උතුර රවටන පොරොන්දු


දහතුන් වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන බවට දේශපාලන පොරොන්දු යළිත් මතුව තිබේ. අද බොහෝ පක්ෂ දහතුන්වැනි සංශෝධනය සම්බන්ධයෙන් කතා කරනුයේ මැතිවරණ සමයකදී පමණක් බව පෙනී යයි. උතුරට බලය දීම දේශපාලකයන්ට මතක්වෙන්නේ උතුරේ සංචාරය කරන්නට සිදු වූ පසුවය. පසුගිය දිනවල ජනාධිපතිවරයා ද, විපක්ෂ නායකවරයා සහ ජ.වි.පෙ. නායකයා ද වරින් වර ගොස් උතුරේ ජනතාව මුණගැසුණේ මැතිවරණ සමයක් ළඟ එන නිසාය. 
මේ තිදෙනාම උතුරේ ජනතාවගේ ආකර්ෂණයට ලක්වෙන්නට උත්සාහ දරනු පෙනේ. මෙහිදී ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාස සහ ජ.වි.පෙ. නායක අනුර දිසානායක යන දෙදෙනාම 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තම රජයක් යටතේ කටයුතු කරන බව ද පැවැසූහ.
ඉකුත් දා එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමැති එස්.ජෙයිශංකර් මහතා මුණගැසුණු දෙමළ පක්ෂ නියෝජිතයෝ ද 13 වැනි සංශෝධනය ගැන කතාබහ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පැවැසුවේ, 13 වැනි සංශෝධනය ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉන්දීය විදේශ ඇමැතිවරයාට දැනුම් දුන් බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජ.වි.පෙ. නායක අනුර දිසානායක 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ගැන ද ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා දෙමළ පක්ෂ නායකයන්ගෙන් විමසා තිබිණි.


දේශපාලකයන් කවර තර්ක ගොඩනැගුව ද, දහතුන් වැනි සංශෝධනයෙන් ඇති කරන ලද පළාත් සභාවල දේශපාලන නියෝජනය අද අක්‍රියය. යහපාලන ආණ්ඩු සමයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණ ද, එම මැතිවරණය අතුරුදන් කෙරිණ. මැතිවරණය පමණක් නොව මැතිවරණය පවත්වන්නට නීතිමය ප්‍රතිපාදනය ලැබෙන ඡන්ද ක්‍රමය ද අහෝසි කෙරුණි. අලුත් පනතක් ගෙන එන බව පවසමින්, තිබූ පනත අහෝසි කළ අතර, අලුත් පනතක් ගෙන ආවේ ද නැත. ඒ නිසා දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට කාට වුවමනා වුවත්, පළාත් සභා ඡන්දය පවත්වන්නට නීතියක් දැන් රටේ නැත.
පළාත් සභා යෝජනා වුණේ 1984 දී
බලය බෙදාහැරීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් වෙන දහතුන් වැනි සංශෝධනයේ ආරම්භය සිදුවෙන්නේ බොහෝ ජනයා අතර ප්‍රකටව ඇති අසූහතේ ජුලි, ඉන්දු ලංකා ගිවිසුම මගින් නොවේ. එය අසූතුනේ ජුලි කලබල දක්වා ඈතට දිව යන්නේය. හමුදා භටයන් දහතුන් දෙනකුගේ ඝාතන සමග කොළොම්පුරය ගිනි තැබූ අසූතුනේ ජුලියේදී ජයවර්ධන රජය කරකියාගත නොහැකි තැනට පත්විය. 
කොළඹ ගිනි ගත්තේ ජයවර්ධන රජයේම පෙලඹවීම උඩය. කලහකාරීන්ට උල්පන්දම් දුන්නේ ගිනි තැබීම්වලට ගියේ එ.ජා.ප.යේම කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් මැති ඇමැතිවරුන්ය. මෙම මහා විනාශය එ.ජා.ප. ප්‍රධානීන් සිතුවාට වඩා දුර දිග ගියේය. අන්තිමේදී ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි ද කෝපයට පත්කරවීමට කොළඹ භීෂණය සමත් විය.
