ඇමැතිවරුන්ට වැඩ ටික පවරලා ජේ.ආර්. නිස්කලංකව හිටියා


77 පෙරැළියට වසර හතළිහක් පිරෙන මේ මොහොතේ එහි සැබෑ කොටස්කාරයකු වන ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ වෛද්‍ය රංජිත් අතපත්තු සමඟ කෙරෙන සාකච්ඡාවකි මේ.


• හිටපු ඇමැතිතුමා කොහොමද වාසදේ​ස එහෙම?   
දැන් ඉතිං මම ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නවා. ආසන මට්ටමෙන් දේශපාලනයේ සක්‍රීය වෙන්න සනීපයක් නෑ මට. ඒත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ අනුශාසකවරයෙක් හැටියට ඉන්නවා. සිරිකොත පැත්තෙත් ඉඳලා හිටලා යනවා. පක්ෂය වෙනුවෙන් පුළුවන් හැටියට මොන මොනවා හරි කරනවා.   



• ඔබ කොහොමද ක්‍රියාකාරී දේශපාලනයේ පැටලෙන්නේ. තාත්තගෙ අඩි පාරේ යන්න අදහසක් මුල ඉඳලා තිබුණාද?   
අපේ පවුල දේශපාලනයට හවුල් වෙච්ච පවුලක්නේ. අපේ තාත්තා ඩී.පී. අතපත්තු. තාත්තා 65-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙ ජේ.ආර්. ජයවර්ධන ඇමැතිතුමාගේ නියෝජ්‍ය ඇමැතිවරයා විදියට කටයුතු කෙරුවෙ. 70 ඉලෙක්ෂන් එක කිට්ටුවෙනකොට තාත්තා මට කතා කරලා කිව්වා “දැන් මට ඉලෙක්ෂන්වලට දුවන්න අමාරුයි” කියලා. මේ විත්තිය ඩඩ්ලි සේනානායකට ගිහින් කියන්න කියලත් කිව්වා. මම කොළඹ ඇවිත් වුඩ්ලන්ඩ් එකට ගිහින් ඩඩ්ලි සේනානායක හම්බවෙලා මේ විස්තරේ කිව්වා. “එහෙනම් ඔහේ වැඩේ බාර ගන්න” කියලා. එතකොට මම පෞද්ගලික වෛද්‍යවරයෙක් විදියට ප්‍රැක්ටිස් කළා. ඒ වුණත් මම ඩඩ්ලි සේනානායකගේ වචනෙට කැමැති වුණා.   


කොහොම හරි ඒ මැතිවරණයට තරග කළා. විශ්වාසයක් තිබ​ුණේ නෑ දිනාවි කියලා. ප්‍රබලයො පවා ආසන පරාද වුණා. මම ඉල්ලුවෙ බෙලිඅත්ත ආසනෙන්. මට ඡන්ද දාසය දාස් පන්සිය ගානක් හම්බ වුණා. මහින්ද රාජපක්ෂ එක්ක තමයි තරගය තිබුණේ. ඒකෙන් මහින්ද දිනුවා. මමත් පැරදිලා නිකං හිටියේ නෑ. බෙලිඅත්ත ආසනේ සංවිධාන කටයුතුවලට බැස්සා. 75 ඉලෙක්ෂන් එක බලාගෙන වැඩ කළේ. ඒත් සිරිමා මැතිනිය ඒක 77ට කල් දැම්මනේ. 77 වෙද්දි අපි හොඳටම ඡන්දෙට සූදානම් වෙලා හිටියේ. ඒ ඡන්දෙන් මම මහින්ද රාජජපක්ෂ පරාජය කරගෙන බෙලිඅත්ත දිනුවා. පාර්ලිමේන්තු ඇවිත් ටික දවසක් යනකොට ජේ.ආර්. ජයවර්ධන මාව පත් කළා ​රෝහල් භාර ඇමැතිවරයා විදියට. ඒක කැබිනට් ඇමැතිකමක් නෙවෙයි. එතකොට සෞඛ්‍ය ඇමැති විදියට කටයුතු කළේ ගාමිණී ජයසූරිය. එයා මගේ හොඳ හිතවතෙක්. ඔය අතරේ ගාමිණී ජයසූරිය ජේ.ආර්. ජයවර්ධන එක්ක ආරවුලක් ඇති කරගෙන ඇමැතිකමෙනුත් අයින්වෙලා පාර්ලිමේන්තුවෙනුත් අස්වෙලා ගියා. ඒක පුරප්පාඩුවට ජේ.ආර්. ජයවර්ධන මාව දැම්මා. එතන ඉඳන් මම සෞඛ්‍ය ඇමැතිකමේ වැඩ කළා. මම ඒකෙදි විශේෂ අවධානය යොමු කළේ ග්‍රාමීය සෞඛ්‍යය නගාසිටුවන්න.   

