පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව නඩුමඟට ගිය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මෙවර “මුහුණට මුහුණ” සමඟ එක්වේ.
• ආපහු උසාවි පැත්තෙ යන්න ගත්තද?
අවුරුදු අටකට පස්සේ තමයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. හැබැයි මේක මට ලොකු අමුත්තක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මම නොයෙක් ආකාරයට ගිහින් තියෙනවා. නීතිඥවරයෙක් විදියට ගියා, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විදියට ගියා, නීතිපති නීතිපති විදියට ගියා. මම විනිසුරුවරයෙක් විදියටත් ගියා. අන්තිමට අගවිනිසුරුවරයා විදියට ගියා.
හැබැයි මේ වතාවෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ගමන වෙනස්ම එකක්. මම මේ සැරේ ගියේ පුරවැසියෙක් වශයෙන්. මං හිතන්නේ මට දැන් තමා නියම භූමිකාව ලැබිලා තියෙන්නේ. මොකද අපි අවසානයේ චුතවෙන්නෙත් පුරවැසියෙක් හැටියටනේ.
• පළාත් සභා කල් දැමීම ගැන කියල තමයි ඔබ මේ සැරේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. මේ ගමනේ ඇත්ත අරමුණ මොකක්ද?
අපිත් දැන් කාලයක් බලාගෙන හිටියා පැත්තකට වෙලා මේ ආණ්ඩුවෙ ගමන දිහා. මහින්ද රාජපක්ෂ මගේ කිට්ටු මිත‍්‍රයෙක්. හැබැයි එයා 2010 නැවත ජනාධිපති විදියට පත්වුණාට පස්සේ 18 ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට මම දැනගත්තා මේ යන ගමන එච්චර හොඳ නෑ කියලා. ඒක නිසා තමයි එතුමා තුන් වතාවක් තරග කිරීමට සූදානම්වීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියන කාරණය මම මතු කළේ. මමයි ඒක මුලින්ම කිව්වෙ. ඔබට මතක ඇති ඔබත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවකදී තමයි මම ඒ ප‍්‍රකාශය මුලින්ම ඉරිදා ලංකාදීප පත්තරේට කිව්වෙ. මම ඒ වෙලාවෙත් අනතුරු ඇඟවීම මුලින්ම කළා. ඒ ප‍්‍රකාශය ජනතාව තේරුම් අරගෙන ජනතාවගේ තීන්දුව දුන්නා. මහින්ද රාජපක්ෂට ඒකෙන් බලය අත් අරින්න සිද්ධ වුණා.
දැන් අද සිද්ධවෙලා තියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
• මොකක්ද මෙතන සිද්ධවෙලා තියෙන දේ?
ජනතාවගේ පරමාධිපත්‍යයට ඇතුළත් වෙන සර්වජන ඡන්ද බලයට අවකාශයක් දෙන්නෙ නැති වාතාවරණයක් අද ඇතිවෙලා තියෙන්නේ. අද තියෙන ආණ්ඩුව ජනතාවගේ ඕනෑකමට ඇති වුණු එකක් නෙවෙයි. ජාතික ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුවට එකතු වෙච්ච අයගෙ ඕනෑකමට වෙච්ච දෙයක්. ජනතාව ඡන්දය දුන්නේ ජාතික ආණ්ඩුවකට නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් ඉඳපු එක්සත් ජනතා නිදහස් සන්ධානයයි, මේ පැත්තෙන් කට්ටියක් ගිහිල්ලා තමයි මේ ජාතික ආණ්ඩුව හදාගත්තේ. ඒක සූක්ෂ්ම වැඩ පිළිවෙළක්. එහෙම හදාගත්තු ආණ්ඩුව යහපාලනය කියල බෝඩ් එකක් ඉස්සරහට දාගත්තට මේ වෙනතෙක් කරලා තියෙන්නේ ජනතා නියෝජනයෙන් සම්මත විය යුතු පාලන ආයතන අක්‍රිය කිරීම. මේක ඉතාම භයානක තත්ත්වයක්. අපේ රටේ තියෙනවා පාලන මට්ටම් හතරක්. ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන. මේ හතරම ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ බලය ක්‍රියාත්මක කිරීමෙන්. ජනතාවත් මේ ආයතනත් අතර සම්බන්ධය පැවැත්වෙන්නේ සර්වජන ඡන්ද බලයෙන්. මේ ආයතන ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයෙන් තේරීපත් වෙන ආයතන විය යුතුමයි. සර්වජන ඡන්ද බලයේ වැදගත්ම ගුණාංගය වෙන්නේ කාලානුරූපීව මැතිවරණ පැවැත්වීම. කාලය ඉක්මවා යනවනම් ඒක ඉතාම භයානක තත්ත්වයක්.
