සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
• ඇත්තම කියනවා නම් මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න ඕනෑ
• හමුදාවට දෙන්න ඕනෑ දෙවැනි වගකීම. පළමු වගකීම සෞඛ්‍ය
අංශයට දිය යුතුයි.
• එක මුස්ලිම් පක්ෂයක නායකයෙක් ඡන්ද කාලෙ ඉඳලම කීවෙ මොන
ආණ්ඩුව ආවත් මම ඇමැති කියලා.
කොවිඩ් මර්දන මෙහෙයුමේදී ආණ්ඩුවේ න්‍යාය බවට පත්වී තිබෙන්නේ ‘දිනුවොත් අපි පැරදුණොත් තොපි’ යන්න බව කියමින් ඉරිදා ලංකාදීපය සමග සංවාදගතවූ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පළකළ උණුසුම් අදහස් මෙසේය.
ප්‍රශ්නය - කොවිඩ් මර්දන මෙහෙයුම විවේචනය කර කර ඉන්නවා මිසක් විපක්ෂය කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ කියලා ආණ්ඩුව කියනවා.
පිළිතුර - මුල ඉඳලම ආණ්ඩුව තනියම ලකුණු දාගන්න හැදුවනේ. ඇත්තටම ඒකනේ වුණේ. ලෝකෙට පේන්න සාකච්ඡාවලට කැඳෙව්වා. ආණ්ඩුවට කරන්න තිබුණෙ ආණ්ඩුවයි පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුයි ඒකරාශී කරලා කොමිටියක් හදලා ඒ කොමිටිය හරහා අවශ්‍ය වැඩටික කරගෙන යන්න. නමුත් එහෙම කළේ නෑ.
ප්‍රශ්නය - කොවිඩ් එනකොට පාර්ලිමේන්තුව විසුරුවලා තිබුණේ. පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ඔබලා මරාගෙන මැරෙන්න හැදුවා. දැන් පාර්ලිමේන්තුව රැස්වෙනවා. විශේෂ දෙයක් නෑනේ?
පිළිතුර - පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි ඒ කාලේ කිව්වේ අවශ්‍ය උපදෙස් දෙන්න. දැන් වුණත් අපි පාර්ලිමේන්තුවේදී කරුණු පෙන්වලා දෙනවා. ඉතින් අපි කියන ඒවා පිළිගන්නේ නෑනේ. ආණ්ඩුවට ඕනෑ කලේ මුල ඉඳලම අපිට මේක තනියම කරන්න පුළුවන්. අපි යුද්ධයකුත් දිනුවා කියලා පෙන්වන්නනේ. ඡන්දෙ කාළේ කිසියම් පාලනයක් වුණා කියලා කියනවා.
ප්‍රශ්නය -එහෙම පාලනයක් වුණා කියලා ඔබ පිළිගන්නේ නෑ?
පිළිතුර - මම කියන්නේ ඒගොල්ලෝ කියනවනේ මාස දෙකකින් කවුරුවත් හමුවුණේ නෑ කියල. එහෙම වුණේ පී.සී.ආර්. පරීක්ෂණ අඩුවෙන් කළ නිසයි. හරි විදියට පී.සී.ආර්. කළා නම් තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම කලින්ම ගුවන්තොටුපළවල් වහපු රටවල් ඔක්කොම ගොඩ. තායිවානය, නවසීලන්තය, හොංකොං වගේ රටවල් ගන්න. චීන සීමාවේ තියෙන රටවල්. ඒ රටවල මේ වගේ භයංකර තත්ත්වයක් නෑ. එහෙම වුණේ මේක දෙසැම්බර් මාසයෙ මතුවෙනකොට ඒ රටවල් ජනවාරි වෙනකොට එයාර්පෝට් වැහුවා. නමුත් මෙහෙ ආණ්ඩුව මැතිවරණය තියන්න ඕනෑ නිසා මාර්තු දක්වා ඇදගෙන ගියා. පළමුවැනි රෝගීන් සියය ආවේ එයාර්පෝට් එක ඇරලා තියෙන කාලේ. ඊට පස්සේ එයාර්පෝට් එක වැහුවා. එයාර්පෝට් එක වැහුව දවසෙ ඉඳලා අද වෙනකම් යුරෝපයෙන් එක කොවිඩ් රෝගියෙක් ලංකාවට ඇවිත් නෑ. එයාර්පෝට් එක ඇරලා තිබුණ කාලේ යුරෝපයෙන් ආපු සියය තමයි ලංකාවටම බෝකළේ.
