කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමැති
ප්‍රසන්න රණතුංග
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කෙසේද? මේ ඒ ගැන විමසමින් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- කොහොමද අලුත් ඇමැති ධුරය?
පිළිතුර:- ලොකු වගකීමක් පැවරිලා තියෙන්නේ. මේ රටේ ආර්ථිකයට බලපාන විෂයන් කිහිපයක් අපේ අමාත්‍යාංශය යටතේ තියෙනවා. ඒ බාර දීලා තියෙන වගකීම නිසි පරිදි ඉටු කරන්න තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ.
ප්‍රශ්නය:-රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවලින් සියයට 75 ක්ම ගැසට් වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුලටයි?
පිළිතුර:- මේ තියෙන්නේ තාවකාලික ආණ්ඩුවක්. මේ වෙලාවෙදි අමාත්‍යාංශ පනහක් හැටක් පහළොවකට සීමා කරන කොට විද්‍යාත්මක ක්‍රමයට මේ අමාත්‍යාංශ බෙදන කොට ඒ අනුව තමයි මේ ආයතන ගැසට් කරලා තියෙන්නේ. මං හිතන්නේ බාරකාර ආණ්ඩුවක් තුළ අපි ආදර්ශයක් දීලා තියෙනවා කැබිනට් එක අඩු කරලා තියෙනවා. දැන් ඒ ආදර්ශය ගැන විපක්ෂය කතා කරන්නේ නෑ. ඒ වෙනුවට ඔය වගේ චෝදනා කරනවා.
ප්‍රශ්නය:- පහුගිය කාලේ අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම් දිගින් දිගටම කිව්වේ ‘නැවත එන්න හදන්නේ පවුල් පාලනයක්’ කියලයි. මේ සැබෑ වෙන්නේ එය නේද?
පිළිතුර:- පවුල් පාලනය කියන එක පහුගිය කාල සීමාවෙත් කියාගෙන අවා. 2015 දීත් ඒ ගොල්ලෝ ගෙනාව ප්‍රධානම චෝදනාව තමයි පවුල් පාලනය කියන එක. නමුත් මේ රටේ ජනතාව හොඳින්ම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා, ගෝඨාභය මහත්මයා ජනාධිපති වුණොත් කියලා. රටේ ජනතාවගේ ප්‍රාර්ථනය වුණෙත් ඒකයි. යහපාලනය තියාගෙන වහ පාලනයක් ගෙන යනකොට මිනිසුන්ට ඕනෑ වුණේ මහින්ද මහත්තයා රටේ නායකත්වයට ගේන්න. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මහින්ද මහත්තයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා තමයි රටේ ජනතාව ඉල්ලුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. ඒක පවුල්වාදය නොවෙයි. ඒක ජනතාවගේ අවශ්‍යතාව. රටේ අවශ්‍යතාවය, ජාතියේම අවශ්‍යතාව. වැඩි ඡන්ද ලක්ෂ 14 කින් තමයි එතුමාව මේ රටේ ජනතාව ජයග්‍රහණය කළේ. එතුමා යුද්ධයට නායකත්වය දීලා රටම ලස්සන කරන්න නායකත්වය දීලා වැඩ කරලා පෙන්වපු නායකයෙක්. ඒ නිසා මේ රටේ බහුතර ජනතාවට එතුමව තෝරා ගන්න දෙගිඩියාවක් තිබුණේ නෑ. ඒ වගේම මේ කාල සීමාව තුළ ජනාධිපතිවරයත්, අගමැතිවරයත් අරන් තියෙන ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ ප්‍රසාදය පළවෙලා තියෙනවා. ඒ නිසා ඒක එක පවුලෙ ද නැද්ද කියන එක නොවෙයි. මොකද ඔය පවුල්වාදය ගැන කතා කරන හුඟ දෙනෙකුට පවුල්වාදය තියෙනවා. දරුවන් නැති අය තමයි පවුල්වාදය ගැන වැඩියෙන්ම කතා කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කතා කළොත් එතුමත් පවුල්වාදියෙක්. එතුමාගේ පියා රටේ ජනාධිපති වෙච්ච කෙනෙක්. බණ්ඩාරනායක පවුල ගත්තත් ඒකත් දේශපාලන පවුලක්. පවුලක පුද්ගලයන් දක්ෂයි නම් ඒ පවුලේ හය හත් දෙනාම දක්ෂයි නම් ඒ අය ඉදිරියට එනවා නම් ජනතාවගේ ආශිර්වාදය එයට හිමි වෙනවා නම් මොකක්ද එතැන තියෙන වැරැද්ද?
නිවැරැදි ආදර්ශ සහිත ගමනක් බලාපොරොත්තුවෙන් තමයි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ඡන්දය දුන්නේ.
ඒ වෙනස්කම්වලට බහුතරයක් දෙනා කැමැතියි. සුළුතරයක් අකැමැතියි. නමුත් රටේ ජනතාව පොදුවේ මේ ගමනට ආශිර්වාද කරනවා
ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගන්න තීන්දු තීරණ ප්‍රායෝගික ද කියන ප්‍රශ්නය සමහරු මතු කරනවා?
පිළිතුර:- ප්‍රායෝගිකයි කියන්නේ... මෙච්චර කල් මේ රටේ දේශපාලන අධිකාරිය ගත්ත ක්‍රියාමාර්ගවලට වඩා වෙනස් ක්‍රියාමාර්ග අරගෙන ඒවා ජනාධිපතිතුමා ප්‍රායෝගිකයි කියලා ඔප්පු කරලා තියෙනවා. කරන්න බැරි දෙයක් කියලා හිතෙන දෙයක් කරනවා නම් ඒක කොච්චර හොඳ දෙයක් ද? වෙච්ච විදියට නම් යන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. නිවැරැදි ආදර්ශ සහිත ගමනක් බලාපොරොත්තුවෙන් තමයි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ඡන්දය දුන්නේ. ඒ වෙනස්කම්වලට බහුතරයක් දෙනා කැමැතියි. සුළුතරයක් අකැමැතියි. නමුත් රටේ ජනතාව පොදුවේ මේ ගමනට ආශිර්වාද කරනවා.
ප්‍රශ්නය:- රාජ්‍ය ආයතනවලට පුද්ගලයන් පත්කිරීමේදී ජනාධිපති ගෝඨාභය පත් කළ කමිටුවකින් තමයි ඒක කරන්නේ. මෙහෙම වුණාම ඇමැතිවරයා පඹයෙක් බවට පත් වෙනවා නේද?
පිළිතුර:- එහෙම වෙන්නේ නෑ. ඒකෙදි අවස්ථාව දෙනවා. මම නම් පෞද්ගලිකව ඒ ක්‍රමයට කැමැතියි. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ වෘත්තිකයෝ, විශේෂඥ දැනුමක් තියෙන විශාල පිරිසක් එකතු වුණා. දේශපාලන අධිකාරියට ඒක යෝධ ශක්තියක් වුණා. තනතුරකට පුද්ගලයකු පත් කරන කොට පහුගිය කාලයේදී අපි කියපු දෙයක් තමයි මේ ආයතන කඩාවැටෙන්න ප්‍රධාන හේතුව අදක්ෂ පුද්ගලයන් අතට වගකීම් පැවැරීම් හා දේශපාලන අතපෙවීම් නිසා කියලා. ඇමැතිවරයකු තමන්ගේ හිතවතෙකු ඒ තනතුරට දාගන්නවාට වඩා කමිටුවකින් පත්කරන පුද්ගලයෙකු පත් කළාම ඒ හරහා විශ්වාසනීයත්වයක් ගොඩනැගෙනවා.
ඒ වගේම ඇමැතිවරයාටත් බලපෑම් කරන්න බැරි වෙනවා විතරක් නොවෙයි තමන්ගේම කෙනෙක් පත් කරනවාට වඩා කමිටුවෙන් පත්කරන කෙනා සමග කටයුතු කරන්න පහසු වේවි. සුදුසුම පුද්ගලයා අදාළ තනතුරට පත් කිරීමේ වගකීමත් ඒ කමිටුවට තියෙනවා. ජනතාව ඉල්ලා සිටියේ සෑම තැනින්ම මෙබඳු බලගතු ආදර්ශ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ක්‍රමය වඩාත් හොඳයි කියලා.