 


• 77 ජයග්‍රහණයට හවුල්කාරයෙක් වුණේ කොයි විදියටද?   
මම එතකොට බෙලිඅත්ත ආසනේ සංවිධායක. 77 වෙනකොට අපි හොඳම තැනක හිටියේ. අපිට ජයග්‍රහණය ගැන සැකයක් තිබුණේ නෑ. අපි ගම් මට්ටමෙන් ශාඛා සමිති හදලා හොඳ සංවිධාන ජාලයක් පවත්වගෙන ගියා. ඒක නිසා අපිට ජයග්‍රහණය කරන්න ලේසි වුණා.   
ඔය අතරෙ තමයි ජනමත විචාරණය ආවේ. ඒකට අපේ අය ඒ තරම් උනන්දුවක් දැක්වූයේ නෑ. ආපහු ඡන්දයක් ඕන කියලා තමයි හම්බන්තොට ආසන හතරෙම අය කිව්වෙ. ඉතිං මම ඒ ඡන්දෙට ඉදිරිපත් වුණා. ඒකෙනුත් දිනුවා. ඒ වතාවෙත් මහින්ද රාජපක්ෂ පැරැද්දුවා.   


• 77 පෙරැළිය ගැන අවුරුදු හතළිහකට පස්සෙ මොකද හිතෙන්නේ?   
ජේ.ආර්. ජයවර්ධන එක්ක වැඩ කරපු ඇමැතිවරු, මන්ත්‍රීවරු කවුරුත් ටිකක් බයයි වැරැද්දක් කරන්න. එතුමගේ චින්තනය අපේක්ෂාවන් සීයට සීයක් පිළිඅරගෙන තමයි වැ​ඩ කළේ. අපි කිසිම වැඩකදී අයුතු විදියට සල්ලි හම්බ කරන්න උත්සාහ කළේ නෑ. ජේ.ආර්. ගෙත් තිබුණෙ ඒ ගති ගුණයම තමයි. ඒක නිසා අපි බය නැතුව ජේ.ආර්. වෙනුවෙන් ජනතාවට සහතිකයක් දුන්නා. ඩඩ්ලි සේනානායකට වගේ ලොකු ජනප්‍රියතාවයක් ජේ.ආර්. ට තිබුණෙ නැති වුණත් එයා ඍජු නායකයෙක්. ඒකට මිනිස්සුන්ගෙ ගරුසරුවක් තිබුණා.   


• ජේ.ආර්. එක්ක ඔබට තිබුණු ඇයිහොඳයිය කොයි වගේද?   
අපි අතරේ හොඳ හිතවත්කමක් තමයි තිබුණෙ. මගේ තාත්තා එතුමගේ නියෝජ්‍ය ඇමැති හැටියට කටයුතු කරලා තිබුණු නිසා ඒ සම්බන්ධයත් හිතවත්කමට බලපෑවා.   


• හැබැයි සමහරු ඔබ ඩඩ්ලිගෙ මිනිහෙක් කියලා ලේබල් ගහලා ජේ.ආර්. ට චිත්‍රයක් පෙන්නන්න උත්සාහ කළා නේද?   
​ෙජ්.ආර්. ජයවර්ධනත් ඒක දැනගෙන හිටියා. ඒත් එහෙම වෙනසක් තිබුණෙ නෑ. සමහරු මාව ඩඩ්ලිගෙ මිනිහෙක් කියලා පෙන්නන්න උත්සාහ කළා නම් තමයි.   


• ෙජ්.ආර්. ජයවර්ධනට ඩඩ්ලි සේනානායක එක්ක තිබුණු ආරවුල මොකක්ද?   
මහ ලොකුවට ගෝරියක් තිබුණෙ නැති වුණත් ඩඩ්ලි පිල ජේ.ආර්. පිල කියලා දෙපැත්තක් තිබුණා.   


