ඉදිරි ගමනෙහි මාවත කාර්ම්කරණයයි


  • තවත් අර්බුදයක් වළක්වා ගැනීමට නම් ජාතික ජනබලවේගය කාර්මීකරණය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රතිඥා දුන්නේ තම පක්ෂයේ නායකත්වය යටතේ “2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන” බවයි. අනුර කුමාර දිසානායක සහ ජාතික ජනබලවේගය (NPP)  මෙම පොරොන්දුව ඉටු කිරීමට අදහස් කරන්නේ නම්, සේවා සහ ප්‍රේෂණ මත යැපෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාර්මීකරණය වෙතට යොමු කිරීමට කටයුතු කළ යුතුයි.
බදු අඩු කිරීම්, දීමනා සහ සහනාධාර හරහා දිළිඳු ජනතාවට ලබා දෙන පිළිගත් සහන පිළිබඳ  අවධානය යොමු කළ ජනාධිපතිවරයාගේ කතාවෙහි සැබෑ ආර්ථිකයෙහි ආයෝජන වැඩි කිරීම කෙරෙහි අඩු අවධානයක් යොමු කර තිබීම කනගාටුවට කරුණකි. මෙය මෙවැනි මධ්‍යම වාමාංශික ආණ්ඩු නිරන්තරයෙන්ම වැටෙන මාරාන්තික උගුලකි. ස්වාභාවිකවම, ආර්ථිකය බිඳ වැටීමෙන් පසු ඇති වන අවාසනාවන්ත තත්ත්වයන් සඳහා ක්ෂණික සහන පියවර අවශ්‍ය වේ. කෙසේ වෙතත්, දිගුකාලීන පරිභෝජනය වැඩි කළ හැක්කේ සැබෑ ආර්ථිකයෙහි ආයෝජනය 
කිරීමෙන් පමණි.


දිගු කලක සිට වර්ධනය වෙමින් පැවති තත්ත්වයකි.


2022-23 ආර්ථික අර්බුදයට මූලික වූ හේතු සාධක පිළිබඳ නොයෙකුත් අර්ථකථන රාශියක් ඇති අතර, එය විදුලිය පැය ගණන් විසන්ධි කිරීම, ඉන්ධන සහ පිසින ගෑස්වල උග්‍ර හිඟය, රුපියල අවප්‍රමාණ වීම සහ උද්ධමනය ඉහළ යාම සඳහා හේතු විය. ප්‍රධාන ධාරාවේ පැහැදිලි කිරීම් තනිකරම පාහේ අවධානය යොමු කර ඇත්තේ - රජයේ අයවැය හිඟය සහ ඒ සඳහා මහ බැංකුවේ මූල්‍යකරණය කෙරෙහි ය. මෙහි යථාර්ථය නම් - සංචාරක කර්මාන්තය, ප්‍රේෂණ සහ අගය අඩුවෙන් එකතු කළ අපනයන මත යැපෙන අප රටේ මූලික යටත් විජිතවාදී ආර්ථික ව්‍යුහය තුළ මුල්බැසගත් මෙම අර්බුදය දිගු කලක් සිට වර්ධනය වෙමින් පැවති එකක් වීමයි.
ඓතිහාසික වශයෙන් අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම - වේගවත් වර්ධන මට්ටම් පවත්වා ගැනීමට, දේශීය තාක්ෂණයන් වැඩිදියුණු කිරීමට සහ බහුතර ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ඇති එකම මාර්ගයයි. මෙම රීතියට ඇති එකම ව්‍යතිරේකය වන්නේ ස්වභාවික සම්පත්වලින් පොහොසත් කුඩා රටවල් (උදා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ආදිය) හෝ බදු සහ මූල්‍ය සේවා මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරන රටවල් වේ. (උදා: ලක්සම්බර්ග්, අයර්ලන්තය, ආදිය)  සිරියාව, බුර්කිනා ෆාසෝ හෝ චිලී සමඟ සැසඳීමේදී මිලියන 22ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාව කිසිසේත්ම කුඩා රටක් නොවේ. මෙරට විශාල ප්‍රමාණයක් වූ ග්‍රාමීය ජනතාව නඟාසිටුවීමට කාර්මීකරණය අවශ්‍ය වේ.
2024 මහ මැතිවරණයට පෙර, ජාතික ජනබලවේගයේ කාර්මීකරණය පිළිබඳව විශාල හඬක් නැගුයේ වත්මන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන චතුරංග අබේසිංහ ය. කාර්මීකරණයේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඉවහල් වන තාක්‍ෂණ හුවමාරුව සහ වැඩිදියුණු කිරීම් සඳහා සහාය දැක්වීමත්, ඒ සමග ඒකාබද්ධ වූ බලශක්ති සහ මූල්‍ය පිළිබඳ රාජ්‍ය හිමිකාරිත්වයෙහි අවශ්‍යතාවත් පිළිබඳව අබේසිංහ බොහෝ අවස්ථාවන්හි සංවේදී කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, ඔහු මිනුම්දඬු ලෙස ඉන්දියාව, චීනය, මැලේසියාව සහ වියට්නාමය ආදී රටවල් තෝරාගැනීම ගැටලු‍සහගතය.
චීනය සහ වියට්නාමය කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරනු ලබන සමාජවාදී රටවල් වේ. මෙම රටවල් කාර්මික වැඩ කරන පන්තියෙහි ප්‍රතිනිෂ්පාදනය සහ වැඩෙන ඵලදායිතාව හරහා සිය සුජාතකභාවය ලබා ගනී. මේ අතර, ඉන්දියාවේ සහ මැලේසියාවේ, මැදිහත්වීමේ කාර්මික ප්‍රතිපත්තිවල චිරස්ථිතිය සඳහා වැඩි කැමැත්තක් ඇති සාපේක්ෂව, ශක්තිමත්, කාර්මික ධනපති පන්තියක් දක්නට ලැබේ. වෙළෙඳ ප්‍රාග්ධනය (වෙළඳාම, මූල්‍ය සහ දේපළ වෙළඳාම් වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කරන ව්‍යාපාරික අවශ්‍යතා) විසින් ආධිපත්‍යය දරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ශ්‍රී ලංකාව මේ දෙකටම වඩා වෙනස් වේ.


