ඔබ කවදද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ? මම තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක
බැසිල් රෝහණ රාජපක්ෂ

 

  • මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා කීවෙ නෑ

 

රාජපක්ෂ කඳවුරේ මහ මොළකරු බැසිල් රාජපක්ෂ මහතා බවට පිළිගැනීමකි. ඔහු ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේ පුංචි ආණ්ඩුව දිනා, විධායක ජනාධිපති ධුරයට රාජපක්ෂ කෙනෙකුම පත්කර තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් රාජපක්ෂ කෙනෙකු සමග බිහිකර පෙන්වීමෙනි. එහෙත් ඒ පිළිගැනීම බැසිල් රාජපක්ෂ මහතාට තිබේ ද? ඔහු සිටින්නේ කළකිරීමෙන් ද? ඔහු කුමක් කරයි ද? ඔහුට කීමට තිබෙන්නේ කුමක් ද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙලා අවුරුද්දයි. විපක්ෂය නම් කියන්නේ ‘සර් ෆේල්’ කියලයි?   


ඒක හරියට පළමු වසරට ඇතුළත් කරපු ළමයකුට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න කියනවා වගේ වැඩක්. පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල දී තමයි පාස් ෆේල් තෝරන්නේ. මේ කියන කතාවත් ඒ වගේ තමයි. පාස් ද ෆේල් ද කියලා තෝරන්නේ මහජනතාව තමයි.   


ප්‍රශ්නය :-  ඇත්තටම එනකොට තිබුණ ජවය දැන් නෑ නේද කියලා ඇහුවොත්?   


ඔබ නගන ප්‍රශ්නයට අර්ථානුකූලව උත්තරයක් දෙනවා නම් ඇත්තටම අපි මුලින්ම කියන්න ඕනෑ අපි මේ ආණ්ඩුව ගත්තේ ඉස්සර වගේ අවුරුදු ගාණක් ගිහිල්ලා නොවෙයි. ජේ.ආර්. ජයවර්ධන 77 දී බලයට ඇවිත් ද‌ාහත් වසරකට පස්සේ තමයි එද‌ා අපි එම ආණ්ඩුව පෙරළුවේ. මේ විදියට අවුරුදු පහකට පස්සෙ ආණ්ඩුවක් ගන්නකොට අපි හිතුවේ නෑ අපි 2015 දී බාර දීපු රට මේ විදියටම විනාශ කරලා කියලා.   


 හැම අතින්ම, ජාතික ආරක්ෂාව පැත්තෙන්, ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන්, සංවර්ධනය පැත්තෙන් ඉතාම අන්ත තත්ත්වයට රට පත් කරලා තිබුණේ. ඇත්තටම අවුරුදු පහක දී රටක් මේ තරම්ම විනාශ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නයක් තියෙනවා.

   
ප්‍රශ්නය :- මගේ ප්‍රශ්නය වුණේ අවුරුද්දක් වැනි කාලයක දී ජනතා ආකර්ශනය මෙහෙම හීන වුණේ ඇයි කියලයි?   


ඒක තමයි මම මේ කියන්නේ. දියුණු කරලා තිබුණ රටක් විනාශ කරන්නේ කොහොමද කියලා තමන්ගේ අත්දැකීම් ඇසුරෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා පොතක් ලිව්වොත් හොඳයි. රට විතරක් නොවෙයි එයා එයාගේ පක්ෂයට අත් කරපු විනාශයත් දැන් පේනවා. මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමා කරලා. එ් මන්ත්‍රී ධුරයට කෙනෙක් පත් කරගන්න බැරි තරමට පක්ෂය නැත්තටම නැති කරලා තියෙන්නේ. රටට කළේත් ඒ පක්ෂයට කරපු විනාශය තමයි.   