• ජේ.ආර්. එක්ක වැඩ කරන එක අමාරු වුණාද?   
නෑ. එතුමා ඕන කෙනෙකුගෙ දක්ෂතාවලින් වැඩ ගත්තු කෙනෙක්. මම බෙලිඅත්ත දිනවපු හැටි එතුමා දැක්කා. ඒ වෙලාවෙ පරම්පරාවෙන් දේශපාලන උරුමයක් තිබුණු මහින්ද රාජපක්ෂ එක්ක හැප්පිලා මම දිනුව කියන එක ගැන ජේ.ආර්. ට තක්සේරුවක් තියෙන්න ඇති. අතුරුමැතිවරණය වෙලාවෙ බෙලිඅත්තට ආපු ජේ.ආර්. කිව්වෙ මම කතාවක් එහෙම කරන්නෙ නෑ මිනිස්සුන්ට අත වනලා යනවා කියලා. ඒත් බෙලිඅත්තේ තරුණ පිරිස ළඟ තිබුණු උනන්දුව දැකපු ජේ.ආර්. පුදුමයට පත්වුණා. එතුමා නැගිටලා ජනතාවට ආචාර කරලා කිව්වා තමුන්නාන්සේලාගෙ යුතුකම තමුන්නාන්සේලා රංජිත් අතපත්තුට ඉටුකරන්න ඊට පස්සේ මගේ යුතුකම එයාට මම ඉෂ්ට කරන්නම් කියලා. එතුමා ඇහුව රංජිත් අතපත්තු ආපහු සෞඛ්‍ය ඇමැති කරන්නද කියලා. එතකොට විශාල ප්‍රතිචාරයක් තමයි ආවේ. ඒකෙන් මට තේරුම් ගියා එතුමා මං ගැන පැහැදීමකින් හිටියා කියලා.   


• ජේ.ආර්. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලේ ගැන බොහෝ දෙනා තාමත් කතා කරනවා. ​ෙකාහොමද මේක තෝරාගත්තේ ජේ.ආර්?   ඒකට එතුමට හොඳ ඉවක් තිබුණා. වැඩ දන්නේ කවුද නැත්තෙ කවුද කියලා එයාට අවබෝධයක් තිබුණා. හැම කෙනාගෙම දක්ෂතාව සළකලා තමයි ඇමැතිකම් දුන්නේ. ඒකනිසාම ඇමැතිකම් ගත්තු කාටවත් බොරු කරන්න බැරි වුණා. මගේ වෘත්තීය සුදුසුකම සළකලා තමයි මට සෞඛ්‍ය අැමැතිකම ලැබුණෙ. අනෙක් අයත් එහෙමයි.   


• අනෙක් කැබිනට් සගයො ගැන මතකය කොහොමද?   
හැමෝම බොහොම සහයෝගෙන් වැඩ කළා. මුදල් ඇමැතිකම කෙරුවෙ ​ෙරානීද මෙල්. එයා ඉතිං ඉහළ පෙළේ කල්පනාකාරයා. එයාගේ අදහස් ගැන විවාද කරනවටත් එයා එච්චර කැමැති නෑ. ගාමිණී ජයසූරිය, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ අය මාත් එක්ක බොහොම හිතවත්. හැම දෙනාම වගකීමෙන් තමයි වැඩ කළේ. ඇමැතිවරුන්ට වැඩ ටික පවරලා ජේ.ආර්. ට නිස්කලංකව ඉන්න පුළුවන් වුණා. එයා ඇමැතිවරුන්ගෙ වැඩවලට ඕනෑවට වඩා ඇඟිලිගැහුවෙ නෑ.   


• ඇයි ජේ.ආර්. ජයවර්ධන තමන්ගෙ දෙවෙනියා විදියට ආර්. ප්‍රේමදාස තියාගත්තේ?   
එතුමට වෙන විකල්පයක් තිබුණේ නෑ. අනිවාර්යයෙන්ම ප්‍රේමදාස තමයි හොඳම තේරීම විදියට තිබුණෙ. ප්‍රේමදාස ගැන ජේ.ආර්. ජයවර්ධනට ලොකු විශ්වාසයක් තිබුණා.   


• ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු විවෘත ආර්ථිකය ගැන නොයෙක් විවේචන තාමත් ඇහෙනවා. ඒ ආණ්ඩුවෙ කොටස්කාරයෙක් විදියට මේ ගැන ඔබට තියෙන්නේ කොයි වගේ අදහසක්ද?   
මම නම් හිතන්නේ ඒක ඓතිහාසික තීන්දුවක්. ඒක දේශපාලන වාසි සළකලා ගත්තු තීන්දුවක් නෙවෙයි. එතුමා අනාගතය ගැන හිතලයි ඒ තීන්දුව ගත්තේ. ඒක විවේචනය කරපු කවුරුවත් ඒක ආපස්සට හැරෙව්වෙ නෑනේ. ඒකට විරුද්ධව කතා කරපු බොහෝ දෙනා විවෘත ආර්ථිකයෙන් ප්‍රයෝජන ගත්තු අය. සිරිමා මැතිනියගෙ කාලේ හාල් පොලු, මිරිස් පොලු තිබුණා. පාන් ගෙඩියටත් පෝලිම් තිබුණේ. ඒක නැවතුණේ ජේ.ආර්. ජයවර්ධන ආවට පස්සේ. ජීවන වියදම ඩිංගක් වැඩි වුණා තමයි. ඒත් රටේ දුප්පත් පොහොසත් හැම දෙනාටම හොඳ ජීවන තත්ත්වයක් ලැබුණේ මේකෙන් පස්සේ.  

 

 
• ජේ.ආර්. ජයවර්ධන ඇයි මන්ත්‍රීවරුන්ගෙ දින රහිත කොළේකට අස්සන් අරගෙන හිර කිරීමක් කළේ?   
ඒක ඇත්ත කතාවක්. මාත් අස්සන් කරලා දුන්නා ඒක. ජනමත විචාරණය වෙලාවෙනේ ඒක කළේ. එතුමට ඕනකම තිබුණෙ හැම ආසනයක්ම ජයග්‍රහණය කරන්න. සමහරවිට පක්ෂෙ ඇතුළෙ කවුරු හරි කැරැල්ලක් ගහයි කියලා හිතුවද දන්නෙත් නෑ. මම නම් ඒ කොළේට අස්සන් ගහන්න දෙපාරක් කල්පනා කළේ නෑ. ජේ.ආර්. කියන්නෙත් විශාල බලයක් තිබුණු තදින් තීන්දු තීරණ ගත්තු නායකයෙක් නිසා ඇමැතිවරු මන්ත්‍රීවරු එතුමට එරෙහිව ගියෙත් නෑ.   

 


• ජේ.ආර්. ජයවර්ධන ඔබට නිසි තැන දුන්නට ඔබ මහන්සි වෙලා දිනවපු ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇයි ඔබ නොසළකා හැරියේ?   
ඔව්. අපි ඒ ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහත්තයා දිනවන්න ගොඩක් මහන්සි වුණා. ඒක දකුණේ භීෂණය රජ කරපු කාලයක්. ඡන්දෙ දීපු නිසාම අපේ ප්‍රදේශයේ විශාල පිරිසකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා.   


 ඒ කොහොම වුණත් මහ මැතිවරණය ඉවරවෙලා හදපු ඇමැති මණ්ඩලේ මට ලැබුණෙ කම්කරු ඇමැතිකම. මම කරපු සෞඛ්‍ය ඇමැතිකම අයින් කරලා කම්කරු ඇමැතිකම දීපු එක ගැන මගේ එච්චර සතුටක් තිබුණේ නෑ. මට ඒ ඇමැති කමත් ගැළපුනේ නෑ. මම දන්න විෂයක් නෙවෙයිනේ. ඒත් මම ඒ ඇමැතිකම කරගෙන යන අතරේ යුනිසෙෆ් එකෙන් මට ආරාධනා කළා නිව්‌යෝර්ක්වලට ඇවිත් ප්‍රාථමික සෞඛ්‍ය සම්බන්ධව ප්‍රධාන උපදේශකවරයා හැටියට කටයුතු කරන්න කියලා. මම මේ සිද්ධිය ප්‍රේමදාස ජනාධිපතිතුමාට කිව්වා. මම එවෙලේ කිව්වා කම්කරු ඇමැතිකමට මම ඒ තරම් කැමැත්තකුත් නෑ කියලා. එතකොට එතුමා කිව්වා ඒ අවුරුද්ද ඉවර වෙනකම් ඉන්න බැරිද කියලා. මම කිව්වා මම කැමැති වුණාට යුනිසෙෆ් එක බලාගෙන ඉඳීවිද කියන්න බෑ කියලා. ඊට පස්සේ එතුමා යුනිසෙෆ් එකේ නායක ජේම්ස් ග්‍රාන්ට් මහත්තයට කතා කරලා මාව අවුරුද්ද ඉවරවෙනකම් ඇමැතිකමේ තියාගත්තා. මම යුතුකමක් හැටියටයි මේ සිදුවීම ප්‍රේමදාස ජනාධිපතිතුමාට කියන්න ගියේ. සද්ද නොකර ඉල්ලා අස්වීම දීලා මට රට යන්නත් තිබුණා. මම මගේ පුතාගෙ අධ්‍යාපන කටයුතු ගැනත් හිතලා තමයි යුනිසෙෆ් එකේ ආරාධනාව භාර ගත්තේ. අපි 1989 විදේශගත වුණා.  

