උණුසුමක් නැති මැතිවරණ වේදිකාව


  • 70 මහ ඡන්දෙදි හොඳම කථිකයා මර්වින් සිල්වා
  • ‘අපේ හාමුදුරුවනේ’ කතාව වේදිකාවට ගෙනාවේ ඔසී
  • මහින්ද රාජපක්ෂ බෙල්ලෙ බැඳගත් දේශප්‍රේමය වේදිකාවට ගෙනාවේ විමල්
  • 2010 ජනපතිවරණයේ ජනප්‍රියම ‘කලවැද්දා’

ජනපතිවරණයට තවත් සති තුනකට වඩා නැතත් දේශපාලන වේදිකාව ගමේ මරණාධාර සමිතිය තරම්වත් උණුසුම් නැත. ප්‍රධාන ජනපති අපේක්ෂකයන් සිව්දෙනා පමණක් ගිරිය පුප්පාගෙන පැය ගණනක් කතා කරන හැටියෙන් පෙනෙන්නේ මේ වෙනවිට ජනතාව ආකර්ෂණය කරගත හැකි ජනප්‍රිය කථිකයන් මෙරට දේශපාලනයේ නොමැති බවය.
මැතිවරණ රැලියකට සෙනඟ ගෙන්වාගැනීම වෙනම කලාවකි. සමහරුන් පැමිණෙන්නේ ජනපති, අගමැති, විපක්ෂ නායක වැනි නිතර දකින්නට නොලැබෙන නායකයන් සමීපව දැකබලා ගන්නටය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අන්ත පරාජයකට ලක් වූ 1977 ජූලි මහ මැතිවරණ සමයේ ඇගේ රැස්වීම් අතිවිශාල ජන කන්දරාවකින් පිරී තිබුණේ ඒ නිසාය. අද වැනි රූපවාහිනි හෝ සමාජ මාධ්‍ය හෝ නොතිබූ එකල, දේශපාලන නායකයන් දැකබලා ගන්නට නම් මැතිවරණ රැලියකටම යා යුතුය. අද මැතිවරණ රැලිවලට සෙනඟ අඩුවීමට එක් හේතුවක් නම් කථිකයන් නොමැති වීමය. දෙවැනි හේතුව දේශපාලකයා නිතර දකින කුකුළාගේ කරමලය හා සමාන වී තිබීමය.


සෙනඟ අද්දවා ගැනීමේ ප්‍රධාන තුරුම්පුව වේදිකාව දෙදරවන කථිකයන්ය. මහාචාර්ය ජී.එල්.පීරිස් පාර්ලිමේන්තුවේ දී පැය ගණන් කතා කළ ද, මැතිවරණ වේදිකාවල ප්‍රධාන කථිකයකු නොවුණේ ඔහුගේ කතාව ගැමි ජන හදවතට නීරස නිසාය. සෙනඟ ගෙන්වන ජන රැලි සඳහා අවශ්‍ය වෙන්නේ කට සැර මෙන්ම වාචාලකමේ පරතෙරටම ගිය කථිකයන්ය. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් වේදිකා පිරුණු විට ඡන්දදායකයා ඉන්නේ නිදිමතෙනි. අද වෙලා තියෙන්නේ ඒකය. මෙවර ජනාධිපතිවරණයේ දී අප දකින ප්‍රධාන දුර්වලකමක් වෙන්නේ ජනප්‍රිය කථිකයන් නොමැති වීමය. අද බොහෝ ගැමියන් ජනපතිවරණයක් තිබෙනවාදවත් නොදන්නා ගාණය. මේ නිසා රටවැසි බොහෝ දෙනාගේ ඡන්දය ප්‍රකාශ කිරීම ද අඩමානය. තවමත් ජනතාවගේ ඇඟට ජනපතිවරණය දැනිලා නැත. ජනතාව සියලු වැඩ නවතා ඡන්ද පොළට යන්නේ ඇඟට දැනුණොත් විතරය. ජනතාව ඡන්ද පොළට “දක්කන” උත්ප්‍රේරකය, මේ ඇඟට දැනෙන ගැම්මය. 
ඇඟට දැනෙන ගැම්ම ඉබේ පහළ වෙන්නේ නැත. එදා එය ඇති කළේ ජනප්‍රිය කථිකයන් විසිනි. රණසිංහ ප්‍රේමදාසලා, ඔසී අබේගුණසේකරලා, මර්වින් සිල්වලා, ජේ.ආර්.පී. සූරියප්පෙරුමලා, විමල් වීරවංශලා වැනි, පාක්ෂිකයන්ට මෙන්ම විපාක්ෂිකයන්ටත් කතා කරන්න දෙයක් ඉතිරි කළ ජනප්‍රිය කථිකයන් විසිනි. මෙම ජනපතිවරණයේ දී එවැනි කිසිදු කථිකයකු කිසිදු වේදිකාවක දකින්නට නැත. ඡන්ද උණුසුමක් තවමත් හැදී නැත්තේ ඒ නිසාය.


හැත්තෑ හතේ මැතිවරණයේ දී එජාපයට ප්‍රධාන කථිකයෝ තිදෙනෙක් සිටියෝය. පළමුවැන්නා අමුතු සිංහලයකින් කෙටි වේලාවක් කතා කරන ජේ.ආර් ය. දෙවැන්නා වේදිකාව දෙවනත් කරන රණසිංහ ප්‍රේමදාසය. තෙවැන්නා ඉතා ළාබාල ගාමිණී දිසානායකය. එජාප මැතිවරණ ව්‍යාපාරයේ එක් කැපී පෙනෙන ප්‍රචාරක ආයුධයක් වූයේ “පවුල් ගහ” පොත් පිංචයි. හැත්තෑවේ ආණ්ඩුවේ පැවැති බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන්ගේ බලපෑම මෙම පවුල් ගහ පෝස්ටරයට වස්තු විෂය විය. මැතිනියත් ඇගේ දූවරුන් සහ පුත්‍රයාත්, බෑනලාත් බණ්ඩාරනායක, රත්වත්තේ හා ඔබේසේකර පවුල්වල ඥාතීනුත් රාජ්‍ය තන්ත්‍රය පුරා විසිරී පැතිරී රාජ්‍යයම වෙළාගෙන ඇති ආකාරය එමගින් ජන හදවත් තුළටම උරාගන්නා ආකාරයෙන් පොත් පිංච නිර්මිත විය. මැතිනියගේ රජය සමයේ තිබූ පෝලිම් සහ ජීවන වියදම ඉහළ යෑම වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් විය. ප්‍රේමදාස පොල් බෑ දෙකක් දෑතින් ගෙන වේදිකාවට නැග්ගේ ජනතාවට පොල් ගෙඩිය නොව බෑයක් ගන්න වී ඇති බව පෙන්වා දෙමිනි. මැතිනියගේ සමීප හිතවතියක් වූ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය හා ඇගේ පුත් සංජේ ගාන්ධි වැස්සියට හා පැටියාට උපමා කරමින් ප්‍රේමදාස වේදිකාව පතුරු ගැසුවේ මැතිනියට ඇනෙන්නටය. එහෙත් එයින් රිදුණේ ඉන්දියාවේ ඉන්දිරාටය. ඒ රිදීමේ ප්‍රතිඵල ඉන්දීය අගමැතිනියගෙන් ජේ.ආර්. ගේ ආණ්ඩුවටම පෙරළා ලැබිණි. එදා වේදිකාවේ කී දේ අද ද මතක ඇත්තේ ප්‍රේමදාසලාගේ කථිකත්වය නිසාය. ජනතාව ඡන්ද පොළට දැක්කුවේ එවැනි සටන් පාඨ වලිනි.
1982 ජනපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂක කොබ්බෑකඩුවගේ වේදිකාවේ ප්‍රධාන කථිකයෝ කිහිප දෙනෙක් වූහ. විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, මර්වින් සිල්වා ආදීන් හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් රට පුරාම රැලි ඇමතූහ.
පසුකාලීන ක්‍රියාකාරීත්වය මගින් මර්වින් සිල්වා ගැන පවතින ප්‍රතිරූපය ජනප්‍රිය ප්‍රතිරූපයක් නොවෙතත්, හැත්තෑ ගණන්වල ශ්‍රීලනිප දේශපාලනයේ ආකර්ෂණීය කථිකයකු වූයේ මර්වින් සිල්වාය. 1970 මහ ඡන්දයට තරග කළ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන කථිකයා වූයේ මර්වින්ය. අසූ දෙකේ ජනපතිවරණයට ශ්‍රීලනිපයෙන් බෙදීම් මැද ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් යකඩ කටක් සේ වේදිකාව සෙලවූ මර්වින් පාක්ෂිකයන් අතර නොමැකෙන නමක් දිනාගත්තේය.
