එදා මැති සබය ’ක්ලීන්’ කළ හැටි


“මං නියෝග කරනවා මන්ත්‍රීතුමා සභාවෙන් දොට්ට දාන්න කියලා”

මේ වදන් පසුගිය 76 වසර තුළ කී වතාවක් අපේ පාර්ලිමේන්තුවේ කථානායක අසුනෙන් ඇසෙන්නට ඇත් දැයි දන්නේ දිගු කලක් එය නියෝජනය කළ මන්ත්‍රීවරු සහ හැන්සාඩ්පත්‍රය කියවන්නන් පමණි.
 
පාර්ලිමේන්තුවේ සභාපතිවරයා, කථානායකය. ඔහුගේ නියෝග නොතකා බෙරිහන් දෙන, අසභ්‍ය වෛරී වදන් භාවිත කරන, සහෝදර මන්ත්‍රීන්ට පහරදෙන්න යන, රාජ්‍ය දේපළ අවභාවිත කරන, කැරැලි ගසන මන්ත්‍රීවරුන් ආරක්ෂාව පතා යෝජනාවක් මත සභා ගැබෙන් ඉවත් කිරීම සිදු වෙයි.
 
කථානායකවරයා මේ නියෝගය දෙන්නේ ප්‍රධාන වේත්‍රධාරි නිලය හොබවන තැනැත්තාටය. ඒ අනුව, කිහිප වරක් අවවාද කිරීමෙන් පසු අදාළ මන්ත්‍රීවරයා කලහකාරි පිරිස හොඳින් හෝ නරකින් එළියට ඇද දමා සභාව ‘ක්ලීන්’ කිරීම වේත්‍රධාරියාගේ වගකීමයි.
 
මෙහිදී වේත්‍රධාරියාට මෙන්ම කථානායකවරයාට ද අඩත්තේට්ටම්වලට මුහුණ පෑමට සිදු වූ අවස්ථා ඇති අතර, 2015-2023 කාලය ඊට නිදසුන්ය. එදා අකරතැබ්බයකට මුහුණ පෑවේ කථානායක ධුරය දැරූ කරු ජයසූරිය ය. ප්‍රකෝප වූ මන්ත්‍රීවරු ඔහුගේ අසුනට වතුර වක්කර අලාභහානි කළහ.
 
1960-2011 සමය තුළ සිදු වූ එවැනි ගහමරා ගැනිලි හා දොට්ට ඇද දැමූ මහජන නියෝජිතයන් ගැන හාස්‍යජනක මෙන් බිහිසුණු කතා කිහිපයක් පැරැණි හැන්සාඩ්පත්‍රවල දක්නට ලැබේ.
 
පාර්ලිමේන්තු සභා ගැබේ ඉදිරි පෙළ වෙන් වන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට හා ප්‍රබල ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටය. වැඩියෙන් නැගී සිටින්නේ ද, ප්‍රශ්න අසන්නේ ද, උත්තර බඳින්නේ ද, ජාතික ගැටලු ගැන දෙසුම් පවත්වන්නේ ද ඔවුහුය. පසු පෙළ බහුතරයට තමන් පත් කළ ජනතාවගේ ගැටලු, අදහස් ගැන විමසන්නට, කතා කරන්නට ලැබෙන්නේ කලාතුරකිනි.
 
එබැවින්, ඔවුන්ට ජනතාවට මුහුණ දීමට බැරි තත්ත්වයක් උදා වන බව නොරහසකි. එනිසා ඔවුන් පසුවන්නේ මානසික අසහනකාරිත්වයෙනි. ඒ හේතුවෙන් ඔවුහු කල්ලි ගැසී තමන්ගේ ආණ්ඩුව විවේචනය කිරීමට පවා පෙලඹෙති. මේ අය හඳුන්වන්නේ ‘ඉඟුරු කල්ලිය’ කියාය. හැම ආණ්ඩුවකම මෙවන් කල්ලියක් බිහි වීම නොවැළැක්විය හැකි වූ අතර, විප්ලව, අරගල හා ප්‍රචණ්ඩ ජවනිකා ඇති වන්නේ ද නොඉවසිලිමත් මෙම මන්ත්‍රීවරුන් තුළිනි.
 
එසේ වුව ද, මැතිසබයෙන් දොට්ට දැමූ මන්ත්‍රී ලැයිස්තුව ගෙන බැලූ කල ඔවුන් ‘හැබිචෝල්’කාරයන් යයි හංවඩු වැදී නැති චරිත බව පෙනී යයි.
 
ශාන්ත දාන්ත තීන්ත කූඩු වැනි මන්ත්‍රී චරිත ද උද්ගත වූ තත්ත්වය මත එළියට දැමිණ. 1960 නොවැම්බර් 3 වැනිදා බොරලුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ සහෝදර රොබට් ගුණවර්ධන එසේ ඉවත් කරන ලදහ.
 