 


• ජේ.ආර්. ගෙ කැබිනට් එකෙත් සෞඛ්‍ය ඇමැතිකම කරපු ඔබට ප්‍රේමදාසගෙ කැබිනට් එකේදි සෞඛ්‍ය ඇමැතිකම ගහලා යන්න හේතුව මොකක්ද?  
ඒකට නම් හේතුව මොකක්ද කියලා මම හරියටම දන්නෙ නෑ. මම ඒ වෙනකොට ගමේ මිනිස්සු අතරේ ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙලා හිටියෙ. ප්‍රේමදාස මහත්තයා ඒවටත් බය වුණාද දන්නෙ නෑ. මට නොදී සෞඛ්‍ය ඇමැතිකම දුන්නේ රේණුකා හේරත්ට. මට ඒ වෙලාවෙ තේරුණා ඒක මට කරපු මදිකමක් කියලා.  

 


• ආපහු ලංකාවට එන්නේ කොයි කාලෙද?  
1994 දී විතර ආපහු අපි ආවා. ඒ ඇවිල්ලා මම හිතුවා තාම ඇඟේ හයිය තියෙන නිසා ආපහු දේශපාලනය කරනවා කියලා. එහෙම හිතල ඊළඟ මහ මැතිවරණයට ඉල්ලුවා. එතකොට මනාප ක්‍රමය තදින්ම පොරයක් වෙලා තිබුණෙ. එකම පක්ෂෙ අයත් කල්ලිවලට බෙදුණ මේ නිසා. මට ඒ මනාප ක්‍රමය හරි ගියේ නෑ. ඒ මැතිවරණයේදී මාත් එක්ක අපේ පක්ෂයෙන් තරග කළේ සජිත් ප්‍රේමදාස, දිලිප් වෙද ආරච්චි, ආනන්ද කුලරත්න වගේ අය. අන්තිමේ මනාප ගණන් කරද්දි මම ගොඩක් පහළට වැටිලා තිබුණා. ඒකට හේතුව මනාප පොරය. එයින් පස්සෙ මම ඡන්ද ඉල්ලන්නෙ නෑ කියලා මම තීරණය කළා.  


• අපේ රටේ දේශපාලනඥයෙක් කියන්නේ හොඳට සල්ලියභාගෙ ගොඩගහගන්න පොහොසත් චරිත බවට පත්වෙන්න උත්සාහ කරන අයනේ. ඔබත් එහෙමද?   
අනේ නෑ. මම දැන් මේ පොඩි ගේකට වෙලා ඉන්නේ. මම වාහනයක් ගත්තෙත් මිල අඩු වෙනකම් බලාගෙන ඉඳලා. ඇමැතිකමේ ඉන්නකොටවත් මම අයුතු විදියට සල්ලි හම්බ කළේ නෑ. ඇමැතිකම කරපු එකෙන් මට පාඩුවක් තමයි වුණේ. ඩොක්ටර් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරද්දි දවසකට ලෙඩ්ඩු හැට හැත්තෑව බලනවා.   


දේශපාලනයට ආවම ඒ ඔක්කොම අත ඇරුණා.  


• ඔබ ඔබේ ජීවිතේ හොඳම කාලය කැප කරපු එක්සත් ජාතික පක්ෂය ගැන අද මොන වගේ හැඟීමකද ඉන්නේ?  
අද පක්ෂය ටිකක් ජනතාවගෙන් ඈත් වෙනවා වගේ පේනවා. ඒක නවත්තගන්න ඕනෑ.

පිළිසඳර
ප්‍රියන්ත කොඩිප්පිලි