ගම්සභා කාලයේ ඡන්දෙ කරපු හැටි


ජනාධිපතිවරණයක් අත ළඟට පැමිණ තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මෙතෙක් ජනාධිපතිවරණ අටක දී ජනතාව විසින් සිය ඡන්ද අයිතියේ පරමාධිපත්‍ය බලය පෙන්වා තිබේ. ඡන්දය යනු මනාපයයි. මැතිවරණයක දී කැමැත්ත ප්‍රකාශ කිරීමට මෙසිරිලක වැසියන් තරම් උනන්දු වෙන වෙනත් කවර හෝ ජාතියක් මේ මිහිපිට නැති තරම්ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව එතෙක් මෙතෙක් මෙරට වැසියෝ විවිධාකාර මැතිවරණ ඔස්සේ හතළිස් තුන්වතාවක දී සිය කැමැත්ත ප්‍රකාශ කර සිටිති. 
1947 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදා පැවැති මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අවසන් වරට 2020 වසරේ අගොස්තු 05 වැනිදාවක අවසන් වරට පැවැත් වූ මහ මැතිවරණය දක්වා අවස්ථා 17 ක දී මෙරට ජනතාව පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර යැවීම උදෙසා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. ඊට මත්තෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් පත්කර යැවීම සඳහා 1931 වසරේ ජුනි මස 13 වැනිදා සහ 1936 වර්ෂයේ පෙබරවාරි 26 වැනිදා මහමැතිවරණ පවත්වා තිබේ. ඒ අතර වාරයේ 1988 වර්ෂයේ දී හඳුන්වා දුන් පළාත් සභා සඳහා නියෝජිතයන් පත්කර යැවීම වෙනුවෙන් පළාත් සභා මැතිවරණ හතකදී ද, 1991 වර්ෂයේ පටන් පළාත් පාලන ආයතන සඳහා අවස්ථා 08 කදී ද නියෝජිතයන් තෝරා පත්කර යැවීම සඳහා මෙරට ජනතාව සිය ඡන්ද අයිතිය භාවිත කර ඇත. එමෙන්ම මෙරට මෙතෙක් පවත්වා ඇති එකම ජනමත විචාරණය සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 1982 වසරේදීය. 


මේ හැම අතරේ අදත් මෙරට වැඩිහිටියන් සිහිපත් කරන “ගම්සභා” ක්‍රමය ද අමතක කළ හැකි නොවේ. ගැමියන් විසින් ගම පාලනය කළ ගම්සභාවේ රස මුසු තැන් තවමත් සිහිපත් කරන ගැමියෝ අදත් මෙරට ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වෙති. එදා මෙදාතුර මෙරට අතීත ඡන්ද කෙරුවාව පිළිබඳව නුවර කලාවියේ වියපත් ගැමියන් කිහිප දෙනෙකු මතු කළ අතීත මතක මෙතැන් සිට පෙළගස්වමු. 
කැකිරාව, අලගොල්ලෑව ගමේ දිවි ගෙවන ජීවන මගෙහි 76 වැනි වියට පා තැබූ සිරිල් සමරකෝන් ගී පද රචකයෙකු, සාහිත්‍යවේදියෙකු කවියෙකු ලෙස ප්‍රකටය. විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන “කැරකෙන රෝදේ පුංචි කරත්තේ” ගීත රචකයා ඔහුය. එදා මෙදා මෙරට ඡන්ද මතකය ගැන ඔහුගේ රසවත් මතකය මෙසේ දිග හැරියේය.
 “ඉස්සර ගම් කීපයක් තමයි ගම් සභාවෙන් පාලනය වුණේ. පාලනය වුණා කිව්වට පොඩි පොඩි සංවර්ධන වැඩ තමයි ගම් සභාවෙන් කෙරුවේ. හැබැයි ඉතින් මිනිස්සුන්ට හරි ලේසියි. ගමේ පාරක්, ඇළ වේල්ලක් කැඩුණත් ගම්සභාවට තමයි කිව්වේ. සමහර තැන්වල ඔය වීදි ලාම්පු දානවා වගේ වැඩ කෙරුවෙත් ගම්සභාවෙන්. හරි සරලයි. ගම් සභාවට තේරී පත්වන අයට කිව්වේ මැම්බර්ලා කියලා. මැම්බර් මහත්තුරු නිතර ගමේ දී මුණගැහුණු හින්දා වැඩ හරි පහසු වුණා.”
මෙරට සාම්ප්‍රදායික ගම කේන්ද්‍ර කර පැවැති ගම්සභාවේ ප්‍රධානියා වූයේ මැම්බර් මහත්වරුන්ගේ ඡන්දයෙන් තේරී පත්වන සභාපතිවරයාය. ගම් සභාවේ ප්‍රධානියා පත් කළ අන්දම පිළිබඳව ද ඔහු රසවත් තොරතුරු පෙළක් මෙසේ පැවසුවේය.
 “ගම් සභාවට සභාපති තේරුවේ පක්ෂ, විපක්ෂ භේදයක් නැතිව. ගම්වල අයගේ ඡන්දයෙන් මැම්බර් මහත්වරු පත් වෙනවා. මැම්බර් මහත්වරුන්ගේ ඡන්දයෙන් සභාපති තෝරනවා. පක්ෂ, විපක්ෂ භේදයක් නෑ මැම්බර්ලගේ වැඩිම ඡන්ද ගන්න කෙනා සභාපති වුණා. සභාපති තෝරද්දී වෙච්චි හොඳ හොඳ සිද්ධි තියෙනවා. සභාපති ඡන්දෙට කලින් දවසේ සභාපති වෙන්ඩ ඡන්දේ ඉල්ලන අය මැම්බර් මහත්වරුන් එයාලගේ ගෙදර එක්කගෙන ගිහිල්ලා රෑට කන්ඩ, බොන්ඩ දීලා නවත්ත ගන්නවා. උදේට ගම් සභාවට එක්කගෙන යනවා. එතකොට ඉතින් කන්ඩ, බොන්ඩ දුන්න මනුස්සයාට ඡන්දේ දීලා තියෙනවා. ඒත් කවදාවත් ගහමරා ගත්තේ නෑ. ඇත්තටම ඒ කාලේ ගම් සභාවේ මැම්බර් මහත්තයා කියන්නේ ගරු ගාම්භීර කෙනෙක්.”


අතීතයේ ඡන්ද පැවැත් වූ අන්දමත් ජය සැමරූ ආකාරය පිළිබඳවත් මතක රැසකි. ඒ පිළිබඳ මතකය දිගහැරියේ තලාව කරගහවැව වැඩිහිටියෙකු වෙන චන්ද්‍රකුමාරය. අද මෙන් පෙළපාළි පැවැත්වීමක් හෝ මතින් මත්වී ජය සැමරීමක් හෝ එවක ගැමියන්ගේ ජීවන සම්ප්‍රදාය තුළ නොතිබුණු බව ඔහුට හොඳින් මතකය. යාන වාහන, දැසි දස්සන් පිරිවරා ජනතා නියෝජිතයන් ගම්වලට ආ වගක් ඔහුට මතක නැත. කලක් ග්‍රාම නිලධාරිවරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම සුවයෙන් දිවිගෙවන ඔහු මෙසේ සිහිපත් කළේය.
 “ඉස්සර තිබ්බ ඡන්ද ක්‍රමයේ හැටියට ආසනයට පත් වෙන්නේ එක මන්ත්‍රී කෙනෙක් විතරයි. ඒ කාලේ ඡන්ද දිනුවට පස්සේ මහ ලොකු උත්සව තිබුණෙ නෑ. පැරදිච්ච අයට ගහන්ඩ ආවෙත් නෑ. ඉස්සර මිනිසුන් ඡන්ද ප්‍රතිඵල ඇහැව්වෙත් ගෙවල්වලට එකතු වෙලා රේඩියෝ එකෙන්. මුළු ගමටම ඉස්සර තිබ්බේ රේඩියෝ එකක් දෙකක් විතරයි. මට මතකයි ඒ කාලේ අපේ ගමටම රේඩියෝ එකක් තිබ්බේ අපේ ගෙදර විතරයි. ඡන්ද දවසට හැමෝම එනවා අපේ ගෙදරට. දිනන අය සතුට ප්‍රකාශ කරන්න කරපු එකම දේ තමයි හූ කියපු එක. දිනුවට පස්සේ මිනිස්සු මන්ත්‍රී හම්බ වෙලා කතා කරලා සතුට ප්‍රකාශ කරලා එනවා. ඊට පස්සේ මිනිස්සු සුපුරුදු පරිදි තමන්ගේ වැඩවලට යොමු වුණා. ඉස්සර මන්ත්‍රීවරු ගමට එද්දි ආරක්ෂාවට කියලා මිනිස්සු මහ ගොඩක් ආවෙත් නෑ. වාහන දහපහළොවක් ආවෙත් නෑ. ගොඩක් වෙලාවට තනියම තමයි ආවේ. ඒ මිනිස්සු හරි සරලයි. එක ආසනේක විතරක් ඡන්ද කරන්ඩ තිබ්බ හින්දා ලොකු වියදමකුත් නෑ.”
එවක දේශපාලනය සේම රාජ්‍ය සේවය පිළිබඳව ද චන්ද්‍ර කුමාර මහතාගේ සිතෙහි ඇත්තේ ගෞරවය මුසුවූ හැඟීමකි. දේශපාලනඥයන්ගේ සාක්කුවට නොවැටී ජනතාව උදෙසා වැඩ කළ නිලධාරීන් පිළිබඳව ඔහුගේ මතකය මෙසේය.
“ඒ කාලේ ගම්වල සංවර්ධන වැඩවලට මුල් වුණේ අවංක නිලධාරීන්. ඇමැතිලා, මන්ත්‍රීලා ගම්වලට ඇවිල්ලා බලනවා වැඩ කෙරෙන විදිහ ගැන. නිලධාරීන් දේශපාලනේ කරන අයගේ අතවැසියන් වුණේ නෑ. නිලධාරීන් ඒ අයගේ ගෞරවය තියාගෙන වැඩ කෙරුවා. ඇත්තටම ඒ කාලේ හිටපු නිලධාරීන්ට තමන් වැඩ කරන්නේ රටට, රටේ මිනිස්සුන්ට කියන හැඟීම තිබුණා.”
රජයේ රැකියාවක් ලබාගැනීම සඳහා දේශපාලනය ප්‍රමුඛ සහ අනිවාර්ය සුදුසුකමක් වන අවස්ථා දැකිය හැකිය. අතීතයේ රාජ්‍ය සේවයේ දේශපාලන භූමිකාව කෙසේද යන්න සම්බන්ධයෙන් සිහිපත් කළේ කලක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතුව සිට දැනට විශ්‍රාමික නිලධාරියෙකු වෙන “පොඩිරත්න අංගමලේ” සාහිත්‍යවේදියාය. 
“රජයේ රස්සා ගන්න දේශපාලනය මැදිහත් වීමෙන් වුණේ සුදුස්සන් යට ගිය එක. 70 ට කලින් මට මතකයි හැම දිස්ත්‍රික්කයකම රැකීරක්ෂා කාර්යාලයක් තිබ්බා. අපි එතැනට ගිහින් ලියාපදිංචි වෙනවා. ලියාපදිංචි වුණාම අපිට කාඩ් එකක් දෙනවා. එතැනින් තමයි අපේ සුදුසුකම්වලට හරියන ඇබෑර්තු ආවහම කැඳවීම් කරන්නේ. සුදුසු නම් රස්සාව හම්බ වෙනවා. කාගෙවත් ලියුම් ඕනැ නෑ.”
ගම්සභා අතීතයෙන් උගත හැකි පාඩම් බොහෝය. අතීත පාඩම් ඉගෙනගෙන අනාගතයට පියමැනීම සාර්ථක අනාගතයකට අමිල ආයෝජනයක් වෙනු ඇත.
බුල්නෑව ප්‍රදීප් රණතුංග