ගාලු මුවදොර අරගලයේ නොකී කතාව



ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ධුරය අත්හැර දමා යන්නට සිදුවූ ගාලු‍ මුවදොර කේන්ද්‍රකරගත් ජන අරගලයේ අයිතිකරුවෝ බොහෝ දෙනෙක් වෙති. එහෙත් එහි නියම හිමිකරුවන් ගැන බොහෝ දෙනෙකුගේ කතා බහක් නැත. මේ ලිපිය ඒ ගැනය. 

 

ගාලු‍ මුවදොර අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරය ආරම්භ වන්නේ 2022 අප්‍රේල් 09 වැනිදා ය. එතැන් සිට මාස තුනක් එනම් ජූලි 09 වැනිදා තෙක් අඛණ්ඩව පැවැති සත්‍යග්‍රහයෙන් පසු කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු මර්මස්ථාන කිහිපයක් ජනතාව විසින් අත්පත් කරගැනීමෙන් පසුව ද ගාලු‍ මුවදොර විරෝධතා ස්ථානය දිගටම පැවැතිණි. විටින් විට පිරිස් ඉවත්ව ගොස් අවසානයට ගාලු‍ මුවදොර භූමියෙන් විරෝධතා නතර කර සියලු‍ දෙනා ඉවත්ව ගියේ අගෝස්තු 09 වැනිදා ය. ඒ පෙනෙන්නට තිබූ කතාවයි. අප්‍රේල් 09 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා තෙක් මාස හතර පිටුපස නොකී කතා රැසකි.

ඒ අතරතුර ගාලු‍ මුවදොරදී මෙන්ම රට පුරා ඉදිකර තිබූ ගෝඨා ගෝ ගම්වලදී විවිධ විරෝධතා වැඩසටහන් මෙන්ම අධ්‍යාපන වැඩසටහන්ද පැවැත්විණි. ගාලු‍ මුවදොරට සහභාගී වීමට නොහැකි පිරිසක් එවැනි උද්ඝෝෂණ ස්ථාන වෙත ගොස් තම දායකත්වය දැක්වීමට කටයුතු කළහ. 

 


ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපතිවරණයෙන් හැට නම ලක්ෂයක් ලබා ජනාධිපති තනතුරට පත් වන්නේ 2019 නොවැම්බර් මාසයේදීය. එතැන් සිට 2022 වසර දක්වා විවිධ හේතු මත පැවැති ජන විරෝධතා පුරවැසියන් තුළ එම පාලනය ගැන කතා බහක් ඇති කරවීමට සමත් විය. පොහොර තහනම නිසා ඇතිවූ ගොවි උද්ඝෝෂණ ඉන් ප්‍රධාන තැනක් ගනී. රට පුරා ගොවීහු පාට පක්ෂ ඉවත දමා ආණ්ඩුවේ තීරණයට එරෙහිව පාරට බැස විරෝධතා කළහ. 


හම්බන්තොට වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් කළ අඛණ්ඩ සත්‍යග්‍රහයද ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි පැවති විරෝධතා තීව්‍ර කිරීමට සමත් විය. එය අඛණ්ඩ සත්‍යග්‍රහයක් සේ පැවැති අතර රට වටා බොහෝ ප්‍රදේශවලින් ගොවි සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එම ස්ථානයට පැමිණ විවිධ ආකාරයට සහයෝගය දැක්වූහ. සිවිල් සංවිධාන අතර පවා නව පිබිදීමක් ඇති කරලීමට සූරියවැව පැවැති එම සත්‍යග්‍රහය සහ උද්ඝෝෂණ හේතු විය. 


අනතුරුව එම සටනට එක්වූයේ විශ්වවිද්‍යාල සිසුන් සහ අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති වේ. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත් කෙටුම්පතට එරෙහිවය. කොරෝනා සම්බාධක මධ්‍යයේ වුවද විශාල පිරිසක් ඊට එක්වූහ. එහි තීරණාත්මක සංධිස්ථානයක් වූයේ විරෝධතාවට සහභාගී වී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නිරෝධායන නීති රීති යටතේ බව කියමින් අත්අඩංගුවට ගෙන මුලතිව් ප්‍රදේශයේ කඳවුරක රඳවා තැබීමේ සිද්ධියයි. එම සිද්ධිය සිවිල් සංවිධාන වෙනත් වෘත්තීය සමිති සහ ගුරු ප්‍රජාව අතර යම් තැතිගැන්මක් ඇති කරන්නක් වූ අතර ඊට එරෙහිව නැඟ ආ දැවැන්ත විරෝධතාව හමුවේ දින කිහිපයකින් ඔවුන් මුදාහරිනු ලැබිණි. 

