ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහි සහ ඉටු කිරීමෙහිලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වෙන ලේකම්වරු පත්කිරීමට ද, අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් සහ කාර්ය මණ්ඩලය පත්කිරීමට ද, ඔවුන්ගේ සේවා නියාමනයන් සහ කොන්දේසි නිශ්චය කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇතැයි 1978 ව්‍යවස්ථාවේ 44 (1) වගන්තියේ සඳහන්ය.
රාජ්‍යයක පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා එම රාජ්‍යයට ඇති හැකියාව බලයයි. බලයේ අවසාන හිමිකරුවා මහජනතාව වන අතර, මහජනතාව සතු බලය පරමාධිපත්‍ය බලයයි. පොදුජන පරමාධිපත්‍යයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ නිලවරණය 2019 නොවැම්බර් 16 වැනි දින පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 6,924,255ක් (ප්‍රතිශතයක් ලෙස සියයට 52.25ක්) ලබා ගනිමින් අතිවිශිෂ්ට ජයක් ලබා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2019 වසරේ නොවැම්බර් 18 දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අබියස දිවුරුම් දුන්නේය.
2019 ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 5,564,239ක් (සියයට 41.99ක්) ලබාගත් නමුත් වැඩි ඡන්ද 1,360,020ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජය ලැබීය.
දිස්ත්‍රික්ක 16ක් හා බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ, මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 17ක තැපැල් ඡන්ද ජයග්‍රහණ හිමිකර ගැනීමටද සමත් විය.
හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති නිලවරණය සඳහා ඡන්දදායකයන් 159,992,096 ලියාපදිංචි වී සිටි අතර ඉන් ඡන්දදායකයන් 13,387,951 ඡන්ද ප්‍රකාශ කර තිබිණ. ඉන් ඡන්ද 135,452ක් ප්‍රතික්ෂේප වූ අතර සමස්ත ඡන්ද භාවිතය ප්‍රතිශතයක් ලෙස සියයට 83.72ක් ලෙස සටහන් විය.
මෙම මැතිවරණයෙන් අසීමාන්තික බලයක් ගෝඨාභය රාජපක්ෂ වටා කේන්ද්‍රගත වූ අතර, රටෙහි ඉදිරිගමනේ නියමුවා ලෙස බහුතර ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වීමෙන් ඔහුට දැඩි වගකීමක් පැවරිණ. පත් වූ නව රජය යටතේ රටෙහි ආර්ථික, දේශපාලන, සමාජීය යන සෑම අංශයකම ඉදිරි අභිවෘද්ධිය තකා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරු 16ක්, රාජ්‍ය ඇමතිවරු 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග සමස්ත ඇමති මණ්ඩලය 53ක් තෝරාපත් කර ගැනිණ. ජනතාවගේ අවශ්‍යතාවන් සලකමින් පෙර පැවති අමාත්‍ය ධූරයන්හි වෙනස්වීම් සිදුකරමින් ඒ ඒ අමාත්‍යවරු වටා වරප්‍රසාදයක් නොවන වගකීමක් භාර කෙරිණ.
එහෙත් ගෝඨාභය පාලන සමයේ පශ්චාත් අවධිය මෙතරම් මනරම් නොවීය. බලය පිහිටුවන අවස්ථාවේ මහජනතාවට ලබා දෙනවා යැයි පැවසූ සහන කිසිවක් ඔවුන්ට ලබා නොදුන් පසුබිමක සහ අමාත්‍ය මණ්ඩලය වටා කේන්ද්‍රගත වූ වගකීම නිසි ආකාරයෙන් ඉටුනොවීම මත පොදු ජනතාවගේ අප්‍රසාදය වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය පරමාධිපත්‍යයෙන් ඔටුනු පැළඳු පාලන තන්ත්‍රයෙහි තටු සිඳ දැමීමට ජනතාව කඳවුරු බැඳ ගත්හ. තමා ලැබූ බලය නිසි ලෙස මෙහෙයවීමට නොහැකිවීම මත සමස්ත රාජ්‍ය ව්‍යුහයම උඩුයටිකුරු විය.
නිදහසින් පසු රට පාලනය කළ අනුප්‍රාප්තික ආණ්ඩුවල අනුවණ ආර්ථික ප්‍රතිපත්ති, 2006 සිට රාජපක්ෂ පාලනයේ මහා පරිමාණ දූෂණ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අතිශය ගැටලු සහගත ආර්ථික තීරණ මත පදනම්ව, 2022 අප්‍රේල් මාසයේ දී රට ණය වාරික ගෙවීම පැහැර හරින්නට විය. විදේශ සංචිත හිඟකම හේතුවෙන් ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කිරීම සීමා වූ අතර එහි පසු ව්‍යසනකාරී තත්ත්වයක් ලෙස රට තුළ බරපතල අහේනියක් නිර්මාණය විය. රටේ කනගාටුදායක තත්ත්වය පිළිබඳ රට පුරා විසිරුණු මහජන කෝපය මැද,
අර්බුදයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු ගෝඨාභය රාජපක්ෂ රජය ඉල්ලා අස්වීම ඇතුළු පාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා ජනතාව පාරට බසින්නට විය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ව පැවති පාලක පක්ෂයේ ශක්තිය 113 තෙක් හීන වෙමින් පැවතිණ. 2022 මැයි 09 වැනි දින මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වීමත් සමග, 2022 ජුනි 09 වැනි දින බැසිල් රාජපක්ෂ සිය සක්‍රීය දේශපාලන භූමිකාවෙන් ඉවත් විය. අගමැති ධුරය සඳහා පැවති විවෘත ආරාධනාව විපක්ෂය ප්‍රතික්ෂේප කිරීමත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ධූරය භාර ගැනීමත් සිදුවිය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ තරුණියන්ගේ විරෝධතා ව්‍යාපාර රැල්ලෙන් එල්ල වූ පීඩනය මත රටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ, 2022 ජූලි 14 වැනි දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පාලන ව්‍යූහයේ වෙනසක් සිදුවිය. දරුණුතම ආර්ථික, දේශපාලන පසුගාමීත්වයත් සමග ගාලුමුවදොර ජන අරගලය හමුවේ සිය රාජ්‍ය බලය අත්හැරීමට සිදුවීමෙන් නව පාලකයෙකුට දොරටු විවර විය.
ජනාධිපති සිය ධූරයෙන් ඉවත් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (ඇ) වගන්තිය අනුව අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත යුතු බව සහ එතෙක් තමා දැරූ අගමැති තනතුරට සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු පත් කිරීමේ බලය අගමැති සතු බව දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ඡන්ද මිලියන6.9ක ශුන්‍ය වූ ජනවරම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තහවුරු කරගත්තේ ජූලි මාසයේ 20 වැනි දින මැති ඇමතිවරු 134කගේ මනාපයෙනි. පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස, සයවරක් මෙරට අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ එම වසරේ අගෝස්තු 20 වැනි දා තෝරා පත්කර ගැනිණ.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කළ අතර කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු ද නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් ද එම තනතුරුවල දිවුරුම් දෙනු ලැබූහ.
අමාත්‍ය මණ්ඩලයේ යම්කිසි අමාත්‍යවරයෙකුට හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ ඔහුගේ ධූරයේ කාර්ය ඉටුකිරීමට නොහැකි වුවහොත් එවිට එකී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධූරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත්‍රීවරයෙකු පත් කිරීම කළ හැකි වෙන්නේ යැයි 1978 ව්‍යවස්ථාවේ වගන්තියේ සඳහන් ය.
1978 ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තියේ සඳහන් වෙන ආකාරයට ‘‘යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේ දී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේ ද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වෙන බව’’ දක්වා තිබේ.
එසේ වුව ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් පහකරනු ලැබූ අවස්ථාවක ඉහත කී මාසයක කාල සීමාව ඉකුත් වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලියවිල්ලකින් වූ පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ ඒ පහකිරීම වලංගු නොවන බව ඒ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේ ය. ඒ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකු විසින් විභාග කළ යුතු අතර, පෙත්සම ඉදිරිපත් කළ තැන් පටන් මාස දෙකක කාල සීමාවක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙනු ලැබිය යුත්තේය. ඒ පහ කිරීම වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ අවස්ථාවක ඒ තීරණයේ දින සිටම එම අසුන හිස් වෙන බව ද’’ තවදුරටත් එහි සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරෙයකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය වෙන අතර අමාත්‍ය ධූර අහෝසි කිරීම නිසා අමාත්‍යාංශ හිස් වීම, සිය කැමැත්තෙන් අමාත්‍ය ධූර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉවත් වීම සහ හදිසි අවස්ථාවන් යන හේතු පදනම්ව 2019 වර්ෂයේ සිට මේ දක්වා අමාත්‍යාංශවල පුරප්පාඩු ඇතිවිය. එසේ හිස්වෙන පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අමාත්‍යවරයෙකු පත් කරන අතර, ඒ ඒ පක්ෂවල සභා මතයෙන් ඒ ඒ පක්ෂවල හිස්වෙන තනතුර පුරවනු ලැබේ. මෙකී දේශපාලන කාල සීමාවේ මෙවැනි හේතු සාධක පාදකව අහිමි වූ සහ සිය කැමැත්තෙන් ඉවත් වූ අවස්ථා කිහිපයකි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා හැරීමත් සමග ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි විය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රණය කර මන්ත්‍රීවරෙයකු වූ ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මගින් ඔහු පක්ෂ ප්‍රතිපත්ති සහ තීන්දුවලට පටහැණිව කටයුතු කළා යැයි පක්ෂයෙන් නෙරපා හැරිණ. තමන් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණයට එරෙහිව පරිසර අමාත්‍යවරයා ද වන අහමඩ් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විනය පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරමින් නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇති අතර අධිකරණය එයට මැදිහත් නොවිය යුතු බවත් පිටු 62ක තීන්දුවක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට පරිසර අමාත්‍යධුරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ඉවත් කෙරිණ. අනතුරුව නසීර් අහමඩ් මහතාගේ පරිසර අමාත්‍ය ධූරය වෙනුවට අලී සහීර් මවුලානා දිවුරුම් දෙනු ලැබීය.
පසුව එම තනතුරෙහි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිහිටවූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මස 02 වැනි දින අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවට ගත් ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024 පෙබරවාරි මස 15 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ඔහුට ජනතා බදු මුදලින් නඩත්තු වීමට කිසිදු අයිතියක් නොමැති බවයි. කෙහෙළියට විරුද්ධව එල්ල වූ චෝදනාවන් සමග සමාජයේ ප්‍රබල විරෝධත්වයක් ද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකර සිටියහ.
එකී හේතූන් මත පදනම්ව, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමෙන් අනතුරුව ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා දී තිබේ. කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ පරිසර අමාත්‍යධූරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා යටතේ තබා ගැනීමට පියවර ගැනිණ.
තවද රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් යන අය මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි. එම පෙත්සම ත්‍රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි අෙයකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් පවතින බවට කරුණු තහවුරු නොමැති වී ඇති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් ”කෝ වොරන්ටෝ” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.
ඩයනා ගමගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දෙනු ලැබීය. එහිදී කොමිෂන් සභාව මගින් පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කවරෙකු යෝජනා කරන්නේ දැයි විමසීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් පත් කරනු ලැබේ. මෙලෙස පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කෙරිණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරයේ කටයුතු කළ මනූෂ නානායක්කාර සහ ක්‍රීඩා හා තරුණ කටයුතු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධූරයේ කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේග පක්ෂය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2024 අගෝස්තු 09 වැනි දින තීන්දු කිරීමත් සමග ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි විය. මෙම තීන්දුව ලබා දෙනු ලැබූවේ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
මනූෂ නානායක්කාර ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරිණ. 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා සුදුස්සෙකු නම් කිරීම ද සමගි ජන බලවේගය විසින් තීරණය කළ යුතුය. මෙලෙස හිස්වූ තරුණ කටයුතු හා ඉඩම් අමාත්‍යාංශයේ සහ කම්කර් හා විදේශ රැකියා අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ. 2024 අගෝස්තු 15 වැනි දින ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධූරය තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා 2024 පෙබරවාරි 27 වැනි දින සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අදාළ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව දැනුම් දීමෙන් අනතුරුව උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගත් එස්.සී. මුතුකුමාරණ මහතා පත්කෙරිණ.
2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමි වූ අතර එම මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූ සනත් නිශාන්ත රිය අනතුරකින් මිය යෑමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එල්.කේ. ප්‍රියංකර මහතා පත්කෙරිණ.
පවතින පාලන තන්ත්‍රයක අවසානයත් සමග නව පාලනයක ආගමනය තවත් පිරිසකට ඉල්ලමක් පෑදීමකි. මෙරට පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුවීමත් සමග සමස්ත පාලන තන්ත්‍රයේම විචල්‍යතාවන් නිර්මාණ වීම මෙරට සමස්ත අංශයන්ගේ පසුගාමීත්වයට හේතු වී ඇත. තම දෑතට බලය ගලා ආ විට සිය දෑත මිට මොලවා ගැනීමට ප්‍රයන්ත දැරීම තුළ තවත් වසර ගණනකින් ළඟා කර ගැනීමට උත්සහ කරන සංවර්ධනයේ අරුණළු ළඟා කර ගැනීමේ කාලය දීර්ඝ වෙනු නිසැකය. සංවර්ධනය යන්න හඳුන්වා දුන් දින සිට මේ දක්වා සංවර්ධනයක් නොලැබූ රටක් වශයෙන් නම් දරා සිටිනවාට වඩා තමාට ලැබෙන අසීමාන්තික බලය නිසි ආකාරයෙන් නොයොදන්නේ මන්ද යන ප්‍රශ්නාර්ථය පොදු ජනතාවගේ සිත් තුළ ගැබ්ව තිබේ.
|