 එහෙම රටක් අපි බාරගත්තට පස්සෙ අවාසනාවකට කොවිඩ් උවදුර මුළු ලෝකයටම ඇති වුණා. කොවිඩ් උවදුර මොනතරම් බරපතළ ද කිව්වොත් මේ රටේ අවුරුදු 30 ක් යුද්ධය තිබුණා. කොළඹ බෝම්බ පිපුරුණා, බස් බෝම්බ පිපුරුණා. මහ බැංකුවට ප්‍රහාර එල්ල වුණා. ගුවන් ප්‍රහාර එල්ල වුණා. තෙල් ටැංකි පිපිරෙව්වා. එහෙම වෙද්දිත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය තිබුණා. නමුත් මේ මාර්තු මාසෙන් පස්සේ නතර වෙච්ච සංචාරක ව්‍යාපාරය තවමත් ඇනහිටපු ගමන්මයි. සංචාරක ව්‍යාපාරයෙන් අපට ආපු මුදල් මුළුමනින්ම නතර වුණා. ඊළඟට අපිට විදේශ මුදල් ආවේ අපේ විදෙස් ශ්‍රමිකයන් එවන ප්‍රේක්ෂණ, ඒ ප්‍රේක්ෂණ මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි වෙනකම්ම සම්පූර්ණයෙන්ම ඇනහිටියා.   


ප්‍රශ්නය :- දැන් තත්ත්වය කොහොමද?   


ඇත්තටම ඒක දැන් ටික ටික වැඩිවෙලා සාමාන්‍ය වර්ෂවලටත් වඩා වැඩි ගාණකට වැඩිවෙලා තියෙනවා. ඒ වැඩිවෙලා තියෙන්නේ ප්‍රේක්ෂණ නීත්‍යානුකූලව එන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි ඉස්සර අවුරුද්දකට සැරයක් සල්ලි අරගෙන රටට ඒම වෙනුවට මෙවර බැංකු මගින් රටට එවනවා. ඒ අනුව ප්‍රේක්ෂණ වැඩි වීමක් තියෙනවා. නමුත් ඒක අපි ඒතරම් සුබද‌ායක ලෙස අපි නොගත යුතුයි.   


සමහර විට එක පහනක් නිවෙන්න යනකොට එකපාරට ලොකුවට දැල්වෙන්නේ. අන්න ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි ගන්න පුළුවන් ඔක්කොම ණය අරගෙන හරියට නහය ළඟට වතුර ගැලුවා වගේ රටක් තමයි අපි බාරගත්තේ. විදේශ මුදල් ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන් මාර්ග 5 ක් තියෙනවා. එකක් තමයි විදේශ ණය හා ආධාර. දෙක තමයි සංචාරක ව්‍යාපාරය. තුන තමයි විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේක්ෂණ. හතර තමයි අපට එන විදේශ ඍජු ආයෝජන. ඒ ආයෝජනත් මේ දවස්වල නෑ. නමුත් අපි සෑහෙන වෙහෙසක් ගන්නවා මේ තත්ත්වය ඇති කරගන්න.   


 ඊළඟ එක තමයි අපනයනය. අපේ අපනයනය මාර්තු මාසේ ඉඳලා අඩුවෙලා. සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකොට ඉහළම තත්ත්වයට ගෙනත් තියෙනවා. එතකොට මේ ආද‌ායම් මාර්ග පහ හරහා තමයි විදේශ මුදල් එන්නේ. කොහොම වුණත් අපට ණය ගෙවා ගන්නත් බැරිවෙයි කියලයි හැමෝම කිව්වේ. නමුත් ඒවා ඔක්කොම ගෙවලා අවසන් කරන්න අපි සමත් වුණා.   


 එහෙම තත්ත්වයක් ඇතුළේ.... අනික මේක පාස් ෆේල් බලන වෙලාවකුත් නොවෙයි. අර මම කියපු තත්ත්වය තුළ රටත් ආර්ථිකයත් රැකගෙන යන ගමන තුළ අපි අත්පත් කරගත් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මං හිතන්නේ අපි ඉහළම තත්ත්වයක ඉන්නවා. පෞද්ගලිකවත්, රජයක් හැටියටත් අපි හිතපු තරම්. හරියට අර විශිෂ්ට සම්මානයක් ගන්න හිටියට සම්මානයක් ගත්තා වගේ තත්ත්වයකුත් පේනවා. 

 
ප්‍රශ්නය :- කොවිඩ් පළමු රැල්ල මැඩලීමේ මෙහෙයුම සාර්ථක වුණත් දෙවැනි රැල්ලේ දී ආණ්ඩුව වැඩේ අතහැරලා කියලා පේනවා. කොළඹ හුදකලා නගරවල ජනයා කන්න ඉල්ලලා පාරට බැස්සා?  


