පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ අජිත් රෝහණ
- වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්තා. ඒත් බැරිව ගියා.
- අවුරුදු 23 දී මාව වඳුරඹ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළා. ඒ වෙනකොට ලංකාවේ ළාබාලතම පොලිස් ස්ථානාධිපති මමයි
- මගේ ජීවිතයේදී තුන් පාරක් මරණයෙන් බේරිලා තියෙනවා.
- පොලිස් රාජකාරියේ සිටියදීම නීතිඥ විභාගය ලිව්වා.
මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ.
පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස් ලොක්කන් බහුතරයකගේ ද ගෞරවයට ප්‍රසාදයට පාත්‍රවී සිටින්නේ ඔහුය.
සිත් සතන් ඇද බැඳ ගන්නාසුලු කතා බහ හා හඬ පෞරුෂය ඔහුටම ආවේණික වූවෙකි. ඔහු කරන කතා බහ දේශන පැය ගණනක් වුවද ආයාසයකින් තොරව අසා සිටිය හැකි බව තතු දන්නෝ පවසති.
ඔහු වෙන කවුරුවත් නොව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාය. පොලිස් නීති කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුය.
වර්තමානයේ ජනප්‍රියතම පොලිස් නිලධාරියා ලෙස සැලකෙන අජිත් රෝහණ මහතාගේ කඩවසම් පෙනුමද ඒ සඳහා යම් පිටිවහලක් වී ඇති බව මට හැඟේ.
කොරෝනා වයිරසය මැඩලීම පිළිබඳ කරුණු කාරණා අපූරුවට පහදා දෙමින් අජිත් රෝහණ මහතා සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙතැන් සිට පෙළ ගැසෙන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග කළ කතා බහය.
ප්‍රශ්නය:- ඔබේ ගම් පළාත හා මව්පියන්ගෙන් මේ කතාබහ ආරම්භ කරමු නේද?
පිළිතුර:- මගේ උපන් ගම කොස්ගම කනන්පැල්ල. අම්මා පුංචි මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ. ඇය ගෘහණියක්. තාත්තා එඩ්වින් කොස්වින්න. ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක්. මම පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නෙක් හා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.
ප්‍රශ්නය:-ඔබේ පාසල් සමයේ තොරතුරු මොනවාද?
පිළිතුර:- මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කනන්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට වඩා වැඩි අවධානයක් යොමු කළේ ඉගෙනීමේ කටයුතු වලට. වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන තමා ඉගෙන ගත්තේ. ඒත් බැරිව ගියා. පොලිස් සේවය තෝරාගත්තේ ඉන් පසුවයි.
ප්‍රශ්නය:-පොලිස් ජිවිතයේ මුල් කාලය ගතවුණේ කොහොමද?
පිළිතුර:- මම පොලිසියට බැඳෙන්න විශේෂ හේතුවක් තිබුණේ නැහැ. හැබැයි ලොකු ආසාවක් තිබුණා. ඒ අනුව මම 1989 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණා. පුහුණුවීම් වලින් පස්සේ මට මුල්ම පත්වීම ලැබුණේ තංගල්ල මුලස්ථාන පොලිසියට. ඊට පස්සේ තිස්සමහාරාම ලුණුගම්වෙහෙර පොලිස් වසම්වල රාජකාරි කළා. ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු වූ මගේ සේවය ස්ථිර කරන්න වසර 03 ක කාලයක් ගත වෙනවා. නමුත් ආධුනික කාලය තුළදීම මාව ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත්කළා. ඒ වෙනකොට මගේ සේවා කාලය අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 23 ක් වෙනවා. මම තමා ඒ වෙනකොට හිටිය ළාබාලතම පොලිස් ස්ථානාධිපතිවරයා.
ප්‍රශ්නය:- පොලිස් රාජකාරි ජිවිතයේදී අදටත් අමතක නොවන සිද්ධීන් එහෙම ඇති නේද?
පිළිතුර:- අපොයි ඔව්. තුන් වතාවක් යන්තම් මරණයෙන් බේරුණු කෙනෙක්.
