උතුරු නැගෙනහිර තීන්දුව


මෙ    වර ජනාධි-පතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලත් ඡන්දදායක පිරිස එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට ආසන්නය. එහෙත්, ඒ සමස්ත පිරිසම මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන්නේ නැත. 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ ප්‍රතිශතය සියයට අසූහතරකි. 2019 දී ද එම ප්‍රතිශතය සියයට අසූහතරක් විය. මෙවර ද සියයට අසූහතරක් ඡන්දය පාවිචිච් කළහොත්, මෙවර වැටෙන්නේ එක්කෝටි හතළිස් ලක්‍ෂයකි. එයින් ජයග්‍රහණයට අවශ්‍ය සියයට පනහක ප්‍රමාණය යනු, ඡන්ද ලක්‍ෂ හැත්තෑවකි.
මේ මොහොතේ ඡන්ද ලක්‍ෂ හැත්තෑවක් ගතහැකි අපේක්‍ෂකයා කවුරුන් ද? කිසිම අපේක්‍ෂකයකුට තනිවම ලක්‍ෂ හෑත්තෑවක ඡන්ද ගත හැකි යැයි කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. 
එනිසා මෙවර ද තීරණාත්මක වෙන්නේ උතුරේ ජනමතයයි. ලක්‍ෂ හතළිහකට ආසන්න මෙරට සුළු ජන කොටස්වල ඡන්ද ජනාධිපතිවරණයකදී තීරණාත්මක බලපෑමක් ඉටුකරයි. එයට උතුර, නැගෙනහිර සහ වතුකරයේත්, කොළඹ නගරයේත් දෙමළ, මුස්ලිම් හා ඉන්දියානු දෙමළ යන ජන වර්ග තුනේ ඡන්ද ඇතුළත් වෙයි. පොදුවේ සිංහල ජනතාව මතවාද කිහිපයකට බෙදී සිටි 2015 ජනාධිපතිවරණයේදී, එ.ජා.ප. ප්‍රමුඛ පොදු විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ, ප්‍රධාන වශයෙන්ම ඉහත කී සුළුතර ඡන්දදායකයාගේ ඡන්දයෙනි. එහිදී මෛත්‍රීපාල සිරිසේනට උතුරු නැගෙනහිරෙන් ඡන්ද නව ලක්‍ෂ හෑත්තෑඅට දහසක් ලැබිණි. එහෙත්, මේ වෙද්දී උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද හැසිරවීමේ තනි බලයක් උතුරේ දෙමළ සන්ධානයට නැත. 


මෙරට ජනාධිපතිවරණ ඡන්ද ක්‍රමය අනුව, කොතරම් අපේක්‍ෂකයන් තරග වැදුණ ද, ජයග්‍රහණය කරන්නේ එක් අයෙකි. ඉතිරි සියලුම දෙනාට ලැබෙන ඡන්දවලට වටිනාකමක් නොලැබේ. මහ මැතිවරණයකදී නම්, එම ඡන්දවලට මන්ත්‍රී ආසන යම් ප්‍රමාණය බැගින් ලැබෙන නිසා, එම ඡන්දවලට වටිනාකමක් ලැබේ. ජනාධිපතිවරණයකදී ජයග්‍රාහකයා විධායක ජනාධිපති වීමේ ප්‍රීතිය භුක්ති විඳිද්දී, සෙසු සියලුම අපේක්‍ෂකයන්ට තම තමන් යෙදී සිටි රාජකාරිවලට ආපසු යාමට සිදුවෙයි. මේ නිසා ලංකාවේ සුළු ජන වර්ග නියෝජනය කරන පක්‍ෂ කරන්නේ, ජය ගනු ඇතැයි පෙනෙන අපේක්‍ෂකයන් සමග ගිවිසුම්ගත වී, ඔවුනට තම ජන කොටසේ ඡන්ද ලබා දීමය. සමහරු ඒ වෙනුවෙන් වාසිදායක ඇමැති ධුර ද, සමහරු මුදල් ද, ඇතැම්හු සිය ජන වර්ගයට යම් යම් විශේෂ වරප්‍රසාද ද ලබා ගනිති. මෙවර ද කිසිම සුළු ජන වර්ගයක අපේක්‍ෂකයකු තරග නොවදින අතර, සුළු ජන වර්ග නායකයන්, ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකයා වටා ගොනු වී ඇති ආකාරය දැකගත හැකිය. 
