එතුමා අපිත් එක්ක සාකච්ඡා කළේ නැහැනේ


අඩුගානේ මන්ත්‍රීවරුන් බහුතරයක් අත්සන් කරලා ලියුමක් හරි දුන්නා නම් අපට පිළිගන්න තිබුණා

එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති 
ලක්ෂ්මන් කිරිඇල්ල

 

අළු යට ගිනි එළියට පැන කැබිනෙට්ටුව ඇතුළු මුළු ආණ්ඩුවම ගිනි ගත්තේය. මොකද වුණේ? මොනවද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- ඔබේ ආණ්ඩුවට මොකද වුණේ?   


පිළිතුර:- මට නම් පේන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කළා කියලයි. ජනාධිපතිවරණයට තව තියෙන්නේ මාස 11 ක් විතර කාලයක්. ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කෙරුවා.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කිව්වා ‘අගමැති රනිල් එක්ක වැඩ කරන්න බැරිම තැනයි මේ තීන්දුව ගත්තේ’ කියලා?   


පිළිතුර:- ඒ තත්ත්වය අපිත් එක්ක සාකච්ඡා කළේ නැහැනේ. ඇත්ත වශයෙන්ම එතුමා පත් කළේ අපිනේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි ආසන සංවිධායකවරුයි මහන්සිවෙලා තමයි එයා පත්කර ගත්තේ. එතුමාට එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණා. දැන් මගේ මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් ජනාධිපතිවරණය අසූඑක් ද‌ාහකින් දිනුවා. අවුරුදු පහළොවක් පැරදිච්ච දිස්ත්‍රික්කයක්. අවුරුදු පහළොවක් දිනන්න බැරිව තිබුණ දිස්ත්‍රික්කය අපි දිනවලා දුන්නා. එහෙම දිනවලා දීපු අපෙත් එක්කවත් සාකච්ඡා කළේ නැහැනේ.   


ප්‍රශ්නය:- ඔබ දැනගෙන හිටිය ද ප්‍රශ්න තිබුණා කියලා?   


පිළිතුර:- ඔව්. ඔව්. අපි දැනගෙන හිටියා ප්‍රශ්න තිබුණා කියලා. හැබැයි මේ තරම්ම වැඩ කරන්න බැරි තරමටම ප්‍රශ්න තිබුණා කියලා අපි දැනගෙන හිටියේ නෑ. එහෙම ප්‍රශ්න තිබුණා නම් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ක කතා කරන්න තිබුණානේ.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කිව්වා මම කැබිනට් එකේ කතා කළා. ගෲප් එකේ කතා කළා කියලා?   


පිළිතුර:- නෑ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක වැඩ කරන්න බැහැ කියලා කවද‌ාවත් කියලා නෑ. එතුමා කිසිම දවසක එහෙම කියලා නෑ.   


ප්‍රශ්නය:- ‘කරු ජයසූරියට, සජිත් ප්‍රේමද‌ාසට අගමැතිකම බාරගන්න කියලා’ කිව්වා කියලත් ජනාධිපති මෛත්‍රි කිව්වා. 

 
පිළිතුර:- එහෙම දෙයක් සාකච්ඡා කළේ නැහැනේ. පාර්ලිමේන්තු කණ්ඩායම සමග කතා කළා නම් මේකට විසඳුමක් දෙන්න තිබුණා. සාකච්ඡා කරන්න එපැයි. ඒකනේ ශිෂ්ටත්වය. කතා කර විසඳ‌ා ගන්න බැරි ප්‍රශ්න මේ ලෝකයේ නැහැනේ.   


ප්‍රශ්නය:- අගමැතිවරයා සමනල ජීවිතයකට ගියා කියලාත් කිව්වා?   


පිළිතුර:- මං දන්නෑ එතුමා ඔය සමනල කතාවෙන් මොකක් අදහස් කළා ද කියලා. ඒක ජනාධිපතිතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ.   


