කාබනික පොහොර ව්‍යාපෘතියට මොකද වුණේ?


එක ප්‍රශ්නයට උත්තර තුනක් 

 

  • අන්තිමට මමයි ජනාධිපතියි තනිවුණා -ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ
  • මේක රජය රඟදක්වපු නාට්‍යයක්   -පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් 
  • ඩොලර් ප්‍රශ්නය නිසා පොහොර ගෙන්වන එක නතර කිරීමයි කළේ -නාමල් කරුණාරත්න   

 

 

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්කර ගොවි ජනතාව කාබනික පොහොරවල භාවිතයට හුරු කරවීමට රජය ගත් උත්සාහය අසාර්ථක වී ඇත. සති ගණනාවක් තිස්සේ ගොවි විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණි. දේශපාලකයන්ගේ පඹයන් පුළුස්සනු ලැබීය. ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින් රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට බාරදීමට රජය මේ වන විට තීරණය කර ඇත. පක්ෂ තුනක දේශපාලනඥයන් තිදෙනෙක් සමග මෙවර සාකච්ඡා කරන්නේ රජයේ මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳවය.   


කෘෂිකර්ම ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ, සමගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන හා සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න යන මහත්වරුන් සමග කළ සාකච්ඡාව මෙසේය.   


ප්‍රශ්නය:- කාබනික පොහොර ව්‍යාපෘතියට මොකද වුණේ?   


පිළිතුර:- කෘෂිකර්ම ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා   


රසායනික පොහොර අධික භාවිතය නිසා ජලය අපවිත්‍ර වුණා. වස විස මිශ්‍ර වුණා. ජනතාව ලෙඩ වුණා. වකුගඩු රෝග ඇති වුණා. පිළිකා හැදුණා. මේවා ගැන කිසිම කෙනෙක් කතා කළේ නැහැ. හේතුව රසායන පොහොර මාෆියාවට යට වෙලා සිටීම. නමුත් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබා දීමට ජනාධිපතිවරයා අපේක්ෂා කළා. ඒ බලාපොරොත්තුව ඇතිව මේ කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. අපි කාබනික පොහොර භාවිතය පුළුල් කිරීමට තීරණය කළේ රටත් ජනතාවත් අනාගත දරු පරපුරත් වෙනුවෙන්. එසේ නැතිව විශේෂ ලාභ ප්‍රයෝජනයකට නෙවෙයි. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ නිරෝගී සමාජයක් බිහි කිරීමයි. ඒ සඳහා ඇති ප්‍රධානම බාධකය රසායනික පොහොර. වඩා සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරු කරවීමට උත්සාහ කළා. නමුත් ජනාධිපතිතුමාට කාබනික පොහොර ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වුණාට රජයේ අනෙක් අය එකට හිටියේ නැහැ. ජනාධිපතිතුමාට මේක අවශ්‍ය වුණාට අන්තිමට මමයි ජනාධිපතිතුමයි තනි වුණා. පසුපෙළ මන්ත්‍රීවරුන් 40 ක් ලිපියක් අත්සන් කරල දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට බැහැලා කෑගැහුවා. රජය ඇතුළෙන්ම මත කීපයක් ඉදිරිපත් කළා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය නිහඬවුණා. මේ කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා නම් ඒකෙ වැඩි වාසිය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. පරිසර අමාත්‍යාංශයටයි. හැබැයි මේ අමාත්‍යාංශ දෙකම කිසිම දෙයක් කළේ නැහැ. ඊළඟට අපේ අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බහුතරයක් මේකට සහාය දුන්නේ නැහැ. මේ සියල්ල රසායනික මාෆියාවට යට වුණා. ජනමාධ්‍යය අපට සහාය දැක්වූවේ නැහැ. සියලුම දෙනා අනිත් පැත්ත ගත්තා. ගිය කන්නයට ගෙනා රසායනික පොහොර ගොවියො ළඟ තිබුණා. එකම අවද‌ානම ලෙසට තිබුණේ නිෂ්පාදනයේ යම් අඩුවක් තිබීම පමණයි. නිෂ්පාදනයේ යම් අඩුවක් වුණා නම් ඒකටත් වන්දි ගෙවනව කියල රජය පොරොන්දු වුණා.   


පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා   


කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ පිරිසිදු අවශ්‍යතාවයක් රජයට තිබුණේ නැහැ. රජයට තිබුණේ වංචනික ප්‍රතිපත්තියක්. රජය අවංක නැහැ. අධ්‍යයනය කරන්න සමීක්ෂණ කරන්න රජයට අවශ්‍ය වී තිබුණේ නැහැ. බොරුවට නිද‌ාගෙන ඉන්න එකා ඇහැරවන්න ලේසි නැහැ. ඇත්තට නිද‌ාගෙන ඉන්න එකා ඇහැරවන්න ලේසියි. ඒ වගේ රජයට ගොවියා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ජනතාවට ගුණාත්මක ආහාර දෙන්න. පෝෂ්‍යද‌ායි ආහාර දෙන්න, පහසු මිලට ආහාර දෙන්න මේ ගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා අධ්‍යයනය කර කර රටට යම් යම් දේවල් එකතු කරන්න රජයට අවශ්‍යතාවයක් නැහැ. රජයේ වාසිය ලාභය වෙනුවෙන් ගහන්න ඕන තැනට ගැහුවා. කිසිම රජයක් මේ වගේ විනාශයක් කරල නැහැ. අධ්‍යයන කරල ගොවියට කාබනික පොහොර හඳුන්වා දෙන්න අවශ්‍යතාවක් තිබුණා නම් මේ තරම් හානියක් රටට කරන්නේ නැහැනේ. රජය කාබනික පොහොර ව්‍යාපෘතිය දියත් කිරීම තුළම තියෙන්නේ වංචනික සංදර්ශනයක්. ගොවීන්ට පොහොර සහනාධාර දීම. නොමිලයේ පොහොර දීම හා පොහොර ආනයනයට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා එයින් ගැලවීමට අවශ්‍ය වුණා. මේක රජය රඟදක්වපු නාට්‍යයක්. මේ නාටකයෙ ප්‍රධාන ජවනිකාව කාබනික පොහොර නිසා ගොවීන්ට විශාල අසාධාරණයක් වුණා. කෘෂි නිෂ්පාදන, වැවිලි ආර්ථිකය, සුළු අපනයනය භව භෝග මේ සියල්ලටම රජය මරු පහරක් එල්ල කළා. කාබනික වගාව කියන්නෙ ගොවියාගේ බලාපොරොත්තුව නෙවෙයි. මේක එකපාරට ගෙනැත් ද‌ාල ගොවි ජනතාව විනාශ කළා. මේක පිටුපස සිටින තැරැව්කාරයන්ට හම්බකරගන්න අවස්ථාව ලබා දුන්නා. ඒකයි කාබනික පෝර ව්‍යාප්ත කිරීමට හේතුව. රුපියල් 7000 ට 8000 ට 10,000 ට දැන් පොහොර මිලදී ගැනීමට ගොවියාට සිදුවී තිබෙනවා. ආණ්ඩුව ගොවියා ගැන නොව තැරැව්කාරයන් ගැන හිතූ නිසා කාබනික පොහොර ව්‍යාප්ත කිරීමට පියවර ගත්තා.   


පිළිතුර:- නාමල් කරුණාරත්න මහතා


කාබනික පොහොර ප්‍රචලිත කිරීම ගැන කිසිම අධ්‍යයනයක් කරල නැහැ. මේක රජය හිතාමතාම ගත් තීන්දුවක්. මුලින්ම කිව්වෙ කාබනික වගාවට අවශ්‍ය පරිසරය හදලා දෙනව කියලයි. මේක හීනෙන් බයවෙල ගත්ත තීන්දුවක් නෙවෙයි කියලයි. සැලැස්මක් ඇතිව ගොවීන්ට අවශ්‍ය පොහොර සපයනවා කිව්වා. ඒ හැකියාව රජයට තියෙනවා කිව්වා. අස්වැන්නෙ අඩුවක් වෙන්නෙ නැහැ කිව්වා. අස්වැන්න අඩු වුණොත් වන්දි ගෙවනවා කියලත් කිව්වා. හොඳ සැලැස්මකින් පටන් ගන්නෙ කියල ජනාධිපතිත්, ඇමැතිවරුත් කිව්වා. හැබැයි ඒක පට්ටපල් බොරු කියල රජය විසින්ම ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්නුවා. රජය ගැසට් එක රිවස් කරගත්තා. ආපස්සට ගැනීම තුළින් ටොම් පචයක් ගැහුවෙ කියල රජය මේ වන විට ඔප්පු කරල අවසන්.   


 රටේ ජනතාවට වසවිසෙන් තොර ආහාර දීමේ කතන්දරයක් මෙතැන නැහැ. රජයට ඩොලර් ප්‍රශ්නය ආවා. පොහොර ගෙන්වන්න ක්‍රමයක් නැතිව ගියා. භාණ්ඩ 600 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම නතර කළා. මුදල් ප්‍රශ්නය නිසා පොහොර ගෙන්වන එක නතර කළා.   


ප්‍රශ්නය:- කාබනික පෝර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීමට හේතුව කිසියම් කුමන්ත්‍රණකාරී කරුණක්ද? මේක අසාර්ථක වුණේ ඒ නිසාද? 

 
 පිළිතුර:- ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා   


 කිසිම කුමන්ත්‍රණයක් හෝ වෙනයම් හේතුවක් නැහැ. මේක අපට අලුත් අත්දැකීමක්. මේ කන්නයේ යම් යම් අඩුපාඩු තිබුණා. ගොවියො පාරට බැහැල රසායනික පොහොර ඉල්ලුවා. සංවේදී රජයක් හැටියට යළි රසායනික පොහොර ආනයනයට ඉඩ දුන්නා. නමුත් රජය සහනාධාර දෙන්නෙ හරිත කෘෂිකර්මයට විතරයි. ඊළඟ යල කන්නයේදී මේ වැරදුණු සියල්ල හද‌ාගෙන හරිත කෘෂිකර්මය සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය අසාර්ථක කරන්න විවිධ බලපෑම් එකතු වුණා.   


පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා   


 කාබනික ව්‍යාපෘතිය අසාර්ථකයි. කෘෂි නිෂ්පාදන වගාවත් අසාර්ථකයි. හෙක්ටයාර් 170,000 ක් මේ වන විට වගා නොකර පුරන් කුඹුරු බවට පත්වෙලා තියෙනවා. එළවළු ගොවියො ගොවිතැනින් ඉවත් වෙලා. විවිධ අපනයන භෝග නිෂ්පාදකයො ඒ වගා කටයුතුවලින් ඉවත් වෙලා ඉන්නවා. රසායනික පොහොර ඉතාම සූක්ෂම ලෙසින් වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. පොහොර මිටියක මිල දැන් රත්රං වගෙයි. පොහොර, වෙ​ෙළඳසැල්වල පිටුපස දොරින් එළියට යනවා. කාබනික ව්‍යාපෘතියෙ අද තත්ත්වය ඒකයි. මේ කාබනික ව්‍යාපෘතිය නිසා මුළු රටටම මහා විනාශයක් කළා. කාබනික පොහොර නරකයි කියනව නොවෙයි. ඒත් ඒක රටට හදුන්වාදීමේ කූට වංචනික ක්‍රමවේදය ඒ ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට හේතුවුණා. 

 
 මේ වන විට රටේ ආර්ථිකය අන්තිම අඩියට බැහැලා. ඩොලර් ප්‍රශ්නය බරපතළ නිසා පිටරටට ඩොලර් ඇදීයාම වැළැක්වීමට අවශ්‍ය වුණා. ඒ නිසා ගොවීන්ට කාබනික පොහොර පුරුදු කරන්න උත්සාහ කළා. අපේ රටේ ගොවියො අද ඊයේ ගොවිතැන් කරන්න පටන් ගත්ත කියල රජය හිතන්න ඇති. අපේ මිනිස්සුන්ට ගොවිතැන ගැන හොඳ අත්දැකීමක් තියෙන්නෙ. ගැටලුව තියෙන්නේ මේ මෝඩ ආණ්ඩුවට නොතේරෙන එකයි.   


පිළිතුර:- නාමල් කරුණාරත්න මහතා   


 කාබනික සංකල්පය සැලැස්මක් නැතිව මෝඩ විදියට තීරණය කළ නිසා කාබනික කියන කොටම ගොවියාගේ කටින් කුණුහරුප කියවෙන එක වළක්වන්න බැහැ. පවතින නීතිරීතිවලට අනුව පිටරටින් කාබනික පොහොර ගෙන්වන්න බැහැ. රජය ඒ වැරැද්දත් කළා. ගිනි පෙණෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියටත් බයයි වගේ දැන් ගොවියො කාබනික කියන කොටම බයයි. මේ තක්කඩි රජය ඒ හානියත් කළා..   


