කොළඹින් දියවන්නාවට තරග කරන කාන්තාවෝ




1978 ව්‍යවස්ථාවට හා පසුව සිදුකෙරැණු සංශෝධනවලට අනුකූලව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. එකී ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට යටත්ව වර්තමාන ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය අවසාන වීමත් සමග - 16 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර, 17 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබේ. 

17 වන පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වන දා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.  මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් නාමයෝජනා පත්‍ර භාර දුන් අතර, ඉන් පිළිගනු ලැබූවේ නාමයෝජනා පත්‍ර 616ක් පමණි. එහිදී  පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය. ඒ අනුව අපේක්ෂකයෝ 8352ක් පමණ මෙවර මහමැතිවරණයට මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා තරග කරති.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය වේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට. වසර 05ක කාලයක් සඳහා සර්ව ජන ඡන්දයෙනි. මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 දෙනෙකු බහු මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22කින් තෝරා ගැනෙන අතර ඉතිරි මන්ත්‍රීවරු 29 දෙනා ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා ජාතික ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ජාතික ලැයිස්තුවෙන් තෝරා ගනු ලබති. 

ජර්මනියේ ඩොයිෂේ වෙල් විසින් සිදු කරන ලද පරීක්ෂණයටකට අනුව ලංකාවේ ජනගහනයෙන් 50.7%ක් කාන්තාවන් වුවත්, පසුගිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් වශයෙන් 5.33%ක් පමණක් වූ අතර, ශ්‍රී ලංකාවට වඩා අඩු ප්‍රතිශතයන් තිබූ අනෙකකුත් ආසියාතික රටවල් දෙක වූයේ ඇෆ්ගනිස්ථානය හා භූතානයයි. එසේම ආසියාවේ රටවල කැබිනට් ඇමතිවරියන් ගණනය කරන විට, ශ්‍රී ලංකාව ඩොයිෂේ වෙල් ලැයිස්තුවට ඇතුළත් නොවේ.

මීට අමතරව සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයේ දී එකදු කාන්තාවක්වත් ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ලෙස කිසිම පක්ෂයකින් හෝ ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් නොවීමත්, කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති සීමිත  ඉඩහසර  මනාව  නිරූපණය කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පසුගිය දශක කිහිපය පුරා ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කලද, එය කිසි විටක ප්‍රතිශතාත්මකව 6.5% ඉක්මවා ගොස් නැත.

ඇතැම් දේශපාලන විචාරකයින් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණය හරහා සිදු විය හැකි බවට මත පළ කරති. මෙවර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් කාන්තා නියෝජිතයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ප්‍රධාන පක්ෂ කිහිපයක කාන්තා නියෝජනය සිදුව ඇත්තේ මෙසේය.  

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නාමයෝජනා 21ක් භාර දී ඇති අතර පාර්ලිමේන්තුවට තරග කරන කාන්තා නියෝජිතයින් පහකි. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වර්තමාන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සමන්මලී ගුණසිංහ, කෞශල්‍යා ආරියරත්න, චාමිණි ගුණසේකර, ව්‍රායි කැලි බල්තසාර් තරග කෙරේ.

වර්තමාන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තු දේශපාලනයට එක්වන්නේ 2020 වසරේදී ය. ඒ වන විට ඇය ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරි සාමාජිකාවක් විය. 

2020 මහමැතිවරණයේ දී ජාතික ජනබලවේගය හිමිකර ගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමි වූයේ ආචාර්ය හරිනිට ය. එදා බොහෝ දෙනා ඇයගේ මේ පත්කිරීම අගය කළ අතර, එතැන් සිට මෙරට බොහෝ දෙනා අතර මේ කාන්තා චරිතය ප්‍රකට වන්නට විය. එදා සිට මේ දක්වාම ඇය පක්ෂය තුළ මෙන්ම පක්ෂ වේදිකාවේ ද ජනතාව අතර නොමැකෙන චරිතයක් බවට පත්විය. 3%ක ඡන්ද පදනම 42%ක් දක්වා ගෙන එමින් පක්ෂයේ නායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට විශාල ශක්තියක් ලබා දෙන ලදී. විශේෂයෙන් කාන්තාවන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී කරගන්නට ඇය සමත් වූවාය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ දී පක්ෂය සහ පාක්ෂිකයන් වෙනුවෙන් හඬ නැඟු‍වා පමණක් නොව, පක්ෂය නව මාවතකට ප්‍රවේශ කිරීමේ කර්තව්‍යයට නොසැලෙන ශක්තියක් වෙමින් පාර්ලිමේන්තුව තුළ සිය හඬ අවදි කරවන්නට සමත් වූවාය.

හරිනි අමරසූරිය එදා සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුළ කැපී පෙනෙන මන්ත්‍රීවරියක් විය. ඉතා හොඳ පාර්ලිමේන්තු සහභාගිත්වයක් පෙන්නුම් කරමින් එම කාලය තුළ පාර්ලිමේන්තුව පැවැත්වූ දින 389න් දින 269ක්ම ඇය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී ඇත. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියක් යන භූමිකාවට සහ සිය පක්ෂයේ කටයුතුවලට පමණක් සීමා නොවී, පාර්ලිමේන්තුව තුළ විවිධ අධීක්ෂණ හා කාරක සභා රාශියක ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසද කටයුතු කළාය. 

විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විශේෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මෙන්ම අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සඳහා ආචාර්ය හරිනි අමරසූරිය සිය මැදිහත් වීම වසර 4 ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රශංසනීය ආකාරයෙන් ලබා දී ඇත. 

කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන්  නාමයෝජනා 21ක් භාර දී ඇති අතර, එහි සිටිනුයේ එක් කාන්තා අපේක්ෂිකාවක් පමණි. ඒ රන්නුළු චන්ද්‍රිකා කුසුම්ලතා  ද සොයිසා ය.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමයෝජනා 21ක් භාර දී ඇති අතර, එහි කාන්තා නියෝජනයන් 4කි. ඒ ප්‍රියංකා ජයසේකර, රුවන්ති මංගලා, මුස්තාපා ෂාරීනා, නේරංජනා රත්නායක යන අයයි. රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගලා   මීට පෙර 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මැතිවරණ කොට්ඨාසයෙන් තරග වැදුණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු කොළඹ දිස්ත්‍රික්කය සඳහා - හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, ජගත් කුමාර,  ගාමිණි තිලකසිරි,  ඇතුළු 21 දෙනෙකුගේ නම් සමගි ජන බලවේග ලැයිස්තුවේ ඇති අතර,  එහි කාන්තා නම් දෙකකි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දීපිකා සඳමාලි අප්සාරි සිංහබාහු ඒ නම් දෙකයි.

මෙවර අපේක්ෂකයන් තෝරාගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් පැවති බවත්, කාන්තාවන් වෙනුවෙන්ද වැඩි ඉඩක් වෙන් කර ඇති බවත්, ඉදිරි පළාත්සභා  හා පළාත් පාලන මැතිවරණයේ දී කාන්තාවන්ට සියයට 25ක වෙන් කිරීමක් සිදුකිරීමට කටයුතු කරන බවත්, නාමයෝජනා භාර දෙමින් සජිත් ප්‍රේමදාස  ප්‍රකාශ කළේය. 

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්තාවකට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190ක කාන්තා නියෝජනය සළකා බැලීමේ දී ශ්‍රී ලංකාව සිටින්නේ 176වන ස්ථානයේ ය.  එහෙයින් මෙරට නීති සම්පාදනය සඳහා බලය හිමි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂකයින් විශාල පිරිසක් පිල් බෙදී තරග කෙරේ. 

පසුදිනෙක දියවන්නාවට තෝරාපත් කරගත් පිරිස් සම්බන්ධයෙන් දෙස් දෙවොල් තියනවාට වඩා ජනතා පරමාධිපත්‍යයේ බලය වටහා ගෙන නිවැරදි කෙනෙකු තෝරාගැනීමට කතිරය ගැසිය යුතු කාලය එළඹ තිබේ. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කරගැනීමට නම් රැල්ලට එන තරු නොව උගත්, බුද්ධිමත් කාන්තාවන් පත්කර ගැනීම ජනතාව සතු යුතුකමකි. 


  • මනීෂා වීරසිංහ