ප්‍රශ්නය:- ඔබ අධිනීතිඥයෙක්. නීති විශාරදයෙක්. ජනාධිපතිට බලය තියෙනවා නේද අගමැතිව පත් කරන්න වගේම අස් කරන්නත්?   


පිළිතුර:- බලතල කියන්නේ මෙහෙමයි. ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිතුමාට එතුමාගේ මතය අනුව බහුතර බලය තියෙන කෙනෙකුට අගමැතිකම දෙන්න පුළුවන් කියලයි. නමුත් මෙතැන මහින්ද රාජපක්ෂ මැතිතුමාට බහුතර බලයක් තියෙන බවට කිසිම සාධකයක් නෑනේ. අඩුගානේ මන්ත්‍රීවරුන් බහුතරයක් අත්සන් කරලා ලියුමක් හරි දුන්නා නම් අපට විශ්වාස කරන්න පුළුවන්.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරයාට බලය තියෙනවා, අගමැතිව අයින් කරලා වෙනත් කෙනෙක් අගමැති කරන්න? එතකොට මෙතැන ප්‍රශ්නය තියෙන්නේ බහුතරය සම්බන්ධයෙන්?   


පිළිතුර:- ඔව්. අද වෙනතුරු බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් එතුමාට දිවුරුම් පෙත්සම්වත් අඩුම ගානේ ලියුමක්වත් දීලා නෑ. එතකොට එතුමා කොහොමද ඒ මතයට එන්නේ? ඒ මතයට එන්න සාධාරණ හේතු තියෙන්න ඕනෑ. ඒක තමයි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන කොට අපිට එන්න තියෙන්නේ. නමුත් එහෙම දිවුරුම් පෙත්සම් හෝ ලියුමක් නෑ.   


ප්‍රශ්නය:- නමුත් බහුතර බලය තීරණාත්මක නෑ කියලත් කියනවා?   


පිළිතුර:- ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රද‌ාය. ඒක ව්‍යවස්ථවේ නෑ. ඔබ කියන කාරණය හරි. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රද‌ාය තුළ තියෙන කාරණයයි මම කියන්නේ. හුඟ දෙනෙක් තේරුම් අරන් නැහැ. මොකද මේක හරියට අර්ථ නිරූපණය කරන්න ව්‍යවස්ථාව විතරක් මදි. පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල කියලා පනතක් තියෙනවා. ඒ පනතේ තියෙනවා වගන්තියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අපේ පාර්ලිමේන්තුවටත් තියෙනවා කියලා. එතකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රද‌ායක් තමයි බහුතරය පැහැදිලිව පෙන්නුවාට පස්සේ ඒ පුද්ගලයාට අගමැතිකම දෙන්න පුළුවන් කියලා. ඒක අපේ පාර්ලිමේන්තුවටත් බලපානවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තියෙන තවත් කරුණක් තමයි පාර්ලිමේන්තුව කල් දාන්න කලින් කතානායකතුමාගෙන් අහන්න ඕනෑ කියලා. එතකොට ඒකත් අපේ පාර්ලිමේන්තුවටත් වලංගුයි. ඒක අපේ ව්‍යවස්ථාවේ නෑ, නමුත් පනතේ තියෙනවා. ඇත්තම කිව්වොත් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිවේදනය කියවන්න ඕනෑ සභානායකතුමයි. එංගලන්තයේ රැජින වෙනුවෙන් වගේ හුඟ දෙනෙක් මේ පනත කියවලා නෑ. ව්‍යවස්ථාව විතරක් බලලා මේක අර්ථ නිරූපණය කරනවා.   

 

මේ වෙලාවේ හෘදසාක්ෂිය තියෙන කෙනෙකුට ඒ පැත්තේ ඉන්න බැහැනේ. තව කී දෙනෙක් එන්න ඉන්නවද? නමුත් අපිට බහුතරය තියෙන නිසා එහෙම ගන්න හදිසියක් නෑ.