ඒ සමගම ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගුරු උද්ඝෝෂණ ආරම්භ විය. කොළඹට අමතරව රට පුරා ස්ථාන ගණනාවක ගුරු සංගම් විරෝධතා කරන්නට විය. 

මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර් යේෂණ කණ්ඩායම විසින් එක් රූපවාහිනී නාළිකාවක් පමණක් වාර්තා කරන විරෝධතා උද්ඝෝෂණ ගැන තොරතුරු රැස්කරමින් එළිදැක්වූ වාර්තාවක සඳහන් වූයේ 2021වසරේ අවසන් මාස හයේදී පමණක් උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි හැර සෙසු ප්‍රදේශවල උද්ඝෝෂණ 400කට වැඩි ප්‍රමාණයක් පැවති බවයි.  


ගාලු‍ මුවදොර අඛණ්ඩ අරගලය යනු අහඹුවක් නොවන අතර, 2020 වසරේ සිට ආණ්ඩුවට එරෙහිව වර්ධනය වෙමින් පැවැති උද්ඝෝෂණ, විරෝධතාවල එක් ප්‍රධාන සංධිස්ථානයකි. 

2022 වසරේ මුල් මාස දෙක ඇතුළතද ලංකාව පුරා විවිධ හේතු මත විරෝධතා/උද්ඝෝෂණ රැසක් පැවැත්විණි. මේ කාලයේ දී දිනයට වැඩි පැය ගණනක් විදුලිය කප්පාදු කිරීමත්, ඩොලර් අර්බුදය නිසා ඇතිවූ ගෑස් ගැටලු‍වත්, ඉන්ධන හිඟයත් හේතුවෙන් පාට පක්ෂ බේදයකින් තොරව ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි වූ වෛරය වර්ධනය වෙමින් පැවැති අතර රට පුරා පැවැති විරෝධතා නිසා එම වෛරය පිට කිරීම සඳහා සාමකාමී විරෝධතා සංවිධානය කරන තැනට පුරවැසියෝ තල්ලු‍ වූහ. 

එසේම දීර්ඝ කාලීනව සිදුවූ ණය ගැනීම් සහ එම ණය හරි හැටි කළමනාකරණය‌ නොකිරීමත්, වංචා දූෂණ සිදුවූ බවට ජනමාධ්‍ය ඔස්සේ විටින් විට කළ හෙළිදරව් කිරීමත් පුරවැසියන්ගේ සටන් පාඨ සාධාරණීකරණයට හේතුවක් විය. ආණ්ඩුවට එරෙහිව පැවැති සටන් පාඨ යනු අලු‍ත් නිර්මාණයක් නොව කාලයක් තිස්සේ මතුවෙමින් ආ විරෝධතාවල අන්තර්ගත වූ කරුණු වේ. 

2022 වසරේ දී මුල් මාස දෙකේදී රට පුරා පැවැති විරෝධතාවලට සමගාමීව 2022 මාර්තු පළමු වැනිදා කොහුවල මංසන්ධියේදී තරුණයන් පිරිසක් විසින් කරන ලද විරෝධතාව පමණක් කැපීපෙනෙන තත්ත්වයට පත්වුණේ ඊට සහභාගී වූ පිරිසට සමාජ මාධ්‍යවල තිබූ ජනප්‍රියත්වය නිසා ඇතිවූ තත්ත්වයකි. එය සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ඔස්සේද වාර්තා වීමත් සමග විවිධ තරාතිරම්වල පිරිස් ඊට එක්වූහ. එසේම ඊට සමගාමීව මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක එවැනි සාමකාමී විරෝධතා පැවැත්වෙමින් තිබිණි. සමාජ ක්‍රියාකාරිනියක වන මරීසා ද සිල්වා මෙනෙවිය මාර්තු මස පළමු සතියේ සිට තම ට්විටර් ගිණුමේ රට පුරා ඇයට වාර්තා වෙන විරෝධතා පැවැත්වෙන ස්ථාන ගැන ප්‍රසිද්ධ කළාය. විශේෂත්වය එම විරෝධතා සියල්ල සාමකාමී විරෝධතා වීමය. රට පුරා කෙතරම් විරෝධතා/උද්ඝෝෂණ පැවැතිය ද කොහුවල විරෝධතාවට සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල වැඩි ඉඩක් ලැබිණි.

මේ අතරතුරදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිල නිවස අසල කළ විරෝධතාවද එක් තීරණාත්මක සංධිස්ථානයක් සේ සැලකිය හැකිය. එහි උච්ඡතම ස්ථානය වූයේ මාර්තු පළමු වැනිදා ඇරඹි කොහුවල විරෝධයට මාසයක් පිරෙන මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස අසල පැවැති විරෝධතාවයි. එම විරෝධතාව විසිරවීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයත් සමග රට පුරා ජනතාව “ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය යටතේ සෑම නගරයක් පාසාම විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටියහ. මාර්තු 31 වැනිදා සිද්ධියෙන් පසු අප්‍රේල් පළමු වැනිදා කොළඹ ආරක්ෂාව තර කර තිබියදී තරුණ ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන එක්ව විහාරමහා දේවී උද්‍යානයෙන් ආරම්භ කරමින් කළ විරෝධතාවත්, තවත් තරුණ පිරිසක් එක්ව නිදහස් චතුරස්‍රයේ කළ විරෝධතාවක් ජනතාව අතර මතුවූ හදිසි බිය තුරන් කිරීමට හේතු විය. 

අප්‍රේල් 03 වැනිදා සෑම නගරයකම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වීමට සූදානම් කර තිබියදී අප්‍රේල් දෙවැනිදා හදිසියේ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කළේය. එය පුරවැසියන් තුළ කැකෑරෙමින් පැවැති පීඩනය තවදුරටත් වර්ධනය කරන්නක් විය. දෙවැනිදා රාත්‍රියේදී මහනුවර විරෝධතාව සංවිධානය කරමින් සිටියේ යැයි කියන අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා අත්අඩංගුවට ගැනිණ. තුන් වැනිදා උදෑසන වෙනවිට එය ළැව්ගින්නක් සේ රට පුරා පැතිරී ගොස් තිබිණි. ඇඳිරිනීති නොතකමින් මහරගමදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වන ළහිරු වීරසේකර ඇතුළු පිරිසක් පාරට බැස විරෝධතා පවත්වන දර්ශන සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍යවල සංසරණය විය. තුන් වැනිදා සවස් වෙනවිට රට පුරා ඇඳිරිනීතිය නොතකමින් විරෝධතා පැවැත්වීමට පුරවැසියෝ කටයුතු කළහ.

කොළඹ ඇතුළු සෑම තදාසන්න ප්‍රදේශයකම විරෝධතා පැවැති අතර කොළඹ උද්ඝෝෂණ කළ කණ්ඩායම් ජනාධිපතිට ඉවත් වන ලෙස බල කරමින් අප්‍රේල් 07 වැනිදා සහ 08 වැනිදා ගාලු‍ මුවදොරදීද විරෝධතා කළහ. අප්‍රේල් 09 වැනිදා සිට ගාලු‍ මුවදොර අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරය පටන් ගන්නේ ඒ අනුවය. අප්‍රේල් 09 වැනිදා රට පුරා විශාල පිරිසක් වැල නොකැඩී ගාලු‍ මුවදොර බලා එන්නට වූහ. 09 වැනිදා රැය පහන් කිරීමට කූඩාරම් ඉදි කළහ. අවසානයේ අගෝස්තු 09 වැනිදා තෙක් අඛණ්ඩව ගාලු‍මුවදොර ඇතැම් විරෝධතාකරුවන්ගේ නවාතැන්පොළද විය. 

ගාලු‍මුවදොර විරෝධතාවේ දෙවැනි දිනයේ දී ජගත් මනුවර්ණ, තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් කූඩාරම් රැසක සිටි පිරිස් සමග ආරක්ෂාව සහ වෙනත් කරුණු ගැන සාකච්ඡා කිරීම ආරම්භ කළ අතර එය අවසානයේ සෑම දිනකම පවත්වන අනිවාර්ය සාකච්ඡාවක් බවට පත්විය. 

ගාලු‍ මුවදොරට පැමිණි සියලු‍ දෙනාගේම තිබූ එකම පොදු අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීම ගැනයි. අනිත් සෑම කාරණයකටම අදාළවම බෙදීම් තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය ගැන, ජනතා පාර්ලිමේන්තුවක් ගැන, බලය බෙදීම ගැන, ජාතික ගැටලු‍ව ගැන, හොරකම් කළා යැයි කියන මුදල් නැවත ලබා ගැනීම ගැන, වංචා දූෂණවලට සම්බන්ධ පිරිස්වලට දඬුවම් ලබාදීම ගැන ඇතුළු මාතෘකා ගණනාවක් ගැන ගාලු‍ මුවදොර සාකච්ඡා ඕනෑ තරම් තිබී ඇත. ඒ සියල්ලටම පක්ෂ සහ විරුද්ධ පිරිස් සිටියහ. පෙර සඳහන් කළ පරිදි සියලු‍ දෙනාම එකඟ වූ අදහස වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීම හෝ ඉවත් කිරීම පමණි. 

අප්‍රේල් 19 රඹුක්කන වෙඩි තැබීම, අප්‍රේල් මාසයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් වැළැක්වීම සඳහා මාර්ගවල ස්ථිර මාර්ග බාධක දැමීම වැනි ක්‍රියා ආණ්ඩුව කෙරෙහි තවදුරටත් මහජන වෛරය ඇති කරමින් ජනතාව විරෝධතාවලට වැඩි වැඩියෙන් පැමිණෙන තැනට තල්ලු‍ කරන්නට හේතු විය. 

ගාලු‍ මුවදොර අඛණ්ඩ අරගලය ආරම්භ වූදා සිට විවිධ කණ්ඩායම් ඊට සහයෝගය දැක්වූහ. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ වෘත්තීය සමිති වේ. ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් රැසක් එක්ව දිගින් දිගටම සාකච්ඡා පවත්වා මැයි මස මුල රට පුරා දියත් කළ හර්තාලය ගාලු‍ මුවදොර අරගලයේ වැදගත්ම සන්ධිස්ථානයක් විය. ඊට හේතුව වූයේ මැයි මස මුල වෙනවිට පිරිස් අඩුවෙමින් පැවැති ගාලු‍ මුවදොර අරගල භූමියට නව පණක් ලබාදීමට එය සමත්වීමය. ජනතාව යළිත් ධෛර්ය සම්පන්නව විරෝධතා කරන තැනට තල්ලු‍ කිරීමට එම හර්තාල් ව්‍යාපාරය සමත් විය. 

ඉන් පසු ගාලු‍ මුවදොර අරගලයට නව පණක් ලැබුණේ මැයි නව වැනිදාය. මැයි 09 වැනිදා ගාලු‍ මුවදොරට පහර දෙන බව මැයි 08 වැනිදා බොහෝ දෙනෙක් දැන සිටියහ. ඒ ගැන අදාළ ආයතනවලට පැමිණිලි කරමින් පොලිසිවලට දැනුම් දෙමින් ගාලු‍ මුවදොර සිටි පිරිස් තවදුරටත් සාමකාමීව කටයුතු කරමින් සිටියහ. එහෙත් ඒ කිසිත් නොතකා සිදුකළ පහරදීම් අවසානයේ කෙළවර වූයේ එතෙක් සාමකාමීව කටයුතු කරමින් සිටි රට පුරා බොහෝ දෙනෙකුගේ වෛරය තවදුරටත් වැඩි කරමින් මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිබත් කරන තැනට සාමකාමී පුරවැසියන් තල්ලු‍ කරමිනි. ඒ සමග ජනතාවගේ උද්යෝගය තවදුරටත් වර්ධනය වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන තෙක් කරන අඛණ්ඩ සටනකට එම සිදුවීම හේතු විය.

ඒ අතරතුර ගාලු‍ මුවදොරදී මෙන්ම රට පුරා ඉදිකර තිබූ ගෝඨා ගෝ ගම්වලදී විවිධ විරෝධතා වැඩසටහන් මෙන්ම අධ්‍යාපන වැඩසටහන්ද පැවැත්විණි. ගාලු‍ මුවදොරට සහභාගී වීමට නොහැකි පිරිසක් එවැනි උද්ඝෝෂණ ස්ථාන වෙත ගොස් තම දායකත්වය දැක්වීමට කටයුතු කළහ. 

කෙතරම් විරෝධතා සිදුකළද ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවීම හේතුවෙන් ජූලි 09 වැනිදා කොළඹ වැටලීමට පුරවැසි කණ්ඩායම් තීන්දු කළහ. මැයි 09 ගාලු‍ මුවදොරට පහරදීමට එරෙහිව ජුනි 09 වැනිදාද විරෝධතාවක් පැවැත්විණි. ඒ නිසා 09 වැනිදා විශේෂ දිනයක් විය. ජූලි 09 සෙනසුරාදා දිනයක් වීම තවත් විශේෂත්වයක් විය.

ඒ අනුව ජූලි 09 වැනිදා කොළඹ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීම විරෝධතා කණ්ඩායම්වල අරමුණ විය. ගාලු‍ මුවදොර අඛණ්ඩ විරෝධතාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම්, ජාතික ජන බලවේගයේ කණ්ඩායම්, සමගි ජන බලවේගයේ කණ්ඩායම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් ඇතුළු විවිධ පක්ෂවලට අයත් කණ්ඩායම් තම පක්ෂයේ පාට සහ ලාංඡනය නැතිව සිටියහ. ඒ සියලු‍ කණ්ඩායම් ජූලි 09 දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට රට පුරා සිටින සියලු‍ පාර්ශ්ව වෙත ආරාධනා කළහ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ජනාධිපති මන්දිරය අසලට ගොස් කළ විරෝධතාව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ජූලි 08 වැනිදා කළ විරෝධතාවත්, එම විරෝධතාවලට පොලිසිය කළ බාධා කිරීමුත් ජනතා විරෝධය දල්වාලන්නක් විය. පොලිස්පති චන්දන වික්‍රමරත්න ජූලි 08 වැනිදා රාත්‍රියේදී මාධ්‍ය නිවේදනයකින් ඇඳිරිනීතිය පැනවීමත්, එම ඇඳිරිනීතිය නීත්‍යනුකූල නොවන බවට මානව හිමිකම් කොමිසම, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ප්‍රකාශ කිරීමත් නිසා බිය තුරන් කරගත් ජනතාව කොළඹ පැමිණීමට උනන්දු විය.

ඒ අනුව ජූලි 09 වැනිදා ගාලු‍ මුවදොර සිටි පාර්ශ්ව පවා නොසිතූ ලෙස මහ ජන ගඟක් කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය ඇතුළු මන්දිර අල්ලාගත්හ. ජූලි 22 වැනිදා ආරක්ෂක අංශ විසින් ගාලු‍ මුවදොර විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ සමග පිරිසක් ගාලු‍ මුවදොරින් පිටවී ගියහ. එහෙත් තවත් පිරිසක් රැඳී සිටියහ. එතැන් සිට අගෝස්තු 09 වැනිදා තෙක් විටින් විට පිරිස් ඉවත්ව ගිය අතර අගෝස්තු 09 වැනිදා අවසන් කණ්ඩායමත් ගාලු‍ මුවදොරින් පිටත්ව ගියහ.

ගාලු‍ මුවදොර අරගලයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක පිරිස් සිටියහ. එනම් දීර්ඝකාලීනව අරගල කරන, සමාජ ක්‍රියාකාරකම් කරන කණ්ඩායම් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පළමුවරට පාරට ආ කණ්ඩායම් වශයෙනි. අත්දැකීම් සහිත කණ්ඩායම්වල සහ නවක කණ්ඩායම්වල අදහස් වරින් වර ගැටුණද පොදු අරමුණ එලෙසම තිබිණි. 

අගෝස්තු 09 වැනිදායින් පසු දීර්ඝකාලීනව වැඩ කරමින් සිටි කණ්ඩායම් තම සුපුරුදු වැඩ කරමින් ගිය අතර අරගලයෙන් පසු ඊට අලු‍තෙන් එකතු වූ ඇතැමුන් මානව හිමිකම් සහ වෙනත් වැඩ කරන්නට පටන් ගත්හ. සමහරු දේශපාලනය අරමුණු කරගෙන විවිධ කණ්ඩායම් සමග එක්වූහ. 

ගාලු‍ මුවදොර අරගලය පෙන්වමින් ඉදිරියට එන කිසිම කෙනෙකුට අරගලයේ තනි අයිතියක් නැත. එය හුදෙක් රට පුරා සිටින පුරවැසියන් රැසකගේ එකතුවක අරගලයකි. පෙරකී පරිදි එම අරගලය එකවර ඇතිවූවක් නොවේ. වසර ගණනාවක සිට ඇතිවූ සිදුවීම් ඊට පොහොර දැමීය. ජනතා සාමූහිකත්වයක එකතුවක් කිසිම අවස්ථාවක තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ සටනක් වන්නේ නැත. 


  • තරිඳු ජයවර්ධන