ඇත්තටම පළමු පාර මුළු රටම ලොක්ඩවුන් කරපු වෙලාවේ අපිත් වි​ශේෂ උනන්දුවක් දක්වලා ජනධිපති විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවලා අපිට ඒකට මැදිහත් වෙන්න පුළුවන් වුණා. දැන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයකට සීමාවෙච්ච තත්ත්වයක් තියෙන්නේ. එවැනි තත්ත්වයක දී මුහුණ දිය යුතු ආකාරයක් තියෙනවා. ඒ දෙය සිදුවෙනවා. ඒ වගේම මේ වෙනකොට දේශපාලනික වශයෙනුත් රට තුළ යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ තුළ විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ නරුම උත්සාහයක යෙදෙනවා.   


කොහොම නමුත් ඒ හුදෙකලා ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් යම් අසීරුතා ඇති. දිනපතා අද‌ාළ මහජන නියෝජිතයන්, නිලධාරීන් ඒ ජනතාවට සහන සැලසීම සඳහා කැපවෙනවා.   


ප්‍රශ්නය :- ළඟපාතක ඡන්දයක් නැති නිසා ආණ්ඩුවටත් විශේෂ උනන්දුවක් නෑ. 


මං හිතන්නේ නෑ ආණ්ඩුවක් විදියට එහෙම කරනවා කියලා. ඔබ කියන විදියට උනන්දුවේ යම් අඩුවක් තියෙනවා. කෙසෙල් ගෙඩිවල නම් ගහලා ගංවතුරට හසුවෙලා හිටපු මිනිසුන්ට බෙදපු අයත් හිටියා. අද එවැනි තත්ත්වයක් නැති නිසා එහෙම උනන්දුවක් නැතිව ඇති. නමුත් මට පේනවා මෙතැනදී ලොකු අඩුවක් කොළඹ මහ නගර සභාවෙන් වෙනවා.   


 විශේෂයෙන්ම කොළඹ මහ නගර සභා සීමාවට තමයි මේකේ විශේෂිතම බලපෑම තියෙන්නේ. අනිත් පළාත් පාලන වගේ නොවෙයි කොළඹ මහ නගර සභාව තමයි අර්ධ රාජ්‍ය ආයතනවලින් එක. ඔවුන්ගේ වරිපනම් එකතුව ආණ්ඩුවටත් නෑ. ඔවුන්ට ඒ තරම් වත්කම් තියෙනවා. ඒ වගේම කොළඹ නගර සභාව සතුව විශාල සෞඛ්‍ය අංශයක් තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, විද්‍යාගාර, රසායනාගාර ඒ වගේ මහා විශාල ජාලයක් තියෙනවා. අනිත් පළාත්වල මහ ජනයාට ආධාර දෙන්නේ රජයෙන්.   


නමුත් කොළඹ මහ නගර සභා සීමාව තුළ මහජන ආධාර දෙන්නේ නගර සභාවෙන්. ඒවගේ විශාල මුදලක් තියෙන විශාල කාර්ය මණ්ඩලයක් තියෙන ආයතනයක්. ඉතින් ඒ අය මේකට දැක්විය යුතු ප්‍රමුඛතාවය දක්වලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මම මේ කිසිකෙනකුට චෝදනා කරනවා නොවෙයි. නමුත් මෙයට වඩා ඒ අයට මැදිහත් වෙන්න තිබුණා.   


ප්‍රශ්නය :- කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඉල්ලීමක් කළා ‘කොළඹ නගරය වහන්න’ කියලා...   


වැහීම තුළ ඇතිවෙන්නේ කොළඹ නගරය තුළ මේ තියෙන ප්‍රශ්නය තවත් උග්‍රවෙන එක තමයි. ඔබ කියන විදියට මිනිස්සු කෑම ඉල්ලලා පාරට බැස්සා නම් වැහීමෙන් වෙන්නේ ඒක තවත් උග්‍රවෙන එක. ඒක තමයි ඔවුන්ගේ යටි අදහස. විපක්ෂයේ යටි අදහස ඕක තමයි. කොළඹ නගර සභාව වගේම වෙනත් ප්‍රදේශවල තියෙන නගර සභා ප්‍රාදේශීය සභා මීට වඩා හොඳට තත්ත්වය පාලනය කරලා තියෙනවා. ඇයි ඒ අයට පාලනය කරන්න පුළුවන් වුණා නම් ඊට වඩා පහසුකම් තියෙන කොළඹ මහ නගර සභාවට ඒක කරන්න බැරි. මට එතැන ලොකු සැකයක් තියෙනවා.   


ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා. පළමු වැනි රැල්ල ආපු වෙලාවේ මහජන ආධාර බෙදන අවස්ථාවේ එක තැපැල් කන්තෝරුවකට තුන්ද‌ාහකට අධික ජනතාවක් කැඳෙව්වා. අපි එපාම කිව්වා මෙච්චර පිරිසක් කැඳෙව්වම ප්‍රශ්නයක් වෙයි කියලා. නමුත් ඒක අහන්නේ නැතිව ඒ අයව ගෙන්නලා ලොකු කලබලයක් ඇති වුණා. ඒ කාලයේ වයිරසය පැතිරිලා තිබුණේ නැති නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒ නිසා පැහැදිලිව මට කියන්න පුළුවන් ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ උපදෙස් නොතකලා කොළඹ මහ නගර සභාව කටයුතු කළ නිසයි මේක පාලනය කරගන්න බැරි වුණේ කියලා.   


ප්‍රශ්නය :- ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ඔබයි. ඔබත් වැඩේ අතහැරලා?   


ඒ මූලික කාර්යයෙන් මම දැන් නිදහස්. ඊළඟට මට දීලා තියෙන්නේ ආර්ථික වගකීම. ඒකට මම බොහෝම වෙහෙසිලා වැඩ කරනවා. ඔබ දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයට තමයි මේ කොවිඩ් දෙවැනි රැල්ලේ පොකුරු දෙකම ආවේ. එකක් මිනුවන්ගොඩ. අනික පෑලියගොඩ. ඒ වගේම රටේ ප්‍රධාන ගුවන් තොටුපළ තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ. කොළඹ වරායෙ සේවකයන්ගෙන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ වගේම බීඕඅයි එකේ අපනයන කරන ආයතන හය සීයකට වඩා ගම්පහ තියෙනවා. අපි ඒවා එකක්වත් අඩපණ වෙන්න නොදී ඒවා සියල්ලම විවෘත කරගෙන වැඩ කරන්න කටයුතු කළා.   


 සෞඛ්‍ය අංශ, දිසාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් කැපවීමෙන් කටයුතු කරනවා. අපි ඒ විදියට අමාරුම තැන පාලනය කරලා තියෙනවා. ආර්ථිකය වැටුණොත් මුළු රටම වැටෙනවා.   


ප්‍රශ්නය :-  රට ඇරගෙන, පාසල් විවෘත කරගෙන ගියාට රටේ තියෙන්නේ භයානක තත්ත්වයක් කියන එක තමයි පොදු මතය?   


ඒක නිවැරැදි නෑ. ලෝකයම මේකට අනුගමනය කරන ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ තමයි එකක් රට සම්පූර්ණයෙන්ම ‘ලොක්ඩවුන්’ කිරීම. මේ අවස්ථාවේ දී යුරෝපය තුළ දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. රටවල කෝපි කඩයක්වත් ඇරලා නෑ. ගෙයින් ගෙට යන්න බෑ. සමහර රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙනවා. මාස්ක් ද‌ාන එක අනිවාර්ය කළා කියලා සමහර රටවල්වල මිනිස්සු උසාවි ගියා. මුහුදු වෙරළට යෑම තහනම් කළාම ඒකට විරුද්ධව උසාවි ගිය රටවල් තියෙනවා.   


 තුන්වැනි ක්‍රමය තමයි අපේ රටේ අද ක්‍රියාත්මක වන ක්‍රමය. එක පැත්තකින් අපි දිගටම පරීක්ෂණ කරනවා. ප්‍රතිකාර කරනවා. එයට සමාන්තරව ආර්ථිකය ගමන් කරනවා. අනතුරුද‌ායක ප්‍රදේශ පමණක් හුදකලා කරනවා. අද වෙනකොට එක රෝගියෙක්වත් හමු නොවුණු දිස්ත්‍රික්ක තියෙනවා. එතකොට ඒවා වහන්න ඕනෑ නැහැනේ.   


 කෘෂිකර්මාන්තය දිගටම කරගෙන ගියා. ලංකාවට හොඳම ක්‍රමය තමයි අද අපි ක්‍රියාත්මක කරන්නේ. අපි තෝරාගෙන තියෙන්නේ බුදු දහමේ දැක්වෙන මධ්‍යම ප්‍රතිපද‌ාවයි. කෙසේ වෙතත් විපක්ෂයට අද මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. යුද්ධය තියෙන කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරපු මැච් එකක් තිබුණ දවසක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් මගෙන් ඇහුවා. ‘ස්කෝර්’ එක කීය ද කියලා. මම මැච් එකේ ‘ස්කෝර්’ එක කිව්වා. එහෙම කිව්වම එයා කියනවා නැහැ මම ඇහුවේ ජයරත්න එකේ ස්කෝර් එක ගැනයි කියලා.   


එහෙම නරුම මානසිකත්වයක් තමයි මේ විපක්ෂයට හැමද‌ාමත් තිබුණේ. යුද ජයග්‍රහණ හෑල්ලු කළා. තොප්පිගල කැලෑවක් කිව්වා. සරත් ෆොන්සේකා ගැළපෙන්නේ ගැලවීමේ හමුද‌ාවට කිව්වා. එවැනිම තත්ත්වයක් අදත් විපක්ෂයෙන් පේනවා. මේ නරුම මානසිකත්වය රටට පිළිලයක්. මෙහෙම ගියොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අත්වෙච්ච ඉරණමම මේ විපක්ෂයටත් අත්වේවි.   


ප්‍රශ්නය :-  ආණ්ඩුව ගත්තත් නොයෙක් මත ගැටුම් එක්ක තමයි ඉස්සරහට යන්නේ. කෝ තිබුණ සමගිය?   


මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවට වඩා ඒකීයභාවයක් තියෙනවා. එක මතයක ඉන්න පිරිසක් තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. නමුත් විවිධ පක්ෂ තියෙනවා. මේක සන්ධානයක්නේ. ඩග්ලස් දේවානන්ද‌ා වගේ පොහොට්ටුවෙන් තරග නොකරපු අයත් ඉන්නවා. එතකොට පිල්ලෙයාන් වගේ අයත් ඉන්නවා. මේක මේ තනි ජාතියකට ආගමකට හෝ තනි පක්ෂයකට අයිති ආණ්ඩුවක් නොවෙයි.   


ප්‍රශ්නය :- ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ ‘මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක්’ කියලා?   


නෑ කවුරුවත්ම එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වා කියලා සමාජ මාධ්‍ය ජාලවලත්, පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතිව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ.   
ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේ දී දිවුරුම් දෙමින් කිව්වා ‘මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති වුණේ’ කියලා.   


 එහෙම කියපු එක ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයිති පක්ෂයක්. හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒක හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම අපට ඒක හොඳට පේනවා. ඒකෙන් කියැවෙන්නේ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කරගන්නේ නෑ කියලා කිව්වා කියලා. ඒක හදපු එකක්.   


 අපේ සංවිධානය තුළ වාමාංශික පක්ෂ ඉන්නවා. ඒ වගේම ජාතිකත්වයට ඉහළ ප්‍රමුඛත්වය දෙන පක්ෂ තියෙනවා. ඒ වගේම විවිධ ජාතීන්ට අයත් පක්ෂ තියෙනවා. ඒ විදියෙ විවිධත්වයක් තියෙනවා. විවිධ විෂයන් පිළිබඳ වෙනස් මත තියෙනවා. එහෙම දෙයක් ඇරෙන්න ඊට පරිබාහිරව මහා ගැටුමක් නෑ. නමුත් ඔය වගේ මතයක් ඔබතුමාලා තුළ ඇතිවීමත් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. අපි ඒක ගැන සැලකිලිමත් විය යුතුයි.   


ප්‍රශ්නය :-  ද්විත්ව පුරවැසියන්ටත් ඡන්ද ඉල්ලන්න පුළුවන් කියලා 20 ට වගන්තියක් එනකොට ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වවලින් දැවැන්ත විරෝධයක් ආවා. ඒ විරෝධය ආවේ තනිකරම ඔබට කියල ඔබ හිතනවාද?   


මම මෙහෙම එකක් කියනවා. 19 වැනි සංශෝධනය ගැන කියනකොට ඒකට ජනවරමක් නෑ. ඒ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් බුලත් කොළයෙන් ඉල්ලලා දිනපු බහුතරයක් හිටපු පාර්ලිමේන්තුවක් ඒක. ඒකට තමයි ජනවරම තිබුණේ. ඒ නිසා අපි 19 ට එරෙහිව මතයක් ගොඩනගලා අපි ඒක ඉවත් කරනවා කියලා ජනතාවට කිව්වා. 19 වැනි සංශෝධනයේ ධනාත්මක කරුණුත් තියෙනවා ඒ වගේම ද්වේෂ සහගත, නින්දිත පලිගැනීමේ චේතනාවෙන් ගෙනාපු යෝජනාත් තිබුණා. ඒකම තමයි යටි අරුත. එක පවුලක් ඉලක්ක කරගෙනයි 19 ගෙනාවේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වයස 35 කරන්නේ එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙනයි. ඒ විදියේ ඒවා වෙනස් කිරීම සඳහා තමයි 20 ගෙනාවේ.   


ප්‍රශ්නය :- - මගේ ප්‍රශ්නය වුණේ ද්විත්ව පුරවැසියන්ට එරෙහිව ගොඩ නැගුණු විරෝධය ගැනයි. 


ඔව්. ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ඍජුව බලපාන කෙනෙක් තමයි මම. ඒක හංගන්න දෙයක් නෑ. ඒක අපිවම ඉලක්ක කරගෙන ගෙනාපු සංශෝධනයක්. ඒක නිවැරැදි කිරීමට ජනතාව වරමක් දුන්නා. ඒ ජනතා වරමෙන් ආපු වැඩි දෙනෙක් ඡන්දය පාවිච්චි කරලා ඒක නිවැරැදි කළා. ඒ ගැන මම ස්තූති වෙනවා. මම ඒක දකින්නේ මට කරපු ගෞරවයක් හැටියට. මට ඒක ශක්තියක්. එයින් මේ රටේ ජනතාව කෙරෙහි මට භක්තියක් ඇති වුණා. ඒ මිසක් ඔබ අහන විදියට මාවම ඉලක්ක කර ගත්තා ද කියන එක මට අද‌ාළ නැහැ. එක එක්කෙනා මත ප්‍රකාශ කළත් අවසානයේ දී පාර්ලිමේන්තුවේ දී මට ලැබෙන සහයෝගය තමයි මට වැදගත් වුණේ. ඒක මම හිතුවටත් වඩා හොඳින් සිද්ධ වුණා. ඒකට මම හැමෝටම කෘතවේදී වෙනවා. 

 
ප්‍රශ්නය :-  ඔබ කවද ද දැන් පාර්ලමේන්තුවේ දිවුරුම් දෙන්නේ?   


 ඇත්තටම මම ඒ ගැන ධනාත්මකව හිතලා නෑ. ඔබ දන්නවා 2015 දී ජනතාව අපට තීන්දුවක් දුන්නා. ඒ ජනවරමට ඉඩ දීලා අපි ඉවත් වුණා. එතැන දී මම කල්පනා කළා ඉදිරි කාලය මගේ දරුවන් හා බිරිඳ සමග ඉන්න ඕන කියලා. නමුත් ඒකට ඉඩ දුන්නේ නෑ. යම් යම් චෝදනා ද‌ාලා මාව කොටු කළා.   


මම මුලින්ම ලංකාවට ආවා. එතැනදී මම කාරණා දෙකක් හිතුවා. එකක් මේ මර්දනය නීතිමය වශයෙන් පරාජය කරන්න සම්පූර්ණ ශක්තිය යොදවන්න ඕනෑ කියලා. දෙවැනි එක ඒ රටට හතුරු පාලනය දේශපාලනිකව පරාජය කරන්න ඕනෑ කියලා. මේ මර්දනය මට විතරක් නොවෙයි. අපේ කඳවුරේ අතිමහත් පිරිසකට එල්ල වුණා.   


ඒ එක්කම හිතපු දෙයක් තමයි මගේ කැමැත්තක් නැහැ ජාතික දේශපාලනයට එන්න. ඒ කාර්ය භාරයට හොඳම අය ඇවිත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පිරිස. ඒ අයට උදව්වක් කරගෙන ඉන්නවා මිසක් මෙතැනින් එහාට යන්න මගේ බලාපොරොත්තුවක් නෑ.   


ප්‍රශ්නය :-  ඔබට පාර්ලිමේන්තු එන්න කියලා මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් අත්සන් කළා.

   
එහෙම ආරාධනා මට බොහොමයක් තියෙනවා. මන්ත්‍රීවරුන් විතරක් නොවෙයි ජනාධිපතිතුමාත්, අගමැතිතුමත් ඉල්ලලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් ආරාධනා එනවා. නමුත් මම තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ. ධනාත්මකව ඒ ගැන කල්පනා කරන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නෑ.

 

 

 සාකච්ඡා කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්