දුරකතනයෙන් ජේ.ආර්. ඇමතූ ගාන්ධි මැතිනිය, තම රජයේ කනස්සල්ල පළ කළාය. ලංකාවේ තත්ත්වය ගැන සලකා බැලීමට තම විදේශ කටයුතු ඇමැති පී.වී.නරසිංහ රාඕ ලංකාවට එවන බව පැවැසුවාය. ජේ.ආර්.ට මෙම මැදිහත්වීමට එකඟ වෙන්නට සිදු විය. නරසිංහ රාඕගේ පැමිණීමෙන් පසු, ඉන්දියාව ඊළාම්වාදීන්ගේ පැත්තට වඩාත් නැඹුරු විය. 1984 වෙද්දී උතුරේ ප්‍රශ්නය වෙනුවෙන් බලය බෙදාහරින යාන්ත්‍රණයක අවශ්‍යතාව ගැන ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය සාකච්ඡා පවත්වමින් සිටියෝය. මෙම බලය බෙදාහරින යාන්ත්‍රණය නම් වූයේ, ‘පළාත් සභා’ යනුවෙනි. ඉන්දියාවේ ප්‍රාන්ත සභාවල කුඩා අනුරුවක් ලෙස යෝජිත පළාත් සභා ක්‍රමය සැලකිණ. ඒ, 1984 දීය.
ඒ වෙද්දී රටේ පොදු ජනතාව අතරට මෙම යෝජිත සැලසුම ගැන ආරංචිය කාන්දු වී තිබුණේ නැත. එහෙත්, 1984 දී ජේ.ආර්. විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය සමග ද මේ ගැන යම් සාකච්ඡාවක නිරතව සිටියේය.
මේ අතරතුර උතුරේ ඊළාම් කල්ලි වේගවත් ජන ඝාතක ක්‍රියාවලියක යෙදී සිටියෝය. ‘‘ඩොලර් ෆාම්’’ වැනි ඝාතන සිදු වූයේ මේ කාලයේය. ශ්‍රී ලංකා රජය ඉන්දීය මැදිහත් වීමක් නොකෙරෙන තැනට සෙමින් වැඩ කරගෙන යද්දී, ඊළාම් සංවිධාන ඝාතන ක්‍රියාවලිය වැඩි කළෙන්, එරට රජය පළාත් සභා ඇතුළත් යෝජනා මාලාවක් මෙරට රජය වෙත දිගු කළේය. 1987 ජුලියේදී ඉන්දියා අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසින් ගුවන් ආක්‍රමණයක් ද සමග බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රජය මත පටවන ලද්දේ 1984 දී ඔවුන් විසින් යෝජනා කරන ලද මෙකී පළාත් සභා ක්‍රමයයි.
දහතුන කියන්නේ පළාත් සභාය. අද පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන නියෝජනය නැතිවය. පළාත් සභා පමණක් නොව ප්‍රාදේශීය සභා ද ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන නියෝජනය නැතිවය. දේශපාලකයන් නොමැති වූවාට එම ආයතන අපූරුවට ක්‍රියාත්මක වේ. බදු එකතු කිරීම, මධ්‍යම රජය සහ පළාතේ ඒ ඒ රාජ්‍ය ආයතන සම්බන්ධිකරණය, පළාත් සංස්කෘතික කටයුතු, අධ්‍යාපන කාර්යාල නඩත්තුව රාජ්‍ය නිලධාරීන් අතින් අපූරුවට සිදු වෙයි.