ප්‍රශ්නය:- නමුත් මහජනයාගේ නියෝජිතයො තමයි දේශපාලනඥයා කියන්නේ. එයට උඩින් නිලධාරි තන්ත්‍රයක් බලවත් වීම ප්‍රශ්නයක් නොවෙයි ද?
පිළිතුර:- නෑ නෑ නිලධාරියාව පත් කරන්නේ නෑ එතුමන්ලා ඒ කමිටුව තෝරලා ඇමැතිවරයාට එවනවා. ඇමැතිවරයාගෙත් එකඟතාව අනුව තමයි පත් කිරීම කරන්නේ. පනතෙ තියෙන්නේ ඇමැතිවරයා විසින් පත්කළ යුතුයි කියලයි. එතකොට ඇමැතිවරයා විසින් පත්කළ යුතුයි කියන කාරණයේදී ජනාධිපතිතුමන් අගමැතිතුමන් පැහැදිලිව අපිව දැනුම්වත් කරලා තියෙනවා කමිටුව කරන නිර්දේශයට ඇමැතිවරයාගේ එකඟතාව මත තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා. යම් පුද්ගලයෙක් මගේ ආයතනයකට දානවට මම විරුද්ධ නම් මට ඒ කමිටුවට කියන්න පුළුවන් මම ඒ පත් කිරීමට කැමැති නෑ කියලා. ඒ විදියට බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා.
ප්‍රශ්නය:-වරායෙ සභාපති හැටියට පත් කරලා තියෙන්නේ හිටපු හමුදාපති දයා රත්නායක. ඡන්ද කාලේ කියපු මිලිටරිකරණය ද මේ සිදුවෙමින් තිබෙන්නේ?
පිළිතුර:- ආයතනවල ප්‍රධාන තනතුරුවලට හොඳ කළමනාකරුවන් දාන්න ඕන. විෂය දැනුම තියෙන, විනයක් ඇතිව කටයුතු කරන්න පුළුවන් ප්‍රධානීන් පත් කළ යුතුයි. නිලධාරින් ඉන්නවා ආයතන පාලනය කරන්න. ඒ නිලධාරින්ට හොඳ නායකත්වයක් හා හොඳට කළමනාකරණය කළ හැකි ප්‍රධානියෙක් හිටියොත් අපේක්ෂිත ඉලක්කවලට පහසුවෙන් යන්න පුළුවන්. දයා රත්නායක මහත්මයා කියන්නේ මේ රටේ හිටපු හමුදාපතිවරයෙක්. අතිවිශාල පිරිසක් පාලනය කරපු ඒ සෙනඟට නායකත්වය දුන්න හමුදාපතිවරයෙක්. ඉතින් එතුමාගෙන් රටට හොඳ සේවයක් ගන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.
ප්‍රශ්නය:-ආයතන ප්‍රධානීන් හැටියට හිටපු හමුදා නායකයන් පත්කිරීම මිලිටරිකරණයෙන් වෙනස් වෙන්නේ කොහොම ද?
පිළිතුර:- ඔවුන් දැන් හමුදාවේ නෑ. නමුත් කළමනාකරණය අතින් අති දක්ෂයෝ. අනික් අතට ඔවුන්ට ඉහළ දැනුමක් අත්දැකීමක්, පළපුරුද්දක් වගේම විනයක් තියෙනවා. ඔවුන් අතට මේ රටේ පරිපාලනයේ කොටසක් යා යුතුයි.
ප්‍රශ්නය:- මත්තල ගුවන් තොටුපළ විදේශීය සමාගමකට පැවරීමේ සූදානමක් තිබෙන බව ඔබ කියලා තිබුණා.
