අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්
- කොමිෂන් සභාවක් කියන්නේ උසාවියක් නොවෙයි
- විවේචන එල්ල කරන බොහෝ දෙනා වාර්තාව අධ්‍යයනය කරලා නෑ
- අත්අඩංගුවේ ඉන්න අයගෙන් ප්‍රශ්න කරලා විස්තර ගන්න පුළුවන්
- විදේශීය සංවිධානයකින් මුදල් ආවා කියලත් වාර්තාවේ තියෙනවා
පාස්කු කොමිෂන් සභා වාර්තාව, විපක්ෂය නගන චෝදනා ඇතුළු රටේ දේශපාලනයේ උණුසුම් මාතෘකා සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- පාස්කු කොමිසමේ වාර්තාවේ මහ මොළකරුවන් ගැන සඳහනක් නෑ කියලා විපක්ෂය කියනවා?
පිළිතුර:- පාස්කු කොමිසමේ වාර්තාව ගැන බොහෝ විවේචන හා චෝදනා එල්ල කරන අය එම වාර්තාව අධ්‍යයනය කරලා නෑ. කී දෙනෙක් මේක කියවලා තියෙනවද ? ප්‍රධාන නියාමන ඇතුළත් වෙලා තියෙන්නේ එක වෙළුමකනේ. දැන් ඔබ අහනවා මහ මොළකරු කවුද කියලා. මේ වාර්තාවේ තියෙනවනේ ඒකට බලපාපු අන්තර්ගත කරුණු. මේ වාර්තාවේ තියෙනවා කවුද මේකට මුල පිරුවේ කියලා. පැය තුනක කාලයක් ඇතුළත බෝම්බ 8ක් විතර රටේ විවිධ ප්‍රදේශවල පිපිරෙව්වා. එහෙම දෙයක් එල්ටීටීඊ එකටවත් කරන්න බැරි වුණා. ඒ කියන්නේ බොහොම සැලසුම් සහගතව විශාල ධනයක් වියදම් කරලා කරපු දෙයක්.
ප්‍රශ්නය:-ඒ මුදල් කොහෙන් ද ආවේ ?
පිළිතුර:- ඒක මේ වාර්තාවේ තියෙනවනේ. විදේශීය සංවිධානයකින් මේකට මුදල් ලැබුණු බවට සාක්ෂි තියෙනවා කියලා වාර්තාවේ තියෙනවා. ඒ සංවිධානයේ නමක් තියෙනවා. 29 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන් වෙනවා. ඒ සංවිධානය සමග ගනුදෙනු කරපු අයගේ නම් සඳහන් වෙනවා. ඒ වගේම මේකට සම්බන්ධයි කියලා අධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කරන්න පුළුවන් පුද්ගලයන් හය දෙනෙකුගේ නම් සඳහන් වෙනවා. ඒවා ඔක්කොම මේ වාර්තාවේ තියෙනවා. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධව විස්තර සහිතව විමර්ශනය කරලා කටයුතු කළ යුතු පුද්ගලයන් දෙදෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ අයගේ නම් තියෙනවා. මේකේ තියෙනවා මරාගෙන මැරුණු අයට අමතරව තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන කියලා. ඒ අය ළඟ මේ සම්බන්ධයෙන් විස්තර තියෙනවා. ඒ අයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරලා තව තවත් විස්තර හොයාගෙන ක්‍රියාත්මක විය යුතුයි කියලා මේ වාර්තාවේ තියෙනවා. 2020 ඔක්තෝබර් මාසයේ තුළ කටාර් රාජ්‍යයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉන්නවා කියලා සඳහන් වෙනවා. ඒ පුද්ගලයන් ගැන සොයා බලලා පුළුවන් නම් ලංකාවට ගෙනල්ලා විමර්ශනය කරගෙන යා යුතු බවත් සඳහන් වෙනවා. ඒ වගේම අන්තවාදී සංවිධානයක් ගැනත් සඳහන් වෙනවා. එස්.එල්.ජේ.අයි. කියන අන්තවාදී සංවිධානයේ ප්‍රධාන පුද්ගලයා රටේ වෛරය පතුරුවන්න ඔහු කටයුතු කරලා තියෙනවා. එයාට එරෙහිව වහාම නීතිපතිතුමා සාපරාධී නඩු ආරම්භ කළ යුතුයි කියලා මෙකේ සඳහන් වෙනවා. ඒ නිසා ඔය විවේචනය එන්නේ කොමිසම ගැන වැරැදි අදහස් තියෙන පුද්ගලයන්ගෙන්. මේවා උසාවියක් නොවෙයි. විරුද්ධ පක්ෂයේ යම් යම් චරිත කිෙයනවා ‘ඒගොල්ලෝ බලයට පත්වෙච්චි වහාම මේකට සම්බන්ධ අය එල්ලා මරණවා’ කියලා. දේශපාලනඥයන් හැටියට අපිට බෑ කවුරුවත් එල්ලා මරන්න. කොමිෂන් සභාවටත් බෑ, කොමිෂන් සභාවක් කියන්නේ උසාවියක් නොවෙයි. උසාවියකට තියෙන බලතල කොමිෂන් සභාවකට නෑ. යම් යම් පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමේ බලයක් කොමිෂන් සභාවට නෑ. කොමිෂන් සභාවට පොලිසියට තියෙන බලතලත් නෑ.
ප්‍රශ්නය:-එහෙනම් මොකට ද මේ කොමිෂන් පිහිටුවන්නේ?
පිළිතුර:- මම ඒක තමයි මේ විස්තර කරන්නේ. සී.අයි.ඩී. එකට ටී.අයි.ඩී. එකට විමර්ශනය කිරීමේ බලයක් තියෙනවා වගේම ඒ සඳහා ඔවුන්ට යාන්ත්‍රණයක් තියෙනවා. කොමිෂන් සභාවකට එහෙම යාන්ත්‍රණයක් නැහැ. නමුත් කොමිෂන් සභාව පිහිටුවීමෙන් විශාල ප්‍රතිඵල තියෙනවා. ප්‍රහාරයේ සම්පූර්ණ චිත්‍රය මේ වාර්තාවේ තියෙනවා. ඒගොල්ලෝ දැන් නිර්දේශ කරනවා මෙතැනින් එහාට සීඅයිඩී එක ටීඅයිඩී එක මින් ඉදිරියට කුමක්ද කළ යුත්තේ කියලා. නීතිපතිතුමාගෙන් දැන් කුමක්ද ඉටුවිය යුත්තේ? පොදුවේ නොවෙයි පුද්ගලයන් හා සිද්ධි සඳහන් කරලා ඒ ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරලා නඩු පැවරිය යුතුයි කියලා තියෙනවා. ඒ නිසා ප්‍රමාදයකින් තොරව ඒ නඩු ඉදිරියට ගෙන යන්න පුළුවන්. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අහවල් අහවල් පුද්ගලයන් යොමු කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ විදියට ඉදිරියේ දී කළ යුතු වර්ග තුනක නිර්දේශ ඒවා තමයි විධායකයෙන් කෙරිය යුතු දේවල්. අනික පාර්ලිමේන්තුවෙන් කෙරිය යුතු දේවල්. ඊට පස්සේ අධිකරණයෙන් කෙරිය යුතු දේවල්, ඒවා වෙන වෙනම දක්වලා තියෙනවා.
ප්‍රශ්නය:- නමුත් ඔබ කිව්වා ‘බොදුබල සේනා සංවිධානය තහනම් කරන්න බෑ කියලා ?
පිළිතුර:- ඔව් ඒක කරන්න අසීරුයි. ඒ නිසයි මම එහෙම කිව්වේ.
ප්‍රශ්නය:-ආණ්ඩුව බයයි හාමුදුරුවරු අමනාප වෙයි කියලා ?
පිළිතුර:- නෑ... නෑ... බයක් නොවෙයි. මේ සියලුම දේවල් කිරීමේ අරමුණ තමයි මේ තත්ත්වයන් සමනය කිරීම. එවැනි පියවරක් ගැනීම තුළත් ඒ අරමුණ ඉටු වෙන්නේ නෑ. නැති අවුල් ඇතිවීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අභිමතයක් දැරීමට රජයකට හැකියාවක් තියෙනවා. මේ වාර්තාවෙන් මීට පෙර නොදැන සිටි දේවල් දැනගන්න ලැබුණා. ඒවා පාවිච්චි කරලා මේවාට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතුයි. ඊට අමතරව මේ වගේ ඛේදවාචකයක් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම.