පළාත් සභාවල ධුර කාලය, මැතිවරණ පැවැත්විය යුතු ආකාරය ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා. ඉදිරි දින කීපය තුළ ඉතිරි පළාත් සභා කීපයත් විසිරුවන්න වෙනවා. ඊළඟට ඡන්දයක් පවත්වන්න ඕනෑ. ආණ්ඩුව කෙරුවෙ මේක කොහොම හරි නවත්වන්න විසිවැනි සංශෝධනය කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාපු එක. මේකෙන් කියන්නේ සියලු පළාත් සභා එක දිනක පැවැත්විය යුතුයි කියලා. ඌව පළාත් සභාව තමයි අන්තිමට විසිර යන්නේ. ඒක වෙන්නේ 2019. මේ නිසා එක දවසක ඡන්දය පවත්වන්න හිටියොත් 2019 වෙනකම් ඉන්න වෙනවා. මේක 20 සංශෝධනයේ උපක‍්‍රමයක්. පළාත් සභා මැතිවරණය අඩුම තරමේ 2019 වෙනකම් මේ නිසා කල් දාන්න තමයි ආණ්ඩුව උත්සාහ කළේ. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරලා කිව්වා මේක සර්වජන ඡන්ද බලය අහිමි කිරීමක් කියලා.
මේකට කාන්තා නියෝජනය පිළිබඳ කතාවකුත් එකතු කරලා මේක වෙනම පැත්තකට අරගෙන ගියා ආණ්ඩුව. මේවා ගැසට් මඟින් ජනතාවට දැනගන්න සලස්වන්න ඕනෑ. එතකොට මේවට එරෙහි වෙන්න යම් කිසි පුරවැසියකුට අවශ්‍ය වුණොත් ඒකට ඉඩ තියෙනවා. කාන්තා නියෝජනය ගැන තිබුණු එක වෙනුවට අලුත් ඡන්ද ක‍්‍රමයක් ගැන හදිසියෙන් ගෙනාපු පනතක් දැම්මා. මේකට කතානායකත් අනුමැතිය දුන්නා. ඉතාම කඩිමුඩියේ තමයි මේක කෙරුවේ. මේකට තිබුණු ආණ්ඩුවේ හදිසිය දැනගෙන තමයි මම ක්‍රියාත්මක වුණේ. නීතිඥවරු අරගෙන වැඩේට බහින එකත් ප‍්‍රමාදයක් වෙයි කියලා හිතලා තමයි මමම වැඩේට බැස්සේ. පුරවැසියෙක් විදියට වගේම නීතිය දන්න කෙනෙක් විදියට මට මේක කරන්න ඕනෑ වුණා.
• ඔබ කියන්නේ මේක කොළේ වහලා ගැහුවා කියලද?
මම ඒ වචන පාවිච්චි කරන්නේ නෑ. ඒත් මේක එකක් පෙන්නලා තව දෙයක් කෙරුවා වගේ වැඩක්. මේකෙන් ජනතාව නොමඟ යැව්වා. මම මේක උසාවියට පෙන්නලා දෙනවා. හරිම සරල තර්කයක් මගින් මම මේක පෙන්නලා දෙන්නේ. මෙතන කතානායකතුමයි, නීතිපතිතුමයි දෙන්න කටයුතු කරපු ආකාරය පිළිබඳව විවේචනයක් තියෙනවා.
• ඔබ මේ කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ඔබේම ඕනෑකමටද? කාගෙ හරි ඉල්ලීමකටද?
වෙන කාගෙ හරි ඉල්ලීමකට නම් ඔය තරම් ඉක්මනට යන්න බෑ. දැන් තමයි අනික් අය මේ ගැන උනන්දු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මගේ ඕනෑකම නිසා තමයි මේ තරම් ඉක්මනට මේ වැඩේ කළේ.
• ඔබ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායමට සමීපව ඉන්න නිසා මේක ඒ අයගෙ වුවමනාවට සිද්ධ වුණා කියලා කාට හරි හිතෙන්න පුළුවන්.
නෑ. ඒක ඇත්ත නෙවෙයි. ඒ කණ්ඩායමත් ඕක ගත්තෙ මගෙන්. දැන් තමයි ඒ අය මේකත් එක්ක එකතු වෙන්නේ. මේක දේශපාලන වුවමනාවකට සිද්ධ වුණු වැඩක් නෙවෙයි. දැන් මේක දේශපාලකයෝ අරගෙන යනවා.
• ඔබ අගවිනිසුරු විදියට ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ ඉඳගෙන තමන්ට කැමැති සහ වාසි අවස්ථාවල මැතිවරණ තිව්වා. විශේෂයෙන් යුද්ධයේ යම් යම් ජයග‍්‍රහණ ආසන්න කාලවල මැතිවරණ තියලා ඒකෙ වාසි ගත්තා කියලා විවේචන ආවා. එතකොට ඔබට ඒ ගැන ප‍්‍රශ්නයක් තිබුණේ නැද්ද?
මට අගවිනිසුරු විදියට ඕවා ගැන කතා කරන්න බෑ. නඩුවක් ආවම තමයි ඒ ගැන බලන්න පුළුවන්. මට මතක විදියට ඒ වෙලාවෙ ඡන්ද ප‍්‍රමාදවීමක් වුණේ නෑ. ඡන්ද වැඩියෙනුත් තිබුණා වගේ මං හිතන්නේ. මට තීන්දු දෙන්න බෑ ඒ වෙලාවෙ ඡන්ද පවත්වන්න හෝ නොපවත්වන්න කියලා.
• අගවිනිසුරු විදියට ඉඳලා ආපහු නඩු කියන්න උසාවි යන එක හෑල්ලු වීමක් කියලත් සමහරු කිව්වා.
නෑ. එහෙම දෙයක් නෑ. මාන්නය කියන එක ඔළුවෙ තියෙන අයට තමයි ඔය වගේ අදහස් එන්නේ. මම තනතුර කියන එක කරතියාගෙන යන කෙනෙක් නෙවෙයි. ඒ ඒ වෙලාවෙ දරන තනතුරු අවශ්‍ය වෙලාවෙදි අතඅරින්න වෙනවා. ඒක තමයි ස්වභාවය. මොන තනතුරු දැරුවත් ඒවා අත අරින්න වෙනවා. පුරවැසියා කියන එක තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. මම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉඳලා නීතිපති හැටියටත් පත්වුණා. ඊට පස්සෙ උසාවි ගියා. ඒක නිසා මට ඕවා ඒ තරම් දේවල් නොවෙයි. උසාවියට යන එක අඩුවක් හෝ හෑල්ලුවීමක් කියලා මම නම් හිතන්නේ නෑ.
• මහින්ද රාජපක්ෂ ගැන ඔබ කාලෙන් කාලෙට එක එක කතා කියනවා. දැන් ආපහු ඒ පිළේ. මොකක්ද මේ රඟපෑම?
කිසිම රඟපෑමක් නෑ. මම එක එක කතා කියලත් නෑ. සාධාරණ කතාවක් තමයි මම හැමදාම කිව්වෙ. ඔහුට තුන්වෙනි පාර ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ කිව්වෙ ඒක නීතිමය තත්ත්වයට පටහැනි නිසා. හෙල්පින් හම්බන්තොට සිදුවීම ගැනත් කිව්වෙ ඒ වගේම දෙයක්. ඒක පටලවාගෙන සමහරු වෙන වෙන දේවල් කිව්වා. රාජපක්ෂලා හොරු කියලා බලයට පත්වුණු අයට රාජපක්ෂලගෙ හොරකම් එකක්වත් අල්ලන්න බැරිවෙලා. අද හොරකම් කියලා අල්ලගෙන තියෙන්නේ සිල්රෙද්දක්, කැලැන්ඩරයක්, ඔරලෝසුවක් බෙදපු එක.
• ඒකාබද්ධ විපක්ෂෙ වැඩවල ඔබ ඉන්නවා.
යම් යම් දේවල්වලට සහභාගි වෙනවා. හැබැයි මම ඒකෙ සාමාජිකයෙක් නෙවෙයි. ඒකෙ තීන්දු තීරණ ගන්න මණ්ඩලවලත් මම නෑ. යම් ප‍්‍රචාරණ කටයුතුවලට නම් මම සම්බන්ධ වුණා. අලුත් පක්ෂයක් ඒ අය පටන් අරගෙන තියෙනවා. මම ඒකටත් සම්බන්ධ නෑ. ඒකෙ කාර්යාලය විවෘත කරන අවස්ථාවට නම් සහභාගි වුණා. ඒ අය එක්ක ඊට වඩා ඍජු දේශපාලනයක් මගේ නෑ. එහෙම අදහසකුත් නෑ.
• මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන එකද ඔබේ හීනය?
මට එහෙම හීන නෑ. එදා මම තුන්වෙනි පාරට මහින්ද රාජපක්ෂ එන්න හදනකොට විරුද්ධ වුණා. ඒත් ඊට පස්සේ එයා ක්‍රියා කළ ආකාරය ගැන මගේ ප‍්‍රසාදයක් තියෙනවා. ඡන්දෙන් පරාජයට පත්වුණු ගමන් අරලියගහ මන්දිරෙන් ඉවත්වෙලා හම්බන්තොට ගියා. මහින්ද රාජපක්ෂ කිසි විටෙක ඡන්දයක් කල් දාලා නෑ. වෙලාවටත් කලින් ඡන්දය තියපු එකෙන් තමයි එයාට ගෙදර යන්නත් සිද්ධ වුණේ. ඒකෙ ඵල විපාක මිනිහා වින්දා.
• ඔබ ආගම දහම ගැන හරියට කතා කරනවනේ. මහින්ද රාජපක්ෂ කණ්ඩායම නිතරම ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් ඒකෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබට මේ ගැන විවේචනයක් නැද්ද?
ඒක නම් මට පිළිගන්න අමාරුයි. මම ඒ අතින් ඔහු හොඳට දන්නවා. එයා ජාතිවාදයෙක් වුණේ නෑ. හැම වර්ගයකටම එයා එක වගේ සැලකුවෙ. ජාතිවාදය අවුස්සලා වාසි ගන්නවා නම් එයාට උතුර-නැගෙනහිර සංවර්ධනය කරන්න ඕනැ නෑනේ. එයා ඒ පැත්තට උපරිම සේවයක් කළා. ඔය අලුත්ගම සිදුවීම නිසා තමයි මේ වගේ කතාවක් කරළියට එන්නේ. ඒකත් එස්. ටී. එෆ්. එකේ ක්‍රියාදාමයක්. ගෝඨාභය රාජපක්ෂත් ඒක කොහාම සිද්ධ වුණාද කියල දන්නෙ නෑ. මේවායින් තමයි රාජපක්ෂලා ජාතිවාදියෝ කියලා ආරූඪ කෙරෙව්වේ.
ප්‍රියන්ත කොඩිප්පිලි