ප්‍රශ්නය -ආණ්ඩුව නිරෝධායනය සඳහා හමුදාවේ සහාය ගන්නවා. ඔබලා කියනවා මේක යුද්ධයක් නොවෙයි. හමුදාවට මේක කරන්න බෑ කියලා.
පිළිතුර - හමුදාවටත් මෙතැන රෝල් එකක් තියෙනවා. මං දැක්කා බ්‍රිතාන්‍යයෙ පවා හමුදාව දැන් යොදා ගන්නවා. නමුත් හමුදාවට දෙන්න ඕනෑ දෙවැනි වගකීම. පළමු වගකීම සෞඛ්‍ය අංශයට දිය යුතුයි, නමුත් මෙහෙ හමුදාවට දීලා තියෙන්නේ පළමු වගකීමනේ. මේ කොවිඩ් වසංගතය ආපු මුල්ම කාලේ ඉන්දියාවේ අමිර්ත සිං කියන ලෝක පූජිත සම්මානලාභී ලේඛකයා ලියනවා යුද්ධයක් කරනවා වගේ නොවෙයි මේ වගේ වසංගතයක් දුරු කරන එක. යුද්ධයකදී නායකයා අණ දෙනවා. යට ඉන්න අය ඒ අණ ක්‍රියාත්මක කරනවා. එතැන සංවාදයක් අවශ්‍ය නෑ. නමුත් සමාජ වසංගතයකදී සංවාදාත්මක ආණ්ඩු කරණයක් අවශ්‍යයි. ආණ්ඩුව ඇතුළේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජනතාව සමග සංවාදයක් තිබිය යුතුයි කියලා. නමුත් ලංකාව ඇතුළේ එහෙම දෙයක් වුණේ නෑ. යුද්දෙදි වගේ හිතුවක්කාර විදියට ඕඩර්ස් දීලා මේක කරන්න බෑ.
ප්‍රශ්නය -යහපාලන ආණ්ඩුවේ හිටපු අයගෙන් ගන්න උපදේශයක් නැහැ කියලත් ආණ්ඩුව කියනවා.
පිළිතුර - ඒක තමයි ඒගොල්ලන්ගේ වැරැද්ද. මේ හිතුවක්කාර විදියට ලකුණු දාගන්න ගිහින් ඔක්කොම අනාගෙන තියෙන්නේ. රාජ්‍ය නායකයා කිව්වේ මතකද තවම ලෙඩ්ඩු ඉන්නේ 28 යි. එයාර්පෝට් එක වහන්නේ ඇයි කියලා.
ප්‍රශ්නය -ආණ්ඩුව කියනවා සියලු තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල උපදෙස්වලට අනුව කියලා.
පිළිතුර - වෙබ් සයිට් බැලුවොත් වෛද්‍යවරු දිගටම කියන්නේ ඒගොල්ලන්ගේ උපදෙස් පිළිපැද්දෙ නෑ කියලා.
ප්‍රශ්නය - සමගි ජන බලවේගය හැටියට ඔබලා යෝජනා මාලාවක් ඉදිරිපත් කළාද? කරනවද?
පිළිතුර - අපි පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළා. කළ යුතු දේවල් ගැන. නමුත් මම මුලින් කියපු විදියට මුළු පාර්ලිමේන්තුවම ඒකාබද්ධ කරලා කොමිටියක් හදලා ඒ කොමිටියේ තීන්දු තීරණ ක්‍රියාත්මක කළානම් තමයි සාර්ථක. වෙනත් රටවල එහෙම වෙනවා. ඒ වගේම අපිට විශ්වාසයක් තියෙන්න ඕනෑ අපේ යෝජනා පිළිගන්නවා කියලා. නමුත් එහෙම විශේෂයක් අපට නෑ.