පළාත් සභා ජනතාවට අප්‍රියජනක වූයේ නිලධාරීන් නිසා නොව දේශපාලකයන් නිසාය. එම ආයතනවල වියදම් අධික වූයේත් දේශපාලකයන් රොත්තක් නඩත්තු කරන්නට යාම නිසාය. දැන් ඒ පිංගුත්තර නඩය නැත. මහ ඇමැතිගේ සිට ඇමැතිවරුන් දක්වා අතිවිශාල වරප්‍රසාද ලැබූ දේශපාලන පරපෝෂිතයන් රංචුවම අක්‍රියය. එහෙත්, පළාත් සභා සංකල්පය ඒ ඒ පළාත් සභා සංකීර්ණය යටතේ අපූරුවට ක්‍රියාත්මක වෙයි. 
රජයේ නිලධාරීන් හෙයින් අලුතෙන් අමතර වැය බරක් ද දරන්නට සිදු වෙන්නේ නැත. දේශපාලකයන් නොමැති පළාත් සභා සඳහා ජනතා විරෝධයක් මතු වෙන්නේ ද නැත. ඒ නිසා පළාත් සභා ඡන්දය පවත්වන්නට කතා කරන, පොරොන්දු දෙන දේශපාලකයන් රටට තවත් බරක් එකතු කරන්නට වෑයම් කරනවා මිස, දේශපාලකයන් නිසා රටට වී ඇති හානිය අවම කරන්නට උත්සාහ කරන බවක් අපට නොපෙනේ.
13 වැනි සංශෝධනයේ අර්බුදය ඇත්තේ නව වැනි උපලේඛනය යටතේ ඇති සංවෘත ලැයිස්තුවේය. එයට අයත් වූයේ 1987 පැවැති තත්ත්වය අනුව මධ්‍යම රජය යටතේ තබාගත යුතු අංශ හා ආයතන වේ. ජාතික ආරක්ෂාව මහ ආණ්ඩුවේ වගකීමකි. එහෙත්, අද යුදමය වාතාවරණයක් නොමැති හෙයින් පළාත් සභාවලට පවරා දිය හැකි බොහෝ අංශ මෙම ලැයිස්තුවේ සිර කර ඇත. 
තැපැල් හා විදුලි සංදේශ යටතේ, ප්‍රදර්ශනය සඳහා සිනමා චිත්‍රපට අනුමත කිරීම මහ ආණ්ඩුවේ බලයක් ලෙස තබා ගෙන ඇත. එවැන්නක් වර්තමානයේදී සංවෘත ලැයිස්තුවේ තබාගැනීමේ තේරුමක් නැත. පේටන්ට් බලපත්‍ර, කිරුම් මිනුම් නීති, පතල්, කාර්මික ආරාවුල්, බැංකු, රක්ෂණ, මූල්‍ය ආයතන මහ ආණ්ඩුවේ වගකීමෙන් පළාත් සභාවලට පැවැරිය හැකිය. සංවෘත හා සමගාමී ලැයිස්තු යටතේ පළාත් සභාවලට බලය නොපවරා ඇති ආයතන අද යුගයට නොගැළපේ. 
මෙම ලැයිස්තු නැවත සමාලෝචනය කර, එහි ඇති බොහෝ දේ පළාත් සභා යටතට පත් කළ හැකිය. එම බලතල ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට කළ හැකි අතර, දේශපාලන නියෝජනයක් අවශ්‍ය නොවේ.
ගිවිසුම දෙරටම අතහැරියා
අද ඇතැම් දේශපාලන පක්ෂ ඉන්දු ලංකා ගිවිසුම හා 13 වැනි සංශෝධනය ගැන වරින් වර කතා කළත්, සැබැවින්ම ඉන්දු - ලංකා ගිවිසුම අද දෙරට විසින්ම අතහැර දමන ලද ගිවිසුමකි. ජේ.ආර්.ගේ රජය විසින් පනවන ලද මෙම ගිවිසුම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් මුලදීම අතහැර දමන ලද්දේ ජේ.ආර්.ගේ අනුප්‍රාප්තිකයා වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසිනි. 