1961 මැයි 25 දින ගාල්ල මන්ත්‍රී වූ පසුව අගමැති තනතුරට ද සුදුසු වූ විජයානන්ද දහනායක ගම්සභා සංශෝධන පනත පිළිබඳ ඇරැඹූ වේගවත් කතාව පැය 5ක් යනතුරු නවත්වන්නට බැරි විය. ඉන් ද නොනැවතී රැය පුරා කතා කර පසු දා උදේ 6.30 වනතුරු ආකර්ෂණීයව කතා කළේය. ඔහුව සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සභානායක සී. පී. ද සිල්වා ගෙන ආවේ බැරිම තැනය.
 
“ගාල්ලේ මන්ත්‍රීතුමා සභාවෙන් ඉවත් කරනු” කථානායක නියෝග කළේ අනතුරුවය. වේත්‍රධාරි ආනන්ද සිල්වා සමඟ පොලිස් භටයන් 6 දෙනෙක් සභාගැබට ඇතුළුව කෙසඟ සිරුරක් ඇති දහනායක ඔසවා ගත්තෝය.
 
“යකුනේ, මාව හොඳ හිතින් බිම තියාපල්ලා. තොපි මාව ගෙනියන්නේ බේරේ වැවට දාන්න ද?” යැයි දහනායක බෙරිහන් දුන්නේය.
 
පාර්ලිමේන්තු ප්‍රාකාරයෙන් එළියට දැමූ ඔහුගේ හිස මතට ඔහු පරිහරණය කළ ලිපි ගොනු, ඇස් කණ්ණාඩි කුට්ටම හා සෙරෙප්පු යුගල ද වැටුණි.
 
1961 අගෝස්තු 17 වැනිදාත් රොබට්, පිලිප් ගුණවර්ධන සොහොයුරන්ට ඉහත ඉරණම අයත් විය. එදා රොබට් මන්ත්‍රීවරයා ඩී. ඇස්. ගුණසේකර නම් කෙසඟ මන්ත්‍රීවරයාට ‘උම්බලකඩයා’ හා ‘හාල්මැස්සා’ යයි බැණ වැදිණ. ‘උම්බලකඩයා’ යන වදන හැන්සාඩ්පත්‍රයෙන් ඉවත් කරන ලෙස කථානායක ආර්. ඇස්. පැල්පොළ නියෝග කළේය.
 
“නෑ, නෑ, එපා. උම්බලකඩයා කියන්නෙ එයාට ගෞරව නාමයක් වගේ.” දහනායක මන්ත්‍රී කීවේය. මෙහිදී ප්‍රකෝප වූ රොබට් කැලණිය මන්ත්‍රී ආර්. ඇස්. පෙරේරාට ද පුටුවෙන් පහරදීමට ගියේය. මෙම ආරවුල බේරා ඇත්තේ ජේ. ආර්. සහ ඩඩ්ලිය.
 
මෙහිදී මැදිහත් වූ කථානායකවරයා රොබට් මන්ත්‍රීවරයාට උපකාර වුණු පිලිප් ද සභාවෙන් ඉවත් කළ අතර, රොබට්ට පුරා මාසයක් පාර්ලිමේන්තුව තහනම් විය.
 
1962 නොවැම්බරයේ දිනක ජාතික විමුක්ති පෙරමුණේ නායක වැලිමඩ නියෝජනය කළ කේ. ඇම්. පී. රාජරත්න අල්ලස් පනත් කෙටුම්පත විවාදයට ගැනීමට යෝජනා කළේය. සභා නායක සී. පී. ද සිල්වා ඊට එරෙහි වීමෙන් පසු උද්ඝෝෂණය ඇරැඹිණ.
 
“කවුද රජා, පගා රජා” කියමින් විරුද්ධ පක්ෂ මන්ත්‍රී රාජරත්න සභාව දෙදරවීය. ඔවුන් ඉවත් කිරීමට කථානායකගේ නියෝගය අනුව වේත්‍රධාරි හා පොලිසිය පිවිසෙත්ම ස්ටැන්ලි තිලකරත්න හෙවත් පසු කාලයේ කථානායක වූ මන්ත්‍රීවරයා, සෝමා වික්‍රමනායක මන්ත්‍රීවරිය හා දෙමළ මන්ත්‍රී සිවසිදම්බරම් ඇතුළු විශාල පිරිසක් ඊට අවහිර කරමින් අරගල කළහ. පොලිස් පරීක්ෂකවරයා රාජරත්නව අල්ලා ගත්තේ ‘රගර් මැච්’ එකක් සිහිපත් කරමින් බිම පෙරළා ගනිමිනි. සෝමා වික්‍රමනායක මන්ත්‍රීවරිය සාරි පොටින් ඔහු මුවා කරගත්තාය. “සටන් විරාමයක් ඕනෑ” කවුදෝ මන්ත්‍රීවරයකු කෑගැසීය.
 