ප්‍රශ්නය -රට ලොක්ඩවුන් කළාම කියනවා එහෙම කරලා හරියන්නේ නෑ කියලා. රට ඇරලා තිබුණම කියනවා වහන්න කියලා. මොකද්ද මේ විපක්ෂය කරන්නේ?
පිළිතුර - මේක උභතෝකෝටික ප්‍රශ්නයක්නේ. ආණ්ඩුව හරිම වෙලාවෙ එයාර්පෝට් එක වැහුවේ නෑ. පස්සෙ වහලා වැඩක් වුණේ නෑ.
ප්‍රශ්නය -ඔබ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නමුත් ඔබට බැරිවුණා ආණ්ඩුවට ගිය ඔබේ මන්ත්‍රීවරුන් ටික නතර කරගන්න.
පිළිතුර - මම එකක් කියන්නම්. අපෙන් දෙන්නෙක් ගියා. මම ඒක පිළිගන්නවා. අනිත් අය මුස්ලිම් පක්ෂවල අය. ඇත්ත වශයෙන්ම එක මුස්ලිම් පක්ෂයක නායකයෙක් ඡන්දෙදි ගෙන්ගෙට කියාගෙන ගියේ මොන ආණ්ඩුව ආවත් මම ඇමති කියලා. ඒ දවස්වල ඉඳලම යන්න බලාගෙන ඉඳලා තියෙන්නේ.
ප්‍රශ්නය -නමුත් පක්ෂ නායකයෝ කවුරුවත් ගියේ නෑ?
පිළිතුර - එයාලව ගන්නේ නැති නිසා මේ පැත්තේ හිරවෙලා ඉන්නවා. ආණ්ඩුව කිව්වනේ නායකයො ගත්තේ නෑ කියලා. ඒත් මේ නායකයා ඡන්දෙදි හිතාගෙන හිටියේ පොහොට්ටුව මන්ත්‍රීධුර 140 ක් විතර ගත්තොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්වත් ගනී කියලා. නමුත් 20 සම්මත කරගන්න වෙලාවේ ආණ්ඩුවට 148 ක්ම තිබුණනේ, ඒ නිසා ආණ්ඩුවට මේගොල්ලන්ගේ අවශ්‍යතාව නැතිවුණා. නමුත් ඒ මුස්ලිම් පක්ෂයෙ නායකයා කැන්වසින් ගියේ මොන ආණ්ඩුව ආවත් මම ඇමති කෙනෙක් කියලා කියාගෙනයි.
ප්‍රශ්නය - ඔබ තමයි ස.ජ.බ. මහනුවර නායකයා. ඔබට මේ සම්බන්ධයෙන් පියවර ගන්න තිබුණා?
පිළිතුර - ඔව්. නමුත් හරිම කනගාටුදායක දේ තමයි සමගි ජන බලවේගයේ මහනුවර ප්‍රබලයන් දෙන්නෙක් මෙයාට වැඩ කෙරුවා. එක ප්‍රබලයෙක් ප්‍රසිද්ධියෙ වැඩ කළා. එයාගේ ඔෆිස් එකේ තමයි ඔය මුස්ලිම් නායකයා වෙනුවෙන් එක එක්කෙනාට ප්‍රතිලාභ බෙදුවේ. අනිත් ප්‍රබලයාට කොන්දක් තිබුණේ නෑ. ඒ නිසා එයා හොර රහසේ තමයි උදව් කළේ. එයා එයාගේ අනුගාමිකයන්ට කිව්වා මේ නායකයාට උදව් කරන්න කියලා. සිංහල අපේක්ෂකයෝ 12 ක් හිටියා. ඒ 12 දෙනා වෙනුවෙන් මේ ප්‍රබලයන් දෙන්නා වැඩ කළේ නෑ. මොන ආණ්ඩුව ආවත් මම ඇමති කියලා කියපු නිසා ඒ දෙන්නත් එයාගෙ අඩි පාරෙම යන්න හිතාගෙන එහෙම උදව් කළා කියලා තමයි මහනුවර ජනතාව කියන්නේ.
ප්‍රශ්නය -ඒ ප්‍රබලයන් දෙන්නා කවුද? නම් කියන්න ඔබ බයද? අකමැතිද?
පිළිතුර - බයකුත් නෑ. අකමැත්තකුත් නෑ. දේශපාලන පිළිකුලක් තියෙන්නේ. නම් නොකීවට මුළු මහනුවර දිස්ත්‍රික්කයම දන්නවා මේ ප්‍රබලයන් දෙන්නා කවුද කියලා?
ප්‍රශ්නය -ඔබේ නායකයා සජිත් ප්‍රේමදාස. ඔබ ඔහුට මේ ගැන කිව්වේ නැද්ද?
පිළිතුර - මම සජිත් ප්‍රේමදාස නායකතුමාට පෞද්ගලිකව මේ ගැන කිව්වා. ඇත්තම කියනවා නම් මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න ඕනෑ. නමුත් මම එච්චර දුර මේක අරගෙන යන්න කැමති නෑ.
ප්‍රශ්නය -ඇයි කැමති නැත්තේ?
පිළිතුර - අපි අලුත් පක්ෂයක්නේ. සමගිය තියෙන්න ඕනෑනේ.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ පිළිගන්නවද සමගි ජන බලවේගය කියලා කිව්වට සමගියකුත් නෑ ජන බලයකුත් නෑ කියලා?
පිළිතුර - නෑ නෑ සමගිය තියෙනවා. ඕනෑම දේශපාලන පක්ෂයක තියෙන ප්‍රශ්න අපිටත් තියෙනවා. මම ඒක නැහැ කියන්නේ නෑ. මේ මැතිවරණයෙදී අපි මෙහෙම ප්‍රතිඵලයක් ලබාගැනීම හාස්කමක්නේ. අපිට හරියට වැඩපිළිවෙළක් තිබුණේ නෑ. අපිට දීර්ඝකාලීන ඉතිහාසයක් නෑ. පක්ෂය හදලා මාසයයි දෙකයි. සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මන්තරය ජප කරලනේ අපි දිනුවේ. ඒකෙන් සජිත්ගේ ජනප්‍රියතාව පේනවනේ. අපි කිව්වේ එක දෙයයි. ඒ තමයි අපි සජිත්ගේ පැත්තේ කියලා.
ප්‍රශ්නය -යහපාලන ආණ්ඩුවේ කුණු ටික ඔක්කොම රනිල්ගේ පිට උඩ තියලා ඔබලා සජිත්ගේ කරපිටින් ගියා.
පිළිතුර - හිතාමතා එහෙම දෙයක් කළේ නෑ. නමුත් ඉබේම එහෙම වුණා.
ප්‍රශ්නය -සමගි ජන බලවේගය ජනප්‍රිය තරුණ නායකයන් කිහිප දෙනෙක් අයවැයේදී ආණ්ඩුවට යන්න ඉන්නේ කියලා වාර්තා වෙනවා?
පිළිතුර - මම නම් හිතන්නේ නෑ තවත් කවුරුවත් යයි කියලා.
ප්‍රශ්නය - ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එහෙම කිව්වා කියලයි වාර්තා වෙන්නේ?
පිළිතුර - ඩයනා ගමගේ ඇත්ත වශයෙන්ම එහෙම කිව්වට මම නම් හිතන්නේ නෑ තව කවුරුවත් යයි කියලා.
ප්‍රශ්නය - 20 ට සහාය දුන්න ඔබේ මන්ත්‍රීවරුන්ගේ ඉරණම මොකක් වෙයිද?
පිළිතුර - මූලික පියවරක් වශයෙන් අපි ඒ අයව අපේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැරියා. ඊට පස්සේ සමගි ජනබලවේගයේ දෙන්නා සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ තීරණයක් ගන්නවා.
ප්‍රශ්නය - ඔය ඔබ ඔබේ පක්ෂය කියන සමගි ජන බලවේගය ඩයනා ගමගේට අයිති පක්ෂයක්?
පිළිතුර - ඩයනා අපට අවශ්‍ය සියලුම ලියුම් අත්සන් කරලා අපට දීලා තියෙන්නේ. දැන් එයාට මේ පක්ෂය අයිති නෑ. එයා අයිතියි කියලා කියනවා. නමුත් එයාට අයිතියක් නෑ. මේ පක්ෂයේ සභාපති සජිත්, ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර. ලේකම් අතේ තමයි ඔක්කොම බලතල තියෙන්නේ.
ප්‍රශ්නය -පක්ෂයෙ අයිතිය ගන්න උසාවි ගානේ යන්න වෙන තත්ත්වයක් තියෙන්නේ?
පිළිතුර - නෑ නෑ එහෙම වෙන්නේ නෑ. ඔක්කොම ලියුම් කියුම් තියෙනවා. එහෙම නීත්‍යානුකූලව පක්ෂය අපට අයිති නිසානේ ඔයා දන්නවනේ ශ්‍රේෂ්ඨාධිකරණය පක්ෂය අපේ කියලා ඡන්දයට පෙරම පිළිගත්තේ.
මැතිවරණ කොමසාරිස් පිළිගත්තා. නෛතික ප්‍රශ්න කිසිවක් නෑ.
ප්‍රශ්නය - මොනවද ඔබලාගේ ඉදිරි වැඩපිළිවෙළ.
පිළිතුර - රටපුරා අපි සංවිධාන කටයුතු ආරම්භ කළා. ගාල්ලට - මාතරට ගියා. ඊට පස්සේ අපි කුරුණෑගලට පුත්තලමට ගියා. කොවිඩ් නිසා ඒ වැඩපිළිවෙළ තාවකාලිකව නතර කරන්න සිද්ධ වුණා. අපි ගිය හැම ගමකින්ම පනහ සීය එකතු වුණා. ඒක හොඳ දෙයක්. මීට ඉස්සෙල්ලා ඡන්දයක් පැරදුණහම එක්සත් ජාතික පාක්ෂිකයන්ව අවදි කරන්න අමාරුයි. නමුත් මේ පාර අපි ගමට ගියාම ඒ අයට ලොකු ශක්තියක් ආවා.
ප්‍රශ්නය -තවත් ආරංචියක් යනවා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනවා කියලා. ඔහුව හැඳින්වෙන්නේ පොහොට්ටුවේ මහ මොළකරු කියලා. ඔහුත් ඉන්න ආණ්ඩුවකට සටනක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
පිළිතුර - ආණ්ඩුවේ අනාගතය තියෙන්නේ පුද්ගලයෝ අත නොවෙයි. ආණ්ඩුවේ අනාගතය තියෙන්නේ දුන්න පොරොන්දු ඉටු කිරීමේ පදනම මත. දුන්න පොරොන්දු ඉටු නොකළොත් කොච්චර ලොකු ප්‍රබල පුද්ගලයන් හිටියත් ගමන කෙටියි.
ප්‍රශ්නය -ලෝක වසංගතයක් ඉදිරිපිට අාණ්ඩුව සාර්ථකයි කියල ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර - දෙවැනි රැල්ල පාලනය කරන්න ආණ්ඩුවට බැරි වුණානේ. දැන් මේක සමාජගත වෙලා. අර හාමුදුරු නමක් කිව්වේ ආණ්ඩුව කියනවා මේක සමාජගත වෙලා නෑ කියලා. නමුත් දැන් මේක ශරීරගත වෙලා කියලා. දැන් මේක ආණ්ඩුවේ පාලනයෙන් එපිට තියෙන්නේ. අනිත් එක දිනුවාම අපි. පැරදුණාම තොපි. පළමු රැල්ල පාලනය කළා කියලා ආණ්ඩුව ලකුණු ටික ඔක්කොම ගත්තා. ඒකෙන් ඡන්දෙත් දිනුවා. දැන් දෙවැනි රැල්ල පාලනය කරගන්න බැරිව දඟලනවා. එහෙම දඟලන ගමන් ජනතාවට බණිනවා. ජනතාව නිසා තමයි මේක මෙහෙම වුණේ කියලා. දිනුවාම අපි පැරදුණාම තොපි න්‍යායෙන් තමයි ආණ්ඩුව දැන් යන්නේ. ආණ්ඩුව ඇතුළේ මේ ප්‍රශ්නය දිහා විද්‍යාත්මකව බලන්න පුළුවන් කෙනෙක් නෑ. ඔක්කොම ඉන්නේ ගැලරියට කතා කරන අය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ලේකම් හමුදා නිලධාරියෙක්.
ප්‍රශ්නය - නමුත් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්.
පිළිතුර - නමුත් දැක්කනේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ඒ අය ගැන කියපු කතා. ඉතින් අපි මොනවා කියන්නද? මෙතැන මූලික වැරැද්ද තමයි ඉන්දියාවේ අමිර්ත සිං කිව්වා වගේ මේක උඩ ඉඳලා යටට අණ දීලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පාර්ලිමේන්තුව තුළ සංවාදයකින් ජනතාවත් සමග කරන සංවාදයකින් මේක යන්න ඕනෑ. අමිර්ත සිං කියනවා ඉන්දියාව යටත් විජිතයක්ව තිබූ කාලයේ අවුරුදු සීයක් ගත්තත් වසංගත දහයක් විතර ඇවිත් තියෙනවා. නමුත් නිදහස ලැබුණට පස්සේ එහෙම නෑ කියලා. මොකද යටත් විජිතයෙදී සංවාද නැහැනේ. රාජාණ්ඩුවක් නේ තිබුණේ. ඒ නිසා වසංගත පාලනය කරන්න අමාරුයි. මෙතැනට අවශ්‍ය වෙන්නේ සංවාදයයි. පාර්ලිමේන්තුව තුළ හා ජනතාව අතර ඒ සංවාදය ගොඩනැගිය යුතුයි. මේ ආණ්ඩුවට නැත්තෙත් ඒ සංවාදයයි. තමන්ට හිතෙන දේ හරි කියලා හිතාගෙන වැඩ කරලා හරියන්නේ නැහැ.
ප්‍රශ්නය - ඔබේ සම්මුඛ සාකච්ඡාවෙදී මට දැනුණ දෙයක් තමයි ඔබලා සුළු ජාතික පක්ෂ අතර දැනටමත් ගැටුමක් තියෙන බව. ඉදිරියේදී කුමක් වෙයිද?
පිළිතුර - මෙහෙමයි, 2000 ට පෙර ගත්තොත් අපේ එක්සත් ජාතික පක්ෂයෙත් නැගෙනහිර මන්ත්‍රීවරු හිටියා. උතුරේ මන්ත්‍රීවරු හිටියා. වතුකරයේ හිටියා. 2000 ඉඳලා අපේ එක්සත් ජාතික පක්ෂය ඉතා අඥාන වැඩක් කළා. ඒ තමයි යාපනය බාරදුන්නා දෙමළ ජාතික සංධානයට, නැගෙනහිර බාරදුන්නා හකීම්ටයි, රිෂාඩ් බදියුදීන්ටයි. වතුකරය දුන්නා වතුකරයේ පක්ෂවලට. එක්සත් ජාතික පක්ෂය ඒවට අපේක්ෂකයෝ දැම්මේ නෑ. ඊට කලින් ඒ හැමතැනම අපේ නියෝජිතයෝ හිටියා. අපි අපේක්ෂකයෝ දැම්මේ නැති නිසා අපේ ඡන්දවලින් ඒ අය ගොඩනැගුණා. එහෙම ගොඩනැගිලා අපිව දාලා ගියානේ. අපේ ඡන්දෙන් දිනලා අපිව දාලා යනවා.
ප්‍රශ්නය - දැන් ඔබලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පිළිතුර - මීට පස්සේ අපි ඒ වැරැද්ද කරන්නේ නෑ. අපි තමයි එක්සත් ජාතික පක්ෂයෙ උරුමක්කාරයෝ. ඒ නිසා සමගි ජන බලවේගය හැටියට අපි අපේම දෙමළ හා මුස්ලිම් නියෝජිතයෝ දානවා. කබීර් හෂීම්, ඉමිටියාස්, මුජිබර්, මරික්කාර්, ඉම්රාන් වැනි නායකයෝ අපට ඉන්නේ. ඒ වගේම නායකයන් අපි අපේ පක්ෂය තුළින්ම බිහි කරගන්නවා. ඉදිරියේදී අපි ඔය සංධාන ගහන්න යන්නේ නෑ. ඡන්දෙන් පස්සේ කිසියම් එකඟතාවකට එනවා නම් ඒක වෙනම වැඩක්. නමුත් අපි අපේ ස්වාධීනත්වය තියාගත යුතුයි.
ප්‍රශ්නය - මහනුවර මුස්ලිම් පක්ෂ නායකයාගේ ප්‍රශ්නය සෑහෙන්න දුර ගිහින් වගේ.
පිළිතුර - මෙහෙමනේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් අපේක්ෂකයෝ තුන්දෙනා එකට ගියේ. ඒක හිරිකිත වැඩක්නේ. සිංහල අපේක්ෂකයෝ 12 ක් හිටියා. ඒ දොළොස්දෙනාට ඡන්දය දෙන්න එපා අපි තුන්දෙනාට විතරක් ඡන්දය දෙන්න කියලයි ඒ අය ගියේ. ඒක තනිකරම ජාතිවාදය. ඒවගේ ජාතිවාදයක් සමගි ජන බලවේගයට ගැලපෙන්නේ නෑනෙ. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය වගේ සියලු ජාතීන්ට සමානව සලකන පක්ෂයක්. ජාතික සමගිය අපි හදවතින්ම විශ්වාස කරනවා. මම ඡන්දෙ කළේ මට එක මනාපයක් දෙන්න. ඉතිරි මනාප දෙක ඔබ කැමති දෙන්නෙකුට දෙන්න කියලා. මම හැමදාම ජනතාවට කිව්වේ එහෙමයි. නමුත් අර මුස්ලිම් පක්ෂ නායකයා ඇතුළු තුන්දෙනාම කිව්වේ සිංහලයන්ට දෙන්න එපා කියලා. මේ ජාතිවාදයට අපි කැමති නෑ. කන්ද උඩරට භික්ෂූන් වහන්සේලා සෑහෙන සංවේගයෙන් ඉන්නේ. සිංහලයා බෞද්ධයා හරිම කේන්තියෙන් ඉන්නේ.
ප්‍රශ්නය - මේවා සාකච්ඡා කරලා විසඳාගන්න බැරිවුණා?
පිළිතුර - කොහොමද විසඳාගන්නේ? කොයි ආණ්ඩුව ආවත් මම ඇමති කෙනෙක් කියලා ඡන්දෙ ඉල්ලපු නායකයෙක්නේ මෙයා. මේ නායකයා ඡන්දෙ කාලේ සිංදුවක් කරන්න කෙනෙකුට බාරදුන්නා. එයා පක්ෂ නායක සජිත්ගෙ නමත් දාලා සිංදුවක් කරලා. අන්තිමට අර මුස්ලිම් පක්ෂ නායකයා කිව්වලු සජිත්ගෙ නම අයින් කරන්න, මොකද මම කොයි ආණ්ඩුවක් ආවත් ඇමති කියලා. එහෙම නායකයෙක් වෙනුවෙන් තමයි අපේ සමගි ජන බලවේගයේ මහනුවර ප්‍රබලයන් දෙන්නත් උදව් කළේ. එක්කෙනෙක් එළිපිට උදව් කළා. අනිත් එක්කෙනාට කොන්දක් නැති හින්දා හැංගිලා උදව් කළා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්