මේ වෙන විට, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්ව සිටී.එහෙත් එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනාම සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. මුස්ලිම් කොංග්‍රසයේ තත්ත්වය ද එවැනිය. පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා පමණක් ස.ජ.බ. අපේක්‍ෂක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන අතර, ඔහුගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාම සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. මෙවර මුස්ලිම් පක්‍ෂ දෙකේ දේශපාලනය අමුතුය. පක්‍ෂ නායකයන් එක් අපේක්‍ෂකයකු ළඟ ද,මන්ත්‍රීවරුන් තවත් අපේක්‍ෂකයකු ළඟ ද රැඳී සිටීමෙන් පෙනෙන්නේ මුස්ලිම් ප්‍රජාව කකුල් දෙක දෙපැත්තේම තියාගෙන සිටින ආකාරයකි. මෙම අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කළත්, පක්‍ෂ දෙකම ජයග්‍රාහකයා ළඟ සිටින ආකාරයක් එයින් පෙනේ. රිෂාඩ් සහ හකීම් යන පක්‍ෂ නායකයන් දෙදෙනාම, විපක්‍ෂ නායකවරයා ජයගතහොත්, ඔහුගෙන් වැඩි වරප්‍රසාද ඉල්ලා ගිවිසුම්ගතව සිටින අතර, එම දෙදෙනාගේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ළඟට එක්ව සිටින්නේ, ඔහු ජයගතහොත් වැඩි වරප්‍රසාද ලබන අපේක්‍ෂාවෙනි. 
දේශපාලන පක්‍ෂයකට රාජ්‍ය නායකයාගෙන් යමක් ලබාගත හැකි වෙන්නේ, මෙවැනි ජනාධිපතිවරණයකදී කොන්දේසි ඉදිරිපත් කිරීමෙනි. රාජ්‍ය නායකයාට පක්‍ෂයක් නැති නම්, ඔහුගේ පක්‍ෂයේ ඡන්ද පදනම දුර්වල නම්, කුඩා පක්‍ෂවල සහාය අතිශය වැදගත්ය. එසේ වූ විට කුඩා පක්‍ෂ තම පක්‍ෂයට වාසි වෙන බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කරයි. එවිට රාජ්‍ය නායකයා වීමට බලාපොරොත්තු වෙන දේශපාලකයා එම ඉල්ලීම් ඉටු කර දී, කුඩා පක්‍ෂයේ ඡන්ද කුට්ටිය තමාට දිනා ගනියි. දශක ගණනාවක්ම ලංකා දේශපාලනයේ සිදුවූයේ එවැනි ගනුදෙනු ය. උතුරේ දෙමළ පක්‍ෂ ද, දකුණේ කුඩා පක්‍ෂ ද, මුස්ලිම් කොංග්‍රසය ද, වතු කම්කරු වෘත්තීය සමිති ද සිදු කළේ මෙවැනි ගනුදෙනු ය. 


එම ගනුදෙනුවලින් එම පක්‍ෂවලට යහපතක් වූවාට, රටේ දේශපාලන තත්ත්වය තව තවත් අවුල් වූවා මිස රටට වූ සුගතියක් නැත. 
මේ සඳහා එක් උදාහරණයක් වෙන්නේ, 1988 දී පැවැති දෙවැනි ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්‍ෂකයා වූ, අගමැති රණසිංහ ප්‍රේමදාසට සහාය පළ කළ මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ්ට අවශ්‍ය වූයේ, දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය තවදුරටත් අවම කරගැනීමටය. ඒ අනුව, 14 වැනි සහ 15 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එමින් අෂ්රොෆ්ගේ ඉල්ලීම් ඉටු කර දුන් අතර, අෂ්රොෆ් මුස්ලිම් ජනතාවගේ සහාය ප්‍රේමදාසට ලබා දුන්නේය.
