශ කළේය.

එවැනි නරක පුරුදුවලට ඇබ්බැහි නොවන්නැයි ද ඔහු පාර්ලිමේන්තුවට පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
අගමැතිවරයා මේ ඉල්ලීම කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (25) උදේ පැවැති නව වැනි පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කෙරුණු දෙදින පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සවයේදීය.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට දැනුම ලබා දීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම දෙදින පුහුණු වැඩමුළුව සංවිධාන කරනු ලැබූවේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීන් විසිනි.

අගමැතිවරයා එහිදී මෙසේ ද පැවැසීය.

මට මතක් වෙනවා අවුරුදු 50කට උඩදී මමත් ඔය වගේ වාඩි වෙලා හිටියා. අපි තරුණ මන්ත්‍රීවරුන් විදිහට වාඩි වෙලා ඉන්න කොට මේ වගේ දේශන අපිට වධයක් වුණා. ඔබටත් හිතෙනවා ඇති මේ මොන ලෙඩක් ද කියලා. මේ අපි දන්න දේවල්නේ කියලා හිතෙනවා ඇති. නමුත් පුරුද්දක් විදිහයට නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම හැම කාලෙම සිදු කරනවා. මට මතකයි මගේ පියා කියනවා එතුමා ප්‍රථමවරට පාර්ලිමේන්තු ආපු වෙලාවේ, ඒ කාලේ තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව, බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඔබට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ දී, පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.

අද මෙතැන අලුත් මුහුණු අසූ දෙකක් තියෙනවා. අප මේ අලුත් මුහුණු ගැන ආඩම්බර විය යුතුයි. විවිධ තරාතිරම්වල අය දේශපාලනයට පැමිණීමෙන් දේශපාලන ලෝකය වර්ණවත් වන්නේ යැයි මම හිතනවා. මේ අය තමයි රට බාරගෙන ඉදිරියට වැඩ කරන්න ඉන්න පිරිස.
පසුගිය දා නිමාවුණේ මේ රටේ අමතක කරන්න බැරි ඡන්දයක්. මම එහෙම කියන්නේ අප තුනෙන් දෙකක ජනවරමක් ගත්තු නිසා නොවෙයි. එක් දහස් නවසිය හතළිස් හයේ දී පිහිටුවපු එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණයේ දී එකම ආසනයක්වත් ගන්න බැරි වුණා.

ඒක පුදුම සහගත වැඩක්. මේවා ඉතිහාසයට යන කාරණා. ඒ වගේම මේ ඡන්දයේ දී ජනතාව ලොකු පණිවුඩයක් දීලා තියෙනවා. පසුගිය මහ මැතිවරණයේ දී කිසිම පක්ෂයකට ලොකුවට ප්‍රචාරක කටයුතු කරන්න හැකිවුණේ නැහැ. පෝස්ටර්, කටවුට් ගහන්න හැකි වුණේ නැහැ.

 ලොකුවට බලය පෙන්වන්න බැරි වුණා. සංදර්ශන, පෙළපාළි තිබුණේත් නැහැ. වැඩ කරන්න වුණේ සෞඛ්‍ය නීතිවලට අනුවයි. නමුත් ජනතාව සියයට හැත්තෑ එකක් ඡන්ද පොළට ඇවිත් ඡන්දය දුන්නා. ඒක මම හිතන්නේ අනාගතයට දුන්නු හොඳ පණිවුඩයක්. අගමැතිකම් දැරුවා කියලා විපක්ෂ නායකකම් දැරුවා කියලා වැඩ බැරිනම් ඒ අය ගෙදර යවන්න ජනතාව පසුබට වුණේ නැහැ.

දේශපාලන පරපුරකින් ආවත් වැඩ බැරිනම් ගෙදර යැව්වා. උගතුන්, වියතුන් වුණාට පමණක් වැඩක් නැහැ. මේ රටට වැඩ කරන්න පුළුවන් නම් තමයි ජනතාව ඡන්දය දුන්නේ. මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්නේ තනතුරු, උගත්කම් මොනවා තිබුණත් ජනතාව පවරපු වැඩ කොටස ඉටු කරන්නේ නැතිනම් වැඩක් නැහැ. ලොකු ද පොඩි ද කියල බලන්නෙ නැතිව වරාය ද ගුවන් සේවා ද මැටි ද සියඹලාද කියලා බලන්නේ නැතිව හැම දේම එක හා සමානව සලකලා වැඩ කරන්න ඕන. සියල්ල රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕන. ජනතාවට ඕන වැඩ ඉස්සර වගේ නොවෙයි දැන් මන්ත්‍රීවරුන්ට විශේෂ සැලකිල්ලකුත් නැහැ.

මන්ත්‍රීවරුන් තමන්ගේ වෘත්තියභාවය දියුණු කර ගන්න ඕන. ඒකට වයස ප්‍රශ්නයක් නොවෙයි. මම නීති විද්‍යාලයට ඇතුළු වුණේ හැත්තෑවේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පසුවයි. පාර්ලිමේන්තු යන ගමන් නීතිවිද්‍යාලයට ගියේ. ඒ කාලයේ ඉන්ටර්නෙට්, ඔන්ලයින් පහසුකම් අපට තිබුණේ නැහැ. අද ඔබට මෙහෙ ඉඳලා විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙන ගන්න පුළුවන්. මන්ත්‍රීකම බාධාවක් කරනොගෙන විභාග ලිව්වා. අන්තිමේ දී හැත්තෑ හතේදී පරාද වුණාම මට ඉතිරි වුණේ මෙච්චරයි. නීතිඥ පදවියේ ප්‍රයෝජනය ලබාගන්න මට පුළුවන් වුණා.

සමහරුන් පාර්ලිමේන්තු ආපු ගමන් ඇමැතිකමක් බලාපොරොත්තු වෙනවා. මා හමුවෙලා කරන ඉල්ලීම්වලින් ඒක පේනවා. රටට වැඩ කරන්න පුළුවන් ඇමැතිකමක් දෙන්න පුළුවන් ද කියලා අහනවා. එහෙම බලාපොරොත්තු තබා ගෙන ඉන්න එක හොඳයි. අපි මතක තියා ගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමැතිවරයකු නොවෙයි. පාර්ලිමේන්තු එවන්නේ මන්ත්‍රීවරයෙක්. ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ට ඇහුම්කන් දෙන හොඳ මන්ත්‍රීවරයෙක්. වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයකුවීමයි. රටට මේ මොහොතේ වැදගත් වන්නේ එහෙම මන්ත්‍රීවරයෙක්.

ජනතාව හිතන්නේ ඇමැතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමැතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ඉටු කරන්න බෑ. එහෙම ඇමැතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ.

මම ආණ්‍ඩුවල හිටපු කාලය වගේම කාලයක් විපක්ෂයේ ඉඳලා තියෙනවා. අද වගේ නෙමෙයි අපි විපක්ෂයේ හිටියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කළොත් මහපාරේ බල්ලෙක් වගේ මරලා දාපු කාලේ. විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ විලංගුවේ දාපු කාළේ. ඒ වගේ විපක්ෂවල දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා මට නම් හොඳ පුරුද්දක් තිබුණා. ඒ නිසා තමයි 2015 ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මම ගෙදර ගියේ. උතුරු නැගෙනහිර මට වැටිලා තියෙන ප්‍රතිශතය සියයට 89 කියලා දැන ගත්තාම මම කිව්වා එහෙනම් මම පරාදයි කියලා. උදේ පාන්දර 6ට මම මැදමුලන බලා යන්න පිටත් වුණා. ඒ අපිට තියෙන දේශපාලන පුරුද්ද. ඒ වගේම වසර 04කදී ආපහු ආණ්ඩුවක් පෙරලලා බලයට ආවේ, මේ ජයග්‍රහණය ලබා ගත්තේ විපක්ෂයේ ඉඳලා අපට තිබුණ පුරුද්ද නිසා.

මගේ ජීවිත කාලයේ ඉතිහාසයේ ලොකුම වගකීම් පැවරුණ මැතිවරණ දෙකක් තිබුණා. එකක් 2005 ජනාධිපතිවරණය. එදා පැවරුව වගකීම තමයි දෙකඩ වෙලා තිබුණ රට එක්සේසත් කිරීමේ දැවැන්ත වගකීම. ඒ රාජකාරිය අපි හරියට ඉටු කළා. ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් අපිට ශක්තියක් වුණා. සහයෝගය දුන්නා. ඊළඟට දැවැන්තම වගකීමක් පවරලා තියෙන්නේ මේ මැතිවරණයෙන්. සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණ 2/3ක දැවැන්ත ජනවරම අප වෙත ජනතාව පැවරූ වගකීමක් ලෙස අපි භාරගන්න ඕනේ. දැන් අපිට දේශපාලන මධුසමය ගතකරන්න වෙලාවක් නෑ. වෛර පිරිමහන්න, මට සැළකුවේ නෑ, මාව කොන් කළා කියමින් කන්කෙඳිරි ගාන්න වෙලාවක් නෑ.

දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කර ගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕනේ.

1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.

ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය, ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ බේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්. මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උරාගන්න ඕනේ. ඒවාට සත්භාවයෙන් තමන්ගේ අදහස් පළකරන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුස්තකාලය භාවිත කරන්න. තමන්ගේ පාර්ලිමේන්තු කතාවට එය මනා පිටිවහලක් වෙනවා. පාර්ලිමේන්තු දිනයට පාර්ලිමේන්තුවට පැමිණෙන්න. ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඇවිත් නිදා ගන්නවා. පාර්ලිමේන්තු එනවා කියලා ගෙදරින් එනවා. පාර්ලිමේන්තුවේ ඉන්නෙ කියලත් ගෙදරට කියනවා. බලන කොට වෙන වෙන ගෙවල්වල එයාලා ඉන්නේ. එහෙම අවස්ථා තියෙනවා. ඒවට පුරුදු වෙන්න එපා. පාර්ලිමේන්තු කටයුතුදාට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්න. අවසන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආරම්භ වූ ඔබේ දේශපාලන ගමනට සුබ පතන්නත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද කීය.


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
අංගසම්පූර්ණ පාර්ලිමේන්තුවක් පත්ව සිටිනවා. ඔබලා මෙතැනට ආවේ දැඩි පරිශ්‍රමයක් දරලයි. විශේෂයෙන්ම මනාප සටන. මේ තරම් බලයක් දුන්නේ රටේ ප්‍රශ්න විසඳාගන්නයි. පාර්ලිමේන්තුව කියන්නේ ජාතියේ කැඩපතයි. මෙතැන දී කිසිදු අඩුපාඩුවක් නොවිය යුතුයි. අපෙන් ජනතාව බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය තියෙන බව මම විශ්වාස කරනවා. මෙතෙක් වුණු වැරැදි නිවැරැදි කර ගන්න ඔබට ශක්තිය ධෛර්යය ඇති බවත් මා දන්නවා.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මේ පාර්ලිමේන්තුවට විශේෂ වගකීමක් තියෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේදී දෙපැත්තෙන්ම සිදු වූ අප්‍රසන්න දේවල් නිසා මෙහි කීර්තිනාමය නැති වුණා. මේක අපේ පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි ලෝකයේ වෙන රටවල පාර්ලිමේන්තුවලත් වෙන දෙයක්. නමුත් මේ පාර්ලිමේන්තුවට ඒ පළුදුවීම වෙනස් කරන්න පුළුවන්. පළුදු වූ කීර්තිනාමය අලුත් ශිෂ්ට සම්පන්න සංවාදවලින් වෙනස් කරන්න පුළුවන්. මම නවක මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඉල්ලීම කරනවා.

පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු තිස් එක තුළ අපි පාර්ලිමේන්තුවේදී හොඳට බැණුම් අහල තියෙනවා. නමුත් අපි ඒවා ඉවසගෙන අහගෙන හිටියා. ඕනෑම දේකට කතානායකගෙන් අවසර අරගෙන උත්තර දෙන්න පුළුවන්. වැදගත් දේ උත්තර දෙන එකයි.

කතානායක ඉන්නේ ඔබලාගේ ප්‍රශ්න විසඳන්නයි. එක තමයි වැදගත්ම දේ. කතානායක සංකල්පය ඇතිවුණේ දහතුන් වැනි සියවසේ මහා බ්‍රිතාන්‍යයේ. ඒ සියවසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක හිටියේ රජතුමාගේ පැත්තෙයි. මන්ත්‍රීවරුන්ගේ පැත්තෙ නොවෙයි. නමුත් පසුකාලීනව ඒක වෙනස් වුණා. අගමැතිතුමාට මතක ඇති පසුගිය පාර්ලිමේන්තුවේදීත් කතානායක රජතුමාගේ පැත්ත ගත්තෙ නැහැ. ගත්තෙ මන්ත්‍රීවරුන්ගේ පැත්ත. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය.

මහින්ද රාජපක්ෂ මහත්තයා සමග අපි එදා එකට හිටියා. මට මතකයි එදා එතුමාට මල්වතු අස්ගිරි සම්මානය ලැබුණාම මමයි එතුමා නුවර දී පිළිගත්තේ. එදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කෙනකුවත් ඇවිල්ලා හිටියේ නැහැ. විවිධ හේතු නිසා. අපි කොයි පැත්තෙ හිටියත් අපේ යාළු මිත්‍රකම් දිගටම තියෙනවා.


පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා:-
නව පාර්ලිමේන්තුවට අද විශේෂ දවසක්. පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටිය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වගකීම මුලින්ම දැනගත යුතුයි.

පාර්ලිමේන්තුවේ සාර සංහිතා ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට මෙහි දී පිළිගන්වනු ලැබීය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම්වරුන් වන කුෂාණි රෝහණධීර හා ටිකිරි ජයතිලක, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.