ප්‍රශ්නය:- ඔය නීති තර්ක මුකුත් ගෙනාවේ නැහැනේ 2015 ජනවාරි 9 වැනිද‌ා රනිල් වික්‍රමසිංහ අගමැති කරනකොට. එද‌ා ඔහුට හිටියේ මන්ත්‍රීවරුන් 42 යි? 

 
පිළිතුර:- කවුරුවත් විරුද්ධ වුණේ නැහැනේ. එද‌ා රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කවුරුවත් විරුද්ධව ඡන්දය දුන්නේ නැහැනේ.   


ප්‍රශ්නය:- එහෙම විරුද්ධ වුණා නම්?   


පිළිතුර:- විරුද්ධ වුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම ද‌ාලා යන්න වෙනවා.   


ප්‍රශ්නය:- ඔබ කියන්නේ එද‌ා කරපු දේත් වැරදියි. ඒත් කවුරුවත් විරුද්ධ වුණේ නැහැ කියලයි?   


පිළිතුර:- ඔව්. එද‌ා කවුරුවත් විරුද්ධ වුණේ නෑ. මේ වගේ විරුද්ධත්වයක් එද‌ා ආවේ නෑ. ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආවම කවුද විරුද්ධ වුණේ? කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. මොකද ඒ ගොල්ලෝ ජනාධිපතිවරණය පැරදිලා ඒගොල්ලෝ වැටිලා හිටියේ. 

 
ප්‍රශ්නය:- කතානායක කරු ජයසූරිය මුලින් කිව්වේ ‘අගමැති හැටියට මහින්ද රාජපක්ෂ පිළිගන්නවා’ කියලා. නමුත් පස්සේ කිව්වා ඔහු පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ කියලා? මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?   


පිළිතුර:- ඔව්. ඔව්. එතුමගේ නිවේදනය අනුව එතුමා කියන්නේ එතුමා පිළිගන්නේ ඔක්තෝබර් 26 වැනිද‌ා පැවැති තත්ත්වයයි කියලයි. එහෙම නම් ඔක්තෝබර් 26 වැනිද‌ා රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එරෙහිව අප්‍රේල් මාසයේ විශ්වාසභංගයක් ගෙනාවා. ඒක එතුමා දිනුවා. ඊට පස්සේ එතුමගේ මන්ත්‍රී සංඛ්‍යාව අඩුවෙලා හෝ වැඩිවෙලා කියලා කියන්න කිසිම සාධකයක් නෑ. ඉතින් කතානායකතුමා කියන විදිහට ඔක්තෝබර් 26 වැනිද‌ා තත්ත්වය එතුමා පිළි අරගෙන තියෙනවා. අනික් මන්ත්‍රීවරුන් 126 දෙනෙක් අත්සන් කරලා එතුමට ලිපියක් බාර දිලා තියෙනවා.   


ප්‍රශ්නය:- නමුත් මන්ත්‍රීවරුන් 126 දෙනෙක් ලියුමක් දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට පිළිගන්නවා කියල නොවෙයි. පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි?   


පිළිතුර:- ඔයා කියන එක හරි. එහෙම ලියුමක් දුන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා තමයි.   


ප්‍රශ්නය:- එහෙම නම් කොහොමද ඒ ලියුමට අනුව රනිල් වික්‍රමසිංහට බහුතරයක් තියෙනවා කියලා කියන්නේ?   


පිළිතුර:- නෑ එහෙමත් අදහස් කරන්න පුළුවන්නේ. එතැන අත්සන් කරපු සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂපාතී අය නොවෙයි. ඒ ගොල්ලෝ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුව තුළින් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න කියලා තමයි.   


ප්‍රශ්නය:- 14 වැනිද‌ා පාර්ලිමේන්තුව කැඳවනවනේ. ඇයි කලබල වෙන්නේ?   


පිළිතුර:- මම කියන්නේ 14 වැනිද‌ා කැ​ෙඳව්වට පස්සේ ඉස්සෙල්ලම කරන්න ඕනෑ වැඩේ තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ කාටද කියලා න්‍යාය පත්‍රයේ පළමු අංකය හැටියට අරගෙන මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න ඕනෑ කියලයි.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රිගේ පාර්ශ්වය කියන්නේ පාර්ලිමේන්තුව කල් තිබ්බේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි අය වැය හද‌‌ාගන්න කියලයි?   


පිළිතුර:- ඉතාමත්ම පැහැදිලියිනේ? අතුරු සම්මත ගිණුමක් හදන්න අමාරු නෑනේ. අය වැය බොහෝ දුරට හදලා තිබුණේ. ඇත්තටම පාර්ලිමේන්තුව කල් තිබ්බේ බහුතරය නැති නිසා බිලි බාගන්න පුළුවන් අයව බිලි බා ගන්නයි.   


ප්‍රශ්නය:- ඔබ කියනවා අය වැය හදලා තිබුණේ කියලා. ඒ අය වැය හදලා තිබුණේ ඇමැති මංගල. දැන් තියෙන්නේ වෙනත් ආණ්ඩුවක්?   


පිළිතුර:- අවශ්‍ය වෙනස්කම් කරන්න වැඩි කාලයක් යන්නේ නෑනේ. ඒක පහසුවෙන් කරන්න පුළුවන්.   


ප්‍රශ්නය:- නීතිපතිවරයත් කිව්වා ‘පාර්ලිමේන්තු සැසිවාරය කල් ද‌ාන ජනාධිපතිවරයාගේ ගැසට් එකට අභියෝග කරන්න බෑ’ කියලා?   


පිළිතුර:- එතුමා ගේන්නේ නීති තර්කයක්. අපි මතු කරන්නේ දේශපාලන සද‌ාචාරය පිළිබඳ ප්‍රශ්නයක්?   


ප්‍රශ්නය:- වැඩබලන නීතිපතිවරයා කතානායකවරයාට ලිඛිතව දන්වා තිබුණේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තිය කෙරෙහි අවධානය යොමු කරන්න’ කියලයි.   


පිළිතුර:- දප්පුල ලිවේරාගෙයි ජයන්ත ජයසූරියගෙයි පැහැදිලි මතයක් කියලා නෑ. ඒක වැට උඩ. වැට උඩ මතයක් තමයි කියලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක පාර්ලිමේන්තුවෙන් විසඳගන්න ඕන ප්‍රශ්නයක්නේ. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයාට බහුතරයක් තියෙනවා කියලා අත්සන් කරලා ජනාධිපතිතුමාට දුන්නා නම් කතානායකතුමා පිළිගනීවි. එහෙම ලියුමක් දීලා නැහැනේ.   


ප්‍රශ්නය:- ඔබට බහුතරය තියෙනවද?   


පිළිතුර:- පැහැදිලිවම තියෙනවා? ඒ ගැන සැකයක් ඇතිකර ගන්න එපා.   


ප්‍රශ්නය:- නමුත් රනිල් වික්‍රමසිංහට සහාය පළ කරලා අත්සන් කරපු, ප්‍රවෘත්ති සාකච්ඡා තියපු කී දෙනෙක් මහින්ද පැත්තට පැන්න ද?   


පිළිතුර:- එහෙම පැන්නේ ඇයි? කොහොමද කියලා දැන් මිනිස්සු කතා වෙනවනේ. ගණන් මිනුම් ගැන පවා කතා වෙනවනේ.   


ප්‍රශ්නය:- එතකොට මනුෂ නානායක්කාර? ඔහු මහින්ද ළඟ ඉඳලා රනිල් ගාවට පැන්නේ?   


පිළිතුර:- මේ වෙලාවේ හෘදසාක්ෂිය තියෙන කෙනෙකුට ඒ පැත්තේ ඉන්න බැහැනේ. තව කී දෙනෙක් එන්න ඉන්නවද? නමුත් අපිට බහුතරය තියෙන නිසා එහෙම ගන්න හදිසියක් නෑ.   


ප්‍රශ්නය:- මේ වෙලාවේ එජාපයේ සහායක බලඇණි මොනවද?   


ප්‍රශ්නය:- ඇයි දෙමළ ජාතික සන්ධානය ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන් මේ ඔක්කොම ඉන්නවා.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියපු ඔක්කොම අය රනිල් වික්‍රමසිංහට පක්ෂපාතියි?   


පිළිතුර:- මෙහෙමනේ. මේක රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක් නොවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන ප්‍රශ්නයක්. මේ විදියට අගමැතිවරු වෙනස් කරන්න ගියොත් මාස දෙකෙන් දෙකට අගමැතිවරු එයි.   


ප්‍රශ්නය:- යහපාලන අරමුණු මතම වැඩ කළා නම් මේ ප්‍රශ්න මොකුත් නෑනේ?   


පිළිතුර:- ඉතින් මම කියන්නේ ඒක තමයි. ජනාධිපතිතුමාට එහෙම ප්‍රශ්න තියෙනවා නම් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා විසඳ‌ා ගන්න තිබුණනේ. එතුමා කරපු වැරැද්ද ඒක තමයි. ඔක්කොම ටික හිතේ තියාගෙන හිටියා. මේ ප්‍රශ්නය කවද‌ාවත්ම සාකච්ඡා කළෙත් නැහැනේ. ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි කවුරුත් මනුෂ්‍යයොනේ. එතකොට ඒ ප්‍රශ්න කතා කරලා විසඳා ගන්න ඕනෑ. ඒකනේ ක්‍රමය.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර යම් ප්‍රශ්නයක් තියෙන බව ජනතාවටත් තේරිලා තිබුණේ?   


පිළිතුර:- අපිටත් තේරිලා තිබුණේ. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ජනාධිපතිතුමා කෙළින්ම දෝෂාරෝපණය කළා. එතුමා හිතුවා එක්සත් ජාතික පක්ෂයට දෝෂාරෝපණය කළාම එතුමාගේ ඡන්ද ගොඩ වැඩිවෙයි කියලා. නමුත් කවද‌ාවත් මේවා සාකච්ඡා කළේ නැහැනේ.   
ප්‍රශ්නය:- මම නැවතත් අහන්නේ කරු ජයසූරිය, සජිත් ප්‍රේමද‌ාස කැඳවලා අගමැතිකම බාරගන්න කියලා ජනාධිපතිවරයා කිව්වා. මේවා ඔබලා බැරෑරුම්ව ගත්තේ නැද්ද?   


පිළිතුර:- කරු ජයසූරියටයි සජිත්ටයි අගමැතිකම දෙන්න කතා කළ කියන එක මම නම් දැනගත්තේ එද‌ා එතුමගේ කතාවෙන් පස්සෙයි. ඒක අපිත් එක්කවත් කතා කළේ නෑනේ.   


ප්‍රශ්නය:- ඔබ සභානායක, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. ප්‍රශ්නවලට මීට වඩා ඔබ මැදිහත්විය යුතුව තිබුණා.   


පිළිතුර:- මම හැමද‌ාම කියපු දෙයක් තමයි මේක තනි පක්ෂයක ආණ්ඩුවක් නෙවෙයි. මේක පක්ෂ ගණනාවක ආණ්ඩුවක්. එ් නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වගේ දෙයක් ජනාධිපතිතුමා කරයි කියලා අපි හීනෙන්වත් හිතුවේ නෑ. මේක ඇත්ත වශයෙන්ම ගුණමකු ක්‍රියාවක්. බුදුන්වහන්සේ අපට ඉස්සෙල්ලාම ඉගැන්නුවේ කළගුණ සැලකීම. ඉතින් බුදුන් වහන්සේගේ ඒ පළමු වැනි පාඩමටත් පිටුපාලා තමයි මේක කළේ?  


ප්‍රශ්නය:- තිබුණ දේශපාලන පරිසරය තුළ මෛත්‍රි - මහින්ද එක් වෙයි කියලා හිතන්නත් බෑ?  


පිළිතුර:- අපි හිතුවේ නෑ. අනික් අතට මහින්ද රාජපක්ෂ පත් කිරීම එතුමාගෙ ජනවරමට පටහැණියි. ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි පැරදිච්ච කෙනාව කොහොමද අගමැති කරන්නේ. මට ඒක කියල ඉන්න. එතුමාට ජනවරම ලැබුණේ මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව. එතකොට එතුමා පරාජය කළ පුද්ගලයා පත් කිරීම එතුමගේ ජනවරමට පටහැණියි.  

 

අපි දැනගෙන හිටියා ප්‍රශ්න තිබුණා කියලා. ඒත් මේ තරම් ප්‍රශ්න තිබුණා කියලා අපි දැනගෙන හිටියේ නෑ


ප්‍රශ්නය:- නමුත් පළාත් පාලන මැතිවරණයේදී වෙනත් ජනමතයක් ප්‍රදර්ශනය වුණා?  


පිළිතුර: පළාත් පාලන මැතිවරණය ගණන් ගන්න බැහැනේ. එහෙම නම් පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරු පත් කරන්න පුළුවන් වෙන්න එපැයි. එහෙම කරන්න බැහැනේ. ඒක බලපාන්නේ ඒ මැතිවරණයට පමණයි.  


ප්‍රශ්නය:- නමුත් ආණ්ඩු විරෝධය ඒ මැතිවරණ ප්‍රතිඵලයේ ඉතාම පැහැදිලිව තිබුණා?  


පිළිතුර:- ඒක වුණේ ජනාධිපතිතුමා නිසා. මිනිස්සු ඡන්දය දුන්නේ ආණ්ඩුකරණයට. එතකොට ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකට යන්නේ නෑ කියලා මිනිසුන්ට පෙනුණාම ඒ ආණ්ඩුව ගැන කලකිරීමක් ඇතිවුණා. පළාත් පාලන මැතිවරණයේදී වුණේ ඒකයි. දෙන්නා එකට ගියා නම් අනිවාර්යයෙන්ම එතුමත් දිනනවා, අපිත් දිනනවා.  


ප්‍රශ්නය:- මේ සිද්ධියෙන් පස්සේ ජනාධිපතිවරයා ඔබට කතා කළාද? ඔබ කතා කළාද?  


පිළිතුර:- නෑ. අපි කතා කළේ නැහැ.  


ප්‍රශ්නය:- නමුත් සමහර නායකයන් හොරෙන් ගිහින් ජනාධිපතිවරයා හමුවුණා?  


පිළිතුර:- මම නම් දන්නේ නෑ. නිල වශයෙන් කවුරුවත් කතා කළේ නෑ. මට ආරංචි වුණා සමහරු කතා කළා කියලා. නමුත් නිල වශයෙන් කතා කළේ නෑ.  


ප්‍රශ්නය:- දැන්වත් කතා කරන්න බලාපොරොත්තුවක් නෑ?  


පිළිතුර:- ඔව්. දැන් ප්‍රමාද වැඩියි.  


ප්‍රශ්නය:- ඇත්තටම ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම තරමට ප්‍රශ්න තිබිලා තියෙනවා?  


පිළිතුර:- මම පොලිසිය බාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගෙන් කීප වරක්ම ඇහුවාම එතුමා මට කිව්වේ ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියලා ඒ හඬපටවල නැහැ කියලයි. මම ඔය කරුණු දැනගත්තේ එතුමාගෙන්. ඝාතනයක් ගැන ඒ හඬපටවල නැහැලු. බණින එක තියෙනවාලු. ජනාධිපතිතුමාට බණින එක තියෙනවලු.  


ප්‍රශ්නය:- නමුත් ඔය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා රහස් පොලිසියට දීපු කට උත්තරවල බොහෝ බරපතළ කාරණා තියෙන බව වාර්තා වෙනවා?  


පිළිතුර:- එයාගේ හඬ පට ගැනයි මම කිව්වේ. මං හිතන්නේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමා මට කිව්වේ ඔය ඔක්කොම දැනගෙන තමයි. ඝාතනයක් ගැන ඒවායේ කියැවෙන්නේ නැහැ. බණින ඒවා තියෙනවා. ඔය අපටත් බණින්නේ එක එක්කෙනා. ඒත් එහෙම බැන්නයි කියල අපි කියන්නේ නැහැනේ ඒ මිනිහා මාව ඝාතනය කරන්න ඉන්නවා කියලා.  


ප්‍රශ්නය:- අවසානයේදී ඔප්පු වුණේ මහනුවර සිද්ධියත් එක්සත් ජාතික පක්ෂයේම නිර්මාණයක් කියලයි?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය කවද‌ාවත් එහෙම කුමන්ත්‍රණ කරන්නේ නෑ. බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කළේ ඒ පක්ෂයේම අයමයි.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළ බව කියන නියෝජ්‍ය පොලිස්පතිපතිවරයා අත්අඩංගුවට ගන්නත් සෑහෙන තරම් කාලයක් ගත වුණා?  


පිළිතුර:- ඔව්. ජනාධිපතිතුමාගේ තීරණයට ඒකත් බලපාන්න ඇති. මං නෑ කියන්නේ නෑ. ඇත්ත වශයෙන්ම පොලිසියෙ උසස් නිලධාරියෙක් ජනාධිපතිතුමාට එහෙම අපහාස කරලා තිබුණා නම් මම නීතිඥයෙක් හැටියට කියන්නේ ඔහුව වහාම අත්අඩංගුවට ගන්න තිබුණා, ඝාතන කුමන්ත්‍රණයක් නැතත්, අපහාස කරලා තියෙනවා නම්. මම හඬපට ඇහුවෙත් නෑ. නමුත් එහෙම තිබුණා නම් අත්අඩංගුවට ගත යුතුව තිබුණා.  


ප්‍රශ්නය:- මෙතැනින් එහාට කුමක් වෙයිද?  


පිළිතුර:- ජනාධිපතිතුමාට පැහැදිලිවම බහුතරය නැහැ. විවිධ උපක්‍රම මගින් කට්ටිය ගන්න හදන්නේ ඒ නිසයි.  


ප්‍රශ්නය:- බහුතරය නැතිව ජනාධිපතිවරයා මේ වගේ බැරෑරුම් තීරණයක් ගනීද?  


පිළිතුර:- මට ලැබෙන ආරංචියට අනුව නම් අපේ පැත්තෙන්ම එක්කෙනක් ලණුවක් දීලා තියෙනවා ඔහුත් එක්ක දොළහක් ඉන්නවා කියලා. නමුත් ඒ 12 දැන් නැහැ.  


ප්‍රශ්නය:- කවුද ඒ ලණුව දුන්නේ?  


පිළිතුර:- මට එහෙම නම් කියන්න බෑ. ඔයා අපේ පැත්තේ ඉන්න එක්කෙනෙක්. ඒත් ඔයා යන්නෙත් නෑ 12 යන්නෙත් නෑ. ජනාධිපතිතුමා ඒ ලණුව කාලා තමයි ඔය වැඩේ කළේ. නමුත් කවුරුවත් යන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ එහෙම යන්නේ නෑ කියලා කිව්වත් රනිල් වික්‍රමසිංහට සෙත් පතලා අරලියගහ මැදුරේ පිරිත් සංවිධානය කළ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීත් මහින්ද ළඟට පැන්නා?  


පිළිතුර:- ඒක තමයි අදහා ගන්න බැරි. මං එතුමට පිරිත් මණ්ඩපය හදන්නත් සල්ලි ටිකක් දුන්නා. 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්