ව්‍යවස්ථාවට 14 හා 15 ලෙස ගෙන ආ සංශෝධන මගින් එතෙක් යම් පක්‍ෂයක් දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් හිමි කරගැනීමේ අවම ඡන්ද ප්‍රමාණය වූ අටෙන් එක, විස්සෙන් එක ලෙස වෙනස් කෙරිණි. එමගින් කුඩා පක්‍ෂවලට වාසි සැලසුණේය. එහෙත්, මෙමගින් සමානුපාතික ඡන්ද ක්‍රමය තවදුරටත් අවුල් ජාලයක් බවට පත්වුණේය.
මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ් ඊළඟ වාසිය ලබා ගත්තේ ජනාධිපති අපේක්‍ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගට සහාය ලබා දීමෙනි. ඔහු ඇයට මුස්ලිම් ඡන්ද ලබා දෙන අතර, ඒ වෙනුවෙන් ඇගේ කැබිනට්ටුවේ වරාය හා නාවික ඇමැති ධුරය අෂ්රොෆ්ට අවශ්‍ය විය. චන්ද්‍රිකාගේ ජයග්‍රහණයෙන් පසු, පොරොන්දුව ඒ ලෙසම ඉටු කෙරිණි. එ.ජා.ප. පරදවා අභිනවයෙන් පිහිටුවූ රජයේ බලවත් ඇමැති ධුරයක් වූයේ අෂ්රොෆ්ගේ වරාය අමාත්‍යාංශය ය. කල්මුණේට නුදුරින් පිහිටි ඔලුවිල් කුඩා ධීවර තොටුපොළ වරායක් බවට පත් කළේ ඔහුගේ වරාය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනි. අද සුදු අලියකු වී ඇති එම වරාය වෙනුවෙන්, රජය රුපියල් කෝටි ගණනක් වැය කළේය. ජාත්‍යන්තර නාවික මාර්ගය පෙනෙන දුරින් පිහිටි ඔලුවිල් වරාය ජාත්‍යන්තර වරායක් ලෙස ගොඩනගන බව එකල කීව ද, එයට ආ එක නැවක්වත් නැත. අද එය කොළඹ වරාය සේවකයන්ගේ විවේක තිප්පොළකි. එල්.ටී.ටී.ඊ.ය සමග පැවැති සටන් විරාම සමයේ, අෂ්රොෆ්ගේ අණ යටතේ වරායට ආ සමහර බඩු නිදහස් කළ ද, ඒවා අතර එල්.ටී.ටී.ඊ.යට ගිය තහනම් බඩු ද තිබිණි. ඒ නිසා එදා අෂ්රොෆ්ගේ භූමිකාව තදබල විවේචනයට තුඩුදුන්නේය.
සුළු ජාතික පක්‍ෂවල සැඟවුණු න්‍යායපත්‍රයක් අපට දැකගත හැකි වූයේ 2015 ජනාධිපතිවරණයේදීය. එහිදී රාජපක්‍ෂ පාලනය සිතාගෙන සිටියේ, තමන් උතුරු නැගෙනහිරට කළ සේවය නිසා උතුරේ ඡන්ද ලැබෙන්නේ තමන්ට බවය. සුමන්තිරන්, සම්පන්දන් මෙන්ම මහ ඇමැති විග්නේෂ්වරන් ද ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියහ. ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂකයකු ඉදිරිපත් කළේ නැත. කිසිදු අපේක්‍ෂකයකුට ප්‍රසිද්ධියේ සහාය පළ කළේ ද නැත. ඔවුන් පැවැසුවේ, දමිළ ජනතාවට තමන් බලපෑම් නොකරන බවත්, ඔවුන්ට ස්වාධීන තීන්දුවක් ගැනීමට ඉඩ දී ඇති බවත්ය. එහෙත්, ඡන්ද ප්‍රතිඵල පිටවෙද්දී, ඒ ස්වාධීන තීන්දුවේ තරම දැකගත හැකි විය. උතුරේ ජනතාව උදෑසනම ඡන්දපොළට ගොස් සිටියහ. අන් මැතිවරණවලට වඩා වැඩියෙන් ඡන්දය පාවිච්චි කර තිබිණි. ඡන්ද සියල්ල ලැබුණේ පොදු අපේක්‍ෂක සිරිසේනටය. 
නැගෙනහිර පළාතේ තත්ත්වය එයට වෙනස්ය. මඩකළපුවේ දෙමළ ඡන්ද ලබා දෙන්නේ කාටදැයි තීන්දු කරන බලය ඇත්තේ ප්‍රධානකොටම ‘කරුණා අම්මාන්’ අතය. කරුණා නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි සමයේ සිටම තමන්ටම අනන්‍ය වූ ගමනක් පෙන්නුම් කරමින් සිටියේය. 2004 මහ මැතිවරණයේදී කරුණා තමාට හිතවත් මන්ත්‍රීවරුන් පස් දෙනකු පාර්ලිමේන්තුවට යවාගන්නට ජනතාව මෙහෙයවීය. මඩකළපුවේ බලය තිබුණේ කරුණාටය. එමගින් ඔහු දේශපාලන පදනමක් හදාගත්තේය. එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත් වූ පසුව, කරුණා නැගෙනහිර දේශපාලනයට ප්‍රවිශ්ට වූයේ ඔවුන්ගේ උපකාරයෙනි. අදට ද කරුණාට නැගෙනහිර දෙමළ ජන පදනමේ සෑහෙන ශක්තියක් තිබේ. ඔහුගෙන් කැඩී ගිය පිල්ලෙයාන්ට ද නැගෙනහිර දෙමළ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව තිබේ. වියාලේන්ද්‍රන්, නෂීර් අහමඩ් අතාවුල්ලා තම තමන්ගේ පදනම් ප්‍රදේශවල ඡන්ද පොකුරු හැසිරවීමට සමත් හැකියාවෙන් යුතුය. මෙම ඡන්ද පොකුරු නැගෙනහිර පළාතේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 1988 ජනාධිපතිවරණයේදී ද ප්‍රේමදාස යාන්තමින් එතෙර වූ ජයග්‍රහණය සඳහා ඡන්ද ලක්‍ෂ ගණනක් ලැබුණේ නැගෙනහිර පළාතෙනි. නැගෙනහිර පළාත තිබුණේ සම්පූර්ණයෙන් ඉන්දියානු හමුදාවේ ආධිපත්‍යය යටතේය. එහි ඡන්ද වළක්වන්නට ජ.වි.පෙ.ට බලයක් තිබුණේ නැත. අෂ්රොෆ් ප්‍රේමදාසට වූ පොරොන්දුව ඉටු කරමින් නැගෙනහිර මුස්ලිම් ජනගහනයේ ඡන්ද සියල්ලම ප්‍රේමදාසට ලබා දුන්නේය. වර්තමානයේ නැගෙනහිර මුස්ලිම් ඡන්ද එක් පක්‍ෂයකට නොව මන්ත්‍රීවරුන් කේන්ද්‍ර කරගෙන ගොනු වී ඇති බව නිරීක්ෂණය වෙයි. 


දෙමළ සන්ධානය දෙකඩ වීමේ වාසිය
දෙමළ සන්ධානය නිර්මාණය වී තිබුණේ පක්‍ෂ හතරක එකතුවෙනි. ඉලංගෙයි තමිල් අරසුකච්චි, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. එම පක්‍ෂ හතර විය. ඊ.පී.ආර්.එල්.එෆ්. කලකට පෙර දෙමළ සන්ධානයෙන් ඉවත් විය. ඉතිරිව සිටියේ පක්‍ෂ තුනකි. මේ වෙද්දී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය ඉතිරි කර, ඉතිරි පක්ෂ දෙක ද දෙමළ සන්ධානයෙන් ඉවත්ව ගොස් ඇත. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් යුත් තුල්සි කණ්ඩායම නමින් හැඳින්වෙන සන්ධාන එක්ව දෙමළ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කර ඇත. හක්ගෙඩිය ලාංඡනයෙන් ඉදිරිපත්ව 
සිටින අරියනේත්තිරන් පාක්කියසෙල්වම් මෙකී පොදු අපේක්‍ෂකයාය. 
උතුරේ දෙමළ දේශපාලනයේ ප්‍රබල පක්‍ෂය වෙන්නේ, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයයි. එය සභාග දේශපාලනයේ ශ්‍රී.ල.නි.ප.ට සමානය. ටී.එල්.ඒ.හි තනි වූ අරසුකච්චි පක්‍ෂය මෙම ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ දකුණේ කුමන අපේක්‍ෂකයාට දැයි තවමත් තීරණය කර නැත. උතුරේ පොදු අපේක්‍ෂකයාට සහාය නොදෙන බව ඔවුන් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණ. එම පක්‍ෂයේ නායක සම්පන්දන්ගේ අභාවයෙන් හිස් වූ නායකත්ව හිඩැස ද මෙම තීන්දුව ප්‍රමාද වීමට බලපා තිබේ. පක්‍ෂයේ මීළඟ නායකත්වය සඳහා ශ්‍රීධරන් සහ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අතර මේ වෙන විට ගැටුමක් පවතියි. ඒ අතරතුර ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ප්‍රකාශ කළේ, පක්‍ෂයේ සහාය ගැන කුමන තීන්දුවක් ගත්තත්, තමා දෙමළ පොදු අපේක්‍ෂක පී. අරියනේත්තිරන් වෙත සහාය ලබා දෙන බවය. තමා මන්ත්‍රීවරයකු වූයේ දෙමළ ජනතාවගේ සහායෙන් නිසා, දෙමළ ජාතියට හා ජනතාවට සහයෝගය දැක්වීමක් වශයෙන් තමන්ගේ පූර්ණ සහයෝගය දෙමළ පොදු අපේක්‍ෂකයා වෙත ලබා දෙන බවය. 
දෙමළ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය වෙන අරසුකච්චි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකුගේ මෙම තීරණය, මේ දිනවල උතුරේ ජනතාවට යම් ආකර්ෂණයක් ඇති කර තිබෙන පොදු අපේක්‍ෂකයාට ජනතාව තවත් නැඹුරු කරන තීන්දුවක් ලෙස සැලකේ. එය උතුරට එසේ වෙද්දී, දකුණේ ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනා අතර තරගය තීව්‍ර වුවහොත්, අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඍජු බලපෑමක් ද වෙන්නේය. එය එසේ වෙන්නේ, උතුරේ ඡන්ද යම් ප්‍රමාණයක් දකුණේ අපේක්‍ෂකයන්ට නොලැබී, උතුරේම රැඳී පැවැතීම දකුණේ අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණයට තීරණාත්මක බලපෑමක් ඇති කිරීමය. 
මෙවර යම් අපේක්‍ෂකයකු ජයග්‍රහණය කරන්නේ දෙවැනියාට වඩා ඉතා සුළු ඡන්ද ගණනකිනි. එවැනි අවස්ථාවක, උතුරේ පොදු අපේක්‍ෂකයාට එකතු වෙන ඡන්ද ගණන දකුණේ ප්‍රතිඵලයට එකතු නොවීම යනු, දකුණේ අපේක්‍ෂකයන්ට සිංහල ඡන්දවලින්ම යැපෙන්නට සිදුවීමය. උතුරේ ඡන්ද වැඩි ප්‍රමාණයක් ඇති තමිල් අරසුකච්චි පක්‍ෂයේ තීන්දුව තවමත් නොගැනීමට හේතුව ද, දිනන අපේක්‍ෂකයා තවමත් අපැහැදිලි වීමය. දිනන්නේ කවුරුන්දැයි දැනට පවතින ව්‍යාකූල තත්ත්වය අවසාන සතිය වෙද්දී වෙනස් වෙනු ඇති බවත්, ඒ අනුව ජයග්‍රාහී අපේක්‍ෂකයාට ඔවුන්ගේ සහාය ලැබෙනු ඇති බවත්, උතුරේ දේශපාලනයේ කතාබහට ලක්ව ඇත.
උතුරේ කුඩා පක්‍ෂ වෙන විග්නේෂ්වරන්ගේ පක්‍ෂය සහ ඊරෝස් කණ්ඩායම, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර ඇත. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් තවමත් තීරණයක් ගෙන නැත. උතුරේ දූපත්වල බලය ඇත්තේ ඊ.පී.ඩී.පී. සංවිධානයටය. ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුතු එම පක්‍ෂය ජනාධිපතිවරයාට සහාය පළ කරයි. 
දෙමළ ජනතා පෙරමුණ මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත. 
“කවුරු බලයට ආවත් එයින් දෙමළ ජනතාවට කිසිදු වෙනසක් සිදු නොවේ. මෙරට සෑම ජනාධිපතිවරයකුම දෙමළ ජනතාව සහ ඔවුන්ගේ ස්වයං නිර්ණය සඳහා වූ අභිලාෂය මර්දනය කර ඇත. මෙවර තරග කරන අයගෙන් ද කිසිවෙකු වෙනස් බව පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ ඡන්ද පෙට්ටිවලින් අපට කිසිදු විමුක්තියක් සොයාගත නොහැකි වෙනු ඇත...” එම පෙරමුණේ මතය තම සගයන් අතර එසේ බෙදාහැර තිබිණ. 
මතුපිට දේශපාලනයේදී කුමක් පෙනෙන්නට තිබුණ ද, මෙරට සුළු ජාතික පක්‍ෂ නායකයන් හැසිරවීමේ බලය ඇත්තේ ඉන්දියාවට බව රහසක් නොවේ. උතුරේ දෙමළ, වතුකරයේ දෙමළ නායකයන් පමණක් නොව නැගෙනහිර පළාතේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් දේශපාලකයන් පවා හැසිරවීමේ බලය ඇත්තේ ඉන්දියාවටය. තවමත් අගක් මුලක් හෙළිදරව් වී නැති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඔත්තුව මුලින්ම මෙරටට ලැබුණේ ඉන්දීය රහස් ඔස්තු සේවයෙනි. තමිල්නාඩුවේ ක්‍රියාත්මක මුස්ලිම් කල්ලියක නායකයකුගෙන් ලැබූ එම ඔත්තුව අනුව ප්‍රහාරක නායකයන්ගේ නම්, ලිපින පවා මෙරට ඔත්තු සේවාවන්ට දන්වා එවා තිබුණ ද, ප්‍රහාරය වැළැක්වීමේ ශක්තියක් මෙරට ආරක්‍ෂක අංශවලට තිබුණේ නැත. 
එහෙත්, එමගින් අපට නිරීක්‍ෂණය කළ හැකි වෙන්නේ, මෙරට මුස්ලිම්වරුන් පාලනය කිරීමෙහිලා ඉන්දියාවට ඇති හැකියාවය. නැගෙනහිර පළාතේ ජීවත්වෙන මුස්ලිම්වරුන් අති බහුතරයක් දැනට වසර පන්සියයකට මෙහා කාලයේ ඉන්දියාවෙන් මෙරටට පැමිණි පවුල්වලින් පැවැතෙන්නන් බව ද සිහි තබාගත යුතුය. ඒ අනුව, මෙරට මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ තීරක බලය ඇත්තේ සුළු ජාතික ඡන්ද වැටෙන ප්‍රමාණය අනුවය. ඒ අනුව, දැනට තීන්දුවක් ලබා දී නැති දෙමළ සන්ධානය 2015 දී මෙන් අවසාන මොහොතේ තම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්‍ෂිතය. එම තීන්දුව නවදිල්ලියෙන් ලැබෙන උපදෙස් මත තීන්දු වෙනු ඇත. ඉන්දියාව සහ ලංකාව අතර දැනට ආරම්භ වී ඇති ආයෝජන තවදුරටත් ස්ථිරව පවත්වාගෙන යාම සඳහා බලපෑම් කළ හැකි අපේක්‍ෂකයකු දිනවීම ඉන්දියාවේ අපේක්‍ෂාව වෙනු ඇත. මුස්ලිම් නායකයන්ට ද එම පණිවිඩය ඒ ලෙසම ලැබෙනු ඇති අතර, ඒ අනුව, මේ වෙන විට ඔවුන් ගෙන ඇති තීන්දු සංශෝධනය වීමට ද ඉඩ ඇත. 2015 දී මෙන් මෙවර ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තීරණය වෙනු ඇත්තේ, බහුතර සිංහල ඡන්දවලින් නොව ලක්‍ෂ හතළිහකට ආසන්න සුළු ජන ඡන්දවලිනි.