(අංජුල මහික වීරරත්න)
“කාන්තාවන් කළමනාකරණ මට්ටමේ රැකියාවලට වැඩි වැඩියෙන් යොමු කරවීම රජයේ අරමුණ බව”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
“සමෘද්ධිමත් අනාගතය උදාකර ගැනීමට නම් ශ්‍රම බළකාය උගත් පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා, මැදි හා ඉහළ කළමනාකරණ මට්ටම්වල රැකියා සඳහා කාන්තා පරපුර දිරි ගන්වන්නේ යයිද” සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ බම්බලපිටිය, මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණ මහල් අටකින් යුතු ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“බම්බලපිටිය, මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණ මහල් 8කින් යුතු ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උළෙලට සහභාගීවීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. දන්නා තරමට මහල් 8කින් යුතු ගොඩනැගිල්ලක් ඇති එකම පාසල ඔබේ පාසල බව මගේ විශ්වාසයයි. එය ඉතිහාසගත වන වාර්තාවක්.
මේ ගොඩනැගිල්ල ඔබට ලැබුණු වරප්‍රසාදයයි. එහි පහසුකම් වගේම එහි ඇති අසමසම නිර්මාණ ශෛලිය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ මුස්ලිම් බාලිකා විද්‍යාලය ලෙස ඔබ පාසල තවත් ඉහළට ඔසවා තැබීම ලෙසයි, මා දකින්නේ. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.
මීට වසර 100කට පමණ ඉහතදී අධ්‍යාපනය ලබාගැනීම සඳහා නිවෙසින් පිටතට ගියේ මුස්ලිම් කාන්තාවන් ඉතා සුළු පිරිස පමණයි. 20 වැනි සියවසේදී නගරවල පාසල් පැවැතියද ගම්බද ප්‍රදේශවල තිබුණේ පාසල් සුළු සංඛ්‍යාවක් පමණයි. මුස්ලිම් ගැහැණු දරුවන් පාසල් ගියේ වසර කිහිපයක් පමණයි. ඇතැම් දරුවන් පාසල් ගියේම නැති තරම්.
අපේ රටේ කාන්තාවන් පාසල් යාමට පටන් ගත්තේ 1920-30 කාලයෙන් පසුවයි. අපට සර්වජන ඡන්ද බලය හිමිවන කාලය වනවිට රටේ වැඩි දෙනකුට ලිවීමේ හෝ කියවීමේ හෝ හැකියාව තිබුණේ නැහැ. ඒත් මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට කාන්තාවන්ගේ සාක්‍ෂරතා අනුපාතය පිරිමින්ට වඩා පහළ අගය ගත්තා.
කාන්තාවන්ට සාමාන්‍ය දැනීම නැහැ කියලා එයින් කියැවෙන්නේ නැහැ. කාන්තාවන් බොහෝ විට ඉගැන්වීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගන්නවා. කොහොම වුණත් එතැන් පටන් තමයි කාන්තා අධ්‍යාපනය රටේ ආරම්භ වෙන්නේ. එසේ ආරම්භ වූ අධ්‍යාපන පහසුකම් කාන්තාවන්ට භුක්ති විඳීමට ලැබුණේ යම් සීමා සහිතවයි. එනම් ඇතැම් කෙනෙකු පාසල් ගියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණයි.
මා 1967 විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබ නීති පීඨයේ අධ්‍යාපනය හදාරන අවදියේ 40 දෙනකුගෙන් යුතු ශිෂ්‍ය කණ්ඩායමේ කාන්තා උපාධි අපේක්‍ෂිකාවන් සිටියේ තුන්-හතර දෙනකු පමණයි. අද මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගොස් බැලුවහොත් එහි බහුතරයක් ඉගෙනුම ලබන්නේ කාන්තාවන් බව දැකිය හැකියි. අධ්‍යාපනය තමයි ඉතා වැදගත් වන්නේ කියලා ජනතාව අවබෝධ කරගත් වහාම අධ්‍යාපනය ලබාගැනීම සඳහා යොමුවන කාන්තාවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට පටන් ගත්තා. ජීවිතයේ ඉදිරි ගමන සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව ඔවුන්ට වැටහුණා.