අසූහතේදී ඉන්දීය අගමැති මෙරටට පැමිණි අවස්ථාව මගහැරි ප්‍රේමදාස, මුල පටන්ම ඉන්දු-ලංකා ගිවිසුමට සහාය පළ නොකළේය. ඔහු ජනපති වූ පසුව අගමැති රජීව් ගාන්ධිට පැවැසුවේ, ඉක්මනින්ම ඉන්දු ලංකා ගිවිසුම වෙනුවට මිත්‍රත්ව සම්මුතියක් ආදේශ කළ යුතු බවය. 1989 ජුලි 2 වැනිදා සිට 11 වැනිදා දක්වා කාලයේ ප්‍රේමදාස සහ රජීව් ගාන්ධි අතර ලිපි හතක් හුවමාරු විය. 1989 දී ඉන්දීය මහා මැතිවරණයෙන් රජීව් ගාන්ධි පරාජයට පත්විය. අනතුරුව පැමිණි ඉන්දීය රජය රජීව්ගේ ශ්‍රී ලංකා මැදිහත් වීම පට්ට ගැසුවේය. 
ඉන්දීය නව අගමැති වී.පී. සිං, රජීව් ලංකාව වෙනුවෙන් කළ සියලු මැදිහත්වීම් වැරැදි ක්‍රියා බව ප්‍රසිද්ධියේම පිළිගත්තේය. රජීව් හා ජේ.ආර්. අතර අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මනා ලෙස පිළියෙල නොකළ ප්‍රයත්නයක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර අනවබෝධයක් ඇති වූ බවත්, වී.පී. සිං ගේ ඉන්දීය රජය කියා සිටියේය. එතැනින්ම ඉන්දු-ලංකා ගිවිසුමේ ක්‍රියාත්මකභාවය අවසන් විය. 
ඉන් පසු ඊළාම් යුද්ධය අවසන් වෙනතුරුම මෙම ගිවිසුමෙන් ප්‍රතිඵලයක් නොලැබිණි. ඉන්දු- ලංකා ගිවිසුම යනු, එල්.ටී.ටී.ඊ.ය යටපත් කිරීම ලෝකයට පෙන්නුම් කරමින් ඉන්දීය අධිරාජයාගේ භූමිකාවක් තමා විසින්ම රඟපාමින් සිටි රජීව් ගාන්ධිගේ බලහත්කාර විසඳුමක් ලංකාව පිට බලහත්කාරයෙන් පැටවීමක් පමණක් විය. එමගින් උතුරේ අර්බුදය විසඳීම සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොලැබිණි. 


ත්‍රස්තවාදීන් නිරායුධ කිරීම සඳහා ඉන්දියාව ඉදිරිපත් වුව ද, ප්‍රේමදාසගේ කඩිකුලප්පු ඉල්ලීම් හමුවේ ඉන්දීය හමුදාවට ආපසු සිය රටට යන්නට සිදු වුණේ ලජ්ජාසහගත ලෙසය. අද ලංකාව, ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පැටවූ ‘පළාත් සභා’ නමැති දේශපාලකයන් රජ කරවන, අධික වියදම්කාරී යාන්ත්‍රණයක් නඩත්තු කරයි. 
උතුරේ යුද්ධයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ පළාත් සභා ක්‍රමයට උතුරේ ප්‍රධාන ඊළාම් සංවිධානය වූ එල්.ටී.ටී.ඊ.ය කිසිදු දිනක තරග වැදුණේ නැත. එය 1987 සිට 2015 වෙන තුරුම දේශපාලන පරාජිතයන්ට සහ මහල්ලන්ට තනතුරු, යානවාහන, පහසුකම් ලබා දුන් ‘පිංගුත්තර මඩම්’ බවට පත්වී තිබිණ. ඇතැම් පක්ෂ යළිත් සක්‍රිය කරන්නට උත්සාහ කරන්නේ මෙවැනි නාස්තිකාර ආයතනයකි.
ඉන්දු - ලංකා ගිවිසුම ඉවරයි - ඩික්සිට් කියයි
ඉන්දු - ලංකා ගිවිසුම හා එහි බලපෑම් පිළිබඳ සමාලෝචනයක යෙදුණු හිටපු ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්.ඩික්සිට්, ගිවිසුමෙන් වසර දහයකට පසු පැවැති සම්මන්ත්‍රණයකදී මෙසේ කීවේය.
“1989 නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයෙන් වී.පී. සිංග් ජය ගෙන රජීව් ගාන්ධිට අගමැතිකම අහිමි වීම ජනාධිපති ප්‍රේමදාසගේ අස්වැසිල්ලට හේතු විය. ඔහුගේ නියෝජිත පිරිස නවදිල්ලියේදී ඉන්දියන් හමුදාව ඉවත් කරගැනීම ගැන සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී යහපත් ප්‍රතිචාර ලැබිණි. අවසාන වශයෙන් 1989 මාර්තු 24 වැනිදා ඉතිරි අවසාන සාම හමුදාව පිටව ගියේය. ඉන්දියන් හමුදාවේ දාහකට වඩා මියගොස් එමෙන් දෙගුණයක් තරම් තුවාල ලබා රුපියල් බිලියන 50ක තරම් වියදමක් දරමින් ගත වූ ඉන්දු - ලංකා ගිවිසුම එසේ නිමාව දුටුවාය.”
එසේය. එසේ කියන්නේ ඩික්සිට්ය. රජීව්ගේ අණ පරිදි ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාණ්ඩුවට බලපෑම් කළ ප්‍රබලම ඉන්දීය නිලධාරියාය. ඉන්දු - ලංකා ගිවිසුමේ සුළු පියාය. ගිවිසුමේ සුළු පියාට අනුව, දැන් ඉන්දු - ලංකා ගිවිසුමක් නැත. රජීව්ට පසු ආ ඉන්දුකුමාර් ගුජ්රාල්ගේ ආණ්ඩුව කියා සිටියේ, ඉන්දීය බලහත්කාරය ගැන අපට සමාවෙන්න කියාය. ගිවිසුම නායකයන් දෙදෙනකු අතර අත්සන් තැබූවක් මිස, රාජ්‍යයන් දෙක අතර අත්සන් තැබූවක් නොවන බවය. ඉන්දියාව දිගින් දිගටම ඉන්දු - ලංකා ගිවිසුම හෝ පළාත් සභා බලතල තව තවත් වැඩි කරන්න කියා හෝ නොකියන රහස ඒකය.
දකුණේ දේශපාලකයන්ගේ ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය නිසා අමාරුවේ වැටුණු උතුරේ දේශපාලකයකු වෙන්නේ, හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ය. ජේ.ආර්.ජයවර්ධන රජය සමයේ ඉන්දීය හමුදා මෙරටට පැමිණි පසු ඇති කරන ලද පළමු පළාත් සභාවේ මහ ඇමැති වූයේ වර්ධරාජාය. එල්.ටී.ටී.ඊ. තර්ජන තිබියදීත් ඔහු පළාත් සභාවට තරග කර මහ ඇමැති පදවිය ලබාගත්තේ දුෂ්කරම මොහොතකය. ඔහු එමගින් පෙන්වා සිටියේ දකුණේ රජය සමග එකඟව බැඳී පවත්නා බවයි. 
එහෙත්, දකුණේ සමාජයම ඔහුගේ ධෛර්යය අගය කළේ නැත. ජයවර්ධනගෙන් පසු ජනාධිපති වූ ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ.යත් සමග මිත්‍රව සිටි සමයේ කොළඹ ආණ්ඩුවේ ක්‍රෝධයට ලක්වූ වර්ධරාජා ට ඉන්දීය හමුදා නික්ම යද්දී තමිල්නාඩුවට පලා ගොස් එහි රැකවරණ පැතීමට සිදු විය. එදා එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කොළඹ ආණ්ඩුව වර්ධරාජාගේ පළාත් සභාව ශක්තිමත් කළේ නම්, එල්.ටී.ටී.ඊ.ය ජාත්‍යන්තරයෙන් ද හුදෙකලා වෙන්නට තිබිණ. 
එහෙත්, කොළඹ දේශපාලකයන්ගේ අවස්ථාවාදී බලලෝභී දේශපාලනය නිසා එම අනගි අවස්ථාව මගහැරුණු අතර, එල්.ටී.ටී.ඊ. විරෝධී දමිළ දේශපාලන කණ්ඩායම් නිරපරාදේ විනාශ වී ගියේය. එල්.ටී.ටී.ඊ.ය උතුරේ එකම දේශපාලන කණ්ඩායම බවට පත්කිරීමට අපගේ ආණ්ඩු පවා දායක වූයේ ඒ ආකාරයෙනි.
බලය බෙදීමේ ප්‍රයෝජන ගැන අද ජනතාව එදාට වඩා දැනුවත්ය. එදා කොළඹින් පමණක් ගත හැකිව තිබූ උප්පැන්න සහතික පිටපත් අද ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගත හැකිය. වාහන ආදායම් බලපත්‍ර ද ලබා ගැනීම ඉතාම පහසුය. අසූහතේ පළාත් සභා ස්ථාපිත කරන්නට පෙර තිබුණාට වඩා බොහෝ පහසුකම් අද තමාට ආසන්න නගරයෙන්ම ලබාගත හැකි පරිදි රාජ්‍ය සේවය ගමට පැමිණ තිබේ. 
ඒ නිසා මධ්‍යම රජය යටතේ හිර කරගෙන ඇති තවත් බොහෝ බලතල පළාත් සභාවලට පැවැරුවාට ජනතාව විරුද්ධ වෙන්නේ නැත. ‘පළා බබා - අපට එපා’ කියන්නේත් නැත. ජනතාව එපා කියන්නේ, පළාත් සභා ඡන්දය යළි පවත්වා මහජන මුදලින් යැපෙන පිංගුත්තරයන් පිරිසක් යළිත් බිහි කරනවාටය. බලය බෙදීමට හැමදාම විරුද්ධ වුණේ දේශපාලකයන්ය. 
ජනතාව විරුද්ධ වුණේ බලය බෙදීමට නොව දේශපාලන පක්ෂවල බත් බැලයන් පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස පළාත් සභා තුළට රිංගනවාටය. ඒ නිසා දකුණේ ජනතාවට එපා වී ඇති පළාත් සභා මැති ඇමැති රංචුවක් උතුරේ ජනතාවට ලබා දුන් පමණින් උතුරේ ජනතා ප්‍රශ්න විසඳෙන්නේ නැත. විසඳා දිය යුත්තේ දේශපාලකයන්ගේ නොව ජනතාවගේ ප්‍රශ්න ය.
දේශපාලන පිංගුත්තරයන් නඩත්තු කළ ආයතනයක් වුවත්, සංකල්පයක් ලෙස පළාත් සභා ක්‍රමය අසාර්ථක නොවූ බව අද වෙන විට සෑම පළාතකම කච්චේරියටත් වඩා ඉහළින් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවත්වාගෙන යන පළාත් සභා දෙස බැලූ විට නිරීක්ෂණය කළ හැකිය. කොළඹට සීමා වී තිබූ රාජ්‍ය බලය ගැමියා ළඟට ගෙන ගිය ආයතනයක් වෙන්නේ පළාත් සභාය.
ඒ නිසා, දහතුන ක්‍රියාත්මක කිරීම හෝ වෙන අන් නමකින් හෝ වේවා උතුරේ ජනතාවට පරිපාලන බලතල ඇති යම් ඒකකයක් අවැසිය. ඒ සඳහා උතුරට ගොස් කතා පවත්වා එනවාට වඩා, පාර්ලිමේන්තුවේදී පොදු මතයකට එකඟ වීමෙන් දකුණේ සියලු දේශපාලන පක්ෂවලට උතුරේ ජනතාවට සාධාරණයක් ඉටුකළ හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග