ඩී. ඇස්., ඩඩ්ලි සේනානායකවරු, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යන අගමැතිවරුන් සහ ජනපතිවරුන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්ද පත්‍රිකාවේ නැත. එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි අගමැතිවරුන් බලයට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ජනතා කැමැත්ත ඉල්ලා සිටින්නේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණද, මහින්ද රාජපක්ෂ ජනපති පුටුවට කැන්දාගෙන ආ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලකුණ ඡන්ද පත්‍රිකාවේ දකින්නට නැත. දශක අටක් දේශපාලන කරළිය පෙරළි කළ පක්ෂ සටනට එන්නේ නැත.
එවැනි දේශපාලන සංදර්භයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ 78 වෙනි සංවත්සරය නිමිති කොට ගෙන අහවල් ඇන්නෑවකට අතීතය පාරට්ටු කරනවා දැයි මහජනතාවට සිතීම අරුමයක් නම් නොවේමැයි?
දේශපාලන පක්ෂයක් බිහිවීම හුදෙක් ඕපපාතිකව සිදුනොවේ. ඒ සඳහා ඇති සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව නිර්මාණය විය යුතුය. එහි පාදම මත තිර අදිටනින් සිටගෙන එක්සත් ජාතික පක්ෂයට මුහුණදීමට සිදුවී තිබෙන අලකලංචිය තේරුම් බේරුම් ගර ගනිමු. ඒ සඳහා ඇරයුම් කරමු. එක්සත් ජාතික පක්ෂයේ මහා සම්ප්‍රදායේ කතාවට සවන් දෙමු.
ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ඉන් පාඩමක් ඉගෙන ගැනීමට හැකිය. එඩ්මන් බර්ක් දේශපාලන පක්ෂයක් නිර්වචනය කරනු ලබන්නේ ‘‘පොදු ප්‍රතිපත්තියක් යටතේ ජාතික උවමනාවන් ඉටුකර ගැනීමට එකට බැඳුණු පුද්ගල කණ්ඩායමක්’’ ලෙසය.
අනගාරික ධර්මපාලතුමාගේ පවුලේ බූදලයක් වූ ‘‘පාම්කෝට් මන්දිරයේ’’ පැවැති නව පක්ෂයේ සමාරම්භක මංගල සභාව පිළිබඳව ලේඛන ගතකොට ඇත්තේ මෙසේය.
කොතලාවල මහතාගේ ඇරයුමට අනුව, මුලසුන පිළිගත් ඩී.එස්. සේනානායක මහතා, නව පක්ෂයේ ඉලක්ක සහ අරමුණු පැහැදිලි කර දුන්නේය. දිවයින තුළ වෙසෙන සියලු ජාතීන් අතර සමගියෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවන් එතුමා අවධාරණය කළේය. හොඳහිත සහ අන්‍යොන්‍ය විශ්වාසය ඇයැද සිටි සේනානායක මහතා, එජාපය රට තුළ ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත්වීම කෙරෙහිත්, ජනතාවගේ අනාගත බලාපොරොත්තු හැඩගැන්වීමෙහි වැදගත් වගකීමක් ඉසිලීමේ ඇති හැකියාව ගැනත් විශ්වාසය පළ කර සිටියේය.
රාජ්‍ය මන්ත්‍රී එස්. නඩේසන් විසින් මෙම රැස්වීමේදී ‘‘එක්සත් ජාතික පක්ෂය’’ පිහිටුවා ගනු ලැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලදී. එය ස්ථිර කළේ රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී. ජයා විසිනි. සභාවට ඉදිරිපත් වුණු එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත විය.
එජාපය සිය පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මේ රටට ඉදිරියේදී හිමිවිය යුතු පංචවිධ නිදහස ගැන පුළුල් විවරණයක් ඉදිරිපත් කරනු ලැබීය. නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ගමන් මග පිළිබඳව යම්කිසි දැක්මක් එහි අන්තර්ගත වී තිබුණි. එනම්,
1. විදේශීය පාලනයෙන් මිදීම
2. අග හිඟ කම්වලින් මිදීම.
3. රැකී රක්ෂා හිඟකමින් මිදීම.
4. නොදත් කමින් මිදීම.
5. ලෙඩ රෝගවලින් මිදීම.
රටේ ඉදිරි සංවර්ධන ගැන කරුණු 7කින් යුතු වැඩපිළිවෙළක්ද එජාපයේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් වේ.
ඕනෑම සමාජයක ප්‍රධාන අවශ්‍යතාවයන්ගේ සංතෘප්තිය සහ එය බුක්ති විඳීමට තිබෙන අවස්ථා උදාකිරීමය. රජයක ප්‍රධාන වගකීම වන්නේ ඊට අවස්ථා නිර්මාණය කිරීමයි. එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය සමග බැඳුණු රන් හූය වී ඇත්තේ නිදහස් වෙළෙඳාම සහ නිර්බාධිත රාජ්‍ය සංකල්පයයි. නිර්බාධිත ධනේෂ්වර ක්‍රමය මත පදනම්ව පෞද්ගලික දේපොළ ක්‍රමය එජාපය විසින් සෑම විටම දිරිමත් කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය දේශපාලන ප්‍රවාහය තුළ පූර්ව හැත්තෑහත අවධිය පිළිබඳව විචාරශීලීව විමසා බැලීමේදී එකී අවධියේදී සුවිශේෂී ඓතිහාසික සිද්ධි රැසක්, ලාංකේය සමාජයට තියුණු බලපෑමක් එල්ල කොට ඇත. ඒ අතර ශ්‍රී ලාංකික අපට දේශපාලන නිදහස ලැබීම, දෙවන ලෝක යුද්ධයේ බලපෑම, යුරෝපීය ආර්ථිකයේ අවපාතය ඉන් ප්‍රධාන සිදුවීම් කිහිපයකි.
කෙසේ වෙතත් 1956දී සිදුවුණු දේශපාලන පෙරළියෙන් පසුව එතෙක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ අඩු ලුහුඬුකම් ජය ගැනීමට හැකි බවට කළ විශ්වාසය, ඒ අයුරින්ම තහවුරු වූයේ නැත. ඊට විකල්ප ලෙස අන්තර්ජාතික ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව තැකීමක් නොකොට, වඩාත් දේශීයකරණයට යොමු වීම නිසා සහ පසුව හැත්තෑ හත දක්වාම ප්‍රතිපත්තිමය හේතු මත ගත් දැඩි තීරණ නිසා සිදුවූයේ තිබුණු ප්‍රශ්න තව තවත් උග්‍රවීමය.
එකී යුගවලදී ලොව අනෙකුත් ප්‍රජාව නවීකරණයට නතුවුණු ආකාරයට, අපේ සමාජ නවීකරණයට නතු වූයේ නැත. වෙළෙඳපොළ රාජ්‍යයේ ග්‍රහණයට ගැනීමත්, ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික ක්‍රියාවලිය රාජ්‍ය හෝ අර්ධ ව්‍යවසාය යටතේ පැවතීම මගින් රැකියා වියුක්තියට පිළියම් සෙවීම අපහසු වූ අතර, ජාතික ශ්‍රම බළකායට රැකියා ලබා ගැනීමේ මූලික ප්‍රභවය වූයේ රජයේ රැකියා පමණි. එම නිසා ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රගමනය අඩාල වීම සිදුවිය. සමාජ පන්ති අතර ඇති නැති පරතරය පුළුල් විය. රැකියා අවැසි වූවන්ට රැකියා පෝලිමත්, ආයෝජකයින්ට බලපත්‍ර පෝලිම තුළ කාලය අපතේ යැවීමටත් සිදුවිය.
පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුළ දකින්නට තිබුණු ගම හා නගරය අතර පැවැති ආර්ථික හා සමාජ සංවර්ධනය, අසමතුළිත බව මනාව කැපී පෙනුණි. කොළඹට කිරි ගමට කැකිරි යථාර්ථය මතු කළ උපහාසය 88-89 දී වඩා ප්‍රචලිත වුවද, එහි ප්‍රභවය තහවුරු වූයේ 70 දශකයට පූර්ව යුගයේදීය. 75%ක් වූ කෘෂිකර්මාන්තයෙන් යැපුණු ගැමි සමාජය විසින් නිපදවන ලැබූ ද්‍රව්‍ය විකුණා ගැනීමට නිසි වෙළෙඳපොළක් තිබුණේ නැත. රැවුල් කපන්නේ යැයි කියන තැරැව්කරුවෝ සති පොළ පේනමානයේ සිට භවභෝග ටික උදුරා ගනිති. පසුව තොග මුදලාලිට තැරැව්කරුවෝ අලෙවි කරති.
නොදියුණු තාක්ෂණ ක්‍රම භාවිතය, භාණ්ඩ සහ මගී ප්‍රවාහනයට සුදුසු වාහන නොමැතිවීම වැනි කරුණු ගමේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම එක තැන පල්වීමට හේතු වී තිබුණි. මෙම තත්වය වඩා ගැටලුසහගත බවට පත්වීමේ ප්‍රතිඵලය වූයේ හැත්තෑ හතේ පෙරැළියට මගතොට එළි පෙහෙළි වීමය.
1977 වන විට ශ්‍රී ලාංකේය සමාජය ගිලී තිබුණේ අර්ධ ධනේෂ්වර පිරුවටයෙන් වැසූ වැඩවසම් සමාජභාවයක් තුළය. සමාජ ආර්ථික සමාජීය හා සංස්කෘතික අවපාතයක් තුළ නගරය ගිලී යමින් තිබුණි.
එක්සත් ජාතික පක්ෂය මගින් බිහි කළ නොපසුබට වීර්යයෙන් යුතු අනාගතය, දේශපාලකයාගේ එනම් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ වසර 60 දිගු දේශපාලන ගමනේදී ලද අත්දැකීම් සහ එජාපයේ ප්‍රතිපත්තිමය කරුණු පෙර පැවති ආණ්ඩුවල අසමත්කම්, දුර්වලතා, වැනි කාරණා ඇසුරෙන් පිළිසකර වුණු දැක්ම එවකට සමාජය උදක්ම ඉල්ලා පරිවර්තනය කිරීම සඳහා මැනවින් සුදානම් වී සිටියේය.
උදාහරණයක් ලෙස දැක්වුවහොත් නිදහස් ආර්ථිකය පිළිබඳ අදහස කලඑළි බැස තිබුණේ 1966දී එවකට පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා තුළය.
හැත්තෑ හතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පදනම වන්නේ 1944 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත ගෙන විවාදයට සහභාගි වෙමින්, ඔහු විසින් ඉදිරිපත් කළ අදහස්ය. නමුත් එකී යෝජනා ක්‍රියාවේ යෙදවීමට ඔහුට හැකිවන්නේ හැත්තෑ හතේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේදීය.
හැත්තෑ හතේ එජාපයේ ප්‍රතිසංස්කරණ විප්ලවය තුළ ප්‍රතිලාභ රැසක් සමාජයට තිළිණ කළේය. සිදුකළ ප්‍රතිසංස්කරණ දිගුකාලීනව අපේ සමාජයට බලපෑම් එල්ල කිරීමට සමත් විය. රූපවාහිනිය මෙරටට හඳුන්වාදීමත් සමග තොරතුරු සන්නිවේදනය තුළ සැබෑ වෙනසකට මුල පුරනු ලැබීය.
විදේශ අයෝජන කලාප පිහිටුවීම මගින් අතමිට සරු වූයේය. කාන්තා ශ්‍රමයට විධිමත් වටිනාකමක් ද ලැබුණේය.
ගම සහ නගරය අතර තිබුණු පරතරය සමනය කිරීමට මං මාවත් ඇතුළුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු කළ විප්ලවය හේතු විය. 1977 නව ආර්ථික විප්ලවය තුළින් දේශීය කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇති විය. 1970-76 දක්වා කාලය තුළ රටේ සහල් නිපැයුම් 8%කින් පහත වැටී තිබුණි. නව ආර්ථික විප්ලවයේ පසුව සහල් නිපැයුම 71% වැඩිවීම සිදුවිය. තිරිඟු පිටි ආනයනය කිරීම 37% කින් පහත වැටී තිබුණි. 7% තිබූ ධීවර නිපැයුම් 1977න් පසුව 71% දක්වා වර්ධනය විය.
රටේ ආර්ථික ක්‍රියාවලියේ සමස්තය තහවුරු කර ගැනීමට 1977 දෙසැම්බර් මස 15 වන දින ඉදිරිපත් කළ එජාප නව රජයේ පළමු අයවැය කතාවෙන් කොටසක් උපුටා දක්වමු.
රොනීද මැල් මහතාට අනුව මංගල අයවැය ලේඛනයේ මූලික අරමුණ නම් ආර්ථික වර්ධනයට බාධා සිදුකරමින් විසි වසරකට වැඩි කාලයක් පැවති සම්භාධක හා සීමා ඉවත් කරමින් නිදහස් ආර්ථිකයක් පිහිටුවා ලීමය.
එකී සමස්ත ක්‍රියාවලිය තුළින් නැවෙන් කටට යන ආකල්පය වෙනසකට ලක් කරමින්, ජාතික ආර්ථිකය ලෝකය සමග බද්ධ වුණු ශක්තිමත් ආර්ථිකයක් මත ස්ථාපිත කිරීමට එජාපයේ දැක්ම සමත්කම් පෑවේය. ජනාධිපති ආණ්ඩු ක්‍රමය සහ බහු වාර්ගික සමාජයක එකා සැමටත්, සැම එකාටත් වටිනාකම තහවුරු කිරීමට අනූහත ක්‍රමය මෙන්ම එතෙක් පැවැති බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මුළු රටම එකතු වී තනි ආසනයක් ලෙස තරග කිරීම සඳහා ජනාධිපති පාලන ක්‍රමයේ රටට හඳුන්වා දුන්නේය.
1977දී සිදුකළ ආර්ථික ප්‍රතිකංස්කරණ තීරණාත්මක වෙනසක් කිරීමට සමත්වුවද ඉන්පසුකාලීනව සිදු කළ යුතුම වෙනස්කම් කිරීමට සියලු දේශපාලන පක්ෂවලට තිබුණු අලසකම නිසා මේ වන විට දැවැන්ත ආර්ථික අභියෝග රැසක් ජාතිය අභිමුව ස්ථාන ගතවී තිබේ.
එකී ආර්ථික කඩා වැටීම මගින් පිළිබිඹු වන්නේ, දේශපාලන ක්‍රියාවලියේ කඩා වැටීමයි. එජාපයේ ස්වර්ණමය යුගය තහවුරු වීමට එහි දේශපාලන ක්‍රියාවලිය දැඩි බලපෑමක් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සෑම වසරකම කෘත්‍යාධිකාරි මණ්ඩලය, විධායක මණ්ඩලය තරුණ සමිති කාන්තා සමිති හා සම්මේලන පැවැත්වීමු.
බලයේ සිටි සෑම අවස්ථාවකදීම මෙන්ම බලයේ නොසිටි සෑම අවස්ථාවකදීම ඉහත සඳහන් සංවිධාන වනුයේ ක්‍රියාකාරකම් සිදුවිය. අපි ආසන ජයග්‍රහණය කරනු ලබන්නේ පක්ෂය නිසා බව දැන ගත යුතුය.
එසේ නොමැතිව පුද්ගලිකත්වය පරම්පරාව පවුල හෝ කුල නිසා නොවේ. පක්ෂය නිසාය. වත්මනේදී එක්සත් ජාතික පක්ෂයට සිදුවී තිබෙන්නේ මේ යථාර්ථය තේරුම් බේරුම් කර නොගැනීමයි.
(සැප්තැම්බර් 6 වන දිනට යෙදෙන එජාපයේ 78 වන සංවත්සරය නිමිත්තෙන්)