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්. මා කළ කතාවක් වැරැදි විදියට අර්ථකථනය කිරීමක්. මම කිව්වේ මත්තල ගුවන් තොටුපළ මේ රටේ ජනතාවගේ මුදලින් හදපු ගුවන් තොටුපළක්. නමුත් පහුගිය ආණ්ඩුව මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා. රටේ පාලකයන් නොකළ යුතු ඉතාම පහත් වැඩක් ඒක. එබඳු පහත් වැඩ කරලා මත්තල ගුවන් තොටුපළ විනාශ කළා. ඒ ගුවන්තොටුපළ යථා තත්ත්වයට පත් කරන්න වියදම් කරන්න වෙන්නේ රටේ ජනතාවගේ සල්ලි. ජනතාවගේ මුදල් නැවත වියදම් කරලා ගුවන් තොටුපළ යථා තත්ත්වයට පත් කළාට පස්සේ එතැන පරිපාලනය කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අපි යෝජනා කරනවා දේශීය හා විදේශීය සමාගම්වලට අපිත් මේ ආයතනයත් සමග කටයුතු කරන්න.
ප්‍රශ්නය:-මැතිවරණ වේදිකාවලදී නම් කිව්වේ කිසිම රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ කියලා. ජනාධිපතිවරණය දිනලා තවම මාසයක් ගියෙත් නෑ?
පිළිතුර:- ඉතින් මම ඔබට පැහැදිලිව කිව්වේ ඒක තමයි. මේක විකුණන්නේ නැහැ. ඒක අපේ ප්‍රධාන ප්‍රතිපත්තිය. කිසිම රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ. එහෙම විකුණපු ආයතනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළිත් ගත්තා. ඒකයි අපේ ඉතිහාසය. ඒ නිසා කීයටවත් කිසිම ආයතනයක් විකුණන්නේ නෑ. ඒක මම ඉතාම වගකීමෙන් කියනවා. නමුත් කිසියම් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මත්තලට ගුවන් යානා ගෙන්වන්න පුළුවන් කණ්ඩායම් හවුල් කරගෙන මේක සංවර්ධනය කළ යුතුයි. ඒක කෙටි කාලීන ද දීර්ඝ කාලීන ද කියලා සාකච්ඡා කරලා තීරණය කරන්න ඕන. කළමනාකරණයට පරිපාලනයට දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය ලබා ගැනීමයි මෙතනදී අදහස් කරන්නේ.
ප්‍රශ්නය:-‘මිලේනියම් චැලේජ් කෝපරේෂන්’ ගිවිසුමේ අලුත්ම තත්ත්වය මොකක් ද?
පිළිතුර:- ඒ සම්බන්ධයෙන් පහුගිය කැබිනට් මණ්ඩලයේදී කමිටුවක් පත් කළා ඒ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරලා කැබිනට් එක දැනුම්වත් කරන්න. ඒ කමිටුවේ නිර්දේශ මත තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ.
ප්‍රශ්නය:-- පහුගිය ජනාධිපතිවරණ හැම වේදිකාවකම කිව්වේ මේ ගිවිසුම රට පාවාදීමක් කියලයි. එහෙම කිව්වේ නිසි අධ්‍යයනයකින් තොරව ද?
පිළිතුර:- නෑ මේ ගිවිසුමේ අපේ රටට ඉතාම අහිතකර දේවල් තියෙන අතර යම් වාසිදායක කරුණුත් තියෙනවා. ඒවා අධ්‍යයනය කරලා මේ ගිවිසුම රටට හිතකර ද නැද්ද කියලා බැලිය යුතුයි. පහුගිය කාලයේ මේකට කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේක සුදුසු නැහැ කියලා කිව්වා. ඒ කාලයේ හිටපු ජනාධිපතිතුමා සාකච්ඡා කළේත් ඒ කමිටු වාර්තාව ගැනයි. අදත් මේ තියෙන සැක තවත් තහවුරු කරගන්න තමයි කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් උඩ තවත් කමිටුවක් පත් කළේ. දැන් මේ ගිවිසුම සම්බන්ධ වගකීම අපේ රජයට තියෙනවා. අපේ රජය තමයි තීන්දු කරන්නේ මේ ගිවිසුම ක්‍රියාත්මක කරනව ද නැද්ද කියලා. මෙතනදී මේ ගිවිසුමේ තියෙන අවාසිදායක කරුණුවලට ආණ්ඩුවක් හැටියට අපි එකඟ නෑ කියලා අපි කියනවා.
ප්‍රශ්නය:-මේ ගිවිසුම අත්සන් කළොත් මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා ඇමැති වාසු වගේම ඇමැති විමල් ප්‍රසිද්ධියේ කිව්වා.
පිළිතුර:- ඔව්. මේ ගිවිසුමට අපි විරුද්ධයි කියලා අදා අපි වේදිකාවල කිව්වා. ඒ ස්ථාවරයේ අපි අදත් ඉන්නවා. එදා තිබුණු තත්ත්වය තමයි කොච්චර අවාසිදායක තත්ත්වයන් තිබුණත් බලහත්කාරයෙන් හරි මේ ගිවිසුම් අත්සන් කරන්න ඒ ආණ්ඩුව සූදානමින් සිටීම. දැන් අපි බලන්නේ තියෙන සියලු අවාසිදායක තත්ත්වයන් මගහැරලා රටට යම් වාසිදායක දෙයක් තිබේ නම් ඒක ගන්න. ඒකට තමයි යළිත් අධ්‍යයනයක් කරන්නේ.
ප්‍රශ්නය:- නමුත් මේ ක්‍රියාමාර්ගවල පරස්පරයක් තියෙනවා. එදා මුළු හදින්ම විරුද්ධයි. නමුත් අද අධ්‍යයනය කරනවා?
පිළිතුර:- තිබුණ එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් අපි බලන්නේ අපේ රටට වාසිදායක දෙයක් තියෙනවා නම් ඒ වාසිදායක තත්ත්වය රටට ලබා දෙන්න.
ප්‍රශ්නය:-ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගෙන යාම රංගනයක් කියලා ආණ්ඩුව කියනවා. නමුත් පොඩ්ඩක් හරි ඇත්තක් මේ සිදුවීම තුළ නැද්ද?
පිළිතුර:- ඇත්තෙන්ම මේක රංගනයක්. බටහිර රටවල් අපේ රටට එරෙහිව පහුගිය කාලයේ කටයුතු කළා. රාජපක්ෂ පවුලට එරෙහිව මේ රටවල් ක්‍රියා කරපු ආකාරය අපි දැක්කා. එතකොට පහුගිය කාලයේ ඔය ස්විට්සර්ලන්තය ඇතුළු රටවලට එල්ටීටීඊ කාරයන් පැනලා ගියා. ඒ අයට වීසා ලබා දෙන්න ඒ කටයුතු සිද්ධ වුණා කියලා මාධ්‍ය හරහා අපි දකිනවා. ඒවට උදව් කරපු අය අද කලබලවෙලා ඉන්නවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් පැහැදිලිවම තොරතුරු අනාවරණය වෙනවා. අපේ විදේශ ඇමැතිතුමත් විදේශ තානාපතිවරුන් දැනුම්වත් කළා. මේක නාට්‍යයක්. මේක බොරුවක් කියන එක පැහැදිලිව කියලා තියෙනවා.
ප්‍රශ්නය:- ගෝඨාභයට රට බාර දෙන්න ඕන ඔහු ආරක්ෂාවට ඉන්න සුදුසුම පුද්ගලයා නිසා කියලයි ඔබේ කඳවුර කිව්වේ. නමුත් රහස් පොලිසියේ ඉහළ නිලධාරියෙක් රටින් පැන්නා. ආණ්ඩුව දන්නෙත් නෑ?
පිළිතුර:- ඒක ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් නොවෙයි. ඔය වගේ අය තමයි දේශපාලන බලපෑම්වලට යටවෙලා අහිංසක මිනිසුන්ට හිරිහැර කරමින් රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරින් හා දේශපාලනඥයන් හිර ගෙවල්වලට යවන්න කටයුතු කළේ. ඒ වගේ අය අනිවාර්යයෙන්ම බය විය යුතුයි. නීතියට යටත්ව කටයුතු කරන ආණ්ඩුවක් ආවම තමන්ව අනාවරණය වෙයි කියලා. ඒ නිසා තමයි ඔවුන් රටින් හොර රහසේ පැනලා යන්නේ. ඒ පොලිස් නිලධාරින්ගෙන් ප්‍රයෝජන ගත්තා. දේශපාලන පළිගැනීම්වලට යොදාගත්ත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ම තමයි මේ නිලධාරීන් රට යවන්නේ. මේ නිලධාරින් මේ රටේ හිටියොත් තමන්ගේ දේශපාලන ස්වාමිවරුන් කවුද කියලා හෙළි කරයි කියලා ප්‍රබල දේශපාලනඥයන් බයට පත්වෙලා ඉන්නවා. ඒවා වහන්න තමයි මේ නිලධාරින් හොර පාරෙන් යවන්නේ. ස්විස් නාඩගම ගැන එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් කතා කරන හැටි දැක්කම තමන්ගේ අවුරුදු හතරාමාරක පාලන සමය ගැන බයෙන් ඉන්න බව තමයි පේන්නේ.
ප්‍රශ්නය:-- පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබ්බේ බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න?
පිළිතුර:- බැඳුම්කර හොරකමට එරෙහිව තමයි අපි පහුගිය කාලෙම කතා කළේ. රටේ ආණ්ඩුවක් වෙනස් වුණාට පස්සේ නැවත වතාවක් රාජාසන කතාව කරලා පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදාය වෙනුවෙන් තමයි පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබ්බේ. ඔය බැඳුම්කර වෝහාරික වාර්තා ලබන 3 වැනිදායින් පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්.
ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වන්න කියලා ඔබල විපක්ෂයේ සිටියදී ආණ්ඩුවට අභියෝග කළා. දැන් ආණ්ඩුව ඔබේ. අර්ජුන් මහේන්ද්‍රන්ට මොකක් වෙයි ද?
පිළිතුර:- පැහැදිලිවම මහ බැංකු බැඳුම්කර හොරකමට එරෙහිව අපේ රජය වගකීමෙන් කටයුතු කරනවා. දැනට තියෙන්නේ බාරකාර ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපට නෑ. ඒ නිසා යම් යම් තීන්දු තීරණ ගන්නකොට ඇති විය හැකි අභියෝග හා බාධාවන් මොනවාද කියලා අවබෝධ කරගෙන තමයි අපි ඉන්නේ. හැබැයි එහෙමයි කියලා මහ බැංකු හොරුන්ට අපි නිදහසේ ඉන්න ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පියවර නීත්‍යනුකූලව ගන්නවා.
ප්‍රශ්නය:-මීළඟ මහ මැතිවරණයට යෝධ පුළුල් සන්ධානයක් ගොඩනගනවා කියලා එජාපය කියනවා. ඔබලාට එයට මුහුණදෙන්න පුළුවන් ද?
පිළිතුර:- ඔය පුළුල් සන්ධානය ජනාධිපතිවරණයේදීත් ගැහුවා. හැබැයි මේ රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂය ජය ගන්න ඕනෑම බලු වැඩක් කරනවා කියලා. ඒ නිසා රටේ ජනතාව අන්තවාදීන්ට එරෙහිව නැගී ඉන්නවා. අපි අන්තවාදීන් සමග සන්ධාන ගහන්නේ නෑ කියලා ජනතාව දන්නවා. ඒ නිසා තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න ජනතාව පෙළගැහිලා ඉවරයි.
ප්‍රශ්නය:-ඒ පුළුල් සන්ධානයට ජවිපෙටත් ආරාධනා කරනවා කියලා මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා?
පිළිතුර:- ආරාධනා කරන්න දෙයක් නෑ. පහුගිය කාලෙම ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි එක පතේ කෑවේ. ඔවුන් දෙගොල්ලොම එකයි. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේදී ඒ දොගොල්ලොම එකට තියලා මේ රටේ ජනතාව පරාජය කළේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්