එක් සිද්ධියක් වුණා 2000 වසරේ මම එරාවුර් සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරන වකවානුවේ. එම වසරේ සැප්තැම්බර් මාසයේ 30 වැනිදා මම ආරක්ෂක රිය පෙළකින් මා ඇතුළු නිලධාරින් කණ්‍ඩායමක් සමග ගමන් කරමින් සිටියා. වාහනයේ රේඩියෝ එකෙන් සින්දුවක් අහගෙන තමා අපි ගියේ. කැසට් යන්ත්‍රය හදිසියේ අක්‍රියවීම නිසා මම එ් ජීප් එකෙන් බැහැලා ගිහින් මගේ පිටුපසින් ආ ජීප් එකට නැග්ගේ ඒ සින්දුව අහන්න තිබුණ ආශාව නිසා. ඒ ජීප් එකට නැගලා රේඩියෝ එක දාගෙන සින්දුව අහන්න පටන් ගත්තා විතරයි. අපේ වාහන පේළියට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. අපිත් දැඩි ප්‍රති ප්‍රහාර එල්ල කළා. අපේ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ මියගිය හා තුවාල ලැබූ සගයන් ඔසවාගෙන පලා ගියා. අපිත් එක්ක ගිය පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගියා. තවත් 13 කට තුවාල සිද්ධ වුණා. කලින් ගිය ජීප් එකේ හිටියා නම් මගේ ජීවිතයටත් ලොකු අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා.
ඊළඟ සිද්ධිය වුණේ වසර 6 කට පසුවයි.
2006 වසරේ මම දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ පොලිස් උපදේශකවරයා ලෙස සේවය කළා. විභාගයකට සුදානම් වෙන්න නිවාඩුවක් අරගෙන ලංකාවට එන්න සූදානම් වෙලා හිටියත් ගුවන් තොටුපළේදි ගිනි නිවන රථය අක්‍රියවී තිබුණා. ඒ හින්දා යානා ඒ ගුවන් තොටුපොළට ගොඩ බැස්සුවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ හිටිය මගීන් හෙලිකොප්ටරයකින් වෙනත් ගුවන් තොටුපළකට අරගෙන යන්න කටයුතු යොදා තිබුණා. මම හෙලිකොප්ටරයට තුන් වතාවක් ගොඩවුණා. ඒ තුන් වතාවේම වෙනත් නිලධාරීන්ට ඉඩ දෙන්න ඕනි කියා මාව බිමට බැස්සුවා. බැරිම තැන මම නවාතැන්පොළට ආවා. නවාතැන් පොළට ඇවිත් වැඩි වේලාවක් ගියේ නැහැ මට පණිවිඩයක් ආවා අර හෙලිකොප්ටරය කඩා වැටිලා ඒකෙ ගිය 24 දෙනාම මිය ගිහින් කියලා.
මේක දෛවයේ හාස්කමක් වෙන්න ඇති. තුන් වැනි මරණීය අත්දැකීම වුණේ 2009 දීයි.
මා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් 2009 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ හයිටි රාජ්‍යයට යාමට සූදානමින් සිටියා. එවකට හිටිය පොලිස්පතිවරයා එක් වරක් ගිහින් ආව නිසා ආපසු යන්න දෙන්න බැහැ කියා තරයේම කිව්වා. ඒ නිසා අපිට යන්න බැරිව ගියා. අපි හයිටි රාජ්‍යයේ ඉන්න තිබුණ දවසේ භූමිකම්පාවක් ඇති වෙලා දහස් ගණනක් මිය ගියා. එක්සත් ජාතීන්ගේ නිලධාරින් ලැගුම් ගන්නා හයිටි අගනුවර හෝටලය භූමි කම්පාව නිසා බිමට සමතලා වෙලා හෝටලයේ හිටිය 800 ක් විතර මිය ගියා.
ප්‍රශ්නය:- පොලිස් සේවයට එක්වූ ඔබ නීතිඥවරයෙකුවීමේ කතාව කියන්න.
පිළිතුර:- පොලිස් නිලධාරියකුට නීතිය ගැන දැනුමත් තිබිය යුතුයි. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නීතිය ගැන අපට යම් අවබෝධයක් ලබාදෙනවා. එතැනින් එහාටත් නීතිය ගැන හදාරන්න මට ලොකු ආශාවක් ඒවෙනකොට ඇති වෙලා තිබුණා. එ් අනුව විවෘත විශ්වවිද්‍යාලයෙන් හා කොළඹ නීති පීඨයෙන් නීතිය හැදෑරුවා. 2018 වසරේ මම නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.
ප්‍රශ්නය:- ඔබ එක්වරම නීති විභාගය සමත් වුණේ නැද්ද?
පිළිතුර:- ඔව් මම දස වතාවක් නීති විභාගයට ලියලා තමා පාස් වුණේ. පොලිස් රාජකාරියේ අවිවේකී බව මේ සඳහා බලපෑවා. අවසන් වතාවේ මම ඉහළින් සමත් වුණා. නීතිය පිළිබඳව හසල දැනුමක් තිබීම පොලිස් රාජකාරි කටයුතුවලට ලොකු පිටිවහලක් වෙනවා.
පොලිසිය වෙනුවෙන් නීතිඥවරයෙක් ලෙස මම අධිකරණවල පෙනී සිටි අවස්ථා ඕනෑතරම් තිබෙනවා.
ප්‍රශ්නය:-ඔබ විදෙස් පාඨමාලා එහෙම හදාරා ඇති
පිළිතුර:- ඔව්, මම විදෙස් පාඨමාලා රැසක් හදාරා තිබෙනවා. රටවල් 40 කට පමණ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ගොස් තිබෙනවා. හයිටි හා සුඩාන් රාජ්‍යවල එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ උපදේශකයෙක් ලෙස සේවය කළා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් විදෙස් රටකට ගිය අවස්ථාවකදී ඔබ ඇගැයීම්වලට ලක්වී තිබෙනවාද?
පිළිතුර:- රටවල් 17 ක පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2003 වසරේ ප්‍රජා පොලිස් සේවාව ගැන සිංගප්පූරුවේදී සමුළුවක් පැවැත්වුණා. ඒ සමුළුවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් මම හා ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහත්තයා සහභාගිවුණා. එහිදී අපේ ප්‍රජා පොලිස් සේවාව ගැන දේශනයක් කළා. සමුළුවට සහභාගි වූ රටවල් 17 පොලිස් නිලධාරීන් ද ඔවුන්ගේ රටවල ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සේවය ගැන දේශනයක් කළා. ඒ සියලු දෙනා පරදවා මම ප්‍රථමයා වුණා. ඒ වෙනුවෙන් මාව විශේෂ ඇගයීමකට ලක්කර සම්මානයක් සහතිකයක් පිරිනැමුවා. ඒ විතරක් නෙමේ මට සිංගප්පූරුවේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් දේශනයක්ද පැවැත්වීමට අවස්ථාව හිමි වුණා. රටවල් 17 පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමා මම මේ දේශනය සිංගප්පූරුවේ බලධාරීන් මට ආරාධනය කළේ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යටතේ මම හයිටි රාජ්‍යයේ සේවය කිරීමට ගියා. ඒ රටේ භාෂාව CRIOC මම ඒ භාෂාව මාස තුනකින් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම හයිටි රාජ්‍යයේ පොලිස් නිලධාරීන්ට ඉගැන්නුවා. සාම සාධක කාර්යයන් සඳහා වෙනත් රටවලින් පැමිණ සිටි පොලිස් නිලධාරීන් සුදු ජාතික පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් මට ඊර්ෂ්‍යා කළා. අපේ රටේදී වාගේ මට ඒ නිලධාරීන්ගෙන්ද කැපිලි කෙටිලි ආවා. මම ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මගේ වැඩේ මම දිගටම කරගෙන ගියා.
ප්‍රශ්නය:-ඔබ දක්ෂ කථිකයෙක්. බොහොම හොඳට භාෂාව හසුරුවනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ හැකියාව ඔබට ලැබුණේ කොහොමද?
පිළිතුර:- තාත්තා උදේ වැඩට යන්න කලින් එදා රෑට කතා කරන්න ඕනෑ මාතෘකාවක් දීලා යන පුරුද්දක් තිබුණා. මම ඒ මාතෘකාවට අදාළව කතා කරන්න ඕනෑ. තොරතුරු කොහොම හරි සොයා ගන්නවා. ඒ කාලේ අද වගේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ගුරුවර ගුරුවරියන්ගෙන් අහලා පොත පත කියවා අවශ්‍ය තොරතුරු සොයා ගන්නවා. ඇඳ උඩට නගිනවා. කෝටුවට හිස් ටින් එකක් සවි කර ගන්නවා. එ් තමා මයික් එක. තාත්තා දුන්නු මාතෘකාවට අදාළව මම කතා කරනවා. අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ඇඳ ළඟට වෙලා මගේ කතාව අහගෙන ඉන්නවා.
මගේ කතාව හොඳට කළා නම් කට්ටිය එකතු වෙලා අත්පොළසන් හඬ දෙනවා. මට ලොසින්ජර් එහෙම දෙනවා. ඊට පස්සේ තමා රෑට නිදා ගන්න යන්නේ. තාත්තා නිසා තමා මම ඔබ කියන ආකාරයට මගේ කථිකත්වය දියුණු කරගන්න ලැබුණෙ මගේ කතා හැකියාව දහම් පාසලෙන් තවත් ඔප මට්ටම් කරගත්තා.
ප්‍රශ්නය:- ඔබ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ සමය ගැනත් සිහිපත් කරනවානම්
පිළිතුර:- මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන කාලයේ දවසක් දුර කථන ඇමතුම් 400 කට විතර පිළිතුරු දුන්නා. ඒ වාගේම දවසකට වොයිස් කට් 60 ක් විතර ලබා දී තිබෙනවා. ඒ කාලයේ හැමදාම පාන්දර 5.30 වෙනකොට අවදි වෙනවා. දැන් කොරෝනා වෛරසය ගැන කතා කරන්න තියෙන නිසා දැන්නම් අලුයම 4.30 ට විතර අවදි වෙනවා. රෑ කීයට ගෙදර ආවත් පොතක් කියවා නිදා ගැනීමේ පුරුද්ද මට තිබෙනවා.
ප්‍රශ්නය:-දවසකට දුරකථන ඇමතුම් කොතෙක් ආවත් ඔබ ඒ සෑම ඇමතුමකටම බොහොම සංයමයකින් පිළිතුරු දෙනවා. නුරුස්සන ගතියකින් කතා කරන්නේ නැහැ. මෙසේ සංයමයකින් කතා කරන්න ඔබ පුරුදු වුණේ කොහොමද?
පිළිතුර:- හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්තයා ගෙන් තමා ඒ ආත්ම සංයමය මම ලබා ගත්තේ. ඔහුගෙන් මා ලබාගත් පාඩම් කියා නිම කරන්න බැහැ. ප්‍රශ්නවලට කල්පනාකාරීව උත්තර ලබාදීම ඕනෑම අභියෝගයකට මුහුණදීමට මට හැකියාව මා ඔහු ඇසුරෙන් ලැබුණු පාඩම් අතරින් කිහිපයක්.
ප්‍රශ්නය:- ඔබගේ දියණිය විදෙස්ගතව වෛද්‍ය අධ්‍යාපනය ලබනවා. අැය මෙරටට ගෙන්වාගෙන නිරෝධායනයට ලක් නොකර කටුනායක ඉඳලා කෙළින්ම ගෙදර එක්කගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.
පිළිතුර:- මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මගේ දුව තවමත් ඒ රටේ වෛද්‍ය විද්‍යාව හදාරනවා.
ප්‍රශ්නය:-සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පලවී තිබූ මේ පුවත දැකීමෙන් ඔබ පත්වුණේ කුමන තත්ත්වයකටද?
පිළිතුර:- ඒ කතාව සම්පූර්ණ ගොතන ලද කතාවක් නිසා මම ඒ ගැන කිසිම ලෙසකින් සැලුණේ නැහැ.
බොහෝ ඒවා මට දරාගන්න පුළුවනි. නමුත් දරුවන්ට බැහැ. මේ කතාව දැකලා දුව මට කතා කළා. ඊට පස්සේ තමා ඇය ඒ රටේ ඉඳලා සමාජ ජාලාවලට වීඩියෝවක් නිකුත් කළේ. මේ වගේ පට්ටපල් බොරු ගොතලා දරුවන් අපසුතාවට පත් කරන්න එපා කියලා ඔවුන්ට කියනවා.
ප්‍රශ්නය:-එ් වගේම ඔබට ආදරය කරන අයත් බොහෝම ඇති. ඔබගේ ප්‍රථම ප්‍රේමය ගැන කතා කළොත්
පිළිතුර:- මගේ ප්‍රථම ප්‍රේමය සුනේත්‍රා වීරක්කොඩි. ඒ වෙන කවුරුවත් නොවේ මගේ සදාදරණීය බිරිඳ.
යෝජනාවකින් පසුව ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් ඇය විවාහ කර ගත්තා.
ප්‍රශ්නය:- ජනප්‍රියත්වයෙන් හිනි පෙත්තේ ඉන්න මේ කාලේ ඔබට කාන්තා ආකර්ෂණය එහෙම වෙනදාට වඩා ඇති
පිළිතුර:- ඔව් මට කාන්තාවන්ගෙන් නිතර දුරකථන ඇමතුම් ලැබෙනවා. පණිවිඩ ලැබෙනවා. මම ඒවාට උත්තර දෙනවා. කතා කරනවා. එතැනින් එහාට මට බලපෑමක් වෙන තරමට ඒවා දුරදිග යන්න ඉඩ තියන්නේ නැහැ. මොකද කියනවා නම් මම වගකිව යුතු පොලිස් නිලධාරියෙක්. ඒ විතරක්ම නොවේ, සැමියෙක්, පියෙක්. ඒ භූමිකාව මම හොඳට හදාගෙන තිබෙනවා. මගේ ගෞරවය පවුලේ ගෞරවය වගේම පොලිසියේ ගෞරවය රැකෙන ආකාරයට තමා මම හැම වෙලාවෙම කටයුතු කරන්නේ.
ප්‍රශ්නය:- ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද?
පිළිතුර:- වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් ලැබෙන සහයෝගය ඉතාම අගය කරනවා. පොලිස්පතිවරයාගෙන් නිතර ලැබෙන උපදෙස් හා මග පෙන්වීම මගේ රාජකාරි දිවියට ලොකු රුකුලක්. එතුමා ගැන මේ අවස්ථාවේ ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරනවා. පොලිසියට මම ආදරෙයි. පොලිසිය වෙනුවෙන් මින් ඉදිරියටත් ලොකු කැපවීමකින් වැඩ කරනවා.
සංවාද සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය