ඉටු කරන්න බැරි නම් නොදිය යුතුම පොරොන්දුව


පළාත් පාලන ආයතනයන්හි සභිකයන් තෝරා පත් කරගැනීමේ පුංචි ඡන්දය සඳහා නාමයෝජනා භාරදීම අවසන් වීමත් සමඟ නැවතත් සුපුරුදු කතිකාව කරළියට විවෘත වනුයේ ඡන්ද පොරොන්දු සම්බන්ධයෙනි. මෙය සැබැවින්ම යෝජිත විවාහයකදී මනාලියගේ පාර්ශ්වය මනාලයට පොරොන්දු වෙන දෑවැද්ද මෙන්ය. විවාහය සිදුවූ පසුව, ලබාදෙන වත්කම් රාශියක් ලැයිස්තුගත කිරීමක් මෙහිදී සිදුකරයි.

සමහර අවස්ථාවලදී, එකී මුළු ලැයිස්තුවම මනාලයා හට දායාද වෙන අතරම, තවත් විටක ඉන් අඩක් හෝ කොටසක් දායාද වෙයි. එලෙසම ලැයිස්තුවෙන් කිසිවක් හෝ දායාද නොවෙන අවස්ථාවන්ද දැකගත නොහැක්කේ නොවේ. පූර්ව මැතිවරණ පොරොන්දු ද එලෙසමය. සමහර අවස්ථාවල, එම පොරොන්දු ඉෂ්ට කිරීම දර්ශනය වෙන අතරම, ඉෂ්ට නොකිරීමද දක්නට ලැබෙනු ඇත.

ඡන්ද පොරොන්දුවක් වනාහි, ඡන්දදායකයන් ඉලක්ක කරගනිමින් දේශපාලනඥයන්ගේ වගවීම ආරෝපණය කෙරෙන්නා වූ කේන්ද්‍රීය යාන්ත්‍රණයක් ලෙසින් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නා වූ මැතිවරණයන් අතර මහමැතිවරණයකදී, පළාත් සභා ඡන්දයකදී හෝ පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්දයකදී හෝ මෙලෙස අපේක්ෂකයන් විසින් පොරොන්දු ගොන්නක් ඡන්ද දායකයා වෙත ඉදිරිපත් කරයි. මෙහි පසු විපරම වෙන්නේ යම් අපේක්ෂකයෙක්, නැතහොත් යම් පක්ෂයක් විසින් අනාගත සුභසාධනය උදෙසා කැපවෙන බවට කරන ප්‍රකාශයකි. මෙසේ අවකාශයේ සැරිසරන ඡන්ද පොරොන්දු හඳුනාගැනීම උදෙසා, පටු පොරොන්දු සහ පුළුල් පොරොන්දු ලෙසින් වර්ගීකෘත කොට දැක්විය හැක. ඡන්ද අපේක්ෂකයන් ඡන්ද වේදිකාවක හෝ තම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඔස්සේ ලිඛිතව හෝ ඡන්ද පොරොන්දුවක් දීමට ප්‍රථමයෙන්, තමන් මේ කරනු ලබන්නේ ඉටුකරලිය හැකි පොරොන්දුවක්ද, නැතහොත් කිසිසේත් ඉෂ්ට කරලිය නොහැක්කක්ද යන්න පිළිබඳ අනිවාර්ය ස්වයං අධ්‍යයනයක යෙදිය යුතුමය.

