නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළද එහි පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරමින් අවසාන තීරණය ගනු ලබන්නේ ජනතාව විසින් බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි. අවස්ථා කිහිපයකදී පත්වූ විවිධ රජයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරනු ලැබූවද ඒවාට පොදු එකඟතාවක් නොමැති බව විපක්ෂනායක සම්පන්දන් මහතා ප්‍රකාශ කළේ “ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති සාකච්ඡාවකදීය.
මේ සම්පන්දන් මහතා සමඟ කළ සාකච්ඡාවයි.
ප්‍රශ්නය:- විපක්ෂනායකතුමනි, කොහොමද රටේ දේශපාලන තත්ත්වය?
පිළිතුර:- දේශපාලන තත්ත්වය වැරැදියි කියලා කියන්න බැහැ. තවත් හොඳ වෙන්න පුළුවන්. තවත් හොඳ වෙන්න ඕනෑ.
ප්‍රශ්නය:- නව ව්‍යවස්ථාව නිසා අස්ථාවරභාවයක් ඇතිවෙලා තිබෙනවා නේද?
පිළිතුර:- අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන කොට එක පාරටම සියලු දෙනාටම එකතු වෙන්න බැහැ. සියලු දෙනාම එකම මතයකට එන්නත් බැහැ. විශේෂයෙන්ම දැන් විපක්ෂයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ වෙලා දැන් නව සංකල්පයක් වශයෙන් යහපාලන ආණ්ඩුවක් ගෙන යනවා. නිදහස් පක්ෂයේ කොටසක් මේ ක්‍රමයට විරුද්ධයි. ඔවුනිගේ අදහස් අනුව එක පාරටම එකඟවෙයි කියලා අපට බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ මේ දිනවල කෙරෙන විවාදයෙන් පස්සේ යම් තීරණයක් ඔවුන් ගනීවි කියලා හිතෙනවා. මේ විවාදයෙන් පස්සේ නව ව්‍යවස්ථාවට විරුද්ධ අයත් සහයෝගය දක්වයි කියලා අපි විශ්වාස කරනවා. එක එක ගැටලු තිබෙන්න පුළුවන්. ඒවා විසඳාගන්න බැරි ප්‍රශ්න නොවෙයි. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. 1978 ව්‍යවස්ථාව ඉවත් කරන්න ඕනෑ කියලා සියලු දෙනාම ඉල්ලා සිටියානේ. අපට ඒවා මතකයිනේ. එක්සත් ජාතික පක්ෂය තමයි ඒ යෝජනාව ගෙන ආවේ. දැන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍යත් එකඟතාවකට පැමිණිලා තිබෙනවා ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා. ඒ සම්බන්ධව මේ විවාදයෙන් පස්සේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් වෙයි. අපි ටිකක් බලමු කොහොමද ඉදිරියට ඇති වෙන තත්ත්වය කියලා.
ප්‍රශ්නය:- ප්‍රධාන විපක්ෂය හැටියට දෙමළ ජාතික සන්ධානය කොහොමද මේ ව්‍යවස්ථාව දකින්නේ?
පිළිතුර:- අපි සියලු දෙනා එකතුවෙලා සහයෝගයෙන් වැඩ කළ යුතුයි. එතකොට තමයි රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි සියලු දෙනාම සහයෝගයෙන් එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සකස් කිරීමට සහයෝගය ලබාදෙන්න ඕනැ. මොනයම් ව්‍යවස්ථාවක් ගෙන ආවත් ඒක පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත වෙන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට යොමු කරලා ජනමත විචාරණයකින් සම්මත කරගන්න අවශ්‍යයි. ඒක නිසා කිසි කෙනෙකුට හොර රහසේ ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බැහැ. ජනතාවගේ කැමැත්ත නැතුව සම්මත කර ගැනීමට නොහැකිනම් ජනතාවට බොරු කරන්න බැහැනේ.
ප්‍රශ්නය:- එතකොට මේ ව්‍යවස්ථාවට 2/3ක බලයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙයිද?
පිළිතුර:- ඒ ගැන මට දැන්ම කියන්න බැහැ. ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. 2/3ක බලයක් ලබා නොදීමට කාරණාවක් නැහැ. මම දකින විදිහට.
ප්‍රශ්නය:- ඔබතුමාලා විපක්ෂය හැටියට සහය ලබාදෙනවාද?
පිළිතුර:- අපි අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා හිතනවා. ඒ සම්බන්ධව ව්‍යවස්ථාව නිසි ලෙස සකස් කළාට පස්සේ ඒ දෙස පුළුල් ලෙස බලලා, අධ්‍යයනය කරලා අපි ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා. දැන්ම ඒ ගැන කියන්න බැහැ. තවම ව්‍යවස්ථාව සකස් කරලා අවසන් වෙලා නැහැනේ.
ප්‍රශ්නය:- ඔබලා උතුරට ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයි. උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි කියලා ඉල්ලීමක් කළා. මේ ව්‍යවස්ථාවේ ඒක නැහැ. ඒ නිසා ඔබලාගේ තීරණය කුමක්ද?
පිළිතුර:- ඒ සම්බන්ධව අපි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කියවලා තීන්දුවක් ගන්න තිබෙන අවස්ථාවේ ගන්නවා. ඒ පිළිබඳ දැන් කථා කිරීම අනවශ්‍ය කාරණයක් කියලා තමයි මම සිතන්නේ.
ප්‍රශ්නය:- විපක්ෂ නායකතුමනි, දැන් උතුරේ දේශපාපලනඥයන් නිතර කියන දෙයක් තමයි උතුරේ ජනතාවට ගැටලු රැසක් තිබෙනවා කියලා. මොනවාද ඒ ගැටලු?
පිළිතුර:- විශේෂයෙන් ඉඩම් ප්‍රශ්නය. ඔවුන්ගේ මුල් ඉඩම්වල හමුදා කඳවුරු ස්ථාපනය කළා. ඒවා යුද්ධය නිමාවෙලා වසර 8 ක් ගියත් තවම නියම අයිතිකරුවන්ට ලබාදීලා නැහැ. ඊළඟට අතුරුදන් වූවන්ගේ ගැටලුව. ඒකටත් තවම විසඳුමක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධවත් ප්‍රශ්නයක් තිබෙනවා. බොහෝ දෙනෙක් බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන් නිදහස් කරනවාද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවාද කියලා තවම ස්ථිර තීරණයක් නැහැ. ඔවුනට සහනයක් ලබා දෙන්න ඕනැ. ගොඩක් අයට රැකියා නැහැ. ඉතා අපහසුතාවෙන් ජීවත්වෙන්නේ. ඔය වගේ බොහෝ ගැටලු තිබෙනවා.
ලක්ෂයක් පමණ වැන්දඹු කාන්තාවන් සිටිනවා. ඔවුන්ට රැකියා නැහැ. ජීවත් වෙන්නේ ඉතාම අමාරුවෙන්. තවත් පිරිසක් ඉන්නවා පවුලේ සහෝදරියෝ, සහෝදරයන්, අම්මා, තාත්තා අතුරැදන් වෙලා. ඉතින් ඔය වගේ ගැටලු ගොඩාක් තිබෙනවා.
ප්‍රශ්නය:- ඒ ගැන ඔබතුමන්ලා ආණ්ඩුවට දැනුම් දුන්නා නේද? ඒත් ප්‍රයෝජනයක් තිබෙනවාද?
පිළිතුර:- පුළුවන් විදිහට අපි ආණ්ඩුවට බල කරනවා. ආණ්ඩුව කිසිම දෙයක් කළේ නැහැ කියලා අපට කියන්න බැහැ. ඒත් උතුරට ලබාදෙන අවධානය මදි. වේගවත් වෙන්න ඕන. මීට වඩා වේගයකින් උතුරේ ජනතාවට සහය ලබාදෙන්න ඕනැ. මොකද ඔවුන් වසර 30ක යුද්ධයකින් පීඩා විඳපු අය. තවත් බොහෝ දේවල් කරන්න තිබෙනවා. ඒ සම්බන්ධව අප පුළුවන් තරම් බල කරනවා මේ මේ දේවල් කළ යුතුයි කියලා.
ප්‍රශ්නය:- දැන් ඔබ සඳහන් කළා උතුරේ රැකියා ප්‍රශ්නය පිළිබඳව. දකුණේ තරුණ, තරුණියන්ටත් රැකියා ප්‍රශ්නයක් තිබෙනවානේ. ඇයි උතුරට විතරක් ඒ ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලීමක් කරන එක සාධාරණද?
පිළිතුර:- දකුණට උතුරේ තිබෙන විදිහට ගැටලු නැහැනේ. දකුණේ සිටින තරුණ තරුණියන්ට වඩා උතුරේ තරුණ තරුණියන්ට ප්‍රශ්න තිබෙනවා. උතුර හා සන්සන්ධනය කිරීමේදී දකුණ ඉතා හොඳයි. දකුණ සාරවත්. මොනවා හරි කරලා තුන්වේල කන්න පුළුවන්. උතුරේ අයට එහෙම නැහැ. දකුණේ මැති ඇමැතිවරුන් ඉන්නවා. බලය තිබෙනවා. ඔවුනට ඕනෑ දෙයක් ලබාගන්න පුළුවන්.
ප්‍රශ්නය:- දැන් උතුරටත් මැති ඇමැතිවරු ඉන්නවානේ? විශේෂයෙන් විපක්ෂය හැටියට පත්වෙච්ච බොහෝ දෙනෙක් උතුරෙන් තේරීපත්වූ මහජන නියෝජිතයන්.
පිළිතුර:- අපි තමයි උතුරේ දමිළ ජනතාවට මෙන්ම සමස්ථ උතුරු පළාතටම පෙනී සිටින්නේ. ඒත් අපිට බලයක් නැහැනේ.
ප්‍රශ්නය:- ඒ බලය ලබාගන්න ආණ්ඩුවට බලපෑමක් කරන් නැද්ද?
පිළිතුර:- හොඳ ව්‍යවස්ථාවක් ආවොත් ඒ බලය ලැබෙන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඒකයි.
ප්‍රශ්නය:- නාවොත් මොකද කරන්නේ? යළිත් කලබලකාරී අයහපත් වාතාවරණයක් ඇති වෙයිද?
පිළිතුර:- ඒ ප්‍රශ්නයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. අපට නිදහස ලැබුණු දවසේ ඉඳලා ප්‍රශ්න තිබෙනවා.
මේ රට නිසි ලෙස දියුණු වෙලා ආසියාවේ තායිලන්තය, සිංගප්පූරුව, මලයාසියාව වගේ අපි දියුණු වුණේ නැහැනේ. ඇයි ඒ? මේ ප්‍රශ්න නිසා. අපි සංවර්ධනය වෙන්නේ නැති කාරණාව අපේ එකමුතු කමක් නැති නිසා. අපි වසර 30 ක් යුද්ධ කළා. ඒකට විශාල මුදලක් වැයවුණා.
ප්‍රශ්නය:- ඔබ සෑහෙන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. මේ වගේ අවස්ථාවක ඔබ කියන දේටත් මේ ආණ්ඩුව සවන් දෙන් නැද්ද?
පිළිතුර:- සවන් නොදෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒ ගැන මම වැඩිය කථා කරන්න කැමැති නැහැ. එහෙත් කරන දේවල් ටිකක් වේගයෙන් කළ යුතුයි. නැතිනම් ජනතාවගේ සිත තවත් අයහපත් වෙනවා. ආණ්ඩුව උතුරට ලබාදෙන සහන වැඩි කරන්නේ නැතිනම් අපි ආණ්ඩුවට බල කරනවා. මොකද මේ ආණ්ඩුව බලයට පත් කළේ අපියි. ඒ කියන්නේ දෙමළ සන්ධානයයි. උතුරේ ජනතාවයි. අපිත් ආණ්ඩුව පත් කරන්න ගොඩාක් මහන්සි ගත්තා. ඒක නිසා තමයි ජනතාව සිත්නනේ අපි ආණ්ඩුව ගෙනාවා ආණ්ඩුව වැඩ කෙරෙන ආකාරය මදියි කියලා. ඉතින් ඒකේ බලපෑම අපටත් තිබෙනවා.
ප්‍රශ්නය:- මේ තත්ත්වය යටතේ යළිත් උතුරේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයිද?
පිළිතුර:- ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණේ නැතිනම් යම් යම් ගැටලු එතනදි මතුවෙනවානේ. අපි බලමු මීට පෙර ඇයි කළබල ඇති වුණේ? ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණ නැති නිසානේ. ඉතින් එහෙම දෙයක් නැවත වෙයි කියලා කාටවත් කියන්න බැහැනේ.
ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණේ නැතිනම් ඉස්සර වුණා වගේ කලබලයක් ඇතිවීම වැළැක්විය හැකිද? එහෙම නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ. එහෙම වෙයි කියලා කියන්නත් බැහැ. ප්‍රශ්නයකට විසඳුමක් නැතිනම් ඉස්සර වුණා වගේ කලබල වෙයි කියලා කියන එක වැරැදිද? එහෙම සිතන්න ඉඩ තිබෙනවානේ. එහෙම වෙයි කියලා මම කියන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම දෙයක් වෙන්න කිසිසේත් උවමනාවක් නැහැ. අපි කොහොම හරි විසඳුමක් සොයන්න ඕනැ. එහෙම වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරැදියි කියලත් අපට කියන්න බැහැනේ.
සාකච්ඡා කළේ
නිශාන්ත කුමාර බණ්ඩාර