එක්දහස් නවසිය අසූ අටේ ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ඒ වෙද්දී චන්ද්‍රිකා ශ්‍රීලනිපය හා මැතිනිය අතහැර ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා එහි නායිකාව වී සිටියාය. අනුර බණ්ඩාරනායක මවගේ මැතිවරණ ව්‍යාපාරයට සෑහෙන දුරට මහන්සි විය. මැතිනිය වෙනුවෙන් රට පුරාම රැස්වීම් ඇමතූ කට සැර කථිකයෝ තිදෙනෙක් සිටියහ. අනුර බණ්ඩාරනායක, මර්වින් සිල්වා සහ ජේ.ආර්.පී. සූරියප්පෙරුම ඒ තිදෙනාය. ජවිපෙ භීෂණය මැද තරග කළ ශ්‍රීලනිපයට එරෙහිව ද ජවිපෙ තුවක්කු දිගු වී තිබුණි. මර්වින්ගේ යකඩ කට, නිද්‍රාශීලී වූ ශ්‍රීලනිපය අවදි කරවන්නට සමත් විය. මර්වින්ගේ කතා ශෛලිය අනුව බොහෝ දෙනා වටහාගත්තේ මර්වින් තිස්සමහාරාමයෙන් පැමිණි ‘ජවිපෙ’ කෙරුම්කාරයකු බවය. පාක්ෂිකයන් පමණක් නොව පක්ෂ පාට දේශපාලනයක එල්බගෙන නොසිටි සාමාන්‍ය ගැමියන් ද එම රැස්වීම් නරඹන්නට ගියේ මැතිනියගේ පුත් අනුර දැක ගන්නටත් තිස්සමහාරාමයෙන් ආ කට සැර මර්වින් සිල්වාගේ කතා අහන්නටත්ය. ජවිපෙ භීෂණයට යට වී ඇල් මැරුණු සොබාවයෙන් තිබූ මැතිවරණ නිහැඬියාව උණුසුමින් අවදි කරවන්නට මර්වින්ගේ කට සැර කතාවට පුළුවන් විය.
කට සැර වගේම තිස්සමහාරාමයේ මර්වින් සිල්වාගේ දේශපාලනය ද නිරතුරුව සෙලවෙන්නේය. 1999 ජනපතිවරණය එළඹෙද්දී මර්වින් සිටියේ එජාපයේය. ජනපතිනිය වූ චන්ද්‍රිකා යළිත් ඉදිරිපත්ව සිටි අතර එජාප අපේක්ෂකයා වූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රට පුරාම රැස්වීම් ඇමතූ එක් කථිකයකු වූයේ මර්වින් සිල්වාය. ඔහුගේ සභ්‍ය නොවන වාග් ප්‍රහාර නිසා ඇතැම් රැලියක මර්වින් කතා කරද්දී කාන්තාවන් සිටියේ බිම බලාගෙන සිනාසෙමිනි. මර්වින් නිතරම කතා කළේ විජයත් චන්ද්‍රිකාත් සමඟ තමන්ගේ ඇසුර ගැනය. චන්ද්‍රිකාගේ පෞද්ගලික ජීවිතය ගැනය. වේදිකාවට ඒ කතා අල්ලලා ගියේය. මර්වින් වේදිකාවට නගිද්දී එජාප සාමාජිකයන් මර්වින් පිළිගත්තේ ප්‍රීති ඝෝෂා නගමිනි. වේදිකාව ‘හිට්’ කරගන්නා කලාව ඒකය. එහෙත් වර්තමාන වේදිකාවල එවැනි ‘හිට්’ චරිත 
පෙනෙන්නට නැත.