කාර්මීකරණය පන්ති අරගලයක් ලෙස


කාර්මීකරණයට මග සැකසීම ශ්‍රී ලංකාවේ ඕනෑම රජයක් වෙළෙඳ ප්‍රාග්ධනයේ අවශ්‍යතා සමග ගැටීමේ මාවතකට ගෙන ඒමට හේතු වේ . කොල්ලකාරී මූල්‍ය සේවා, කෘෂිකාර්මික අතරමැදියන් සහ ආනයන මාෆියාව වැනි ආර්ථිකයේ පරපෝෂිත වුවමනාවන් සමග ගනුදෙනු කිරීමකින් තොරව කාර්මීකරණයක් පැවතිය නොහැකිය. මෙම දේශීය වුවමනාවන් ගෝලීය දකුණෙහි රටවල් වහල් වෙළෙඳපොළවල් ලෙස තබා ගැනීමට උත්සාහ කරන මහාපරිමාණ බහුජාතික සමාගම්වල පෙරමුණු ලෙස 
ක්‍රියා කරයි.
අවම වශයෙන් වෙළෙඳ ප්‍රාග්ධනයේ ඇතැම් කොටස් කාර්මික ප්‍රාග්ධනය බවට අර්බුදයකින් තොරව පරිවර්තනය කිරීමට ක්‍රම තිබිය හැකිය. කර්මාන්ත සඳහා යළි ආයෝජනය කිරීමට ගිවිසුම්ගතව ඉඩම් හිමියන්ට වන්දි ලබා දෙමින්, ගොවියාට ඉඩම් නැවත බෙදා දුන් පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්  හරහා තම ඉඩම් හිමි පන්තිය කාර්මික ධනේශ්වර පන්තියක් බවට පත් කිරීමට දකුණු කොරියාව සමත් විය. දිගු කාලීන ඵලදායිතාමය ජයග්‍රහණ ලබා දිය හැකි උපායමාර්ගික නිෂ්පාදන ක්ෂේත්‍ර වෙත ආයෝජන යොමු කිරීම සඳහා - දිරිගැන්වීමේ ව්‍යුහ සකස්  කිරීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අභියෝගයයි.
කාර්මීකරණය පහසු කාර්යයක් නොවේ. එයට විරුද්ධ පාර්ශ්වයන් බොහෝ විට කම්කරුවන් සහ පරිසරය කෙරෙහි මානුෂීය සැලකිල්ලක් දක්වන්නන් ලෙස වෙස් ගනියි. එහෙත් යථාර්ථය නම් වෙළඳාම, මූල්‍ය, දේපළ වෙළඳාම් සහ සංචාරක ව්‍යාපාරය හරහා පහසු මුදල් ඉපයීමට පුරුදු වී සිටින ව්‍යාපාරික පන්තියකට කාර්මීකරණය වඩාත් පීඩාකාරී වේ. කර්මාන්ත ශාලාවක් ක්‍රියාත්මක කිරීම, සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග තරග කිරීම සහ නව නිෂ්පාදන සහ ක්‍රියාවලිය නවීකරණය කිරීම - අපගේ පුද්ගලික අංශය මෙතෙක් පුරුදු වී සිටිනවාට වඩා බොහෝ කැපවීමක් හා දායකත්වයක් ඉල්ලා සිටී. ඒ සඳහා කැප වූ දේශපාලන පක්ෂයක් විසින් පත්කරනු ලබන පාලන තන්ත්‍රයක් - මෙම ක්‍රියාවලිය මෙහෙය වීමට අවශ්‍ය 
වන්නේ එබැවිනි.