පටු පොරොන්දුවක් දී, පොරොන්දුවේ සැබෑ අර්ථය එය ඉෂ්ට කරලිය හැක්කේ කෙසේ ද යන්න පැහැදිලි නොවේ. එය හුදෙක්ම මුඛ්‍යාර්ථයක් පමණක් වෙන අතර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලීම අපහසුය. පුළුල් පොරොන්දුවක් දී, ක්‍රියාව පුළුල්වෙන නමුත් එය ප්‍රායෝගිකව ඉටු කරලීම පහසු වේ. නිදර්ශනයක් ඇසුරින් මෙම තත්ත්වය පහත පරිදි වටහා ගැනීමට හැක. අපේක්ෂකයෙකු ප්‍රකාශ කරනුයේ, ඔහු බලයට පත්වුවහොත්, ඔහු විසින් නිශ්චිත කාල සීමාවක් තුළ රටේ බදු ක්‍රමය වෙනස් කරන බවයි. මෙය පටු පොරොන්දුවක් වෙන අතර එය ඉටු කිරීමට ඉතා අපහසු වේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස ඉතා විමර්ශනශීලිව අධ්‍යයනයක යෙදෙන කල්හි නිරීක්ෂණය වන්නේ, 1978 ජේ.ආර්.ජයවර්ධන රජයේ පටන්ම අනුර කුමාර දිසානායක වර්තමාන රජය දක්වාම ලබාදී තිබෙන බහුතර ඡන්ද පොරොන්දු, මෙසේ පටු මැතිවරණ පොරොන්දු කුලකයට සංගෘහිත කළ හැකි බවයි.

මෙයට ප්‍රධානතම හේතුව වෙන්නේ, රටේ ජනතාව අපේක්ෂා කරන ක්ෂණික සහනයක්, පටු පොරොන්දු ඔස්සේ ජනතාවට ආරෝපණය කළ හැකි වීමත්, ඒ මත විශ්වාසය තබන ජනතාව, එකහෙළාම එකී අපේක්ෂකයාට ඡන්දය ලබාදීමට පෙළඹීමයි. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සෑම ඡන්දයකදීම පාහේ අනුගමනය කරන්නා වූ දක්ෂ උපායමාර්ගයකි. එබැවින් මෙහිදී, ඡන්ද දායකයා සතුවද වගකීමක් පවතී. අපේක්ෂකයෙකු ඡන්ද පොරොන්දුවක් දුන් විට, එම පොරොන්දුව පටු පොරොන්දුවක්ද පුළුල් පොරොන්දුවක්ද යන්න පිළිබඳව මදක් නුවනින් කල්පනා කර බැලීමෙන් අනතුරුව සහ, පවතින දේශපාලන පක්ෂයන් සහ ස්වාධීන කණ්ඩායම් හි අපේක්ෂකයන් ලබාදෙන ඡන්ද පොරොන්දු පිළිබඳව විවේචනාත්මක සංසන්දනයක් කිරීමෙන්, ඉටුකරලිය හැකි ඡන්ද පොරොන්දු කවරේදැයි හඳුනාගනිමින්, පසුව තම ඡන්දය ලබාදෙන්නේ කාහට දැයි තීරණය කිරීම යෝග්‍යතම ක්‍රියාවයි. 

කෙසේ වුවද, සමහර අවස්ථාවලදී පෙනීයන්නේ, පූර්ව මැතිවරණ පොරොන්දු කඩකිරීම නැවත මැතිවරණයකදී ජනතාවගේ ඇගයීම කෙරෙහි අතිශය තීරණාත්මක අයුරින් බලනොපාන බවයි. නමුත් මෙම තත්ත්වය අපේක්ෂා කළ හැක්කේ, තරමක් ඒකාධිපත්‍යභාවයකින් රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන්නා වූ දේශපාලන ක්‍රමයක් පවතින රටවලයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පුරවැසියා, සෑම විටකම පූර්ව මැතිවරණ පොරොන්දු මත පිහිටමින් ඡන්ද ලබාදීම සිදුකරන අතර, එවිට දක්නට ලැබෙනුයේ කාලෙන් කාලෙට විවිධ ස්වභාවයේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් ආණ්ඩුකරණයට එළඹීමයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළින් මෙම තත්ත්වය ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැක. එය වරදක් නොවේ. නමුත් මෙහි අවිධිමත්භාවය, ව්‍යාකූලත්වය සහ සාවද්‍ය හැසිරීම නිසාවෙන්, ඡන්දයට පෙර ජනතාවට දෙන පෙරොන්දු ක්‍රියාත්මක කරලීමේ හැකියාවක් පැවතීද යන්න ගැටලු සහගත වෙන අතරම, මෙයින් පශ්චාත් මැතිවරණ බලාපොරොත්තු සුන්වීමේ විභවාත්මක හැකියාවක්ද පවතී. එනම් අනිවාර්යයෙන්ම ඡන්දයට පෙර දෙන පොරොන්දු සහ ඡන්දයෙන් පසු බලාපොරොත්තු අතර අනුලෝම සමානුපාතිකත්වයක් පවත්වාගෙන යා යුතුමය.