ප්‍රශ්නය:- විපක්ෂයේ ඇතැම් පිරිස් කියනවා මේ ප්‍රහාරය පිටි පස්සේ හිටියේ රාජපක්ෂවරුන් කියලා ?
පිළිතුර:- ඒක හරිම පුදුම අභූත චෝදනාවක්නේ. මේ කොමිෂන් සභාව පත් කරන්න යෙදුණේ 2019 සැප්තැම්බර් 21 වැනිදා. එතකොට අපි බලයේ හිටියේ නෑ. ඊට පෙරත් අපි බලයේ නොසිටියා පමණක් නොවෙයි අපට ලැබිය යුතු දේවල් ලැබුණෙත් නෑ. උදාහරණයක් වශයෙන් විපක්ෂනායක ධුරය. ඒක අපිට ලැබිය යුතු දෙයක්. ඒක අපට අහිමි කළා. එතකොට අපට කිසිම බලයක් තිබුණේ නෑ. මේ ප්‍රහාරයේ වගකීම තියෙන්නේ කාට ද? ගෝඨාභයටයි, බැසිල්ටයි වරද පටවන්න හදන්නේ එදා සිටි යහපාලන රජය. මේ වාර්තාවෙන් පැහැදිලිව කියනවා මේක සිදු වුණේ එදා හිටපු බලධාරීන් මේ ගැන සියලුම දේ දැනගෙනත් මේක වැළැක්වීම සඳහා ඔවුන්ගේ නිලබලය පාවිච්චි කළේ නැති නිසා කියලා.
ප්‍රශ්නය:- ඇමැති විමල් වීරවංශ කිව්වා ‘මේ වාර්තාවේ රනිල් වික්‍රමසිංහගේ නමවත් නෑ’ කියලා?
පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් යම් යම් අතපසුවීම් වුණා කියලා සඳහන් වෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කළානේ ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න. නමුත් ඒකට ඉඩ දුන්නේ නැහැනේ. අගමැතිවරයාගේ ස්ථාවරය තමයි එතුමාට කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ කියලා ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට එන්න කියලා. එයාව ඒවායින් ඉවත් කරලා තිබ්බේ. ඒ නිසා එතුමාට මේ ගැන අවබෝධයක් තිබුණේ නෑ කියලා කිව්වා. මේකේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ කොමිෂන් සභාව ඉදිරියේ එතුමා එහෙම සාක්ෂි දුන්නා. ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්නේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා කියන්නේ එකම ආණ්ඩුවක්. ආණ්ඩු දෙකක් නොවෙයිනේ. ඒ නිසා මේ වාර්තාවේ බොහොම පැහැදිළිව සඳහන් වෙනවා මේ අප කළ යුතු දේවල් කළා නම් මේ කිසිවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට කොහොමද සම්බන්ධ කරන්නේ ගෝඨාභයවයි, බැසිල්වයි.
ප්‍රශ්නය:- නමුත් ප්‍රහාරයේ වාසිය රාජපක්ෂ කඳවුරට. දඩයම කරේ තියාගෙන ගියේ රාජපක්ෂ කඳවුර?
පිළිතුර:- ඔය විදියට ඕනෑම කෙනෙකුට අභූත චෝදනා කරන්න පුළුවන්. එහෙම නම් එදා රජයේ වගකීම කුමක්ද? සාක්ෂි කළඳක්වත් ඉදිරිපත් වුණා ද ගෝඨාභයයි, බැසිල් මේකට සම්බන්ධයි කියලා. එදා තිබුණ රජයට මේ වගකීමෙන් ගැලවෙන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ සාපරාධි විදියට තමන්ගේ වගකීම් පැහැර හැරපු නිසා තමයි මේ ඛේදවාචකය සිදුවුණේ. කොමිෂන් සභාව සෑහීමකට පත්වෙනවා මේ ගැන තොරතුරු ආණ්ඩුවේ වගකිවයුත්තන් තුළ තිබුණා කියලා. එසේ තොරතුරු තිබිය දී කිසිවක්ම කළේ නෑ කියලත් සඳහන් වෙනවා. ඒ නිසා වෙන කාටවත් ඇඟිල්ල දිගු කරන්න බෑ. මම හිතන්නේ නෑ මොළේ කළඳක් තියෙන කවුරුවත් ඒ කතාව පිළිගනී කියලා.