දූෂණ විරෝධී කාර්යයක් ලෙස කාර්මීකරණය


හොඳට හෝ නරකට, දූෂණය සහ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව ජාතික ජනබලවේගයේ මැතිවරණ පොරොන්දු විශාල ඡන්දදායක පිරිසකගේ සිත්සතන් ග්‍රහණය කර ගත් අතර, ඔවුන්ට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තුවේ සුපිරි බහුතරයක් දිනා ගැනීමට උපකාරී විය. කෙසේ වෙතත්, ඊනියා දූෂණයේ ව්‍යුහාත්මක හේතු සහ ශ්‍රී ලංකාව පහත හෙළා ඇති ක්‍රමයේ නියම ස්වභාවය අනාවරණය කිරීම සඳහා  ඔවුන් වඩා වැඩි වැඩ කොටසක් කළ යුතුව ඇත.
අපි මෑතකදී ට්‍රයිකොන්ටිනෙන්ටල්: සමාජ පර්යේෂණ ආයතනයේ, “නව ලිබරල්වාදය අප්‍රිකාවේ ජීවිතය පෞද්ගලීකරණය කිරීමට ‘දූෂණය‘ යොදා ගෙන ඇති ආකාරය”‍ යන මාතෘකාවෙන් යුත් ලේඛනයක් ප්‍රකාශයට පත් කළෙමු. දූෂණය පිළිබඳ නිල නිර්වචනවලදී  එතුළ පෞද්ගලික අංශයේ භූමිකාව මඟ හරින හෝ අවම කරන ආකාරය අපි මෙහිදී පෙන්වා දුන්නෙමු. ගෝලීය දකුණේ රටවලට විශාලතම ආදායම අහිමි වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සුළු අල්ලස් ගැනීමෙන් නොව, බදු පැහැර හැරීම, පැවරුම් මිලකරණය සහ වෙළෙඳාමේ දී වැරදි ලෙස ඉන්වොයිස් කිරීම වැනි භාවිතයන් හේතුවෙන් වන මහා පරිමාණ මූල්‍ය කාන්දුවීම් හරහාය. 
අප්‍රිකාව සම්බන්ධයෙන් ගත් කල, නිශ්කාෂන අංශ වෙත ආයෝජනය කිරීම පුද්ගලික අංශයේ දූෂණ සහ පාරාන්ධ මිලකරණ භාවිත සඳහා ඇති අවස්ථාව සැලකිය යුතු ලෙස වර්ධනය කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, අප ආහාර සහ බලශක්ති ආනයන මත යැපීම සහ අගය අඩුවෙන් එකතු කළ අපනයන මත යැපීම පෞද්ගලික අංශයේ දූෂණයට හිතකර වේ. එවැනි (ඌණ) සංවර්ධන රටාවන් තුළ, දේශීය කාර්මික පරිසරයක් සංවර්ධනය කිරීම සඳහා සිය ලාභය නැවත ආයෝජනය කිරීමට ධනපතියන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති තරම්ය.
ජාතික ජනබලවේගයට දූෂණ විරෝධී සහ රට නවීකරණය කිරීමේ ජනවරම ඉටු කිරීමට අවශ්‍ය නම් සහ 2022දී ඇති වූ දෙයට සමාන ආර්ථික අර්බුදයක් වළක්වා ගැනීමට ද  අවශ්‍ය නම් - කාර්මීකරණය ඔවුන්ට ඇති එකම ඉදිරි මාවතයි. එයට විකල්ප නොමැත.
(ලේඛකයා ට්‍රයිකොන්ටිනෙන්ටල්: සමාජ පර්යේෂණ ආයතනයේ පර්යේ ෂකයෙකි. ඔහු ලන්ඩනයේ SOAS  විශ්වවිද්‍යාලයෙන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ඇත. [email protected]  යන විද්‍යුත් ලිපිනය හරහා ඔහු සමග සම්බන්ධ විය හැකිය. )
“NPP Needs to Get Serious About Industrialisation to Avoid Another Crisis” යන මැයෙන් 2024.12.30 දිනDaily FT පුවත්පතෙහි පළ වූ, ශිරාන් ඉළන්පෙරුම විසින් රචිත මෙම ලිපිය සිංහලට නඟන ලද්දේ
  නර්මදා වික්‍රමආරච්චි විසිනි.