මෙම තත්ත්වය මෙවර පළාත් පාලන ආයතනයක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්දය කෙරෙහිද එක අයුරින් සමපාත වේ. ශ්‍රී ලංකාවේ සීමා නිර්ණය කොමිසම ප්‍රකාරව, ඡන්ද කොට්ඨාස සහ පළාත් පාලන ආයතන අධික සංඛ්‍යාවක් හඳුනාගත හැක. එම එක් එක් ඡන්ද කොට්ඨාසයන්හි ජීවත්වෙන ජනතාව මුහුණු දෙනුයේ වෙනස් වෙනස් ආකාරයේ ගැටලුකාරි තත්ත්වයන් විය හැක. එබැවින් ඒ ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් ඡන්ද පොරොන්දු ඉදිරිපත් කිරීමක් මෙහිදී දේශපාලනඥයන් සිදුකරයි. කෙසේ නමුත්, මෙහිදී ද රටේ ප්‍රධාන නීති කෘත්‍යයන්ට පටහැනි වෙන අයුරින් ඡන්ද පොරොන්දු ලබාදීම පුංචි ඡන්දයකදී ද සිදුකළ නොහැක.

R (Domb) v London Borough of Hammersmith and Fulham & Ors [2009] BLRG 340  යන එංගලන්ත නඩු තීරණය මෙයට කදිම නිදර්ශනයක් සපයනු ලබයි. මෙහිදී, ප්‍රාදේශීය කොන්සර්වේටිව් පක්ෂය විසින්, 2006 දී පැවැත්වූ පළාත් පාලන ඡන්ද සඳහා එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරන එක් පොරොන්දු ප්‍රකාශයක් සෘජුවම රටේ පැවැති නීතිය හා ඉෂ්ට කරලිය හැක්කක් නොවීය. අභියාචනාධිකරණය දක්වා ඉදිරිපත් වූ මෙම ගැටලුවේදී, එංගලන්ත අභියාචනාධිකරණය අවධාරණය කරන ලද්දේ, පූර්ව ඡන්ද පොරොන්දුවක් යමෙක් ලබාදෙන්නේ නම්, එය ඉෂ්ට කරලිය හැකිවූත් රටේ පවතින නෛතික කෘත්‍යයන් කෙරෙහි අවධානය යොමුකරමින් ලබාදෙන්නක් ද විය යුතු ලෙසිනි.

තවද ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය ආදී රටවල් හි වඩා යහපත් මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන අතරම, ඡන්දයක් ආසන්න වීමේදී දැකගත හැක්කේ, ඡන්ද අපේක්ෂකයන් ඡන්ද දායකයන් හට ලබාදෙන්නේ වඩා ප්‍රායෝගික පුළුල් ඡන්ද පොරොන්දු බවයි.
ඉන්දියාවේද සමස්ත මැතිවරණ ක්‍රමය දියුණු වෙමින් පවතින අතර, ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍ර භාවිතය ආදී නවීන ක්‍රමඋපායන් දක්නට ලැබේ. ඉන්දියාවේ ඡන්ද පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අධිකරණයන්හි විවිධ නඩු විභාග වේ.

මෙකී නඩු තීරණ මගින්ද, අධිකරණය සමස්තයක් ලෙසින් ගෙනහැර දක්වන්නේ පූර්ව ඡන්ද පොරොන්දු කඩ කිරීම සිදු නොකළ යුතු බවටයි. නමුත් දුන් ඡන්ද පොරොන්දු කඩකිරීමේ අවස්ථාව පමණක් වෙන්කර දක්වමින්, තනිව එය වරදක් ලෙසින් සැලකිය හැකිද යන්න තවමත් ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ ඡන්ද පොරොන්දු ඉතිහාසය දෙස බලන කල්හි පෙනීයන්නේ, දුන් සමහර පොරොන්දු සැබැවින්ම ක්‍රියාත්මක කරලීම ප්‍රායෝගික නොවෙන ආකාරයයි. තවද, මෙම පොරොන්දු වලින් බහුතර ප්‍රමාණයක් වෙන්වෙන්නේ, රටේ ආර්ථිකය කේන්ද්‍රගත කරගෙනය. එයට ප්‍රධානතම හේතුව වෙන්නේ, ආර්ථීක පොරොන්දුවක් මගින් රටේ ජනතාව තමා වෙත ඒකරාශි කරගැනීමට පවතින හැකියාව වැඩි බව දේශපාලනඥයා දැනුවත් බැවිනි. බඩු මිල අඩුකිරීම ආදි වූ ප්‍රාථමික පොරොන්දු මගින් පුරවැසියා හැඟීම්බර කළ හැකි වේ. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල්, අනිකුත් දේ අභිබවා ආහාර ලබාගැනීම පිළිබඳ මනා උනන්දුවක් යොමුකරන බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙය දේශපාලනඥයින්ට කදිම තුරුම්පුවකි. 

ඡන්දයක ජය පරාජය තීරණය කිරීමට ඡන්ද පොරොන්දු අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. ඡන්ද දායකයාද මෙම පොරොන්දු මත පිහිටමින්, ඡන්දය දීමේ පදනම තීරණය කරන බවද නිරීක්ෂණය වෙනු ඇත. දේශපාලන ක්‍රියාකාරීන්ගේ අනීත ක්‍රියාකාරිත්වයේ ඇගයීම මත ඡන්දය ලබාදීමක්ද ඊළඟ ඡන්දයේදී ඡන්ද දායකයා විසින් සිදුකරනු ලබයි. නමුත් මෙහි අගතිගාමි සංසිද්ධිය වෙන්නේ, ඒ අතරතුර කාලය නිරපරාදේ නාස්ති වීමයි. එනම් මෙය එක්තරා ආකාරයකට නව අපේක්ෂකයන්ට වාසිදායක තත්ත්වයක්ද පැරණි දේශපාලනඥයින්ට දඬුවමක්ද වෙන ස්වරූපයක් පෙන්නුම් කරයි. ඡන්ද පොරොන්දු කඩ කිරීම යන නඩු නිමිත්ත සඳහා පමණක්, නීතිය ඉදිරියේ යුක්තිය සෙවීම සිදුකළ හැක්කේ නොවේ. මෙහිදී මතුවෙන ගැටලුව වෙන්නේ, වරද ආරෝපණය කරන්නේ කාහට ද යන්නයි. අදාළ දේශපාලන පක්ෂයටද එය ඉදිරිපත් කළ අපේක්ෂකයාට ද? නැතහොත් තෙවැනි පාර්ශ්වයකට ද? තවත් පසෙකින්, මෙම ඡන්ද පොරොන්දුවකින් අනිවාර්යෙන්ම බැඳීමක් දේශපාලනඥයා සතුවේද යන්නත් විශ්ලේෂණය කළ හැක. ඔහු ඉදිරිපත් කරන්නේ එක්තරා ආකාරයකින් සැබෑ අපර්ණයද, නැතහොත් සලකාබැලීමට පමණක් කරන ආරාධනයක්ද යන්න ප්‍රශ්න ගත වෙනු ඇත. මෙකී සෛද්ධාන්තික රාමුව අනුව, අව්‍යාජ වගකීම ආරෝපණය වෙන්නේ දේශපාලනඥයා වෙත බව පැහැදිලි වේ.

ඉදින් සිදුවිය යුත්තේ, ඡන්දයට පෙර පොරොන්දුවක් ලබාදීමේදී, එය හුදෙක් කල්පිත පොරොන්දුවක් නොවී, ඉටුකරලිය හැකි  පොරොන්දුවක් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එය ජනතාගත කිරීමයි. එය සැබැවින්ම දේශපාලනඥයාගේ යුතුකමයි.

නීතිඥ ඉසංකා නිශ්ශංක