ඊට පසුව නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මකවීමත් සමඟ නොමිලයේ පෙළපොත් දුන්නා. මා ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන කාලය වනවිට පාසල්වල පිරිමි ළමයින්ට වඩා අධ්‍යාපනය හැදෑරුවේ ගැහැනු ළමනුයි. ඒ අනුව පැරණි ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වුණා.
අතීතයේ ගුරු වෘත්තියේ නියැලුණෙත් බොහොමය පිරිමි පාර්ශ්වයයි. ඒත් පසු කාලීනව එය බහුතරය ගැහැනු පාර්ශ්වය නියැළෙන වෘත්තිය වුණා. අද වනවිට එය ඉතා ශීඝ්‍ර ලෙස වෙනස් වෙනවා. අද බොහෝමයක් දැරියන් පාසල් යනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ හදාරන දැරියන් පිරිස වැඩිවෙලා තිබෙනවා.
රටේ ජනගහනය ගත්තත් කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට වඩා වැඩියි. බහුතරය අධ්‍යාපනය හදාරන්නේ කාන්තාවන් වුණත් රැකියා නියුක්තිය සලකා බලන විට බොහෝමයක් රැකියාවල නිරතවන්නේ පිරිමි පාර්ශ්වයයි.
රැකියා ධූරාවලිය ගත්විට පහළ මට්ටමේ තිබෙන වැවිලි කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන කාන්තා ප්‍රතිශතය වැඩියි. අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් නුපුහුණු රැකියාවල නිරතවෙනවා. ඔවුන්ගේ සේවය ගන්නේ නුපුහුණු රැකියා ආශ්‍රිතවයි. ඒත් ඒ ධූරාවලියේ ඉහළට යනවිට කාන්තාවන් සොයා ගන්න බැහැ.
කළමනාකරණ මට්ටමේ කාන්තාවන් ඉතා විරලයි. කළමනාකරණ මට්ටමේ තනතුරු දරන කාන්තාවන් සිටින එකම තැන පාසලයි. බහුතරය විදුහල්පති, උප විදුහල්පති තනතුරු දරන්නේ කාන්තාවන්. ඒ හා සමානව රජයේ රැකියාවල නියුක්ත වන කාන්තා ප්‍රතිශතය ඉහළ අගය ගන්නවා. රජයේ සේවයේ මධ්‍යම මට්ටමේ කළමනාකරණ තනතුරු කාන්තාවන් විසින් හොබවනවා. අපට අවශ්‍ය තවතවත් ඒ සංඛ්‍යාව ඉහළ දැමීමයි.
කාන්තාවන් තව තවත් රැකියා නියුක්තිය සඳහා පොළඹවන්නේ කෙසේද? වැඩි පිරිසක් රැකියාවල බොහෝ කාලය රැඳෙන්නේ නැහැ. ඔවුන් විවාහ වෙලා දරුවන් ලැබුණු පසු ඇතිවන තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් රැකියා හැර යනවා. තම දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්‍ෂාව සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් තම රැකියා කැප කරනවා.
මෙසේ කාන්තාවන් රැකියා හැරයාම ගැටලුවක්. කාන්තාවන් රැකියා හැරයාමට පෙළැඹෙන්නේ නිවෙස්වල සහ සේවා ස්ථානයේ කටයුතු කළමනාකරණය කරගත නොහැකි අවස්ථාවල වන අතර මෙය බහුල වශයෙන් පෞද්ගලික අංශයට බලපාන ගැටලුවක් බව කිව යුතුයි.
මතක තබාගත යුතු කරුණක් නම් අපේ ඒකපුද්ගල ආදායම ඉහළ යන අතර දකුණු ආසියාවේ වැඩිම ඒකපුද්ගල ආදායම ලබන රට අපේ රට බවට පත්වෙනවා. සමෘද්ධිමත් අනාගතය උදාකර ගැනීමට නම් අපේ ශ්‍රම බළකාය උගත් පුද්ගලයන්ගෙන් යුක්ත විය යුතුයි.
නූගත්, නුපුහුණු ශ්‍රම බළකාය ඇතිව අපට මියන්මාරය, ඉන්දියාව, බංගලාදේශය හෝ පාකිස්තානය හෝ සමඟ තරග කරන්න බැහැ. මේ නිසා රැකියාවල නිතරවීමට වැඩි වශයෙන් කාන්තාවන් යොමු කරවීම අත්‍යවශ්‍යයි. මැදි සහ ඉහළ කළමනාකරණ මට්ටම්වල රැකියා සඳහා ඔවුන් දිරිගැන්විය යුතුයි.
පෞද්ගලික සමාගම් ගෙන බැලුවද විධායක කමිටුවට ඇතුළත්වන කාන්තාවන් සංඛ්‍යාව ඉතා අඩුයි. ඒ නිසා සමාගම්වල අධ්‍යක්‍ෂ ධුර හොබවන කාන්තා පිරිස් වැඩි කළ යුතුයි.
රජය වශයෙන් මේ කාරණය ගැන අප අවධානය යොමු කරමින් සිටිනවා. ඒ වගේම කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවලට පෙළඹවිය හැකි කාරණා පිළිබඳව සොයා බලනවා.
උදාහරණ වශයෙන් කාන්තාවන්ට විවිධ පුහුණු පාඨමාලා වෙනමම සකස් කිරීමට අවශ්‍ය වෙනවා. ඔවුන්ට නිවෙසේ සිටම රැකියාවල නිරතවිය හැකි ක්ෂේත්‍ර පවා තිබෙනවා. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ අංශය එවන් එක් අංශයයි.
කොන්ත්‍රාත් පදනම මත කර්මාන්ත ශාලාවලට අවශ්‍ය සැපයුම්දීමේ රැකියා ක්ෂේත්‍ර කාන්තාවන්ට යෝග්‍යයි. අනෙක් ක්ෂේත්‍රය නම් ස්වයං රැකියා ක්ෂේත්‍රයයි. ණය යෝජනා ක්‍රම යටතේ ඔවුන්ට තමන්ගේම ව්‍යාපාර කරගෙන යාමේ පහසුකම තිබෙනවා. ඒ ආකාරයට කාන්තා ප්‍රජාවට උචිත රැකියා ක්ෂේත්‍ර හඳුන්වා දීමට අප කටයුතු කරනවා.
අපේ රට කාර්මීකරණය වනවිට, ඉඩම ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන විට, තව තවත් සේවා, කඩ සාප්පු ඇති වනවිට, සුඛෝපභෝගී හෝටල් සංකීර්ණ ඇතිවන විට ඒ ඒ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යවෙනවා. පිටරටවල තිබෙන සුපිරි හෝටල්වල කෝකිවරුන්, මුළුතැන්ගෙයි ප්‍රධානීන් ලෙස කාන්තාවන් බහුල වශයෙන් සේවයේ නියැලෙනවා. මේ ආකාරයට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත යුතුයි.
කාන්තා අධ්‍යාපනය විශේෂයෙන් මුස්ලිම් ජාතික කාන්තා අධ්‍යාපනය ඉහළ නැංවීමට දායක වෙමින් රටේ ආර්ථික දියුණුවට මඟසැලසීම පිළිබඳව මුස්ලිම් බාලිකා විද්‍යාලයට ස්තූතිය පළ කර සිටිනවා. තවද මේ පාසලට දක්වන ලද අනුග්‍රහය පිළිබඳව කරීම් මහතාට ද මාගේ ස්තූතිය පළ කරනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
මේ අවස්ථාවට ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර්, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.