එයාලා උසාවි ගිය එක හොඳයි


පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති

 අරුන්දික ප්‍රනාන්දු  

  • සමහර නීති තියෙනවා යල්පැන ගිය ඒවා. ඒවා රටේ නීතියට අනුකූලව සංශෝධනය කර යථාවත් කළ යුතුයි. ​

රටේ අවධානය කොවිඩ් වසංගතයට මෙන්ම කොළඹ වරාය නගරය දෙසට යොමු වී තිබියදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අපි හමුවීමු. මේ ඒ සාකච්ඡා සටහනය.   


ප්‍රශ්නය:- පෝට් සිටි පනත් කෙටුම්පතට මොකද වුණේ?   


පිළිතුර:- පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා. ඒ, කෙටුම්පතේ සංශෝධනය විය යුතු තැන්. ඇතැම් කරුණු එලෙසින්ම පවතින්න නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි කියලා. ඒ වගේම ඇතැම් කරුණුවලට තුනෙන් දෙකක වැඩි ඡන්දය වගේම ජනමත විචාරණයෙන් ජය ගැනීම අත්‍යවශ්‍යයි කියලා.   


ප්‍රශ්නය:-ආණ්ඩුවේ තීරණය කුමක් ද?   


පිළිතුර:- ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව එම සංශෝධන අඟහරුවාද‌ා පැවැති කැබිනට් එකට ඉදිරිපත් කළා. එම සංශෝධන සමග පනත් කෙටුම්පත සම්මත කරගැනීම තමයි රජයේ බලාපොරොත්තුව.   


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියා නම් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි පනත් කෙටුම්පතක්?   


පිළිතුර:- නෑ එහෙම නෑ. ව්‍යවස්ථාවට එරෙහි කරුණු ඇතුළත් වෙන්න කිසිම හේතුවක් නෑ. යහපාලන ආණ්ඩුව කාලේ වජිර අබේවර්ධන ඇමැතිවරයා තමයි මේක මුලින්ම ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම මේ පිහිටුවන කොමිසම සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව ඇවිත් තියෙන්නේ. කොමිසම පිහිටුවීම, කොමිසමට සාමාජිකයන් පත් කිරීම ගත්තොත් එතැනදී කියලා තියෙනවා, ජනාධිපතිතුමාගේ අභිමතය අනුව මෙම පත්කිරීම් සිදුකරන්න පුළුවන්. හැබැයි එතැනදී සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා කරන පත්වීම්වලට වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා වෙනස් කිරීමේ බලය තිබෙන බව කියලා තියෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නෑ. ජනාධිපතිතුමා දියත් කරන ක්‍රියාවලියේදී මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩ ප්‍රස්ථාව තියෙනවා ඒක වෙනස් කිරීමට. ඒ වගේම තමයි අනික් පැත්තෙන්. ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධ කිරීම සම්බන්ධයෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම සිද්ධ කළේ.   


ප්‍රශ්නය:-ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියා නම් ව්‍යවස්ථාවට පටහැනි කරුණු අනාවරණය වෙන්නේ නෑ?   


පිළිතුර:- ශ්‍රේෂ්ඨාධිකරණය මේකේ වෙනස්කම් කළ යුතු දේවල් ටික එවලා තියෙනවා. ඒ වෙනස්කම් ඒ විදියටම සිද්ධ කිරීමෙන් තමයි මේ පනත් කෙටුම්පත සම්මත කරගන්නේ.   


ප්‍රශ්නය:- නීති ඔස්තාර්ලා ඔච්චර ඉන්න ආණ්ඩුවට ඇයි බැරි වුණේ සංශෝධන එන්නැති විදියට මේ පනත් කෙටුම්පත හද‌ාගන්න?   


පිළිතුර:- නෑ නෑ මේක තමයි ඇත්තටම හරි ක්‍රමය. අපි මොකක් හරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළාම ඒ කෙටුම්පත සම්බන්ධයෙන් අවසානයේදී නීතිපති දෙපාර්තමේන්තුව තමයි නීතිය සකස් කරන්නේ. පාර්ලිමේන්තුව තුළ අපි කරන්නේ අපි හදන නීතිය නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා එය සකස් කිරීම. නීතිපති දෙපාර්තමේන්තුව හදන නීතිවල පරස්පරතා හා වෙනස්කම් තියෙනවා නම් ඒවා නිවැරැදි කිරීමේ අවස්ථා රටේ තියෙනවා. අධිකරණයට ගිහින් අධිකරණයේ මතය විමසන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාවලියට අපි කැමැත්තෙන්ම සහයෝගය දුන්නා. මොකද අපටත් ඕනෑ මේක හරියටම කරන්නයි. ඔබ මතක තියාගන්න, මේක කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි මේ පෝට් සිටි වගේ ව්‍යාපෘති ලෝකයේ වෙනත් රටවලත් තියෙනවා. චීනයේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. සිංගප්පූරුවේ තියෙනවා. ඩුබායිවල තියෙනවා. ඒ නිසා මෙතැන අපිට විශාල තරගයක් තියෙනවා. එහා පැත්තේ තියෙන සිංගප්පූරුවයි මෙහා පැත්තේ තියෙන චීනයයි එක්ක අපට විශාල තරගයක් තියෙනවා. මේ තරගකාරීත්වය තුළදී ආයෝජකයන් මේ රටට එන්න නම් අනිවාර්යයෙන්ම ඒ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා බහුල කළ යුතුයි.   


ප්‍රශ්නය:- ඒ වෙනුවෙන් රටේ නීති වෙනස් කළ යුතුයි?   


පිළිතුර:- රටේ නීති වෙනස් කිරීම නොවෙයි, සමහර නීති තියෙනවා යල්පැන ගිය ඒවා. ඒවා රටේ නීතියට අනුකූලව සංශෝධනය කර යථාවත් කළ යුතුයි. එහෙම තමයි රටකට ඉදිරියට යන්න වෙන්නේ. ඒ නිසා එයාලා උසාවියට ගිය එක හොඳයි. කළ යුතු වෙනස්කම් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා. දැන් ඉතින් කිසිම බාධාවක් නැහැනේ. ආයෙමත් කාටවත් අධිකරණයට ගිහින් මේක එහෙම, මෙහෙම කරන්න දෙයක් නෑනේ. ඒ නිසා සියල්ලම හොඳින් කරගැනීමේ අවස්ථාව රජයට ලැබුණා.   


ප්‍රශ්නය:-මට නම් පේන්නේ ඔබ ‘පෙරැළුණු පැත්ත හොඳයි’ කියනවා වගේ? 

 
පිළිතුර:- නෑ. දැන් මේ ප්‍රශ්නය ඉවරයිනේ. කළ යුතු සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීලා තියෙනවා. අපි ඒ සංශෝධන කරන්න සූද‌ානම්. මේක අතිවිශාල ව්‍යාපෘතියක්. ඒකට තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ. පනත නීත්‍යනුකූල වෙන්න එපැයි. රටේ නීතියට අනුකූල වෙන්න ඕනෑ. ඊළඟට රටේ අනෙකුත් ආයතන සමග සම්බන්ධ විය යුතුයි. ඔබට මතක ඇති ජයවර්ධන රජය මහ කොළඹ ආර්ථික කොමිසම ගෙනාවා. ඒ කොමිසම තුළත් මේ විදියටම ආයෝජකයන්ට යම් යම් නීතිමය රැකවරණයක් ලබාදිය හැකි පරිදි නීති සංශෝධනය කෙරුණා. ඒ වගේම ආයෝජන මණ්ඩලය පිහිටුවනකොටත් ඒත් එහෙමයි. එම ආයෝජන මණ්ඩලයට අද‌ාළ නීති රටේ අනෙකුත් ව්‍යාපාර සඳහා බලපාන නීති සමග වෙනස්කම් තියෙනවා. එතැන බදු සහන දෙනවා. මේකත් ඒ වගේ තමයි. ආයෝජකයන්ට ආකර්ෂණයක් ඇති වෙන්න නම් ඒකට සුදුසු පරිසරයක් අපි හදන්න ඕනෑ. එය රටේ නීතියට යටත් විය යුතු බව රජයක් හැටියට අපි ඒකාන්ත වශයෙන්ම පිළිගන්නා සත්‍යයක්.   


ප්‍රශ්නය:-ඇමැති බන්දුල ගුණවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළා, මේ කොමිසමේ සභාපති අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් විය යුතුයි කියලා?

   
පිළිතුර:- අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී මෙම කාරණාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉදිරිපත් කළා. අපි දිගටම පොදුවේ ඉදිරිපත් කරපු කාරණාවක් තමයි මේ කොමිසමේ සංයුතිය පිළිබඳව. විදේශිකයෝ මේ කමිටුවේ හිටියොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය.   


ප්‍රශ්නය:-තවත් බරපතළ ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ මේ වරාය නගරය තුළ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා තියෙනවා ද කියන කාරණය?   


පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී අපි ඔය ප්‍රශ්නයත් මතු කළා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය හදනකොට ඒක පටන් ගන්නකොට කියපුවා නොවෙයි අන්තිමට වුණේ. ඒ නිසා ඔය කාරණාව අපි මතු කළා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට. නාමල් රාජපක්ෂ ඇමැතිතුමාත් අපි සියලු දෙනාමත් මතු කරපු කාරණාවක් තමයි මේකේ රැකියා අවස්ථා ලබාදීමේදී අපේ පුහුණු හා නුපුහුණු සේවකයන්ට පළමු අවස්ථාව දිය යුතුයි කියලා. ඒක නීතියක් විය යුතුයි කියලත් අපි කිව්වා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් පිටරටින් සේවයට එනවා නම් ඒ එන කෙනාගේ තියෙන සුදුසුකම් අපේ අයට තියෙනවා නම් ඒ අවස්ථාව අපේ අයට දිය යුතුයි. ආයෝජකයන් පැත්තෙන් මෙතැන බැලිය යුතුයි. අපේ පරමාර්ථය තමයි විදේශ ආයෝජන මගින් විදේශ විනිමය ලබාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. ඒ වගේම විදේශ ආයෝජකයන් පමණක් නොවෙයි, ඔවුන් හරහා අපේ රැකියා අවස්ථා වැඩි කරගැනීම. වක්‍ර හා ඍජු සේවා සැපැයීම් කළ හැකියි. ඒකට ඉඩ තිබිය යුතුයි.   


ප්‍රශ්නය:-චීන සමාගම ඔය කොන්දේසිවලට යටත් වෙයි ද?   


පිළිතුර:- යටත්​ වෙන්න අවශ්‍ය නෑ. එකඟ වෙන්නයි අවශ්‍ය. චීන සමාගමේ ඉදිකිරීම් කටයුතු සඳහා හෙක්ටයාර ගණනක් වෙන් කරලා තියෙනවා. හෙක්ටයාර් ගණනාවක් සියයට 60ක් පමණ රජයට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රජයට බදු අයකර ගැනීමේදී ඒක එලෙසින්ම තියෙනවා. සමහරු නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටියක් හොයනවා වගේ මේක නොකෙරෙන පැත්තට නොවෙයි කෙරෙන පැත්තටයි කතා කරන්න ඕනෑ. මේ කෙටුම්පතේ මුල් පිටපත ඉදිරිපත් කළේ පහුගිය යහපාලන රජයයි. අපි හොඳටම තේරුම් ගන්න ඕනෑ දේ තමයි අපේ රට දෙපැත්තේ තියෙනවා ප්‍රධාන තරගකාරී ආයෝජන අවස්ථා සලසා ගන්න පුළුවන් රටවල්. ඒ නිසා කිසියම් ආයෝජකයෙක් කියයි මේ මේ බාධා අපට තියෙන නිසා අපි එන්නේ නෑ කියලා. ඒ නිසා ආයෝජකයන්ටත් ආකර්ෂණය ඇතිවන විදියට රටේ නීතියටත් හරි යන විදියට අපි මේක හද‌ාගත යුතුයි.   


ප්‍රශ්නය:- කොවිඩ් වසංගතය මැද මේකට මේ තරම් හදිස්සියක්?   


පිළිතුර:- ඒ කතාව සම්පූර්ණයෙන් වැරැදියි. කොවිඩ් කියන්නේ වසංගතයක්. ඒ වසංගතයට රජය මුහුණ දෙනවා. ඒ අතරම රටේ අනෙකුත් දේවල් අපි කරනවා. රටේ පාරවල් කිලෝ මීටර ලක්ෂයක් හැදෙනවා. වාරි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කෙරෙනවා. රසායනික පොහොර සම්බන්ධයෙන් රටේ ලොකු කතාබහක් තිබුණා. දැන් ඒකට ප්‍රවේශයක් අරගෙන තියෙනවා. මේ සියල්ලම යන ගමන් පෝට් සිටි ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයෝජනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට.   


ප්‍රශ්නය:- ‘අපි තමයි හොඳටම කළේ’ කියලා කිව්වට කොරෝනා වසංගතයේදී ආණ්ඩුව දැන් ෆේල්?   


පිළිතුර:- මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඇත්තටම පළමු රැල්ල අපි ඉතාම හොඳින් මැඩපැවැත්වූවා. දෙවැනි රැල්ලත් එහෙමයි. පසුගිය සිංහල අවුරුද්දට පෙර අපි ඉතාම අවම කරගත්තා රෝගීන්ගේ සංඛ්‍යාව. මරණ සංඛ්‍යාව අඩු වුණා. අපි කලාපීය වශයෙන් ගත්තොත් අපේ අසල්වැසි රට ඉන්දියාව. නමුත් අද ඉන්දියාවට ඉතාම බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. රටක් විදියට අපි ඉදිරියට යා යුතුයි. ජනතාවට 2019දීත් සිංහල අවුරුද්ද අහිමි වුණා. ඒ නිසා සීමාවන් ලිහිල් කිරීමක් කළා. අපේ රටේ ජනතාවත් වගේම අපිත් කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක හිටියා. ඒ වගකීම අපි සියලු දෙනාම ගන්න ඕනෑ. නමුත් අපි මේ අවස්ථාවට වගකීමෙන් මුහුණ දෙනවා. පීඩාවට පත් ජනතාවට රුපියල් 5,000 දුන්නා. එන්නත්කරණයට මුදල් වෙන් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමැතිවරු තුන් දෙනෙක් ඉන්නවා. අපි එහෙම වගකීමක් ඇතිවයි ක්‍රියා කරන්නේ. සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුවයි අපි තීන්දු තීරණ ගන්නේ. සංචරණ සීමා පැමිණවීමත් සෞඛ්‍ය අංශවල නිර්දේශවලට යටත්වයි ගත්තේ. අනිවාර්යයෙන්ම අපි මේ තත්ත්වයට වගකීමෙන් මුහුණ දෙනවා.   


ප්‍රශ්නය:-බැසිල් රාජපක්ෂ හදිසියේම රට ගියා? ඒ ගැටුමක ප්‍රතිඵලයක් හැටියට?   


පිළිතුර:- කිසිම ගැටුමක් නෑ. එතුමා මේ පක්ෂය බිහි කළා. පක්ෂය හදලා පක්ෂයට ජනාධිපති කෙනෙක් දිනවලා දීලා ආණ්ඩුවක් දිනා දුන්නා. කොවිඩ් වසංගතයත් සමග ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම එතුමා බාරගත්තා. ජනාධිපතිතුමාගේ වැඩසටහන එතුමා තමයි ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නේ. අගමැතිතුමාගේ වැඩපිළිවෙළ ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කරන්​නේ එතුමා. එතුමා විශාල වශයෙන් වැඩ කරනවා. නමුත් එතුමාව යහපාලන ආණ්ඩුව කාලේ රිමාන්ඩ් කළා. එද‌ා ඉඳලා එතුමා නෝනාව දරුවන්ව බලන්න ගියේ නෑ. ඒ නිසා සියලු දේවල් සංවිධානය කරලා ඉතාම කෙටි දින කිහිපයකට එතුමා විදේශගත වුණා. ඒ හැරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මෙතන නෑ. 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්