ආණ්ඩුවට තෙවසරකි. ‘හුස්ම ගත්ත අවුරුදු තුනක්’ ඒ ආණ්ඩුව කියන කතාවය. ඒ කතාව ඇත්තද? මේ ඒ ගැන විමසමින් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.
සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න
ප්‍රශ්නය:- ආණ්ඩුවට අවුරුදු තුනයි. ‘හුස්ම ගත්ත තෙවසරක්’ කියලයි ආණ්ඩුව කියන්නේ. මේ අවුරුදු තුන ඇතුළත ඇත්තටම හුස්ම ගන්න පුළුවන් වුණේ කාටද?
පිළිතුර:- සුදු වෑන්වලට බයේ හිටපු ඔක්කොම මිනිස්සු අද හොඳට හුස්ම ගන්නවා. ගුටිකන්න හිටපු මාධ්‍යවේදීන් අද හොඳට හුස්ම ගන්නවා. මැරෙන්න හිටපු මාධ්‍යවේදීන් අද හොඳට හුස්ම ගන්නවා. රටින් පැනලා යන්න හිටපු මාධ්‍යවේදීන් අද ලංකාවේ ඉඳගෙන හොඳට හුස්ම ගන්නවා. උතුරේ බියෙන් සැකෙන් වෙළිලා හමුදාවේ ජීප් වලට බයෙන් හිටපු ජනතාව අද හොඳට හුස්ම ගන්නවා. අද පාරට බැහැලා සටන්පාඨ කියමින් අපට විරුද්ධව උද්ඝෝෂණය කරන මිනිස්සු අද හොඳට හුස්ම ගන්නවා. හලාල් හරාම් තීන්දු කරපු සිංහල අයට බයෙන් හිටපු මුස්ලිම් ජනතාව අද හොඳට යාඥා කරමින් හුස්ම ගන්නවා. මේ හැම අංශයක්ම අද හොඳට හුස්ම ගන්නවා. වෘත්තීය සමිති අද බය නැතිව වර්ජන කරමින් හුස්ම ගන්නවා. දකුණේ විරෝධතා කරන්න බැරිව නගුට අකුළා ගෙන හිටපු අය අද හොඳට හුස්ම අරගෙන ඒ කාර්යභාරය අතිකාලත් අරගෙනම කරනවා.
ප්‍රශ්නය:- ඔබේ උත්තරය පැහැදිලියි. ඒත් ජනතාව ඉන්නේ බඩු මිලෙන් බදු බරින් හුස්ම ගන්න බැරිව?
පිළිතුර:- ආර්ථිකයෙ හුස්ම හිරවෙලා තමයි තිබුණේ අපි බාරගන්න කොට. ඒ නිසා තමයි 2017 ට තිබුණ මැතිවරණය 2015 ට ගෙනාවේ. ඒක මෝඩ තීන්දුවක් නොවෙයි. ඔහුට ගත හැකිව තිබූ අවසානම හොඳම තීන්දුව තමයි එ් ගත්තේ.
ප්‍රශ්නය:- ඡන්දය කලින් තිබ්බා කියලා තියෙන වාසිය මොකක්ද?
පිළිතුර:- මෙහෙමනේ, මහින්ද රාජපක්ෂ හිතුවා මේකෙන් ගැලවෙන්න තියෙන හොඳම පියවර ඡන්දයක් තියලා අලුතෙන් බලයට පත්වෙලා ඒ බල පරාක්‍රමය පාවිච්චි කරලා දැඩි තීන්දු ක්‍රියාත්මක කරලා ඒකට මුහුණ දෙන්න බලාගෙන තමයි හදිසි ඡන්දයකට ගියේ.
ප්‍රශ්නය:- එහෙම ආර්ථික අර්බුදයක් තියෙන බව දන්නේ නැතිව ද ඔබලා ආණ්ඩුව ගත්තේ?
පිළිතුර:- නෑ. අපි දන්නවා. නමුත් කිසිම රජයක් මුහුණ නොදුන් අභාග්‍යයකට අපි මුහුණ දුන්නා. ඒ තමයි හැම අලුත් ආණ්ඩුවක්ම එනකොට ඒ ආණ්ඩුව දන්නවා තමන්ට අවුරුද්දකට කොච්චර ණය ගෙවන්න තියෙනවද කියලා. ඒ ණය ප්‍රමාණය භාණ්ඩාගාරයේ වාර්තා වෙලා තියෙනවා. නමුත් අපට ප්‍රශ්නය වුණේ ඒ වාර්තාගත ණයට වඩා වැඩි ණයක් ගෙවන්න වුණා. ඒ ණය අරගෙන තිබුණෙ බැංකු හරහා. එහෙම අරන් තියෙන්නේ ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වසන් කරන්න. ඒක අපි නොසිතූ විශාල මුදල් ප්‍රමාණයක්. 2015 ඉඳන් ඒක අපිට ගෙවන්න වුණා. එතකොට තමයි අපි දැනගත්තේ මොකද මහින්ද රාජපක්ෂ 2015 ට ඡන්දය කැඳෙව්වේ කියල. ඒවත් තියාගෙන අපි මහජනයාට විශාල සුබසාධන වැඩ ප්‍රමාණයක් කළා.
ප්‍රශ්නය:- ඔබ හිතනවද ඒ සම්බන්ධයෙන් මහජනතාව තෘප්තිමත් කියලා?
පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා. සමෘද්ධිය වැඩි කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ වැඩි කළා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාව වැඩි කළා. ගොවියන්ගේ ණය කපා හැරියා. රත්තරන් බඩු උකස් කරලා තිබුණ හැම කෙනාගෙම පොලිය ආණ්ඩුවෙන් ගෙව්වා. මේ විදියට සෑම කෙනෙකුටම ආර්ථික සහන දුන්නා. ඉන්ධන මිල අඩු කරලා ගෑස් මිල අඩු කරලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරලා නොයෙක් සහන දුන්නා.
ප්‍රශ්නය:- කොහොම වුණත් මහින්ද රාජ්‍ය යුගයේදී වැඩ බිමක්ව තිබූ රට මුඩු බිමක් බවට පත්වුණා?
පිළිතුර:- දැන් වැඩේ තියෙන්නේ මේ සංවර්ධනය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ජනතාව ඒ ගැන දැනුම්වත් වුණා ද නැද්ද කියන කාරණය මතනේ. අපි කතා කරනවා ලොකුවට ගිය රජය අධිවේගී මාර්ග හැදුවා කියලා. ඔවුන් හදපු අධිවේගි මාර්ගවල දුර ප්‍රමාණය කොච්චරද? කිලෝ මීටර 162 යි. මේ වෙනකොට අපේ රජය කිලෝ මීටර 195 ක අධිවේගි මාර්ග හදනවා. එදා ගමේ පාරවල් කීයක්ද හැදුවේ? අද ගමේ පාරවල් කිලෝ මීටර නවදාහක් හදනවා. ඒ වගේම එදා ඌව, උතුර, නැගෙනහිර මාර්ග හැදීම නතර කළා. මොකද මුදල් නැති නිසා. අද ඒ පළාත් සභා තුනේ විතරක් කිලෝ මීටර හයදාහක් හදනවා. ගම් පෙරළිය වැඩ පිළිවෙළ දැන් පටන් අරගෙන තියෙන්නේ.
ප්‍රශ්නය:- ගම් පෙරළිය සාර්ථකද? ඒක අසාර්ථකයි කියලා කියන්නේ ආණ්ඩුවේම මන්ත්‍රීවරු?
පිළිතුර:- නෑ. අති සාර්ථකයි. තව මාස හතරක් විතර යනකොට ජනතාවට ගමට දැනෙන වැඩක් වෙනවද කියලා බලන්න. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කෝටි 20 ක් වෙන් කරලා තියෙනවා. ඒ හරහා ගමේ විශාල සංවර්ධනයක් කෙරෙනවා. මේ වගේ විශාල සංවර්ධනයක් වෙනවා.
ප්‍රශ්නය:- ඔය කියන සංවර්ධන ව්‍යාපෘති ගත්තොත් ඕනෑම ආණ්ඩුවක් කරන සංවර්ධන ව්‍යාපෘති නේ. ඒවා කොහොමත් ආණ්ඩුවක් කරනවා?
පිළිතුර:- ඒ විතරක් නොවෙයි නේ. මෙගා සංවර්ධනය ගන්න. දැන් කොළඹ තියෙන ටවර් බලන්න. විශාල ගොඩනැගිලි තට්ටු 85, තට්ටු 78, තට්ටු 69 මෙන්න මේ වගේ ටවර්. අද 41 ක් ඉදිවෙමින් තියෙනවා.
ප්‍රශ්නය:- ඒවායින් බොහොමයක් මහින්ද රාජපක්ෂ යුගයේදී ආරම්භ කරපුවා?
පිළිතුර:- ඔව්. ඒවායින් 16 ක් පහුගිය රජය කාලේ පටන් ගත්ත ඒවා තමයි. 25 ක් මේ රජය යටතේ ආරම්භ කරපුවා. ඊට පස්සේ වාරිමාර්ග යෝජනා ක්‍රම. මහවැලිය වගේ පස් ගුණයක් විශාල ඒවා. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති අද ආරම්භ කරලා තියෙනවා. මුළු උතුර, උතුරුමැද මේ සියලුම ප්‍රදේශ තෙත් බිම්වලට පත්කරලා තියෙනවා. ලංකාව පුරා ඇළවේලි සංවර්ධනය කරන්න වෙනමම ව්‍යාපෘතියක් තියෙනවා. එතකොට මේ විදියට හැම පැත්තකින්ම විශාල සංවර්ධනයක් වෙනවා.
ප්‍රශ්නය:- ඔය අතරෙම හෘද රෝගවලින් දවසකට රෝගින් 120 ක් 150ක් විතර මිය යන බව විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කරල තිබුණා. ඒ ඔබේ විෂය?
පිළිතුර:- ඔය තත්ත්වය තේරුම් අරගෙන තමයි අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයකුත් කළේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් අලුත්ම රෝහල් 15 ක් විතර දැනට ගොඩ නැගෙනවා. එක රෝහලක් ෙකා්ටි දෙදහස් දෙසිය ගානක් වෙනවා. තව රෝහලක් කෝටි එක්දහස් හයසිය පනහක්. ලංකාවේ කිසිදා සිදු නොවුණු මහා දැවැන්ත රෝහල් සංකීර්ණ ලංකාවට අවශ්‍ය නවීනතම සෞඛ්‍ය, ඩිජිටල් උපකරණ ගෙන්වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉතාමත් ජනතාවාදී ප්‍රතිපත්තියක් කියලා. ඒ සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වෙනවා. මේ විදියට හැම පැත්තකින්ම යෝධ සංවර්ධන ව්‍යාපෘති රට පුරාම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒවා පෙන්වන පත්තර දැන්වීම් නැහැ. කටවුට් නෑ. බැනර් නෑ.
ප්‍රශ්නය:- ඔය ඔක්කොම අතරේ රටේ පාලනයක් නෑ වගේ පෙනෙනවා. ජනාධිපතිවරු ගොඩක් ඉන්නවා වගේ දැනෙනවා. ටීවී එකෙන් ඔබ කතා කරනවා දැක්කම හිතෙන්නේ රටේ ජනාධිපති ඔබයි කියලයි?
පිළිතුර:- මෙහෙමනේ. බණ්ඩාරනායක මහත්තයා ආවමත් ඔෙහාමනේ. එදා කොතලාවලගේ තිබුණ මහා දැඩි හස්තයෙන් නිදහස් කරලා මිනිසුන්ට නිදහස් දුන්නම ඒ බණ්ඩාරනායකට කිව්වේ ‘සෙවළයා’ කියල නේ. එදා ප්‍රේමදාසගේ දැඩි පාලනයෙන් ඩී.බී. විජේතුංග නිදහස් කළාම විජේතුංගට කිව්වේ ‘පිනා’ කියලනේ. එහෙම තමයි මිනිස්සු දකින්නේ.
ප්‍රශ්නය:- පත්තරෙන් හැමදේම දකින ජනාධිපති කෙනෙක්?
පිළිතුර:- මෙහෙමනේ. ඔයා දන්නවනේ. එදා හිටපු අවිචාරවත් විධායක බලය සහිත ජනාධිපති දැන් නෑ. දැන් ඔහුට පාර්ලිමේන්තුවට ඉහළින් තීරණ ගැනීමේ බලය නෑ. ඔහුට අධිකරණයට ඉහළින් ඉන්න තිබුණ ඒ බලය නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඔහුට දැන් නෑ. එතකොට ඒ ජනාධිපතිවරයට නැති බලතල පාවිච්චි කරන්න බැහැ. ඒක තමයි මිනිස්සු ඉල්ලුවේ. ඒක තමයි අපි දීල තියෙන්නේ.
ප්‍රශ්නය:- මුදල් ඇමැති ඉන්ධන මිල රෑට නග්ගනවා. ජනාධිපතිවරයා උදේට බස්සනවා?
පිළිතුර:- ඔව්. හැබැයි එදා ඒ එකක්වත් කරන්න බැහැ නේ. එදා ඉන්ධන මිල නැග්ගුවා නම් නැග්ගුවාම තමයි. ඒක තීන්දු කරන්නේ එක්කෙනයි. එයාට විරුද්ධව ඇඟිල්ලක් උස්සන්න තව කවුරුවත් හිටියේ නෑ. හරි. අද එහෙම නොවෙයි. අද කෙළින්ම කැබිනට් මණ්ඩලය කියන්නෙම හොඳ සංවාද මණ්ඩපයක්. එක එක්කෙනාගේ අදහස් ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුවක හොඳ නරක බලලා ඒක වෙනස් කරනවා. ඒක තමයි සිදුවිය යුත්තේ.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කියනවා මැති ඇමැතිවරුන්ගේ පඩි ශත 5 ක් වැඩි කරන්න දෙන්නේ නෑ කියලා.
පිළිතුර:- ඔව්. හරිනේ. මේ වෙලාවෙ පඩි වැඩි කරන්න අවශ්‍ය වෙලාවක් නොවෙයි මැති ඇමැතිවරුන්ගේ.
ප්‍රශ්නය:- එහෙම නම් කවුද යෝජනා කළේ?
පිළිතුර:- කවුරුවක්වත් යෝජනා කරල නෑ. මාධ්‍යවේදියොනේ ඔය යෝජනාව ගෙනාවේ. කොහේවත් සාකච්ඡා වුණේ නෑ.
ප්‍රශ්නය- පක්ෂ නායක රැස්වීමේදිවත්?
පිළිතුර:- ඔව්. එතැනදී කතා කරලා තිබුණෙ. ඒ හැරෙන්න වෙන කොහේවත් කැබිනට් මණ්ඩලයේදීවත් කතා කළේ නෑ. කවුරුවත් දන්නෙවත් නෑ.
ප්‍රශ්නය:- අගමැති රනිල් වික්‍රමසිංහ මහත් උද්‍යෝගයෙන් කතා කරන සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන හොයන්නත් ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා?
පිළිතුර:- ඒ කියන්නේ විශේෂඥයන් කිහිපදෙනෙකුට බාර දෙනවා මේ ගිවිසුමේ හොඳ නරක බලන්න කියලා?
ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබත් පිළිගන්නවා ‘නරකක්’ තියෙනවා කියලා?
පිළිතුර:- නෑ. නෑ. හොඳ නරක බලන්න තමයි කමිටුව පත් කළේ. බලනවා කියන්නේ වෙනස් කරනවා කියන එකම නොවෙයි නේ.
ප්‍රශ්නය:- එහෙම බලන්න වුණේ ගිවිසුමේ නරකත් තියෙන නිසා නේ?
පිළිතුර:- නෑ. ගිවිසුමේ නරක නෑ. පහුගිය දවස්වල මම ගියා. ‘බිස්නස් සයිකොලජි අසෝසියේෂන් කියන එකට. වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් ඉන්න සංගමයට. ඒකෙදි එක්තරා විශේෂඥවරයෙක් ඇවිල්ලා එයා ලස්සනට මේක ඉදිරිපත් කළා. එතැනදී ඔහු විස්තර කළා සිංගප්පූරු ගිවිසුම. ඉන්දියානු ගිවිසුම වගේ ගිවිසුම් තවත් අත්සන් කරන්න ඕනෑ කියලා. මොකද දියුණු ලෝකයේ රටවල් දැන් මේ වගේ ගිවිසුම් උඩ තමයි කටයුතු කරන්නේ. එතකොට මේ හැම ගිවිසුමකින්ම විශාල ආර්ථික ප්‍රයෝජනයක් ලංකාවට ලැබෙනවා කියලා තමයි ඔහු කිව්වේ.
ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීනයට දීලා. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දුන්නේ රටවල් දෙක බැලන්ස් කරන්න කියලා ඔබ කිව්වා. මේවා එහෙම දෙන්නේ කොහොමද? මේවා ජාතික සම්පත්?
පිළිතුර:- බැලැන්ස් කරන්නේ රාජ්‍යතාන්ත්‍රිකව. හැබැයි දෙන්නේ මේ සුදු අලි ටික කාගෙ හරි ඇඟේ ගහනවා. ඒ ගොල්ලන් හරහා ඒවා දියුණු කරන්න. අපට දියුණු කරන්න බෑ.
ප්‍රශ්නය:- ඇයි බැරි?
පිළිතුර:- මෙහෙමනේ, දැනටත් හම්බන්තොට වරායට අවුරුද්දට රුපියල් කෝටි 920 ක් වියදම් කරන්න ඕනැ. ආදායම කෝටි 20 යි. ඒකත් කොළඹට බාන්න තියෙන වාහන ටික හම්බන්තොට බාන්න ගත්ත තීරණය නිසයි. එහෙම නැත්නම් ශත පහක්වත් නෑ. එතකොට හම්බන්තොට වරාය හදල තියෙනවා. නැව් නෑ. මත්තල ගුවන් තොටුපළ හදලා තියෙනවා. ගුවන් යානා නෑ.ඒකට වියදම් කරන්න වෙනවා ෙකා්ටි දෙදහස් හයසිය පනහක්. හරි. එතකොට කොහෙන් ද මේවා ගෙවන්නේ? ගෙවන්න වෙන්නේ මිනිසුන්ට බදු ගහලා. වෙන ක්‍රමයක් නෑනේ. මේ හම්බන්තොට තියාගෙන හිටියොත් 2020 දී ගෙවන්න වෙනවා කෝටි 1520 ක්. කොහෙන්ද මේ සල්ලි හොයාගන්නෙ? මේ සල්ලි ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි බදු ගැසීම. මිනිසුන්ව බදු වලින් බේරන්න තමයි චීනයත් එක්ක ඒකාබද්ධ ගිවිසුමකට ගියේ. ගුවන් තොටුපොළ ගැන ඉන්දියාවත් එක්ක ඒකාබද්ධ ගිවිසුමකට යන්නේ. ලෝකයේ ආයෝජන කියන ඒවා ඉතාම වැදගත්. සමාජවාදී ආණ්ඩු හදන කාලෙත් අපි කතා කළේ ණය ගන්න හොඳ නෑ. ආයෝජන ගැනීම හොඳයි කියලයි. අද සමාජවාදී ආණ්ඩුත් අන්තිම කාලේ ආයෝජනවලට ගියා.
ප්‍රශ්නය:- මේ ආයෝජන ගෙන ඒමක් ද? රටේ සම්පත් විකිණීමක් ද?
පිළිතුර:- ඒ කියන හැටිනේ. ලංකාවේ මිනිස්සු ආයෝජන කියන එක දන්නෙත් නෑ. විකිණීම කියන එක දන්නෙත් නෑ. විකිණීම කියන්නේ ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පිට කෙනෙකුට දීම. ආයෝජන කියන්නේ බදු ගිවිසුමකට ගිහිල්ලා ඔවුන් එක්ක ලාභය බෙදා ගැනීම. ඒක කොහොමද විකිණීමක් වෙන්නේ?
ප්‍රශ්නය:- මේ වෙනකොට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්. චීනයේ ශාඛාවක්. සිංගප්පූරුවේ කෑල්ලක් බවට පත් කරලා ජාතික ආරක්ෂාවත් අනතුරට හෙළලා කියලා තමයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?
පිළිතුර:- එහෙම නම් ඒ තත්ත්වයට මුලින්ම රට පත් කළේ මහින්ද රාජපක්ෂ නේ. මහින්ද රාජපක්ෂ මහත්තය තමයි මේවා විකිණුවේ. එයා ෂැංග්‍රිලා එකට යුද හමුදා ඉඩම විකුණුවා. ඒක ආපහු ගන්න බැරි විදියට. අපි තමයි ඒක බදු කළේ. ඔය කොළඹ වරාය නගරය සම්පූර්ණයෙන්ම විකුණුවා චීනෙට. අපි ආවට පස්සේ බදු ක්‍රමයකට ගත්තා. ඒ ගොල්ලෝ විකුණපු ඒවා අපි තමයි බේරා ගත්තේ. ඒ ගොල්ලන්ට බැහැ විකිණීම ගැන කතා කරන්න.
ප්‍රශ්නය:- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් තදින්ම විරුද්ධයි?
පිළිතුර:- ගිවිසුම් කීයක් රටේ තිබුණාද? සීපා තිබුණා. කොයි ආණ්ඩුවද ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ? දැන් මේවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉදිරිපත් කරපු නිසා නේ මේ ප්‍රශ්න ඔක්කොම. අනික මේ වෛද්‍ය සංගමයෙ ඉන්න අය ද දන්නේ මේවා හොඳ ද නරක ද කියලා? මේ ගොල්ලන්ට තියෙන ඥානය මොකක්ද? මේ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ ඔක්කොම කියනවා මේ ගිවිසුමේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ගැසට් එකේ වැදගත්ම කොටස වහලා කියලත් කියනවා?
පිළිතුර:- බොරුනේ. බොරුනේ.
ප්‍රශ්නය:- ඔබ වගකීමෙන්ද කියන්නේ?
පිළිතුර:- ඔව්. එහෙම කොහොමද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? ඔය එක එක්කෙනා කියන නිකන් කතානේ.
ප්‍රශ්නය:- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාපයේ ප්‍රබලයන් කියනවා ඊළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කළ යුතුයි කියලා. ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- ඕනෑ කියන එක එකක්. හරිද? අපේ ඇමැතිවරුන්ට ඕනෑ එකයි රටේ මිනිසුන්ට ඕනෑ එකයි එකක් වුණාම නේ හරි යන්නේ. දෙකක් වුණොත් ඒක වැරදිනේ.මිනිසුන්ට ඕනෑ තැනටයි යන්න ඕනෑ.
ප්‍රශ්නය:- මට අවශ්‍ය ඔබේ මතය?
පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳට දන්නවා මිනිසුන්ට ඕනැ මොකක්ද කියලා? ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මගෙත් එක්ක බොහොම පැහැදිලිවම කියලා තියෙනවා. අදත් මම උදේ හමුවුණ වෙලාවේ කිව්වා එක්සත් ජාතික පෙරමුණ හදන්න කියලා. එතුමා ඒ වගකීම මට බාර දුන්නා. එක්සත් ජාතික පෙරමුණ වෙනම පක්ෂයක්, වෙනම ලාංඡනයක්. ඒක තමයි අපි ඉදිරියේදී තරග කරන පක්ෂය. එතකොට එක්සත් ජාතික පෙරමුණ තමයි තීන්දු කරන්නේ කවුද අපේක්ෂකයා කියලා හරිද?
ප්‍රශ්නය:- ඔබ හිතනවද එජාපයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දිනන්න පුළුවන් කියලා?
පිළිතුර:- මතක තියාගන්න. එතුමා මාත් එක්ක පැහැදිලිව කිව්වා එන සැරෙත් අපෙන් ඉදිරිපත් වෙන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. එතකොට කාටවත් ඕනෑ එ්ක නොෙවයි වෙන්නේ. ඒකේ නායකයම කියනවා එන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. අන්න ඒ මාර්ගයේ තමයි අපි යන්නේ.
ප්‍රශ්නය:- ඒ පොදු අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විය නොහැකියි?
පිළිතුර:- එදාට තමයි ඒක තීන්දු කරන්නේ. අද කියන්න බැහැනේ. දැන් තමුන්නාන්සේලා කවුද හිතුවේ 2014 නොවැම්බර් මාසය වෙනකොට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙයි කියලා? අන්තිම රාත්‍රිය වෙනතුරු අපි හංගාගෙන හිටපු චරිතයක් තමයි ජනතාව සම්පූර්ණයෙන්ම බදා වැලඳ ගෙන රජ ගෙදරට ගෙනිච්චේ
ප්‍රශ්නය:- ඔබ සුවපති අභිෂේක ලබන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න බලාගෙනද?
පිළිතුර:- එහෙම නම් ජනපති කියල නේ අභිෂේක ලබන්න ඕන. සුවපති කියලා මට කියන්නේ සෞඛ්‍යයට අධිපති මම නිසයි.
ප්‍රශ්නය:- හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිට ජනාධිපති වෙන්න පුළුවන් වුණා වගේ ඉන්න සෞඛ්‍ය ඇමැති වෙන ඔබටත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා කවුරුහරි ශාස්ත්‍රකාරයෙක්වත් කිව්වද?
පිළිතුර:- එහෙම නෑ. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. ඕවා පිටිපස්සේ ගිය කවුරුවත් මේ රටේ නායකයෝ වුණේ නැහැනේ. මේ රටේ නායකයෝ වුණේ එහෙම බලාපොරොත්තු නැතිව තමන්ගේ දේශපාලන ගමන ගිය අය.
ප්‍රශ්නය:- මේ ඔක්කොම අස්සේ බැඳුම්කර ප්‍රශ්නය යට ගියා?
පිළිතුර:- බැඳුම්කරය තමයි අපේ තියෙන එකම කළු පැල්ලම. ඒ කළු පැල්ලම වේරම්බ වාතයක් වුණෙ මේකෙ අස්සෙ රිංගලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කෑගැහුව හින්දා. අපේ මිනිස්සුත් කෑගහන්න පටන් ගත්තා. ඒකට විරුද්ධව අපි ක්‍රියා කළා. කෝප් එක කළා. ජනාධිපති කොමිසම් දැම්මා. නඩු දැම්මා. ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. වෙන ආණ්ඩුවක මේ වගේ දෙයක් වුණා නම් ආණ්ඩු පක්ෂය ඒ පිළිබඳ පියවර අර ගනිමින් ඒ ගත්ත පියවර ගැන තමයි කතා කරන්නේ. මෙතැන ඔක්කොම කරේ තියාගෙන ගියා ‘බැඳුම්කරේ’ කියලා. එතකොට මිනිස්සු හිතුව මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ කියලා. ගිය ආණ්ඩුවේ තියෙන හොරකම් මීට වඩා ලොකුයි. ඒවා ගැන කතා කළේ නෑ. මේක ගැනම කතා කරන්න පටන් ගත්තා. තාම එකයි අපේ වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩු කාලේ තොග ගණනින් වුණේ.
ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මගේ යාළුවෙක්. ඕන්නම් ලංකාවට ගෙන්වගන්න පුළුවන්’ කියලා අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වා.?
පිළිතුර:- තවමත් උත්සාහ කරනවා අගමැතිතුමා ඔහුව ගෙන්වා ගන්න. ඒකට තමයි රතු නිවේදන පවා නිකුත් කළේ.
ප්‍රශ්නය:- අගමැතිවරයා ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘දැන් අර්ජුන් මහේන්ද්‍රන් සමග කිසිම සම්බන්ධයක් නෑ’ කියලා?
පිළිතුර:- ඔව්. දැන් සම්බන්ධයක් නෑ. ඔහුගේ පියාත් අගමැතිතුමාට හන්දි ගානේ බැණ බැණ යනවා. කිසිම උදව්වක් කළේ නෑ කියලා. එහෙම තමයි අපේ අගමැතිතුමා. අපේ අගමැතිතුමා කොයි වෙලාවකදිවත් වැරැදි කළොත් රැකවරණ දෙන්න යන්නේ නෑ. ඕනෑම කෙනෙකුට උදව් කරනවා. හැබැයි ඒ උදව් අරගෙන ගිහිල්ලා. හොරකම් කරන්න ගියොත් එයා වෙනුවෙන් කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑ.
ප්‍රශ්නය:- ඔබ කියනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රහසක් කියලා. පොහොට්ටුවත් කියනවා ‘අපේ අපේක්ෂකයා රහසක්. වෙලාවට කියන්නම්’ කියලා. සමහරවිට ඔබලා නොසිතන අපේක්ෂකයෙක් ආවොත්?
පිළිතුර:- නොසිතන කෙනෙක් නැහැනේ පොහොට්ටුවේ. මොකා ආවත් රාජපක්ෂ නම තියෙන්න ඕනෑ. මම අභියෝග කරනවා රාජපක්ෂ කෙනෙක් හැරෙන්නට පුළුවන් නම් ඔය මහ ලොකු කෙනෙක් දාන්න කියලා. ඔය මහ ලොක්කෝ කියලා කියන ඔක්කොම අය හිටගන්නේ ඔය රාජපක්ෂලා ඔක්කොම ගියාට පස්සේ නාමල්, යෝෂිත හා රෝහිතටත් පිටි පස්සේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්