මෙහිදී ලක්ෂ්මන් රාජපක්ෂ මන්ත්‍රීවරයා කථානායක වෙත පැන සෙංකෝලය උදුරාගත් අතර, ගිනි නිවන උපකරණය රැගෙන ස්ටැන්ලි තිලකරත්න මන්ත්‍රී දිව එනු පෙනිණ. මේ කලබැගෑනි මැද රාජරත්න අතුරුදන් වී සිටියේය.
 
1965 දී දිනක මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර ඔසවාගෙන යාමට සිදු වූයේ මහජන ගැලරිය වසා දැමීමට විරෝධය පෑම නිසාය. එදා ඔහුට එරෙහිව ඉවත් කිරීමේ යෝජනාව ගෙන ආවේ සභානායක ජේ. ආර්. ය. ඊට විරෝධය පළ කළේ ඇන්. ඇම්. ය. 1966 ජනවාරි 11 දා මෙවැනි අරගලයකට මැදිහත් වූ කැස්බෑව මන්ත්‍රී කවිපති සෝමවීර චන්ද්‍රසිරි “මං කැමැතියි මාව ඔසවාගෙන යනවාට” යයි තමාම ඉල්ලූ හෙයින්, එලෙසම කරන ලදී.
 
1974 මැයි 8 වැනිදා ද පුවත්පත් නිදහසට එරෙහිව නොකඩවා කතා කළ දහනායක පිළිබඳ සභා නායක මෛත්‍රීපාල සේනානායක කළ යෝජනාව අනුව නියෝජ්‍ය කථානායකවරයා ‘දහනායක’ ඉවත් කළේය. ඒ වන විට මැති සබය ගුටි සබයක් බවට පත්ව තිබිණ.
 
1980 ඔක්තෝබර් 15 දින සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව සටනක් මෙහෙයවූ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දහනායකට සභා ගැබෙන් යන්නට සිදු විය. 1985 වසරේ දිනක හමුදාවට අතිරේක මුදල් වෙන් කිරීම ගැන එරෙහි වූ කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම “ජනපතිට බලය භාවිත කරමින් වැරැදි කරන්න දෙන්න බෑ” කීමේ පාපයට දොට්ටු දැමුණි.
 
1987 දී පාර්ලිමේන්තු බෝම්බ පිපිරීමට පසු පැවැති හදිසි නීති විවාදයේදී පක්ෂ නායක එකඟතාව බිඳිමින් කෑගැසූ අක්මීමන මන්ත්‍රී රිචඩ් පතිරණ නම් කොට සභා ගැබෙන් ඉවත් කෙරිණ. රිචඩ්ගෙන් ගිලිහුණු සටන අතට ගත් අමරසිරි දොඩම්ගොඩ හා ආනන්ද දසනායක යන අය “මිනීමරු ආණ්ඩුව ගෙදර පල” කියා කෑගැසූහ. කථානායක ඊ. එල්. සේනානායක කෝපයට පත්විය.
 
දිනේෂ් ගුණවර්ධන හා ලක්ෂ්මන් ජයකොඩි ද එදින ඉවතට දැමූ පිරිසට අයත්ය. එම යෝජනා ගෙන ආවේ වින්සන්ට් පෙරේරා ඇමැතිවරයාය.
 
මෙලෙස එදා ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ මන්ත්‍රීවරුන් අට දෙනා එකා පසුපස එකා සභා ගැබෙන් නෙරපන ලද අතර, ඉතිරි වූ එකම මන්ත්‍රීවරයා වූ ඩිව් ගුණසේකර පමණක් නතර වී හදිසි නීතියට එරෙහි එකම ඡන්දය දුන්නේය.
 
1993 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල භූමිකාවක් කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැති සබයෙන් දොට්ට දමනු ලැබුවේ වේත්‍රධාරි රොනී අබේසිංහ හා විජය පල්ලියගුරු විසිනි. තමා කැඳවාගෙන යාමට වේත්‍රධාරින් එනු දැක දැකත් තම අසුනේ නිසොල්මන්ව වාඩිගෙන සිටි මෛත්‍රී ඔසවාගෙන යාමට කාකි කබා හැඳි පොලිස් භටයෝ 14ක් ද එක්වූහ. නදීරා මඩුගල්ල නම් ලේඛිකාව එම මොහොත වාර්තා කළේ, “මඩෙන් උපන් සුදෝ සුදු නෙළුම් මලක්” ලෙස ඔහු ඉහළට එසවුණු බවය. ඔහු සමඟ රිචඩ් පතිරණ, සී. බී. ගුණරත්න හා දි. මු. ජයරත්න යන සටන්කරුවෝ ද සභා ගැබෙන් ඉවත් කරන ලදහ.
 