දේශපාලන වේදිකා හෙල්ලූ තවත් ජනප්‍රිය කථිකයකු වූයේ ඔසී අබේගුණසේකරය. ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ප්‍රේමදාසගේ වේදිකාවේ ප්‍රධාන කථිකයකු වූයේ ඔසී අබේගුණසේකරය. සීමා මායිම් නැති ඔසීගේ කතා ශෛලිය ඔහුගෙන් පහර කන්නාගේ වස්ත්‍ර ගලවා දැමීමට තරම් ශක්තිමත්ය. ඇතැම් විටෙක ඔහුගේ වචන ශෛලිය ස්ත්‍රීන් සහ දරුවන්ට අසා සිටීමට නොහැකි වචනවලින් පිරී තිබුණත් ඔහුගේ කතාව යම් වේදිකාවකට ජනතාව ඒකරාශි කරගැනීමට උත්ප්‍රේරකයක් විය. 1994 ගාමිණී දිසානායකගේ ජනපතිවරණ වේදිකාවට ජනතාව ඒකරාශි කළ යන්ත්‍රය වූයේ ඔසීය. ගාමිණීගේ ආකර්ෂණශීලී කටහඬත් ඔසීගේ මුඛරි වේගවත් හඬත් චන්ද්‍රිකාට ජනපති පුටුව අහිමි කිරීමට ආසන්නව තිබිය දී තොටළඟ වේදිකාවේ දී ගාමිණී සමඟම ඔසී ද අවසන් ගමන ගියේය.
ඔසී ශ්‍රීලනිපයේ ආකර්ෂණශීලී චරිතයක් වූයේ හැත්තෑ ගණන්වල මැද භාගයේදීය. විජය කුමාරතුංග හා චන්ද්‍රිකා යුවළ අනුර බණ්ඩාරනායකට එරෙහිව ශ්‍රීලනිපය තුළ දේශපාලනය කළ එකල, ඔසී, මර්වින් සිල්වා, ටී.බී. ඉලංගරත්න වැනි අය සිටියේ විජයට පක්ෂ කණ්ඩායමේය. මැතිනියගේ ප්‍රජා අයිතියත් අහිමිව ශ්‍රීලනිපය දුෂ්කරව සිටි 1982 ජනපතිවරණයට හෙක්ටර් කොබ්බෑකඩුව කැඳවාගෙන එන්නට මහනුවර කොබ්බෑකඩුව වලව්වට විජය ගිය ගමනේ ගමන් සගයන් වූයේ ඔසී සහ ෆීලික්ස් පෙරේරාය. හෙක්ටර් කොබ්බෑකඩුවගේ මැතිවරණ වේදිකාව දෙවනත් කළ එක් කථිකයකු වූයේ ඔසීය. ඔහු රට පුරාම රැලි ඇමතුවේය. ඔසීගේ කථිකත්වය රටට ප්‍රකටව පෙනුණු පළමු වතාව එම ජනපතිවරණ වේදිකාවය. ඉන්පසු විජය හැදූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන කථිකයකු වූයේ ඔසීය. විජයගේ අභාවයෙන් පසු 1988 ජනපතිවරණයට මැතිනියගේ ඡන්ද කඩන්න එජාප ආශීර්වාදයෙන් ආ ‘උගුල ද’ ඔසීය. ජනපතිවරණය ජයගත් පසු ප්‍රේමදාස ඔසී තමා ළඟට ගත්තේය. 1992 දී ප්‍රේමදාස මියයන තුරුම ඔසී, ප්‍රේමදාස ළඟ සිට විපක්ෂය පට්ට ගැසුවේය. ඉන්පසු එජාපයට එක්වෙද්දී ගාමිණීගේ සමීපතම සගයකු වූයේ ඔසීය. චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාත් මහ ඇමැතිනිය ලෙස ශ්‍රීලනිපයෙන් සටනට ආ පසු එජාපය ඇයට පහර ගසන්නට දැම්මේ ඔසීය. ඔසීගේ කතාවේ චන්ද්‍රිකාට එරෙහි පෞද්ගලික මඩ ප්‍රහාර ඉවත දැමූ පසු ඉතිරිය සුපිරිය. එවැනි කථිකත්වයක් අදටත් සිහිපත් වෙන්නේ නැත. 
ඔසීගේ කතාවේ කිහිප තැනකට “අපේ හාමුදුරුවනේ” යන යෙදුම ඇත. ඒ වේදිකාවේ වැඩසිටින මහා සංඝරත්නය අමතමිනි. පසුකාලීනව “අපේ හාමුදුරුවනේ” වඩාත් ජනගත වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කතා ඇසුරිණි. ඔසීගේ කතාව කාලයක් යනතුරු මතක සිටින්නේ එම වේදිකාව ඇති තැන යම් සිද්ධියක්, වසර ගණනාවකට පෙර දේශපාලන නායකයන්ගේ කතාබහක් ආදී රසමුසු දේ ද එම කතාවේ ඇතුළත් වෙන නිසාය. අද වේදිකාවේ එවැනි කතා දුලබය. වාචාල බස් මිස රසයක් නැත. මම.. මම.. මම.. මම.. කළ දේ... හැරෙන්නට සමහරුන්ගේ කතාවල වෙනත් වචන නැත. ඔසී මියගිය 1994 තොටළඟ අවසන් කතාවේ චන්ද්‍රිකාට නින්දා අපහාස කළ වචන ගණනාවක් අඩංගු විය. එලෙසම හරයාත්මක වචන ගණනාවක ද අඩංගු විය. 
1956 පංච මහා බලවේගය ගැන ඔසී මෙන්න මෙහෙම කතාවක් කීවේය. “පංච මහා බලවේගයට අන්තිමට මොකද වුණේ...? සමාවෙන්න අපේ හාමුදුරුවනේ.. සඟ තමයි පිස්තෝලෙ දුන්නේ... වෙද තමයි කොකා ඇද්දේ... බුද්ධරක්ඛිත හාමුදුරුවෝ චේති සබ්බෝ වෙඩි තිබ්බෝ... තල්දූවේ සෝමාරාම ඇස්වලට වෙදකම් කළ හාමුදුරුවෝ... සඟ පිස්තෝලය දුන්නා... වෙද වෙඩි තිබ්බා... අන්තිමට ගුරු බලාගෙන හිටියා. ගොවි කම්කරුවෝ මේ මඟුලට ආවේ නෑ... උන් ස්ට්‍රයික්... අන්න වැඩේ ඉවර වෙච්චි තැන...” ඔසී මෙසේ කීවේ බණ්ඩාරනායක බලයට ගෙනා පංච මහා බලවේගය විසින්ම බණ්ඩාරනායක විනාශ කළ ආකාරය අපූරුවට විස්තර කරමිනි. එවැනි කතා ගාමිණීට වේගයෙන් ඉදිරියට ඒමට මනා රුකුලක් විය. අද එවැනි කතා ඇසෙන්නේ කවර ජනපතිවරණ වේදිකාවේ ද? අද රනිල්, සජිත්, අනුරගේ වේදිකාවල ඇසෙන කතා ජනතාව දේශපාලකයාට ආකර්ෂණය කරන්නට නොව දේශපාලකයා එපා කරවන්නට සමත්ය.
ඔසීගෙන් පසු එවැනි හඬක් වේදිකාවට ගෙන ආවේ විමල් වීරවංශය.මහින්ද රාජපක්ෂගේ වේදිකා ශක්තිමත් කළ කථිකයා විමල් වීරවංශය. තවත් කථිකයන් සිටි නමුදු විමල්ගේ හඬ පෞරුෂයක් වෙනත් කිසිවකුගෙන් මහින්දගේ වේදිකාවට ලැබුණේ නැත. ශ්‍රීලනිපයෙන් සාම්ප්‍රදායික පංචස්කන්ධයන්ගෙන් පිරී තිබුණු වේදිකාව ජනතාව ආකර්ෂණය කරගන්නා පණ පිරුණු වේදිකාවක් කළේ විමල්ය. රනිල්ට එරෙහිව අලි-කොටි ගිවිසුමක් ගැන කියමින් පට්ට බොරු දෙසාබෑවේ විමල්ය. ඒ පට්ට බොරුවලින් රනිල් නැත්තටම නැති වුණේය. මහින්ද දුටුගැමුණුටත් එහා ගිය දේශප්‍රේමියෙක් කෙරුණේය. මහින්ද අදත් බෙල්ලේ බැඳගෙන සිටින දේශප්‍රේමය මහින්ද ළඟට ගෙන ආවේ විමල්ය. එහෙත් ඒ විමල් මෙවර ජනපතිවරණයේ දී නොදන්නා මූකලානක සැඟව ගොසිනි.  
විමල් වීරවංශ දේශපාලනය ඇරඹුවේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ජවිපෙ සන්නද්ධ කැරැල්ල සමයේ කළුතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ නායකයා වූයේ එකල විමලසිරි ගම්ලත් නමින් පෙනී සිටි විමල් වීරවංශය.
භීෂණයෙන් පසු ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කිරීමේලා පිහිටවූ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වූයේ විමල් වීරවංශය. චන්ද්‍රිකා ජනපතිනිය තේරී පත්වූ 1994 සිට 1998 පමණ දක්වා කාලය තුළ ජවිපෙ මතය ප්‍රචාරය කිරීමේලා ආයෝමය හඬ වූයේ විමල්ගේය. අනුර, ලාල්, ටිල්වින් වැනි තවත් කථිකයන් සිටිය ද ජනතාව පෙළගස්වන ප්‍රධාන හඬ වූයේ විමල්ගේ හඬය. එකල විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ ද 1999 ජනපතිවරණය කිට්ටු වෙද්දී විමල් වීරවංශ තම පක්ෂයට ගැනීම සඳහා සෑහෙන වෑයමක් දැරුව ද විමල්, රනිල් දෙසට හැරුණේ නැත. 2005 මහින්ද ජනාධිපති අපේක්ෂකයා වූ පසු ජවිපෙ මහින්ද දිනවීම සඳහා කටයුතු කළ අවස්ථාවේ මහින්ද වෙනුවෙන් ප්‍රථම වරට ජනාධිපතිවරණ වේදිකාවේ විමල්ගේ හඬ නැංවිණි. එම සබඳතාව උච්ච තැනකට ආවේ විමල්, ජවිපෙ හැර දමා මහින්ද සරණ යාමෙනි. මහින්ද රාජපක්ෂගේ යුද ජයග්‍රහණය සඳහා ජනතාව පෙළගැස්වීමේ ප්‍රධාන හඬක් බවට පත් වූයේ විමල්ය. විමල් සහ මහින්ද අතර වූයේ ගසට පොත්ත මෙන් බැඳීමකි. 


දේශප්‍රේමී ඡන්ද මහින්දට ගෙනැවිත් දුන්නේ විමල්ය. දේශප්‍රේමී ඡන්ද බැංකුවක් මෙරට ප්‍රථම වරට ස්ථාපිත කළේ ජවිපෙ නායක රෝහණ විජේවීරය. 1987 – 89 කැරැල්ල ඔහු ක්‍රියාත්මක කළේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජාති හිතෛෂී දේශප්‍රේමී ජන මතයක් ජන මනස තුළ ඇති කරමිනි. සටන් පාඨය වූයේ ‘‘මව්බිම නැතිනම් මරණය’’ය. විජේවීරත් ජවිපෙත් බිමට සමතලා කළ පසු ද, ‘‘මව්බිම නැතිනම් මරණය’’ වෙනුවෙන් යම් ජනමතයක් මෙරට ඉතිරි විය. එම ජනමතය ඡන්ද බවට හරවා මහින්ද ළඟට ගෙනැවිත් දුන්නේ විමල්ය. 2010 ජනපතිවරණයේ දී මහින්දගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කථිකයා වූයේ විමල්ය. විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනප්‍රිය වචනයක් වූ ‘කලවැද්දා’ විමල් මැතිවරණ වේදිකාවට ගෙන ආවේ “එම්බා කලවැද්දනි”යි තම කතාව ආරම්භ කරමිනි. ෆොන්සේකාට කලවැද්දා නොකියා කී විමල්, 2015 දී මහින්දට එරෙහිව ආ මෛත්‍රීපාල සිරිසේන ඇමතුවේ “කෝ.. මේ සිරිසේනෝ” යැයි තම කතාව අරඹමිනි. එනිසාම මහින්දටත් වඩා විපක්ෂයෙන් බැට වැදුණේ විමල්ටය. විමල්ගේ ප්‍රහාරය සතුරු පිලට එතරම්ම හානියක් කර තිබුණේය. සමාජ මාධ්‍යවල වැඩියෙන්ම විවේචන එල්ල වූයේ විමල්ටය. ජනපතිවරයා ද මෙවර විමල් තම වේදිකාවට ගන්නට උත්සාහ කළ ද එම වෑයම හරි ගියේ නැත. විමල් අද රනිල්, සජිත් හෝ නාමල් යන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේම වේදිකාවේ නැත. එනිසාම විමල්ගේ හඬ ද ප්‍රධාන වේදිකාවක නැත. ප්‍රේමදාසලා, ඔසීලා, සූරියප්පෙරුමලා, විමල්ලා සිටියා නම් වේදිකාව මෙතරම් නිදිකිරා වැටෙන්නේ ද නැත.

ප්‍රේමකීර්ති රණතුංග