(මුදිතා දයානන්ද)
රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයටත්, රාජ්‍ය බදු මුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමටත්, ඕනෑම කෙනකුට ප්‍රමිතියෙන් තොර උපාධි කඩ ආරම්භ කිරීමටත් පාර කපා දෙන, 81 අධ්‍යාපන ධවල පත්‍රිකාවටත් වඩා හානිකර ධවල පත්‍රිකාවක් බදු ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රයට එරෙහිව සියලු බලවේග සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණෙ සටන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (13) පැවසීය.
රත්නායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අප අවධානය කරනවා. 21 වැනි සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ බරපතළම පනත් කෙටුම්පත මේකයි. සාකච්ඡාවකටවත් කිසිම ඉඩක් ඉතිරි කරන්නේ නැතිව රාජ්‍ය සරසවි පෞද්ගලීකරණය කිරීමට රාජ්‍ය මුදල්වලින් පෞද්ගලික සරසවි ඇති කිරීමට මේ පනතින් ප්‍රතිපාදන සලසාගෙන තිබෙනවා. ඒ නිසා, ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය හැටියටත් අපි මෙය පරාජය කිරීම සඳහා මේ රටේ සියලුම බහුජන සංවිධානත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍ය සංගම්, සරසවි ශිෂ්‍ය මව්පිය සංගම් ආදී මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අමතරව රටේ මුළු මහත් ජනතාව මේ වෙනුවෙන් පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරනවා.
රාජ්‍ය සරසවි පෞද්ගලීකණය කිරීමේ හා රාජ්‍ය මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ පනත තමයි මේ ගෙනත් තිබෙන්නේ. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම රාජපක්ෂ පාලනයත් මෛත්‍රී රනිල් පාලනයත් එකම ප්රතිපත්තියක තමයි හිටියේ. සයිටම් ප්රශ්නයේදී අතිවිශාල ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවට සිදු වුණා එය ප්‍රමිතියෙන් තොර ආයතනයක් සහ එය වසා දැමිය යුතුයි කියලා පිළිගන්න. එහිදී සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි කියන ස්ථාවරයේ සයිටම් විරෝධී සියලු බලවේග එකඟතාවක සිටියා. මොන ආකාරයේ අඩුපාඩු තිබුණත් වෛද්‍ය සභාවේ නිර්දේශ අනුව මේ අයට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට ඒ සියලු බලවේග එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්ද පත් කළා. දැන් ආණ්ඩුව සයිටම් සිසුන්ගේ ප්රශ්නය දඩමීමා කරගෙන කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙනත් තිබෙනවා. මේ විසඳුම ගැන එම අරගලයට සම්බන්ධ වූ කිසිවෙක් දන්නේ නැහැ.
මේ පනතේ හරය කුමක්ද? 1978 විශ්වවිද්‍යාල පනතට පිටින් ගිහින් රාජ්‍ය මුදල් යොදවලා පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට දරන උත්සාහයක් හැටියටයි මෙය දකින්න වෙන්නේ. සිසුන් බඳවා ගැනීමට කිසිම නීතියක් නැහැ. පදනමක් නැහැ. රටේ වෙනත් දේශීය හෝ විදේශීය ඕනම විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් සමග එක්ව උපාධි පිරිනමන්න බලය මෙයින් ඉල්ලා තිබෙනවා. මේ ආණ්ඩුවේ එස්බීලා, කිරිඇල්ලලා, මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිඹුල් කඳුලු හෙලුවේ සයිටම් සිසුන් අසරණයි. ඒ අයට සාධාරණයක් කරන්න ඕන කියලයි. ඒ නිසා හැමෝම එකඟ වුණා ඒ සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන්න. ඒ පසුගිය වසරේ නොවැම්බර්වලදියි. දැන් මාස හයකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. නමුත් තවම කිසිම විසඳුමක් නැහැ.
දැන් ඒ දුක්ගැනවිල්ල භාවිතා කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සයිසන් එක හදාගන්න. ඒ වගේම ලංකාවේ හමුදාව අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න යොදාගන්න උත්සාහයක් මෙයින් ඇති වී තිබෙනවා. 81න් පසුව ගෙනා අධ්‍යාපනයට බරපතළම හානියක් සිදුකරන ධවල පත්‍රිකාවක් තමයි මේ ගෙනත් තිබෙන කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල සංශෝධන පනත.
පසුගිය සිකුරාදා මේ පනත මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා තිබුණා. නමුත් සභානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. මේ පනතේ සිංහල පනතත් සමග දෙමළ හා ඉංග්‍රීසි පිටපත් සැසඳීමේදී වෙනස්කම් කීපයක් තිබෙනවා. සභානායකවරයා එය ඉදිරිපත් නොකළේ ඒ වැරදි නිසාද? නැත්නම් සයිටම් විරෝධී ජන පවුරට දුන් පොරොන්දුව සිහිපත් වීම නිසාද? කියලා ආණ්ඩුව රටට ප්‍රකාශ කළ යුතුයි. සිකුරාදා මේ පනත සභාවට ඉදිරිපත් කළා නම් මන්ත්‍රීවරුන්ට මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් තිබුණා. නමුත් දැන් එහෙම ඉඩක් නැහැ.
මේ පනත ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත්‍රයටත් පටහැනියි. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් තවත් පුද්ගලයෙක්ගේ අන්තිම කැමති පත්‍රයට පිටින් ගිහින් වැඩ කරන්නේ නැහැ. එහෙත් මේ ආණ්ඩුව ඒ අන්තිම කැමති පත්‍රයත් හොරාකනවා. ජෝන් කොතලාවල මහතා මේ ඉඩම පරිත්‍යාග කර තිබෙන්නේ අන්තිම කැමති පත්‍රයේ සටහන් වන පරිදි ආරක්ෂක අංශවල සේවයේ නියුතු වූවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ නිසා මෙහි ආරම්භක 81 පනතේ සටහන් වන්නේ ආරක්ෂක ඇකඩමිය හැටියටයි. පසුව එය විශ්වවිද්‍යාලයක් හැටියට පවත්වා ගෙන ගියා. මේ වන විට මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සියයට හැත්තෑපහක් ආරක්ෂක අංශවලට පිටින් ආපු සිසුන්.
මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්නේ රජයේ මුදල්වලින්. ඒ කියන්නේ ජනතා බදු මුදලින්. එහි ඉගෙන ගන්නා සිසුන්ගෙන්ද මුදලක් අය කරනවා. දැන් මේ පනත මගින් කරන්න යන්නේ කුමක්ද? මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමටයි. එවිට රජයේ බදු මුදල්වලින් පෞද්ගලික අංශවලට ලාභ ඉපයිය හැකි අධ්‍යාපන කඩ බිහි කිරීමටයි. මෙවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ වන්නේ ලංකාවේ පමණක් නොවන ලෝකයේත් පළමු වතාවටයි. මේ පනත අනුව එහි අධ්‍යාපන ප්‍රමිතිය හෝ සිසුන් බඳවා ගැනීමේ ප්‍රමිතිය ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතියක් අවශ්‍ය නැහැ. එය තීරණය කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයයි.
එසේම වෙනත් අධ්‍යාපන ආයතන සමග බද්ධ වීමට හැකියාව ඇති බවට එන ප්‍රකාශ අනුව ඉදිරියේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල ශාඛාව, හම්බන්තොට ශාඛාව ආදී ලෙස තවත් විශ්වවිද්‍යාල ඇති කිරීමට ඕනම කෙනකුට හැකියාවක් ලැබෙනවා. මේ කිසිවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රමිතීන්ට යටත් නොවන නිසා එයින් බරපතළ ලෙස රටේ වෛද්‍ය උපාධිය වගේම අනෙකුත් වෘත්තීන්වලට අදාළ උපාධීන් සියල්ල හෑල්ලුවට ලක් වෙනවා. ඒ නිසා හරිම පැහැදිලියි මේ හදන්නේ සියටම් ප්රශ්නය දඩමීමා කරගෙන උපාධි කඩ ආරම්භ කිරීමටයි. එයද සිදු කරන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල් උපයෝගී කරගෙන වීම මෙහි තිබෙන අසික්කිතකම තවත් පෙන්නුම් කරනවා.
මේක සම්මත වුණොත් මෙතෙක් විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා එන අයට මෙරටදී පෙනී සිටීමට සිදුවූ ඇක්සිස්ටින් විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වෙනවා. එවිට ප්‍රමිතියෙන් තොර විශ්වවිද්‍යාලයකින් වුවත් ලබාගන්න සියලු උපාධිවලට මේ රටේ ඉඩක් ලැබෙනවා. එය වෛද්‍ය ක්ෂේත්රයට වගේම ඉංජිනේරු ඇතුළු සෑම ක්ෂේත්රයකටම නරක ලෙස බලපානවා.
මේ සියල්ලෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත භාවිතා කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකරන්න සූදානම් වන බව. අපි ආණ්ඩුවට කාරණා කීපයක් මතක් කරන්න කැමතියි. පළමුව රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන රාජ්‍ය මුදල් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වා ගෙන යාමට පාර කපන මේ ධවල පත්‍රිකාව මේ පනත හකුලා ගන්න. දෙවනුව සයිටම් සිසුන් සම්බන්ධයෙන් සයිටම් විරෝධී ජන පවුර සමග ඇතිකරගත් එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. කොතලාවල මහතාගේ අන්තිම කැමති පත්‍රයට පටහැනිව ආරම්භ කරන්න යන මේ විශ්වවිද්‍යාලයට එරෙහිව ජනතාව පෙළ ගැසීම වළක්වන්න බැහැ. එවිට ගැටුම ඇතිවන්නේ සාමාන්‍ය ජනතාව, විශ්වවිද්‍යාල සිසුන් හා ආරක්ෂක අංශ සමගයි. මෙය අනවශ්‍ය දේශපාලන ගැටුමකට ආරක්ෂක අංශ යොමු කිරීමක්. ඒ නිසා ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරක්ෂක අංශ වෙතම පවත්වා ගෙන ගියාට අපේ විරෝධයක් නැහැ. තෙවනුව අපි කියන්නේ සයිටම් සිසුන්ට ඔවුන්ට සුදුසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්න.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම මෙය පරාජය කිරීමේ සියලුම සංවිධාන එකතු කරමින් මේ දක්වා අධ්‍යාපනය වෙනුවෙන් නොතිබූ තරම් මහජන බලවේග පෙළගස්වනවා. අපි ජනතාවටත් අවධාරණය කරන්නේ මේ විනාශකාරී පනත් කෙටුම්පත පරාජය කිරීමට පෙළ ගැසෙන්න කියලයි. දැනටමත් විවිධ මට්ටම්වලදී අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, මව්පිය සංගම්, ශිෂ්‍ය ව්‍යාපාර ඇතුළු සියලුම බලවේග එකට එකතු වී මෙය පරාජය කළ යුතුයි. ඒ සටනේ පෙරමුණේම ජනතා විමුක්ති පෙරමුණත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයත් ඉන්න බව අපි අවධාරණය කරනවා.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහත්වරුද එක්වූහ.
මෙහිදී තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රත්නායක මහතා මෙසේ පැවසීය.
ආණ්ඩුව දැනටමත් රුපියල් 92කට අලෙවි කරන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 45ක් බදු ගන්නවා. මේ විදිහට සෑම ඉන්ධනයකින්ම 45%, 35%, 50%වැනි ප්‍රමාණයන්ගෙන් බදු අය කරනවා. ලෝක වෙළඳපළේ තෙල් මිල වැඩි වුණත් ඒ බදු අඩු කළා නම් ජනතාවට බරක් නොවන ලෙස තෙල් මිල පවත්වා ගෙනයාමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා. එහෙත් මේ ආණ්ඩුව ජනතාව මත සියලු බදුබර පටවමින් සිටිනවා. එයට එරෙහිව පෙරට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.