වර්ෂ 2022 සිට මේ දක්වා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී එනම් 2023 වසරේදී ජනතාවට දැරිය නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමිණි. ඒ අනුව 2023 වසරේ පෙබරවාරි සහ ජූලි මාසවලදී මෙන්ම ඔක්තෝබර් මාසයේ දී තුන් වතාවකට විදුලි බිල ඉහළ දැමූ අතර එම අගය දළ වශයෙන් සියයට 157ක් විය. එම ඉහළ යාම සටහන් වූයේ දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු අයකරන රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් කරමිනි. කෙසේ වෙතත් එවකට පැවති ඩොලර් අර්බුදය හමුවේ දිනකට පැය 12ක් පමණ අඳුරේ සිටින්නට අපට සිදු වූ අතර 2023 පෙබරවාරි මස විදුලි කප්පාදුව අත්හිටුවීය.
එකල එම විදුලි කප්පාදුව හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බොහෝ බලපෑම් ඇති වූ අතර, එම කටුක අත්දැකීම් සිහිගන්වමින් නැවත එවැනි විදුලි කප්පාදුවක සේයාවක් පැමිණේ දැයි කුකුසක් මෙරට ජනතාවගේ හදවත්හි ජනිත වූයේ ඉකුත් 9 වැනිදා පානදුර උපවිදුලි පොළේ ට්‍රාන්ස්ෆෝමරයක ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය ඇන හිටීමත් සමග ය. මාධ්‍ය හමුවක් කැඳවමින් විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ එම ට්‍රාන්ස්ෆෝමරයෙහි වඳුරෙකු ගැටීමෙන් විදුලිය ඇනහිටි බවය. එසේවුවද එදිනෙන් ඇරඹි විදුලි කප්පාදුව ඉකුත් 13 වැනිදා වෙන තෙක්ම පැවති අතර ඉදිරියටත් විදුලිය විසන්ධි කරන්නේ ද යන්න 14 වැනිදා උදෑසන තීරණය කරන බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.
9 වැනිදා ඇත්තටම මොකද වුණේ?
ඉකුත් 9 වැනිදා හදිසියේ විදුලිය විසන්ධි වීමේ සිද්ධියෙහි උණුසුම තවම පහව ගොස් නැත. ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙන්නේ එ් නිසාය. කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු හා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසන්නේ 9 වැනි දින සිදුවූයේ තාක්ෂණික මට්ටමේ විදුලිය බිඳවැටීමක් බවත් ඊට බලපෑ හේතු සොයා පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙන බවත්ය.
“එදින සිදු වූ හදිසි විදුලි බිඳවැටීමට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ නමුත් 9 වැනිදා සිදු වී ඇත්තේ ඉතාම තාක්ෂණික මට්ටමේ බිඳ වැටීමක්. ජාතික පද්ධතියේ පවත්වා ගත යුතු සංඛ්‍යාතය හා වෝල්ටීයතාවයේ යම් අසමතුලිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම පැවසිය යුතුයි මෙම බිඳ වැටීම සිදුවන්නේ ඉරිදා දිනයක. එදාට දෛනික විදුලි පරිභෝජනය සතියේ දිනයක විදුලි පරිභෝජනයට වඩා අඩු මට්ටමක පවතිනවා. එම නිසා එම විදුලි අවශ්‍යතාව සපුරාලීමට සූර්ය බලයෙන් ජනනය කළ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එදින එකතු කර තිබුණා. එය සංඛ්‍යාත්මක අගයක් ලෙස ගතහොත් මෙගාවොට් 800කට ආසන්න ප්‍රමාණයක සූර්ය බලයෙන් ජනනය කළ විදුලි ධාරිතාවක්. එදින පානදුර විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයේ සතෙකු ගැටීම හේතුවෙන් මෙම මෙගා වොට් 800කට ආසන්න විදුලි ධාරිතාවය පොළවට ඇදගැනීමක් (අර්ත් වීමක්) සිදුවුණා. එසේ ඇද ගැනීමේදී නැවත එතරම් විදුලි ධාරිතාවක් යළි ජාතික පද්ධතිය වෙත ලබා දීමට තරම් සූර්ය පැනල ශක්තිමත් නොවන නිසා එම සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන ජනන යන්ත්‍ර ක්ෂණයෙන් ජාතික පද්ධතියෙන් ඉවත්වීමක් සිදුවුණා. අනෙකුත් බලාගාර ද මෙතරම් විදුලි ප්‍රමාණයක් ජනනය කිරීමට නොහැකිවීම නිසා ස්වයංක්‍රීයව පද්ධතියෙන් ඉවත්වීම සිදුවෙනවා”.
පානදුර විදුලි උපපොළේ හටගත් දෝෂය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර ද අක්‍රීය වූ බව ගෙවී ගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණු අතර අපි ඒ සම්බන්ධයෙන් ද ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසුවෙමු.
“මෙම අවස්ථාවේදී නොරොච්චෝලේ බලාගාරයට මෙම සම්පූර්ණ විදුලි අවශ්‍යතාව සපුරාලීමට ජාතික පද්ධතිය පවත්වාගෙන යාමට විදුලි සැපයුම ලබාදුන්න ද පසුව එම බලාගාරය ද ස්වයංක්‍රීයව ජාතික පද්ධතියෙන් ඉවත් වුණා. මෙම සිදුවීම තාක්ෂණික වශයෙන් “ඉරිදා ආචරණය” (sunny Sunday effect) ලෙස හැඳින්විය හැකියි. මෙවැනි තත්ත්ව ලෝකයේ අනෙකුත් රටවල සුලබව දක්නට ලැබෙන සිදුවීමක්. මෙමගින් සිදුවන්නේ ජාතික පද්ධතියේ තිබෙන වෝල්ටීයතාව හා සංඛ්‍යානය යන අංගවල යම් සමතුලිත තත්ත්වයක් නිර්මාණය වීමයි” හෙතෙම පැහැදිලි කළේ ය.
මෙරට විදුලි පරිභෝජනය සම්බන්ධ දත්ත විමසීමේ දී සාමාන්‍යයෙන් සතියේ දිනකට ගිගා වොට් පැය 48ක් අවශ්‍ය වන අතර එම විදුලි ප්‍රමාණය ප්‍රධාන වශයෙන් තාප විදුලියෙන් සියයට 65ක්, ජල විදුලියෙන් සියයට 20ක්, සූර්ය බලයෙන් සියයට 4.5ක් හා සුළං බලයෙන් සියයට 3.5ක් එකතුවීමෙන් සෑදේ. සති අන්තයේ දී දිනකට ගිගා වොට් පැය 44ක් අවශ්‍ය වන අතර එම විදුලි ප්‍රමාණය ජල විදුලියෙන් සියයට 18කුත්, තාප විදුලියෙන් සියයට 65කුත්, සූර්ය බලයෙන් සියයට 5කුත් එකතු වීමෙන් සෑදේ. ඒ අනුව වැඩිම විදුලි උත්පාදනයක් සිදුවෙන්නේ තාප විදුලි බලාගාරවලිනි. මෙම තාප විදුලිබලාගාරවලින් සියයට 45ක් විදුලිය නිපදවෙන්නේ ගල් අඟුරුවලින් වන අතර මෙම එක බලාගාරයක හෝ යන්ත්‍රයක බිඳවැටීමක් සිදු වුවහොත් සමස්ත ගල් අඟුරු විදුලි උත්පාදනයෙන් සියයට 15ක් ඉවත් වේ. මෙවැනි සන්දර්භයක නොරොච්චෝල ලක්විජය බලාගාරය ඉතා වැදගත් වෙන අතර එහි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වීම නිසා ගෙවුණු දිනවලදී ශ්‍රී ලාංකිකයන්ට දෛනික විදුලි කප්පාදුවකට ද මුහුණ දීමට සිදු විය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යනු, ජාතික විදුලි පද්ධතියට වැඩි විදුලි ධාරිතාවක් සපයන බලාගාරයකි. ශ්‍රී ලංකාවේ තාප විදුලි බලාගාරවලින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ මෙම නොරොච්චෝලේ විදුලි බලාගාරයටයි. මෙම බලාගාරය අක්කර 300ක භූමි ප්‍රමාණයක පැතිරී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුව 1980 දශකයේ අගභාගයේදී මෙම බලාගාරය මුලින්ම ආරම්භ කිරීමට යෝජනා කරන ලදී. එහෙත් විවිධ සංවිධානවලින් එල්ල වූ බලපෑම් හේතුවෙන් එහි ඉදිකිරීම් ප්‍රමාද විය. පසුව2006 දී ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට තීරණය කෙරිණි. මෙගාවොට් 300 ක ගල් අඟුරු තාප බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 දී ආරම්භ වූ අතර 2009 මැයි මාසයේ සිවිල් යුද්ධය අවසන්වීමත් සමඟ විදුලිබල ඉල්ලුම වැඩි කිරීමට සහ බලශක්ති උත්පාදනය සඳහා තෙල් ආනයනය සඳහා විදේශ විනිමය පිටවීම අඩු කිරීමට බලාගාරයේ සංවර්ධනය වේගවත් විය. ඒ අනුව මෙගාවොට් 300 ක 2වන ඒකකයේ ඉදිකිරීම 2010 මාර්තු මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. 2009 මැයි මාසයේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ විදුලිබල ඉල්ලුම වැඩි කිරීමට සහ බලශක්ති උත්පාදනය සඳහා තෙල් ආනයනය සඳහා විදේශ විනිමය පිටවීම අඩු කිරීමට බලාගාරයේ සංවර්ධනය වේගවත් විය. 2019 සැප්තැම්බර් මාසයේදී, නැවත ලක්විජය බලාගාරයට නව මෙගා වොට් 300 ක ඒකකයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි විය.
නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ 2 සහ 3 ජනන ඒකක අක්‍රීයවීම හේතුවෙන් 2016 වසරේ මාර්තු මස ද දින කිහිපයක් විදුලි සැපයුම කප්පාදු කෙරුණු අතර ඉන් පසුවද අවස්ථා කිහිපයක දී විදුලි සැපයුම කප්පාදු කළේය. 2022 සැප්තැම්බර් මාසයේදී 3 වන ඒකකයේ වාෂ්ප කාන්දුවක් හේතුවෙන් බිඳවැටීම සිදු වූ අතර 2023 අගෝස්තු මාසයේදී, 3 වන ඒකකයේ බිඳවැටීමක් ඇති විය. 2023 නොවැම්බරයේදී, නැවත 2 සහ 3 ඒකකයේ අලුත්වැඩියා කටයුතු සඳහා ක්‍රියාවිරහිත කර තිබුණි.
හදිසි විදුලි බිඳවැටීමක දී නොරොච්චෝලෙට මොකද වුණේ?
අප මේ සම්බන්ධයෙන් ලංකා ඉංජිනේරු සංගමයේ සංස්කාරක බුද්ධික විජයවර්ධනගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ හදිසි විදුලිය බිඳවැටීමක දී බලාගාරය පවත්වාගෙන යෑමට අවශ්‍ය විදුලිය ද විසන්ධි වී යෑම බවය.
“සාමාන්‍යයෙන් විදුලි බලාගාරයක එක් ජනන ඒකකයක් පවත්වාගෙන යාමට මෙගා වොට් 30ක පමණ විදුලි ධාරිතාවක් අවශ්‍ය වෙනවා. හදිසි විදුලි බිඳවැටීමක දී සිදුවන්නේ බලාගාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන විදුලිය ද විසන්ධි වී යන එක. කෙසේ හෝ එම මෙගා වොට් 30ක විදුලිය බාහිරින් සම්බන්ධ කළහොත් ඉක්මනින් නැවත බලාගාරය පණගන්වා එය ජාතික පද්ධතියට සම්බන්ධ කළ හැකියි. නමුත් එසේ විදුලිය බාහිරින් හෝ ලබාගැනීමට නොහැකි වුවහොත් මෙම බලාගාරවල යන්ත්‍රවල උෂ්ණත්වය අඩුවෙනවා. එවිට නැවත එම යන්ත්‍ර අවශ්‍ය උෂ්ණත්වය කරා රැගෙන ඒමට දින 4ක කාලයක් ගත වෙනවා. ගල් අඟුරු බලාගාරයක් සාමාන්‍යයෙන් දින 365න් සියයට 85ක් බලාගාරය ක්‍රියාත්මකව පැවතිය යුතුයි. මීට අමතරව සෑම අවුරුදු හතරකට වරක්ම දැවැන්ත අලුත්වැඩියා කිරීමක් සිදුකිරීම අවශ්‍යයි. පසුගිය වසර 5 දී විදුලිබල මණ්ඩලයේ දෛනික ජනන වාර්තා සමාලෝචනය කිරීමේදී පැහැදිලි වන්නේ නොරොච්චෝලේ බලාගාරය එසේ දින 365න් සියයට 85ක් ක්‍රියාත්මකව පැවතී තිබෙනවා. මෙම බලාගාරය නොමැතිව ජාතික පද්ධතිය පණගැන්විය නොහැකි වන්නේ සම්පූර්ණ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට ලබාදීම සිදුවන නිසායි. නොරොච්චෝලේ බලාගාරය බිඳවැටුණහොත් මෙම විදුලි ධාරිතාව නොමැතිව ජාතික පද්ධතිය පණගැන්විය නොහැකියි” ඔහු කීවේය.
හදිසි විදුලිය බිඳවැටීමක දී නොරොච්චෝල බලාගාරය ක්‍රියාවිරහිත වීම වළක්වාගැනීමට ඇති එකම විසඳුම මෙගා වොට් 30 බැගින් වූ අතිරේක ජනන යන්ත්‍ර තුනක් පවත්වාගෙන යෑම බව ද ලංකා ඉංජිනේරු සංගමයේ සංස්කාරකවරයා ප්‍රකාශ කළේ ය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය පවත්වාගෙන යන එක රටට පාඩුයි ද?
නොරොච්චෝලේ විදුලි බලාගාරය පිළිබඳ තොරතුරු විමසා බැලීමේ දී අනාවරණය වූයේ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 20ක් වැනි මුදලක් බවත් එය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ලබාදිය හැකි අවම මිල ලෙස සැලකිය හැකි බවත් ය. ඩීසල් විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 85ක මුදලකුත්, දැවිතෙල්වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 40-45ක මුදලකුත් වැය වේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳවැටුණ විට ජාතික පද්ධතිය පණගැන්විය නොහැකියි. ඒ නිසා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයකට පත් වේ. ඇතැම් අවස්ථාවලදී හදිසි බිඳවැටීමක් වූ විට නොරොච්චෝලේ බලාගාරය ඉක්මණින්ම පද්ධතියෙන් ඉවත්වීම සිදුවන අතර මේ වන විට එම දෝෂයද නිවැරදි කර තිබේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන බලාගාර තුනක් තිබෙන අතර ඉන් එක් ජනන බලාගාරයක් බිඳ වැටුණ විට කිසිදු ගැටලුවක් නොමැතිව ජාතික පද්ධතිය පවත්වාගෙන යා හැකි නමුත් මෙම ජනන බලාගාර තුන ක්‍රියාවිරහිත වූ විට රටේ විදුලි සැපයුම පවත්වාගෙන යා නොහැකි බවද තොරතුරුවලින් අනාවරණය විය.
විදුලිය විසන්ධිවීමට බලපෑ හේතුව කවරක් වුව ද ලක්විජය බලාගාරය කෙදින යථා තත්ත්වයට පත් කර ගත හැකි වුව ද ඒ සියල්ලට වඩා වැදගත් වෙන්නේ මෙරට ජාතික පද්ධතියට පුනර්ජනනීය විදුලිය වැඩියෙන් එකතු කිරීම බව අවිවාදිත ය. ජනන සැලැස්මෙන් යෝජිත ව්‍යාපෘති තවත් පමා නොකර ඉදිකිරීම අත්‍යවශ්‍ය බව අපි මෙයින් අවධාරණය කරමු.
ලිහිණි ලියනගේ