මේක සැලසුමත් එක්ක ගත්ත තීන්දුවක් නෙවෙයි. පොහොර එක්ක ගැට ගැහුණ කාරණා 5 ක් තියෙනවා. එකක් පොහොර. අනික බීජ. මේ දෙක ගහයි - පොත්තයි වගේ. දෙක එකට බද්ද වෙලා තියෙන්නේ. කැලේ තියෙන ගහයි අපි වගා කරන බෝගයි ගං කුකුලයි, බොයිලර් කුකුලයි වගෙයි. වගා කරන භෝග කැලේ තියෙන භෝග වගේ නෙවෙයි. අපි වගා කරන්නේ බොයිලර් කුකුලා වගේ නම් කැලේ වැවෙන්නේ ගං කුකුලා. බීජ හා පොහොර වෙන් කරන්න බැහැ. ඊළඟට පලිබෝධ මර්දනය. දිලීර රෝග වැනි දේවල් වගාවට ඇතිවෙනවා. ඊට පස්සෙ වල්නාශක, අනික මනා සැලැස්ම, කාබනික වගාව කරන විට රසායනික පොහොර භාවිතයට වඩා ජලය අවශ්‍යයි. කාලය, වියදම වැඩියෙන් යනවා. කාබනික වගාවෙදි කුඹුරට තුන්වරක් ට්‍රැක්ටරය ද‌ාන්න අවශ්‍යයි. රසායනික වගාවෙදි එක්වරයි. අඩු කාලයකින් රසායනික වගාව කරන්න පුළුවන්. කාබනික වගාවෙදි කාලය අවශ්‍යයි. වතුරත් වැඩියි. අපේ ජල ප්‍රතිපත්තිය අංක එක විදුලිය, දෙක පානීය ජලය, තුන කර්මාන්ත, හතර කෘෂිකර්මය. විශේෂයෙන් මහවැලි ව්‍යාපාරය යටතේ වතුර නිකුත් කරන්නෙ මෙම ප්‍රතිපත්තියට අනුව. බලශක්තිය ප්‍රධානම ප්‍රභවය ජල විදුලිය. කුඹුරු වගාවට ජලය දීම තීරණය කරන්නේ විදුලිබල මණ්ඩලය. කෘෂිකර්මයට වතුර ලැබෙන්නේ හතරවැනි ස්ථානයට. කාබනික පොහොරට වතුර වැඩිපුර අවශ්‍යයි. පොහොර බීජ, කෘමි මර්දනය, පලිබෝධනාශක හා සැලැස්ම යන මේවා එකට ගැටගැහිල තියෙන්නෙ. රජය මේ පහෙන් එකක් ගැලෙව්වා. එන්ජිමක වැදගත් කොටසක් ගලවල යන්න කියනව වගේ. ඉතිරි කොටසට යන්නත් බැහැ. දෙකම කොට උඩ. රජය කළෙත් පොහොර කියන කෑල්ල ගලවලා අනිත් ටික තිබ්බා. දැන් මේ සියල්ල කොට උඩ. මේ පද්ධතියම දැන් වෙනස් කරන්න වෙලා. ඒකට දීර්ඝ කාලීන සැලැස්මකට යන්න ඕනැ. කෙටිකාලීන, දිගුකාලීන වශයෙන් වැඩපිළිවෙළකට යා යුතුයි. ඊට ගැලපෙන පරිදි බීජ වල් මර්දනය, දිලීර මර්දනය සැකසිය යුතුයි. මේක වෙනම විද්‍යාවක්. ඒවා අමතක කරල එකක් විතරක් අයින් කරල වැඩක් නැහැ. මේක කිසිම සැලැස්මක් නැතිව ගත්ත තකතීරු තීරණයක්. මේ රටේ කෘෂි ක්ෂේත්‍රයට අද‌ාළ මහාචාර්යවරු 143 ක් අත්සන් කරල ජනාධිපතිට යෝජනා ඉදිරිපත් කළා. ඒකට ඉතාම කැත ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ මහාචාර්යවරු කෘෂිකර්මයට අද‌ාළ අය. මේ රටේ කෘෂි අංශයෙ උගතුන්ගෙ ගොවි නායකයන්ගෙ වචනය මේ රජය ඇහුවෙ නැහැ.   


ප්‍රශ්නය:- රසායනික පොහොර භාවිතය සෞඛ්‍යයට බරපතළ ලෙස හානිකරයි කියල අපේ රටේ ගොවි ජනතාවට කාබනික පොහොර භාවිතයට අනුබල දුන්නා. ඒ වුණාට පිටරට වලින් ගේන හාල්, පරිප්පු වගේ කෘෂි නිෂ්පාදනවලට යොදන්නෙම රසායනික පොහොර. ඒ කෑම වලින් ජනතාවගෙ සෞඛ්‍යයට තර්ජනයක් නැද්ද? 

 
පිළිතුර:- ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා   


 හාල්, පරිප්පුවල තියෙන රසායනික ප්‍රතිශතයන්, වල් නාශකවල රසායනික ප්‍රතිශතයන් ඉතාම වෙනස්. ඒවා ඉතාම බරපතළ වස විස සහිත ඒවා. ඒවා බරපතළ පලිබෝධනාශක. අපි රටට හැම දෙයක්ම ගේන්නේ පරීක්ෂා කරල බලලා. එහෙම නැතිව වස විස අපේ ජනතාවට දෙන්න සූද‌ානම් නැහැ. ඔය කතා කරන මිනිස්සු ඒ රටවල කෘෂිකර්මාන්ත ගැන අධ්‍යයනය කරල තියෙනවද? අරයා මෙයා කියන කතාවල් අහගෙන වාසි ගන්න හදනවා. මේ රජය රටට ජනතාවට අහිතකර කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඕවා දේශපාලන වාසි ගන්න කියන කතා. අපේ රටේ කාබනික පොහොර එපා කියල රසායනික පොහොර ඉල්ලනවා. දැන් කියනවා පිටරටින් ගේන ඒවටත් රසායනික පොහොර ද‌ානවලු. මොනවද මේ කතා.   


පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා   


මම මේ ගැන පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදි ප්‍රශ්න කරල තියෙනවා. රසායනික පොහොර නොමැතිකමින් නිෂ්පාදන පහළ වැටෙන විට අපට බොහෝ දේ ආනයනය කරන්න සිදුවෙනවා. ඒවා රසායනික පොහොර ද‌ාල වාණිජ පදනමින් සිදුකරන වගාවන්. අපි ඒ ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. අපි රසායනික පොහොර පාවිච්චි කරනවට වඩා වැඩි මාත්‍රාවක් වියට්නාමය වගේ රටවල් පාවිච්චි කරනවා. රජයට අපේ රටේ වගාවන් වස වෙනවා. පිටරටින් ගේන ඒවා රස වෙනවා. මේවා කාට කියන්නද? රජය තනිකරම බොරුව කරන්නෙ. ඔය තරම් ආදරේ නම් මේ රටට භව භෝග ආනයනය කරන එකත් නතර කරන්න එපැයි.   


ප්‍රශ්නය:-  නාමල් කරුණාරත්න මහතා   


 වකුගඩු රෝගය හැදෙන්නෙ කොහොමද කියල තවම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්වත් කියල නැහැ. මේ රෝගියෙක් මැරුණොත් තවම මරණ සහතිකය ලියන්නෙ හඳුනා නොගත් රෝගයකින් කියල. ඒ නිසා වකුගඩු රෝගයට හේතුව කාබනික පොහොරද, රසායනික පොහොරද කියල තව වනතුරුත් ඔප්පු කරල නැහැ. පිටරටින් ගේන හාල්වල ගැරන්ටිය අවුරුදු දෙකයි. අපේ අම්මල හාල් මිටක් අයින් කරනවා. ඒ විට හාල් මුට්ටිය මාස තුනකට වරක් ඉවත් කරනවා. එහෙම කරන්නෙ කුදල් බදින නිසා ගුල්ලො ගහන නිසා. මාස 3 කට පස්සේ ඒ හාල් පාවිච්චි කරන්න බැහැ. ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියක් සිදුවන නිසා, හාල් නරක් වෙනවා. පිටරටින් ගේන හාල්වලට ගුල්ලෙක් ගහන්නෙ නැහැ. පණුවෙක් වහන්නේ නැහැ. ඒ තරමට රසායනික පොහොර ද‌ාල තනිකරම වස. රටට අවශ්‍ය තරම් කෘෂි නිෂ්පාදන අපේ ගොවියට වවන්න පුළුවන්. මේ පෙන්වන්නෙ රජයේ නොහැකියාව.  


ප්‍රශ්නය:- මෙහෙම ගියොත් සාගතයකටත් මුහුණ දෙන්න වේවිද?  


 පිළිතුර:- ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා  


ආහාර හිඟයක් ආවොත් පිටරටින් ගේනවා. දැනුත් ආහාර පිටරටින් ගේනවනේ. දැන් එළවළුවලට අවශ්‍ය පොහොර ගේන්න ඉඩදීල තියෙනවා. ඒ නිසා එළවළු ඕනෑ තරම් වැවෙනවා. මේ වන විට හෙක්ටයාර් ලක්ෂ 8 ක් වගා කරල තියෙනවා නම් අස්වැන්න සියයට 50 කින් අඩුවුනත් මොකක්ද ප්‍රශ්නය. අපිට කිසිම අවුලක්, අඩුවක් වෙන්නෙ නැහැ. හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක් ගන්න පුළුවන්. මේ කන්නයට වී මෙට්‍රික් ටොන් මිලියන 3.5 ක් නිෂ්පාදනය වෙලා තියෙනවා. හරි අපිට ඇණුන පැත්තෙන්ම බලමුකො.  


 වී නිෂ්පාදනය සියයට 50 කින් අඩුවුණා කියමුකො. අපිට මෙ.ටො. මිලියන 1.7 ක් තියෙනවා. මාසයකට අවශ්‍ය වෙන්නෙ වී මෙට්‍රික් ටොන් 290000 යි. සියයට 50 කින් වී නිෂ්පාදනය අඩු වුණත් රටේ ආහාර හිඟයක් ඇතිවන්නේ නැහැ. 

 
 පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:-  


මේක වැඩි වැඩියෙන් ආහාර සුරක්ෂිත කර ගත යුතු කාලයක්. ඩොලර් හිඟයක් එක්ක අපේ අපනයන ආද‌ායම වැඩිකර ගත යුතු අවස්ථාවක්. මේ පොහොර ප්‍රශ්නයට රජය ද‌ාපු ගොන්පාට් එකෙන් රට සාගතයකට පත්වෙනවා. අපිට කෘෂි අපනයනවලින් ලැබෙන්න තිබුණ ආද‌ායම මුළුමනින්ම නැතිව ගියා. රජයට උපදෙස් දෙන විද්වතුන්ට, වියතුන්ට, උපදේශකවරු පොහොර ගෙන්වන මුදල බේරගන්න දීපු තකතීරු උපදෙස් නිසා රටම සාගතයකට පත්වෙනවා. හිතාමතා සහාසික ලෙස අදටත් රජය සාගතයක් සඳහා මුහුණ දීමට සූද‌ානමක් නැහැ. මේ ඇති වී තිබෙන තත්ත්වයට අනුව රට බරපතළ අනතුරක තියෙන්නෙ. එහෙම තියෙද්දිත් රජය බයිල ගහනවා. ආර්ථිකය හොඳ වෙනවලු. කොහොමද හොඳ වෙන්නෙ? ගොවි ජනතාව හෙක්ටයාර් කීයක් වගාව අත්ඇරලද?  


පිළිතුර:- නාමල් කරුණාරත්න මහතා  


 ආහාර හිඟයක් එන්න දෙයක් නැහැ. ඇවිල්ල තියෙන්නෙ. කිරිපිටි කියන්නෙත් ආහාරයක් ළදරුවන්ගෙ. ගර්භනී මව්ව්රුන්ගෙ, වයෝවෘද්ධ අයගෙ ආහාරයක්. දැන් රටේ කිරි තියෙනවද? එළවළු හිඟයි. බඩඉරිඟු නැහැ. හාල් හිඟයක් ඇති කරල තියෙනවා. ස.තො.සෙන් ඕනෑ විදියට හාල් ගන්න පුළුවන්ද? එහෙම නම් ආහාර හිඟකම දැම්ම හදල තියෙන්නේ. තිබුණත් එළවළු ඇතුළු සියලු දේ පට්ට ගණන්. බත් පැකට් එකක් ගත්තොත් ඒකෙ එළවළු ගණන අඩු කරලා තියෙනවා. ප්‍රමාණය අඩු කරලා. බෝංචි නම් කෑලි 4 ක් වගේ. දරුවන්ට එළවළු සුප් හදල දුන්නා. එළවළු තම්බල දුන්නා. දැන් ඒව කරන්න බැහැ. පෝෂණ ඌනතාව රටට එනවා. තක්කාලි ගෙඩි දෙකක් ද‌ාල හොද්ද හදාගන්නවා. මාළු මිරිස් කරල් තුනක් රුපියල් 150 ක් විතර වෙනවා. එක කරලක් හීනියට කපල හොද්දට ද‌ානවා. වැටකොළු කරල් දෙකට කපල හොඳි හදනවා. දැන් ජනතාවට හොඳියි බතුයි කන්න වෙලා. ආහාර අර්බුදය ඇවිල්ල ඉවරයි. ලබන වසර වෙනකොට තවත් මේක දරුණු වෙනවා.

 

 

දයාසීලි ලියනගේ