අද විපක්ෂයේ ප්‍රබලයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල එදා ශ්‍රී.ල.නි.ප.යේ සටන්කාමි කථිකයකු විය. ඔහුගේ හඬ නැවැත්වීමට අපොහොසත් වූ නියෝජ්‍ය කථානායක, මහා නළු ගාමිණී ෆොන්සේකා, ඔහු සභාවෙන් ඉවත් කිරීමට නියෝග කළේය. ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව වෙඩිමුරයක් තැබුවේ එකල මුස්ලිම් කටයුතු රාජ්‍ය ඇමැති ඒ. එච්. එම්. අස්වර්ය. ගාමිණී ෆොන්සේකා ඔහුව ද පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවතට දැමීමට මැළි නොවීය. අස්වර්ගේ කරච්චලය ඉන් නැවතුණි.
 
කිරිඇල්ලගෙන් පසුව කතා කළ එස්. සෙල්ලසාමිට බාධා කළේ මන්ත්‍රී අබුබකර්ය. දි. මු. ජයරත්නට බාධා කළේ මර්වින් ජේ. කුරේ මන්ත්‍රීවරයාය. විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකා විසින් රොත්ත පිටින් එළියට යැවිණ. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට ද එම ඉරණම අයත් විය. යූ.ඇන්.පී. ආණ්ඩුව හදිසි නීතිය සම්මත කරගත්තේ එලෙසිනි.
 
1977-78 කාලයේ මෙන්ම 1989-94 කාලයේ ද මෙලෙස ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ විපක්ෂය මහ පාරට ඇද දමන ලදී.
 
අතීතයේ පැවැති ආණ්ඩුවල පාර්ලිමේන්තුවේ කරදරකාරයන් ලෙස හංවඩු ගැසූ මන්ත්‍රීන් අතර ඊලම නියෝජනය කළ සුන්දරලිංගම්, හදිසි නීතියට එරෙහිව ල.ස.ස.ප. නායක ඇන්.ඇම්., පිලිප්, රොබට්, දහනායක, එඩ්මන් සමරක්කොඩි, සෝමවීර චන්ද්‍රසිරි යන චරිත අමතක නොවේ.
 
මෙම නැගී සිටීම් හුදෙක් ආත්මාර්ථකාමිව කැපී පෙනෙන්නට කළ අරගල ලෙස සමහරු හැඳින්වෙන අතර, ජාතිකාලයෙන් කළ විරෝධය පෑම් ද ඒ අතර නැතුවා නොවේ. ඇතැම් දේශපාලන පක්ෂවල අවසන් තුරුම්පුව හෙවත් අවසන් ඉත්තා ලෙස මෙම විරෝධතා හුවාදැක්වීම ද සිදු වෙයි.
 
පළමු වන රාජ්‍ය සභා රැස්වීමේදී එනම් 1934 සැප්තැම්බර් 13 දා ද අනුරාධපුර මන්ත්‍රී එච්. එම්. ප්‍රීමන් හා 1946 ජුලි 2 දා බිබිල මන්ත්‍රී දහනායක ද නිදහසට පෙර ඉවත් කළ මන්ත්‍රීවරු දෙදෙනාය.
 
සී. සුන්දරලිංගම් (1950/1955), ලෙස්ලි ගුණවර්ධන, ටී. බී. එම්. හේරත්, ඇල්බට් කාරියවසම් (1967), එස්.ඩී. බණ්ඩාරනායක (1968), ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හීන් මහත්තයා ලියනගේ, විජිතමුණි ද සොයිසා, රෙජී රණතුංග (1994) එසේ ඉවත් කළ අයය.
 
1999 අගෝස්තු 17 දින දි. මු. සභා ගැබෙන් ඉවත් කළේ එක් දින තහනමක් මතය. 2007 දී එස්. ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද, 2011 දී දයාසිරි ජයසේකර ද එපරිදිම ඉවත් කෙරිණි. සරණ ගුණවර්ධනට (2011) සතියක් රැස්වීම් තහනම් විය. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මෙම වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි. තවමත් මේ ක්‍රියාදාමය වෙනස් මුහුණුවරින් සිදු කෙරෙයි. පාර්ලිමේන්තුව වනාහි ‘අළු යට ගිනි ඇවිළෙන පුපුරා යන ගිනි කන්දක්’ වැනි යයි හැඟේ.
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි