(අමරදාස සිල්වා)
කාන්තාවගේ ඡන්දයෙන් බලයට පැමිණි මේ ආණ්ඩුවට ‘‘රටේ ප‍්‍රශ්න තිබුණට කෝටියක් ඒ ප‍්‍රශ්න විසඳීම සඳහා නැහැ එක විසඳුමක්’’ යන තේමා ගීතය වඩාත් සුදුසු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
පෙරේදා (8) දිනයට නියමිතව තිබූ 107 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘‘අයිතීන් උදෙසා කාන්තාවෝ’’ සංවිධානයෙන් සංවිධානය කළ සම්මන්ත‍්‍රණයේදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
අභියෝග දිනන කාන්තා බලයක් මැයෙන් සංවිධානය කෙරුණු එම සම්මන්ත‍්‍රණය පෙරේදා (8) සවස කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.
වර්ෂ 1910 දී පැවැත්වූ සමාජවාදී කාන්තා සමුළුවේදී තමයි ජාත්‍යන්තර කාන්තා දිනයක් ප‍්‍රථම වතාවට නම්කර තිබෙන්නේ.
මානව ඉතිහාසයේ ආරම්භක යුගයේදී කාන්තාවන් හා පිරිමින් අතර ලොකු වෙනසක් තිබී නැහැ. ඒ යුගයේදී කාන්තාව ගෞරවනීය ලෙස පිළිගෙන තිබෙනවා. ඊට පසු කලෙකදීයි ඇය දෙවැනි තැනට පත්කර තිබෙන්නේ. ඒ සමගම කාන්තාවගේ අයිතිවාසිකම් විශාල වශයෙන් අහිමිවී යන්නට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ට ඡන්ද බලයවත් ලබාදී නැහැ. අද මහා ලොකුවට මානව අයිතීන් ගැන කතාකරන ඇමරිකාවත් එරට කාන්තාවන්ට ඡන්ද බලය ලබාදී තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් එදා සටන් කළේ ලෝකයේ වාමාංශික දේශපාලන පක්ෂ විසින්.
ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය සහ වැඩකරන කාන්තාවන්ට ප‍්‍රසූත නිවාඩු පවා ලබාදෙන්නට පෙරමුණ ගෙන සටන්කර තිබෙන්නේ මෙරට වාමාංශික දේශපාලන පක්ෂ විසින්. අද ලංකාවේ කාන්තාවන්ට තිබෙන ගැටලූ හා ප‍්‍රශ්න පිළිබඳව කතාකරන කාන්තා සංවිධාන රැසක්ම තිබෙනවා. මෙම සංවිධානවලින් වැඩිහරියක් මෙහෙයවන්නේ දේශපාලනඥයින්ගේ බිරින්දෑවරුන්. මේ බිරින්දෑවරුන් කාන්තාවන්ට මල් හදන්න, කේක් හදන්න උගන්වනවා. එයින් කාන්තා ප‍්‍රශ්න විසඳෙනවා කියා හිතනවා ඇති.
නමුත් රාජ්‍ය නොවන සංවිධානවලට එසේ නොරැවටී කාන්තාවන්ගේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබාගැනීම සඳහා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පෙරමුණේ සිටින බව අපි විශ්වාස කරනවා.
මැතිවරණවලදී කාන්තා පක්ෂයට සියයට 25 ක නියෝජනයක් තිබිය යුතු බවට නියම කරගෙන තිබුණත් ඒවා සියල්ල මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට හිමිවීමේ අවදානමක් ද තිබෙන බව අපි දන්නවා. එම අයිතිය වෙනුවෙන් මෙරට වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින බවට අප මෙහිදී ප‍්‍රතිඥා දෙනවා.
කොපමණ සම්පත් තිබුණත් කුසගින්නෙන් දිනකට 25,000 ක් මියයන ලෝකයකයි අපි ජීවත්වන්නේ. වාර්ෂිකව ලෝකයේ ලක්ෂ 310 ක් පාසල් නොයන බවට වාර්තාවී තිබෙනවා. මෙම සංඛ්‍යාවෙන් වැඩිදෙනෙක් කාන්තාවන්.
ලංකාවේ 360,000 ක් දරුවන් පාසල් යනවා. මෙම සංඛ්‍යාවෙන් හතරෙන් එකක් ප‍්‍රාථමික අධ්‍යාපනයේදීම පාසල් ගමන නතර කරනවා. එයින් වැඩි පිරිස ගැහැනු දරුවන්. මෙම ගැහැනු දරු පිරිස තරුණ වියට එළැඹුණු කල ඔවුන්ට කොයින්ද හෙට දවසක්.
නිසි අධ්‍යාපනයක් නොලද මේ තරුණ ගැහැනු දරුවන් කැඳවනවා කර්මාන්ත ශාලාවට. නූගත්කමේ පාපය නිසා දිළිඳුකමේ පතුලට කිඳා බැස සිටින මේ තරුණ ගැහැනු දරුවන් ලිංගික හිංසනයට ලක්වීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්.
ධනවාදී ආණ්ඩු බලයක් තිබෙන ලංකාවේ වගේම ඇමෙරිකාවේ කාන්තාවන් මෙසේ ශ‍්‍රමය ලබාදුන්නත් ඔවුන්ට ලැබෙන්නේ සොච්චම් ආදායමක් විතරයි.
ආහාර ප‍්‍රශ්නයේදී, ජල ප‍්‍රශ්නයේදී, නියඟය ප‍්‍රශ්නයේදී පීඩනයට ලක්වන්නේ කාන්තා පක්ෂයයි. යුද්ධය නිසා වැන්දඹුවන්වී අද දුක්විඳින්නේ කාන්තා පක්ෂයයි. පාතාලයට සම්බන්ධ යැයි කියන සමයං මැරුණත් අද අසරණ වෙලා තියෙන්නේ ඔහුගේ බිරිඳයි. දරුවන් වදන, දරුවන් හදන කාන්තාව ගැන කෙටියෙන් හඳුන්වනවා නම් ඇය ගෙදර වහලියක්.
කාන්තාවට විශාල පීඩනයක් ගෙනදෙන තවත් ප‍්‍රශ්නයක් තමයි දරුවාට හොඳ පාසලක් සොයාගැනීම. ඇත්තටම කාන්තාව මෙම පීඩනයට ලක්වන්නේ රජයේ වරදින් බවයි අපි කියන්නේ. ගමේ පාසල්වලින් සියයට 24 කට විදුලි බලය නැහැ. වැසිකිළි පහසුකම් නැහැ. ජලය නැහැ. මෙයට හේතුව ගමේ පාසල් සංවර්ධනය නොකිරීමයි.
හැබැයි මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න රුපියල් කෝටි 54 ක් වැයකරන්නයි සූදානම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගත්තු ගොඩනැගිල්ලට කුලිය විදියට මාසයකට රුපියල් ලක්ෂ 130 ක් ගෙවනවා.
බලයට පත්වූ ආණ්ඩු අවුරුදු 60 ක්ම රට පාලනය කළේ මෙන්න මේ විදියටයි. විශේෂයෙන් කාන්තාවන්ට බලපාන ප‍්‍රශ්න විසඳීමට හැකියාව තිබියදී ආණ්ඩුව කරන්නේ තම තමන්ගේ ප‍්‍රශ්නවලට උත්තර සොයාගැනීම විතරයි.
මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට කීවේ සල්ලිවලින් සාක්කු පුරවන පාලනයක් ඇතිකරනවා කියලයි. එහෙම කියපු ආණ්ඩුව බලයට ඇවිත් වැට් ගහලා ජනතාවගේ සාක්කු සූරාකන එක විතරයි කරන්නේ.
මේ රටේ ප‍්‍රශ්න තිබෙනවා කෝටියක් ඒත් මේ ආණ්ඩුවට නැහැ එක විසඳුමක් කියන තේමා ගීතය තමයි මේ ආණ්ඩුවට සුදුසු වන්නේ.
කාන්තාවන් ඇතුළු මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න නම් මේ සමාජ ක‍්‍රමයම වෙනස් කළ යුතුයි. කාන්තාව පිළිබඳව සමාජය තුළ තිබෙන සංකල්පය වෙනස් කළ යුතුයි.
අපේ කාන්තාව ප‍්‍රථමයෙන්ම ප‍්‍රභූ වන්දනාව කිරීම වහාම නතර කළ යුතුයි. මේ රටේ ජනගහණයෙන් සියයට 51 ක් කාන්තාවෝ.
මේ බව වටහාගෙන දැවැන්ත බලවේගයක් ගොඩනැගීමට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පෙරමුණ ගතයුතුයි. ඒ වෙනුවෙන් ශක්තිය ලබාදෙන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බවත් දක්වන්නට කැමතියි. පීඩනයෙන් පීඩනයට පත්වූ මෙරට කාන්තා පරපුර එකමුතුව පෙරමුණු ගතහොත් කාන්තා ප‍්‍රශ්නවලට විසඳුම නියතයි. ඒ සඳහා වාමාංශික රජයක් පිහිටුවීම හැර වෙනත් විකල්පයක් නැහැ.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පිළිගැනීමේ කතාව පවත්වමින් මෙසේ අදහස් දැක්වූවාය.
රටක සංවර්ධනය මැනිය හැකිවන්නේ එරට ජීවත්වන කාන්තාවන්ගේ ජීවන තත්ත්වය අනුවයි. නමුත් අපේ රටේ කාන්තාවගේ ජීවන තත්ත්වය නම් ඉතාම දුර්වල තත්ත්වයකයි පවතින්නේ. එම නිසා තමයි අපේ කාන්තාව මැදපෙරදිග රටවලට ගිහින් බැලමෙහෙවරකම් කරන්නේ.
ඇය එසේ රැකියාව කරමින් උපන් රටට එවන විදේශ විනිමයෙන් ආණ්ඩුව කරන්නේ රුපියල් කෝටි ගණන් වියදම් කරමින් ඒ අයගේ සුඛවිහරණය සඳහා යාන වාහන ගෙන්වීමයි. එසේ නැතිව මෙරට කාන්තාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳීම සඳහා එම මුදල් යොදවන්නේ නැහැ.
කාන්තා දිනය සමරන අද දවසේ අපේම සොහොයුරියන් කීදෙනෙක් මුදලට විකිණෙනවා ඇත්ද? අපේ කාන්තාව මේ ආකාරයට බාල්දුවෙන්නේ හරියට රුපියල බාල්දු වෙනවා වගෙයි.
සෑම දවසකම දැරිවියන් කීදෙනෙක් අපයෝජනයට ලක්වෙනවාද? මේ හේතුව නිසා ගැබිනියක් වූ කල අසරණවන්නේ ඇයයි. මෙම තත්ත්වය පිළිබඳව සලකා බලා ගබ්සා නීතිය සංශෝධනය කරන හැටියට අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ ආකාරයට කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව මේ සමාජය තුළ කතිකාවක් සිදුවෙලා නැහැ. ඒ වෙනුවෙන් කතිකාවක් ඇතිවිය යුතු කාලයයි මේ. ඒ වෙනුවෙන් විශාල බලපෑමක් ඇතිකරන්නට අපි සංවිධානය විය යුතුයි.
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී ජුආනා එලීනා රොද්‍රිගු හා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි ආචාරිනී සරෝජා පෝල්රාජ් මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.