ප්‍රශ්නය:- සමහරු කිව්වා ‘මේ උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොටු කරන්න’ කියලා?
පිළිතුර:- හිටපු ජනාධිපතිතුමා කොටු කිරීමෙන් අපට කිසිම වාසියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එම පක්ෂයේ සභාපති ධුරයෙන් එතුමා නෙරපා දැමීමෙන් බැසිල්ව හෝ අපේ පක්ෂයේ කාටවත් කිසිම වාසියක් නෑ. ඒ කාර්ය කිරීම සඳහා අපි කාගෙවත් බළල් අතක් වෙන්න සූදානමකුත් නෑ. කාවවත් අමාරුවේ දාන්න හෝ කාවවත් ආරක්ෂා කිරීමට අපට කිසිම උවමනාවක් නෑ. අපට ඕනෑ සත්‍ය සොයා ගැනීමටයි. ඒ නිසා තමයි මේ කොමිෂන් සභාව පත් කළේ. මීට පෙර තිබුණ කොමිෂන් සභාවල වාර්තා කීයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ද? ඒවා ඔක්කොම හැංගුවා. එහෙම නම් අපිටත් එහෙම කරන්න තිබුණානේ. හැබැයි වාර්තාව ලැබීමෙන් සති තුනක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලබාගෙන සභානායකතුමා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ ගැන විවාදයක් විපක්ෂය ඉල්ලුවාම අපි දවස් තුනක විවාදයක් දුන්නා. මේක සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් යුක්තයි. මේක හංගන්න අපි කිසිම උත්සාහයක් ගත්තෙ නෑ.
ප්‍රශ්නය:-2010 - 2015 තිබුණ රාජපක්ෂ ආණ්ඩුවත් 2015 - 2019 තිබුණ යහපාලන ආණ්ඩුවත් සල්ලි අච්චු ගැහුවට වඩා තුන් ගුණයක් මේ ආණ්ඩුව එක අවුරුද්දක් තුළ සල්ලි අච්චු ගහලා කියලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා?
පිළිතුර:- නෑ ඒක අතිශයෝක්තියක්. ඒ වගේම ඒක සත්‍ය කතාවක් නොවෙයි. මුලින්ම හොයන්න ඕනෑ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට සුලමුල කියලා. මේක ඇති වුණේ ප්‍රධාන වශයෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව. මාස 14ක කාල පරාසයක් තුළ බැඳුම්කර වංචා දෙකක්ම වුණා. ඒකෙන් මහා භාණ්ඩාගාරයට නැතිවෙච්ච මුදල. පොලී අනුපාතයට කළ බලපෑම ආදිය නිස තමයි මේ දේ වුණේ. කොවිඩ් 19 වගේ ප්‍රශ්න යහපාලන ආණ්ඩුවට තිබුණෙත් නෑ. අද සංචාරක ව්‍යාපාරය නැතිවෙලා. විදේශ විනිමය අපේ රටට සපයන විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් අපේ රටට ඇවිත්. අපනයනයත් අඩුවෙලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.
ප්‍රශ්නය:- විපක්ෂය කියනවා ‘සර් ෆේල්’ කියලා. ඇත්තටම ‘සර් ෆේල්’ නේද?
පිළිතුර:- කොහොමද සර් ෆේල් කියලා කියන්නේ? ඉතාම අසීරු තත්ත්වයක් තුළ අපි සාර්ථකයි. ලෝකයේ තියෙන රටවල් 110 කට වඩා වැඩි සංඛ්‍යාවක තවම එන්නත දෙන්න පටන් අරගෙන නෑ. අපි ඒක සාර්ථකව කරගෙන යනවා. ආසාදිතයන්ට සාපේක්ෂව මරණ තියෙන්නේ ලංකාවේ සියයට 0.5.8 ක් විතර. ඊට වඩා හය ගුණයක් එංගලන්තයේ. පස් ගුණයක් බ්‍රසීලයේ. හතර ගුණයක් රුසියාව, ඒවා අපට වඩා දියුණු රටවල්. ඒ රටවල්වලට කරන්න බැරි දෙයක් අපි කරලා තියෙනවා. සමහර රටවල්වල පාසල් විවෘත කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපි පාසල් විවෘත කරනවා. අපි විභාග පවත්වනවා. රටවල් කීයක් එහෙම කරලා තියෙනවද? සාමාන්‍ය පෙළ විභාගය අපි තිබ්බා. ළමයි හය ලක්ෂ විසිදෙදාහක් විභාගයට මුහුණ දුන්නා. විභාගය පටන් ගන්න කොට ආසාදිත ළමයි හිටියා 38 ක්. විභාගය ඉවර වෙනකොට 62 ක් ඉන්නවා. දවස් 9ක් විභාගය තිබුණා. ආසාදිත දරුවන් සඳහා. අපි විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් ඇති කළා. නිරෝධායනයට ලක්වෙච්ච දරුවන් 322 ක් මේ විභාගයට ලිව්වා. හැම විභාග මධ්‍යස්ථානයකට අපි අතිරේක පන්ති කාමරයක් සූදානම් කරලා තිබ්බා. ඒ දරුවන් සඳහා අපි මේ දරුවන්ගේ ප්‍රතිඵල ජූනි මාසයේ නිකුත් කරනවා. ජූලි මාසයේ දී උසස් පෙළ පන්ති පටන් ගන්නවා. ඉතින් මේවා ලේසි වැඩ ද? අපි උසස් පෙළ විභාගය තිබ්බා දරුවන් තුන් ලක්ෂ හැට දෙදාහක් වාඩි වුණා. ඒ ප්‍රතිඵල අපි අප්‍රේල් මාසයේ නිකුත් කරනවා. ඒ දරුවන්ට මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදීම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. වෙන රටවල් කීයක මේක කරන්න පුළුවන් වුණා ද? අපට තියෙන සීමිත සම්පත් සමග මේ සියල්ලමම කරන්න පුළුවන් වුණා. හෙට ඉඳලා බස්නාහිර පළාත හැරුණුවිට අනෙකුත් දිස්ත්‍රික්කවල සියලුම පාසල් විවෘතයි. බස්නාහිර පළාතෙන් පාසල් විවෘත කරන්න අපි සූදානම්. නමුත් අවසාන තීන්දුව ගන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා. එතුමා යෝජනා කළේ හෙට 5, 11, 13 ශ්‍රේණි පටන් ගන්න. අප්‍රේල් 19 වැනිදා මුළු රටේම සෑම පාසලකම සෑම ශ්‍රේණියක් සඳහා අපි පන්ති පටන් ගන්නවා.
ප්‍රශ්නය:-‘සර් ෆේල්’ වගේ සටන් පාඨයක් හැදෙන්න ජනාධිපතිවරයා පක්ෂ නායකයෙක් නොවීම හේතුවෙලා නැද්ද?
පිළිතුර:- නෑ ඒක අදාළ වෙන්නේ නැහැ. ලෝකයේ රටවල් කීයක් තියෙනවද පක්ෂ නායකයෙක් නොවන ජනාධිපතිවරු ඉන්නේ මේ චෝදනාව නගන අය ඡන්දෙ කාලේ මොනවද කිව්වේ ? ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව ඉන්න ඕනෑ’ කියලයි. කිසිම පක්ෂයකට සම්බන්ධ වෙන්න එපා. කිව්වා එහෙම කියපු අයගේ මේ තර්කය අද ඉදිරිපත් කරන්නේ. මේක හරිම පරස්පරයිනේ. මේවා හරිම අවස්ථාවාදී තර්ක. මේ තර්කයේ තියෙන අවංකකම මොකක්ද? ජනාධිපතිවරයා පක්ෂ නායකයෙක්ද? නැද්ද? කියන එක ඔහුගේ දක්ෂතාවට අදාළ නැහැ. වෙන කියන්න දෙයක් නැති නිසා කියන කතා ඕවා.
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්